අභිධර්මයේ මූලික කරුණු.pdf

scanned

කතෘ :
රේරුකානේ චන්දවිමල හිමි
ප්‍රකාශිත වර්ෂය :
2007
මුද්‍රිත වර්ෂය :
2007
පිටු ගණන :
212
බාගත කිරීම් ගණන :
2,454
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-10-13
ගොනුවේ ප්‍රමාණය :
5.3 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 107

අභිධර්මයේ මූලික කරුණු යනු අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්ද්‍රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මූලධර්ම පිළිබඳ ප්‍රකට අත්පොතකි. බුද්ධ ධර්මයේ ගැඹුරු පරමාර්ථ ධර්ම විග්‍රහය සරල සිංහලෙන් ජනතාවට අවබෝධ කරවීම සඳහා මෙම කෘතිය රචනා කර ඇත.

සූත්‍ර පිටකයේ කරුණුවලට වඩා අභිධර්මයේ එන විග්‍රහයන්ගේ පවතින ගැඹුරු හා විද්‍යාත්මක ස්වභාවය, සිත, චෛතසික, රූප සහ නිවන් යන චතුර්විධ පරමාර්ථ ධර්මයන්ගේ ස්වභාවය මෙන්ම ප්‍රත්‍ය විභාගය දක්වා වූ මූලික කරුණු රැසක් මෙහි පරිච්ඡේද වශයෙන් විස්තර කොට තිබේ. බුද්ධ දේශිත අභිධර්මයේ ඓතිහාසික පසුබිම සහ සංගායනාගත ඉතිහාසය ද හැඳින්වීමේ සවිස්තරව සාකච්ඡා කෙරේ.

පොතෙහි අන්තර්ගත ප්‍රධාන මාතෘකා කිහිපයක් මෙසේය:

  • අභිධර්මයේ මූලික ධර්ම දෙ ඇසුව සහ පරමාර්ථ ධර්ම
  • චිත්ත විග්‍රහය, ආයුෂය හා චිත්ත ප්‍රභේද
  • චෛතසික වර්ගීකරණය සහ විග්‍රහය
  • අටවිසි රූපය සහ රූප කලාප
  • හේතු ප්‍රත්‍ය ඇතුළු සූවිසි ප්‍රත්‍ය විවරණය

මෙම මුද්‍රණය පොකුණුවිට ශ්‍රී චන්ද්‍රවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මගින් බු.ව. 2551 (ක්‍රි.ව. 2007) දී පළ කරන ලද දොළොස් වන මුද්‍රණයයි.

ලේකම්ගේ සටහන්...

සූත්‍ර පිටකයේ එන දහම් කරුණු ගැඹුරින් සලකා බැලූ අභිධර්මය, මෙකල සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වීමට රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ගේ පොත් පත් ද හේතු වූ බව ප්‍රකට කරුණකි. අභිධර්මය පිළිබඳව නාහිමියන් තුළ ඇති නිරවුල් අවබෝධය උන්වහන්සේගේ ග්‍රන්ථාවලියෙන් ප්‍රකට වන අතර අභිධර්මයේ මූලික කරුණු, අභිධර්ම මාර්ගය හා පට්ඨාන මහා ප්‍රකරණ සන්නය වැනි පොත් වලින් එය වඩාත් පැහැදිලි වෙයි.

ලෝකය අනිත්‍ය වශයෙන් දක්නට සිත හා අනෙකුත් වස්තූන් ගේ ස්වභාවයත්, එක් එක් වස්තුවක පැවැත්ම හා පෙනෙන ආකාරයත් තේරුම් ගැනීම අවශ්‍යය. භෞතික ලෝකයේ මායා රූපය තේරුම් ගැනීම සඳහා අභිධර්මය උගෙනීමෙන් ලැබෙන්නේ මහඟු උපකාරයකි.

නිතර ගැටුම් පවතින ලෝකයේ නො ගැටී, නො කලකිරී සිටීමට චිත්තස්වභාවයත්, අනිත්‍ය ස්වභාවයත් යම් පමණකින් වත් තේරුම් ගැනීම අවශ්‍යය. අභිධර්මය එම ස්වභාවය තේරුම් ගෙන යථාර්ථයට අනුව සිතීමට අපට අනුබල දෙයි. අවසන් පරමාර්ථය වෙනස් වුවත් නවීන විද්‍යාව ද ලෝකයේ මේ එකාකාරී නොවන අනිත්‍ය තත්ත්වය තේරුම් ගන්නට මනස පොළඹවයි. ඒ විද්‍යාත්මක චින්තනය ඔස්සේ බටහිර ජාතීහු ජීවිතය සරලව දකිති. ඔවුන්ගේ මානව දයාව වැනි යහගුණ වැඩෙන්නේ ඒ විද්‍යාත්මක චින්තනය ඔස්සේ ය. එහෙත් ගැඹුරු ආගමික වූ දාර්ශනික චින්තාවලියක් ඇති සිංහල බෞද්ධයන් තුළ අවගුණ පැතිරෙන්නේ සංස්කෘතික වශයෙන් හා ආර්ථික ප්‍රතිපත්තිවලින් අප වල්මත්ව සිටිනා නිසා ද?

