ආනාපානසති භාවනාව අර්ථ විවරණ සහිත - මහව ඤාණාලෝක හිමි 2021.pdf
- කතෘ :
- මහව ඤාණාලෝක හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2021
- මුද්රිත වර්ෂය :
- 2021
- පිටු ගණන :
- 114
- බාගත කිරීම් ගණන :
- 1,368
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-11-06
- ගොනුවේ ප්රමාණය :
- 90 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ආනාපානසති භාවනාව ථේරවාදී අර්ථ විවරණ සහිත යනු ත්රිපිටක විශාරද, පණ්ඩිත පූජ්ය මහව ඤාණාලෝක හිමියන් විසින් සම්පාදිත භාවනා උපදෙස් අත්පොතකි. ත්රිපිටක පාළිය, පටිසම්භිදාමග්ගය, අටුවා සහ විශුද්ධිමාර්ගය ආශ්රිත ථේරවාදී සම්ප්රදායික විවරණයන්ට අනුකූලව ආනාපානසති භාවනාව ප්රායෝගිකව වඩන ආකාරය මෙහි සවිස්තරව පැහැදිලි කර ඇත.
මූලිකව ‘අරුණ’ පුවත්පතට සම්පාදනය කරන ලද ලිපි මාලාවක් සංශෝධනය කර පොතක් ලෙස සකස් කර ඇති මෙම කෘතිය, යෝගාවචරයන්ට සහ භාවනා අභ්යාසකයින්ට අත්පොතක් ලෙස පරිශීලනය කළ හැකි අයුරින් සම්පාදනය කර තිබේ. පූජ්ය නුවරඑළියේ ඤාණසීල මහාස්ථවිරයන් වහන්සේ විසින් මේ සඳහා පූර්විකාවක් සපයා ඇත.
මෙම ප්රථම මුද්රණය බු.ව. 2565 (ක්රි.ව. 2021) දී මහාවිහාරය බෞද්ධ ප්රකාශන මඟින් ප්රකාශයට පත් කරන ලද අතර මුද්රණය මාලබේ පියසිරි මුද්රණාලය මඟින් සිදු කර ඇත.
පූර්විකාව
අද දොරට වඩින මේ භාවනා ග්රන්ථය කථිකාචාර්ය, ශාස්ත්රපති, පණ්ඩිත මහව ඤාණාලෝක හිමියන් අතින් සිදුවිය යුතු ම කාර්යයකි.
ත්රිපිටක පාළියත්, අට්ඨකථාත්, ටීකා සංග්රහත් කියවීමෙන් ධර්මඥානය සේ ම නිවන් මග නිරවුල් කරගැනීමට අවශ්ය දැනුම නිතැතින් ලැබෙනු ඇත. නමුත් එම ග්රන්ථ පරිශීලනය කිරීම ආවාට ගියාට කළ නොහැක. ග්රන්ථ සුලභ වීම ම එයට ප්රමාණවත් යැයි සිතීම නිවැරදි නො වේ. ඒ සඳහා අර්ථ කියාදෙන ඇදුරු පරපුරක උපකාර අත්යවශ්ය බව පුරාතනයේ පටන් ථේරීය භික්ෂූන් වහන්සේලාගේ පිළිගැනීමකි. ‘ගුරුකුල භජනය’ යනු මෙය යි.
එබැවින් එබඳු ගුරුකුල ඇසුරෙහි හැදී වැඩී පාණ්ඩිත්යයට පත් උගත්හු එදා මෙදා තුර විවිධ දහම් පොත් ලියා තැබූහ. බුදු දහම අවුරුදු පන්දහසක් කල් බැබළීමට නම් නැවත නැවත සුගම බසින් ගැඹුරු තැන් නිරවුල් කර දෙන දහම් පොත් ලියවිය යුතු යි. නමුත් එය සුදුස්සන් අතින් පමණක් විය යුත්තකි.
ආනාපානසති භාවනාව සම්බන්ධව ත්රිපිටක පාළිය පුරාවටත්, අර්ථකථා ටීකාදියත් දක්වා දක්වා තිබෙන විග්රහයන් අතිශය සූක්ෂම ය.
1. දිගු කලක් සම්භාවනීය ගුරු කුලයක හැදී වැඩී පාණ්ඩිත්යයට පත්ව තිබීම.
2. ත්රිපිටක පාළිය හා අර්ථකථා මැනවින් හදාරා තිබීම.
3. මාගධී භාෂාව පිළිබඳ ප්රමාණවත් දැනුමක් තිබීම.
4. අභිධර්මය පිළිබඳ හසල දැනුමක් තිබීම.
5. ශමථ විදර්ශනා භාවනාවෙහි යෙදී තිබීම.
6. විශුද්ධිමාර්ග ගුරුකුල පරම්පරාව හදාරා තිබීම.
වැනි ගුණාංග කිහිපයකින් හෙබි පුද්ගලයෙකු අතින් ආනාපානසති භාවනාව ගැන විස්තරයක් ලියවෙන විට එහි වටිනාකම වැඩි ය. විශ්වාසනීයත්වය අතිශයින් ම සාධනීය වෙයි.
