බෝධි පූජාව.pdf

scanned

කතෘ :
රේරුකානේ චන්දවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2006
මුද්‍රිත වර්ෂය :
2006
පිටු ගණන :
109
බාගත කිරීම් ගණන :
60,106
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-10-13
ගොනුවේ ප්‍රමාණය :
2.8 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 55

බෝධි පූජාව යනු අග්ගමහා පණ්ඩිත රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රකට බෞද්ධ වන්දනා හා ශාන්තිකර්ම උපදේශන ග්‍රන්ථයකි. මෙහි මූලික සංඥාපනය වර්ෂ 1978 ජනවාරි 26 දින උන්වහන්සේගේ අසූ එක් වන වියේදී ලියන ලද අතර, මෙම පිටපත 2006 වසරේ (බු.ව. 2549) පළවූ එකොළොස් වන මුද්‍රණයයි.

බෝධි පූජාව හුදෙක් ලෞකික බලාපොරොත්තු ඉටුකරගන්නා අන්ධ විශ්වාසයක් හෝ වෘක්ෂ වන්දනාවක් නොවී, බුද්ධාලම්බන ප්‍රීතිය හා ඤාණ සම්ප්‍රයුක්ත කුසලයක් බවට පත්කරගැනීමේ අරමුණින් මෙම කෘතිය රචනා කර තිබේ. බෝධි ශබ්දයේ අර්ථ, ආනන්ද බෝධිය හා ලංකාවේ බෝධීන් වහන්සේලා, විවිධ බෝධි වන්දනා ගාථා, අටවිසි බුදුවරුන්ගේ බෝධි වන්දනා මෙන්ම ග්‍රහ අපල හා රෝග පීඩා දුරුකරගැනීම පිණිස කරනු ලබන බෝධි ශාන්තිකර්ම ක්‍රම රැසක් මෙහි සවිස්තරව දැක්වේ.

  • බෝධි ශබ්දයේ අර්ථ සහ පූජාවේ තේරුම
  • ආනන්ද බෝධිය හා ශ්‍රී ලංකාවේ බෝධීන් වහන්සේලා
  • විවිධ බෝධි වන්දනා ගාථා සහ සම්බෝධි පිරිත
  • පූජනීය වස්තු තුන් වර්ගය හා බෝධි පූජාවේ අනුසස්
  • සප්ත බුද්ධ - බෝධි ශාන්තිය හා දේවාරක්ෂාව සඳහා ශාන්ති කර්ම
  • මහා පුරුෂ ලක්ෂණ, කල්ප විභාගය සහ ධර්ම චක්‍ර විවරණය

පොකුණුවිට ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් ධර්මදානමය අරමුණින් මෙම මුද්‍රණය ප්‍රකාශයට පත් කර ඇත.

ලේකම්ගේ සටහන්.....

ලෝකයේ විශේෂ සිදුවීම් සිදුවීම මෙන්ම, විශේෂ පුද්ගලයන් බිහිවීම ද ඉතිහාසය පදනම් කරගත් ඉතිහාසයේ ම අවශ්‍යතා සම්පූර්ණ කිරීම් වශයෙන් ඉටු විය. නොහොත් ඒ සියල්ල මානව ශිෂ්ඨාචාරයේ විකාශනයන් ය. බුදුන් වහන්සේ ලොව පහළ වීම මෙන් ම බෞද්ධ ඉගැන්වීම් වශයෙන් බිහි වූ දර්ශනය ද ඒ සත්‍යයෙන් බැහැර නොයයි.

