වඤ්චක හා චිත්තෝපක්ලේශ ධර්ම.pdf

scanned

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2008
මුද්‍රිත වර්ෂය :
2008
පිටු ගණන :
199
බාගත කිරීම් ගණන :
1,422
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-10-13
ගොනුවේ ප්‍රමාණය :
6.1 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 100

වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම යනු අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත විශිෂ්ට අභිධර්ම හා බෞද්ධ මනෝවිද්‍යාත්මක ග්‍රන්ථයකි. මෙහි එකොළොස් වන මුද්‍රණය ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් 2008 වසරේ දී ප්‍රකාශයට පත් කර ඇත.

මෙම ග්‍රන්ථයෙන් මිනිස් සිත රැවටිලි සහගත ලෙස අකුසලයට යොමු කරවන වඤ්චක ධර්මයන් සහ චිත්ත සන්තානය කිලිටි කරන චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳව ගැඹුරු විවරණයක් ඉදිරිපත් කෙරේ. ලෝභය, ද්වේෂය, රාගය වැනි ක්ලේශයන් පරාර්ථකාමීත්වය, දානශීලීත්වය, කරුණාව, මෛත්‍රිය ආදී යහපත් ගුණාංගවල වේශයෙන් සිත මුළා කරන ආකාරය නිදසුන් සහිතව විස්තර කර තිබේ.

පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා අතර:

  • ක්ලේශ වඤ්චනය හා විවිධ වේශයෙන් එන වඤ්චක ලෝභය
  • මෛත්‍රී, කරුණා, ශ්‍රද්ධා ආදී වේශයෙන් එන වඤ්චක රාගය
  • ශාන්ති, අවිහිංසා, දානකාමතා ආදී වේශයෙන් එන වඤ්චක ද්වේෂය
  • මානය, ඊර්ෂ්‍යාව, මාත්සර්යය හා ථීනමිද්ධය ආදී චිත්තෝපක්ලේශ ධර්ම
  • සිතෙහි ස්වභාවය හා ඒවා හඳුනාගෙන දුරු කරගන්නා ආකාරය

ලේකම්ගේ සටහන්...

නිරතුරුව ආතුර බවට, ලෙඩ රෝගයන්ට ගොදුරු වන බවට පැමිණෙන ශරීරය, අනාතුර සිතින් පරිහරණය කර, සියලු දුකින් නිදහස් වන මග හෙළි කළ බුදුරජාණන් වහන්සේ, සිතෙහි ලෙඩ ගැන නොයෙක් තන්හි අවධාරණයෙන් දේශනා කර ඇත. සිත ගැන පිරිසිදු දැනුමක් ඇති කර ගැනීමට අභිධර්මය ඉගෙනීම ප්‍රයෝජනවත් වන අතර, නිකාය පොත් වල ද චිත්ත ස්වභාවය පැහැදිලි කළ තැන් අපමණය. මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කර ගෞරවාර්හ රේරුකානේ චන්දවිමල මහනාහිමියන් ලියා ඇති මේ ග්‍රන්ථද්වය ත්‍රිපිටකයේ හා පරිවාර ග්‍රන්ථයන්ගේ ද උන්වහන්සේ ගේ දැනුමින් පෝෂිත වූ, මෙම විෂය පිළිබඳව දැනට ඇති හොඳ ම පාදක ග්‍රන්ථය යි.

මනෝ භාවයන් සසර බැඳ තැබීමට කොතරම් ඉවහල් වන්නේ ද යන්න චතුරාර්‍ය්‍ය සත්‍යයේ සමුදය සත්‍යය ඉගැන්වීමෙනුත්, පටිච්ච සමුප්පාදයේ විඤ්ඤාණ පච්චයා භවෝ යන විග්‍රහයෙනුත්, අභිධර්මයේ චිත්ත විභාගය හා ප්‍රත්‍යය විභාගයෙනුත් විනය හා සූත්‍ර පිටකයන්හි බොහෝ ඉගැන්වීම් වලිනුත් තේරුම් ගත හැකිය. ලෝභ, දෝෂ, මෝහ හා අලෝභ, අදෝෂ, අමෝහ යන මනෝ භාවයන්ගෙන් වෙන්වීම ම නිවනයි. ‘’චිත්තෙනීදං ඉදං සචිං’’ (සියල්ල සිතමයි) යන දර්ශනයක් ඇති වීමට තරම් මේ අදහස වර්ධනය කළ බෞද්ධ නිකායෝ ම වූහ.

බෞද්ධයන් වශයෙන් අවධානය යොමු කළ යුතු මේ කරුණු අධ්‍යයනය කිරීමටත්, එමගින් සිත වටහා ගෙන අන්‍යයන් හා සුහදව විසීමටත්, ඒ වටහා ගැනීම ම සියලු දුකින් මිදීමට පාදක කර ගැනීමටත් හැකි වුවහොත් අප ගන්නා වෑයම සඵල වූවා වෙයි. සාහිත්‍යශූරී මාර්ටින් වික්‍රමසිංහයන් තම ‘’භව කර්‍ම විකාශය’’ ග්‍රන්ථයේ දී මේ පොත අගය කළ ආකාරය මෙහි දාර්ශනික පසුබිම තේරුම් ගැනීමට සාධකයකි.

