චතුරාර්‍ය්‍ය සත්‍යය.pdf

scanned

කතෘ :
රේරුකානේ චන්දවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2007
මුද්‍රිත වර්ෂය :
2007
පිටු ගණන :
169
බාගත කිරීම් ගණන :
1,833
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-10-13
ගොනුවේ ප්‍රමාණය :
4.8 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 85

චතුරාර්‍ය්‍ය සත්‍යය යනු අතිපූජ්‍ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට බෞද්ධ ධර්ම ග්‍රන්ථයකි. බුදුදහමේ මූලික හා පරම සාරය බඳු චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව ගැඹුරු අභිධර්ම හා සූත්‍ර කරුණු මැනවින් පැහැදිලි කරමින් සාමාන්‍ය ජනයාට ද පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් මෙම කෘතිය රචනා කර ඇත. සම්මෝහවිනෝදනී අටුවාව හා විසුද්ධිමාර්ගය වැනි ගැඹුරු මූලාශ්‍රයන්හි එන ධර්ම විග්‍රහයන් පදනම් කරගනිමින්, ආධුනිකයන්ට පවා වටහාගත හැකි වන පරිදි ක්‍රමවත්ව කරුණු ඉදිරිපත් කර තිබේ.

මෙහි ප්‍රධාන වශයෙන් සතර ආර්‍ය්‍ය සත්‍යයන් විස්තර කෙරේ:

  • දුක්ඛ සත්‍යය (පඤ්චස්කන්ධ විභාගය, ලෝක දුඃඛ ස්වභාවය සහ ද්වාදසාකාරය)
  • දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යය (තෘෂ්ණාවේ ප්‍රභේද සහ දුකට හේතුවන අයුරු)
  • දුක්ඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය (නිර්වාණයේ ස්වභාවය, සුවය හා ප්‍රභේද)
  • දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය සහ ප්‍රතිපදාව)

අග්ගමහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක හිමිපාණන්ගේ අගනා ප්‍රස්තාවනාවකින් ද මෙම ග්‍රන්ථය සමන්විත වේ. මෙම පිටපත 2007 වසරේ පළවූ විසි වන මුද්‍රණයයි.

සංඥාපනය

ලෝකයේ වාසය කරන මනුෂ්‍ය තිරශ්චීනාදි සත්ත්වයන් පිළිබඳව හා අන්‍ය ලෝක වස්තූන් පිළිබඳව ද, සාමාන්‍ය ජනයාට ඇත්තේ වැරදි දැනීමකි. ඔවුහු ද්‍රව්‍ය නොවු ක්‍රියා රාශියක් ද්‍රව්‍යයන් ලෙස ද, කුඩා ද්‍රව්‍ය සමූහයන් මහත් වස්තූන් ලෙස ද, සත්ත්ව පුද්ගල භාවයක් නැති ධාතු සමූහයක් සත්ත්වයන් පුද්ගලයන් ලෙස ද, අනිත්‍ය දෙය නිත්‍ය දෙයක් සැටියට ද, අශුභ දෙය සුන්දර දෙයක් හැටියට ද, දුක ම සුවයක් හැටියට ද, දුක් ඉපදීමේ හේතුව ම සැප ලැබීමේ හේතුවක් හැටියට ද, සත්‍ය වූ සැපය හා එය ලැබීමේ ප්‍රතිපත්තිය මහත් නපුරක් හැටියට ද, වරදවා තේරුම් ගෙන සිටිති. තථාගතයන් වහන්සේ වනාහි ඒ සියල්ල තත්ත්වාකාරයෙන් දැන වදාළ සේක. ලෝක තත්ත්වය පිළිබඳ තථාගතයන් වහන්සේ විසින් දක්නා ලද ආකාරය ආර්‍ය්‍ය සත්‍යය නාමයෙන් හඳුන්වනු ලැබේ.

