උපසම්පදා ශීලය.pdf
scanned
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2008
- මුද්රිත වර්ෂය :
- 2008
- පිටු ගණන :
- 369
- බාගත කිරීම් ගණන :
- 1,491
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-10-13
- ගොනුවේ ප්රමාණය :
- 11 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
උපසම්පදා ශීලය යනු අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් උපසම්පන්න භික්ෂූන් වහන්සේලාගේ ශීල සංවරය සහ විනය ශික්ෂාපද පිළිබඳව සම්පාදිත ප්රමුඛ විනය ග්රන්ථයකි. භික්ෂූන් වහන්සේලාට තම උපසම්පදා ශීලය පිරිසිදුව රැකගැනීමටත්, විනය පිටකයේ අඩංගු ගැඹුරු ශික්ෂාපද සහ විනිශ්චයන් නිරවුල්ව තේරුම් ගැනීමටත් උපකාර වන පරිදි මෙම කෘතිය රචනා කර ඇත.
මෙහි ප්රධාන වශයෙන් පාරාජිකා, සංඝාදිසේස ඇතුළු භික්ෂු ප්රාතිමෝක්ෂයට අයත් සියලු ශික්ෂාපද, ආපත්ති සහ අනාපත්ති විධි, විනීත වස්තු, චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලන්පස යන සිව්පසය පිළිබඳ විනය නීති මෙන්ම ආජීව පාරිශුද්ධි ශීලයේ අංගද සවිස්තරව විග්රහ කෙරේ.
- උපසම්පදාව හා එහි ප්රභේද
- පාරාජිකා සතර සහ සංඝාදිසේස ඇවැත් විනිශ්චය
- පාත්ර, සිවුරු හා ආහාරපාන වැළඳීම පිළිබඳ ශික්ෂාපද
- ආජීව පාරිශුද්ධිය, චූල ශීල, මජ්ඣිම ශීල හා මහා ශීල විස්තරය
මෙම හයවන මුද්රණය 2008 වසරේදී ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් ප්රකාශයට පත් කර ඇත.
ලේකම්ගේ සටහන්...
බුදු සමයේ එන විනය පිටකය: ව්යවස්ථා, අණපනත්, ප්රඥප්ති හා ආචාර ධර්ම යන සියල්ලෙහි එන ගති ලක්ෂණ කැටිවුණු ධර්ම කොට්ඨාශයකි. එහි නිවැරදිව හැසිරෙන තැනැත්තා ලෝකයේ ඉහළම දැනුම ලබයි. එම විදර්ශනාව ලැබීම සඳහා කැපවී කටයුතු කරන්නෝ සංඝ රත්නය යි හඳුන්වන අතර, උන්වහන්සේලාට උපකාර වෙමින් පහසු පරිදි විදසුන් ලබන්නට උත්සාහ කරන්නෝ උපාසක - උපාසිකා නම් වෙති
විනය නීති භික්ෂු - භික්ෂුණී උභය සංඝයා උදෙසා වදාළ ද, ඉන් සමහර කොටස් ක්රියාත්මක වීමේදී ගිහියා සම්පූර්ණයෙන් එහි වගකීමෙන් මිදුණේ නොවේ. වෙනත් ආගම් වල නිෂ්ඨාව හා ජීවන ක්රමය අනුව එම පූජකවරුන් කරන සමාජ සේවය දෙස බලා පන්සලෙන් ගමට ලැබෙන ලැබෙන දේ මදි යයි විවේචනය කරන්නෝ මේ වගකීම් තේරුම් නො ගත් පුද්ගලයෝ ය. ප්රඥාවත් ගිහියකු විසින් භික්ෂූන් වහන්සේ සිල්වත් කිරීම සඳහා කළ හැකි මෙහෙය විශාලය. ගිහි භවතුන්ද විචාරාත්මකව විනය පිළිබඳව දැන ගත යුත්තේ මේ නිසා ය.
