පියවිප්පයොගො
පිය විප්පයෝගය නම්, මනාපවූ සත්ත්ව- සංස්කාරයන් කෙරෙන් වියෝවීමයි. එය කැමැති වස්තූන්ගෙන් වෙන් කරනු ලැබීම ලක්ෂණ කොට ඇත්තේය. ශෝකය දැනවීම කෘත්ය කොට ඇත්තේය. ව්යසනයට පත්වීම වැටහීම් කොට ඇත්තේය. සෝ-දුකට වස්තුවන හෙයින් දුඃඛ නම් වේ. එහෙයින් කියනු ලැබේ:-
“ඤාතිධනාදි වියෝගා සොකසර සමප්පිතා විතුජ්ජන්ති
බාලා යතො තතො’යං දුක්ඛො’ති මතො පියවිප්පයොගො”ති
බාලා යතො තතො’යං දුක්ඛො’ති මතො පියවිප්පයොගො”ති
යම් හෙයකින් අඥාන ජනයා ඥාති ධනාදීන් කෙරෙන් වියෝවීම හේතුකොට සෝ-හී පහරින් මඩිනු ලැබෙත්ද, එහෙයින් ප්රියවිප්රයෝගය දුකෙකි’යි දන්නා ලදි.
මේ ප්රියවිප්රයෝගය පිළිබඳ විනිශ්චයයි
ඉච්ඡිතාලාභො
යම්පිච්ඡං න ලභති යන මෙහි “අහො වත මයං න ජාතිධම්මා අස්සාම” (අහෝ අපි ඉපැදීම ස්වභාව කොට ඇත්තෝ නො වන්නමෝ නම් මැනවි) යන ආදී නොලද හැකි වස්තූන් හෝ ස්වභාවයන් කෙරෙහි ආශා කිරීමම “යම්පිච්ඡං නලභති තම්පි දුක්ඛං” (කැමති වන දෙය නොලැබේ නම් එයද දුකෙකි) යි කියන ලදි. එය නොලද හැකි වස්තූන් කැමැතිවීම ලක්ෂණ කොට ඇත්තේය. එය සෙවීම කෘත්ය කොට ඇත්තේය. එම වස්තූන් නොලැබීම වැටහීම් කොට ඇත්තේය. දුකට වස්තුවන හෙයින් දුක්ඛ නම් වේ. එහෙයින් කියනු ලැබේ:-
“යං යං පත්ථයමානානං තස්ස තස්ස අලාභතො
යං විඝාතමයං දුක්ඛං සත්තානං ඉධ ජායති
යං විඝාතමයං දුක්ඛං සත්තානං ඉධ ජායති
අලබ්භනෙය්ය වත්ථුනං පත්ථනා තස්ස කාරණං
යස්මා තස්මා ජිනො දුක්ඛං ඉච්ඡිතාලාභමබ්රවී’’ති
යස්මා තස්මා ජිනො දුක්ඛං ඉච්ඡිතාලාභමබ්රවී’’ති
යමක් යමක් ප්රාර්ත්ථනා කරන්නවුනට ඒ ඒ දෙය නොලැබීමෙන් ඉච්ඡාවිඝාතමය (කැමැති දෙය නොලැබීමෙන් උපන්) දුකෙක් වේද, යම් හෙයකින් එම දුකට හේතුව නොලදහැකි දෙය පැතීම වේද, එහෙයින් ජනයන් වහන්සේ එය ඉච්ඡිතාලාභ දුක්ඛ (කැමති වන දෙය නොලැබීමෙන් ඇතිවන දුක) යයි පැවසූ සේක.
මේ ඉච්ඡිතාලාභය පිළිබඳ විනිශ්චයයි.
පඤ්චුපාදානක්ඛන්ධා
සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා යන මෙහි:-
ජාතිප්පභූතිකං දුක්ඛං යං වුත්තමිධ තාදිනා
අවුත්තං යඤ්ච තං සබ්බං විනා එතෙන විජ්ජති
අවුත්තං යඤ්ච තං සබ්බං විනා එතෙන විජ්ජති
යස්මා තස්මා උපාදානක්ඛන්ධා සංඛෙපතො ඉමෙ
දුක්ඛාති වුත්තා දුක්ඛන්ත දෙසකෙන මහෙසිනා
දුක්ඛාති වුත්තා දුක්ඛන්ත දෙසකෙන මහෙසිනා
තත්වදර්ශී (තතුදත්) වූ, දුඃඛාන්ත-දේශක (නිර්වාණය දේශනා කළා) වූ මහර්ෂීන් වහන්සේ විසින් ප්රකාශ කරන ලද ජාති ආදී වූ යම් දුඃඛසත්යයක් වේද, යම් හෙයකින් එයින් බැහැරවූ (විශේෂ කොට) ප්රකාශ නොකරන ලද යමක් ඇත්නම් ඒ සියල්ල ගෙන, “සංක්ෂේපයෙන් මේ උපාදානස්කන්ධයෝ දුඃඛයහ”යි ප්රකාශ කරන ලදි.
