බුද්ධ නීති සංග්රහය.pdf
scanned
- කතෘ :
- රේරුකානේ චන්ද්රවිමල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2008
- මුද්රිත වර්ෂය :
- 2008
- පිටු ගණන :
- 173
- බාගත කිරීම් ගණන :
- 1,273
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-10-13
- ගොනුවේ ප්රමාණය :
- 4.7 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අනුවාද සහිත බුද්ධ නීති සංග්රහය යනු අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ජාතක පාලිය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය සහ සුත්ත නිපාතය ආදී ප්රධාන ත්රිපිටක පාළි මූලාශ්රයන්ගෙන් උපුටා ගන්නා ලද ගාථා 550ක් සහ ඒවායේ සිංහල භාවසන්නය (අර්ථ විවරණය) ඇතුළත් කර සම්පාදනය කරන ලද අගනා ග්රන්ථයකි.
හිතෝපදේශය, ව්යාසකාරය ආදී අබෞද්ධ නීති ග්රන්ථවල අඩංගු ඇතැම් දුරුපදේශයන්ට වඩා පිරිසිදු වූත්, මෙලොව පරලොව උභයාර්ථය මෙන්ම සුගතිගාමී වීම හා චර්යා ධර්ම දියුණු කරගැනීමට අවශ්ය වන්නා වූත් බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා මෙහි ගැබ් වේ. මිනිසාගේ එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්ය කටයුතු පිළිබඳ ප්රායෝගික උපදෙස් රැසක් ශතක වශයෙන් පෙළගස්වා ඇත.
මෙහි දැක්වෙන ප්රධාන මාතෘකා කිහිපයක්:
- ප්රථම ශතකය (නුවණ ඇති කර ගත යුතු බව, බුද්ධානුශාසනය, ධනය රැස් කළ යුතු ආකාරය, සේඛ නො වීමේ හේතු ආදිය)
- ද්විතීය ශතකය (මිත්රයන් ඇති බව අර්ථ සිද්ධියට හේතු වන බව, සත්පුරුෂයා හා අසත්පුරුෂයා, සේවනය ආදිය)
- තෘතීය ශතකය සහ උත්තර පණ්ණාසකය
මෙම පිටපත ශ්රී චන්ද්රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් බු.ව. 2551 (ක්රි.ව. 2008) වසරේදී නිකුත් කරන ලද නවවන මුද්රණයයි.
ලේකම්ගේ සටහන්...
ලෝකයේ පවතින රාජ්ය නීති හෝ ආගමික නීති සාමාන්යයෙන් භය හෝ භක්තිය දනවයි. එමගින් පාලකයාට හෝ නිර්මාපක දෙවියාට අවනත වන්නේ කිසියම් ආකාරයක දඬුවමකට යටත් වන්නට ඇති අකමැත්ත නිසා ය. එහෙත් බුදු සමයේ එන නීති පුද්ගලයා අවබෝධයට ලං කරයි. හිතට කථා කර දුසිරිතින් මුදවයි. දුසිරිත හා සුසිරිත වෙන් කර ගැනීමේදී ලෝක සම්මතයන් හා බෞද්ධ දර්ශනයේ එන පිළිගැනීම් අතර ගැටුමක් ඇති කර නොගනියි.
‘බුද්ධ’ යනු අවබෝධයයි. අවබෝධය ලැබූ තැනැත්තා ද ‘බුද්ධ’ යි. එබැවින් ප්රබුද්ධයන් බිහි කරන මග බුද්ධ නීතියයි. එය බෝසත් මගයි.
කථා කීමේ ශෛලිය පෙරදිග වැසියන්ගේ එක් උපදෙස් (නීති) කලාවකි. ජාතකපාලි, ධම්මපද ආදි කථාන්තර මගින් උපදෙස් දුන් තැන්වලින් උපුටා ගෙන රේරුකානේ නාහිමියන් කළ මේ සංග්රහය හදවතෙහි සුමුදු සිතිවිලි ගලා යන්නට සලස්වා පුද්ගලයා සුමගට යොමු කරයි.
