ව්‍යාකරණ විවරණය - මුනිදාස කුමාරණතුංග 1937.pdf

කතෘ :
කුමාරතුංග මුනිදාස
ප්‍රකාශිත වර්ෂය :
1948
මුද්‍රිත වර්ෂය :
1948
පිටු ගණන :
432
බාගත කිරීම් ගණන :
3,435
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-08-04
ගොනුවේ ප්‍රමාණය :
34 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 217

ව්‍යාකරණ විවරණය යනු කුමාරතුංග මුනිදාසයන් විසින් සම්පාදිත ප්‍රමුඛතම සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයකි. සිංහල භාෂාවේ අනන්‍යතාව රැකෙන පරිදි පාලි හෝ සංස්කෘත ව්‍යාකරණවලට ගැති නොවී, භාෂා ව්‍යවහාරය මූලික කරගනිමින් මෙම ග්‍රන්ථය රචනා කර තිබේ.

මෙහි අඩංගු දෙවන සැකැස්මේ සංඥාපනය ජයන්ත වීරසේකරයන් විසින් ලියා ඇති අතර, මුනිදාස කුමාරතුංගයන්ගේ අභාවයෙන් පසු උන්වහන්සේගේ අත්පොත් හා ‘සුබස’ සඟරාවේ පළවූ අදහස් ආශ්‍රයෙන් මෙම දෙවන මුද්‍රණය සංශෝධනය කර සකස් කොට ඇත (බුද්ධ වර්ෂ 2491 / ක්‍රි.ව. 1948).

ග්‍රන්ථය ප්‍රධාන අධිකාර ගණනාවකින් සමන්විත වන අතර ශබ්ද, අක්ෂර, සන්ධි, නාම, ක්‍රියා සහ කෘදන්ත ආදී සිංහල භාෂා ව්‍යාකරණ නීති හා රීතීන් ක්‍රමානුකූලව විග්‍රහ කෙරේ.

සංඥාපනය

රීතියක් නීතියක් නැති ජන සමාජය මෙන් මැ භාෂාව ද අවුලින් අවුලට වැටෙයි. සිංහල භාෂාවට මේ විපත්තිය එළැඹ සිටී. වළකන ප්‍රයත්නයක් දැන් මැ වුව මනා යැ.

දැන් දැන් ඇතැමෙකු ව්‍යාකරණය අනවශ්‍ය කොටැ සලකන්නා සේ පෙනේ. අජීර්ණයෙන් පෙළෙන්නාට ආහාරය කරදරයෙකි. ශබරයාට වස්ත්‍රය සිනාවට කාරණයෙකි. ඒ නයින් බලන කලැ, ව්‍යාකරණය නුරුස්නවුන් ඇති වීම පුදුමයෙක් නො වේ. එහෙත් ශිෂ්ට වූ ජන සමාජයේ භාෂාවට ව්‍යාකරණය අතිශයින් අවශ්‍ය යැ. සමාජ නීති කඩන්නට අවසර ඇත් නම්, සාහසිකයෝ සතුටින් ඉපිලෙති. ඔවුන් ගේ සතුට හෝ පහසුව හෝ සලකා සමාජ නීති කැඩීම වරදක් නොවන සේ සලකන්නට වුව හොත්, ශිෂ්ට සමාජයේ කෙළවර එ තැනින් ඇරැඹේ. භාෂා නීති කඩන්නට අවසර ඇත් නම්, නොදන්නෝ ද සතුටින් ඉපිලෙති. ඉන් රටට ජාතියට වන වැඩක් සඳහා නො වේ. දන්නවුනුත් නොදන්නවුනුත් එක ගණයට වැටීමට එයින් මග පෑදෙන බැවින්, තමන් ගේ නොදත් කම් දෙයස වසාගන්නා සඳහා යැ. පිනුම් නොදන්නවුන් පිනීමට වැදීම ද, අවි සිප් නොදන්නවුන් යුදට එළැඹීම ද, සිනාවට මැ හේතු වෙයි. කැටුම් ගැයුම් වැයුම් ආදි සියල්ලෙහි ද, රීතිය ඒ මැ යැ. එහෙත් මේ රටැ වනාහි භාෂා රීති නීති ආදියෙහි ලා වෙනසෙක් වේ. නොදැනීම පණ්ඩිත කම යැ. දැනීම විහිළුවෙකි.

