පාලි වාක්‍ය රචනාව හා පරිවර්තන පරිචය - පොල්වත්තේ බුද්ධදත්ත හිමි 1947.pdf

කතෘ :
පොල්වත්තේ බුද්ධදත්ත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1947
මුද්‍රිත වර්ෂය :
1947
පිටු ගණන :
133
බාගත කිරීම් ගණන :
1,416
වෙබ් අඩවියට එක් කළ දිනය :
2023-02-18
ගොනුවේ ප්‍රමාණය :
18 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 67

පාලිවාක්‍ය රචනාව හා පරිවර්තනපරිචය යනු අග්ගමහා පණ්ඩිත අම්බලම්ගොඩ පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රාචීන භාෂා ශිෂ්‍යයන් සඳහා වන අගනා අත්පොතකි. මීට පෙර උන්වහන්සේ සම්පාදනය කළ ‘පාලිවාක්‍ය විවේචනය’ නම් කෘතියේ පිටපත් අවසන් වූ පසු, භාෂා පරිවර්තනය සඳහා වන අභ්‍යාස ද එක්කොට පිළිවෙළ වෙනස් කරමින් 1947 වසරේදී මෙම කෘතිය සම්පාදනය කර ඇත.

ප්‍රාචීන විභාග ආදියට පෙනී සිටින සිසුන්ට සිංහලයෙන් පාලියට සහ පාලියෙන් සිංහලට වාක්‍ය පරිවර්තනය කිරීමේදී හා පාලි බසින් වාක්‍ය රචනා කිරීමේදී ඇති වන අපහසුතා මඟහරවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි. පොතෙහි වාක්‍ය වර්ග, විශේෂණ පද, ලිංග පරිවර්තන, සාමාන්‍ය කථෝපකථන, කෙටිකතා හා පුවත් පාලියට පරිවර්තනය කිරීම, පාලි භාෂාරීතිය, පාලියෙන් පෞද්ගලික ලිපි ලිවීම ආදී විවිධ අංශ විස්තර කෙරේ.

මීට අමතරව ක්‍රියාමාලාවක්, නිපාත මාලාවක්, අන්‍යෝන්‍ය විරුද්ධාර්ථ පද, යුගල ශබ්ද මෙන්ම පිටුපසින් සිංහල-පාලි වචන මාලාවක්ද (ශබ්දකෝෂයක්) ඇතුළත් කර ඇත. මෙම මුද්‍රණය 1947 දී මරදානේ සාහිත්‍ය මුද්‍රණාලයේ මුද්‍රණය කරවා අම්බලම්ගොඩ පොල්වත්තේ ඇස්. කේ. චන්ද්‍රතිලක මහතා විසින් පළකරන ලද්දකි.

හඳුන්වාදීම

ස්වභාෂාව නොවූ බසක් ඉගෙන ඒ භාෂාවෙන් වාක්‍යරචනා කිරීම කාටවුවත් අපහසු වැඩකි. එහෙත් ඉංග්‍රීසි වාක්‍යරචනාව මුලසිටම පුහුණු කරවීම සඳහා ඒ පාඨශාලාවල උපක්‍රම යොදාතිබේ. ඒ සඳහා අප්‍රමාණ පොත්ද ඒ බසින් සම්පාදිතව තිබෙත්. පාලි භාෂාවේ වාක්‍යරචනාව ඉගැන්වීම ඉතා මෑතකදී පටන්ගන්නා ලද්දකි. මාගේ “පාලිභාෂාවතරණය” වාක්‍යරචනාව මුල්කොට සම්පාදිතවුවකි. එහෙත් එය භාෂාවක් ව්‍යාකරණානුකූලව ඉගැන්වීම සඳහාත් අදහස්කරන ලද්දක් බැවින් වාක්‍යරචනාවට ඕනෑ සියලු දේ එහි දැක්වීමට අවකාශ නැත. ප්‍රාචීනභාෂෝපකාර සමිතියේ විභාගවලට පෙනී සිටින ශිෂ්‍යයන් වාක්‍යරචනාවලින් බොහෝසේ අසමර්ථවනබව නොයෙක් විට අසන්ට ලැබේ. එයට උපකාරවන අත්පොතක් නොතිබුණු බැවින් මා විසින් මින් අවුරුදු 14 කට උඩදී “පාලිවාක්‍ය විවේචනය” නම් පොතක් සම්පාදිත විය. ඒ පොතේ පිටපත් අවසන්වූ විට එය නැවත සකස් කිරීමේදී භාෂාපරිවර්තනය සඳහාත් කොටසක් එක්කළයුතු බව පෙනීගිය නිසා ඒ පොතේ පිළිවෙළ වෙනස්කොට මේ “පාලිවාක්‍යරචනාව හා පරිවර්තනපරිචය” නමැති පොත සකස් කරනලදී.

