උපායාසො
උපායාස නම් ඥාතිව්‍යාසනාදිය හේතු කොටගෙන ඇතිවූ අතිමාත්‍ර මානසික දුඃඛයෙන් බලවත්වූ ද්වේෂය මැයි. ඇතැමෙක් සංස්කාර ස්කන්‍ධයට අයත් එක්තරා ස්වභාවයෙකැ’යි කියති. එය චිත්ත සන්තාප ලක්‍ෂණකොට ඇත්තේය. තැතනීම කෘත්‍ය කොට ඇත්තේය. විශාදය (අසහනය) වැටහීම් කොට ඇත්තේය. සංඛාරදුක්ඛ වන හෙයින්ද, සිත දවන හෙයින්ද, කය අසහනයට පත් කරන හෙයින්ද දුඃඛ වේ. එහෙයින් කියනු ලැබේ:-
“චිත්තස්ස පරිදහනා කායස්ස විසාදතා ච අධිමත්තං
යං දුක්‍ඛං උපායාසො ජනෙති දුක්‍ඛො තතො වුත්තො”ති
සිත දැවීමෙන් ද කය අසහනයට පත් කරවීමෙන්ද අතිමාත්‍ර වූ යම් දුකක් උපදවාද, එහෙයින් උපායාසය දුකෙකැ’යි කියන ලදි.
මේ උපායාසය පිළිබඳ විනිශ්චයයි
මෙහි වනාහි, ශෝකය මඳ ගින්නේ භාජනය ඇතුළත පැසීම වැනියයිද, පරිදේවය තද ගින්නෙන් පැසෙන විට භාජනයෙන් පිටතට උතුරා යාම වැනියයිද, උපායාසය පිටතට උතුරා යාමෙන් අනතුරුව ඉතිරිය බඳුන තුළම සිඳී යන තෙක් පැසීම වැනියයිද දතයුතුය.
අප්පියසම්පයොගො
අප්පිය සම්පයෝගය නම් මනාප නොවූ සත්ත්‍ව-සංස්කාරයන් හා සමග එක්වීමයි. එය නොකැමැත්තෙන් එක්වීම ලක්‍ෂණ කොට ඇත්තේය. සිතට වදදීම කෘත්‍ය කොට ඇත්තේය, අහිතකර බව වැටහීම් කොට ඇත්තේය. දුකට වස්තු වන හෙයින් දුක්ඛ නම්වේ. එහෙයින් කියනු ලැබේ:-
“දිස්වාව අප්පියෙ දුක්‍ඛං පඨමං හොති චෙතසි
තදුපක්කම සම්භූතමථ කායෙ යතො ඉධ
තතො දුක්‍ඛද්වයස්සාපි වත්‍ථුතො සො මහෙසිනා
දුක්‍ඛො වුත්තො’ති විඤ්ඤෙය්‍යො අප්පියෙහි සමාගමො”ති
යම් හෙයකින් පළමුකොට අප්‍රියයන් දැකීමෙන්ම සිතු තුළද, අනතුරුව ඔවුන් හා සම ඇසුරෙන් කය තුළද, දුක් හටගැනීමෙන්, මෙසේ (කායික මානසික යන) දෙ-ආකාරවූ දුකට වස්තුවන හෙයින් අප්‍රිය සමාගමය මහර්ෂීන් වහන්සේ විසින් දුකෙකි’යි පවසන ලද බව දතයුතුය.
මේ අප්‍රියසංයෝගය පිළිබඳ විනිශ්චයයි
පියවිප්පයොගො
පිය විප්පයෝගය නම්, මනාපවූ සත්ත්‍ව- සංස්කාරයන් කෙරෙන් වියෝවීමයි. එය කැමැති වස්තූන්ගෙන් වෙන් කරනු ලැබීම ලක්‍ෂණ කොට ඇත්තේය. ශෝකය දැනවීම කෘත්‍ය කොට ඇත්තේය. ව්‍යසනයට පත්වීම වැටහීම් කොට ඇත්තේය. සෝ-දුකට වස්තුවන හෙයින් දුඃඛ නම් වේ. එහෙයින් කියනු ලැබේ:-
“ඤාතිධනාදි වියෝගා සොකසර සමප්පිතා විතුජ්ජන්ති
බාලා යතො තතො’යං දුක්‍ඛො’ති මතො පියවිප්පයොගො”ති
යම් හෙයකින් අඥාන ජනයා ඥාති ධනාදීන් කෙරෙන් වියෝවීම හේතුකොට සෝ-හී පහරින් මඩිනු ලැබෙත්ද, එහෙයින් ප්‍රියවිප්‍රයෝගය දුකෙකි’යි දන්නා ලදි.
