විදර්ශනා භාවනා ක්රමය.pdf
scanned
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2006
- මුද්රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 231
- බාගත කිරීම් ගණන :
- 1,333
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-10-13
- ගොනුවේ ප්රමාණය :
- 5.5 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විදර්ශනා භාවනා ක්රමය යනු අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත ප්රකට බෞද්ධ භාවනා ග්රන්ථයකි. බෞද්ධ ප්රතිපදාවේ උසස්ම ඵල වන මාර්ගඵල අධිගමය පිණිස විදර්ශනා භාවනාව වඩන ආකාරය සරලව හා ක්රමානුකූලව මෙම කෘතියෙන් පැහැදිලි කර දී ඇත. මෙහි ප්රථම මුද්රණය 1947 දී නිකුත් වී ඇති අතර, මෙම පිටපත පොකුණුවිට ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් බුද්ධ වර්ෂ 2550 (ක්රි.ව. 2006) දී ප්රකාශිත දහහත්වන මුද්රණයයි.
විශුද්ධිමාර්ගය හා බුරුම සම්ප්රදායේ භාවනා ක්රම මෙන්ම තමන් වහන්සේගේ අත්දැකීම්ද පදනම් කරගනිමින් රචිත මෙම පොතෙහි සප්ත විශුද්ධිය හා විදර්ශනා ඥාන විස්තරාත්මකව විග්රහ කෙරේ. බලන්ගොඩ ආනන්ද මෛත්රෙය මහානායක හිමියන් විසින් ලියන ලද අගනා ප්රස්තාවනාවක් ද මෙහි ඇතුළත් වන අතර, එහි අන්යාගමික භාවනා හා බෞද්ධ විදර්ශනාව අතර වෙනස ගැඹුරින් පෙන්වා දී ඇත.
පොතෙහි අන්තර්ගත ප්රධාන මාතෘකා:
- නිවන් ලැබීමේ මඟ සහ විදර්ශනා වැඩීම පිළිබඳ උපදෙස්
- සප්ත විශුද්ධිය (ශීල, චිත්ත, දෘෂ්ටි, කාංක්ෂාවිතරණ, මාර්ගාමාර්ගඥානදර්ශන, ප්රතිපදාඥානදර්ශන, ඥානදර්ශන විශුද්ධි)
- නාම රූප පරිච්ඡේදය, ප්රත්යය පරිග්රහය සහ ත්රිලක්ෂණ භාවනාව
- විදර්ශනා ඥාන සහ මාර්ග ඵල අවබෝධය
- යෝගාවචරයන්ට එන අන්තරාය සහ ආරක්ෂක ගාථා
- බෝධිපාක්ෂික ධර්ම විස්තරය
සංඥාපනය
බෞද්ධයකු වීමෙන් ලැබිය යුතු උසස් ප්රතිඵල ලැබිය හැකි වනුයේ භාවනාවෙනි. දන් දීමෙන් හා සිල් රැකීමෙන් ලැබිය හැකි ඵල ද භාවනාවෙන් ලැබිය හැකි නුමුත්, භාවනාවෙන් ලැබිය යුතු උසස් ඵල භාවනාවෙන් ම මිස, දන් දීමෙන් සිල් රැකීමෙන් නො ලැබිය හැකිය. භාවනාවෙහි යෙදෙන්නකුට එයින් ලැබෙන ඵල පරලොවෙහි දී ම නොව, මෙලොවදී ද ලැබෙන්නේ ය. ක්රමානුකූල කොට භාවනාවෙහි යෙදෙන තැනැත්තේ ධ්යාන මාර්ගාදි උසස් ඵල නො ලැබුයේ ද, ඉන් මොබ ලැබිය හැකි බොහෝ අනුසස් මෙලොවදී ම ලබන්නේය.
භාවනා ඵලය ගෘහස්ථ ප්රව්රජිත ස්ත්රී පුරුෂ සෑම දෙනාට ම නො වෙනස්ව ලැබිය හැකිය. ක්රමානුකූලව භාවනාවෙහි කලක් යෙදුනහොත් සිත කය දෙක භාවනාවට හැඩ ගැසුණු පසු ඒ තැනැත්තා හට භාවනාව මහත් සුවයෙක් වන්නේය. යෝගාවචරයනට ආහාර පාන වාසස්ථානාදියෙන් කිසි ම සුවයක් නැති ව වනගත වී දීර්ඝ කාලයක් මුළුල්ලෙහි භාවනාවෙහි යෙදිය හැකි වන්නේ, උසස් සුවයක් එහි ඇති බැවිනි. භාවනාව අමිහිරි වන්නේ ඒ සුවය ලැබෙන තැනට භාවනාව දියුණු නො වන තුරුය. සුවයක් වනතුරු භාවනාව දියුණු කරගත් යෝගාවචරයා නැවත භාවනාව අත්හැර දමන්නට නො සිතන්නේ ය. එ වේලේ ම ලැබෙන භාවනාමය සුඛය ද, භාවනාවේ එක් ආනිශංසයෙකි. තවත් මෙලොවදී ම ලැබෙන බොහෝ ඵල භාවනාවෙහි ඇත්තේය.
