සිංහල නාම සහ ආඛ්‍යාත වරනැගිල්ල - අබිලිනු සමරවීර 1909.pdf
- කතෘ :
- අබිලිනු සමරවීර
- ප්‍රකාශිත වර්ෂය :
- 1909
- මුද්‍රිත වර්ෂය :
- 1909
- පිටු ගණන :
- 50
- බාගත කිරීම් ගණන :
- 1,003
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2023-02-18
- ගොනුවේ ප්‍රමාණය :
- 21 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
Sinhala Nama Waranegilla AND Akhyata Waranegilla (සිංහල නාම වරනැගිල්ල සහ ආඛ්‍යාත වරනැගිල්ල) යනු සිංහල භාෂාවේ නාම පද සහ ක්‍රියා පද වරනැගීමේ රීති විස්තරාත්මකව දැක්වීම සඳහා වල්පොළ දොන් අබිලිනු සමරවීර (Don Abilinu Samaraweera) මහතා විසින් සම්පාදනය කරන ලද ව්‍යාකරණ ග්රන්ථයකි.
දොරණගොඩ සදානන්ද පිරිවෙනේ පරිවේණාධිපතිව වැඩවිසූ ගිරිදර රතනජෝති ස්ථවිරයන් වහන්සේගේ අනුශාසනා හා උපදෙස් ඇතිව සකස් කරන ලද මෙම කෘතියෙන් සිංහල, පාලි සහ සංස්කෘත භාෂා ආශ්රිත නාම පද වරනැගීම් මෙන්ම ආඛ්‍යාත රූප සාධනය සිදුවන ආකාරය විදහා දක්වයි. එකල සිංහල ව්‍යාකරණ ඉගෙනුමෙහි යෙදුණු ආධුනිකයන් සඳහා මනා අත්වැලක් සපයමින් සිදත් සඟරාව, පදනීතිය ආදී සම්භාව්‍ය ව්‍යාකරණ ග්රන්ථ හැදෑරීමට පෙර මූලික අභ්‍යාසයක් ලෙස භාවිත කිරීමට මෙය සම්පාදනය කර ඇත.
මෙම කෘතිය බුද්ධ වර්ෂ 2451 (ක්‍රි.ව. 1909) දී ඩී. ආර්. ජයවර්ධන මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, මුද්‍රණය සේව්යශ්රී (Sevyasri) මුද්‍රණාලයේදී සිදු කර තිබේ.
සිංහල ශබ්ද මාලාව සහ ක්‍රියා මාලාව.
ප්රාකෘතවූ දෙශභාෂායයි ප්‍රභවකොට ඇති සිංහල භාෂාතොමෝ අමිශ්‍ර සිංහලය මිශ්‍ර සිංහලයයි ද්විප්රභෙද වන්නීය. මාගධ සංස්කෘතාදි භාෂාන්තර ශබ්ද හා මිශ්රනුවූ සිංහලභාෂාව අමිශ්රසිංහල හෙවත් ශුද්ධසිංහල නම් වේ. භාෂාන්තර ශබ්ද හා මිශ්‍රවූ ඒ භාෂාව මිශ්රසිංහල නම් වේ. එබැවින් සිංහලව්යාකරණශාස්ත්රයද භූයොව්යාවෘතියෙන් මාගධ සංස්කෘත ව්යාකරණානුගත වේමය. එසේ හෙයින් තදධ්යාපනයද තදනුකූලකොටම කටයුතු නමුත් සිංහලව්යාකරණ ඉගැන්වීම පිණිස නියමිතවූ පුස්තකපරම්පරාවක් අවිද්‍යමානය, නොයෙක් නාමාඛ්‍යාත වරනැගිලි පළමුකොට පුහුණුකරවා බාලාවතාර කච්චායනාදි පිළිවෙළින් මාගධ ව්‍යාකරණයත් සාරස්වත මුග්ධබොධාදි පිළිවෙළින් සංස්කෘත ව්‍යාකරණයත් උගන්වන්නාක්මෙන් නිශ්චයකරගත් පුස්තක පටිපාටියක් නොමැත්තේය. එබැවින් ඇතැම් ආචාර්ය්ය ශිෂ්‍ය කෙනෙක් සිදත්සඟරා මාර්ගයෙන්ද ඇතැම් කෙනෙක් ස්වභාෂා පාඨශාලීය (නවීන) ව්‍යාකරණ පුස්තක මාර්ගයෙන්ද ඉගැන්වීම් ඉගෙනීම් කෙරෙති. එසේ පවත්වන අධ්‍යයන අධ්‍යාපන දෙකම පහසු පිළිවෙළකැයි නොහැඟේ. නොහොත් සිදත් සඟරාවේ විභක්ත්යධිකාරය ප්‍රගුණ කරවීමෙන් නාමවරනැගිල්ලත් ක්රියාධිකාරය ප්‍රගුණ කරවීමෙන් ක්රියාවරනැගිල්ලත් පිළිවෙළින් අවබෝධ කරවීම කිරීම පහසුයයි පිළිගත නොහැකිය. ස්වභාෂාපාඨශාලීය පොත්වල දක්වා තිබෙන වරනැගිලි ක්‍රමයත් අතිසංක්ෂිප්ත බැවින් එයින් ඉගැන්වීමද පහසුයයි නොහැඟේ. මෙසේවීම සිංහල ව්යාකරණාධ්යයනයෙහි නියුක්ත ආධුනිකයන්ගේ ඥාණාභිවෘද්ධියට අත්‍යන්ත බාධාවක් බැවින් ඒ වලක්වාලීම පිණිස සම්පූර්ණ වරනැගිලි ග්රන්ථයක් සඞ්ග්රහකොට ප්‍රසිද්ධ කළහොත් එය ගරුසභාචරණීය ලෝකානුග්රහයක් වේයයි දොරණගොඩ සදානන්දපරිවෙණාධිපති ගිරිදර රතනජොත්යාභිධාන ස්ථවිර ස්වාමිපාදයන්වහන්සේගෙන් ලැබුණු අවසරය හා උපදේශ නිමිති කොට මෙම ශබ්දමාලාව සහ ක්රියාමාලාවත් අප දැනුම් පමණින් මෙසේ සඞ්ග්රහකොට යථොක්ත ආචාර්ය්ය පාදයන් වහන්සේලවාම උපනාභිරීක්ෂිතොද්දොප ධරණයෙන් සකස්කරවාගෙන මෙසේ ප්‍රසිද්ධියට පමුණුවාලිමු.
සිංහල ශබ්දප්රකෘතිය ස්වරන්ත හලන්තයයි ද්විවිධවන බැවින් මෙම ශබ්දමාලාව බොහෝ සෙයින් සංස්කෘත ශබ්දමාලානුගත වේමය. එකබස බුහුබස යන දෙබසට වරනැගෙන බැවින් මාගධ ශබ්දමාලාවට අනුගත වනබැව්ද ගතයුතුය. ක්රියාමාලාවද සමහර කරුණුවලින් සමානනොවන නමුත් වචනපුරුෂාදි ඇතැම් ක්‍රම වලින් සමානවේයයි කියයුතුය. ශබ්දමාලාව ජාත්‍යාදි ශබ්ද පක්ෂකය සහ ලිඞ්ගත්රයද අරමුණුකොට සඞ්ග්රහකළ බැවින් ස්වරන්ත පුංලිඞ්ග ජාතිශබ්දගණයෙහි පටන් ස්වරන්ත ස්ත්‍රීලිඞ්ග සංඥාශබ්ද ගණය දක්වා අධිකාරපසකින් සහ කාණ්ඩ සුවිස්සකින්ද ප්‍රධාන ශබ්ද දෙසියඑකුන්විස්සකින් හා සමානාධිකරණ ශබ්ද සත්සිය තෙතිසකින්ද සමාප්තවූයේය. ක්රියාමාලාවත් එසේම පිස පිසීමෙහි වස විසීමෙහි යන ධාතු අරමුණුකොට ක්‍රියාපද වරනැගීමෙන් යුක්තස්ථානයෙහි පිරිසිඳීමින් කාණ්ඩවශයෙන්ම ගලපනලද්දේය.
ශබ්දයන්ගේ වරනැගීම විංශතිව්යාකරණය අතුරෙන් සංඛ්‍යා දෙශවිපරීර්ය්යාවර්ණලොපඅවිද්යමානවිධ්යාදි බොහෝ ව්යාකරණක්රමවලින් සිද්ධවන නමුත් අපි මෙහි ප්‍රධාන වශයෙන් සන්ධි විධිය පමණක් ඒ ඒ ශබ්දොදයෙහි දක්වමින් මෙම ග්රන්ථ නිර්ර්මාණ කෙළෙමු. තවද මිශ්රසිංහලභාෂාව්යවහාරයෙහිදී පාළි සංස්කෘතාදි භාෂාන්තරශබ්දයන්ගේ සම්බන්ධය බොහෝ සෙයින් ලැබෙන බැවින් ඒවා සිංහලක්රමයෙන් වරනැගෙන පිළිවෙළ දක්වන පිණිස පාළි සංස්කෘත ශබ්දකොටසක්ද අන්තරාන්තරයෙහි වරනගා දැක්වීමු.