ලෝක තත්ත්වය පිළිබඳ වැරදි හැඟීම් ඇතිව එය ම පරම සත්‍යය හැටියට පිළිගෙන, එයට අනුව ම සිතන එයට අනුව ම සියලු ක්‍රියා කරන තැනැත්තා හට වැටහෙන්නේ තථාගතයන් වහන්සේගේ සත්‍යය වූ ආර්‍ය්‍ය සත්‍යය අසත්‍යයක් හැටියට ය. ඒ නිසා ම ඔවුනට මේ ධර්මය දැන ගැනීම ඉතා දුෂ්කර ය. බුද්ධ ධර්මයේ පරම සාරයත් චතුරාර්‍ය්‍ය සත්‍යය ම ය. එබැවින් නියම බෞද්ධයකු වන්නට නම් ආර්‍ය්‍යසත්‍යයන් පිළිබඳ තරමක දැනුමක්වත් ඇති කර ගත යුතු ය. මෙකල වසන බෞද්ධ ගෘහස්ථයන්ගෙන් තබා පැවිද්දන්ගෙන් ද වැඩි දෙනෙක් මේ ආර්‍ය්‍ය සත්‍යය පිළිබඳ ඡායා මාත්‍ර දැනුමක්වත් නැත්තෝය. මේ චතුරාර්‍ය්‍ය සත්‍යය අනුන්ගේ උපකාරයෙන් තොර ව ස්වශක්තියෙන් ම කෙනකුට සොයා ගත හැකි තේරුම් ගත හැකි ධර්මයක් ද නො වේ. ඒ ධර්මය තරමකින් වත් බෞද්ධ ජනයාට දැන ගැනීමට නම් පහසුවෙන් තේරුම් ගත හැකි සැටියට ලියවුණු පොත් තිබිය යුතුය. මේ වනතුරුත් එබඳු පොත් සුලභ වී නැති බැවින් බෞද්ධ ජනතාවට ආර්‍ය්‍යසත්‍යයන් තරමකින් වත් දැන ගැනීමට උපකාර වීමේ අදහසින් අපගේ නැණ පමණින් මහත් පරිශ්‍රමයෙන් මේ පොත සම්පාදනය කරන ලදී.

අටුවා පොත් අතුරෙන් ද චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ දීර්ඝ විස්තරයක් දක්වා ඇත්තේ ‘සම්මෝහවිනෝදනී’ නම් වූ විභංගප්‍රකරණාර්ථ කථාවේ හා ‘විසුද්ධි මාර්ගයේ’ ය. පාළි භාෂාව නොදත් සාමාන්‍ය ජනයාට ඒවායින් ප්‍රයෝජනයක් නො ලැබිය හැකි ය. පාළි භාෂාව දත් පමණින් ද ඒවා කියවා චතුරාර්‍ය්‍ය සත්‍යය තේරුම් ගැනීම පහසු වැඩක් නොවේ. ඒ ඒ පොත්වල චතුරාර්‍ය්‍ය සත්‍යය විස්තර කර තිබෙන්නේ ධම්මසංගණී ප්‍රකරණයෙහි එන පරමාර්ථ ධර්ම විභාගයන් මැනවින් උගත් අයට දැන ගැනීමට සුදුසු සැටියට ය. පූර්‍වභාගයෙහි ඇති කර ගන්නා ලද පරමාර්ථ ධර්ම පිළිබඳ දැනුමක් නැතිව පාළි භාෂාව දත් පමණින් ම ඒවායේ යථාර්ථය දත හැකි වේය’ යන අදහසින් ඒ පොත් කියවන්නවුන්ට ඇති වනුයේ නො දැන ම ‘දැන ගතිමි’ යන රැවටීමක් පමණකි. ඒ රැවටීම නම්, කොහෙත් ම නො දැන සිටීමටත් වඩා නපුරකි. පාළි භාෂාව පමණක් උගෙන දහම් පොත් කියවා එසේ රැවටී සිටින අය මෙකල බොහෝ ය.

අප අදහස වූයේ පාළි භාෂාව හා පරමාර්ථ ධර්ම විභාගයන් ද කලින් දැන නො සිටින අයටත් මේ ධර්මය පිළිබඳ තරමකටවත් ශුද්ධ දැනුමක් ඇතිකර ගත හැකි වන සැටියට පොතක් සම්පාදනය කිරීමය. එබැවින් අප විසින් සම්මෝහවිනෝදනී ආදියෙහි චතුරාර්‍ය්‍ය සත්‍ය වර්ණනා කර තිබෙන මඟ නො ගෙන මේ පොත ලිවීමට අත් මඟක් ගන්නා ලදී. කෙසේ ලියූ කල්හි කියවන්නාට පහසුවෙන් කාරණය අවබෝධ වේ දැයි කරුණක් පාසා ම කල්පනා කොට ඒ ඒ අවස්ථාවෙහි අපට කල්පනා වූ පරිද්දෙන් කරුණු පහදමින් මේ පොත සම්පාදනය කෙළෙමු.