මේ ප්‍රියවිප්‍රයෝගය පිළිබඳ විනිශ්චයයි
ඉච්ඡිතාලාභො
යම්පිච්ඡං න ලභති යන මෙහි “අහො වත මයං න ජාතිධම්මා අස්සාම” (අහෝ අපි ඉපැදීම ස්වභාව කොට ඇත්තෝ නො වන්නමෝ නම් මැනවි) යන ආදී නොලද හැකි වස්තූන් හෝ ස්වභාවයන් කෙරෙහි ආශා කිරීමම “යම්පිච්ඡං නලභති තම්පි දුක්‍ඛං” (කැමති වන දෙය නොලැබේ නම් එයද දුකෙකි) යි කියන ලදි. එය නොලද හැකි වස්තූන් කැමැතිවීම ලක්‍ෂණ කොට ඇත්තේය. එය සෙවීම කෘත්‍ය කොට ඇත්තේය. එම වස්තූන් නොලැබීම වැටහීම් කොට ඇත්තේය. දුකට වස්තුවන හෙයින් දුක්ඛ නම් වේ. එහෙයින් කියනු ලැබේ:-
“යං යං පත්‍ථයමානානං තස්ස තස්ස අලාභතො
යං විඝාතමයං දුක්‍ඛං සත්තානං ඉධ ජායති
අලබ්භනෙය්‍ය වත්‍ථුනං පත්‍ථනා තස්ස කාරණං
යස්මා තස්මා ජිනො දුක්‍ඛං ඉච්ඡිතාලාභමබ්‍රවී’’ති
යමක් යමක් ප්‍රාර්ත්‍ථනා කරන්නවුනට ඒ ඒ දෙය නොලැබීමෙන් ඉච්ඡාවිඝාතමය (කැමැති දෙය නොලැබීමෙන් උපන්) දුකෙක් වේද, යම් හෙයකින් එම දුකට හේතුව නොලදහැකි දෙය පැතීම වේද, එහෙයින් ජනයන් වහන්සේ එය ඉච්ඡිතාලාභ දුක්ඛ (කැමති වන දෙය නොලැබීමෙන් ඇතිවන දුක) යයි පැවසූ සේක.
මේ ඉච්ඡිතාලාභය පිළිබඳ විනිශ්චයයි.
පඤ්චුපාදානක්ඛන්ධා
සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්‍ඛන්‍ධා දුක්‍ඛා යන මෙහි:-
ජාතිප්පභූතිකං දුක්‍ඛං යං වුත්තමිධ තාදිනා
අවුත්තං යඤ්ච තං සබ්බං විනා එතෙන විජ්ජති
යස්මා තස්මා උපාදානක්‍ඛන්‍ධා සංඛෙපතො ඉමෙ
දුක්‍ඛාති වුත්තා දුක්‍ඛන්ත දෙසකෙන මහෙසිනා
තත්‍වදර්ශී (තතුදත්) වූ, දුඃඛාන්ත-දේශක (නිර්වාණය දේශනා කළා) වූ මහර්ෂීන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද ජාති ආදී වූ යම් දුඃඛසත්‍යයක් වේද, යම් හෙයකින් එයින් බැහැරවූ (විශේෂ කොට) ප්‍රකාශ නොකරන ලද යමක් ඇත්නම් ඒ සියල්ල ගෙන, “සංක්‍ෂේපයෙන් මේ උපාදානස්කන්‍ධයෝ දුඃඛයහ”යි ප්‍රකාශ කරන ලදි.
ඒ එසේමැයි, ගින්න දර සෙයින්ද, ආයුධ ඉලක්කය සෙයින්ද, මැසිමදුරු ආදීන් ගවසිරුරක් සෙයින්ද, ගොයම් කපන්නන් කෙතක් සෙයින්ද, ගම්පහරන්නන් ගමක් සෙයින්ද, ජාති ආදීහු උපාදානස්කන්‍ධ පඤ්චකයම නන් අයුරින් පෙළමින්, භූමියෙහි තෘණලතාදිය මෙන්ද, ගස්වල මල්පලු පල මෙන්ද, උපාදානස්කන්‍ධයන් තුළම උපදිති. උපාදානස්කන්‍ධයන්ගේද ආරම්භයෙහි වූ දුක ඉපැදීමයි. මධ්‍යයෙහි වූ දුක ජරාවයි. අවසන්හි වූ දුක මරණයයි. මරණය දුක් පීඩා මගින් දවන දුක ශෝකයයි. එම ශෝකය ඉවසනු නොහැකිව මෙන් දොඩමලු කරවන දුක පරිදේවය (වැලපීම) යි, ඉක්බිතිව ධාතූන්ගේ කැළඹීම යයි කියනු ලබන අහිතකර ස්පර්ශයන්ගේ එක්වීමේ හේතුවෙන් කය රෝගීබවට පත් කරවන දුක ‘දුක්ඛ’ යයි, එය හේතු කොට ගෙන පෘථග්ජනයන් තුළ ද්වේෂය ඉපැදීමෙන් සිත රෝගී කරවන දුක දෝමනස්සයයි. ශෝකාදිය දැනීමෙන් උපන් කලකිරීම (වැලපීම් මගින්) ප්‍රකට නොවන දුක උපායාසයයි. බලාපොරොත්තු කඩවූවන් තුළ අපේක්‍ෂාභංගත්‍වය නිසා ඇතිවන දුක ඉච්ඡිතාලාභය (පතන දෙය නොලැබීම) යි. මෙසේ නන් අයුරින් පිරික්සනු ලබන විට පංච උපාදානස්කන්‍ධයෝම දුක්ඛ නම් වෙති. යම් හෙයකින් මේ දුඃඛස්වභාවය එකක් එකක් ගෙන හැර දක්වමින් කියනු ලබතොත්, කල්පගණනාවෙකින් වුවද කියා නිම කළ නොහැකි වේද, එහෙයින් එම සියලු දුක් එක් දිය බිඳුවෙක මුළු මහත් මුහුදු දියෙහි (ලුණු) රසය මෙන් පංච උපාදානස්කන්‍ධයන් තුළ පිඬු කොට දක්වනු පිණිස භාග්‍යවතුන් වහන්සේ “සංඛිත්තෙන පඤ්චුපාදානක්‍ඛන්‍ධා දුක්‍ඛා”යි පැවසූ සේක. මේ උපාදානස්කන්‍ධයන් පිළිබඳ විනිශ්චයයි