‘ව්‍යාකරණය නැති වැ භාෂාව උගත හැකි යැ’ යි කියන්නෝ ද වෙති. ඔහු මුසාවක් මැ කියති. ගුරුයන් ගේ පත-පොත කියවා බලා ඔවුන් යෙදූ සේ මැ බස යොදන්නෝ වෙත් මැ යි. එසේ යොදන්නවුන් ව්‍යාකරණය නොදත් හ යි සිතීම බලවත් මුළාවෙකි. ‘ව්‍යාකරණය, ව්‍යාකරණය’ යැයි මහ හඬ නගමින් ඔවුන් භාෂා රීති නීති නූගත් බව නම් සැබෑ යැ. එහෙත් ඒ බව නොදැනැ මැ භාෂා රීති නීති යොදන්නට පුරුදු වූ හ. කළ පුරුද්ද ඇසූ පුරුද්දට වඩා සිය ගුණයෙකින් අගනේ යැ. එකෙක් වඩු කම පිළිබඳ පොත් සියයක් මැ උගත්තේ යැ. අනෙකෙක් සමත් වඩුවකු වෙතැ ස මසක් පුරුදු වූයේ යැ. මේ දෙ දෙනා ගෙන් කවරෙක් හොඳ පුටුවක් තනා ද? කවරෙක් සැබැවින් මැ වඩු කම දනී ද? වෙද කමට පරිහාස කරන්නෙක් එක්තරා ආබාධයෙකින් පෙළෙනුයේ අමු-අමුවේ මැ බෙලි බුදී, සකස් නො කොටැ මැ අරළු බුදී, ‘කිසි කලෙකැ බෙහෙදක් නුබුදිමි’ යි වනයි ද බෙණේ. සකුරෙහි මැද ලා දුන් නො-මිහිරි බෙහෙදක් ගිලැ, ‘සකුරු මිසැ බෙහෙත් නො කෑමි’යි දොඩන බිළිඳු ඔහු නො පරදවයි. සකල ව්‍යාකරණ ශාස්ත්‍රය ගැබ් කොටැ සැපැයූ ග්‍රන්ථයක් හදාරා එයට අනුවැ වැකි සැපැයීමට පුරුදු වැ, ‘මම ව්‍යාකරණය නො ඉගෙනැ මැ වැකි සපයමි’ යි දොඩන රැවටිල්ලහු කෙසේ නම් පරදවා ද?

ඉංගිරිසියෙහි ව්‍යාකරණයක් නුගන්වති යි කියමින් සමහරු සිංහලයෙහි ද ව්‍යාකරණය නුගන්වන්නට බලයි. ‘ව්‍යාකරණය, ව්‍යාකරණය’ යැයි මහ හඬ නගමින්, ප්‍රයෝගයෙන් වෙන් කොටැ - මූගතා ගොඩ ගසා - ලූ නීරස පද රීති මාලාවක් ඉංගිරිසියෙහි නුගන්වන බව සැබෑ යැ. එහෙත් ඉංගිරිසි උගන්නෝ ද, තමන් එ සේ කරන බවක් නොදැනැ මැ ව්‍යාකරණය මැනැවින් පුරුදු කෙරෙති, යන්තම් තුන් හැවිරිදි වූ තැන් පටන් මරණය දක්වා මැ පුරුදු කෙරෙති. භාෂාව නිවැරැදි ලෙසැ යෙදීමේ ශක්තිය ලබන්නට එ මැ මද යැ? සිංහලයන් අතරෙහි වනාහි එ බඳු මඟක් ආයාසයෙන් ඉංගිරිසිය අවුලා-ගත්තෝ ද, දෙ තුන් දිනෙකින් සකල සිංහල භාෂාභ්‍යාස රසචරණයට පැමිණෙන්නට සිතා, එසේ නො කළ හැකි වැ, ඉංගිරිසිය පමණ සිංහලය පහසු නො වෙතියි පවසත්. වරද කො තන්හි වේ ද? දස වසක් මුළුල්ලේ පුරුදු වැ යන්තම් බේර පදයක් වයන්නට පොහොසත් වූවකු එක් දෙ දිනක් වීණාව දෙස බලා ඉඳැ, එ පමණෙකින් මැ වීණාව වාදනයෙහි සමත් බව නො ලැබුණැ යි මිණීම නො යෙදේ නු?