නවකථා පොතක් කියවන්නකුට වෙහෙසක් නැති ව අර්ථයත් කථා රසයත් ලැබෙන සේ ලෙහෙසියෙන් අර්ථය හා ධර්ම රසය ලැබෙන හැටියට ගැඹුරු ධර්මයන් පිළිබඳ පොත් සම්පාදනය නො කළ හැකිය. එබැවින් කවීන්ගේ හෝ ලේඛකයන්ගේ හෝ සමත්කමේ අනුහසින් ම ගැඹුරු ධර්මයන් ලෙහෙසියෙන් තේරුම් ගන්නට බලාපොරොත්තු නො වී, ධර්මය අවබෝධ කර ගැනීමට පොත් කියවන්නා විසින් ද උත්සාහ කළ යුතුය. චතුරාර්‍ය්‍ය සත්‍යය දනු කැමතියන් විසින් මෙම පොත නවකථා පොතක් මෙන් වරක් දෙවරක් කියවා හැර නො දමා වාර බොහෝ ගණනක් නැවත නැවතත් කියවිය යුතුය. පොතේ කියවෙන කරුණු සිත්හි තබාගෙන ඒවා ගැන නැවත නැවතත් කල්පනා කළ යුතුය. එසේ කළ හොත් සියල් දත් කවරකුට වුව ද මේ පොතේ උපකාරයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය පිළිබඳ මනා දැනුමක් ඇති කර ගත හැකිවනු ඇත. මෙම පොත ආදරයෙන් කියවා තථාගතයන් වහන්සේගේ සත්‍ය වූ චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය උගෙන නියම බෞද්ධයන් වී සසර දුකින් මිදී නිවන් සුවය ලැබීමට සියල්ලෝ ම උත්සාහ කරත්වා.

මීට - ශාසනස්ථිතිකමී,
රේරුකානේ චන්දවිමල ස්ථවිර
ශ්‍රී විනයාලංකාරාරාමය,
පොකුණුවිට
2490
1947 පෙබරවාරි 6 වැනි ගුරු දින දී ය.

ප්‍රස්තාවනා

ගෞරවාර්හ බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසිනි.

ආගම් බොහෝ ය. දුකින් මිදෙනුවට මඟැ යි එකෙක පැවැසුණු දෑ අනෙකක පැවැසුණු දැයට වෙනසි. ඇත්ත දක්නා රිසියහු විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැන්ම ය.

රවි - ඉන්ද්‍ර - අග්නි යන තුන් දෙවියනට යාග හෝම කැරුම ඇවැසි ම දැය කොට වේදය කියයි. මීමංසා දර්ශනය එය ම තහවුරු කරනුමට කරුණු හැර පායි. අහුරමස්ද නම් මැවුම්කරු පිදුමත්, සුමනස් - සුවක් - සුකෘති යන තුන වැඩුමත් දුකින් මිදෙනුවට අවශ්‍යයෙන් ම කළ යුතු දෑ යැ යි ශරාථුස්ත්‍ර දර්ශනය කියයි.

පුරුෂ ප්‍රකෘති මහත් අහංකාර ශ්‍රෝත්‍රත්වක් චක්ෂුස් ජිහ්වා ඝ්‍රාණ වාක් හස්ත උපස්ථ පායු පාද මනස් ශබ්දතන්මාත්‍ර ස්පර්ශතන්මාත්‍ර රූපතන්මාත්‍ර රසතන්මාත්‍ර ගන්ධතන්මාත්‍ර ආකාශ වායු තේජස් අප් පෘථිවි යන පස් විසි පදර්ථ ප්‍රත්‍යක්ෂ කැරුම මෝක්ෂලාභයට අවශ්‍ය දැ යැයි සාංඛ්‍ය දර්ශනය පණවයි.