භාරතයේ බ්‍රාහ්මණ ක්ෂත්‍රිය කුල අතර තිබූ නිබඳ තරගයෙන් ක්ෂත්‍රියයන් ජයගත් අවස්ථාවක් ලෙස නිඝණ්ඨනාථ පුත්‍රයන්ගේ හා බුදුන් වහන්සේගේ පහළ වීම සැලකේ. උන් වහන්සේලා විසින් දේශිත ධර්මය ද කලින් වේද ග්‍රන්ථවලින් ප්‍රභවය ලැබ විකාශයට පත්ව ඉන් ඔබ්බට ගිය අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ‘ඉදමෙව සච්චං, මොඝමඤ්ඤං’ යි තමන්ගේ දර්ශනය පමණක් ඇත්තය යි උපාදන කරගෙන සිටි ඇදුරන් වෙතින් ඈත්ව පරම සත්‍යය අවබෝධ කරන්නට බුදුන් වහන්සේට හැකි වූයේ අන් ඇදුරන් විසින් එතෙක් අවබෝධ කරගත් ධර්මය උගෙනීමේ ප්‍රතිඵල වශයෙනි.

‘බුද්ධ’ සංකල්පය මෙන් ම ‘බෝධි’ සංකල්පය ද බුදුන් වහන්සේට කලින් නිපද වූ අදහස් ය. බුදුන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති බව කියවුණේ වේද සාහිත්‍යයේ ය. අස්වත්ථය හෙවත් ඇසතු බෝ රුක සියලු පව් දුරු කරන පූජනීය වස්තුවක් බවට පිළිගෙන තිබුණේ මොහෙන්දජාරෝ - හරප්පා ශිෂ්ඨාචාරයේ පටන්ය. බ්‍රාහ්මණ - උපනිෂද් ග්‍රන්ථවලින් එහි පූජනීයත්වය වඩාත් වර්ධනය විය.

සියල්ලන්ගේ සැලකීමට පත් රුක් මුලක හිඳ බුදුවීමෙන් එතෙක් විකාශය වූ බුද්ධ සංකල්පයට හා බෝධි සංකල්පයට නිශ්චිත බෞද්ධ අරුතක් දීමට බුදුන් වහන්සේ සමත් වූහ.

පළමුව තමන් වහන්සේ විසින් ම නේත්‍ර පූජාවෙන් පූජා කිරීමෙන් ද, පසුව තමන් වහන්සේ වෙනුවෙන් පූජා සත්කාර පිළිගැනීමට සුදුසු පූජනීය චෛත්‍යයක් වශයෙන් නම් කිරීමෙන් ද තම අනුගාමිකයන්ගේ බෝධිය පිළිබඳ අදහස වෙනසට පත් කිරීමට බුදුන් වහන්සේට හැකි විය. සාංචි ස්ථූපයේ කැටයම් අනුව බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුරුව සංකේතවත් කිරීම සඳහා බෝරුක යොදා ගත් සැටි ද පෙනේ.

එම ඇසතු බෝධීන් වහන්සේ ලක්දිව පිහිටියේ නව සිංහල බෞද්ධ සංස්කෘතියක් ද පිහිටුවා ව්‍යාප්ත කරමිනි. ඒ වන විට තිබූ විවිධ ඇදහිලි යටපත් කිරීමට තරම් බෝධි සංස්කෘතිය බලවත් විය. ධර්මාශෝක අධිරාජයන්ගේ ධර්ම විජය පිළිවෙත අනුව දේවානම්පියතිස්ස රජු රාජ්‍යත්වයේ පිහිටුවා ගෙන මුළු පාලන තන්ත්‍රය ම වෙනසට පත් කිරීමට සමත් කාර්ය මණ්ඩලයක් ලක්දිව තහවුරු වූයේ බෝධි ආරක්ෂක නිලධාරීන් වශයෙනි. ලක්දිව පරිසරය අධ්‍යයනය කිරීමෙන් පසු සැලසුම් සහගතව චින්තන විප්ලවයකට මග පෑදූ මහින්දාගමනය, දුමින්දාගමනයෙන් එහි ඵල නෙලා ගත්තේ ය. ලක්දිව ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය කර්මාන්ත ව්‍යාප්ත කිරීමට සමත් කුල ශ්‍රේණි රාශියක් ද බෝධියේ පරිවාර වශයෙන් ලක්දිවට ලැබිණ. ඒ අයුරින් පාලන තන්ත්‍රයත්, ආර්ථික වර්ධනයත් එක විට ලබා දුන් බෝධි සංස්කෘතිය ලංකා සංස්කෘතිය කෙරේ පෑවේ අනුල්ලංඝනීය බලයකි. අෂ්ඨ ඵල රුහ බෝධි හා දෙතිස් ඵල රුහ බෝධි එදා ලක්දිව දියුණුව පැවති සෑම ප්‍රදේශීය පාලන ඒකකයන්හි ව්‍යාප්ත වී මේ බලය තහවුරු කළේ ය.