යුද්ධය, පවුල් සාමාජිකයන් පිටරට යාම හා ලෙඩ දුක් කරදර වලින් ඇති වන මානසික කාන්සිය මග හරවා, හිතේ සැනසුම පතා බොහෝ දෙනා ආගම සොයා යති. එසේ නිවැරදි මග සොයා ගත නුහුනුවන්ගේ මනසට ඇතුළුව ලැගුම් ගන්නා ගැලවුම් කරුවන්ගේ හා වාදකරුවන්ගේ ග්‍රහණයට හසු වූ බොහෝ දෙනා එයින් තෘප්තිමත් වෙමින් දුවන්නන් වාලේ දුවති. සිතේ අසරණ කමට හොදම පිහිට සිත තේරුම් ගැනීමයි. එසේ සිත ශක්තිමත් වුවහොත් සිත නිසා පවතින ශරීරය හා අනිත් සියලු සම්බන්ධතා විධිමත් කර ගැනීම අපහසු නොවේ.

2500 බුද්ධ ජයන්තියෙන් නිහඬව ඇරඹුණු රේරුකානේ මහනාහිමියන්ගේ ධර්ම ප්‍රචාරක සේවය සිංහල බෞද්ධයන් තුළ සියුම් කම්පනයක් ඇති කළ බව උන් වහන්සේගේ පොත් සමාජගත වූ ආකාරයෙන් වැටහෙයි. මේ පොත් නිසා පැවිදි වුණු, භාවනාවට යොමු වුණු, යහමග ගත්, දහම තේරුම් ගත් බොහෝ දෙනාගේ ප්‍රතිචාර එය සනාථ කරයි.

මේ පොත් පවත්වන්නට සැදැහැවතුන්ගෙන් ලැබෙන අනුග්‍රහය හා පොත් මිලදී ගැනීමෙන් ඔබ දෙන සහාය මහහෝපකාරී වෙයි. තව දුරටත් හැකිතාක් අඩු මිලට මේ සරල දහම් පොත් මාලාව ජනතාව අතට පත් කළ හැක්කේ ඔබේ අවධානය යොමු වී තිබුණොත්, ඔබ අනුග්‍රහය දැක් වූවොත් පමණකි.

මෙහි සෝදුපත් කියවූ මාලනී ද, සංශෝධිත පරිගනක සටහන් යෙදූ හොරණ රූ-මයා ග්‍රැෆික්ස් හි සාලිය ජයකොඩි මහතා ද, මනාව මුද්‍රණ කටයුතු නිමවූ සිකුරු ප්‍රකාශක ගිහාන් අනුරංග ජයවර්ධන මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද, ආධාර - අනුබල දුන් සැදැහැවතුන් ද කෘතඥතාවයෙන් සිහි කරමි.

මෙවැනි කාර්යයක මා මෙහෙය වූ විනයාලංකාර භික්ෂු වංශයත්, වෙසෙසින් මේ යුගයේ විහාරාධිපතිත්වය හා මණ්ඩලයේ ගරු සභාපතිත්වය දරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ධම්මානන්ද හිමිපාණන් මේ යහ කාර්යයෙහි මා පෙළඹවීමත් ස්තුතිපූර්වකව සිහි කරමි.

තිසරණ සරණයි!

සී. තනිප්පුලි ආරච්චි ගරු ලේකම් ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය

2007 ඔක්තෝබර් මස 10 වන දින, පොකුණුවිට ය.

සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්‍රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2007 ඔක්තෝබර් මස 10 වන දින, පොකුණුවිට ය.