සාංඛ්‍ය දර්ශනයෙහි කී දැ පස්විස්සට ඊශ්වර පදාර්ථයත් එක්කොට මේ පදර්ථ සවිස්ස දැක්මෙන් මෝක්ෂය ලැබේ යැ යි පාතඤ්ජල දර්ශනය දක්වයි.

ආත්ම ශරීර ඉන්ද්‍රිය අර්ථ බුද්ධි මනස් ප්‍රවෘත්ති දෝෂ ප්‍රේත්‍යභාව ඵල දුඃඛ අපවර්ග යන පදාර්ථ දොළොස ප්‍රත්‍යක්ෂ අනුමාන උපමාන ශබ්ද යන ප්‍රමාණ සතරින් මැන දැන ගැන්ම ම මෝක්ෂ ලාභයට සෑහේ යැ යි න්‍යාය දර්ශනය කියයි.

ද්‍රව්‍ය ගුණ කර්ම සාමාන්‍ය විශේෂ සමවාය අභාව යන සත මෝක්ෂය පිණිස අවබෝධ කටයුතු දෑ යැ යි වෛශේෂික දර්ශනයෙහි දැක්වෙයි.

ජීව අජීව දෙක තත්ත්වාකාරයෙන් දැන ගැන්ම ම විමුක්තියට අවශ්‍ය දැ යැ යි ජෛන දර්ශනය පවසයි.

එක ම සත්‍ය වූ සච්චිදානන්ද - රූප පරමාත්මය හෙවත් බ්‍රහ්මය ද, මායා - රූප වූ ලෝකය ද යන පදාර්ථ දෙක තතු සේ දැන් ම ම විමුක්තියට අවශ්‍ය යැයි වේදන්ත දර්ශනය කියයි.

(දේවත්‍රිත්වවාදියෙහි) විශ්වාසය ප්‍රාර්ථනාව පිළිපැදීම සක්‍රමේන්තුව යන සතර ක්‍රෛස්තව සමයෙහි මෝක්ෂ ලාභයට ඉවහල් ප්‍රධාන අවයව කොට දැක්වෙති.

‘පරලොවක් නැතැයි, කළ යුත්තේ මැරෙන තාක් හොඳට කා - බී කම් සැප විඳුම යැ’ යි උගන්වන චාර්වාක දර්ශනය පෘථිවි අප් තේජස් වායු යන පදාර්ථ සතරක් ම පණවයි.

අන් දර්ශන ද මෙහි දැක්වුණු දැයට හුරු වූ යම් යම් දෑ දත යුතු ම කොට, ඇවැසි ම කොට දක්වයි.

අන් හැම දර්ශනයක ම සර්වප්‍රකාරයෙන් කෙසේ වෙතත්, දත යුතු කිසිවෙක ඡායා මාත්‍රයක් ඒක දේශයකින් නො දැක්වෙන්නේ නො වේ. එකී දර්ශන පහළ කළ අන්‍ය ශාස්තෘවරයන් ගත් මඟින් අනෙකක් ම තථාගත ශාන්තිනායක ශාක්‍ය මුනීන්ද්‍ර සර්වඥයන් වහන්සේ ගත් සේක. කිසි ම දෘෂ්ටි ගතිකයකු විසින්දු ඉවතැ නො ලියැ හැකි සතර වැදෑරුම් පදනමෙක ස්වදේශනා ධර්මය පිහිටුවා ලූ සේක. ආගමක් අවශ්‍ය වනු යේ දුකක් ඇතැයි පිළිගන්නහුට ය. දුක කවර සැටියෙන් තේරුම් ගත්තත්, ‘මෙහි දුක් ඇතැ’ යි හේ පිළි ගනී. එයින් මිදෙනු පිණිසමය, ඔහුට ආගමක් අවශ්‍ය වනුයේ. මෙහි දුක් ඇත්තම්: සැප ලබනුවට ඔහුට බාධක වනුයේ ඒ දුක් හරි හැටි නො දැන, ඒ සියලු දුක හෝ ඉන් කොටසක් හෝ සැපයැ යි වරදවා ගෙන, එහි ඇලීම යැයි ඔහු විසින් පිළිගත යුතු ය. දුකක් ඇති නම් එයට ඉඳුරා විරුද්ධ සැපක් ඇති බව හැම දෘෂ්ටි ගතිකයා ම පිළි ගනී. දුකට හේතුව තෘෂ්ණාව වන කැලැ එය දුරුළුවොත් දුක නො වේ. සැප ලැබෙයැ’ යි පිළිගැනේ. ඒ තෘෂ්ණාව නසන මඟ ම දුක් දුර ලන සැප ලබන මඟ වේ. මෙසේ “දුක, දුක් හෙය, සැප, සැපට මග” යන සතර ඇත්ත දුකින් මිදෙනු රිසි කා විසිනුත් තත් වූ පරිදි අවබෝධ කටයුතු බව මැදහත් වැ විමසන්නහු විසින් පිළි ගත යුතු ය. මේ කරුණු සතර සිය දේශනාවෙහි පදනම් කැරැ වදාළ සර්වඥයන් වහන්සේ එයට ‘චතුස්සත්‍ය’යන නම දුන් සේක. පන්සාළිස් වසක් ලෝකාර්ථ චර්යාවෙහි යෙදුණු ඔබ වහන්සේ ධර්ම දේශනා වශයෙන් වදාළ කිසි ම වචනයෙක් චතුස්සත්‍ය ප්‍රකාශයෙන් වෙන් නො වී ය. එබැවින් “සච්ච විනිම්මුත්තාහි භගවතො දෙසනා නත්ථි”යි නෙත්ති අටුවාවෙහි දැක්විණ.