සමස්තයක් ලෙස ගත් කල නූතන නවක භික්ෂූන් වහන්සේ විනය දැනුමෙන් දුප්පත් ය. ඒ නිසා ම හැසිරීමෙන් පිරිහී ඇති බව සැබෑය. එසේ වීමට ගිහියා මේ දැනුමෙන් ඈත්වීමත් අධ්යාපන ප්රතිපත්ති ආදිය ඒ අනුව නො සැකසීමත් හේතු විය. නොදැනුවත් වූ දෙපිරිස ම එක් වී බුදු සසුනෙන් ගත හැකි ප්රයෝජන යටපත් කර ක්රියා කරති. තමන්මුත් නො පිරිහෙමින් සසුනේ පිරිහීමත් වළක්වන්නට නම් කෝසල සංයුක්තයේ එන පරිදි ගිහියා විසින් භික්ෂූන් වහන්සේ පරිස්සමෙන් ඇසුරු කළ යුතු ය. සර්පයා, ගින්න හා රජුන් ඇසුරු කරන්නාක් මෙන් ප්රවේසම් සහගත නොවූයේ නම් ඒ ඇසුර රටට ම අයහපත් ප්රතිඵල උදා කරයි.
සිල්වත් නොවන භික්ෂූන් වහන්සේ ගිහියාගෙන් ලබන ප්රත්ය පහසුව කොතරම් මානසික වධයකින් ඉවසන්නේ ද යන්න අග්ගික්-ඛන්ධෝපම සූත්රාදියෙන් ප්රකට වේ. මේ නිසා බුදු සසුනේ තමන් හැසිරිය යුතු ආකාරය භික්ෂූන් වහන්සේ විසින් දත යුතු ම ය. තමන් ඇසුරු කරන ගිහියා අපායගාමී නොවීම පිණිස යහමගෙහි යෙදවීමේ වගකීම භික්ෂූන් වහන්සේ සතුය. භික්ෂුත්වය ආරක්ෂා කර ගෙන ඒ කාර්යයෙහි යෙදීමට නම් නිරවුල් විනයදැනුමක් අවශ්ය වේ. අපේ රටේදී ‘සිංහල කම’ ගොඩනැගුණේ බෞද්ධ ආභාෂයෙන් නිසා දෙපිරිසම විනය දැනුමෙන් පෝෂණය වීම සිංහලකමත්, බෞද්ධ කමත් ආරක්ෂා කර ගැනීමට ද හේතු වෙයි.
දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ඉඩ නැති නමුත් බුද්ධ විනය අනුව අනුකූලදැයි සලකා බැලිය යුතු ප්රවණතා කීපයක් ම අද ලංකා ශාසන ඉතිහාසයේ සටහන් වී ඇත.
1. ජාත්යන්තර බෞද්ධ සංවිධානයන්හි සාකච්ඡා කළැයි ප්රකාශ වූ ‘භික්ෂුණී ශාසනය’ ලොව පුරා ඇති කිරීමේ උනන්දුව හා හොර රහසේ මෙන් එය ලක්දිව පිහිටුවීම.
2. විදේශ ධර්ම ප්රචාරය නමින් සිවුරේ මුවාවෙන් විදේශ ගත වන්නන්, එතෙර ශ්රද්ධාව භෞතික වස්තු වශයෙන් ආනයනය කරන්නන්, හා ඔවුන්ගේ ක්රියා කලාපය.
3. දේවාලයන්හි ස්තෝත්ර ගායනා, පඬුරු රැස් කිරීම හා නව ඇදහිලි ප්රචලිත කරමින් සිටින සමහර භික්ෂූන් වහන්සේලා ගේ ක්රියාකලාපය.
4. පන්සල, නොනිමෙන ගොඩනැගිලි කර්මාන්තයක් බවට පත්වී ඇතැයි ගිහියා තුළ ඇති ආකල්ප හා හර-සුන් පූජා විධි මගින් ගිහියා ආකර්ෂණය කර ගන්නට ගන්නා උත්සාහය සහ බෞද්ධ දර්ශනය ක්රමයෙන් දුරස්ථ වීම.
5. තමන් නිරත විය යුතු විදර්ශනා මග බොහෝ සේ ගිහියාට උගන් වන, තමන් ආධ්යාත්මිකව දියුණු නොවූ භික්ෂූන් වහන්සේලාගේ භාවනා මධ්යස්ථාන ප්රචලිත වීම.
