බෝධිපාක්ෂික ධර්ම විස්තරය.pdf
scanned
- කතෘ :
- රේරුකානේ චන්ද්රවිමල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2006
- මුද්රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 240
- බාගත කිරීම් ගණන :
- 1,464
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-10-13
- ගොනුවේ ප්රමාණය :
- 7.2 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බෝධිපාක්ෂික ධර්ම විස්තරය යනු අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත, නිවන් අවබෝධය පිණිස උපකාරී වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඉතා සරල බසින් පහදා දෙන අගනා ධර්ම ග්රන්ථයකි. බුදු දහමේ පරම නිශ්ඨාව වූ නිවන අවබෝධ කරගැනීමට අවශ්ය ධර්ම කරුණු සාමාන්ය පාඨකයාට පවා පහසුවෙන් තේරුම් ගත හැකි අයුරින් මෙහි විස්තර කර ඇත.
මෙම ග්රන්ථයෙහි සතිපට්ඨාන සතර, සතර සම්යක්ප්රධාන, සතර ඍද්ධිපාද, පංච ඉන්ද්රිය, පංච බල, සප්ත බොජ්ඣංග සහ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිබඳ විග්රහය සහ ඒවා ප්රායෝගිකව වඩන ආකාරය අඩංගු වේ:
- සතර සතිපට්ඨානය සහ භාවනාව
- සතර සම්යක් ප්රධාන වීර්යය
- සතර ඍද්ධිපාද
- පස් ආකාර ඉන්ද්රිය සහ බල ධර්ම
- සප්ත බොජ්ඣංග ධර්ම
- ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ ලෝකෝත්තර මාර්ග චිත්ත විස්තරය
මෙහි දැක්වෙන්නේ ශ්රී චන්ද්රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් 2006 වසරේදී ප්රකාශයට පත් කරන ලද නව වන මුද්රණයයි.
ලේකම්ගේ සටහන්...
බුදු දහමේ පරම නිශ්ඨාව වූ නිවන හඳුනා ගන්නට වෙර දරන බොහෝ දෙනා ඒ සඳහා තමන් තුළ ඇති කර ගත යුතු ගුණධර්ම, අනුගමනය කළ යුතු පිළිවෙත් ගැන හැඳුනුමක් නැතිව මංමුලාව කටයුතු කරනු දුටු රේරුකානේ නාහිමියන් අතින් ලියැවුණු “බෝධිපාක්ෂික ධර්ම විස්තරය” අප මණ්ඩලය නැවත මුද්රණය කර ඔබ අතට පත් කරනුයේ සතුටිනි.
නොයෙක් අපල උපද්රව දුරුකර ගැනීම අරබයා, ජ්යෝතිෂමය පිළියම්, බලි තොවිල්, බෝධි පූජාදිය පවත්වන ජනතාව තම ජීවිතයේ දී ප්රායෝගික වශයෙන් බෝධිපාක්ෂික ධර්ම ක්රියාත්මක කරන්නේ නම් මේ ජීවිතයේ පැමිණෙන සුළු අපල උපද්රවයන් ගෙන් මිදීම පමණක් නොව, ජීවිතය සාර්ථක කරන අනුසස් ඉදිරිපත් වන බව ද, සසර අපායගාමී භයින් මුදවන බව ද කිවමනා නො වේ. හැකියාවන් සම්පූර්ණ කළ පසු එවැන්නකු පරම නිශ්ඨාව අවබෝධ කරන බව ද අපි විශ්වාස කරමු.
මෙය ලෙහෙසි කරුණක් නොවන නමුත්, ජීවිතයේ ඇති විවිධ දුක් පිළිබඳව හා ඉන් අත් මිදීමේ සහනය පිළිබඳව තේරුම් ගත හැකි නම් අනුගමනය කිරීම දුෂ්කර නොවේ. අප සසර සරන්නේ ඒ ඒ භව (ව්යවහාරික ආත්ම) යන්තන පරිහරණය කළ යුතු දෑ ප්රයෝජනයට නොගෙන රැස් කිරීමත්, සිතින් බැඳ ගැනීමත් නිසා බව පැහැදිලි වුවහොත් භාණ්ඩ පරිහරණය පිළිබඳ අපේ ආකල්ප මීට වඩා ලිහිල් වන බව පැහැදිලි ය. එසේ වුවහොත්, අපේ ගෙවලත්, අපේ සිත් තුළත් මෙතරම් ‘බර පොදි’ රැස් නොවනු ඇත. ලෝභය හා අරපිරිමැස්ම අතර වෙනස තේරුම් ගතහොත් ‘සත්යය’ වැසී ඇති පටලය බිඳී යනු ඇත.
