පොහොය දිනය.pdf
scanned
- කතෘ :
- රේරුකානේ චන්ද්රවිමල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2005
- මුද්රිත වර්ෂය :
- 2005
- පිටු ගණන :
- 159
- බාගත කිරීම් ගණන :
- 1,386
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-10-13
- ගොනුවේ ප්රමාණය :
- 4.9 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
පොහොය දිනය යනු අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත, පොහෝ දිනයන්හි පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන්ට මුළු දවස ඵලදායී ලෙස ධර්මානුකූලව ගත කිරීම සඳහා සම්පාදනය කරන ලද අත්පොතකි.
මරදානේ ඉන්දික මුද්රණාලයේ ඩබ්ලිව්. ඩී. රත්නායක අප්පුහාමි මහතාගේ ආරාධනයෙන් 1966 වසරේදී මුල්වරට සම්පාදිත මෙම කෘතිය, පොහෝ දිනක උදෑසන සිට පසුදා අලුයම සිල් පවාරණය දක්වා වූ කාලසටහනකට අනුව සැකසී ඇත. භික්ෂූන් වහන්සේලාගේ නිබඳ සහභාගිත්වයක් නොමැති අවස්ථාවක වුවද තනිව හෝ සාමූහිකව වන්දනාමාන, භාවනා සහ ධර්ම සාකච්ඡා පවත්වා ගැනීමට අවශ්ය උපදෙස් හා පාඨ මෙහි මැනවින් අන්තර්ගත වේ.
කෘතියෙහි අන්තර්ගත ප්රධාන මාතෘකා අතර:
- පොහොය දින සෙවීම හා සිල් සමාදන් වීමට සූදානම් වීම
- අටසිල්, නවාංගුපෝසථ හා දස සීල විස්තරය
- පෝය දවසේ කාලසටහන
- උදෑසන, දවල් සහ සවස වැඳුම් පිදුම් හා වන්දනා ගාථා
- බුද්ධානුස්මෘති හා මෛත්රී භාවනා ක්රම
- පිරිත්, සූත්ර දේශනා සහ පින්දීමේ ගාථා
මෙම පිටපත ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් 2005 වර්ෂයේදී මුද්රණය කරන ලද දසවන සංස්කරණයයි.
ලේකම්ගේ සටහන්...
සෑම විහාරස්ථානයකම එකසේ ප්රයෝජනවත් පෝදා වැඩසටහනක් ක්රියාත්මක නොවීම නිසා සිල් සමාදන්වීම සඳහා වඩාත් හොඳ තැන් සොයා යන බෞද්ධයන් අප කොතෙකුත් දැක ඇත. ඒ නිසා ගමේ පන්සලත් දායකයාත් අතර ඇති වියයුතු සම්බන්ධය තව තවත් දුරස්ථ වේ. නොයෙක් ආකාරයෙන් භේදභින්නව ගිය සමාජය එකමුතු කිරීමට ඇති සාර්ථකම මාර්ගයක් නම් ගිහි පැවිදි සම්බන්ධය යලි තහවුරු කිරීමයි.
මේ පොත ප්රයෝජනයට ගෙන සෑම විහාරස්ථානයකම සාර්ථක ආගමික වැඩසටහනක් පවත්වාගෙන යන්නේ නම් බැඳුණු පවුලක්, බැඳුණු ගමක් හා දියුණු ජාතියක් ඇති කිරීමේ බාරදූර කාර්යයෙහි සමාරම්භය එය වනු ඇත.
“පොහොය දිනය” මේ මුද්රණය ද සිඳුරු ප්රකාශකයන්ගේ කැපවීම හා නිපුණතාවය ප්රකට කරන්නකි. සිඳුරු ප්රකාශන අධිපති, ශිහාන් අනුරංග ජයවර්ධන මහතා සහ කාර්ය මණ්ඩලය කෘතඥතාවයෙන් සිහිපත් කරන අතර අවම මිලක් පවත්වා ගන්නට ආධාර උපකාර කරන සැදැහැවතුන් ද කෘතවේදීව සිහි කරමි.
රේරුකානේ නාහිමියන්ගේ පොත් තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ඔබට හැකි පමණින් ආධාර උපකාර කිරීම උසස් වූ ධර්මදානමය පින්කමකි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2005 ජුලි මස 26 වන දින, පොකුණුවිටදී ය.
මහා සංඝරත්නය වෙත කරන නිවේදනය යි.
පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේ දී කළයුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීලසමාදානය සාර්ථක කර දෙන කෙනකු සිටිය යුතු ය. එබඳු කෙනකුගේ සහාය නො ලද හොත් බොහෝ දෙනෙක් ම සිල් සමාදන්වීම සාර්ථක කර ගැනීමට අපොහොසත් වෙති. ගිහියන් සිල් සමාදන් වීම සඳහා පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. එසේ පැමිණෙන සැදැහැවතුනට සහයෝගය දීම භික්ෂූන් වහන්සේගේ යුතුකමෙකි. සමහරවිට භික්ෂූන් වහන්සේලා අතින් ඒ යුතුකම හරියට ඉටු නො වීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප්රසාදය පළකරනවා ද අසන්නට ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාට ද නොයෙක් කටයුතු ඇත්තේ ය. උපාසකෝපාසිකාවන් බලාපොරොත්තු වන තරමට ඔවුන්ගේ වැඩවල දවස මුළුල්ලේ යෙදීමට භික්ෂූන් වහන්සේට ද ඉඩක් නැත. එබැවින් මෙය දුෂ්කර ප්රශ්නයක් වී තිබේ.
පොහොය දිනය නමැති මේ ග්රන්ථයෙන් ඒ ප්රශ්නය බොහෝ දුරට විසඳා ගත හැකි ය. පොහෝ දිනයෙහි උපාසකෝපාසිකාවන් කළයුතු වැඩ සියල්ල මෙහි කාලසටහනක් අනුව විස්තර කර ඇත. විහාරස්ථානවලට සිල් සමාදන් වන්නට පැමිණෙන්නවුන් මේ පොතේ සැටියට ක්රියා කරන ලෙස යෙදුව හොත් ඒ ප්රශ්නය ලෙහෙසියෙන් විසඳෙන්නේ ය. පැමිණෙන පිරිස උදේ සිල් සමාදන් කරවා ඉන්පසු කළ යුතු වැඳුම් පිදුම් හා ශීලය ආවර්ජනා කිරීම මේ පොත අනුව කුඩා නමක් ලවා හෝ උපාසක පිරිසේ ම කෙනකු ලවා හෝ කරවිය හැකි ය. අකුරු කියවිය හැකි කවරෙකුට වුව ද මේ පොතෙන් ඒ වැඩ කළ හැකි ය. මේ පොතේ ඇති භාවනාවල් සිල් පිරිසට කියවා භාවනා කරවීම ද සිල් පිරිසේ කෙනකු හෝ කුඩා නමක් හෝ යොදවා කරවිය හැකි ය. බණ කිය යුතු වේලාවේ දී බණක් වශයෙන් ද මේ පොතේ ඇතැම් කොටස් කියවීම සුදුසු ය. රාත්රි කාලයේ කරන ධර්ම සජ්ඣායනා උපාසකවරුන්ට මේ පොත බලා කළ හැකි ය. මේ පොත අනුව වැඩ කිරීම පුරුදු කරගත හොත් උපාසකෝපාසිකාවන්ගේ දියුණුවත් භික්ෂූන් වහන්සේට පහසුවත් ඇතිවන බව මහාසංඝයා වහන්සේට සැලකරමු.
රේරුකානේ චන්දවිමල ස්ථවිර.
ග්රන්ථය හැඳින්වීම
සිල් සමාදන් වන පින්වතුන්ට කරන නිවේදනය.
මසකට පොහොය දින සතරක් ඇතත් මේ කල බොහෝ දෙන සිල් සමාදන් වන්නේ පුර පසළොස්වක පොහොය දිනයෙහි පමණකි. සිල් සමාදන් වී හැසිරිය යුතු ආකාර නො දත් බැවින් බොහෝ දෙනා සිල් සමාදන් වන එක දිනයෙන් ද ලැබිය හැකි නියම ප්රයෝජන නො ලබති. සිල් සමාදන් වී දෙතුන් දෙනා එකතුව නිෂ්ඵල කථාවල යෙදීම් ආදියෙන් පොහොය දිනයේ කාලය අපතේ යවති. ඒ බව දුටු සැදැහැවත් බෞද්ධ මහතකු වන මරදානේ ඉන්දික මුද්රණාලයේ ඩබ්ලිව්. ඩී. එස්. රත්නායක අප්පුහාමි මහතා අපවෙත පැමිණ සිල් සමාදන් වන පින්වතුන්ට දවසේ වැඩ සුදුසු පරිදි කාලසටහනක් අනුව කළ හැකිවන පරිදි ග්රන්ථයක් සම්පාදනය කරන ලෙස ඉමහත් ඕනෑ කමින් ආරාධනා කෙළේ ය. ඔහුගේ ආරාධනාව පිළිගත් අප විසින් මේ කුඩා ග්රන්ථය ඉතා ටික දිනකින් සම්පාදනය කරන ලදී.
