කෙලෙස් එක්දහස් පන්සියය.pdf

scanned

කතෘ :
රේරුකානේ චන්ද්‍රවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2008
මුද්‍රිත වර්ෂය :
2008
පිටු ගණන :
278
බාගත කිරීම් ගණන :
1,505
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-10-13
ගොනුවේ ප්‍රමාණය :
9.6 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 140

කෙලෙස් එක්දහස් පන්සියය යනු අභිධර්මය හා සූත්‍ර දේශනා ආශ්‍රිතව විස්තර වන කෙලෙස් එක්දහස් පන්සියය පිළිබඳව අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත විශිෂ්ට ධර්ම ග්‍රන්ථයකි. බෞද්ධ ජනතාව අතර බහුලව භාවිත වන ‘කෙලෙස් එක්දහස් පන්සියය’ යන්නෙහි සැබෑ අර්ථය හා ඒවා ගණනය වන ආකාරය සරල සිංහල බසින් පැහැදිලි කරදීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙහි කෙලෙස් ධර්මයන් තනි වශයෙන් මෙන්ම ද්වික, ත්‍රික, චතුෂ්ක, පඤ්චක, ෂට්ක, සප්තක, අෂ්ටක, නවක සහ දශක වශයෙන් ප්‍රභේද කොට විස්තර කර ඇත. තවද කෙලෙස් 1500 ගණනය කරන ක්‍රමය සහ ක්ලේශ හා චිත්තෝපක්ලේශ ප්‍රහාණය කරන ආකාරය ද මෙහි විස්තර කෙරේ:

  • එක බැගින් දැක්වෙන ධර්ම තෙසැත්තෑව
  • ද්වික, ත්‍රික, චතුෂ්ක, පඤ්චක, ෂට්ක, සප්තක, අෂ්ටක, නවක, දශක වශයෙන් දැක්වෙන ධර්ම
  • කෙලෙස් 1500 ගන්නාක්‍රම
  • ක්ලේශ ප්‍රහාණය හා චිත්තෝපක්ලේශ ප්‍රහාණය

මෙම නව වන මුද්‍රණය ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ලේකම්ගේ සටහන්...... කෙලෙස් එක්දහස් පන්සියය

අපෙන් සිදු වන පව් බොහොමයක් කරන-කියන පව්කම් වලට වඩා හිතන-පතන පව්ය. හිත ගැනත් හිතෙහි ඇති වන සිතුවිලිවල විවිධාකාර ස්වරූප ගැනත් අප නොදන්නා තරමට මේ පව්වල ප්‍රමාණය ද වැඩිවිය හැකිය. ලෝභ දෝස මෝහ යන අකුසල් මුල් තුන පදනම් කරගෙන පාපකාරී චෛතසික කීපයක් විවිධ ආකාරවලින් මතු වී එන හැටි තේරුම් ගැනීමට මේ පොත උපකාරී වෙයි.

එකම වස්තුවක් එක් එක් පැත්තෙන් සිට බලන විට එහි පෙනීම වෙනස් ය. එකම වස්තුවක් දෙස එක තැනක සිට පුද්ගලයන් දෙදෙනකු බලන විට ද වෙනස් පෙනීමක් ඇතිවිය හැකි ය. එසේ ම එක් එක් ස්ථානය අනුව, අවස්ථාව අනුව හා පුද්ගලයා අනුව එකම සිතිවිල්ලක ස්වරූපයේ ද නොයෙක් වෙනස්කම් ඇතිවිය හැකි ය. කෙලෙස් එක්දහස් පන්සියයක් වශයෙන් ගණන් බලන්නට හැකිව ඇත්තේ එම විවිධාකාරය නිසාය. මේ තත්ත්වය යම්තම් මතුපිටින් හෝ තේරුම් ගන්නට අප සමත් වේ නම් ලෝකයේ නො ගැලි-නො ගැටී ජීවත් වීමට එයම ප්‍රමාණවත් වේ.