මෙවැනි තැන් ඇසුරු කොට දරුවන්ගේ මනස පුබුදු කළ හැකි නම්, අධ්යාපනඥයින් වැදගත් තීරණ ගන්නේ වේ. පෙරදිග ගති සිරිත් අවඥාවෙන් බැහැර කර අපරදිග දියුණුව දුටු දේශපාලනඥයින් හා නිලධාරීන් නිසා අපේ ශික්ෂණය ඇති කළ වැදගත් අධ්යාපන අංශ අපෙන් ගිලිහී ගියේ ය. එකිනෙකා කෙරෙහි ආදර කරුණාවත්, ක්රමික ශික්ෂණයත් ඇති කළ ඉතිහාසය, සාහිත්යය හා ආගමික අධ්යාපනයෙන් ඈත් වීම නිසා මෙතෙක් අත්විඳ ඇති දේ ගැන සිතුවොත් අප වල්මත් වී ඇති බව පෙනෙයි. නිවැරදි තීරණ ගන්නට උපයෝගී වන මානසික හා බුද්ධිමය හැකියාව දියුණු කරන ඒ දැනුම සමග නූතන විද්යාත්මක හා තාක්ෂණ දැනුම ගලපන්නට දේශපාලන මග පෙන්වන්නන්ගෙන් අනුබල ලැබේ නම් ‘අපේ රට’ ගැන සිතන්නට අධ්යාපන විශාරදයන් අසමත් වේද? වසර 2300 කට පෙර ඇති වූ මහින්දු චින්තනය හා වර්තමාන මහින්ද චින්තනය ගලපන්නට අද ඇති වී තිබෙන ප්රවනතාව හා උනන්දුව මේ ගැටළුවලට සාධාරණ විසඳුම් ඇති කෙරේ ය යි බලාපොරොත්තු තැබිය හැකි වීම සතුටකි.
කලින් මුද්රණයේ සෝදුපත් කියවීමෙන් මාලනී දැක් වූ සහාය මේ මුද්රණයට ද උපකාර විය. මෙහි මුද්රණ කටයුතු අජිත් ප්රින්ටර්ස් අධිපති අජිත් සමරසේකර මහතා ප්රමුඛ කාර්ය මණ්ඩලයෙන් මනාව ඉටු කෙරිණ. හොරණ රූ-මායා ග්රැෆික්ස්හි සාලිය ජයකොඩි මහතා සංශෝධිත පරිගණක සටහන් ලබා දුන්නේ ය. මේ පොත් මිලදී ගන්නා සැදැහැවතුන් වෙතින් නිබඳ පොත් පිළිබඳ යහපත් ප්රචාරයක් ද සිදුවෙයි. අඩු මිලකට පොත් දෙන්නට හැකිවන පරිදි බොහෝ දෙනා ඒවායේ මුද්රණ වියදමෙන් කොටසක් සපුරාලීමට ද ඉදිරිපත් වෙති. මේ සත්පුරුෂ සමාගමය නිසා නිවැරදි බුදුදහම සරලව පහදා දුන් රේරුකානේ නාහිමිපාණන්ගේ පොත් තවදුරටත් ඔබ අත තැබීමේ වාසනාව අප මණ්ඩලයට හිමි වෙයි. මෙහිදී පූජ්ය කිරිබත්රුවේ ධම්මානන්ද සමිඳුන් ප්රමුඛ මණ්ඩලයේ ක්රියාකාරීන් අතින් වන මෙහෙයුම් ධෛර්යයෙන් මෙහි යෙදීමට මා පොළඹවයි. ඒ සැමට පින් සිදුවේවා.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්ද්රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2008 මාර්තු මස 25 වන දින,
පොකුණුවිටදී ය.