හොඳින් අකුරු කියවිය හැකි පින්වතකුට අනිකකුගේ උපදෙස් නැතිව ද පොහෝ දිනයේ වැඩ නිසි ලෙස මෙයින් කරගත හැකි වනු ඇත. එබැවින් මේ පොත භික්ෂූන් වහන්සේගේ සම්බන්ධයක් නැතිව අනුරාධපුරාදි පෙදෙස්වලට ගොස් සිල් සමාදන් වන පින්වතුන්ට විශේෂයෙන් ම ප්රයෝජනවනු ඇත. මේ පොත අනුව වැඩ කිරීමෙන් උපාසකවරුන්ට දවසේ සම්පූර්ණ කාලයෙන් ම ප්රයෝජන ගත හැකි වනු ඇත. වන්දනා පූජා පාඨ හා ගාථා පාඩම් කරගත නොහෙන පින්වතුන් විසින් පොත බලාගෙන ඒවා කියා වැඳුම් පිදුම් කළ යුතු ය. සීලය ආවර්ජනා කිරීම හා භාවනා ද පොත බලාගෙන කළ හැකි ය. පොත බලා කරන කල්හි කල්යාමෙන් ඒවා ප්රගුණ වී පොත නො බලා ම කළ හැකි තත්ත්වයට ද පැමිණිය හැකි වනු ඇත.
උපාසක පිරිසක් ඇති තැන්වලදී වන්දනා පාඨාදිය පැවිදි නමක් ලවා කියවාගෙන වන්දනා කිරීම සුදුසු ය. එහෙත් නිතරම භික්ෂූන් වහන්සේලාට ඒවා කරදීමට අනවකාශ විය හැකිය. එබැවින් උපාසක පිරිසේම කෙනකු ලවා ඒවා කියවා ගෙන වැඳුම් පිදුම් කිරීමට ද උපාසකෝපාසිකාවන් පුරුදු විය යුතු ය. කියවීමේහි සමත් උපාසකෝපාසිකාවන් ඒවා ස්වකීය පිරිසේ අයට කියවා වන්දනා පූජා කරන්නට ද පුරුදු කර ගත යුතු ය. සෙස්සන්ට ඒවා කියවා වන්දනා කරවන පින්වතුන්ට එයින් ධර්මදානමය කුශලයක් ද අතිරේක වශයෙන් ලැබේ.
මෙකල බෞද්ධයන් පින් වශයෙන් බොහෝ සෙයින් කරන්නේ වන්දනා පූජා දෙක ය. ඔවුන් වන්දනා පූජා ද ගතානුගතිකව කරනවා මිස ඒවා ගැන නියම දැනීමක් ඇතිව කරනවා නොවේ. නියම දැනීමක් නැතිව පින් කරන්නවුන්ට බෙහෙවින් ඇති වන්නේ මහත්ඵල මහානිසංස නො වන දුබල වූ ඥානවිප්රයුක්ත කුසල් ය. ඥානසම්ප්රයුක්ත වන බලවත් කුසල් ඇති කර ගත හැකි වීමට නම් ඒවා ගැන හොඳ දැනුමක් ඇති කර ගත යුතු ය. සිල්සමාදන් වන පින්වතුන් විශේෂයෙන් ම ඒ දැනුම ඇති කර ගත යුතු ය.
එබැවින් වන්දනා පූජා සම්බන්ධ විස්තරයක් පොහොය දිනය නමැති මේ ග්රන්ථයට ඇතුළු කළ යුතු ය. එහෙත් ඒවා අප විසින් සම්පාදිත පුණ්යෝපදේශය නමැති ග්රන්ථයෙහි විස්තර කර ඇති බැවින් මේ ග්රන්ථයට ඒවා ඇතුළු නො කරන ලදී. සිල් සමාදන් වන දිනවල දී බණපොතක් වශයෙන් ඒ පොත කියවුවහොත් මේ පොත භාවිත කරන පින්වතුන්ට ඒ අඩුව පිරෙනු ඇත.
රාත්රියේ කරන සජ්ඣායනාවල් පොත බලාගෙන කළ යුතු ය. උපාසක පිරිස් ඇති තැන්වල කියවීමට සමත් එක් කෙනකු විසින් හෝ දෙදෙනකු විසින් සජ්ඣායනා කළ යුතු ය. සෙස්සන් අසා සිටිය යුතු ය. එක් අයකුට මුළුකාලයේ ම සජ්ඣායනා කිරීම අපහසු නම් මාරුවෙන් මාරුවට සජ්ඣායනා කළ යුතු ය.
පන්සිල් රැකීම ගැන මේ පොතේ දක්වා ඇති ක්රමය අනුගමනය කිරීම ඉතා යහපත් බව විශේෂයෙන් මතක් කරමු.
මීට - ලෝවැඩ කැමති
රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිර
15 - 9 - 1966
ශ්රී විනයාලංකාරාරාමය
පොකුණුවිට.