නිවැරදිව හා සරලව බුදු දහම තේරුම් කර දුන් ග්රන්ථ කර්තෘවරයාණ කෙනකුන් වශයෙන් පසිඳු අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහනාහිමිපාණන් වහන්සේගේ පැවිදි දිවියට හා එයින්ම ඇරඹි ශ්රී ලංකා ශ්වේජින් නිකායටත් 2006. 01. 08 වන දිනට සිය වසරක් පිරෙයි. හා එයින්ම ඇරඹි ශ්රී ලංකා ශ්වේජින් නිකායටත් 2006. 01. 08 වන දිනට සිය වසරක් පිරෙයි. උන්වහන්සේගේ පොත් නිසා දහම තේරුම් ගත් පිරිසටත්, කට වචනයෙන් මේ පොත් ගැන ප්රචාරය කර තවත් බොහෝ දෙනාට ප්රයෝජන ගන්නට මග සැලසූ පාඨක භවතුන්ටත්, ගම් දනව් වල පොත් බෙදාහරින ලද වෙළඳ නියෝජිත භවතුන්ටත්, මේ කාලය තුළ මුද්රණ කටයුතු කළ සියලු මුද්රණාලාධිපතිවරුන් ඇතුළු කාර්යය මණ්ඩලයන්ටත් ආධාර අනුග්රහ දැක්වූ සියලු පින්වතුන්ටත්, සෝදුපත් සැසඳීම ආදී වෙනත් නොයෙක් ආකාරයෙන් සහාය වූ සැමටත්, ශ්රී චන්ද්රවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජික මණ්ඩලයටත් තමන් ඉතා වටිනා පින්කමකට, සමාජ සේවයකට සහභාගී වී යැයි සතුටු වීමට, හිත් පිනා යාමට මේ අවස්ථාවේ හැකි වෙතැයි මම දැඩි සේ විශ්වාස කරමි.
එමෙන්ම පොත් පැවැත්වීමට මහත් උත්සාහයෙන් කටයුතු කළ අපවත් වී වදාළ ගොඩිගමුවේ සෝරත, හේන්ගොඩ කල්යාණධම්ම මහා ස්වාමීන් වහන්සේලාත්, වර්තමානයේ ඒ සඳහා යොමුව සිටින කිරිඔරුවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේත් මේ කඩඉම් අවස්ථාවේ සිහිකිරීම මගේ යුතු කමකි.
මේ මුද්රණයේ සංශෝධිත වර්ණ සංයෝජනයෙන් දායක වූ සාලිය ජයකොඩි මහතාටත්, මුද්රණ කටයුතු මනාව ඉටු කළ ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ඇතුළු කයිරෝ මණ්ඩලයටත් පිං සිදුවේවා!
තිසරණ සරණයි!
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්ද්රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය
2006 ජනවාරි මස 07 වන දින,
පොකුණුවිටදී ය.