මෙකල අප රටේ යෝගාවචරයන් අඩුවී ඇත්තේත් ගිහියනට තබා පැවිද්දන්ට ද භාවනාව අරළු කසාය වැනි වී තිබෙන්නේත්, ඵල දැකිය හැකි සැටියට භාවනා කිරීමේ ක්රමය නො දැනීම නිසා ය. භාවනා ක්රමයක් අන්යයනට කියා දීමට සමත්, භාවනා කිරීම පිළිබඳ දැනුම, පළපුරුද්ද ඇති ගුරුවරු ද, අප රටේ සුලභ නැත. භාවනා ක්රම ගැන දැනුම ඇතියවුන් අතින් ලියැවුණු පොත පත ද දුර්ලභය. දැනට අප රටේ, ඇති භාවනා ක්රම ගැන විස්තරයක් දැක්වෙන, එකම පොත විශුද්ධිමාර්ගයයි. පාළි භාෂාවෙන් ලියැවී තිබෙන ඒ පොතින් පාළි භාෂාව නො දන්නවුනට ප්රයෝජනයක් ලැබිය නො හැකිය. පාළි භාෂාව දත් කෙනකුට වුව ද, තවත් ගුරුවරයන්ගෙන් උපදෙස් නො ලබා එයින් භාවනා ක්රමය දැන ගැනීමට පහසු නැත. ශමථ ක්රම තේරුම් ගත හැකි වුව ද, විදර්ශනා භාවනා ක්රමය එයින් ලෙහෙසියෙන් තෝරා ගත හැකි නොවේ.
ශ්රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සියය පිරෙන්නට ළංව තිබෙන මේ කාලයේ විදර්ශනා වඩා මාර්ගඵල ලබා ගැනීමේ අදහසක්, ඇතැම් පින්වතුනට ඇති වී තිබෙන බව ඔවුන්ගේ කථා වලින් පෙනේ. ටික දෙනකුට වුව ද, එබඳු උතුම් අදහසක් ඇතිවීම, ළඟ අනාගතයේ බුදු සසුන නැවතත් බැබළීමේ පෙර නිමිත්තක් වශයෙන් සැලකිය හැකිය. දෙදහස් පන්සියය ළං වත් ළං වත් ම, උත්සව පැවැත්වීම නම් බහුල වනු ඇත. කොතෙක් උත්සව පැවැත්වුවත්, එය නියම ශාසන දියුණුව නොවේ. සැබෑ ශාසන දියුණුව නම්, සෝවාන් සකෘදාගාමී අනාගාමී අර්හත් යන සතර මාර්ග සතර ඵලයන්ට පැමිණි පුද්ගලයින් ඇතිවීමය. ආර්යර්ය්ය පුද්ගලයින් පහළ නුවුව ද මාර්ගාධිගමය සඳහා විදර්ශනා වඩන පුද්ගලයන් බහුල වුව හොත් එය ද මනා ශාසන දියුණුවක් සැටියට සැලකිය යුතුය.
