පච්චයපරිග්ගහකථා
මෙම නාම-රූපයන්ගේම ප්‍රත්‍යයන් පිරිසිඳ දැක්මෙන් තුන් කල්හි සැකය දුරු කොට සිටි ඥානය ‘කංඛාවිතරණ විසුද්ධි’ නම්වේ.
එය සම්පාදනය කරනු කැමැති භික්‍ෂු තෙමේ, යම්සේ දක්‍ෂ වෛද්‍යවරයෙක් රෝගයක් දැක එහි නිදානය සොයන්නේද, නැතහොත්, යම්සේ අනුකම්පා ඇති පුරුෂයෙක් වීදියෙක උඩුකුරුව වැතිර සිටින ළාබාල අතදරුවකු දැක, ‘මේ’ කවරකුගේ දරුවෙක්දෝ’යි මාපියන් සොයා බලනුයේද, එසේම ඒ නාමරූපයන් පිළිබඳ හේතුප්‍රත්‍යයයන් සොයා බැලීමෙහි යෙදෙයි.
ඒ (භික්‍ෂු) තෙමේ මුල පටන්ම මෙසේ සලකා බලයි:- “පළමු කොටම මේ නාමරූපය අහේතුක නොවේ, සියලු තන්හි, සියලු කල්හි ඒකාකාරව නොපැමිණෙන හෙයිනි. ඊශ්වරාදී හේතුවකින් හටගත්තේද නොවේ, නාමරූපයට ඉහළින් සිටි ඊශ්වරාදී කිසිවකු නොමැති හෙයිනි. යමෙක් නාම-රූප මාත්‍රය ඊශ්වර ආදීන් ලෙස වහරත්ද, ඔවුන් විසින් ඊශ්වරාදීන් ලෙස වහරනු ලබන නාමරූපය අහේතුක බවට පත් වන හෙයිනි. (අහේතුක යයි පිළිගත යුතු වන හෙයිනි). එහෙයින් මෙයට හේතු ප්‍රත්‍යයන් තිබිය යුතුය; ඒ හේතු ප්‍රත්‍යයයෝ කවරහුද?” යනුවෙනි.
ඒ (භික්‍ෂු) තෙමේ මෙසේ නාමරූපයන් පිළිබඳ හේතු ප්‍රත්‍යයන් ආවර්ජනය කොට, ඉක්බිති පළමුව මේ රූපකාය පිළිබඳ හේතු ප්‍රත්‍යයන් විග්‍රහ කරයි:- “මේ කය උපදින විට උපුල්, රත්පියුම්, හෙළ පියුම්, හෙල්මැලි ආදිය තුළ හෝ මිණි මුතු ආකරාදිය තුළ හෝ උපදනේ නොවේ; වැලිදු, ආමාශ පක්වාශ යන දෙක අතර උදරපටලය පිටුපසින්ද, පිටකටුව (කොඳු ඇට පෙළ) ඉදිරිපසින්ද සිටින සේ, අතුණු හා අතුණු බහන්වලින් පිරිවරන ලදුව, තෙමේද දුගඳව, ජුගුප්සිතව, පිළිකුල්ව, එසේම දුගද, ජුගුප්සිත, පිළිකුල් වන, බොහෝ ගැහැට ඇති, අවකාශයෙක්හි, කුණු මසුන්, කුණු මළසිරුරු, පිළුණු කොමු (පිට්ටු), වැසිකිලිවළ, ගම්දොර කුණුවල ආදිය තුළ පණුවකු සෙයින් උපදියි. මෙසේ උපදින කයට අවිද්‍යා, තෘෂ්ණා, උපාදාන, කර්ම යන මේ සතර උත්පත්තිකර්තෘක (ඉපැදීම සිදුකරන) හේතුව වේ. ආහාරය උපස්තම්භකර්තෘක ප්‍රත්‍යය වේ. මෙසේ මේ ධර්ම පංචකය හේතු-ප්‍රත්‍යය වේ. එම පංචකය අතුරෙන්ද, අවිද්‍යා ආදී (පළමු) තුන දරුවකුට මවක සෙයින් මේ කයට උපනිශ්‍රය වේ; කර්මය දරුවකුට පියකු මෙන් ජනක (උපදවන්නා) වේ; ආහාරය දරුවකුට කිරිමවක සෙයින් සන්‍ධාරක (දරන්නා) වේ.” යනුවෙන් මෙසේ රූපකාය පිළිබඳ ප්‍රත්‍යයන් විනිශ්චය කොට, නැවතත්, “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්‍ඛු විඤ්ඤාණං’’ (ඇසද රූපයන්ද නිසා චක්‍ඛු විඤ්ඤාණය උපදී) යන ආදී නයින් නාමකාය පිළිබඳ ප්‍රත්‍යයයන් විනිශ්චය කරයි.