සංඥාපනය

ඥෙය සාගර පාරගත වූ මහා කාරුණික වූ අප බුදු රජාණන් වහන්සේ විසින් පරම සූක්ෂම පරම ගම්භීර චිත්ත චෛතසිකාදි පරමාර්ථ ධර්මයන් ගේ තතු ලොවට හෙළි කරනු පිණිස දේශනය කළ විශිෂ්ට ධර්මය අභිධර්ම පිටකය ය. පරම ගම්භීර පරමාර්ථ ධර්මයන් ස්වශක්තියෙන් තත්ත්වාකාරයෙන් අවබෝධ කොට දේශනය කිරීමට සමත් වන්නෝ අතිදීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශල බලයෙන් ලත් සර්වඥතාඥානය ඇති ලොව්තුරා බුදුවරයෝ ම ය. සෙස්සෝ එයට සමත් නොවන්නාහ. බුදුවරයන් ලොව පහළ වීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ට ධර්මය අභිධර්ම පිටකය ය. බුදු සමයේ ශරීරය ද සාරය ද එය ම ය.

සූත්‍ර පිටකයෙහි එන කරුණු වලින් එක්තරා කොටසක් නුවණ දියුණු කළ සාමාන්‍ය ජනයාට ද වැටහෙන සාමාන්‍ය කරුණු ය. ඒවා අවබෝධ කිරීමට කල්ප ගණනක් පෙරුම් පුරා ලැබිය යුතු විශිෂ්ට ඥානයක් නුවමනා ය. එබැවින් ඒ කරුණු අන්‍යාගම්වල ද දක්නා ලැබේ. අන්‍ය පණ්ඩිතයන්ගේ පොත් වල ද දක්නා ලැබේ. ශුද්ධ වූ අභිධර්මය බුදු සස්නෙන් පිටත ඇතියක් නොවේ. සූත්‍ර පිටකයේ එන කරුණුවලින් බොහෝවක් අභිධර්ම පිටකයේ ඇති කරුණු ම ය. එහෙත් එහි ඒ ධර්ම අභිධර්ම පිටකයෙහි සේ විස්තර කර ද නැත. ක්‍රමානුකූලව විභාග කර ද නැත. පැහැදිලි කර ද නැත. එබැවින් බුදු සමය පිළිබඳ සම්පූර්ණ දැනුමක් නිරවුල් දැනුමක් සූත්‍ර පිටකය පමණක් උගෙනීමෙන් නො ලැබිය හැකිය. නිරවුල් ලෙස දහම් දෙසිය හැකි ධර්ම කථිකයකු වීමට නම් අභිධර්මය උගත යුතු ම ය. ධර්මදේශනයක වරද නිවරද සොයා ගත හැකි වීමට, ඇදකුද සොයා ගත හැකි වීමට, අඩු වැඩි කම් සොයා ගත හැකි වීමට ඇත්තා වූ නූල ද ලඹය ද මට්ටම් ලෑල්ල ද කෝදු ලීය ද අභිධර්ම පිටකය ය. අභිධර්මය නො දැන කරන ධර්මදේශනය දික් නූල පාවිච්චි නො කොට ලඹය පාවිච්චි නො කොට මට්ටම් ලෑල්ල පාවිච්චි නො කොට කෝදු ලීය පාවිච්චි නො කොට තනන ගෘහයක් වැනි ය.

ඇතැමෙක් “අභිධර්ම පිටකය බුද්ධ දේශිතයක් නොවේ ය, එය පසු කාලයේ දී යම් කිසිවකු විසින් ඇති කරන ලද්දක් ය, ප්‍රථම ධර්ම සංගීතියේ දී එය සංගායනා නො කරන ලද්දේය” යි කියති. එය ඔවුන්ගේ මති මාත්‍රයෙකි. අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නවුන්, බුදුගොස් හිමියන් අටුවා ලියන්නට ද කලින් විසූ බව අත්ථසාලිනී නම් වූ විෂම අටුවාවෙන් පෙනේ. බුදුගොස් මා හිමියන් විසින් ඔවුන්ගේ ඒ වාදය ගැන දීර්ඝ විවේචනයක් කොට එසේ කියන්නවුන් තද ප්‍රහාරයකට ද ලක් කොට තිබේ. අත්ථසාලිනියේ නිදාන කථාව බලනු.

තථාගතයන් වහන්සේ විසින් සම්‍යක් සම්බෝධි සමධිගමයෙන් සිවුවන සතියෙහි රතනඝරයෙහි වැඩ සිට අභිධර්ම පිටකය සම්මර්ශනය කළ බව බුදු සස්නෙහි අතිප්‍රසිද්ධ කරුණකි. ඒ බව අභිධර්ම පොත්වල පමණක් නොව සූත්‍ර විනය අටුවා පොත්වල ද දක්වා තිබේ.

