ධර්මාචාර්ය විභාගය 4 විනය හා පාලි භාෂාව.pdf
- කතෘ :
- යටගම ධම්මපාල හිමි, එච්. එම්. මොරටුවවගම
- ප්‍රකාශිත වර්ෂය :
- 2011
- මුද්‍රිත වර්ෂය :
- 2011
- පිටු ගණන :
- 181
- බාගත කිරීම් ගණන :
- 8,638
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2015-11-08
- ගොනුවේ ප්‍රමාණය :
- 82 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මෙම කෘතිය බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ නව නිර්දේශය යටතේ හදාරනු ලබන “බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂාව” විෂය සඳහා සම්පාදනය කරන ලද නිල පෙළපොතකි. රාජකීය පණ්ඩිත යටගම ධම්මපාල හිමියන් සහ එච්. එම්. මොරටුවවගම මහතා විසින් රචිත මෙය බුද්ධශාසන අමාත්‍යාංශයේ සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් 2011 වසරේදී ප්‍රකාශයට පත් කර ඇත.
මෙහි අන්තර්ගතය ප්‍රධාන කොටස් හතරකින් යුක්ත වේ:
- I කොටස : බෞද්ධ විනය මාර්ගය - භික්ෂු සමාජයේ ප්රභවය, පබ්බජ්ජා හා උපසම්පදාව, ශික්ෂාකාමී විනය නීති, ප්රාතිමෝක්ෂය, උපෝසථය, වස් විසීම, පවාරණය, කඨිනය සහ අධිකරණ ක්‍රම.
- II කොටස : සූත්රධර්ම - සිඟාලෝවාද, ව්යග්ඝපජ්ජ, පරාභව, ධම්මික සහ මංගල යන සූත්‍රයන්හි පෙළ හා සිංහල අර්ථ විවරණ.
- III කොටස : ධම්මපදය - යමක, චිත්ත, බාල, පණ්ඩිත ආදී ප්‍රධාන වග්ග 12 ක ගාථා සහ අර්ථ.
- IV කොටස : ජාතක කථා - සාලිකේදාර, සත්තිගුම්බ, තිත්තිර, මහාකපි ආදී ජාතක කථාවල පාලි පෙළ සහ සිංහල අනුවාදය.
දහම් පාසල් ධර්මාචාර්ය විභාගාපේක්ෂකයන්ට මෙන්ම පාලි භාෂාව සහ මූලික බෞද්ධ විනය කරුණු අධ්‍යයනය කරන විද්‍යාර්ථීන්ට ද ප්‍රයෝජනවත් අත්පොතකි.
පෙර වදන
බෞද්ධ ධර්මාචාර්ය විභාගය කලෙක පටන් ශ්‍රී ලංකා ජනරජයේ විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන නමුත්, ඒ සඳහා අවශ්‍ය පාඨග්‍රන්ථ මෙතෙක් සකස්ව නොතිබීම නිසා විභාගාපේක්ෂකයන්ට මහත් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු වී තිබිණ. එය දුරුකරලනු වස් බුද්ධශාසන අමාත්‍යාංශයේ හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය පරිදි තත් පරීක්ෂණයේ නව නිර්දේශමාලාව යටතේ සැපයෙන ග්රන්ථමාලාවෙහි “බෞද්ධ විනයමාර්ගය හා පාලිභාෂා පරිචය” නම් වූ මේ ග්‍රන්ථය සම්පාදනය වී ඇත.
ග්‍රන්ථයේ පළමු කොටස වන ‘බෞද්ධ විනයමාර්ගය’ අනුමාතෘකා දහයක් යටතේ රචනා වී තිබේ. බුදුරජාණන් වහන්සේ විසින් ඇති කර වදාළ පරමාදර්ශී භික්ෂු සමාජයේ ගමන් මග මේ මාතෘකා යටතේ සැකෙවින් හෙළිකර දෙයි. සමකාලීන ශ්රමණගණයා අතුරෙන් බෞද්ධ භික්ෂු සමාජයක් ප්‍රභව වී සංවර්ධනයට පත් වන ආකාරයත්, සෙසු ශ්රමණගණයා අතර දක්නට ලැබුණු විවිධ දුර්වලතා බැහැර කෙරෙමින් “අප්පසන්නානං වා පසාදාය, පසන්නානං වා භිය්‍යෝභාවාය” යන ආදර්ශපාඨයට මුල් තැනක් දෙමින් බෞද්ධ භික්ෂුව ඉදිරියෙන් ගමන් කරන ආකාරයත් නවක භික්ෂූන් විසින් පහසුවෙන් ග්‍රහණය කළ හැකි අයුරින් ඉදිරිපත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය. භික්ෂු ජීවිතයේ ආභිසමාචාරික ශික්ෂණය වෙසෙසින් ව්‍යවස්ථාගත කෙරෙනුයේ ඛන්ධක මගින් නිසා මෙහි මාතෘකා වැඩි කොටසකට පසුබිම වූයේ විනයපිටකයේ ඛන්ධක කොටසයි. භික්ෂුවිනය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් අපේක්ෂා කරන විද්‍යාර්ථීන් විසින් ඒ සඳහා විනය පිටකය මෙන්ම සූත්‍රපිටකය ද අවශ්‍යයෙන්ම පරිශීලනය කළයුතු වේ.