මෙසේ ඒ යෝගාවචර තෙමේ ප්‍රත්‍යය වශයෙන් නාමරූප යන දෙක්හි පවත් දැක, “මේ නාම-රූප දෙක දැන් මෙන්ම අතීත කාලයෙහිද ප්‍රත්‍යය නිසා පැවැත්තේය, අනාගතයෙහිද ප්‍රත්‍යය නිසා පවත්නේය’යි දකී.
මෙසේ දක්නා ඔහුට පූර්වාන්තය අරබයා, “අතීත කාලයෙහි මම් වීම්ද? නොවීම්ද? අතීත කාලයෙහි මම් කවරෙක් වීම්ද? අතීතකාලයෙහි මම් කෙබන්දෙක් වීම්ද? අතීත කාලයෙහි මම් කවරෙක්ව සිට (අනතුරුව) කවරෙක් වීම්දැ”යි යනුවෙන් පංචවිධ විචිකිච්ඡාවක් වෙති’යි කියන ලද්දේද, තවද අපරාන්තය අරබයාද, “අනාගත කාලයෙහි මම් වන්නෙම්ද? නොවන්නෙම්ද?, අනාගත කාලයෙහි මම් කවරෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි මම් කෙබන්දෙක් වන්නෙම්ද? අනාගත කාලයෙහි මම් කවරෙක්ව සිට (අනතුරුව) කවරෙක් වන්නෙම්දැ’යි යනුවෙන් පංචවිධ විචිකිච්ඡාවක් වෙති’යි කියන ලද්දේද තවද වර්තමානය අරබයාද දැන් මේ ප්‍රත්‍යුත්පන්න කාලයෙහි තොරතුරු විමසමින්, “මම් වෙම්ද? නොවෙම්ද? කවරෙක් වෙම්ද? කෙබන්දෙක් වෙම්ද? මේ සත්‍වයා කොයින් ආයේද? හෙතෙම කොහි යන්නේදැ’යි යනුවෙන් ෂඩ්විධ විචිකිච්ඡාවක් වෙති’යි කියන ලද්දේද, ඒ සකලවිධ විචිකිච්ඡාවම ප්‍රහීණ වේ.
අන් යෝගාවචරයෙක් තෙමේ නාමය පිළිබඳ වූ සාධාරණ අසාධාරණ යනුවෙන් දෙ-ආකාර ප්‍රත්‍යයද, රූපය පිළිබඳවූ කර්ම ආදී සිවු ආකාර ප්‍රත්‍යයද බලයි. නාමයට සාධාරණ අසාධාරණ වශයෙන් ප්‍රත්‍යය දෙ-ආකාර වේ. එහි චක්‍ඛු ආදී ද්වාර සය හා රූප ආදී අරමුණු සය නාමය පිළිබඳ සාධාරණ ප්‍රත්‍යය වේ. කුසලාදී භේද ඇති සකලාකාර වූම නාමය එයින් (ද්වාර හා ආලම්බනයන් වෙතින්) පවත්නා හෙයිනි. මනසිකාර ආදිය අසාධාරණ ප්‍රත්‍යයයි; යෝනිසෝමනසිකාර, ධර්මශ්‍රවණ ආදිය කුශලයටම ප්‍රත්‍යය වන අතර විපරීතය අකුශලයටම ප්‍රත්‍යය වේ. කර්මාදිය විපාක චිත්තයටද, භවාංගාදිය කිඳුරිය චිත්තයටද ප්‍රත්‍යය වේ.
රූපයට වනාහි කර්ම, චිත්ත, ඍතු, ආහාර යන මේ සතර ප්‍රත්‍යය වේ. එහි කර්මය අතීත වූයේම කර්ම සමුත්‍ථාන රූපයට ප්‍රත්‍යය වේ. චිත්තය උපදනේම චිත්ත සමුත්‍ථාන රූපයටද, ඍතු, ආහාර යන දෙක ස්ථිතික්‍ෂණයෙහි ඍතු ආහාර සමුත්‍ථාන රූපයටද ප්‍රත්‍යය වේ. මෙසේ එක් යෝගාවචරයෙක් තෙමේ නාමරූපයන් පිළිබඳ ප්‍රත්‍යය විග්‍රහය කෙරේ.
හේ තෙමේ මෙසේ ප්‍රත්‍යය වශයෙන් නාම රූපයන් පිළිබඳ පවත් දැක, “මෙය දැන් මෙසේ නම්, අතීත අද්ධායෙහිද මෙසේම ප්‍රත්‍යය වශයෙන් පැවතුනා විය යුතුය, අනාගතයෙහිද ප්‍රත්‍යය වශයෙන් පැවතීම වියයුතුයයි දකියි. මෙසේ දක්නා ඔහුට කී නයින්ම කාලත්‍රයයෙහිම වූ විචිකිඡාව පහ වෙයි.