ප්‍රයෝග මාර්ගයෙන් මැ ව්‍යාකරණය ඉගැනීම යැ ප්‍රශස්ත. එහෙත් නීති ග්‍රන්ථ හෙවත් ව්‍යාකරණ ග්‍රන්ථ නුවුව මනා යැයි නො කියැ යුතු. ප්‍රයෝගය විවිධ වෙයි. ඇතැම් විටැ ග්‍රන්ථ කාරයා ප්‍රමාදයෙන් හෝ ප්‍රමාදයෙන් හෝ වරද ද කෙරෙයි. එ බඳු තන්හි පිහිට වනුවස් ව්‍යාකරණ ග්‍රන්ථය යි. ප්‍රයෝග මාර්ගයෙන් මැ ව්‍යාකරණාවබෝධය කිරීමට ඉතා දිගු කලෙක් වේ. ව්‍යාකරණ ග්‍රන්ථයෙකැ වහල ලත් කලැ එයට අනූයේ ඉතා සුළු කලෙක. ව්‍යාකරණ ග්‍රන්ථයෙක් නම්, සකල වාක්‍යප්‍රයෝගයන් මැනැවින් විමැසුවකු ගේ විනිශ්චය යි. එ බඳු විනිශ්චයෙකින් ආධුනිකයනට ඇති වියැ හැකි පහසුව නො වැනියැ හැකි තරම් යැ.

ලෝකයෙහි ඉතා උසස් අප්‍රමාණ භාෂා කොතෙකුත් ඇති වියැ හැකි යැ, ඒගැ ව්‍යාකරණය අතිනිර්මල වියැ හැකි යැ. සිංහල භාෂාවේ ව්‍යාකරණය හෙළි කිරීමෙහි දී සැලැකියැ යුත්තේ ඒ එකෙකුත් නො වේ. ව්‍යාකරණය ඒ ඒ භාෂාවේ ව්‍යවහාරයෙන් විනිශ්චය කරනු ලැබේ. එහෙයින් ව්‍යාකරණ කාරයා විසින් කළ යුත්තේ තමා ව්‍යාකරණය සපයන භාෂාවේ ව්‍යවහාරය බලා, අල්ලා, පීරා, කිරා, මිනුම් කොටැ දැක්වීම යි.

බොහෝ සිංහල ව්‍යාකරණ කාරයෝ ස්ව භාෂාවට ව්‍යාකරණය සපයන්නට අන්‍ය භාෂාවලැ ව්‍යාකරණය ප්‍රමාණ කොටැ-ගත් හ. ඔවුන් ගත් මිම්ම පාලි සංස්කෘත ව්‍යාකරණය යි. ඒ මිම්මට සරි ලන ලෙසක් කරන්නට ගිය හෙයින්, ඔවුන් ගේ ව්‍යාකරණය බෙහෙවින් මැ සිංහල තත්ත්වය වළඳන්නට වහල් වී යැ. සිදත් සඟරාවත් එයට පරිවර කොටැ සැපැයුණු අන්‍ය ග්‍රන්ථත් මේ බව මැනැවින් පෙන්වා-ලයි.

අපි මෙහි ලා අප ගේ භාෂාව මැ ප්‍රමාණ කළම්හ. සිංහල රීතියට එකඟ කොටැ සපයන ලද එක ග්‍රන්ථය පවා, ඉතා උසස් පාලි සංස්කෘත ග්‍රන්ථ සියයකට ද වඩා, අපට වහල් වියැ. සිංහලයෙහි යම් රීතියෙක් වේ නම්, එය අන්‍ය මහා භාෂාවලැ ඇති වීම් හෝ නොවීම් හෝ අපට සැලැකිල්ලට කරුණක් නො වී යැ. සිංහලයට මැ උරුම වූ රීති අපට වඩා ලා මැ උසස් සේ පෙනිණ. එහෙත් පර සාම්‍යය දක්වන තැන් ඒ හේතුවෙන් අපි නො වැළැකුම්හ. සෙසු සියලු විනිශ්චය කාරයන් මෙන්, ව්‍යාකරණ කාරයා ද සතර අගතියෙන් දුරු වියැ යුත්තෙක් යැ.

ජාතියේ ඉතිහාසය හෝ භාෂාවේ ඉතිහාසය හෝ ව්‍යාකරණාංගයෙක් නො වේ. ඒ පිළිබඳ දීර්ඝ පරිච්ඡේදයන් ලියා ව්‍යාකරණ ග්‍රන්ථයක් විශාල කිරීම අපරාධයෙකි. එ බඳු අපරාධයක් කිරීමට අපි නො පෙළෙඹුණෙමහ. ස්ව භාෂාවේ ප්‍රකෘති අන්‍ය කවර කවර භාෂාවලින් පැමිණියේ ද යනු විනිශ්චය කරන ලෙසක් හැඟැවීමත් නුසුදුසු යැ. මෙහි එ බඳු හැඟැවීමෙක් නො කැරිණ. මඳ කරුණෙක් කියැවිණි නම්, ඒ මේ කී නුසුදුසු බව හෙළි කරනු සඳහා යැ.

මති-මාත්‍ර වූයෙක් මෙහි නො වී. එහෙත් අන්‍ය ව්‍යාකරණ කාරයන් නොදැක්වූ දැ බෙහෙවින් පැවැසේ.

පුරාතන වූ හෝ නූතන වූ හෝ ව්‍යවහාරයෙන් ලබන ලද තන්හි අන්‍ය ව්‍යාකරණ කාරයන් ගේ කියුම් නො සලකා, ඇති රීති හෙළි කරන්නට කිසි සේත් මැළි නුවූවු මෙ කීපයෙකි:—

(1) එක් එක් වර්ගයේ ශබ්ද සතෙකි (15 පිට) (2) මහා ප්‍රාණ වියැ හැකි සප්‍රාණ ශබ්ද පමණෙකි (19 පිට) (3) අනුනාසික (24 පිට) (4) ස්පර්ශී පසෙකි (27 පිට) (5) නම්‍ය අනම්‍ය භාවය (29 පිට) (6) ශබ්ද සංවිධාන (සන්ධි) ක්‍රම දෙළොස (31 පිට) (7) ඝෝෂාගමය (46 පිට) (8) ස්වර සමීකරණය (48 පිට) (9) ෂණ්‍යය (58 පිට) (10) සබිඳුන ප්‍රකෘතිය (78, 309, 357, 363 පිට) (11) සප්ත විධ සර්ව නාම (94 පිට) (12) අෂ්ට නාම විභක්ති ගණ (107 පිට) (13) ත්‍රිවිධ ක්‍රියා ප්‍රමාණය (177 පිට) (14) ද්විස්වභාව නාම (186 පිට) (15) විෂය වාචක නාම විශේෂණ (192 පිට) (16) නාම පදයේ චතුර්විධ යෝගය (197 පිට) (17) ධාතු ගණ සය (217 පිට) (18) අනතීත අතීත කාල භේදය (234 පිට) (19) ෂඩ්විධ විභක්ති (246 පිට) (20) සාක්‍යායී ආක්‍යායී නිපාත (282 පිට) (21) චතුර්විධ සාක්‍යායී (283 පිට) (22) චතුර්විධ අක්‍යායී (300 පිට) (23) ත්‍රිවිංශද් තද්ධිත ප්‍රත්‍යය (311 පිට) (24) චතුර්විධ කෘදන්ත නාම (322 පිට) (25) චතුර්විධ සබිඳුන නාම විග්‍රහය (351 පිට) (26) සමාස ධාතු (361 පිට)