හික්මුණු (සමාහිත) සිතක් ඇතිකර ගැනීමට සිත පිළිබඳ මේ ඉගෙනීම ප්‍රයෝජනවත් වෙයි. විදසුන් මගට පිවිසීමට එය දොරටුවක් වෙයි. ධර්මදානය ඉතා උසස් වන්නේ පුද්ගලයාටත්, සමාජයටත් විමුක්තිය උදාකර ගැනීමට අණට වඩා බණ අවබෝධයට තැන දෙන නිසා ය. අණ නොතකා යන්නට බොහෝ දෙනකු උත්සාහ කරතත් බණ දැනගතහොත් එවැනි පව් නො කරන බව පැහැදිලිය.

2500 බුද්ධ ජයන්තිය වන විට බෞද්ධයන් තුළ තිබූ දුර්වල ආගමික දැනුම පොහොසත් කිරීම අරමුණු කර ගෙන ඇරඹුණු රේරුකානේ චන්ද්‍රවිමල මහානාහිමි පාණන්ගේ “සම්බුද්ධ ජයන්ති ධර්ම පුස්තක වැඩපිළිවෙල” එකල වැඩවිසූ සමහර භික්ෂූන් වහන්සේලාගේ හා විවිධ උගතුන්ගේ විවේචන ජයගනිමින් දීර්ඝ මාවතක ගමන් කළ බව ඔබ දනී. මේ පොත් නිසා බුද්ධ විනය පිළිබඳවත්, භාවනා කිරීම පිළිබඳවත් ගිහියන් දැනුවත් කළවුනට පහසුවක් වූ බව ද පෙනේ. ගිහියන්ට නිවැරදි බෞද්ධයන් ලෙස සාර්ථක ගිහි ජීවිතයක් ගත කිරීමට මේ පොත් නිසා ලැබුණු අනුබලය විශේෂයෙන් අගය කළ යුත්තකි.

මුද්‍රණ තාක්ෂණයේ නව ශිල්ප ක්‍රම, පාඨක රුචිය ඇති කරන ආකෘතිකමය අවශ්‍යතා, සේවක වැටුප්, වෙළඳ නියෝජිතයන් ආකර්ෂණය කර ගැනීම වැනි අභියෝග රැසක් ඉදිරියේ මේ පොත්වලින් වන සේවය නොකඩවා ලබා දෙන්නට “ශ්‍රී චන්ද්‍රවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය” කටයුතු කරයි. ඒ අභියෝග ඉදිරියේ නොසැලී සිටීම සඳහා සැදැහැවතුන් දෙන අනුබලය මහත් පිටුවහලකි. තම තමන්ට ඒ ඒ අවස්ථාවල හැකි ඉහළ මුදල් ප්‍රමාණවලින් උදව් දෙමින් සැදැහැවත් අනුග්‍රාහක භවතුන් දක්වන සහයෝගය අප ලද භාග්‍යයකි.

මෙහි අනුක්‍රමණිකාව ලියූ පරලෝසැපත් හර්බට් පතිරණ මහතාණන් ද, මැද ඉසුඹුවක් පවා නොගෙන අවසන් වන පොතෙන් පොත මුද්‍රණය කරන්නට මා මෙහෙයවන ගරු සභාපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් ද, කලින් මුද්‍රණ වාරයකදී සැදැහැබරව සෝදුපත් සැසඳූ ප්‍රජා පොල්පිටිය, දයාවතී අබේසිංහ මහත්මීන් ද, කලට වේලාවට මනා ලෙස මුද්‍රණ කටයුතු කළ සිතුරූ පොත් ප්‍රකාශක ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද සංශෝධිත පරිගණක සටහන් යෙදූ හොරණ රූ-මායා ග්‍රැෆික්ස් හි සාලිය ජයකොඩි යුවල ද දයාවෙන් සිහිපත් කරමි.

තිසරණ සරණයි!

ඩී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය

2008 නොවැම්බර් 12 වන දින,
පොකුණුවිටදී ය.