මරණීය හී පහරක් ලද්වකු “ඒ ඊය විද්දේ කවරෙක් ද? කෙබන්දෙක් ද? ඔහු නම් ගම් ඈ තතු ඔහු මා පියවරුන් තතු ඔවුන්ගේ මා-පිය ආදීන්ගේ තතු කවර කවර දැ යි අසන අසන ප්‍රශ්නයට උත්තර දිදී පමාවන, නො වියත් බොරු වෙදකු සේ, අන් තොටුවෝ දුකෙහි ගැලී සිටුනා මෝහාන්ධයනට ලොව අග මුල කියන්නට හෝ එහි අන්තානන්ත බව කියන්නට හෝ එබඳු ම අනවශ්‍ය අන් දැයක් වණන්නට හෝ තැත්හුහ. යටැ කී ඊ පහර ලදුහු ගේ මූඪ ප්‍රශ්නයට උත්තර නො දී, ඊය විදි තැනැත්තහු කවුරු වුවත්, ඊ-පහරින් වූ වණය සුව කැරැ ගන්නට මේ බෙහෙත් ගනැවැයි කියන නුවණැති වෙදහු සෙයින් ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ ලෝකයේ අක්මුල් අන්තවත් බව හෝ අනන්ත බව ආදිය ගැන අසන්නවුන් ගේ ඒ අනවශ්‍ය ප්‍රශ්න විසඳන්නට නො ගොස්, දත යුත්තේ ලොව අක්-මුල් ආදිය නොව “තමා නම් කිමෙක් ද? එය දුක් ද? සැප ද? දුක් නම් එයට හේතු කිම ද? දුකෙන් අන්‍ය සැපක් ඇත් ද? එයට මග කිමෙක් දැ?” යන මේ කරුණු යැයි වදාරා ඒවා විස්තර කළ සේක.

මෙයින් හැඟෙනුයේ කිමෙක් ද? අන් ආගම් සේ දුක් විඳින්නහුට වට පිට ඒ මේ අත අකුල් අස්සේ ඇද ගෙන නො ගොස්, එක එල්ලේ ම ඒ සඳහා අවබෝධ කටයුතු දෑ විදහා පැහැදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාව ම බව ය.

බුදු දහමෙහි සිදුරු සොයන ඇතැම් අන් තොටුවෝ එය සර්වාශුභවාදයෙකැ යි (හැම දැයක ම නරක පැත්ත පමණක් දක්වන දහමෙකැයි) දෝස් නගත්. ඔවුන් මෙසේ දෝස් නගනුයේ දුඃඛ - සමුදය සත්‍ය දෙක ගැන වදාළ දෑ කම් සුවෙහි ගිලුණු ඔවුනට නො රුස්නා බැවිනි. කවර ලොවකට කවර තත්ත්වයකට ගියත් පංචකාම රසාස්වාදය ඔහු පතති. එහි නිසරු බව සිතන්නට ද බිය වෙති. එබැවින් බුද්ධ ධර්මයෙහි දැක්වෙන දුඃඛ සත්‍යය-සමුදය සත්‍යය විස්තර බොරු ගැලවුම් පතන ඔවුනට නො මිහිරි ය. අන් දෙකෙහි ද අගයක් අහංකාර මමීකාර මානයන් ගෙන් වෙන් වන්නට නො කැමති ඔවුනට කිසිසේත් නො වැටහේ.