කොතරම් වීර්ය්ය කොට කොතෙක් දුක්ගෙන කොතෙක් කලක් භාවනාවෙහි යෙදුනත් ක්රමානුකූලව භාවනාව නො කැරුණ හොත්, එයින් මෙලොවදී ම දැකිය හැකි තරම් ඵලයක් නො ලැබේ. ඉක්මනින් ඵල දැකීමට නම්, භාවනා ක්රමය නිවැරදිව හොඳින් දැනගෙන භාවනා කළ යුතුයි. මෙකල භාවනාවේ යෙදීමේ අභිලාෂය ඇතිව වෙසෙන, ගිහි පැවිදි පින්වතුනට බරපතල කරුණක් වී තිබෙන්නේ මාර්ගදේශකයන් නැති බවය. ඒ පින්වතුනට අපගේ ශක්ති පමණින්වත් උපකාරීවීමේ අදහසින්, අප විසින් ‘විදර්ශනා භාවනා ක්රමය’ නමැති මේ ග්රන්ථය සම්පාදනය කරන ලදී. මෙය විශුද්ධි මාර්ගය හා එහි පරිවාර ග්රන්ථයන් ද, බුරුමයේ ප්රසිද්ධ යෝගාවචරයන් විසින් සම්පාදිත පොත් කිහිපයක් ද ඇසුරුකොට අප විසින් ඇසුරු කළ යෝගාවචරයන්ගෙන් හා සාකච්ඡා කළ යෝගාවචරයන්ගෙන් ද දැනගන්නා ලද බොහෝ කරුණුවලට ද අපගේ ම අත්දැකීම් වලට ද අනුව සම්පාදනය කරන ලද්දකි.
දහම් පොත් කියවා තේරුම් ගැනීමේ අපහසු බව නොයෙක් විට බොහෝ දෙනා කියනු ඇසුණු බැවින් කා හටත් පහසුවෙන් තේරුම් ගත හැකි සේ මෙය සම්පාදනය කිරීමට විශේෂ උත්සාහයක් ගතිමු. ගැඹුරු කරුණු පිළිබඳ වූ මෙබඳු පොත්, වරක් දෙකක් කියැවූ පමණින් තේරුම් ගත හැකි නොවේ. පොතින් ප්රයෝජන ලැබීමට නම්, කාරණය වැටහෙන තුරු කොතෙක් කල් වුවත් නැවත නැවත පොත කියවිය යුතුයි. මේ පොත හොඳින් තේරුම් ගෙන පොතේ දැක්වෙන ක්රමය අනුව නො වරදවා භාවනාව කරගෙන ගියහොත්, වැඩි දෙනකුට භාවනාවේ ප්රතිඵලය, මෙලොව දී ම දක්නට ලැබෙනු ඇත යනු අපගේ ස්ථිර විශ්වාසයයි.
මීට ශාසනස්ථිතිකාමී රේරුකානේ චන්දවිමල, 1947 නොවැම්බර් 20 දින දීය, ශ්රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.
ප්රස්තාවනා
භාවනා ක්රම (සැකෙවින්)
ගරු බලන්ගොඩ ආනන්ද මෛත්රෙය මහානායක ස්ථවිරයන් වහන්සේ විසිනි.
සසර දුකෙහි කලකිරුණු බොහෝ චින්තකයෝ එයින් මිදෙන උපා සෙවූහ. එහි ඵල වශයෙන් නානාවිධ දර්ශනයෝ පහළ වූහ. වේදාන්තවාදීහු පරමාත්මාවබෝධය මෝක්ෂයට උපාය යැ යි කීහ. සාංඛ්ය මීමංසා න්යායාදි අන් දාර්ශනිකයෝත් ඇතැම් දැයින් මදක් වෙනස් වූවෝ නමුදු, සාමාන්යයෙන් පරමාත්මාවබෝධයෙන් ම මෝක්ෂය වේ යැයි පැවසූහ. දඹදිවින් පිටත්හි ක්රෛස්තවාදි අන් දර්ශන වල ද, මෙයට තරමක් හුරු වූ ඉගැන්වුම් පහළ විය.
ඔවුන් කියන පරිදි පරමාත්මාවබෝධයට හෝ දෙවියන් හා එක්වීමට යැ යුතු මඟ නම්, සිත ඒ අතට හුරු කොට වඩා ලීමයි. භාරතීයන් අතර මෙය භාවනා නමින් ද වැහැරුවිණ. එය ම යෝග නමින් ද ව්යවහෘත වී.
ඒ ඒ අරමුණෙහි පහළ වන චින්තන ක්රියාවන්ගේ නිරෝධය යෝග නමැයි “යෝගශ්චිත්තවෘත්ති නිරෝධඃ” යනුවෙන් යෝගාසාර උපනිෂදිහි ද, පාතඤ්ජල යෝග සූත්රයෙහි ද දැක්විණ. තවත් ඇදුරු කෙනෙක් “සංයෝගඃ යෝගමිත්යාහුර් ජීවාත්ම පරමාත්මනෝඃ” යි ජීවාත්ම පරමාත්ම දෙකේ එක් වීම යෝග නමැ යි කීහ. එයතර වශිෂ්ඨයර්ෂි “සංසාරෝත්තරණේ යුක්තිර් යෝග ශබ්දෙන කථ්යතේ”යි සසරින් ගොඩ නැංමේ උපාය “යෝග” යන්නෙන් කියැවෙතැ යි පැවසීය.