බුද්ධ පූජාව සඳහා අනුමත චෛත්‍යය තුන් කොටසකි. බෝධිය එහි පාරිභෝගික චෛත්‍යයයි. බෝධියට කරන පූජාව හුදෙක් බෝධි පූජාවක් නොව බුද්ධ පූජාවකි. කුශලාකුශල විභාගයේදී චේතනාව වැදගත් තැනක් ගනී. බුදුගුණ පිළිබඳ සිත මෙහෙයා කරන බෝධිපූජාව බුද්ධ පූජා චේතනාමය උසස් ත්‍රිහේතුක කුශලයෙකි. බෝධි පූජාව සාම්ප්‍රදායික වෘක්ෂ වන්දනාවෙන් වෙන් වූයේ ද එහි ඇති බුද්ධ පූජාව නිසා ය.

එහෙත් පසු කාලයේ ඇති වූ බෝධිපූජා විකාශය බුද්ධ පූජා චේතනාවෙන් බැහැර වූ ලෞකික සැප පතා කරන ශාන්ති කර්ම ස්වරූපයක් ගැනීමත්, බෝගසෙහි කිරි, එහි පත්‍රවල ස්වරූපය ආදී උද්භිද විද්‍යාත්මක ලක්ෂණ සුදුසී රශ්මිය හා ප්‍රතික්‍රියා කර ඇසුරු කරන්නන්ට බලපාන අන්දම ආදි බාහිර දේ විශ්ලේෂණය කිරීමත් නිසා එහි ආගමික අරුත හීන වී ගොස් ඇති බව පෙනේ. අන්‍යාගමිකයන් පවා බෝධිපූජාව ශාන්ති කර්මයක් වශයෙන් සලකා ඊට නැඹුරු වී ඇත්තේ එහි මූලික අරුත වෙනස් වීමෙනි.

අද චෛත්‍යයට, විහාරයට නොගොස් බෝධිපූජාවට පමණක් සම්බන්ධ වන බෞද්ධයන් බොහෝ වන බව සවසක පන්සලට යන විට පෙනේ. ග්‍රහ අපල සඳහා බෝධි පූජා නියම කිරීමත්, යුද්ධය - විදේශාගමනය ආදි හේතු නිසා ඇති වන සංකාව දුරු කර ගෙන සෙත් පැතීමත් වැනි කරුණු ද, පානදුරේ අරියධම්ම හිමියන්ගෙන් පසු ව්‍යාප්තව ගිය බෝධිපූජා වැඩ සටහන් ද නියම මගින් ඈත් වන්නට හේතු වූ කරුණු බව පෙනේ.

බෞද්ධයන්ගේ මේ බෝධි පූජා ක්‍රමයට නැඹුරු වීම තුළ විහාරස්ථානවල ද නව බෝධි පූජා - බුද්ධ පූජා පිළිවෙතක් ව්‍යාප්ත වනු දක්නා ලැබේ. අටවිසි බෝධිය හා අටවිසි බුදුවරුන් සංකේතවත් නො කළ හොත් අද පන්සලකට අඩුවක් බව සිතන තරමට ගිහිපැවිදි දෙපිරිස ම සකස් වී සිටිති. විවිධ කාලවල විවිධ බුදුවරුන් විසින් දේශිත එකම සත්‍යය දර්ශනයෙන් ඈත් ව එම දේශකයන්ගේ රූ සටහන් හා භාවිත භාණ්ඩ ඇති ගෙතුකාගාරයනට වැඳීමට පමණක් ආගම සීමා කිරීම සුදුසු ද?

