සොකාදිනිද්දෙසා
සොකාදිය අතුරෙන් ‘සොක’ යනු, ඥාතිව්‍යසනාදියෙන් සිදුවන චිත්ත සන්තාපයයි. එය අර්ත්‍ථ වශයෙන් (මතු පැවසෙන) දෝමනස්සයම වන නමුදු, ඇතුළතින් දැවීම ලක්‍ෂණකොට ඇත්තේය, ළ-තැවීම කෘත්‍ය කොට ඇත්තේය. නැවත නැවත ශෝකයට පත්වීම වැටහීම් කොට ඇත්තේය. (ඉහත කී) දුක්‍ඛ-දුක්‍ඛයම වන හෙයින්ද, දුකට වස්තු වන හෙයින්ද දුක්ම වේ. එහෙයින් කියනු ලැබේ:-
“සත්තානං හදයං සොකො විසසල්ලංව තුජ්ජති
අග්ගි තත්තොව නාරාචො භුසං ච දහතෙ පුන”
ශෝකය විෂ සහිත සැතක් සෙයින් සත්ත්‍වයන්ගේ හෘදය පෙළයි, ගින්නෙන් රත්වූ යවුලක් සෙයින් නැවත නැවතත් බොහෝ සෙයින් දවයි.
“සමාවසති ච බ්‍යාධි ජරා මරණ භේදනං
දුක්‍ඛම්පි විවිධං යස්මා තස්මා දුක්‍ඛො’ති වුච්චති”
ජරා, ව්‍යාධි, මරණ යන භේද සහිත විවිධ දුක් ගෙන දෙන හෙයින් දුක්ඛ යයි කියනු ලැබේ.
මේ සෝකය පිළිබඳ විනිශ්චයයි
පරිදෙවො
පරිදෙව යනු ඥාතිව්‍යසනාදියෙන් පහව පුද්ගලයාගේ වැලපීමයි. එය දොඩමලු වීම ලක්‍ෂණ කොට ඇත්තේය. ගුණදොස් පැවසීම කෘත්‍ය කොට ඇත්තේය. (සෙසු වැළපෙන්නන් හා සමග) එක්වීම වැටහීම් කොට ඇත්තේය. (ඉහත කී) ‘සංසාර දුක්ඛ’ වන හෙයින්ද, දුකට වස්තුවන හෙයින්ද දුක් වේ. එහෙයින් කියනු ලැබේ:-
“යං සොකසල්ල විහතො පරිදෙවමානො
කණ්ඨොට්ඨ තාලුතල සොසජමප්පසය්හං
භීය්‍යොධිමත්තමධිගච්ඡතියෙව දුක්‍ඛං
දුක්‍ඛො’ති තෙන භගවා පරිදෙව මාහ”
ශෝක නමැති හුලෙන් පහර ලැබ වැළපෙන පුද්ගලයා බොහෝ සෙයින් උගුර, තොල්, තලු වියලීමෙන් හටගන්නා නො-ඉවසිය හැකි ඉතා මහත් දුකකට පත් වේද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වැළපීම දුකෙකැයි පැවසූහ.
මේ පරිදේවය පිළිබඳ විනිශ්චයයි
දුක්ඛං
දුක්‍ඛං යනු කායික දුඃඛයයි. එය කය පෙළීම ලක්‍ෂණ කොට ඇත්තේය. නැණහීනයන් දොම්නස් කරවීම කෘත්‍ය කොට ඇත්තේය. කායික ආබාධ වැටහීම් කොට ඇත්තේය. දුක්ඛ දුක්ඛ වන හෙයින්ද, මානසික දුක් පවා ගෙන දෙන හෙයින්ද දුක්ඛ නම් වේ. එහෙයින් කියනු ලැබේ:-
“පීළෙති කායික මිදං දුක්‍ඛඤ්ච මානසං භිය්‍යො
ජනයති යස්මා තස්මා දුක්‍ඛන්ති විසෙසතො වුත්තන්ති”
යම්හෙයකින් මේ කායික දුඃඛය මානසික දුඃඛයද දනවමින් බොහෝ සෙයින් සත්ත්‍වයා පෙළාද, එහෙයින් විශේෂයෙන් දුක්ඛයයි කියනු ලැබේ.