හෛන්දවයන් අතර පවත්නා යෝග ක්රම බොහෝය. භක්තියෝග, රාජයෝගාදි වශයෙනි. දෙවියා කෙරෙහි භක්තිය ක්රමයෙන් දියුණු කොට සිතින් දෙවියා හා එක්වීම භක්තියෝග මාර්ගයයි. යම, නියම, ආසන, ප්රාණායාම, ප්රත්යාහාර, ධාරණා, ධ්යාන, සමාධි යන අෂ්ටාංග පුරාලීමෙන් චිත්තේකාග්රතාව ලබා පරමාත්මාවබෝධය කිරීම රාජයෝග නමින් දැක්විණි. සත්ය අසත්ය දෙක වෙන් වෙන් කොට බල බලා ගොස්, අවසන්හි ලෝක නමින් දැක්වෙන සියල්ල මිථ්යා බවත්, ඒක බ්රහ්ම පදාර්ථය ම (පරමාත්මය ම) සත්ය බවත් අවබෝධ කොට, එය හා එක්වීම ඥානයෝගයයි.
තම දෙවියාගේ ගුණ අඟවන කිසි මන්ත්රයක් දපමින්, දෙවියාගේ කිසි ආකාර විශේෂයක් සිතින් සලකා සලකා ඔවුන් වඩා අන්තයේදී ඒ දෙවියා හා එක් වීම මන්ත්රයෝගයයි. සිරුරෙහි සුෂුම්නා නාඩියට යටින් මූලාධාර චක්රයෙහි මැදැ හෝනා කුණ්ඩලිනී ශක්තිය, ඒ ඒ චක්ර අරමුණු කොට සමාධිය වැඩීමෙන් පුබුදුවා, ක්රමයෙන් ඉහළ ඉහළ චක්ර ඔස්සේ නංවා, අවසනැ හිසැ වූ සහස්රාර පද්මයට යවා, එමඟින් සමාධි ලබා, පරමාත්මාවබෝධය කුණ්ඩලිනීයෝගය යි. මේ ආදි වශයෙන් සිත එකඟ කිරීමේ නොයෙක් ක්රම උපනිෂත් පොත්වල දක්නා ලැබේ. මේ එකෙකුත් බෞද්ධ ව්යවහාරයෙහි පෙනෙන ශමථ භාවනා නම් කොටසෙන් පිටත නො යයි.
කසින භාවනාවට හෛන්දව යෝග පොත්වල ත්රාටක යැයි ව්යවහාර වේ. පරිකර්ම නිමිත්තට ප්රතීක යැයි ද, පරිකර්ම භාවනාවට බහිරංග උපාසනා යැයි ද, උපචාර භාවනාවට අන්තරංග උපාසනා යැයි ද, හින්දූන් වහරවන බව පෙනේ. ඔවුන්ගේ ප්රාණායාම ක්රමය බෞද්ධයන් ගේ ආනාපාන ක්රමය වැන්නෙකි.
ඔවුන් මේ කී ක්රම වලින් ලබන ප්රතිභාග නිමිත්ත හෝ කසිනාලෝකය, අනන්ත කොට පතුරුවා එය පරමාත්ම යැයි වරදවා ගෙන, එහි ම සිත ගිල්වා හිඳීම, බ්රහ්මයා (පරමාත්මයා) හා එක් වීම යැයි, වරදවා සිතන බව බෞද්ධ ඇසින් බලන්නහුට පෙනේ. රූප ධ්යාන හෝ අරූප ධ්යාන ලැබූ හින්දු යෝගීහු තමනට පෙනෙන ප්රඥප්ති අරමුණ පරමාත්ම කොට සලකා මෝක්ෂය ලදුම්හ යි එතෙකින් තෘප්තියට පැමිණ නවතිති. ඉන් ඔබ නො යති.