පණ්ඩිත මහව ඤාණාලෝක හිමි යට සඳහන් කළ ගුණාංග ඕනෑවටත් වඩා සපුරා ඇත්තෙකි. උන්වහන්සේ අතින් මේ ආනාපානසති භාවනා විග්රහය ලියැවී තිබීම එකැතින් සසුන් දියුණුව පිණිස පවතී යැයි කීම අතිශයෝක්තියක් නො වේ.
නිවන් මග ගමන් කරනු කැමැත්තන් හට මෙයින් ලැබිය හැකි ඵල ප්රමාණ කොට දැක්විය නොහැක. ඒ මතු ද නොව භාවනා සම්බන්ධ අධ්යයනයන්හි නියුක්ත වූවන්ට ද නිවැරදි තොරතුරු රාශියක් මෙම ග්රන්ථයෙන් ලබාගත හැක. පණ්ඩිත මහව ඤාණාලෝක හිමියන්ගේ මේ ප්රයත්නයට බොහෝ ස්තුති වේවා ! පැසසුම් ලැබේවා !
සසුන් දියුණුව පතන, නුවරඑළියේ ඤාණසීල මහාස්ථවිර වේදිසගිරි මහාවිහාරය, නිකවැරටිය. 2021-10-22
සසුන් දියුණුව පතන,
නුවරඑළියේ ඤාණසීල මහාස්ථවිර
වේදිසගිරි මහාවිහාරය,
නිකවැරටිය.
2021-10-22
හැඳින්වීම
ආනාපානසති භාවනාව ඈත අතීතයේ පටන් යෝගාවචරයන් අතර සමථය මෙන් ම විදර්ශනාව වැඩීම පිණිස ද පදනම් කරගත් සුභාවිත කර්මස්ථානයක් වේ. බුදුරජාණන් වහන්සේ නොයෙක් සූත්ර දේශනාවන්හි මෙන් ම විනය පිටකයේ ද ආනාපානසති භාවනාව වැඩීමෙහි අනුසස් වදාළ සේක. සූත්ර පිටකයේ ඛුද්දකනිකායාගත පටිසම්භිදාමග්ගපාළිය ශාරීපුත්ර මහරහතන් වහන්සේ විසින් ආනාපානසති භාවනාව පිළිබඳ දේශිත විස්තරාත්මක විවරණය ඉදිරිපත් ඉදිරිපත් කරයි. මේ සියල්ල සමෝධානය කරමින් ක්රි. ව. 5 වන සියවසේ දී අනුරාධපුරයේ රජ කළ මහානාම රජු දවස ලක්දිවට සම්ප්රාප්තව සිංහල අර්ථකථා ශුද්ධ මාගධී භාෂාවට පරිවර්තනය කළ භදන්තාචාර්ය අනුබුද්ධ බුද්ධඝෝෂ මහාස්ථවිරයන් වහන්සේ විසින් විරචිත මහාවිහාරීය භාවනා මාර්ගය වූ ‘විශුද්ධිමාර්ගයේ’ ආනාපානසති කර්මස්ථානය ථේරවාදී අර්ථ විවරණයන්ගෙන් සමන්වාගත ය. මේ පිළිබඳ නොයෙක් වර විවිධ ඇදුරුවරයන් විසින් විරචිත ග්රන්ථ පැවැතුණ ද විශුද්ධිමාර්ගය සහ සෙසු ථේරවාදී මූලාශ්රයන් සමෝධානය වූ ග්රන්ථ දුර්ලභ ය.
මෙහි පෙළ ගැසෙන්නේ අප විසින් සති අග ‘අරුණ’ පුවත්පතට සම්පාදිත ආනාපානසති භාවනාව පදනම් කරගත් ලිපි එකතුවක සංස්කරණයකි. මෙය හුදෙක් භාවනාවට අත්පොතක් වශයෙන් භාවිත කළ හැකි වනු පිණිස අප විසින් ථේරවාදී මූලාශ්රයන් විමසමින් සම්පාදිත ය. ප්රායෝගිකව භාවනාව පුහුණු කරන යෝගාවචරයකු විසින් දත යුතු මූලික කරුණු ද මෙහි ලා ඇතුළත් කිරීමට අප විසින් උත්සාහ දරා ඇත. මෙය අත්පොතක් වශයෙන් භාවිත කරමින් නිවැරදිව භාවනා මාර්ගය පුහුණු කිරීමට සුපින්වතුන්ට අවකාශය සැලසේවා. එහි ලා යම් අපැහැදිලි තැනක් වේ නම් භාවනා මාර්ගය පිළිබඳ අවබෝධයක් ඇති පළපුරුදු ඇදුරුවරයන්ගෙන් විමසා දැනගන්නා මෙන් මෙත් සිතින් යුතුව දන්වා සිටිමි.
මෙම භාවනා ලිපි පෙළ සම්පාදනය කිරීමේ දී අපට අතිශය සෝපකාරී වූයේ අප ගුරුදේවෝත්තම කර්මස්ථානාචාර්ය