ජාතකට්ඨකථාවෙහි එන විවිධ ප්රස්තුතයන් කෙරෙහි නැඹුරු වූ කථා අතුරෙන් තෝරා ගනු ලැබූ කථා පහක පෙළ හා සිංහල අනුවාදය මෙහි සිව්වැනි කොටසට අන්තර්ගත වේ. ඒවා වෙසෙසින් තෝරා ගෙන ඇත්තේ ‘මවට උපස්ථාන කිරීම, වැඩිහිටියන් පිදීම, ඥාතීන්ට සංග්‍රහ කිරීම, අසීමිත ඉල්ලීම තිරිසනුන්ගේ පවා අමනාපයට හේතුවන බව, බුදුරදුන් කෙරෙහි දෙව්දතුන්ගේ වෛරය යන ජනප්‍රිය තේමාවන් කීපයක් ආවරණය කෙරෙන අයුරිනි. අනුවාදය ඇසුරෙන් පාලිය තේරුම් ගැනීමට පහසු වන ලෙසින් පෙළට ඉතා ආසන්නව නියමිත ජාතකකථා සරල සිංහලයට නඟා ඇත. අර්ථාවබෝධය හා සමාන්තරව භාෂා හැදෑරීමේ කාර්යය එමගින් වඩා පහසුවෙන් සිදු වනු ඇතැයි හඟිමු.
සූත්රධර්ම වශයෙන් මෙහි අන්තර්ගත කොට ඇත්තේ පොදුවේ ගිහිජීවිතය සේ හැඳින්වෙන සූත්‍ර පහකි. බාලවියේ පටන් පෞද්ගලික හා සමාජ ජීවිතය අර්ථවත් පරිදි හැඩගසාගැනීමට අදාළ වන වැදගත් උපදේශ ඒවායේ ඇතුළත් ය. අධ්‍යාපනය, ප්‍රයෝගික ශිල්පඥානය ආර්ථික සමෘද්ධිය, සමාජ සම්බන්ධතා මෙන් ම ආධ්‍යාත්මික දියුණුව ද පිළිබඳව මෙම සූත්‍රවල ඉගැන්වෙන උපදෙස් අනුගමනය කිරීමෙන් සාර්ථක ලෞකික ජීවිතයක් ගත කිරීමට මෙන්ම සංසාරික දුකින් විමුක්තව නිවන් සුව සාධනය කර ගැනීමට ද හැකි වෙයි.
ධම්මපදයේ වග්ග දොළොසකින් තෝරා ගත් ගාථා සමුච්චයක් ද මේ පොතේ ඇතුළත් ය. ජීවිතය සාර්ථක කර ගැනීමට මෙන් ම ජීවන ගැටළු විසඳා ගැනීමට ද අදාළ උපදෙස් ඇතුළත් ග්රන්ථ අතුරින් ධම්මපදය අග්‍රගණ්‍ය බව අමුතුවෙන් කිව මනා නො වේ. ලොව විවිධ භාෂාවලින් දහස්වරකටත් වඩා පළ වී ඇති ධම්මපදය කියවන හැම වරකම නව්‍යත්වයක් දැනෙන හෙයින් හස්තසාර වස්තුවක් බවට පත්ව තිබේ.
බෞද්ධ ධර්මාචාර්ය විභාගය සඳහා නව නිර්දේශානුරූපව සකස් වූ මෙ ග්‍රන්ථය හුදෙක් දැනුම වර්ධනය සඳහා පමණක් නොව තම පෞද්ගලික හා සාමාජික ජීවිතය අර්ථවත් කරගනු පිණිස ද උපයෝගී කර ගත්තේ නම් රජයේත් අපගේත් අභිලාෂය වඩාත් උත්තරීතර අයුරින් මස්තකප්රාප්ත වූවා වෙයි.
යටගම ධම්මපාල ස්ථවිර
එච්. එම්. මොරටුවවගම