“චතුත්ථෙ සත්තාහෙ බොධිතො පචිමඋත්තරදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු. තත්ථ පල්ලංකෙන නිසීදිත්වා අභිධම්මපිටකං විචිනන්තො සත්තාහං වීතිනාමෙසි. තං ඨානං රතනඝරචෙතියං නාම ජාතං” මේ බුද්ධවංස අටුවාවෙහි ඒ කාරණය දක්වන පාඨය ය.

“තතො පචිමදිසාභාගෙ දෙවතා රතනඝරං මාපයිංසු. තත්ථ පල්ලංකෙන නිසීදිත්වා අභිධම්ම පිටකං විසෙසතො චෙත්ථ අනන්ත නය සමන්ත පට්ඨානං විචිනන්තො සත්තාහං වීතිනාමෙසි. තං ඨානං රතනඝර චෙතියං නාම ජාතං” මේ සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාවෙහි ඒ කාරණය දැක්වූ පාඨය ය.

අභිධර්ම ප්‍රකරණයන් අතුරෙනුදු අනන්ත නය සමන්වාගත ප්‍රස්ථාන මහා ප්‍රකරණය විශේෂයෙන් ඥාන වර්ධනය කරන්නා වූ, ඥානය ප්‍රසන්න කරන්නා වූ, ඥානය තියුණු කරන්නා වූ ප්‍රකරණයෙකි. තථාගතයන් වහන්සේ බෝධි මූලයේ දී සව් කෙලෙසුන් නසා බුදු වූයේ වී නමුදු සම්බුද්ධත්වයට පැමිණි පළමුවන දෙවන තුන්වන සති වලදී නීල පීතාදි රශ්මීහු නො නික්මුණාහුය. සතරවන සතියෙහි රතන ඝරයෙහි වැඩහිඳ ධම්මසංගණියේ පටන් ක්‍රමයෙන් අභිධර්ම ප්‍රකරණයන් මෙනෙහි කරමින් ගොස් තථාගත ඥානය ප්‍රස්ථාන මහා ප්‍රකරණයට බස්වා එය මෙනෙහි කරන්නට පටන්ගත් කල්හි ඒ අනන්ත නය සමන්වාගත මහා ප්‍රකරණයෙහි උන් වහන්සේ ගේ ඥානයට රිසි සේ හැසිරෙන්නට ලැබීමෙන් එය අතිශයින් ප්‍රසන්න විය. ඥානය ප්‍රසන්න වනු සමග ම තත් සම්ප්‍රයුක්ත කාමාවචර මහාක්‍රියා චිත්තය ද තත් සම්ප්‍රයුක්ත අන්‍ය චෛතසිකයෝ ද ප්‍රසන්න වූහ. ප්‍රසන්න චිත්තයට නිඃශ්‍රය වන හෘදය වස්තුව ද ප්‍රසන්න විය. අතිප්‍රසන්න වූ චිත්තයෙන් උපදවන චිත්තජ රූපයෝ ද චිත්තය සේ ම ප්‍රසන්න වූහ. ප්‍රසන්න චිත්තජ රූපයන්ගේ ස්පර්ශයෙන් තථාගතයන් වහන්සේගේ සකල ශරීරය ම ප්‍රසන්න විය. ප්‍රසන්න වූ තථාගත ශරීරයේ ඒ ඒ තැන්වලින් නීල පීත ලෝහිතාවදාත මාඤ්ජිෂ්ඨ ප්‍රභාස්වර සංඛ්‍යාත ෂඩ්වර්ණය ඇති ආලෝක ධාරාවෝ අධිෂ්ඨානාදි ක්‍රියාවක් නැතිව ම ලෝකය ඒකාලෝක කෙරෙමින් නික්මෙන්නට පටන් ගත්හ. තථාගත ශරීරයෙහි කේශාදි නීලවර්ණ ස්ථානයන්ගෙන් නීලරශ්මි ධාරාවෝ නික්මුණාහු ය. සම ආදි පීතවර්ණ ස්ථානයන්ගෙන් පීත වර්ණ රශ්මිධාරාවෝ නික්මුණාහුය. ලේ ආදි රක්ත වර්ණ ස්ථානයන්ගෙන් ලෝහිත රශ්මීහු නික්මුණාහුය. දන්තාදි ශ්වේතවර්ණ ස්ථානයන්ගෙන් අවදාත රශ්මීහු නික්මුණාහුය. ශරීරයේ ඒ ඒ තැන්වලින් මාඤ්ජිෂ්ඨ ප්‍රභාස්වර රශ්මීහු ද නික්මුණාහු ය. එදින පටන් තථාගත ශරීරයෙන් අසූරියනක් තැන පැතිරෙන රශ්මියක් සැම කල්හි ම විහිදෙන්ට පටන් ගත්තේ ය.

අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුශල බලයෙන් ලත් තථාගතයන් වහන්සේ ගේ අතිශයින් තීක්ෂණ වූ ඥානය පරමාර්ථ ධර්ම විෂයයෙහි අතිවේගයෙන් ගමන් කෙළේය. එබැවින් ඒ සතියෙහි සම්මර්ශනය කරන ලද ධර්මය මෙතෙකැයි පමණ නො කළ හැකිය. අතිදීර්ඝ වූ ඒ අභිධර්මය වචනවලට නගා දේශනය කරත හොත් වර්ෂ සියයකින් වුව ද දහසකින් ලක්ෂයකින් වුව ද නො නිම කළ හැකි බව:

“සත්ථා පන එවං සත්තාහං මනසා චින්තිත ධම්මං වචීභෙදං කත්වා දෙසෙන්තො වස්ස සතෙනපි වස්ස සහස්සෙනපි වස්ස සතසහස්සෙනපි මත්ථකං පාපෙත්වා දෙසෙතුං සක්කොතිති න වත්තබ්බං.”

යනුවෙන් අත්ථසාලිනී නම් වූ විෂම අටුවාවේ දක්වා තිබේ.

සතර වන සතියෙහි සිතින් සිතූ ඒ අතිදීර්ඝ අභිධර්මය තථාගතයන් වහන්සේ සම්‍යක් සම්බෝධි සමධිගමයෙන් සත්වන වර්ෂයෙහි තීර්ථකයන් ගේ මාන මර්දනය පිණිස සැවැත් නුවර සමීපයෙහි ගණ්ඩබ්බ නම් වෘක්ෂමූලයෙහි යමක ප්‍රාතිහාර්ය දක්වා අතීත බුදුවරයන්ගේ චාරිත්‍රයට අනුව තව්තිසා දෙව් ලොවට වැඩ වදාරා එහි පාරිච්ඡත්තක නම් වූ දිව්‍ය වෘක්ෂ මූලයෙහි පිහිටි පාණ්ඩුකම්බල නම් වූ දිව්‍ය ශෛලාසනය මත උදාගිර මුදුනට පත් හිරු මඩල සේ බුදුරැස් විහිදුවමින් වැඩ සිට, දසදහසක් සක්වලින් පැමිණි දිව්‍ය බ්‍රහ්ම සමූහයා මධ්‍යයෙහි මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන කොට දේව ගණයා අමතා “කුසලා ධම්මා, අකුසලා ධම්මා, අබ්‍යාකතා ධම්මා” යනාදීන් තෙමසකින් දේශනය කොට නිම කළ හැකි පමණට හකුළුවා දේශනය කළ සේක.

පර්වතයකින් ගඟක් ගලා බස්නාක් මෙන් තුන් මසක් මුළුල්ලෙහි නොනවත්වා ම අතිසීඝ්‍රයෙන් කළ ඒ අභිධර්ම දේශනය ද ඉතා දීර්ඝය. එපමණ දීර්ඝ දේශනයක් භික්ෂූන් වහන්සේලාට නුගත හැකිය. නො දැරිය හැකිය. දෙව්ලොව අභිධර්ම දේශනය කරන්නා වූ තථාගතයන් වහන්සේ දේශනය නො නැවතී පවතිනු සඳහා ඒ අසුන මත බුදුරුවක් මවා ඒ බුදුරුව මෙතෙක් ධර්මය දේශනය කෙරෙත්වායි ඉතා ආහාර වැළඳීම් ආදිය පිණිස දිනපතා මිනිස් ලොවට වඩනා සේක. ඒ බව ඇතැම් දෙවි කෙනෙක් දනිති. ඇතැම් දෙවි කෙනෙක් නො දනිති. මිනිස් ලොවට වඩනා වූ තථාගතයන් වහන්සේ උතුරුකුරු දිවයිනෙන් පිඬු සිඟා ගෙන අනවතප්ත විල් තෙරට වැඩ එහිදී දන් වළඳා දිවා විහරණය පිණිස සඳුන් වනයට වඩනා සේක. දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ද දිනපතා තථාගතයන් වහන්සේ දක්නට එතැනට වඩනා සේක. තථාගතයන් වහන්සේ ඒ ඒ දිනයෙහි දෙසු අභිධර්මය වෙරළ තීරයෙහි සිට අත දිගු කොට මහ සයුර දක්වන්නාක් මෙන් ඉතා කොටින් වචන ස්වල්පයකින් දේශනය කරන සේක. සිවුපිළිසිඹියාපත් ඒ මහ රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ විසින් අති සංක්ෂෙපයෙන් දේශනය කළ ඒ ධර්මය නය සියයෙන් නය දහසින් නය දස දහසින් අවබෝධ කර ගැනීමට සමත් වන සේක. උන්වහන්සේ බුදුන් වහන්සේගෙන් උගන්නා වූ ඒ අභිධර්මය භික්ෂූන්ට උගෙනීමට දැරීමට ප්‍රමාණ වන සැටියට මදක් විස්තර කර ඒ ඒ දිනවලදී ම තමන් වහන්සේගේ අතවැසි භික්ෂූන් පන්සියයකට උගැන්වූ සේක. ඒ භික්ෂූන් පන්සිය දෙනා වහන්සේ බුදුන් වහන්සේගේ අභිධර්ම දේශනය නිමවනු සමග ම ආභිධර්මිකයෝ වූහ. අද පවත්නා අභිධර්ම පිටකය දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් උගත් වූ ඒ අභිධර්මය ය. එය තථාගතයන් වහන්සේගෙන් ලත් නය අනුව තථාගතයන් වහන්සේ ගේ අදහසට අනුව උගන්වන ලද්දක් බැවින් සැරියුත් මහ තෙරුන් වහන්සේ විසින් උගන්වන ලද්දක් වුව ද බුද්ධ දේශනය සැටියට ම පිළිගනු ලැබේ.