පාලිය සිංහලට පෙරළාගැනීම පහසු නමුත් සිංහලය පාලියට පෙරළීම එතරම් පහසු නොවේ. එබැවින් පරිවර්තනපරිචයේ මුල් කොටසෙහි සාමාන්‍ය කථාව්‍යවහාරයෙහි පවත්නා කරුණු මුල්කොට යෙදූ කෙටි සිංහල වාක්‍යයන් පාලියට නගන සැටි දක්වා ඊට අනතුරුව කෙටිකථා නගන සැටි දක්වනලදී. ඊටත් පසුම තරමක් දික්වූ ප්‍රවෘත්ති සිංහලෙන් දක්වා ඒවා පාලියට නගා පෙන්වන ලදහ. එසේ යෙදූ කුඩා කථා දශයකි. අන්‍යප්‍රවෘත්ති ඇතුළත් දීර්ඝ වාක්‍ය කොටස් 13 කි. එයින් නොනැවතී පාලියෙන් පෞද්ගලික ලිපි ගලපන සැටිද මෙහි 65 වෙනි පිටේ සිට දක්වන ලදී.

සිංහලභාෂාරීතිය ඇතැම් තැනකදී පාලිභාෂාරීතිය හා නොගැළපෙන බැවින් පාලිභාෂාරීතිය දක්වන කොටසක් මෙහි 69 පිටේ සිට ඇතුළත්කොට තිබේ.

එයට අනතුරුව ක්‍රියාමාලාවක් යොදා එක් එක් ක්‍රියාවේ වර්තමාන පදයද ප්‍රමුඛක්‍රියාවද අතීතකෘදන්තපදයද එක් එක් පෙළෙහි දක්වනලදී. සිංහලයෙහි යුගල වශයෙන් යෙදෙන “ගස්-කොළන්, තොවිල්-පවිල්” ආදිය මෙන් පාලියෙහිත් යුගල වශයෙන් යෙදෙන ශබ්ද ඇති බැවින් ඒවා හැකිතරමක් එක්කොට මෙහි පිටුවල දක්වනලදී. එයට අනතුරුව අන්‍යෝන්‍යවිරුද්ධාර්ථ ඇති ශබ්දයන්ගේ වචනමාලාවකි.

සොයාගතහැකිවූ නිපාත සියල්ලම සිංහල අර්ථ සහිතකොට අකාරාදි පිළිවෙළින් මෙහි යොදා ඇත.

මෙසේ ආධුනිකයන්ට වාක්‍යරචනාවට හා භාෂාපරිවර්තනයට දියහැකි හැම රුකුලක්ම මේ පොතෙන් දෙනලදැයි සැලකියහැක.

“පාලිවාක්‍යවිවේචන” පොතේ ඇතුළත්කර තිබුණු වාක්‍ය විච්ඡේදය පිළිබඳ කොටස පාලිභාෂාවතරණයේ තෙවෙනි පොතේ අභිනව සංස්කරණයෙහි ඇතුළත් කළබව මෙයින් දැනුම්දෙමි.

මීට,
අම්බලම්ගොඩ අග්ගාරාමාධිපති පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිර.
5. 5. 1947.