සංඥාපනය
ලෝකය දුකින් පිරුණු තැනකි. දුක් අඩු කර ගත් අය මිස සර්වාකාරයෙන් දුකින් මිදුණු පුද්ගලයෙක් ලොව කොතැනකවත් නැත. මිනිසා කොහි සැඟ වී සිටියත් කෙසේ පරෙස්සම් වී සිටියත් දුක් කරදර ඔහු සොයා ගෙන ඔහු කරා එන්නේ ය. මිනිසා නො පතන මිනිසාට එපා වූ දුක් කරදර මෙසේ මිනිසා සොය සොයා එන නමුදු මිනිසා පතන සොයන සම්පත්තිය එසේ ඔහු කරා නො එන්නේ ය. එය ඔහුට පෙනි පෙනී දුවන්නේ ය. අමාරුවෙන් අල්ලා ගත්තේ ද නො සිට පලා යන්නේ ය. එය ලෝකයේ ස්වභාවය ය. එබඳු ලෝකයෙක උපන්නා වූ මිනිසාට පැමිණි දුක් ඉක්ම වීම ය, පැමිණිය හැකි දුක් වළක්වා ගැනීම ය, නො ලැබූ සම්පත් ලබා ගැනීම ය, ලැබූ සම්පත් නො නැසෙන සේ පවත්වා ගැනීම ය, මරණින් මතු අපාගත නො වී සුගතිගාමී වීමය යන කරුණු පස සිදුකර ගැනීම ඉතා දුෂ්කර ය. එය සිදු කර ගත හැකි වීමට බොහෝ නුවණ තිබිය යුතු ය. නුවණ මද තැනැත්තා දෙලොවින් ම පිරිහෙන්නේ ය. මේ ලොව පමණක් දක්නා තැනැත්තා පරලොවින් පිරිහෙන්නේ ය. මිනිසකුට ඒ කරුණු පස සිදු කර ගත හැකි වීමට දත යුතු කරුණු බොහෝ ඇත්තේ ය, පිළිපැදිය යුතු උපදෙස් ද බොහෝ ඇත්තේ ය, ඒවාට නීතිය යි කියනු ලැබේ.
උභයලෝකාර්ථය සිදු කර ගත හැකි වන්නේ නීතිය දත් තැනැත්තාට ය. ලොව යෙහෙන් වෙසෙනු කැමති සෑම දෙනා විසින් ම නීතිය උගත යුතු ය. එබැවින් පෙර විසූ පණ්ඩිතවරයෝ නීති ග්රන්ථ නිපදවූහ. අප රටේ පෙර කුලදරුවනට අක්ෂරාභ්යාසය කරවීමට ගත් පොත් පෙළට නවරත්නය, ව්යාසකාරය, හිතෝපදේශය, ප්රත්යය ශතකය යන පොත් ඇතුළු කර තිබෙන්නේ ද නීති ශාස්ත්රය සෑම දෙනා විසින් ම උගත යුතු නිසා ය.
තථාගතයන් වහන්සේ විසින් ද නීතිය ප්රකාශ කරන ලද්දේ ය. අන් පඬිවරයන් ගේ නීති ග්රන්ථවල දුරුපදේශ ද නැත්තේ නොවේ.
ලෝකයා විසින් අතිශයින් සම්භාවිත නීති ග්රන්ථයක් වූ හිතෝපදේශයේ ද දුරුපදේශ නැත්තේ නො වේ.
“චිතෞ පරිෂ්වජ්ය විචෙතනං පතිං ප්රියා යා මුඤ්චති දෙහමාත්මනඃ කෘත්වාපි පාපං ශතලක්ෂවර්ෂසෞ පතිං ගෘහීත්වා සුරලොකමාප්නුයාත්”
මේ හිතෝපදේශයේ දැක්වෙන එක් උපදෙසකි. “යම් භාර්ය්යාවක් මළ සැමියාගේ සිරුර දවන චිතකයට වැද හිමියා වැළඳගෙන ගින්නෙන් දැවී මිය යා නම් ඕ තොමෝ සියක් ලක්ෂයක් පව් කළ තැනැත්තියක් වුව ද හිමියා ගෙන සුරලොවට යන්නී ය.” යනු එහි තේරුම යි. මෙය කොතරම් දුරුපදේශයක් ද?
