6. හිස් පුරුෂය, දරුණු විෂ ඇති ආශීවිෂයක්හුගේ මුඛයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නම් මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, කෘෂ්ණ සර්පයක්හුගේ මුඛයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ නො මැනැවි. හිස් පුරුෂය, ඇවිලගත්, හාත්පසින් ඇවිලගත්, ගිනිදැල් සහිත වූ අඟුරුවළෙක ස්වකීය අඞ්ගජාතය බහාලන ලද්දේ මැනැවි. වැඳිරියගේ අඞ්ගජාතයෙහි ස්වකීය අඞ්ගජාතය බහා ලන ලද්දේ නො මැනැවි. ඒ කවර හෙයින? යත්: හිස් පුරුෂය, ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණය වැනි දුකකට හෝ පැමිණෙන්නේ ය. ඒ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුගති වූ විවස ව පතිත වන්නා වූ නිරයට නො පැමිණෙන්නේ ය. හිස් පුරුෂය, මේ හේතුවෙන් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට පිහිට වූ විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ ය.
7. හිස් පුරුෂය, මෙහි තෝ මෙබඳු වූ සාවද්ය කර්මයෙහි, ගම්වැසියන්ගේ ස්වභාවයක් වූ, නීචජනයන්ගේ ස්වභාවයක් වූ, ලාමක පුරුෂයන්ගේ ස්වභාවයක් වූ, රාගාදි කෙලෙසින් දූෂිත වූ, දියකිස අවසන් කොට ඇත්තා වූ, රහසේ කටයුතු වූ, දෙදෙනෙකුන් දෙදෙනෙකුන්ගේ සමවැදීමක් වූ, යම් මෙවුන්දම් සෙවීමකට සමවන්නෙහි ද, හිස් පුරුෂය, මෙය නො පැහැදුනවුන්ගේ පැහැදීම පිණිස ද, පැහැදුනවුන්ගේ වැඩියක් පැහැදීම පිණිස ද නො වෙයි. හිස් පුරුෂය, වැලිදු මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිස ද, පැහැදුනා වූ ඇතැමුන්ගේ අන්යථාත්වය පිණිස ද වෙයි”.
8. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ මහණහට නොයෙක් ලෙසින් ගරහා දුභර බව්හි ද, දුකසේ පෝෂණය කට හැකි බව්හි ද, මහත් ආශා ඇති බව්හි ද, ලද දෙයකින් සතුටු නො වීමෙහි ද, සමූහයා කෙරෙහි ඇලීමෙහි ද, කුසීත බව්හි ද අගුණ වදාරා, නොයෙක් කරුණින් සුභර බව්හි ද, සුවසේ පෝෂණය කටහැකි බව්හි ද, අපිස් බව්හි ද, සතොස් බව්හි ද, සැහැල්ලු බව්හි ද, සංලේඛයෙහි ද, ප්රසාද එළවීමෙහි ද, කෙලෙස් සංසිඳුවීමෙහි ද, වීර්ය්යාරම්භයෙහි ද ගුණ වදාරා, භික්ෂූන්ට එතැනට සුදුසු වූ ද, එයට අනුලොම් වූ ද, දැහැමි කථාවක් කොට භික්ෂූන් ඇමතූ සේක:
9. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝයාගේ හිත සුව පිණිස, සඞ්ඝයාගේ පහසුව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්රහය පිණිස, ප්රියශීල භික්ෂූන්ගේ පහසු විහරණය පිණිස, මෙලොව දී විය හැකි විපත් දුරු කිරීම පිණිස, පරලොව දී වන දුක් නැසීම පිණිස, නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස, පහන් වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස, සද්ධර්මයාගේ චිරස්ථිතිය පිණිස, විනයානුග්රහය පිණිස, භික්ෂූන්ට සිකපදයක් පණවන්නෙමි. මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් යටත් පිරිසෙයින් තිරිසන් ගිය මාගමක් හා ද මෙවුන්දම් සෙවියේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ, සංඝයා හා සමාන සංවාස රහිතයෙක් වේ.”
භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මෙසේත් මේ ශික්ෂාපදය පණවන ලද්දේ වෙයි.
[දෙවැනි පැණවීමයි.]
මක්කටී වස්තුව නිමි.
සන්ථත බණවර
1. එසමයෙහි විසල්පුර වැසි බොහෝ වජ්ජිපුත්ර භික්ෂුහු රිසි තාක් වැළඳුවාහු ය. රිසි තාක් ශයනය කළාහු ය. රිසි තාක් නෑවාහු ය. රිසි තාක් අනුභව කොට, රිසි තාක් ශයනය කොට, රිසි තාක් නා, නුනුවණින් මෙනෙහි කොට, පාතිමොක්ඛසංවර සඞ්ඛ්යාත ශික්ෂාව පිළිකෙව් නො කොට, සාජීවයෙහි දුබල බව පහළ නො කොට, මෙවුන්දම් සෙවියාහු ය. ඒ භික්ෂුහු පසු කාලයෙහි ඥාතිව්යසනයෙන් ද පහස්නා ලද්දාහු, භෝගව්යසනයෙන් ද පහස්නා ලද්දාහු, රෝගව්යසනයෙන් ද පහස්නා ලද්දාහු, ආයුෂ්මත් ආනන්ද තෙරුන් කරා එළඹ මෙසේ කියත්: “වහන්ස, ආනන්ද ස්ථවිරයෙනි, අපි බුදුරජුන්ට දොස් නො කියන්නමෝ වමු. ධර්මයට දොස් නොකියන්නමෝ වමු. සඞ්ඝයාට දොස් නොකියන්නමෝ වමු. වහන්ස, ආනන්ද ස්ථවිරයෙනි, අපි තමන්ට ම ගර්හා කරන්නමෝ වමු. අපි මෙරමා ගරහන්නමෝ නො වමු. යම්බඳු වූ අපි මෙසේ මැනැවින් දෙසූ ශාසනයෙහි පැවැදි ව දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැක්කමෝ වූමු ද, ඒ අපි ම කාලකණ්ණි වමු. අපි ම මද පිණැත්තමෝ වමු. වහන්ස, ආනන්ද ස්ථවිරයෙනි, ඉදින් දැනුදු අපි භාග්යවතුන් වහන්සේ ලඟ පැවිද්ද ලබන්නමු නම් උපසම්පදාව ලබන්නමු නම් යෙහෙක. දැනුත් අපි මහද්ගත කුශල ධර්මයන් විදර්ශනා වශයෙන් වඩන්නමෝ පෙර යම හා පැසුළු යම බෝධිපාක්ෂික ධර්ම වැඩීමෙහි එක්වන් යෙදුනමෝ ව වාසය කරන්නමු. වහන්ස, ආනන්ද ස්ථවිරයෙනි, භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කරන්නහු නම් යෙහෙකි” යනු යි “ඇවැත්නි, එසේ යැ”යි වදාරා ආයුෂ්මත් වූ ආනන්ද ස්ථවිර තෙමේ විසල් පුරවැසි වජ්ජිපුත්රක භික්ෂූන්ට පිළිවදන් දී භාග්යවතුන් වහන්සේ වෙත එළඹ එපවත් සැළ කෙළේ ය.