සිංහල භාෂාවේ ලිඞ්ගභේදය දෙයාකාරයයි සිදත් සඟරාවේ දැක්වූ නමුත් ජාතිශබ්දගණයෙන් පිටත් ද්‍රව්‍යගුණ සංඥාදි සමහර අචේතන ශබ්ද වරනැගෙන කල රූපභේදයක් හැඟෙන බැවින් පාළි සංස්කෘත භාෂාවන්හි ක්ලීවලිඞ්ගික ශබ්දවලින් බිඳී ආ අචෙතනශබ්ද නපුංසක ලිඞ්ගාධිකාරවශයෙන් වෙන් වෙන්කොට දැක්වීමු. රූපභේදයක් නැතිව පුමලිඞ්ගරූපයෙන්ම වරනැගෙන එවැනි ශබ්ද නොහොත් තද්භව ක්ලීවලිඞ්ග අචෙතන ශබ්දයෝද එහිම අන්තර්ගතයහයි ගතයුතුය. ඒ එසේ නමුත් පුමලිඞ්ග රුවන්දැල් ආදි ශබ්දහා ඉතිරිලිඞ්ග පවස් බිම් ආදි බොහෝ ශබ්ද රූපභේදයක් නොමැතිව සමානරූපයෙන් වරනැගෙන බැවින් රූපභේදයම සලකා ලිඞ්ගනියමය කිරීම පහසුයයි නොහැඟේ. සිංහල භාෂාවේ ලිඞ්ගානුශාසනය පිණිස කරනලද විශේෂ ග්රන්ථයක්* නොමැති බැවින් තද්භව තත්සම ශබ්දයන්ගේ ලිඞ්ගනියමය ඒ ඒ භාෂාසම්බන්ධ නාමලිඞ්ගානුශාසනාපොත්වලින්ම කටයුතුයයි හැඟේ. සිංහලභාෂාවෙහි ලැබෙන නිෂ්පන්නශබ්දයන්ගේ ලිඞ්ගනියමය දැනගැනීමටත් එව්වියරණෙන් විශේෂපීනිතක් නොමැති බැවින් මාගධසංස්කෘතශාස්ත්රානුසාරයෙන් නොහොත් එමලිඞ්ගානුශාසනාවිධියෙන්ම දතයුතුබැව් කියයුතුය.
පණන් හදන් යුත් පවසනුයේ පුමලිඟුවේ සභයොන් සතුන් කියවූ සදවේ ඉතිරිලිඟු නම්.
යන මේ උපාධ්යසූත්රයෙන් දක්වනලද්දේ ජාතිශාබ්දිකලිඞ්ගභෙදය බැවිනුත් ජාති (ප්‍රාණවාචි) ශබ්ද වරනැගීමේදී නපුංසකරූපභෙදයක් නොපෙනෙන බැවිනුත් එම ශබ්දගණය පුංස්ත්රීලිඞ්ග දෙක්හි සඞ්ග්රහකොට එයින් පිටත් අප්රාණිවාචි අචෙතන ශබ්ද ත්රිලිඞ්ගයෙහි සඞ්ග්රහකොට වරනැගීම සුදුසුයයි හැඟෙන බැවිනුත් ස්වභාෂා පාඨශාලීය සමහර ව්‍යාකරණ පොත්වලත් මෙම අදහස මෙසේම දක්වා තිබෙන බැවිනුත් අපේ මේ යෙදීම සිදත් සඟරාව හරුනොකිරීමකැයි නොගතයුතුය.
මෙහි ශබ්දප්රකෘති සම්බන්ධ ලිඞ්ගනියමය කරගැනීම පිණිස බොහෝ සෙයින් අභිධානප්පදීපිකාසූචිය සහ ශබ්දස්තොම මහානිධියත් ඇසුරුකළ බැවින් ඇතැම් විටක පාළි සංස්කෘත භාෂා දෙකේ අසාම්යයකින් හෝ වෙනයම් හේතුවකින් හෝ අභිධානප්පදීපිකා අමරකොෂාදියට සමාන නොවන යෙදීමක් සිදුවී තිබුණිනම් එය විමසිය යුතුබැව් කියමු.
