යම්සේ දුඃඛ වේද, එසේම ඒ සියල්ලම අසාරාර්ත්‍ථයෙන් අනාත්ම වේ, අසාරාර්ත්‍ථයෙනි’යි යනු, ආත්මය (තමා තුළ) වෙසෙන්නෙකැයිද, කාරකයෙකැ’යි (කරවන්නෙකැ’යි) ද, වේදකයෙකැ’යි (විඳින්නෙකැයි) ද, සංයංවසී (තමා වසඟකොට ගත්තෙකැයි) ද යනුවෙන් මෙසේ පරිකල්පිත ආත්මසාරයක් නොමැති හෙයින්. ‘යමක් අනිත්‍ය වේද, එය දුකෙකි, (ආත්මය තෙමේ) තම පිළිබඳවූම අනිත්‍යතාව හෝ උදය-ව්‍යය පීඩනය (ඉපැදීම් වැයවීම් දෙකෙහි පීඩනය) වලක්වනු නොහැකියේ වේ; එය සතු කාරකභාවාදියක් කොයින්ද? එහෙයින් කීහු:- “රූපං ච හිදං භික්‍ඛවෙ අත්තා අභවිස්ස. නයිදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය” (මහණෙනි, මේ රූපස්කන්‍ධය ආත්මය වේනම්, මෙය ආබාධ පිණිස නොපවතිනු ඇත) යන ආදියයි. මෙසේ මේ රූපය අසාරාර්ත්‍ථයෙන් අනාත්මයයි යන මේ ආකාරයෙන් එක් සම්මර්ශනයෙක් වේ; භේද වශයෙන් වනාහි එයද එකොළොස් ආකාර වේ. වේදනා ආදිය විෂයයෙහිද මෙම නයයි.
යමක් වනාහි අනිත්‍ය වේද, යම් හෙයකින් එය නියත වශයෙන්ම සංඛත (සංස්කාර) ආදී භේද (ස්වභාව) ඇත්තේ වේද, එහෙයින් එය පිළිබඳ පර්යාය දක්වනු පිණිස, නැතහොත්, විවිධාකාරයෙන් එහි මනසිකාර (මෙනෙහි කිරීමේ) ක්‍රමය දක්වනු පිණිස “රූපං අතීත අනාගත පච්චුප්පන්නං අනිච්චං සඞ්ඛතං පච්චුප්පන්නං පටිච්ච සමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං” (අතීත, අනාගත, ප්‍රත්‍යුත්පන්න වූ රූපස්කන්‍ධය අනිත්‍යය, සංඛතය, හේතුවක් නිසා හටගත්තෙකි, ක්‍ෂය වන සුලුය, වැය වන සුලුය, නිරුද්ධ වන සුලුය, විරාගය (සන්සිඳීම) ස්වභාව කොට ඇත්තෙකි) යනුවෙන් නැවතත් පෙළ දක්වන ලදි. “එස තයො වෙදනාදීසු (වේදනා ආදියෙහිද මෙම නයයි) යනු:-
චත්තාරීසාකාරඅනුපස්සනාකථා
ඒ යෝගී තෙමේ එම පංචස්කන්‍ධ විෂයයෙහි අනිත්‍ය-දුඃඛ-අනාත්ම සම්මර්ශනය තිර බවට පත්කර ගනු පිණිස සතළිස් ආකාරයෙකින් පංචස්කන්‍ධයන් දකිමින් අනුලෝමික ඛන්තිය’ ලබයි. භාග්‍යවතුන් වහන්සේ විසින්. “කවර නම් සතළිස් ආකාරයෙකින් අනුලෝමික ඛන්තිය (ආර්ය මාර්ගානුකූල ක්‍ෂාන්තිය) ලබාද? කවර නම් සතළිස් ආකාරයෙකින් “සම්මත්ත නියාමයට’ (නිවැරදි ආර්ය මාර්ගයට) බසීදැ’යි යන මෙය විභඞ්ගයෙහි මෙසේ දක්වන ලදි:-