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් අපවත් වීමෙන් කල් ගතවත්ම උන්වහන්සේගේ පොත්වලට ඇතිවූ මහජන අවධානය සලකා බලන විට, ඒවා පවත්වා ගෙන යාම තම ශාසනික වගකීම බව තේරුම් ගත් විනයාලංකාර භික්‍ෂුවංශයත්, ඒවා මුද්‍රණයෙන් එළිදැක්වීමේදී ගෞරවයෙන් කටයුතු කළ රත්නායක අප්පුහාමි, එම්.ජේ. පෙරේරා, කේ.ටී.ඒ. ජයවර්ධන යන මහත්වරුන් හා වර්තමානයේ එම වගකීම දරණ මුද්‍රණාලයාධිපති වරුනුත්, පොත් වැඩි ප්‍රමාණයකට අනුක්‍රමණිකාව සැකසූ හර්බට් පතිරණ මහතා ඇතුළු ඒ සත්පුරුෂ සමාගම සිහිකිරීම ම මා ලද පිනකි.

මේ මුද්‍රණ වාරයේ පරිගණක අක්‍ෂර සංයෝජනය මුළුමනින්ම හොරණ රූ-මායා ග්‍රැෆික්හි සාලිය ජයකොඩි මහතා අතින් නිම විය. මුද්‍රණ කටයුතු ගංගොඩවිල අජිත් ප්‍රින්ටර්ස් හි අජිත් සමරසේකර මහතා සමග කාර්ය මණ්ඩලයේ කැපවීමේ ඵලයකි. සෝදුපත් කියවීමේදී මාලනී ගෙන් ලද සහාය බෙහෙවින් අගයමි. අතිපූජ්‍ය රේරුකානේ මහ නාහිමිපාණන්ට බුහුමන් වශයෙන් මේ පොත් පවත්වන්නට උරදෙන ගරු සභාපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් ප්‍රමුඛ විහාරස්ථ ස්වාමීන් වහන්සේලාගේ සහාය ද, නිරන්තරයෙන් හැකි අවම මිලකට පොත් පවත්වන්නට සහාය වන උපකාරක සැදැහැවතුන්ගේ මූල්‍ය අනුග්‍රහය ද සීමා නිර්ණය කළ නොහැකි අටමහ කුසලයට අයත් පිංකමකි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්‍ෂණ මණ්ඩලය
2008 ජුලි මස 27 වන දින,
පොකුණුවිට දී ය.

ප්‍රස්තාවනා

වඤ්චක ධර්ම නමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා තත්ත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථයෙහි දැක්වෙනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වඤ්චකත්වය ය. චිත්තය වනාහි අති විචිත්‍ර දෙයකි. එයට වඩා විචිත්‍ර වූ තවත් දෙයක් ලොවෙහි නැත. එබැවින් තථාගතයන් වහන්සේ විසින් :

‘’දිට්ඨං වො භික්ඛවේ! චරණං නාම චිත්තන්ති? එවං භන්තේති. තම්පි ඛො භික්ඛවෙ! චරණං නාම චිත්තං චිත්තේනෙව චිත්තීතං තෙනාපි ඛො භික්ඛවෙ! චරණෙන චිත්තෙන චිත්තමෙව චිත්තතරං’’ යනු ද,

‘’නාහං භික්ඛවෙ! අඤ්ඤං එකනිකායම්පි සමනුපස්සාමි එවං චිත්තං. යථයිදං භික්ඛවෙ! තිරච්ඡානගතා පාණා. තෙහි පි ඛො භික්ඛවෙ! තිරච්ඡානගතෙහි පාණෙහි චිත්තමෙව චිත්තතරං’’ යනු ද වදාරන ලදී.

සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත වූ මේ පළමුවන අකුශල චිත්තය සාමාන්‍යයෙන් එකක් වුව ද පුද්ගලයන් දහසක් තුළ ඇති වනුයේ දහස් ආකාරයකිනි. දස දහසක් තුළ ඇති වනුයේ දස දහස් ආකාරයකිනි. ලක්‍ෂයක් තුළ ඇති වනුයේ ආකාර ලක්‍ෂයකිනි. එක් පුද්ගලයකු තුළ ම වුව ද අවස්ථා දහසකදී ඇතිවනුයේ ආකාර දහසකිනි. අවස්ථා ලක්‍ෂයකදී ඇති වනුයේ ආකාර ලක්‍ෂයකිනි. සිත පමණක් නොව එය හා උපදනා වූ ලෝභාදි චෛතසිකයෝ ද, සිත සේ ම විචිත්‍ර වෙති. සාමාන්‍යයෙන් එකක් වූ ලෝභය පුද්ගලයන් දහසක් කෙරෙහි උපදිනුයේ දහස් ආකාරයකිනි. දස දහසක් තුළ උපදිනුයේ ආකාර දස දහසකිනි. ලක්‍ෂයක් තුළ උපදිනුයේ ආකාර ලක්‍ෂයකිනි. එක් පුද්ගලයකු තුළ ඉපදීමෙහි ද ඒ ඒ අවස්ථාවල සැටියට නොයෙක් ආකාර වන්නේ ය. මේ චිත්ත චෛතසිකයන්ගේ විචිත්‍රත්වයයි.