මේ දුඃඛය පිළිබඳ විනිශ්චයයි
දොමනස්සං
දොමනස්සං යනු මානසික දුඃඛයයි. එය සිත පෙලීම ලක්‍ෂණ කොට ඇත්තේය. සිත විකල කිරීම කෘත්‍ය කොට ඇත්තේය. මානසික ආබාධ වැටහීම් කොට ඇත්තේය. දුක්ඛ-දුක්ඛ වන හෙයින්ද කායික දුක් පවා ගෙන දෙන හෙයින්ද දුක්ඛ නම් වේ. මානසික දුඃඛයෙන් පීඩිත වූවාහු හිස කෙස් විසුරුවා ගෙන හඬති. ළෙහි අත් ගසති. පෙරළෙති. ඒ මේ අත පෙරළෙති. පාඋඩුකුරු කොට වැටෙති. සැතින් ඇන ගනිති. වසවිස කති. ගෙළ වැලලා ගනිති. ගිනි වදිති. මෙසේ අනේකප්‍රකාරවූ දුක් අනුභව කෙරෙති. එහෙයින් කියනු ලැබේ:-
“පීළෙති යතො චිත්තං කායස්සච පිළනං සමාවහති
දුක්‍ඛන්ති දොමනස්සං විදොමනස්සා තතො ආහු”ති.
යම් හෙයකින් සිත පීඩාවට පත් කරාද, කායික පීඩා පවා ගෙන දෙයිද. එහෙයින් දෝමනස්ස දුරු කළාහු එම දෝමනස්සය දුකෙකි’යි පැවසූහ:-
මේ දෝමනස්සය පිළිබඳ විනිශ්චයයි
උපායාසො
උපායාස නම් ඥාතිව්‍යාසනාදිය හේතු කොටගෙන ඇතිවූ අතිමාත්‍ර මානසික දුඃඛයෙන් බලවත්වූ ද්වේෂය මැයි. ඇතැමෙක් සංස්කාර ස්කන්‍ධයට අයත් එක්තරා ස්වභාවයෙකැ’යි කියති. එය චිත්ත සන්තාප ලක්‍ෂණකොට ඇත්තේය. තැතනීම කෘත්‍ය කොට ඇත්තේය. විශාදය (අසහනය) වැටහීම් කොට ඇත්තේය. සංඛාරදුක්ඛ වන හෙයින්ද, සිත දවන හෙයින්ද, කය අසහනයට පත් කරන හෙයින්ද දුඃඛ වේ. එහෙයින් කියනු ලැබේ:-
“චිත්තස්ස පරිදහනා කායස්ස විසාදතා ච අධිමත්තං
යං දුක්‍ඛං උපායාසො ජනෙති දුක්‍ඛො තතො වුත්තො”ති
සිත දැවීමෙන් ද කය අසහනයට පත් කරවීමෙන්ද අතිමාත්‍ර වූ යම් දුකක් උපදවාද, එහෙයින් උපායාසය දුකෙකැ’යි කියන ලදි.
මේ උපායාසය පිළිබඳ විනිශ්චයයි
මෙහි වනාහි, ශෝකය මඳ ගින්නේ භාජනය ඇතුළත පැසීම වැනියයිද, පරිදේවය තද ගින්නෙන් පැසෙන විට භාජනයෙන් පිටතට උතුරා යාම වැනියයිද, උපායාසය පිටතට උතුරා යාමෙන් අනතුරුව ඉතිරිය බඳුන තුළම සිඳී යන තෙක් පැසීම වැනියයිද දතයුතුය.