සංඥාපනය
ලෝකයා විසින් අවිද්යාව නිසා සත්ත්ව පුද්ගල ආත්මාදි වශයෙන් සලකා ඇලුම් කරන මේ පඤ්චස්කන්ධය වනාහි මන්දස්වාදයක් ඇති මහා දුඃඛස්කන්ධයෙකි. මහා ආදීනව රාශියකි. නො දිරා පවත්වා ගැනීම සඳහා ආහාර - පාන බෙහෙත් ආදියෙන් කෙසේ පෝෂණය කළත් පඤ්චස්කන්ධය නො නැවතීම දිර දිරා යන්නේ ය. එයින් ලේ මස් අඩු වී නහර ඉල්පී, සම රැලි ගැසී, දුර්වර්ණ වී, කූදු ගැසී, කෙස් රවුළු පැසී, දත් වැටී, විරූපත්වයට පැමිණෙන්නේ ය. සිහි නුවණ හීන වන්නේ ය. ඇස් නො පෙනී යන්නේ ය. කන් නො ඇසී යන්නේ ය. ගඳ දැනීම, රස දැනීම හීන වන්නේ ය. දුබල වී ශරීරය වෙවුලන්නට පටන් ගන්නේ ය. ඇස්වලින් කබ කඳුළු ගලන්නට පටන් ගන්නේ ය. ශරීරයෙන් දුගඳ හමන්නට පටන් ගන්නේ ය.
ක්රමයෙන් දිර දිරා ගොස් ඒ කාලය පැමිණි පසු කලින් මැණිකය, රත්නය, සුරංගනාවය කියා ඒ ඒ අය වැළඳ ගත් සිප ගත්, ඒ ශරීරයට ළංවන්නට වත් කවුරුවත් කැමති නො වන්නාහ. දක්නටවත් කැමති නො වන්නාහ. කලින් තමාත්, අන්යයනුත් ඇලුම් කර ගෙන සිටි රූප කය එබඳු තත්ත්වයකට පැමිණීම නම් මහ දුකෙකි. මේ ජරා දුක ඇති වීමේ හේතුව කුමක් ද? එය ඇති කරන සතුරා කවරෙක් ද? සංස්කාරයන්ගෙන් අන්ය වූ ජරාව ඇති කරන හේතුවක් නැත. එය ඇති කරන අන් සතුරෙක් ද නැත. දිරීම සංස්කාරයන්ගේ ස්වභාවයෙකි. සංස්කාරයක් ඇති වුවහොත් එය නො දිරා නො නවත්තේ ය. ජරාව ඇති වීමේ හේතුවත්, ජරාව ඇති කරන සතුරාත්, මේ පඤ්චස්කන්ධය ම ය. දිරන්නේත් පඤ්චස්කන්ධය ම ය. දිරන බැවිනුත්, දිරීම ඇති කර දෙන සතුරා වන බැවිනුත්, පඤ්චස්කන්ධය ඇලුම් කළ යුත්තක් නො ව බිය විය යුත්තකි.
මේ ශරීරය අනේකප්රකාර රෝගයන් ගේ උත්පත්ති ස්ථානයකි. කොතෙක් පරෙස්සම් කළත් කෙසේ පරෙස්සම් වුවත්, රෝගයෙන් නො මිදිය හැකි ය. මේ ශරීරයෙහි වෙර ඇති මිනිසුන් දෙදෙනකු විසින් කඹයක් පටලවා තද කරන කලෙක මෙන් ද, මිටියකින් ගසන කලෙක - හුලකින් අනින කලෙක මෙන් ද දරුණු වේදනා ඇති වන ශීර්ෂ රෝගයෝ හට ගනිති. හුලක් ගසා කරකවන කලෙක මෙන් මහත් වේදනා ඇති කරන කර්ණ රෝගයෝ ද, දන්ත රෝගයෝ ද හට ගැනෙති. මිරිස් කුඩු ලූ කලෙක, වීදුරු කුඩු ලූ කලෙක මෙන් වේදනා ඇති වන නේත්ර රෝගයෝ හට ගැනෙති. කුණු පොල් ගෙඩියකින් වැස්සෙන කුණු දිය සෙයින් දුගඳ සොටු, ලේ සැරව ගලන නාශිකා රෝගයෝ ද හට ගැනෙති. පිහියා වලින් කපන කලෙක මෙන් ද, හුල්වලින් අනින කලෙක මෙන් ද, ගින්නෙන් දවන කලෙක මෙන් ද, වේදනා ඇති කරන රෝගයෝ පපුවේ, බඩේ හට ගනිති.