සිංහලයන් පරමෝත්තම ගුණයෙකැ යි සිතා ගනන්-නැතින් වැළැඳැ-ගන්නා දුර්ගුණයෙක් වෙයි. එ නම්, හරි හෝ වේ වා, වැරැදි හෝ වේ වා, පුරාණ වූ මතයට ගෞරව කිරීම යි. පුරාණත්වය මැ ගෞරවයට එක හේතුව කැරැ-ගැන්ම මනුෂ්‍යත්වයට නිගාවෙකි. ගුණය නූතන වුව ද ගුණයෙකි. දෝෂය පුරාතන වුව ද දෝෂයෙකි. පුරාතන වූ දෝෂය නූතන වූ දෝෂයට ද වඩා බලවත් යැ. කවර හෙයින් ද? ඇති වූ තැන් පටන් මෙ තෙක් මැ දෝෂධර්මයෙන් පැවැතැ අසාධ්‍ය භාවයට පැමිණි හෙයිනි. එ බඳු දෝෂ අද ද නො හැරැ බදා-ගෙනැ හිඳීමෙන් ජාතියේ දුර්වල භාවය ප්‍රකාශ වේ. එ තරම් දුර්වල ජාතියෙකැ නිර්මාණ ශක්තිය ඇත්තෝ කෙසේ නම් වැවෙත් ද? විචාරකයෝ කෙසේ නම් පිහිට ලබත් ද?

ඇතැම් විටැ සිංහලයන් පුරාණ මතය හැරැ-දමන බවෙක් ද පෙනේ. අභාග්‍යයකට මෙන්, බෙහෙවින් එසේ කරනුයේ හැරැ-දමන පුරාණ මතය නිවැරැදි ද, ඇඳැ-ගන්නා නවීන මතය වැරැදි ද වන තන්හි යැ. එක් නිදර්ශනයක් ගනිමු. පුරාතනයෝ මෙ රට එක්තරා ගමක් ‘සේරුවාවිල’ නමින් දත් හ, ප්‍රතිකාලි පොත්හුත් එය මැ ලියූ හ, කථා ව්‍යවහාරයෙහි දු එය මැ ඉඩ දුන්හ. ‘ඇතුගල’, ‘ආඳාගල’, ‘ඉබ්බාගල’, ‘සෙංගානගල’, ‘යකුන්දෙස්සාගල’ යනාදි නොයෙක් තැනින් ශිෂ්ට සම්ප්‍රදායය ද හෙළි වෙයි. එහෙත් දැන් ‘සේරුවිල’ යන සම්ප්‍රදායය විරෝධ නාමයට බලය ලා දෙන බවෙකි පෙනෙනුයේ. කවර වරදක් දැකැ ද? කවර අඩුවක් පිරිමසා-ගන්නට ද? හේතු රහිත වැ මෙ බඳු දෑ නිපැදවීමට ද වඩා සිතා අවුස්සනුයේ ඇසිල්ලෙ-කුදු නො විමසා එය වහා පිළිගැනීම යි. විමසන්නකු හේතු සහිත කොටැ යුක්තියක් කී කලැ එයට ඉඳුරා විරුද්ධ වෙති. නොවිමසන්නකු හේතු රහිත කොටැ අයුක්තියක් කී කලැ එය වහා ඇඳැ බඳැ-ගනිති. ජාතියේ වර්තමාන තත්ත්වය අවබෝධ කැරැ-ගැනීමට, මේ මැ ප්‍රමාණ වෙයි. වරද සිරි සේ මැ සිටියැ දී, වැඩි දෙනා ගේ සිත් දිනා-ගැන්මට ප්‍රයත්නයක් අපි නො කෙරෙමු. වැටැහෙන පරිදි ඇත්ත මැ එළියේ ලමු.

