කයින් සංවරය මැනවි. වචනයෙන් සංවරය මැනවි. සිතින් සංවරය මැනවි. හැම තන්හි සංවරය මැනවි. හැම තන්හි සංවෘත වූ ලජ්ජා ඇත්තේ රැකුනේ ය යි කියනු ලැබේ.
3. 1. 6.
අප්පකා සූත්රය
117. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස: මෙහි රහසිගත ව එකලා ව හුන් මගේ සිත්හි මෙබඳු විතර්කයෙක් පහළ විය. යම් කෙනෙක් ප්රණීත වූත් බොහෝ වූත් මහත් මහත් භෝගයන් ලැබ නො ම මත් වෙත් ද, නො ම පමා වෙත් ද, කාමයන්හි ගිජුබවටත් නො ද පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් වරදවා නො පිළිපදිද්ද, ඒ සත්වයෝ ලොව ස්වල්පයහ. වැලිදු යම් කෙනෙක් ප්රණීත වූත් බොහෝ වූත් මහත් මහත් භෝගයන් ලැබ මත් වෙත් ද, පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවටත් පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් වරදවා පිළිපදිද්ද, මේ සත්වයෝ ම ලොව ඉතා බොහෝහ.
මහරජ, එසේ ය. මහරජ, එසේ ය. මහරජ, යම් කෙනෙක් ප්රණීතවූත් බොහෝ වූත් තෙල මහත් මහත් භෝගයන් ලැබ නො ම මත් වෙද්ද, නො ම පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවට නො ද මහත් මහත් පැමිණෙද්ද, සතුන් කෙරෙහිත් නො ද වරදවා පිළිපදිද් ද, ඒ සත්වයෝ ලොව ඉතා ස්වල්පයහ. වැලිදු යම් කෙනෙක් ප්රණීත වූත් බොහෝ වූත් භෝගයන් ලැබ මත් වෙද්ද, පමාත් වෙද්ද, කාමයන්හි ගිජුබවටත් පැමිණෙත් ද, සතුන් කෙරෙහිත් වරදවා පිළිපදිද්ද, ඒ සත්වයෝ ම ලොව ඉතා බොහෝහ.
කාමවස්තූන්හි ඇලුනු කාමයන්හි ගිජු වූ මුසපත් වූ සත්වයෝ කුසල් සීමාව ඉක්ම යෑම නො දනිත්. දමන ලද පාසය නො දන්නා මුවන් මෙනි. පසු ව ඔවුන්ට දුක වෙයි. එහි විපාකය ඒකාන්තයෙන් ලාමක ය යි.
3. 1. 7.
අත්ථකරණ සූත්රය
118. සැවැත්නුවර–
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේට තෙල සැළ කළේ ය. වහන්ස: මෙහි මම විනිශ්චයාසනයෙහි හුන්නෙම් අඪ්ය වූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ වූ මනවඩන දෑ ඇති බොහෝ ධනධ්යාන ඇති කැත් මහසලුන් ද, බමුණු මහසලුන් ද, ගැහැවි මහසලුන් ද කාමයන් හේතු කොට ගෙණ කාමයන් නිදාන කොට ගෙණ කාමයන් කරුණු කොට ගෙණ දැන දැන මුසා බණන්නවුන් දකිමි. වහන්ස, ඒ මට “දන් මා විසින් නඩු විසඳීමෙන් කම් නැත. දැන් නඩුහලෙහි සොඳුරුමුව ඇත්තෙක් නො පෙණේ ය” යි මේ අදහස විය.
මහරජ අඪ්යවූ මහද්ධන ඇති මහත් භෝග ඇති බොහෝ වූ රන්රිදී ඇති බොහෝ වූ මනවඩන වස්තූපකරණ ඇති බොහෝ වූ ධනධ්යාන ඇති යම් ඒ කැත්මහසල්ලුත්, බමුණු මහසල්ලුත්, ගැහැවි මහසල්ලුත් කාමයන් හේතු කොට ගෙණ කාමයන් නිදාන කොට ගෙණ කාමයන් කරුණු කොට ගෙණ දැන දැන මුසා බෙණෙද්ද, ඔවුන්ට එය බොහෝ කලක් මුළුල්ලෙහි අහිත පිණිස දුක් පිණිස වන්නේ ය.
කාමවස්තූන්හි ඇලුනු කාමයන්හි ගිජු වූ මුසපත් වූ සත්වයෝ කුසල් ඉම ඉක්ම යෑම නො දනිත්. අටවන ලද කෙමිනට තමන් වදනා බව නො දන්නා මසුන් මෙනි. පසු ව ඔවුන්ට දුක වේ. එහි විපාකය ඒකාන්තයෙන් ලාමක ය.
3. 1. 8.
මල්ලිකා සූත්රය
119. සැවැත්නුවර–
එකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකාදේවිය සමග උතුම් පහයෙහි මතුමහලට ගියේ වෙයි. ඉක්බිති පසේනදි කොසොල් රජ මල්ලිකා දේවියට “මල්ලිකාවෙනි, තමහට වඩා ඉතා ප්රිය වූ අන් කිසිවෙක් තොපට ඇද්දැ” යි තෙල කී ය.