මේ අනුව ක්‍රි. පූ. 6 වන සියවසේදී බුදුන් වහන්සේ හඳුන්වා දුන් බෞද්ධ බෝධි පූජාව වෙනුවට බ්‍රාහ්මණ - උපනිෂද් ග්‍රන්ථයන්හි වර්ණිත අස්වත්ථ පූජා ශාන්ති කර්මයන් නැවත ක්‍රියාත්මක වන බව තේරුම් ගැනීම අපහසු නොවේ.

කුමක් වුව ද සාම්ප්‍රදායික ලක්ෂණයන් නැවත වෙනස් කිරීම පහසු නොවේ. ඒ නිසා බෝධි පූජාවේ මේ ශාන්ති කර්ම ලක්ෂණ දුටු රේරුකානේ මහ නාහිමියෝ යටත් පිරිසෙයින් ඒ ස්වරූපයෙන්වත් මේ පූජාව ඤාණ සම්ප්‍රයුක්තව කිරීමට උපදෙස් දීම සඳහා මේ ‘බෝධි පූජාව’ ලියූහ. ‘මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධි පූජා කරන්නවුන්ගේ අදහස් අනුව ඔවුන්ට සුදුසු පරිද්දෙනි’ යි උන් වහන්සේ පවසන්නේ ඒ නිසා ය.

බුද්ධාගම ඇසුරෙන් මිථ්‍යාව පැතිරීම අපරාධයකි. බුද්ධාගම තම අනුගාමිකයන් යොමු කරන්නේ විදර්ශනා ඥාණයටය. බුද්ධ දේශනාවේ එන පිරිත් සූත්‍ර එහි ගුණ වැඩීමට අප යොමු කළත් ඒවා ආවැඩීමට යොදා ගැනීම බහුල වී ඇත. එවැනි මෙහෙයක් ලබාගත හැකි චිත්ත ශක්තිය වර්ධනය කළ හැක්කේ එහි යථා ස්වරූපය තේරුම් ගෙන කටයුතු කිරීමෙනි. ඒවා නිරුත්සාහයෙන් එන ආනිශංසයන්ය.

බෝධි පූජාව ශාන්ති කර්මයක ස්වරූපයට පත්වීම ගැනත්, පිරිත් නූල් - පිරිත් පැන් ගැන අද තිබෙන අදහස් මිථ්‍යාවෙන් නිදහස් කිරීම කෙරෙහිත් අපේ සංඝරත්නයේ අවධානය යොමු විය යුතු ය.

මේ සටහන ලිවීමේ අදහස වූයේ ශාසන ඉතිහාසය ගැන නොදැනීම බුද්ධාගම පවතින ස්වරූපයට බලපාන බව බෞද්ධයන්ට අවබෝධ කිරීම සඳහා ය. රේරුකානේ නාහිමියන්ගේ පොත් වලින් ධර්මය හරිහැටි තේරුම් ගත හැක්කේ, ඉන් ඵල ලැබිය හැක්කේ හරි දැක්මක් තිබුණොත් පමණි ය.

බෝධි පූජාව දශවන මුද්‍රණය සඳහා වියදම් දැරීමෙන් ස්වීඩනයේ මාධ්‍යවේදී ශ්‍රීමතී විජේකෝන්, ජයරත්න බණ්ඩා විජේකෝන් යුවල - මේ පොත් නැවත නැවත මුද්‍රණය කරවීමේ පදනම ශක්තිමත් කරයි. ඒ උතුම් මිනිස් ගුණය මේ පොත නැවත මුද්‍රණය කිරීමේදී සටහන් කළ යුතුමය. මෙවර මුද්‍රණයේදී දායක වූ සැදැහැවතුන්ගේ නොමසුරු ඉදිරිපත්වීම තවදුරටත් මේ සද්කාර්යය පවත්වාගෙන යන්නට අප දිරිමත් කරයි.