සිංහලයෙහි අබිඟ සම්පූර්ණ ව්‍යාකරණයක් ඇති කිරීමේ ප්‍රයත්නය අප විසින් ආරම්භ කරන ලද්දේ මෙයට හවුරුදු සත් විස්සකට පෙරැ යැ. කටුගස්තොටෙහි පාඨශාලාවේ ශිෂ්‍ය පන්තියකට සිදත් සඟරාව උගන්වමින් සිටි අපට දිනක් ප්‍රශ්නයක් උපන්නේ යැ.

‘“ඒ ඉ ඊ උ ද අයු”

යන තන්හි දැක්වුණු ආඛ්‍යාත විභක්ති සතර වෙන් වෙන් වශයෙන් කවර කවර ධාතු වර්ගවලට යෙදේද?’ යනු ඒ ප්‍රශ්නය යි. ප්‍රශ්නය ඇසූ ශිෂ්‍යයාට පිළිතුරු දෙන්නට නොපොහොසත් වීමිහ. ඒ මොහොතෙහි සිටැ මැ එයට පොහොසත් වන්නට උත්සාහ කළම්හ. මේ ඒ උත්සාහයේ ප්‍රතිඵලය යි. කො තරම් සාර්ථක වී දැයි විඥයෝ විනිශ්චය කෙරෙත් වා.

සම්පූර්ණ ධාතු කෝෂය ද නිපාත කෝෂය ද මෙහි යොදන්නට පිළියෙළ කළ නමුත්, ග්‍රන්ථය සිතූ පමණට වඩා විශාල වැ ගිය හෙයින් නො යෙදිණ. අප ගේ ක්‍රියා විවරණයෙහි ධාතු කෝෂය එයි. නිපාත විවරණය ද දැන් සම්පූර්ණ යැ. එහි නිපාත කෝෂය වේ.

අලංකාරය ද ඡන්දස ද ව්‍යාකරණයෙන් බාහිර වූ ශාස්ත්‍ර යි. ඒ එක එක ඉගැන්වීමට එක් එක් විශාල ග්‍රන්ථයක් අවශ්‍ය වේ. ව්‍යාකරණය ගැනැ මැ ලියූ කලැ ග්‍රන්ථය කුඩා වේ දෝ යන බියෙන් මෙන්, ඇතැම්හු එ කී උභය ශාස්ත්‍රය පිළිබඳ කරුණු ද ව්‍යාකරණ ග්‍රන්ථයෙහි බහා-ලති. වරදෙකි. අපි එ බඳු වරදක් නො කෙරෙමු.

වරදක් මෙහි නැතැයි නො කියැ හැකි. ඉතා දිගු කලක් වැරැ වඩා ද මේ බඳු දෙයක් පළමු වන වරට කිරීමේ දී නොපෙනුණු නොසැලැකුණු දෙය් වැඳැ-ගැන්ම ස්වභාවය යි. ශාස්ත්‍රය සම්පූර්ණ භාවයට පැමිණැවීමට විඥයන් විසින් කළ යුත්තේ එ බඳු දෙස් පෙන්වා-දීම යි. ඒ, ඇතැමුන් පතන්නා සේ, අප්‍රකාශයේ ග්‍රන්ථ කාරයාට මැ පෙන්වා දීමෙන් නො වේ වා; ප්‍රවෘත්ති පත්‍ර මාර්ගයෙන් සියල්ලනට පෙන්වා දීමෙක් වේ වා. එ තන්හි නොසතුටු වන ග්‍රන්ථ කාරයා ග්‍රන්ථ කරණයට නුසුදුස්සෙකි.