ප්‍රථම ධර්ම සංගායනයේ දී අභිධර්ම පිටකයක් නො තිබුණැයි ඇතැමුන් කියතත්, විනය පිටකයට අයත් චුල්ලවග්ග පාලියෙහි ප්‍රථම ධර්මසංගායනය විස්තර කරන පඤ්චසතිකා ඛන්ධකයෙහි-

“උපාලිං විනයං පුච්ඡි - සුත්තන්තානන්ද පණ්ඩිතං පිටකං තීණි සංගීතිං - අකංසු ජිනසාවකා” යි

පිටකත්‍රයක් සංගායනය කළ බව දක්වා තිබේ. අභිධර්ම පිටකය එකල නො පැවතියේ නම් තුන් පිටකයක් වීමට අභිධර්ම පිටකයෙන් අන්‍ය තවත් පිටකයක් තිබිය යුතුය. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය යන මේ තුන් පිටකය හැර තවත් පිටකයක් නැති බැවින් අභිධර්ම පිටකය ද සූත්‍ර, විනය පිටක දෙක මෙන් ම බුද්ධ කාලයේ පටන් ම පැවතුන බව කිය යුතු ය. ප්‍රථම සංගීති සමයයෙහි අභිධර්ම පිටකය නො තිබිණැයි කීම ප්‍රතිෂ්ඨා විරහිත හිස් කියුමක් බව දත යුතුය.

ප්‍රථම ධර්ම සංගීති සමයේ දී උපාලි මහ තෙරුන් වහන්සේට විනය පිටකයත්, ආනන්ද ස්ථවිරයන් වහන්සේට දීර්ඝ නිකායත්, සැරියුත් මහ තෙරුන් වහන්සේගේ ශිෂ්‍යයනට මජ්ඣිම නිකායත්, මහ කසුප් තෙරුන් වහන්සේට සංයුක්ත නිකායත්, අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට අංගුත්තර නිකායත් භාර කළ බව සුමංගල විලාසනී නම් වූ දීඝනිකායට්ඨ කථා නිදානයේ සංගීති කථාවෙහි දක්වා තිබේ. අභිධර්ම පිටකය යම් කිසිවකුට භාර කළ බවක් එහි සඳහන් නොවේ. අභිධර්ම පිටකය භාර කළ කෙනකු එහි සඳහන් කර නැත්තේ අභිධර්ම පිටකය සංගායනා නො කළ නිසා යයි කියති. අභිධර්ම පිටකය යම් කිසිවකුට භාර කළ බව එහි සඳහන් නැත ද අභිධර්ම පිටකය සංගායනා කළ බව එහි පැහැදිලි ලෙස ම දක්වා තිබේ.

“තතො අනන්තරං ධම්මසංගණි විභංගඤ්ච - කථාවත්ථු ච පුග්ගලං ධාතු යමක පට්ඨානං - අභිධම්මොති වුච්චති ති

එවං සංවණ්ණිතං සුඛුමඤාණගොචරං තන්තිං සංගායිත්වා ඉදං අභිධම්මපිටකං නාමාති වත්වා පඤ්චඅරහන්තසතානි සජ්ඣායමකංසු. වුත්තනයෙනෙව පඨවි කම්පො අහොසි.”