ක්රිස්තියානීන් ගේ සියලු භාවනා ක්රම භක්තියෝග කොටසට ඇතුළත් උපචාර සමාධි මාත්ර බව පෙනේ. ඔහු ආරම්භයේදී සිත අන් අරමුණු වලින් ඉවත් කැරගැනීම පිණිස, දෙවියන් තමා හමුවෙහි ඉන්නා බව සළකති. සලකා යාඥා කරති. ඉන් පසු සුළු පාපෝච්චාරණයෙක් වේ. ඉනික්බිති ශුද්ධාත්මාහ්වානය වේ. ඉක්බිති ක්රිස්තු තුමාගේ ගුණ හා ආකාරය සිහි කරනු ලැබේ. එයින් පසු ක්රිස්තු තුමා කළ දේශනාවෙක යම් කොටසක් සිහි කරති. එහි අදහස සළකති. එය ක්රිස්තු තුමා ජීවත්ව ඉන්නා සෙමෙහි පැවැසූ විලාශය සිතින් දක්නට තැත් කරති. එය දේශනා කළ අන්දම, ඒ අවස්ථාවෙහි ඉරියව් පැවැත්වූ සැටි, පරිකල්පිත කොට දකිති. ඉන්පසු එතුමා ස්වර්ගයෙහි ඉන්නා සැටිය පරිකල්පිත කෙරෙති. අවසානයේදී එතුමාට ආත්මසන්නීර්ය්යාතනයෙන් තමා පුදති. මෙයින් භක්තිය වැඩීම ද, තරමක සංසිඳීමෙක් ද සිතෙහි වේ. තවත් මෙබඳු බොහෝ ක්රම ඇත. ඔවුන්ගේ උසස් යෝගිනියක වූ තෙරේසා ගේ ක්රම බොහෝ වැදගත් කොට සලකති භක්ති යෝගයෙන් පිටත් කිසිත් ඔවුනට නැත. ඉස්ලාම්වරුන් ගේ භාවනා ද මෙයට හුරු භක්තියෝග මාත්ර ම ය.
පර්සි ආගමෙහි හින්දූන්ගේ රාජයෝග ඥාන යෝග භක්ති යෝග තුන අනුව එයට හුරුව හැඩ ගැසුණු, යෝග ක්රම ඇති බව පෙනේ. චීනයෙහි සිටි ලාඕත්සේ ගේ තේඔ ධර්මයෙහි දැක්වෙනුයේ, වේදාන්තවාදීන් ගේ ඥානයෝග ම ය. වෙනස, නම් වලින් හා අවස්ථා බෙදීම් වලින් පමණි.
ඥාතපුත්ර නිර්ග්රන්ථයා අදහන ජෛනයන් ගේ භාවනා ක්රම දොළොසකි. ඔහු ද්වාදශෝපේක්ෂා නමින් හැඳින්වෙති. අනිත්යානුප්රේක්ෂා (සියල්ල අනිත්යය යයි යලි යලි බැලීම), අශරණානුප්රේක්ෂා (ආත්මය කර්ම විපාක නිසා අශරණ වන බව බැලීම), සංසාරානුප්රේක්ෂා (සසර සරන තුරු ආත්මය විමුක්තිය ලද නො හැකි බව බැලීම), ඒකත්වානුප්රේක්ෂා (තමා ම කර්ම කරන්නා බවත්, තමා ම එහි ඵල විඳින්නා බවත් සැලකීම), අන්යත්වානුප්රේක්ෂා (නෑදෑ ආදීනුත් ලොවැ අන් සියල්ලත් සිත කය දෙකත් අන්ය බව ආත්ම නොවන බව නුවණින් බැලීම), අශුච්යානුප්රේක්ෂා (සිරුර පිළිකුල මෙනෙහි කිරීම), ආශ්රවානුප්රේක්ෂා (කර්මයන් තම ආත්මය තුළට පිටින් වැස්සීම නිසා කෙලෙසුන් හැදෙන බව, එය භවයේ හේතුව බව සැලකීම) සංවරානුප්රේක්ෂා (කර්මයන් ආත්මයට වැස්සීම වැළැක්විය යුතු බව මෙනෙහි කිරීම), නිර්ජරානුප්රේක්ෂා (ආත්මය කෙරෙන් කර්ම රූප සොලවා ඉවත් කළ යුතු බව සැලකීම), ලෝකානුප්රේක්ෂා (ලොවත් එය සැදීමට කරුණු වූ ධාතුන්ගේත් තතු නුවණින් බැලීම), බෝධි දුර්ලභානුප්රේක්ෂා (සත්යාවබෝධයේ දුර්ලභ කම මෙනෙහි කිරීම), ධර්ම ස්වාඛ්යාතානුප්රේක්ෂා (ධර්මයේ අගය මෙනෙහි කිරීම) යනු ඒ භාවනා දොළසයි.