මේ ග්‍රන්ථය පිළිබඳ සියලු හිමි කම් අප අයත් බව සලකත් වා.

මුනිදාස කුමාරණතුංග

2481, බිනර පුර 5, කොළඹැ දී යැ.

මුනිදාස කුමාරණතුංග
2481, බිනර පුර 5,
කොළඹැ දී යැ.

දෙ වන සැකැස්මේ සංඥාපනය.

ව්‍යාකරණ විවරණය පළමුවෙන් පළ වූවාට පසු ගුරු දෙවියන් — කුමරතුඟු මුනිදසුන් — කළ සෙවීම්වලැ උසස් පල අතුරින් ඉතා වැඩි හරියක් මේ දෙ වන සැකැස්මට ඇතුළත් කැරැ-ලන්නට ලැබීම බසත් වියරණයක් හදාරන්නවුන් ගේ මහ පිනක් මතු වීමෙන් වූ සේ සැලැකියැ හැකි යැ. මුනිදසුන් ළඟින් මැ ඇසුරු කළ කෙතෙකුන් හැටියට ද මුනිදසුන් ගේ ඉඟි දැනැ සිටියවුන් අතරෙහි ලොකු තැනක් ලබන කෙතෙකුන් හැටියට ද දැපෙන්නට අපට ඉඩ ඇති බව සැබෑ වුවත් මේ දෙ වන සැකැස්මෙහි දක්නා ලැබෙන අමුතු කරුණු අප ගේ හිතුමක්කාර කම් යැ යි නො සිතියැ යුතු. මුනිදසුන් ගේ මැ අත්-පොත ගුරු තන්හි ලා-ගෙනැ මැ යැ මේ සකස් කිරීම කරන ලද්දේ.

මුල් සැකැස්ම හා මේ සැකැස්ම හා පිරික්සීමෙන් සමාන කැරු බලන්නකුට මෙහි නොයෙක් තැනැ නොයෙක් වෙනස් කම් දැක්කැ හැකි යැ. ඒ වෙනස් කම් කො තරම් විදු-හුරු ද යනු මඳ විමැසීමෙකින් මැ හෙළි වෙයි. ව්‍යාකරණ විවරණය පළ වූවාට පසු ‘සුබස’ මඟින් මුනිදසුන් කළ එළි-දැක්වීම්වලැ සියලු හරය මෙහි වැද්දැ දෙන ලද බව කියැ යුතු වෙයි.

මෙයට පසු-පුරුදු විසින් එකතු කරන ලද ‘“නො” යෙදීම’, ‘වද පවතුව’ යන දෙ ලියැවිල්ල මැ එයට දෙස් යැ. එහෙත් මේ සැකැස්මෙහි සියලු තැන් ඒ දෙ ලියැවිල්ලෙන් ලබන උපදෙසින් සුදුසු වී ඇති බව කවරකුට වුව ද පෙනියැ යුත්තේ යැ.

බසේ අකුරු පිළිබඳ මුනිදසුන් කළ සෙවිලි කුළු ගැන්වුණේ ‘කරැ’ අකුරුවලිනි. එයට මෙහි ඉඩක් ලබා-ගැන්ම නොහැකි වීම මඳ දෙම්නසකට කරුණු යැ. එහෙත් ‘සුබසැ’ දෙ වන වෙළුමේ ඇස දුන්නාහු එය අමුත්තක් කොටැ නො ගනිති. සිය ගණන් පහරු දෙස් මෙහි වැදූ සිටී. අපවත් බසවත් ඇල්ම ඇත්තෝ කමා කෙරෙත් වා.

මෙයට,

ජයන්ත වීරසේකර

2491 බක් අව 5 මරදානේ දිරිබර්ග පෙත් මගේ නම් වර 129/4 දරන තැනැ දී යැ.

ජයන්ත වීරසේකර

2491 බක් අව 5
මරදානේ දිරිබර්ග පෙත් මගේ
නම් වර 129/4 දරන තැනැ දී යැ.