ප්‍රස්තාවනා

ස්මරණශක්තිය ඥානශක්තිය ඉන්ද්‍රියශක්තිය ශරීරශක්තිය යන මේවා වයස් ගත වීමෙන් පිරිහෙන්නේය. ඒ ශක්තීන් පිරිහුණු මහලු අයට පොත් ලිවීම අපහසුය. අමාරුවෙන් ලියුව ද ඒවායේ ද දුබල බව සිටින්නේ ය. අපි ද දැන් මහලු වියෙහි සිටින්නෙමු. දැන් අපගේ ශක්තිය බොහෝ හීන ය. එබැවින් පොත් ලිවීම නවත්වා විවේකීව කල් යැවීම ආරම්භ කෙළෙමු. එහෙත් අපගේ පොත් කියවීමෙන් සතුටට පත්, අප වෙත පැමිණෙන අපට මුණ ගැසෙන බොහෝ ගිහි පැවිදි පින්වත්හු පොත් ගැන ම කථා කළහ. බොහෝ දෙනා අලුත් පොත් ගැන විමසූහ. ඇතැම්හු දැනට ලියන පොත කුමක්දැ යි ඇසූහ. ඇතැම්හු අලුත් පොත් නැත්තේ ඇයිද? දැන් පොත් නො ලියන්නේ ඇයිදැ යි ඇසූහ. ඇතැම්හු අලුත් පොත් ලිවීම සඳහා නොයෙක් මාතෘකා ඉදිරිපත් කළහ. ඇතැම්හු තවත් පොත් ලියන ලෙස ඇරයුම් කළහ. ඇතැම්හු අපගේ පොත් කලක් නො නැසී පවතිනු පිණිස තල්පත්වල හෝ තඹපත්වල ලියා තැබීමට ද යෝජනා කළහ. මේ කරුණු අනුව අප විසින් සම්පාදනය කරන දහම් පොත් කියවීමට ආශාව ඇති විශාල පිරිසක් ඇති බව පෙනී ගියෙන් නැවතත් පොතක් ලිවීමේ අදහස අපට ඇති විය.

‘කෙලෙස් එක් දහස් පන්සියය’ යනු නොයෙක් විට ධර්මකථිකයන් වහන්සේලාගේ මුවින් නිකුත් වන බෞද්ධයන්ට නිතර ඇසෙන වචනයෙකි. එහෙත් කෙලෙස් එක්දහස් පන්සියය දන්නවුන් දුලබ නිසා එය වචනමාත්‍රයක් වී ඇති බැවින් (කෙලෙස් එක්දහස් පන්සියය) ඒ ගැන පොතක් කවරෙකු විසින් හෝ ලියුව හොත් මැනව යන අදහස අප තුළ බොහෝ කලක පටන් පැවතිණ. කෙලෙස් ගිනි දල්වන කෙලෙස් වඩන පොත් කොතෙකුත් බිහිවුණා මිස, කෙලෙස් ගිනි නිවීමට උපකාර වන පරිදි කෙලෙස් එක්දහස් පන්සියය ගැන පොතක් නො බිහි විය. එබැවින් බෞද්ධ ග්‍රන්ථමාලාවට අඩුක්ව පවතින ග්‍රන්ථයක් වන මේ කෙලෙස් එක්දහස් පන්සියය නමැති ග්‍රන්ථය ලිවීම ආරම්භ කරන ලදී.

මෙය අප විසින් ආරම්භ කරන ලද්දේ අවසානය තෙක් ලියමිය යන ස්ථිර බලාපොරොත්තුවකින් නොව අපහසුකමක් නො වුව හොත් අවසානය තෙක් ලිවීමේ අදහසිනි. ඒ අතර යම් යම් අපහසු කම් ඇති වුව ද ලිවීම ආරම්භ කළ දිනයේ පටන් සෑම දිනයක ම පොතින් පේලි කීපයක් හෝ ලිවිය හැකි විය. තෙමසක් පමණ ලිවීමෙන් පොත සම්පූර්ණ විය.