ඒ එසේමැයි, ගින්න දර සෙයින්ද, ආයුධ ඉලක්කය සෙයින්ද, මැසිමදුරු ආදීන් ගවසිරුරක් සෙයින්ද, ගොයම් කපන්නන් කෙතක් සෙයින්ද, ගම්පහරන්නන් ගමක් සෙයින්ද, ජාති ආදීහු උපාදානස්කන්ධ පඤ්චකයම නන් අයුරින් පෙළමින්, භූමියෙහි තෘණලතාදිය මෙන්ද, ගස්වල මල්පලු පල මෙන්ද, උපාදානස්කන්ධයන් තුළම උපදිති. උපාදානස්කන්ධයන්ගේද ආරම්භයෙහි වූ දුක ඉපැදීමයි. මධ්යයෙහි වූ දුක ජරාවයි. අවසන්හි වූ දුක මරණයයි. මරණය දුක් පීඩා මගින් දවන දුක ශෝකයයි. එම ශෝකය ඉවසනු නොහැකිව මෙන් දොඩමලු කරවන දුක පරිදේවය (වැලපීම) යි, ඉක්බිතිව ධාතූන්ගේ කැළඹීම යයි කියනු ලබන අහිතකර ස්පර්ශයන්ගේ එක්වීමේ හේතුවෙන් කය රෝගීබවට පත් කරවන දුක ‘දුක්ඛ’ යයි, එය හේතු කොට ගෙන පෘථග්ජනයන් තුළ ද්වේෂය ඉපැදීමෙන් සිත රෝගී කරවන දුක දෝමනස්සයයි. ශෝකාදිය දැනීමෙන් උපන් කලකිරීම (වැලපීම් මගින්) ප්රකට නොවන දුක උපායාසයයි. බලාපොරොත්තු කඩවූවන් තුළ අපේක්ෂාභංගත්වය නිසා ඇතිවන දුක ඉච්ඡිතාලාභය (පතන දෙය නොලැබීම) යි. මෙසේ නන් අයුරින් පිරික්සනු ලබන විට පංච උපාදානස්කන්ධයෝම දුක්ඛ නම් වෙති. යම් හෙයකින් මේ දුඃඛස්වභාවය එකක් එකක් ගෙන හැර දක්වමින් කියනු ලබතොත්, කල්පගණනාවෙකින් වුවද කියා නිම කළ නොහැකි වේද, එහෙයින් එම සියලු දුක් එක් දිය බිඳුවෙක මුළු මහත් මුහුදු දියෙහි (ලුණු) රසය මෙන් පංච උපාදානස්කන්ධයන් තුළ පිඬු කොට දක්වනු පිණිස භාග්යවතුන් වහන්සේ “සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”යි පැවසූ සේක. මේ උපාදානස්කන්ධයන් පිළිබඳ විනිශ්චයයි
දුක්ඛ නිද්දේසනය මෙසේ පළමුකොට දක්වන ලදි.
සමුදයනිද්දෙසකථා
සමුදය නිද්දෙසයෙහි වනාහි, යායං තණ්හා යනු, යම් මේ තෘෂ්ණාවක් වේද එයයි. පොනොභවිකා යනු, නැවත නැවත ඉපැදීම කරවනුයේ පුනබ්භවයි. පුනබ්භවය ස්වභාව කොට ඇත්තේ පොනොභවිකයි. නන්දිරාගයෙන් යුක්ත වූයේ නන්දිරාගසහගතායි. අරුත් වශයෙන් නන්දි (සතොස් බවින් සිත ඉපිලෙන ස්වභාව සහිත) රාගය හා සමග සමාන බවට ගියේයයි කී නියායි. තත්රතත්රාභිනන්දිනී යනු, යම් යම් තැනෙක ආත්මභාවය උපදිද ඒ ඒ තැන සොම්නසින් බැඳීමයි. සෙය්යථිදං යනු, නිපාතයි. ඒ කවරක්දැයි යනු එහි අර්ත්ථයි. කාමතණ්හා, භවතණ්හා විභවතණ්හා යන මෙය පටිච්චසමුප්පාද නිද්දේසයෙහි මතු විස්තර වේ; මෙහි වනාහි, ත්රිවිධ වූම තෘෂ්ණාව දුඃඛ සත්යය උපදවති’යි යන අර්ත්ථයෙන් එකක් කොට ගෙන දුක්ඛ-සමුදය- අරියසච්චයයි කියනලද බව දතයුතුය.