“පංචස්කන්‍ධයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන්, රෝග වශයෙන්, ගණ්ඩ වශයෙන් (ගඩක් වශයෙන්) සල්ල (ශල්‍ය) වශයෙන්, අස (විපත්ති) වශයෙන්, ආබාධ වශයෙන්, පර (තමා සතු නොවූ) වශයෙන්, පලෝක (බිඳෙන සුලු) වශයෙන්, අන්තරාය වශයෙන්, උපද්‍රව වශයෙන් භය වශයෙන්, උපසග්ග (වසංගත රෝග) වශයෙන්, චල (සැලෙන සුලු) වශයෙන්, පභංගුර (බිදෙන සුලු) වශයෙන්, අද්ධූව (අස්ථිර) වශයෙන්, අතාණ (අරක්‍ෂිත) වශයෙන්, අලේණ (රැකවරණ නැති) වශයෙන්, අසරණ (පිහිටක් නැති) වශයෙන්, රික්ත (හිස්) වශයෙන්, තුච්ඡ (හිස්) වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන්, ආදීනව වශයෙන්, විපරිණාම ධර්ම වශයෙන්, අසාර වශයෙන්, ව්‍යාසනමූල වශයෙන්, වධක වශයෙන්, විභව (වැනසෙන සුලු) වශයෙන්, සාශ්‍රව වශයෙන්, සඞ්ඛත (සංස්කාර) වශයෙන්, මාරාමිස (මාරයාට අයත්) වශයෙන්, ජාතිධර්ම වශයෙන්, ජරාධර්ම වශයෙන්, ව්‍යාධිධර්ම වශයෙන්, මරණ ධර්ම වශයෙන්, ශෝක ධර්ම වශයෙන්, පරිදේව ධර්ම වශයෙන්, උපායාස ධර්ම වශයෙන්, සඞ්කිලේසික (කෙලෙසන සුලු) ධර්ම වශයෙන්දැ’යි
යන සතළිස් ආකාරයෙන්
පංචස්කන්‍ධයන් දකිනුයේ අනුලෝමික ක්‍ෂාන්තිය ලබයි, පංචස්කන්‍ධයන්ගේ නැවැත්ම නිත්‍ය වූ නිර්වාණයයි දකිනුයේ සම්මත නියාමයට (ආර්ය මාර්ගයට) බසියි.” යන ආදී නයින්
අනුලෝම ඥානය විග්‍රහ කෙරෙමින් ප්‍රභේද වශයෙන් අනිත්‍යාදී සම්මර්ශනය කියන ලද්දේ ද, ඒ අනුවද මේ පංචස්කන්‍ධයන් සම්මර්ශනය කරයි.
කෙසේද යත්:- ඒ (යෝගාවචර) තෙමේ එක් එක් ස්කන්‍ධයක් අනිත්‍යය අන්තකොට ඇති හෙයින් (අශාස්වත හෙයින්) හා ආදි - අන්ත යන දෙක ඇති හෙයින් අනිත්‍ය වශයෙන්ද, උදය-ව්‍යය යන දෙකින් නිරන්තරයෙන් පෙළෙන හෙයින් හා දුකට වස්තු වූ හෙයින් දුඃඛ වශයෙන්ද (ආහාර ආදී) ප්‍රත්‍යයයෙන් නිරන්තරයෙන් යැපියයුතු වන හෙයින් හා රෝගයනට මුල්වන හෙයින් රෝග වශයෙන්ද, දුක්ඛතා රුජායෙන් යුක්ත වූ හෙයින් හා කෙලෙස් නමැති අසූචි වැගිරෙන හෙයින්ද, උත්පාද-ජරා-භංග යන මෙයින්ද ඉදිමුම්, පැසවීම් බිඳිම් ස්වභාව ඇති හෙයින් ගඬක් වශයෙන්ද, පීඩාජනක වන හෙයින්ද, ඇතුළත රිදවන හෙයින් හා දුක සේ බැහැර කළ යුතු වන හෙයින් ශල්‍යයක් වශයෙන්ද, ගැරහිය යුතු වන හෙයින්ද, අවැඩ ගෙන දෙන හෙයින් හා විපතට වස්තු වන හෙයින් අඝ වශයෙන්ද ස්වෛරීභාවය නැති කරන හෙයින් හා ආබාධයනට වස්තු වන හෙයින් ආබාධ වශයෙන්ද, තමා වශයෙහි නොපැවැත්විය හැකි හෙයින් හා විධානයෙහි හැසිරවිය නොහැකි හෙයින් පර වශයෙන්ද, ව්‍යාධි, ජරා, මරණ යන මෙයින් පලුදුවන හෙයින් පලෝක (බිඳෙන සුලු) වශයෙන්ද, නොයෙක් ව්‍යසනයන් එළවන හෙයින් ඊති (අන්තරාය) වශයෙන්ද, ඇඟවීමක් නැතිවම ඉමහත් අනර්ත්‍ථයන් ගෙන දෙන හෙයින් හා සියලු උවදුරුවලට වස්තුවන හෙයින් උපද්‍රව වශයෙන්ද, සියලු භයට ආකර වන හෙයින් හා දුක්ඛුපසම (දුක් සමනය කිරීම) යයි කියනු ලබන පරමසුඛයට (නිවණට) ප්‍රතිපක්‍ෂ වූ හෙයින් භය වශයෙන්ද, අනේක වූ අනර්ත්‍ථයන් විසින් ලුහු බඳනාලද හෙයින්ද දෝෂයන්ගෙන් ගැවසීගත් හෙයින් හා පීඩාවක් සෙයින් නො-ඉවසිය හැකි වන හෙයින් උපසග්ග (වසන්ගත රෝග) වශයෙන්ද, ව්‍යාධි, ජරා, මරණ යන මෙයින් හා ලාභ, අලාභ ආදී අෂ්ටලෝක ධර්මයන්ගෙන් සැලෙන හෙයින් චල වශයෙන්ද, උපක්‍රමයෙන් මෙන්ම ස්වභාව සිද්ධ වශයෙන්ද භංගයට යන සුලු හෙයින් පභංගු වශයෙන්ද, කවර අවස්ථාවෙක වුවද ගිලිහී යාහැකි හෙයින් හා ස්ථිර භාවයක් නොමැති හෙයින් අද්ධුව වශයෙන්ද, අනාරක්‍ෂිත භාවයෙන් හා ක්‍ෂේමභාවයක් නොලද හැකි වන හෙයින් අත්තාණ වශයෙන්ද, සැඟවීගත නොහැකි වන හෙයින් හා සැඟවී සිටිනවුනට පවා රැකවරණ කිසක් නොසැපයෙන හෙයින් අලේණ වශයෙන්ද, ඇසුරු කළවුන්ගේ භය දුරුකළ නොහැකි හෙයින් අසරණ වශයෙන්ද, පෘථග්ජනයන් විසින්) පරිකල්පනය කරන ලද පරිදි ධුව-සුභ-සුඛ-අත්තභාවයක් නැති හෙයින් රික්ත වශයෙන්ද, රික්ත (හිස්) භාවය නිසාම, නැතහොත් ලාමක භාවය නිසා තුච්ඡ වශයෙන්ද, ලෝකයෙහි අල්ප (ලාමක) වූ දෙය තුච්ඡ කොට වහරනු ලැබේ, ස්වාමියකු, නිවාසියකු, කාරකයකු (කරවන්නකු), වේදකයකු (විඳින්නකු), අධිට්ඨායකයකු (අධ්‍යක්‍ෂකයකු) නැති හෙයින් ශුන්‍ය වශයෙන්ද, තමාද අස්වාමික භාවාදියෙන් යුක්ත වූ හෙයින් අනාත්ම වශයෙන්ද, පැවැත්ම දුක්සහිත වන හෙයින් හා දුක්ද ආදීනව වන හෙයින් ආදීනව වශයෙන්ද, නොහොත්, ආදීන (බැගෑ) බව වෙත ළං වෙති’යි. යෙති’යි, පවතිතියි ආදීනව නමි; මෙය දුගී මිනිසාට අධිවචනයෙකි; ස්කන්‍ධයෝද කෘපණයෝ (දුගියෝ)ම වෙති’යි - දුගියන් හා සමාන වන හෙයින් ආදීනව වශයෙන්ද, ජරාවෙන්ද, මරණයෙන්ද යන දෙ-අයුරෙකින් පරිණාමයට යන සුලු හෙයින් විපරිණාම ධර්ම වශයෙන්ද දුබල බැවින් හා හරයක් නැති බැවින් කොටදිඹුලා ශාකය මෙන් පහසුවෙන් කඩා දැමිය හැකි වන හෙයින් අසාර වශයෙන්ද, පවට මුල් වන හෙයින් අඝමූලක වශයෙන්ද, මිතුරු වෙසින් සිටින සතුරකු සෙයින් විශ්වාසය කඩ කරන වධකයකු වශයෙන්ද, වැඩීමක් නැති හෙයින් හා විභව (විනාශ)යෙන් හටගත් හෙයින් විභව වශයෙන්ද, ආශ්‍රවයනට පදනම් වන හෙයින් සාශ්‍රව වශයෙන්ද, හේතු ප්‍රත්‍යයෙන් සැකසුණ හෙයින් සංඛත වශයෙන්ද, මෘත්‍යුමාර, ක්ලේශ මාරාදීනට ගොදුරු වන හෙයින් මාරාමිස වශයෙන්ද, ජාති-ජරා-ව්‍යාධි මරණයන් ස්වභාව කොට ඇති හෙයින් ජාති-ජරා-ව්‍යාධි මරණ ස්වභාව වශයෙන්ද, සෝක-පරිදේව උපායාසයනට හේතුවන හෙයින් සෝක-පරිදේව-උපායාස ස්වභාව වශයෙන්ද, තෘෂ්ණාදෘෂ්ටි- සංක්ලේශයනට විෂයවන ස්වභාව ඇති හෙයින් සංක්ලේශික ස්වභාව වශයෙන්දැ’යි මෙසේ ප්‍රභේද වශයෙන් දක්වන ලද අනිත්‍යාදී සම්මර්ශන වශයෙන් සම්මර්ශනය කරයි.