“පිතා වා යදි වා භ්රාතා - පුත්රො වා යදි වා සුහෘත්. ප්රාණච්ඡෙදකාරා රාඥා - හන්තව්යා භූතිමිච්ඡතා”
මෙය ද හිතෝපදේශයේ උපදේශයකි. ‘පියා හෝ වේවා සහෝදරයා හෝ වේවා පුත්රයා හෝ වේවා මිත්රයා හෝ වේවා තමාගේ ප්රාණය නසන්නෝ රජු විසින් නැසිය යුත්තාහු ය” යනු එහි තේරුම යි. පියා වුව ද මරන්නට කරන මේ අනුශාසනය කොතරම් දුෂ්ට ද?
“ජයෙ ච ලභතෙ ලක්ෂ්මීං - මෘතෙචාපි සුරාංගනාම් ක්ෂණවිධ්වංසිනඃ කායාඃ - කා චින්තා මරණෙ රණෙ”
මෙය ද හිතෝපදේශයේ දැක්වුණු ශ්ලෝකයෙකි. යුද කොට දිනන තැනැත්තේ ශ්රී දේවිය ලබන බව හා යුදයෙන් නැසෙන තැනැත්තේ දෙව් ලොවට යන බව ද එයින් දැක්විණ. මේ උපදේශයට රැවටී යුද කොට කොතෙක් දෙනා මැරෙන්නට හා අපායට යන්නට ඇද්ද?
බුදුන් වහන්සේ විසින් ප්රකාශිත නීති අතර සදුපදේශ ම මිස එක දුරුපදේශයකුදු නැත. කෑම බීම, පා සේදීම, මුව සේදීම, නෑම, මලමූත්ර පහ කිරීම, කෙළ ගැසීම ආදී සුළු කරුණුවල දී පිළිපැදිය යුතු උපදෙස් පවා බුදුන් වහන්සේ විසින් ප්රකාශ කර තිබේ. එ බැවින් බුද්ධ නීතිය සර්වාංග සම්පූර්ණ නීතියක් බව කිය යුතු ය. සුපරිශුද්ධ බුද්ධ නීතිය උගෙන එයට අනුව පිළිපදින්නා වූ තැනැත්තා තමා ගේ උභයලෝකාර්ථය ම සිදු කර ගන්නේ ය. පරාර්ථය ද සිදු කරන්නේ ය.
බුද්ධ නීතිය උභයලෝකාර්ථ සාධක වූ සකලාංග සම්පූර්ණ වූ සුපරිශුද්ධ නීතියක් වුව ද, එය එක් තැන් නො වී පාලි සාහිත්යයේ විසිරී පවත්නක් වී තිබෙන බැවින් සෑම දෙනාට ම එයින් ප්රයෝජන නො ගත හැකි වී තිබේ. එ බැවින් බෞද්ධයෝ ද සුපරිශුද්ධ බුද්ධ නීතිය තිබිය දී නීති ශාස්ත්රය උගෙනීමට හිතෝපදේශ, පඤ්චතන්ත්රාදි අබෞද්ධ ග්රන්ථ භාවිතයට පටන් ගත්හ. බෞද්ධයනට සුපරිශුද්ධ බුද්ධනීතිය පහසුවෙන් උගෙනීමට ක්රමයක් නැතිකමේ පාඩුව නොයෙක් වර අපට පෙනුණු බැවින් ‘බුද්ධ නීති සංග්රහය’ නමැති මෙම ග්රන්ථය සම්පාදනය කිරීමට අප සිත නැමිණ. වාක්ය වශයෙන් හා ගාථා වශයෙන් දේශිත බොහෝ බුද්ධ නීති පාලි සාහිත්යයේ ඇත්තේ ය. ඒ සියල්ල ම එක් තැන් කළ හොත් ඉතා විශාල ග්රන්ථයක් වන්නේ ය. ග්රන්ථය විශාල වීමත් පරිශීලනය