මේ නානාවිධ ලබ්ධි ගත්තන් අතුරෙහි පරමාත්ම හෝ පරබ්රහ්ම නමින් කෙනෙක් ද, ශිව විෂ්ණු ආදි නම් වලින් කෙනෙක් ද, පුරුෂ නමින් කාපිලයෝ ද, ජෙහෝවා, අල්ලා, අහුරමස්දා නමින් ක්රෛස්තව, මුස්ලිම්, පාරසී ලබ්ධිකයෝ ද, තේඔ ලබ්ධිකයෝද, ජීව නමින් ජෛනයෝ ද කිසි ප්රඥප්තිමාත්ර ධර්මයක් පරිකල්පිත කොට-ගෙන, එයින් අන්ය සියල්ල අනිත්යාදි වශයෙන් සිතමින්, තමාගේ පරිකල්පිත පදාර්ථය නිත්ය ස්වරූපයෙන් වරදවා ගෙන, එහි ඇලී සසරෙහි ම වෙලී සිටිත්. ඔහු මුක්ති යැයි කිය කියා භවයෙහි කිසි එක් කොටසෙක ම සිත යවත්, නොයෙක් තරතිරමින් අඩු වැඩි වූ, ඔවුන්ගේ භාවනා ක්රම එකකුත් නියම විදර්ශනයෙක් නොවේ.
ක්රෛස්තව ජේස්ලාමික චින්තකයෝ භවයෙහි ලේශමාත්රයක් දුටහ. පාරසික ලබ්ධිකයෝ එයට වඩා දුටහ. හෛන්දවයෝත් තේඔ ලබ්ධිකයෝත් ඔවුන් හැම ඉක්මවා භවයේ වැඩි කොටසක් දුටහ. ජෛනයෝ ඔවුන්ටත් වඩා භවයේ දොස් දුටහ. එහෙත් ඒ සර්වප්රකාරයෙන් නො දුටු ඔහු එහි කිසි කොටසක් දේවත්වයෙන් හෝ ආත්මත්වයෙන් ගෙන එහි ඇලී භවයෙන් මිදුණම්හ යි සිතා සිතා, භවයෙහි ම ගිලුණහ. මේ දුරාඛ්යාත ශාසනයෙහි දිවා රෑ දෙක්හි වෙහෙස විඳ ඔවුන් වඩන්නාහු ලත් ඵලය ය.
සියල්ල තතු වූ පරිදි දත් සර්වඥ ශාක්ය මුනීන්ද්රයන් වහන්සේගේ සර්වප්රකාර පරිපූර්ණ ධර්මය අනුව සිතා බලන්නහුට, බාහිර සමයාගත ඒ සියලු භාවනා ක්රම ම ශමථ පක්ෂයෙන් වුව ද, අසම්පූර්ණ බව දැක්ක හැකිය. විදර්ශනා භාවනාවෙක් බාහිරකයන ට කොයින් ද? ලොව සියලු සංස්කාර, අනිත්ය දුක්ඛ වශයෙනුත්, සියලු ධර්ම අනාත්ම වශයෙනුත්, ඉගැන්වෙන බෞද්ධ විදර්ශනා භාවනා ක්රමය එකී සියලු ම ක්රම පරදවා ශ්රේෂ්ඨ ස්ථානය ගනී. එයට නොහසු වන කිසි ද දහමෙත්, කිසි ද භවයෙක නැත. පරසමයවාදීන් නොයෙක් සැටියෙන් වර්ණිත ඔවුන්ගේ පරිකල්පිත ආත්මය ද, ශිව විෂ්ණු ජෙහෝවා ආදී පදාර්ථ ද, ත්රිලක්ෂණ භාවනාවට හසුව නිශ්ශෝභාව වැටී යෙයි. ඒ ආත්ම නොව අනාත්ම ම වෙයි.
මෝක්ෂාවබෝධය සඳහා වැඩිය යුතු එකම භාවනා ක්රමය බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් ලොව හමුවට පැමිණි මේ විදර්ශනා භාවනා ක්රමය ම ය.
එය ආභිධම්මික රේරුකානේ චන්දවිමල ස්ථවිර පාදයන් වහන්සේ විසින් නිබන්ධ, මෙම විදර්ශනා භාවනා ක්රමය නම් පොතෙන් මැනවින් උගත හැක්ක. මේ මහඟු ධර්ම ග්රන්ථය බෝධාබෝධ කාගේත් හස්තසාර වස්තුවක් වේවා.!
බලන්ගොඩ ආනන්ද මෛත්රෙය ස්ථවිර, 1947 නොවැම්බර් 15