මේ ක්ලේශයෝ වනාහි මැටිකැට ගල්කැට පොල් ගෙඩි කොස් ගෙඩි ආදිය මෙන් පැහැයක් නැති සටහනක් නැති ප්‍රමාණයක් නැති ශරීරයක් නැති ඇසට නො පෙනෙන අතට අසු නො වන සිතෙහි ඇති වන අරූපී ධර්ම කොට්ඨාසයෙකි. ඒවා තේරුම් කිරීමට උපයෝගී කර ගැනීමට ඇති එකම දෙයත් වචනය ම ය. ඇසට පෙනෙන අතින් ගත හැකි මැටිකැටයක ගල් කැටයක සැටි පවා වචනයෙන් හරියට ම තේරුම් කළ නො හැකි ය. පුද්ගලයන් හා වස්තූන් තේරුම් කිරීමට ඡායාරූප උපයෝගී කර ගන්නේ එබැවිනි. වචනයට වඩා බලයක් ඡායාරූපයට තිබේ. ශරීරයක් නැති කෙලෙසුන්ගේ ඡායාරූප ගැනීමක් නො කළ හැකි ය. ඒවා කෙසේ හෝ වචන වලින් ම තේරුම් කළ යුතු ය. අරූපී ධර්මයන් වචනවලින් තේරුම් කිරීම පහසු නො වන බැවින් අභිධර්ම ග්‍රන්ථයන්හි එක් එක් ක්ලේශයක් තේරුම් කිරීමට බොහෝ වචන උපයෝගී කර ගෙන ඇත්තේ ය. ලෝභය දැක්වීමට වචන සියයක් ද, ද්වේෂය දැක්වීමට වචන සවිස්සක් ද, මෝහය දැක්වීමට වචන පස් විස්සක් ද ගෙන තිබේ. පාලි භාෂාව නොදත් සිංහල ජනයාට ඒ වචන වලින් කාරණය තේරුම් කළ නො හෙන බැවින් ඔවුනට තේරෙන්නට සිංහල වචනවලින් අමුතු ආකාරයකින් කෙලෙසුන් විස්තර කළ යුතු ය. එය දුෂ්කර කාර්‍ය්‍යයෙකි. එය අපේ ශක්තියේ සැටියට කරන ලදී. කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ප්‍රසිද්ධ සිංහල වචනම යොදා මේ ග්‍රන්ථය ලියන ලදී. අපට දැනට ස්මරණ ශක්තිය ගිලිහී ගොස් ද ඇත. ලියන ලද දෙය ඉක්මනින් අමතක වී යන බැවින් මෙහි ඇතැම් තැනක පුනරුක්තයන් ද තිබිය හැකි ය. කෙලෙසුන් බෙහෙවින් වැඩෙන්නේ ආර්ය්‍ය ධර්මය නො දත් ආර්ය්‍ය ධර්මයෙන් නො හික්මවන ලද කෙලෙසුන් නො හඳුනන අන්ධ පෘථග්ජනයන් ගේ සිත්වලය. ඔවුන් ගේ සිත් කෙලෙස් නමැති විස ගස්වලට සරුබිම් ය. මේ පොත කියවා කෙලෙසුන් ගැන දැනීමක් ඇති කර ගැනීම තමන්ගේ සිත් පිරිසිදු කර ගනු කැමති ගිහි පැවිදි සියලු පින්වතුන්ට ඉතා ප්‍රයෝජන වනු ඇත.

මේ පොත මුද්‍රණය කරවීමේ දී ශෝධ්‍ය පත්‍ර බැලීම් ආදි සියල්ල අපගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාර්ය්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්ථවිරයන් කිරිඔරුවේ ධම්මානන්ද භික්ෂු නමගේ සහාය ඇතිව කරන ලදී. මේ පොත ඉක්මනින් මුද්‍රණය කර දුන් පන්තිපිටියේ තිලක් මුද්‍රණාලයේ ඇම්. ජේ. පෙරේරා මහතා ප්‍රමුඛ සේවක පිරිසට ද පින් සිදු වේවා.

මීට,
ශාසනස්ථිතිකැමි
රේරුකානේ චන්ද්‍රවිමල මහා ස්ථවිර

2517
------ සැප්තැම්බර් 7 වැනි දින.
1973

පොකුණුවිට,
ශ්‍රී විනයාලංකාරාරාමයේ දී ය.