ලොවැ ශුභ පැත්තක් ම දක්නා සර්ව සුභ වාදියා (optimist) විසින් සිතා බැලිය යුතු කරුණක් එයි :-

කුහුඹු පණු පළඟ ආදීහු සුහුණු කටුසු ආදීනට ගොදුරු වෙති. සුහුණු ඈ හු සර්පාදීනට ගොදුරු වෙති. සර්පාදීහු හූරු ආදීනට ගොදුරු වෙති. හූරු ආදීහු මිනිසාට ගොදුරු වෙති. මිනිසා ද ව්‍යාඝ්‍රාදීනට ගොදුරු වේ. නැතහොත් අන් මිනිසකුගේ බලයට වහල් වේ. එක් මිනිස් ජාතියක් අන් ජාතික ජනයා තළා පෙළා මරා තම වශයට ගනී. වරක වහල් වූ ජාතිය ද අවස්ථා ලත් කෙණෙහි තමන් පෙළුවන් පෙළා තළා මරා ඔවුන් තම අත් අඩංගුවට ගනී. මේ අරගලය ලොව ඇති තාක් නො නවතී. මෙසේ වූ ලොවක ඒකාන්ත ශුභ පැත්තෙක් කොයින් ද? ආරෝග්‍යශාලාවෙකැ ශල්‍ය-කර්මාගාර, කාශවාට්ටු, සමාජ රෝගී වාට්ටු ආදිය ද, අනාථාගාරද, සිර ගෙවල් ද, උම්මත්තකාගාර ද, යුද බිම් ද දෙස සිහි නුවණ යොමා බලන්නකුට ලොව ගිනි වළක් සේ නො හැඟේ ද?

ඉපැත්ම පටන් මරණය තෙක් මිනිසා කරනුයේ තමා පසු කළ කරදර දෙස ආපසු බැලීමත්, ආයෙත්, ‘ඒ දුක් වඩා වඩා මහත් ව ඒ දෝ’ යි අනාගතය බැලීමත් බලමින් බිය නො වී එයට කළ යුතු දැ කිරීමෙහි ව්‍යාපෘත වීමත් ය. මේ අතර කිසි මොහොතක සිහිනයක් බඳු වූ ක්ෂණික කාම සුඛ වේදනා මාත්‍රයක් ලැබැ: එය ම මහත් කොට තකා අන් සියලු දුක් නො මෙනෙහි කරතොත් එය නුවණින් නො ව නො නුවණින් කැරෙන්නකි. ගිනි වලෙක වැටුණු පිණි බිදක් පමණටවත් එවැනි ක්ෂණික සුඛ වේදනා පුළුල් නුවණැතියා සරු කොට නො තකයි.

මෙසේ වූ ලෝකයෙහි අස්සක් මුල්ලක් නෑර හැම තන්හි ම පැවති දුකෙහි ඇති සැටිය පැවැසුණු බුද්ධ ධර්මය වූ කලී නැති සැපක් ඇතියක් කොට දක්වමින් ශෝකය නිවා ගන්නට මත්පැන් බී ගත්තකුගේ කීමක් වැනි, ලොව මුළා කොට සැප හීන දක්වන සර්වශුභවාද මායාවට වඩා සර්වප්‍රකාරයෙන් ශ්‍රේෂ්ඨය. අනුවණයනට සත්‍යය අමිහිරි වුව ද නුවණැතියාට එය මිහිරිය.