ශාරීරික සප්තධාතූන් කෙමෙන් ක්ෂය වී යාම ඇති, බොහෝ කල් දුක් විඳ දිවි කෙළවර කරන්නට සිදුවන ක්ෂය රෝගය ය, කන් නාස් ඇඟිලි - අත්වලින් පටන් ගෙන ක්රමයෙන් ශරීරය දිරා කුණු වී කැඩී කැඩී යාම ඇති, බොහෝ කල් දුක් විඳින්නට සිදු වන ලාදුරු රෝගය ය, එසේ ම බොහෝ කල් දුක් විඳින්නට සිදු වන වණ, කුෂ්ඨ, පිළිකා රෝගය ය, කයින් අඩක් පණ නැතිව බොහෝ කල් දුක් විඳින්නට වන පක්ෂාඝාත රෝගය ය, සිහිසන් නැති වී තැන තැන වැටෙන අපස්මාර රෝගය ය යනආදි බොහෝ රෝගයෝ ද මේ ශරීරයෙහි හට ගැනෙති. ලෝකයෙහි රෝග හේතු සැටියට සලකන කරුණු ඇත ද, ජලයෙහි ලෑමෙන් කළගල මැටි කැටය සේ දිය නො වන්නාක් මෙන්, රෝග හට ගන්නා ස්වභාවයක් ශරීරයෙහි නැති නම් රෝග හේතූන් සැටියට සලකන දේවල් නිසා ශරීරයෙහි රෝගයෝ නො හට ගන්නාහ. රෝග හටගන්නේ ශරීරයෙහි ඇති රෝග හට ගන්නා ස්වභාවය නිසා ය. එබැවින් සත්ය වූ රෝග හේතුවත් රූපස්කන්ධය ම මිස අනිකක් නො වන බවත්, රෝග උපදවන සතුරාත් රූපස්කන්ධය ම මිස අනිකකු නො වන බවත් කිය යුතු ය.
රෝගයැ යි කියනුයේ ද රූපස්කන්ධ සංඛ්යාත මේ ශරීරයට අයත් ඇතැම් රූපයන්ට ම ය. ව්යාධි දුඃඛයේ සත්ය හේතුවත් රූපස්කන්ධ සංඛ්යාත ශරීරය ම ය. රෝග දුඃඛය ගෙන දෙන සතුරාත් මේ ශරීරය ම ය. ශරීරය ම රෝගය වන බැවිනුත්, රෝග හේතුව වන බැවිනුත්, රෝග කාරක සතුරා වන බැවිනුත්, රූපස්කන්ධ සංඛ්යාත මේ ශරීරය ඇලුම් කළ යුත්තක් නො වන බිය විය යුත්තකි.
උපන් සංස්කාරයෝ දිරීමට පැමිණීමෙන් ම නවත්තාහු නො වෙති. දිරූ පසු ඒවා බිඳී යති. බිඳී යාමය යි කියනුයේ නැති වීම ය. සත්ත්වයාට ජීවිතාන්තය දක්වා ම නැවතීමක් නැතිව දිනපතා ආහාරපානාදියෙන් නැවත නැවත ශරීරය පෝෂණය කරන්නට සිදු වී ඇත්තේ, ආහාරපානාදියෙන් ඇතිවුණු රූප දිර දිරා බිඳී යන බැවිනි. සැපය ඇති කර ගැනීමට, ප්රීතිය ඇති කර ගැනීමට, නැවත නැවත මහන්සි වෙමින් වියදම් කරමින් ක්රියා කරන්නට සිදු වී ඇත්තේ ද ලබා ගත් සුවය ලබා ගත් ප්රීතිය සැණෙකින් ජරාපත් වී බිඳී යන බැවිනි. වෙහෙසී වියදම් කොට ඇති කර ගන්නා රූප බිඳි බිඳී යාමත්, සැප බිඳි බිඳී යාමත්, ප්රීති බිඳි