මේ සුමංගල විලාසිනියෙහි අභිධර්මය සංගායනය කළ අයුරු දැක් වූ පාඨය ය. මෙතරම් පැහැදිලි ලෙස කියා තිබෙන අභිධර්ම සංගායනය භාර කළ කෙනකු නො දැක්වෙන පමණින් ප්‍රතික්ෂේප කිරීමට කිසි යුක්තියක් නැත. ඒ ඒ තෙරුන් වහන්සේලාට ඒ ඒ පොත් භාර කළ බව කියා තිබෙන්නේ සුමංගල විලාසිනියේ සංගීති කථාවේ පමණකි. අත්ථසාලිනියේ හා විනය අටුවාවෙහි ද චුල්ලවග්ග පාලියෙහි ද එන සංගීති කථාවල කාහටවත් පොත් භාර දුන් බවක් සඳහන් වී නැත. එ බැවින් ඒ භාර දීම එ තරම් සැලකිය යුතු කරුණක් වශයෙන් නො සැලකිය හැකිය. අභිධර්ම පිටකය සංගායනය කළ බව සංගායනය දක්වන සැම පොතක ම කියා තිබේ. එබැවින් සංගායනය කරන කාලයේ අභිධර්ම පිටකයක් නො පැවැත්තේ ය යනු පිහිටක් නැති කථාවක් බව දත යුතු ය.

“බුදුන් වහන්සේ විසින් අභිධර්ම පිටකය දේශනය කරන ලදුයේ දෙවියන්ට ය. එය මිනිසුන්ට වුවමනා ධර්මයක් නොවේය” යි ද ඇතැම්හු කියති. දෙවියනට පමණක් නොව මිනිසුන්ටත් අභිධර්මය දේශනය කළ සැටි ඉහත කියන ලදී. දෙවියන්ට හා මිනිසුන්ට වෙන වෙනම නිවන් දෙකක් නැත්තේය. සැමට ම ඇත්තේ එක ම නිවනය. සැම දෙනා විසින් ම ඒ නිවනට පැමිණිය යුත්තේ ඒ නිවන ලැබිය යුත්තේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමෙනි. එයට අන් මගක් නැත්තේ ය. බුදුන් වහන්සේ දහම් දෙසනුයේ සත්ත්වයන්ට ඒ චතුරාර්ය සත්‍යය අවබෝධ කරවීම පිණිස ය. දෙවි මිනිස් කාහටත් ඇත්තේ එක ම නිවන බැවින් සැම දෙනා විසින් ම එය ලැබිය යුත්තේ ද එක ම ක්‍රමයෙන් නිසා දෙවියන්ට වෙන ම ධර්මයකුත් මිනිසුන්ට වෙන ම ධර්මයකුත් නැත. තථාගතයන් වහන්සේගේ සකල ධර්මය දෙවි මිනිස් සැමට ම සාධාරණය. එබැවින් අභිධර්මය දෙවියනට මිස මිනිසුන්ට වුවමනා නැත යයි කීම නො දැනීමෙන් කියන්නක් බව දත යුතුය.

චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට දැනට ඇත්තාවූ ඉතා ම හොඳ ක්‍රමය අභිධර්ම පිටකය උගෙනීම ය. සූත්‍ර පිටකයේ සූත්‍රවල තිබෙන කරුණු කෙනකුට චතුරාර්ය සත්‍යය පිළිබඳ සෑහෙන අවබෝධයක් ඇතිකර ගැනීමට ප්‍රමාණ නොවේ. අහස් යානය ගැන එය ගිගුම් දෙමින් අහස්හි ගමන් කරනු දක්නා ගැමියෝ ද දනිති. එය පදවන ඇදුරෝ ද දනිති. සූත්‍ර ධර්ම ඇසීමෙන් කියවීමෙන් චතුරාර්ය සත්‍යය දැන ගන්නා තැනැත්තන්ගේ එය පිළිබඳ දැනුම අහස් යානය ගැන ගැමියන්ට ඇති දැනුම වැනිය. අභිධර්ම පිටකය උගෙන චතුරාර්ය සත්‍යය දැනගන්නහුගේ දැනුම අහස්යානය පදවන ඇදුරකුට එය ගැන ඇති දැනුම වැනිය. චතුරාර්ය සත්‍යය පිළිබඳ වූ පරිපූර්ණ දැනුමකින් මිස මද දැනුමකින් මග ඵල ලබා නිවන් නොදැකිය හැකිය. එබැවින් නිවන් දකිනු රිසියන් විසින් තරමක් දුරටවත් අභිධර්මය උගත යුතුය. එසේ කරන තැනැත්තා ම බුදු සස්නෙන් ලැබිය යුතු උසස් ප්‍රයෝජන ලබන්නේ ය.