මෙ සේ කලැ ලොව දුකැ යි දක්වන බුද්ධ ධර්මය සර්වාශුභවාදයෙක් ද? නැත. එය දුක් පැත්ත පමණක් නො වේ, සැප පැත්ත ද දක්වයි. දුකෙහි දුක් බව ද එයට හේතුව ද පෙන්වා එයින් නො නැවතී, දුකෙහි ඉන්නවුනට ඉන් ගොඩ නැගෙනවුනට එල්බ ගත යුතු එක ම ප්‍රතිෂ්ඨාව නො පෙරලෙන ඒකාන්ත සැපය මෙ යැයි දක්වයි. එයට මග ද දක්වයි. මෙසේ අශුභ පැත්ත අශුභ වශයෙනුත් ශුභ පැත්ත ශුභ වශයෙනුත් දක්වන බුද්ධ ධර්මය සර්වාශුභ වාදයෙක් (Pessimism) ද නො වේ. සර්වශුභ වාදයෙක් (Optimism) ද නො වේ. එය සත්‍ය ප්‍රකාශය යි. යථාභූත වාදය යි. ඇති සැටි විදහා පෑම යි. කිසිම අන්තයකට නොවැටුණු මධ්‍යම මාර්ගය දක්වන එක ම ධර්මය යි. මෙසේ වූ සර්වඥ දේශනාව කිසිවකු විසින් නො පිළිබැහියැ හැකි සත්‍ය භාවය ඇති දුඃඛාදි සතර සත්‍යයන් පදනම් කොට ඇති බැවින් ම ග්‍රහයන් මැද හිරු සෙයින් අන් හැම දර්ශනයක් අභිබවා බබලයි.

බුද්ධ දේශනාවෙහි දැක්වෙන දුඃඛසත්‍ය විස්තරයට හසු නොවන කිසි ම දුඃඛ විභාගයක් අන් කිසි ම දර්ශනයෙක ශාස්ත්‍රයෙක නැත. එයට හසු නො වූ කිසි ම තෘෂ්ණා විස්තරයෙක්, කිසි ම සැප විස්තරයෙක්, කිසි ම ප්‍රතිපත්ති විස්තරයක් මොන ම අන්‍ය ධර්ම ශාස්ත්‍රයෙක නැත. එසේ ම එහි තරම් කේවල පරිපූර්ණ කොට ඒ සත්‍ය සතර විස්තර කළ අන් කිසි දහමෙක් ලොවැ නැත. දුකින් මිදෙනු පිණිස දත යුතු සියල්ල එහි ඇත්තේය. සියලු සතුන් ගේ පියවර මැමත් (mammoth) නම් ඇතාගේ පිය සටහනෙහි අඩංගු වනු විනා, එහි ඇතුළට ම හසුවනු විනා, එය ඉක්ම එයට පිටින් නො යන්නා සේ ඇති තාක් සියලු සත්‍යයෝ මේ බුද්ධ දේශිත සත්‍ය දේශනාවෙහි ඇතුළත් වෙති.

චතුස්සත්‍ය දේශනාව කොහෙත් ම තේරුම් නො ගත්තේ බුද්ධ ධර්මය කො හෙත් ම නො දන්නෙකි. එ බැවින් බුද්ධාගමය දනු කැමතියන් විසින් චතුස්සත්‍යය දේශනාව විස්තරයෙන් උගත යුතු. ඒ ඉගැන්ම මතු සත්‍ය ප්‍රතිවේධයට ප්‍රත්‍යය වෙයි.

චතුස්සත්‍යය සම්බන්ධයෙන් කුඩා පොත් පත් කිහිපයක් ඇතත් මෙතරම් ලිහිල් ලෙසත් විස්තරවත් එය දැක්වුණු මෙතරම් මහත් ග්‍රන්ථයක් මේ තාක් හෙළ බසින් පළවී නැත. නූගත්නට පමණක් නොව උගත්නට ද හස්ත සාර වස්තුවක් වූ මේ චතුරාර්‍ය්‍ය සත්‍ය විභාගය එයට ම සුදුසු සමතා අතින්. ලක්දිව අද්විතීය ධර්මධරයකු අතින්, ලියැවීම ධර්මඥානය පතන හෙළයන්ගේ භාග්‍යයෙකි. ග්‍රන්ථ කර්තෘ වූ ආභිධම්මික රේරුකානේ චන්දවිමල තෙරපාණන් වහන්සේ සෑම දෙනාගේ නොමඳ පැසසුමට බඳුන්හ.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර
1947 පෙබරවාරි මස 10 වන දින
පිරිවෙන
බලන්ගොඩ.