කරන්නවුන්ට කරදරයක් බැවින් අප විසින් වාක්ය වශයෙන් දේශිත නීති නො ගෙන ධාරණයට පහසු වූ ගාථා වශයෙන් දේශිත නීති පමණක් එක්තැන් කොට භාවසන්නයක් ද ලියා මේ ග්රන්ථය සම්පාදනය කරන ලදී. මෙහි දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ජාතක පාලිය, ධම්මපදය, උදානය, ඉතිවුත්තකය, සුත්ත නිපාතය යන පොත් වලින් උපුටා ගන්නා ලද ගාථා (550) පන්සිය පනසක් ඇත්තේ ය. මේ ග්රන්ථය භාවිත කරන තැනැත්තා හට සෑම කටයුත්තකට ම බුදුන් වහන්සේ ගේ උපදෙස් ලැබිය හැකි වනු ඇත. මෙය බෞද්ධයනට හස්තසාර වස්තුවක් වශයෙන් නිතර ළඟ තබා ගෙන කියවීමට සුදුසු ග්රන්ථයකි. ධර්මකථිකයන් වහන්සේලාට හා අන්ය කථිකයන්ට ද ගුරුවරුන්ට ද ඉතා ප්රයෝජනවත් පොතකි. පිරිවෙන්වල හා පාසල්වල උගැන්වීමට ද යෝග්ය පොතකි.
බුදුන් වහන්සේ විසින් එකල පැවති ව්යවහාර ක්රමයට අනුව දේශිත මේ ගාථාවල ව්යවහාර ක්රමය අපේ භාෂා ව්යවහාර ක්රමයට බොහෝ වෙනස් ය. එ බැවින් කාරණය පහසුවෙන් තේරෙන සැටියට ඒවාට අපේ භාෂාවෙන් අර්ථ දීමට ඉතා දුෂ්කර ය. ගාථාවට අයත් වචනවල සැටියට ම අර්ථ දුන හොත් සමහර ගාථාවලින් කියන කාරණය තේරුම් ගැනීමට අපහසු වන්නේ ය. ගාථාවේ වචන ගැන නො සලකා කාරණය පහසුවෙන් තේරුම් ගත හැකි වන සැටියට ගාථාවට අර්ථ දුනහොත් අර්ථ වාක්යය, ගාථාවේ වචන වලට බොහෝ දුර වන්නේ ය. ඇතැම් ගාථාවලින් කියැවෙන කාරණය පහසුවෙන් තේරුම් ගත හැකි වනුයේ ගාථාවට අයත් සමහර වචන අතහැර අර්ථ දුන් කල්හි ය. සමහර ගාථාවලින් කියැවෙන කාරණය තේරුම් ගැනීමට පහසු වන්නේ ගාථාවේ නැති තවත් වචනත් එක් කොට එයට අර්ථ දුන් කල්හි ය. මේ හැම කරුණක් ම සලකා බලා එක්තරා මධ්යම ක්රමයකට අප විසින් මේ භාවසන්නය සම්පාදනය කරන ලදී. සමහර විට මෙහි සදොස් තැන් ද තිබිය හැකිය. මතු මුද්රණය කරවන වාරයකදී සකස් කිරීම සඳහා මෙහි යම් කිසි දෝෂස්ථානයක් දුට හොත් අපට දන්වන ලෙස උගතුන්ගෙන් ඉල්ලමි.
මීට - ලෝකශාසනාර්ථකාමී,
රේරුකානේ චන්දවිමල ස්ථවිර
2493
1952 අප්රියෙල් 25 වෙනි දින
පොකුණුවිට,
ශ්රී විනයාලංකාරාරාමයේ දී ය.