මේ සටහන ලිවීමේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ 1992 ‘දහම් අමා’ සඟරාවේ පළවූ මහාචාර්ය මැන්දස් රෝහණදීරයන්ගේ “මහින්දාගමනය පිටුපස සැඟවුණු තොරතුරු” ලිපිය ද, පූජ්‍ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නාහිමියන්ගේ ‘ශ්‍රී මහා බෝධීන් වහන්සේ එහි ඉතිහාසය හා තදනුබද්ධ සංස්කෘතිය’ (1994 බුද්ධ ශාසන අමාත්‍යාංශ ප්‍රකාශනය) හා පූජ්‍ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ ‘ශ්‍රී ලංකාවේ බෝධි සංස්කෘතිය’ (1994 මුද්‍රණය) යන ග්‍රන්ථයන් ද උපකාරී විය. මෙවැනි සටහනක් ලිවීමට මා පෙළඹ වූ සිකුරු ප්‍රකාශක අභාවප්‍රාප්ත කේ.ටී.ඒ. ජයවර්ධන මහතා කෘතවේදීව සිහිපත් කරමි. ඔහු පුත් ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය මේ මුද්‍රණය මනා නිමාවකින් එළිදැක්වීමට උපකාරී වූහ. මෙවර මුද්‍රණයේදී සංශෝධිත පරිගණක මුද්‍රණ සටහන් සාලිය ජයකොඩි මහතා අතින් නිමවිය. සෝදුපත් සැසඳීමේදී මාලනී ගේ සහාය ලැබිණ. මණ්ඩලයේ සභාපති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් සමග මේ කාර්යයේ මා මෙහෙයවන සෙසු සාමාජික භවතුන්ට ද මාගේ කෘතඥතාව පිරිනැමේ.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2006 මාර්තු මස 06 වන දින,
පොකුණුවිට ය.

සංඥාපනය

මේ බෝධි පූජා යුගයෙකි. පෙර කැරුණු බණ පින්කම් පිරිත් පින්කම් දැන් අඩු ය. දේව පූජාත් අඩු ය. දැන් බෙහෙවින් කෙරෙන්නේ බෝධි පූජා ය. සාස්තරකාරයා කේන්දර බලන්නා අපලයට දැන් නියම කරන්නේ බෝධි පූජාව ය. මන්ත්‍රිකම ලැබීමට, රැකියාව ලැබීමට, රෝග සුව කර ගැනීමට, ගොවිතැන හරියාමට, නඩුවෙන් බේරීමට, වෙළඳාම දියුණු වීමට, තවත් නොයෙක් දෙයට මෙකල කරන්නේ බෝධි පූජාව ය.

බෝධි පූජා කරතත් එය කරවන කරන බොහෝ දෙනකුන්ට ඒ ගැන සෑහෙන දැනුමක් නැත. ඇතැම්හු බුදුන්ට වදින ගාථාව හෝ පාඨය හෝ කියා බෝධියට වඳිති. බුදුනට මල් පුදන ගාථාව කියා බෝධියට මල් පුදති. බුදුනට පහන් පුදන ගාථාව කියා බෝධියට පහන් පුදති. බෝධි පූජාව බොහෝ ඵලදායක පින්කමක් වුව ද දැනුමක් නැතිව කරන්නවුන්ට එයින් නියම ඵලයක් නො ලැබේ. එහි නියම ඵලය ලැබීමට නම් බෝධි යන වචනයේ තේරුම දත යුතු ය. ගසකට ඒ නම ආරූඪ වූයේ කෙසේ ද? ඒ ගසෙහි ඇති පූජනීය භාවය කුමක් ද? ඒ ගසෙහි ඇති බලය කුමක් ද? ඒ ගසට වැඳුම් පිදුම් කිරීමෙන් ලැබෙන අනුසස කුමක්ද? වැඳීම කුමක්ද? කුමට කරන්නක් ද? එය කරන්නේ කෙසේ ද? පිදීම යනු කුමක් ද? පිදිය යුත්තේ කුමක් ද? පිදිය යුත්තේ කෙසේ ද? යන මේ කරුණු ගැන දැනුමක් ඇති ව බෝධි පූජාව කළ යුතු ය.