6. තම සිසුන්ට මූලික ආගමික අධ්යාපනයක් දීමට අලස වැඩිහිටි භික්ෂූන් වහන්සේලා එය පිරිවෙනට පැවරීම හා ඒවායේ ක්රියා කලාපය.
7. පරීක්ෂණ හා නිරීක්ෂණ මත ගොඩනැගෙන විද්යාව මුල් තන්හි තබා ගෙන සියල්ලෙන් නිදහස් වීම සොයන බුදුසමයේ ඉගැන්වීම් ඊට අනුකූල දැයි සැසඳීම.
8. සංඝ සංස්ථාව පරිහානියට ලක් කර දේශපාලන වාසි සොයන භික්ෂූන් වහන්සේ ම තම පැවැත්ම පිණිස ඉහළින් සලකන නායක භික්ෂූන් වහන්සේලාගේ ක්රියා කලාප හා දේශපාලන භික්ෂූන් වහන්සේලාගේ ක්රියා කලාපය.
මෙවැනි බොහෝ කරුණු නිසා භික්ෂූන් වහන්සේ හා ‘’වැදගත් බෞද්ධයා’’ ගේ ක්රියා කලාපය පරිහාසයට ලක් කරන විරෝධාකල්ප ගී රාශියක් අද ජනප්රියව පවතී. ඒ ඇසුරින් ශ්රද්ධා හීන සිංහල බෞද්ධ පරපුරක් බිහිවීම වැලැක්විය නො හැකිය. මානව හිමිකම් වැටට මුවාවී රජයත්, සියල්ල අනිත්යයි සිතා විනය ගරුක මහා සංඝරත්නය හා බෞද්ධ සංවිධානත් නිසොල්මන්ව සිටියොත් කුමක් වේද?
මේ නො දැනුමට පිළියම් ලෙස රේරුකානේ චන්දවිමල නාහිමියන් විනය පිටකයේ දත යුතු කරුණු කැටි කොට ලියූ දහම් පොත් පෙළ නො කඩවා පවත්වාගෙන යන්නට අපි උත්සාහ කරමු. සමාජය යන අතේ යන භික්ෂූන් වහන්සේලා නොව අද අපට අවශ්ය වන්නේ එය නිවැරදි කරන පිරිසකි. තවමත් එය උන්වහන්සේලාට කළ හැකි (සිවුරෙහි) ශක්තිය හීන වී නැත.
පොතක පිටපත් අවසන් වන්නට මත්තෙන් කෙසේ හෝ එය සම්පූර්ණ කරන්නට අප මෙහෙයවන ගරු සභාපති, පූජ්ය කිරිඔරුවේ ධම්මානන්ද හිමිපාණන්ටත්. අදාල සංවිධාන කටයුතු වලදී නිබඳ සහාය වන විහාරස්ථ හිමිපාණන් වහන්සේලාටත්, පෙර මුද්රණයේ සෝදුපත් සැසඳීමට සහාය වූ දයාවතී අබේසිංහ මහත්මිය, පූජා පොල්පිටිය මෙනවිය හා විශ්රාමලත් විදුහල්පති හරිස්චන්ද්ර සිරිවර්ධන මහතාටත්, මුද්රණ කටයුතු ඉටුකළ සිකුරු පොත් ප්රකාශකයෝ හි ගිහාන් අනුරුද්ධ ජයවර්ධන මහතා ඇතුළු කාර්යය මණ්ඩලයටත්, සංශෝධිත පරිගණක සටහන් යෙදූ හොරණ රූ-මායා ග්රැෆික්ස් හි සාලිය ජයකොඩි මහතාටත්, නිරන්තරව අනුග්රහය දක්වන සැදැහැවත් පාඨක භවතුන්ටත් ශාසනයේ පැවැත්මට රුකුල් දෙන මේ පොත මුද්රණයේදී එය සිහිකරමින් ම පින්දෙමු.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2008 සැප්තැම්බර් 01 වන දින
පොකුණුවිට දීය.