බිඳී යාමත්, මහා දුඃඛයකි. එසේ සංස්කාරයන් ගේ බිඳි බිඳී යාම ඇති බැවින් සත්ත්වයාට එක් භවයක හැම කල්හි ජීවත් වන්නට ද නො ලැබෙන්නේ ය. ජීවත් වීම සඳහා නොයෙක් ආකාරයෙන් උත්සාහ කරද්දී ම ඒ සියල්ල නිෂ්ඵල වී සත්ත්වයාට මරණයට පැමිණෙන්නට ද සිදු වන්නේ ය. ජීවිතයට නො දෙවෙනි කොට ඇලුම් කරන ධන ධාන්ය-පුත්ර-භාර්ය්යාදි ප්රිය වස්තූන්ගෙන් හා ප්රිය පුද්ගලයන්ගෙන් වෙන් වන්නට ද සිදු වන්නේ ය. ප්රිය විප්රයෝගය ද සත්ත්වයාට මහා දුඃඛයෙකි. පඤ්චස්කන්ධය දිරන-බිඳෙන-මැරෙන එකක් වී තිබීමෙන් දුකින් මිදීම පිණිසත්, සැප ලැබීම පිණිසත්, සත්ත්වයාහට නොයෙක් විට නොයෙක් පව් කම් ද කරන්නට සිදු වේ. ඒවායින් සත්ත්වයාට මරණින් මතු අපාගත වන්නට සිදු වේ. එය සියල්ලට ම මහත් වූ දුක ය. මරණයේ හේතු සැටියට සලකන නොයෙක් කරුණු ඇතත් පඤ්චස්කන්ධයෙහි මැරෙන ස්වභාවය නැති නම් කිසි ම හේතුවකට, කිසි ම සතුරකුට මරණය සිදු කළ නො හැකි ය. මැරෙන ස්වභාවය පඤ්චස්කන්ධයෙහි ඇති බැවින් කිසිවකුට කවර බලයකින් වත් මරණයෙන් නො මිදිය හැකි ය. සත්ත්වයන්ට මරණ දුක්ඛය ඇති වීමේ සත්ය වූ හේතුව අනිකක් නොව පඤ්චස්කන්ධය ම ය. මරණ දුඃඛය ඇති කර දෙන සතුරාත් අනිකකු නොව පඤ්චස්කන්ධය ම ය. මැරෙන්නේත් පඤ්චස්කන්ධය ම ය.
නිතර වෙනස් වන දිරන - ගෙවෙන - බිඳෙන - මැරෙන මේ පඤ්චස්කන්ධය මහා දුඃඛයක් වන බැවින් සියල්ලෝ ම දුකින් මිදීමත්, සැපයත් බලාපොරොත්තු වෙති. දුකින් මිදීමටත්, සැපය ලැබීමටත්, මං සොයති. උත්සාහ කරති. දුකින් මිදීමට හා සැපය ලැබීමට සාමාන්ය ලෝකයා විසින් ගෙන තිබෙන මගක් ද ඇත්තේ ය. බුදුන් වහන්සේ විසින් ගන්නා ලද මගක් ද ඇත්තේ ය. ඒ දෙ මගින් ලෝකයා විසින් ගෙන තිබෙන මග නම් වෙනස් වන - දිරන - ගෙවෙන - බිඳෙන මැරෙන - ස්වභාවය ඇති පඤ්චස්කන්ධයට පිළියම් කිරීම හා එසේ නො වනු පිණිස පඤ්චස්කන්ධය ආරක්ෂා කිරීම ය. නො දිරන - නො බිඳෙන - නො මැරෙන පඤ්චස්කන්ධයන් හෝ ලබා ගැනීම ය. බුදුරජාණන් වහන්සේ ගත් මාර්ගය දිරන - බිඳෙන - මැරෙන - ස්වභාවය ඇති පඤ්චස්කන්ධයෙන් මිදී සංස්කාර රහිත වූ නිවන ලබා ගැනීම ය.