පාළි සංස්කෘත භාෂාන්තරගත භාවක්රියාශබ්ද නපුංසකලිඞ්ගිකයයි එහි දැක්වූ බැවින් ඒවා සිංහල ව්‍යාකරණයෙහි පුමලිඟුසඞ්ඛ්යාවට ඇතුළත් කරනු පිණිස—යනු එනු මැගුම් ඈ භවිකිරිය සදවේ පුමරුත්—යනු සිදත් සඟරාවේ වදාළ බැවින් අපිදු මෙහි භාවක්‍රියා ශබ්ද පුමලිඟු සඞ්ඛ්‍යාවටම ඇතුළත් කෙළෙමු. නමුත් මාතෘභාෂාවන්හි ක්ලීවලිඞ්ගික ශබ්දවලින් තද්භවවූ ගනු දෙනු බොනු පිදුම් යැදීම් බොඳුන් යනාදි ශබ්ද ක්ලීවලිඞ්ග සංඛ්‍යාවටම ඇතුළත් කර ගැනීම සුදුසුයයි හැඟේ.
මෙම ග්රන්ථ නිර්ර්මාණයේදී සිදත්සඟරාව සහ එහි සන්නද ශබ්දානුශාසනය පදනීතිය සිංහලව්යාකරණය එළුඅකාරාදිය පාළි සංස්කෘත වරනැගිලි සහ එම නිඝණ්ඩු කොෂාදිය ආධාර කරගත් බවද මෙහි කලාපයක් (පෝර්මයක්) සකස්කොට ලියා මුද්රාණක්ෂණයට යවා එය මුද්‍රණය කරන අතර ඊට අනතුරුකලාපය සකස්කොට යැවීම් වශයෙන් ඉතාම යුහුසුලු ස්වභාවකින් මෙය මුද්‍රණය කරවූ බැවින් හා ලෞකිකඥානානුසාරිසම්පන්නයන් විසින් කරනලද මෙවැනි ග්රන්ථයන්හි ප්රමාදප්රමාදයෙන් ජනිතවූ දොෂදූෂිතස්ථාන විද්‍යමාන වියහැකි නමුත් ඒවා පළමුවෙනිවර මුද්‍රණයෙන්ම නිරාකරණය නොකළහැකි බැවිනුත් දෙවෙනිවර මුද්‍රණයේදී එබඳුතැන් පරීක්ෂාකොට ශුද්ධියට පමුණුවා සකස්කරන බවද මෙයින් නිවේදනය කරමු.
තවද එළුව ඉගෙනගනු කැමැති ආධුනිකයන්ට පළමුකොට මෙම ශබ්ද මාලාවෙන් නාමශබ්ද වරනැගෙන පිළිවෙළත් ක්‍රියා මාලාවෙන් ක්රියාපදවරනැගෙන පිළිවෙළත් උගන්වා තදනන්තරව ශබ්දානුශාසනය පදනීතිය සිංහලව්යාකරණය ආදි යම්කිසි පොතකින් හැකිපමණ අවිශෙෂ ව්‍යාකරණ උගන්වා ඉන්පසු සිදත්සඟරා විංශති ව්‍යාකරණය ඉගැන්වියයුතුය. අතරතුර කුසදාවත ගුත්තිල කාව්‍යය සසඳාව පොත් කාව්යශෙඛරය සසදාවත මුවදෙව්දාවත එළුඡන්දය සියබස් ලකර ආදි කාව්යපොත් සහ ථූපවංශය අමාවතුර බුත්සරණය සද්ධර්ම රත්නාවලිය ධර්මප්රදීපිකාව ආදි වාසගම් පොත් අතරෙන් ඔවුනොවුන්ගේ ධාරණශක්තියේ ප්‍රමාණය සලකා යම් යම් පොත් ප්‍රගුණ කරවීම සව්යාකරණසිංහලභාෂාව පුහුණු කරවීමට සුදුසු පිළිවෙළකැයි කියයුතුය.
එබැවින් මෙම පිළිවෙළින් ආධුනිකයන්ගේ සිංහල භාෂාතත්ව විජානනයෙහි සාමර්ථ්‍යය වඩිනාවේ ඒ හේතුවෙන්ම අප භාෂාව කිරිමුහුදවන් සදරැස්මෙන් දිප්තිමත්ව චිරස්ථායි වේවයි ආශිංසනය කරමු.
මෙහි සියලු අයිතිවාසිකම් කර්තෘවෙතම තබාගත්බව ප්රකාශකරමු.
මෙච්චිටව, දොන් අබිලිනු සමරවීර.
වර්ෂ 1909 ක්වූ මාර්තු මස 3 වෙනි දින වල්පොළදීය. උඩුගම්පළ.
දොන් අබිලිනු සමරවීර. වර්ෂ 1909 ක්වූ මාර්තු මස 3 වෙනි දින වල්පොළදීය. උඩුගම්පළ.