මහාසමය සුත්තේ ච අථෝ මංගලසුත්තකෙ, සමචිත්තේ රාහුලෝවාදේ ධම්මචක්කේ පරාභවෙ

දෙවතා සමිති තත්ථ අප්පමෙය්‍යා අනප්පිකා ධම්මාභිසමයො චෙත්ථ ගණනාථෝ අසංඛියා

මහාසමය සූත්‍රය, මංගල සූත්‍රය, රාහුලෝවාද සූත්‍රය, ධර්මචක්‍ර සූත්‍රය, පරාභව සූත්‍රය යන මේ සූත්‍ර ධර්මයන් අසා ගණනින් අප්‍රමාණ සත්ත්ව සමූහයකට ධර්මාභිසමය වූ බව මෙයින් දැක්වේ. තවත් නොයෙක් තැන්වල ද සූත්‍ර ධර්ම ඇසීමෙන් බොහෝ සත්ත්වයින් නිවන් දුටු බව පොත් පත් හි දක්වා තිබේ. එසේ දක්වා තිබෙන්නේ ඒ ඒ සූත්‍රයට අයත් ඒ වචන ටික ඇසීමෙන් ම ඒ සත්ත්වයන්ට ධර්මාභිසමය වූ නිසා නොවේ. ඒවායින් කියනුයේ ඒ ඒ සූත්‍රය දේශනා කළ අවස්ථාවෙහි ඒ ඒ සත්ත්වයන්ට ධර්මාභිසමය වූ බවය. තථාගතයන් වහන්සේගේ එක් එක් ධර්ම දේශනයක් ඉතා දිග ය.

“බුද්ධානං හි භත්තානුමොදන කාලෙපි චෝක්කං වඩ්ඪෙත්වා අනුමෝදෙන්තානං දෙසනා දීඝමජ්ඣිම නිකායප්පමාණං හොති. පච්ඡාභත්තං පන සම්පත්තපරිසාය ධම්මං දෙසෙන්තානං දෙසනා සංයුක්ත අංගුත්තරික ද්වෙ මහා නිකායප්පමාණා හොති.”

“භත්තානුමෝදන කාලයේ දී මඳක් වැඩි කොට අනුමෝදනා කරන බුදුන් වහන්සේගේ දේශනය දීර්ඝ මධ්‍යම දෙනිකාය පමණ වේ. පසු බත් කාලයේ පැමිණි පිරිසට දහම් දෙසන්නා වූ බුදුන් වහන්සේගේ දේශනය සංයුක්ත අංගුත්තරික මහා නිකාය දෙක පමණ වේය” යනු එහි තේරුමයි.

සූත්‍ර පිටකයට අයත් නිකායන් අතුරෙන් දීඝනිකායෙහි දීර්ඝ සූත්‍ර දෙතිසක් ඇත්තේ ය. මජ්ඣිම නිකායෙහි මධ්‍ය ප්‍රමාණ සූත්‍ර එකසිය පනස් දෙකක් ඇත්තේ ය. අංගුත්තර නිකායෙහි සූත්‍ර නව දහස් පන්සිය සත් පනසක් ඇත්තේ ය. සංයුක්ත නිකායෙහි සූත්‍ර සත් දහස් සත්සිය දෙ සැටක් ඇත්තේ ය. සංයුක්ත අංගුත්තර නිකාය දෙක පමණට දික් වන තථාගතයන් වහන්සේගේ එක් ධර්ම දේශනයක් සූත්‍ර ප්‍රමාණයෙන් කියත හොත් සූත්‍ර (17319) සතළොස් දහස් තුන්සිය දහ නවයක් පමණ දික් බව කිව යුතුය.

ධර්මදේශනයකදී තථාගතයන් වහන්සේ දානකථාවය, ශීල කථාවය, ස්වර්ග කථාවය, කාමයන්ගේ ආදීනවය ය, කාමයන්ගේ ලාමක බවය, කාමයන්ගේ කිලිටි බවය, කාමයන් ගෙන් වෙන්වීමේ අනුසසය යන මේවා ප්‍රකාශ කොට අවසානයේ දී සාමුක්කංසික චතුරාර්ය සත්‍යය දේශනය ද කරන සේක. සූත්‍ර දහස් ගණනක් පමණ දික් වූ ඒ දීර්ඝ දේශනයට, චතුරාර්ය සත්‍යය ජනයාට අවබෝධ කර ගැනීමට සෑහෙන තරමට කරුණු ඇතුළු