පඤ්චස්කන්ධය නො දිරන, නො ගෙවෙන ගිලන් නො වන, නො බිඳෙන, නො මැරෙන, ස්වභාවයට පැමිණවීම සිදු නො කළ හැකි වැඩකි. අතීතයෙහි කිසිවකුට කිසිම බලයකින් එය නො කළ හැකි විය. අනාගතයේ දී ද කිසිවකුට කිසිම බලයකින් එය නො කළ හැකි වන්නේ ය. ඒ සඳහා කරන උත්සාහයක් වේ නම් එය සම්පූර්ණයෙන් ම නිරර්ථක වන්නේ ය. සියල්ල දත් බුදුරජාණන් වහන්සේ ඒ බව දැන, පොදු ජනයා ගෙන සිටින ඒ මාර්ගය හළ සේක. පඤ්චස්කන්ධයෙන් මිදී නිවනට පැමිණ දුකින් මිදීමේ නො වරදින මග තථාගතයන් වහන්සේ ගත් සේක. දුකින් මිදෙනු කැමති පින්වතුන් විසින් තථාගතයන් වහන්සේගේ මාර්ගය ගෙන නිස්සාර වූ පඤ්චස්කන්ධය නිත්ය-ශුභ-සුඛ ස්වභාවයට පැමිණවීමට වෙහෙසීම් වශයෙන් නිෂ්ඵල ව්යායාමයක් නො කොට පඤ්චස්කන්ධ සංඛ්යාත දුඃඛස්කන්ධයෙන් මිදී, පරමසුඛ ස්වභාවය වූ නිවනට පැමිණීම සඳහා තමන්ගේ සම්පූර්ණ උත්සාහය යෙදිය යුතු ය.
පඤ්චස්කන්ධ සංඛ්යාත දුඃඛයෙන් මිදී අපාය දුඃඛයෙන් මිදී නිවන් සැපය ලැබීම සඳහා බුදුන් වහන්සේ විසින් ලෝකයාට දක්වා ඇති මාර්ගය බෝධිපාක්ෂික ධර්ම වැඩීම ය. අතීතයෙහි යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම දෙනම නිවන් දුටුවේ බෝධිපාක්ෂික ධර්ම මාර්ගයෙන් ම ය. අනාගතයෙහි නිවන් දක්නවුන් එය සිදු කර ගන්නේත් ඒ මාර්ගයෙන් ම ය. එය හැර නිවනට තවත් මගක් නැත්තේ ය. එබැවින් නිවන් දකිනු කැමැත්තෝ බෝධිපාක්ෂික ධර්ම මැනවින් උගෙන තම තමන්ගේ සන්තානවල ඒ ධර්ම වර්ධනය කෙරෙත්වා!!
මේ බුද්ධජයන්ති කාලයේ ධර්මය සෙවීමට - නිවන් සෙවීමට නැමුණු සිත් ඇතියවුන්ගේ සංඛ්යාව තරමක් ඉහළ නැඟ තිබේ. නිවන් සොයන්නා වූ ඒ පින්වතුන්ට බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කර ගැනීමට ක්රමයක් සැලසීම වශයෙන් අප විසින් බෝධිපාක්ෂික ධර්ම විස්තරය නමැති මේ ග්රන්ථය සම්පාදනය කරන ලදී. සිංහල කියවිය හැකි කවරකුට වුවත් මේ පොත කියවීමෙන් වැඩි ආයාසයක් නැතිව බෝධිපාක්ෂික ධර්ම සත්තිස පිළිබඳව නිවැරදි දැනුමක් ඇති කර ගත හැකි ය.
කියවන්නා වෙහෙසට පත් කරවන, කාරණය තවත් අවුල් කරන, පද විග්රහ - ධාතුප්රත්ය විභාග - පද සිද්ධි ආදිය මේ පොතට ඇතුළත් කර නැත. මෙහි බෝධි පාක්ෂික ධර්ම සත්තිස වෙන වෙනම ලිහිල් සිංහල බසින් හඳුන්වා, ඒවායේ විශේෂ විභාගත්, ඒවා වැඩිය යුතු ආකාරයත්, ඒ ඒ ධර්මය වැඩීමෙන් වන ප්රයෝජනයත් විස්තර කර ඇත.
ධර්මය ලොවෙහි බැබළේවා!
මීට, රේරුකානේ චන්ද්රවිමල ස්ථවිර 2499 1955 මැයි 30 වෙනි දින පොකුණුවිට ශ්රී විනයාලංකාරාරාමයේදී ය.
මීට,
රේරුකානේ චන්ද්රවිමල ස්ථවිර
2499
1955 මැයි 30 වෙනි දින
පොකුණුවිට
ශ්රී විනයාලංකාරාරාමයේදී ය.