නිරොධනිද්දෙසකථා
දුක්ඛ නිරෝධ නිද්දේසයෙහි “යො තස්සායෙව තණ්හාය’’ යන ආදී වශයෙන් සමුදය නිරෝධය කියන ලදි. ඒ කවර හෙයින්ද යත්, සමුදය නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වේ. සමුදය නිරෝධයෙන්ම දුක නැතිවේ. සමුදය නිරෝධයෙන්ම මිස අන් ලෙසකින් දුක නිරුද්ධ නොවේ. එහෙයින් කීහු:-
“යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ
ජින්නොපි රුක්ඛො පුනරෙව රූහති
එවං හි තණ්භානුසයෙ අනූහතෙ
නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං”ති
ජින්නොපි රුක්ඛො පුනරෙව රූහති
එවං හි තණ්භානුසයෙ අනූහතෙ
නිබ්බත්තතී දුක්ඛමිදං පුනප්පුනං”ති
යම්සේ මුල නිරුපද්රැතව දැඩිව තිබියදී ගසක් කපන ලද්දේ නමුදු එය නැවතත් වැඩේද, එසේම මුල් බැසගත් තෘෂ්ණාව නොනසන ලද තාක් මේ දුක යලි යලිත් හටගනියි.
මෙසේ, යම් හෙයකින් සමුදය නිරෝධයෙන්ම දුක් නිරුද්ධ වේද, එහෙයින් භාග්යවතුන්වහන්සේ දුක්ඛ නිරෝධය දේශනා කරන සේක් සමුදය නිරෝධය මගින්ම දේශනා කළ සේක. තථාගතවරයෝ වනාහි, සිංහයනට සමාන පැවතුම් ඇත්තාහුය. ඔවුහු දුක වලකන්නාහුද, දුක්ඛ නිරෝධය දෙසන්නාහුද (දුකට) හේතුව මිස ඵලය වෙත යොමු නොවෙති; තීර්ථකයෝ වනාහි, ශුනකයනට බඳු පැවතුම් ඇත්තාහුය. ඔවුහු දුක් වලක්වන්නහුද, දුඃඛනිරොධය දෙසන්නාහුද අත්තකිලමථානු යෝගාදිය දෙසීමෙන් ඵලය (එනම්, දුක) වෙතම මිස හේතුව වෙත යොමු නොවෙති. දුඃඛ නිරෝධය සමුදය නිරෝධය වශයෙන් දේශනා කිරීමේ ප්රයෝජනය මේ නයින් දතයුතුය.
මේ අර්ත්ථයයි: තස්සායෙව තණ්හාය යනු, පෝනෝභවිකයයි පවසා කාමතණ්හාදී වශයෙන් විග්රහ කොට දන ලද තණ්හාවෙහිය; විරාග යනුවෙන් පැවසෙනුයේ මාර්ගයයි. විරාගය හේතුකොට විමුක්තිය වෙතැ’යි කියනලදි; විරාග හේතුවෙන් නිරුද්ධවීම විරාග නිරෝධයයි; ප්රකෘති සිද්ධ කාමරාගාදී ක්ලේශයන්ගේ සමූලඝාත වශයෙන් කිසිවක් ඉතිරි නොවූ විරාග නිරෝධය අසේසවිරාග නිරෝධයයි. නොහොත්:- විරාග යනු ප්රහාණයයි කියනු ලැබේ. එහෙයින් අවශේෂ වශයෙන් ප්රහාණය අසේස විරාගයයිද අසේස නිරෝධයයිද යෙදෙතැ’යි දතයුතුය. අරුත් වශයෙන් වනාහි මෙකී සියල්ලම නිර්වාණයෙහිම පර්යාය වචනයි. පරමාර්ත්ථ වශයෙන් නිර්වාණය දුඃඛ නිරෝධ අරිය සච්ච යනුවෙන් වහරනු ලැබේ; යම් හෙයකින් වනාහි එයට පැමිණ තෘෂ්ණාව දුරුවේද, නිරුද්ධ වේද, එහෙයින් විරාගයයිද, නිරෝධයයිද කියනු ලැබේ. තවද යම් හෙයකින් එයට පැමිණීමෙන් එම තෘෂ්ණාව හැර දැමීම ආදිය වේද, කාම ගුණයන් කෙරෙහි ඇති ඇලීම් අතුරෙන් එකද ඇලීමෙක් නොමැත්තේද එහෙයින් චාග (හැර දැමීම), පටිනිස්සග්ග (ඉවතලීම), මුත්ති (මිදීම) හා අනාලය (නො-ඇලීම) යනුවෙන්ද වහරනු ලැබේ.