සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය 1 - ශබ්දකෝෂ සම්පාදන ආයතනය 2007.pdf

1st ed

කතෘ :
සිංහල ශබ්දකෝෂ කාර්යාංශය
ප්‍රකාශිත වර්ෂය :
2007
මුද්‍රිත වර්ෂය :
2007
පිටු ගණන :
1,188
බාගත කිරීම් ගණන :
2,987
වෙබ් අඩවියට එක් කළ දිනය :
2022-07-04
ගොනුවේ ප්‍රමාණය :
365 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 595

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය (ප්‍රථම භාගය: අ - න්‍යායාලය) යනු සිංහල ශබ්දකෝෂ කාර්යාංශය මඟින් සම්පාදනය කර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් 2007 වර්ෂයේ දී මුද්‍රණය කරවන ලද ප්‍රශස්ත ශබ්දකෝෂයකි. වෙළුම් 26කින් යුත් සිංහල - සිංහල මහා ශබ්දකෝෂය වැඩි පාඨක පිරිසකට පරිහරණය කිරීමේ දී මතු වන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා සාමාන්‍ය පාඨකයාගේ ප්‍රයෝජනය උදෙසා මෙම සංක්ෂිප්ත සංස්කරණය සම්පාදනය කරන ලදී.

මෙහි ආරම්භය 1992 දී ආචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ සහ ආචාර්ය පණ්ඩිත හොරණ වජිරඥාන නායක හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවූ අතර, පසුව මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සහ මහාචාර්ය විනී විතාරණ ආදී විද්වතුන්ගේ සංස්කාරකත්වයෙන් විවිධ ආකෘතිමය වෙනස්කම්වලට ලක්වෙමින් පැවත අවසානයේ මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන ප්‍රධාන කර්තෘත්වයෙන් සහ පුජ්‍ය අකුරටියේ නන්ද නායක හිමි ඇතුළු කර්තෘ මණ්ඩලයේ දායකත්වයෙන් කාණ්ඩ දෙකකින් යුත් කෘතියක් ලෙස මුද්‍රණය විය.

මෙම ප්‍රථම භාගය ‘අ’ අක්ෂරයේ සිට ‘න්‍යායාලය’ දක්වා වූ සිංහල වචන, ඒවායේ අර්ථ දැක්වීම්, ව්‍යාකරණ විග්‍රහ සහ ප්‍රභවයන් ඉතා සංක්ෂිප්තව හා ක්‍රමවත්ව ඉදිරිපත් කර ඇත.

පෙරවදැන

1992 වර්ෂයෙහි සිංහල - සිංහල මහා ශබ්ද කෝෂයේ කටයුතු අවසන් වීමත් සමග එහි නව්‍ය සංස්කරණයක් කළ යුතු බව ද, එසේම මහා ශබ්ද කෝෂය වෙළුම් 26කින් සමන්විත හෙයින් වැඩි පාඨක පිරිසකට පරිහරණය කිරීමේ දුෂ්කරතාවක් මතු වන අයුරක් පෙනී ගියෙන් ද ඒ අඩුපාඩුව මඟ හරවා ලනු පිණිස සංක්ෂිප්ත සිංහල - සිංහල ශබ්දකෝෂයක් පළ කළ යුතු බව ද අවධාරණය කෙරිණි. ඒ අනුව එවකට ප්‍රධාන කර්තෘ ධුරය දැරූ ආචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතා, සංක්ෂිප්ත ශබ්දකෝෂයේ කටයුතු සම්මාන කර්තෘ ආචාර්ය පණ්ඩිත හොරණ වජිරඥාන නායක හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කළ යුතු යයි නිර්දේශ කොට ඒ කාර්යභාරය උන්වහන්සේට පැවරීය.

කාණ්ඩ දෙකකින් සමන්විත මේ සිංහල - සිංහල සංක්ෂිප්ත ශබ්දකෝෂයේ ප්‍රථම කාණ්ඩය එළි දැක්වෙන්නේ එය ආරම්භ කොට හරියට ම තුදුස් වසරකට පසු ව වීම බොහෝ දෙනකුගේ මවිතයට තුඩු දිය හැකි හේතුවක් ද විය හැකිය. ඊට හේතු වූ කාරණා කීපයකි.

සන්නස්ගල මහතාගෙන් අනතුරුව ප්‍රධාන කර්තෘ පදවිය දැරූ මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගේ අවධියේ දී මේ ශබ්දකෝෂය ඉංග්‍රීසි අර්ථ කථනයක් ද සහිතව පළ කිරීමට කටයුතු යොදන ලදී. පසු ව එය වෙනස් කැරිණි. මහාචාර්ය විනී විතාරණ මහතාගේ අවධියෙහි මේ ශබ්දකෝෂයේ ආකෘතිය ද වෙනස් කැරිණි. එසේ කැරුණේ සෝරත හිමිපාණන්ගේ සුමංගල ශබ්දකෝෂයේ පදවලට අර්ථ දක්වා ඇති ආකෘතිය අනුව යමිනි. මේ වෙනස්වීම් නිසා ශබ්දකෝෂය නිසි අයුරින් සැලසුම් නො වී කාලය පමණක් ඉකුත් වී ගියේය.

මේ සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය යළිත් විධිමත් පිළිවෙළකට සකස් කැරුණේ 2004 වර්ෂයේ සිටය. මුද්‍රණාලයේ දී ඇතැම් සෝදුපත් අස්ථාන ගත වීමෙන් තව ද ප්‍රමාදයක් ඇති විය. කෙසේ වුව ද මේ අවස්ථාවේ සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයේ ප්‍රථම භාගය එළිදැක්වීමට හැකිවීම මහත් භාග්‍යයක් කොට සලකමි.

මේ කාර්යයෙහිලා අපව දිරිමත් කළ සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාත්, එම අමාත්‍යාංශයේ ලේකම්වර ජී. එල්. ඩබ්ලිව්. සමරසිංහ මැතිතුමාත්, මෙහිදී තුති පෙරටුව සිහිපත් කරමි.

එසේම ශබ්දකෝෂ සම්පාදන කාර්යයෙහි දී නන් අයුරින් උපදෙස් දුන් හා අප ධෛර්යවත් කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඊ. එම්. අභයරත්න මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ විජිත කණුගල මහතා සහ එම කාර්ය මණ්ඩලය ද මෙහිලා කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුව ඇත.

අවසාන වශයෙන් මෙබඳු කෝෂ ග්‍රන්ථයක් මුද්‍රණය කිරීමේ දී ඉවසීමෙන් හා සැලකිල්ලෙන් යුතුව ශෝභන ලෙස මෙය මුද්‍රණය කර දුන් තරංජී මුද්‍රණාලයට හා මේ භාරදූර කර්තව්‍යය සාර්ථක කර ගැනීමට අපට නොමඳව සහාය වූ කර්තෘ මණ්ඩලයට හා කාර්ය මණ්ඩලයට මාගේ ප්‍රශංසාව හිමි වෙයි.

මහාචාර්ය ආනන්ද අබේසිරිවර්ධන
ප්‍රධාන කර්තෘ
2007.3.15
සිංහල ශබ්දකෝෂ කාර්යාලය,
46, මාර්කස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.
46, මාර්කස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.