බෞද්ධයන් විසින් දත යුතු නොයෙක් කරුණු ගැන අප විසින් පොත් ලියා ඇතිමුත් බෝධි පූජාව ගැන පොතක් ලියා නැත. අප වෙත පැමිණියා වූ ද නොයෙක් තැන්වල දී අපට මුණ ගැසුණා වූ ද අපගේ පොත් කියවූ බොහෝ දෙනෙක් බෝධි පූජාව ගැන ග්‍රන්ථයක් පිළියෙළ කරන ලෙස අපට ආරාධනා කළහ.

දැනට අප සිටින්නේ අසූ එක් අවුරුදු වයසේ ය. පොත් ලිවීමට වුවමනා සිහිය, ඇස, අත යන මේවා දැන් ඉතා දුබල ය. එබැවින් අපි කලක් ම ලිවීම නවත්ව සිටියෙමු. බොහෝ දෙනකුන්ගේ ඉල්ලීම නිසා හැකි වුවහොත් අවසානය තෙක් ලිවීමේත් අපහසු වෙතහොත් නවත්වා දැමීමේත් අදහසින් මේ පොත ලිවීම ආරම්භ කෙළෙමු. කෙසේ හෝ මෙයත් ලියවිණ. මේ පොත ලියා ඇත්තේ මෙකල බෝධි පූජා කරන්නවුන් ගේ අදහස් අනුව ඔවුනට සුදුසු පරිද්දෙනි. ඔවුන්ගේ අදහස් මුදුන් පත් කර ගැනීමේ මඟ දැක්වීම් වශයෙනි. මේ පොත කියවීමෙන් බොහෝ දෙනකුන්ට කලින් නො දැන සිටි බොහෝ දේ දැන ගන්නට ලැබෙනු ඇත. බෝධි පූජාව පිළිබඳ නොයෙක් ශාන්ති කර්ම කරන සැටි මෙහි දක්වා ඇත. ඒවා බලා තමන්ට රුචි ශාන්ති කර්ම තෝරාගෙන ඒවායින් ජනයාට ශාන්තිය සලසා දිය හැකි වනු ඇත.

බෝධි පූජාව උසස් කුශලයකි. එයින් ලැබෙන විපාක මේ ග්‍රන්ථයෙහි දක්වා ඇත. බෝධි පූජාව කුශලයක් වුව ද එය කරන බොහෝ දෙනකුන් ඉන් බලාපොරොත්තු වන්නේ අනාගත භවයන්හි ලැබෙන විපාකයක් නොව වර්තමාන භවයේ ම යම් කිසිවක් සිදුකර ගැනීම ය. බෝධි පූජාවෙන් වර්තමාන භවයේදී බලාපොරොත්තු වන දෙය ඉටු වන්නට ද පිළිවන. සමහර විට ඉටු නොවන්නටත් පුළුවන. සංසාරය අතිදීර්ඝ බැවින් බෝධි පූජාවෙන් ලැබෙන ඵලය බලාපොරොත්තු වුවත් නොවුවත් කවදා හෝ ලැබෙන්නට පිළිවන. එය ලැබීමට හෝ නොලැබීමට බලාපොරොත්තු වීම හෝ නො වීම කරුණක් නොවේ. පව් කරන්නවුන් ඒවා කරන්නේ අපායට යෑමේ බලාපොරොත්තුවකින් නොවේ. එහෙත් ඔවුනට එයින් අපායට යෑමට සිදු වේ. බලාපොරොත්තු නුවුව ද කුශලයෙන් සුගතියට යෑමට සිදු වන බව ඒ න්‍යාය අනුව කිය යුතු ය. කිසි පිනක් නො කොට මේ අගනා මනුෂ්‍යාත්මය නිෂ්ඵල කර ගන්නා අයට බෝධි පූජාවක් වුව ද කිරීම ඉමහත් යහපතකි.

කුශලය වනාහි ඥාන සම්ප්‍රයුක්ත කුශලය, ඥාන විප්‍රයුක්ත කුශලය යි දෙ පරිදි වේ. ඉහත කී කරුණු ගැන දැනුමක් ඇති ව බෝධි පූජාව කිරීමේදී ඇති වන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුශලයෙකි. දැනුමක් නැති ව අනුන් කරන සැටි බලා කරන්නවුන්ට ඇති වන්නේ ඥාන විප්‍රයුක්ත කුශලයෙකි. එය දුබල කුශලයෙකි. අනාගත භවයේ දී එයින් ඇති වන්නේ ද ඥාන විප්‍රයුක්ත ද්විහේතුක හෝ අහේතුක ප්‍රතිසන්ධියෙකි. ද්විහේතුක ප්‍රතිසන්ධියෙන් උපන්නෝ ද්විහේතුක පුද්ගලයෝ නම් වෙති. අහේතුක ප්‍රතිසන්ධියෙන් උපන්නෝ අහේතුක පුද්ගලයෝ නම් වෙති. අහේතුක ප්‍රතිසන්ධිය ඇති වන්නේ වඩාත් දුබල ඥාන විප්‍රයුක්ත කුශලයෙනි. මිනිස් ලොව ඉපද සිටින උත්පත්තියෙන් ම අංග විකල පුද්ගලයෝ අහේතුක ප්‍රතිසන්ධිකයෝ ය. ඥාන විප්‍රයුක්ත දුබල කුශලයට අංග සම්පූර්ණ උත්පත්තියක් ලබා දීමට ශක්තියක් නැත. බලවත් ඥාන විප්‍රයුක්ත කුශලය අංග සම්පූර්ණ උත්පත්තියක් ලබා දීමට සමත් වේ. එහෙත් ඔවුහු ඥානය හීන පුද්ගලයෝ ය. ද්විහේතුක අහේතුක පුද්ගලයෝ භාවනා කළ ද බුදුවරයකු හමු වී දහම් ඇසුව ද, මහපල ලැබීමට ධ්‍යාන ලැබීමට සමත් නො වෙති. භාවනා කොට දහම් අසා සෝවාන් ආදි මහපල ලැබීමට සමත් වන්නෝ ඥාන සම්ප්‍රයුක්ත කුශලයාගේ විපාක වශයෙන් ලබන ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලැබූ පුද්ගලයෝ ය. ද්විහේතුක ත්‍රිහේතුක පුද්ගලයන් වෙන් කොට හැඳින ගැනීමට විශේෂ ලකුණක් නම් නැත.

කරන කුසල්වල සම්පූර්ණ ඵලය ලැබෙන්නේ අනාගත භවවල දී ය. වර්තමාන භවයේ ලැබෙන්නේ විපාකවලින් ඉතා සුළු කොටසක් පමණෙකි. කරන කුශලය ඥාන විප්‍රයුක්ත දුබල කුශලයක් වුවහොත් එයින් වර්තමාන භවයේ දී කිසි ම ඵලයක් නො ලැබී යන්නට ද පිළිවන. බෝධි පූජාව ඥාන විප්‍රයුක්ත ව කරන්නවුන්ට එයින් ඔවුන් බලාපොරොත්තු වන වර්තමාන ඵලය නො ලැබී යා හැකි ය.

මේ පොත හොඳින් කියවා මෙහි ඇති කරුණු හොඳින් තේරුම් ගෙන බෝධි පූජාව කරත හොත් එයින් මෙලොවදී ම බලාපොරොත්තු වන දේ ද ඉටු කර ගත හැකි වනු ඇත.

බෝධි පූජාව පමණක් නොව වෙනත් කුශලයන් ද ඥාන සම්ප්‍රයුක්ත ව කළ හැකි වීමට මේ පොත ඔබට පිහිට වනු ඇත. මේ පොත මුද්‍රණයේදී ද අපගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාර්ය්‍ය හේන්ගොඩ කල්‍යාණධම්ම ස්ථවිරයන් සෝදුපත් බැලීම් ආදී සියලු කටයුතු කළ බව සඳහන් කරමු.

සැම දෙනාගේ ම යහපත් කල්පනා මුදුන් පත් වේවා!

මීට; ලෝවැඩ කැමති,
රේරුකානේ චන්දවිමල
මහා නායක ස්ථවිරයෝ ය.

ශ්‍රී විනයාලංකාරාරාමය,
පොකුණුවිට.
26. 01. 78