10 ශ්‍රේණිය.pdf

ප්‍රකාශිත වර්ෂය :
2011
මුද්‍රිත වර්ෂය :
2011
පිටු ගණන :
343
බාගත කිරීම් ගණන :
32,468
වෙබ් අඩවියට එක් කළ දිනය :
2015-11-08
ගොනුවේ ප්‍රමාණය :
141 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 172

දහම් පාසල 10 ශ්‍රේණිය යනු ශ්‍රී ලංකා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කර 2011 වර්ෂයේදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන ලද දහම් පාසල් පෙළපොතකි.

මෙම ග්‍රන්ථය ප්‍රධාන විෂය ඒකක 8කින් සමන්විත වන අතර බුද්ධ චරිතය, චරිත කථා, බෞද්ධ චින්තනය, බෞද්ධ පරිසරය හා සිරිත් විරිත්, බෞද්ධ කලා ශිල්ප, සූත්‍ර හා ගාථා, පාලි, අභිධර්මය සහ භාවනා යන විෂය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පාඩම් 40කට අධික සංඛ්‍යාවක් මෙහි අන්තර්ගත වේ.

පොත සකස්කරන අවස්ථාවෙහිදී සිටි උපදේශක මණ්ඩලය

(1) ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේ. (2) රාජකීය පණ්ඩිත පූජ්‍ය අතුරලියේ ඉන්දරතන ඉන්දරතන නායක ස්වාමීන් වහන්සේ. (3) ශාස්ත්‍රපති පූජ්‍ය ගන්තුනේ අස්සජී ස්වාමීන් වහන්සේ. (4) ශාස්ත්‍රපති පූජ්‍ය ඇස්වත්තේ රේවත ස්වාමීන් වහන්සේ. (5) ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කිතලගම හේමසාර ස්වාමීන් වහන්සේ. (6) ශාස්ත්‍රපති පූජ්‍ය උතුරාවල ධම්මරතන ස්වාමීන් වහන්සේ. (7) ශාස්ත්‍රපති බී. එම්. එස්. මහලේකම මහතා. (8) ශාස්ත්‍රපති ගුණසේන මහතන්ත්‍රිගේ මහතා. (9) හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස් එස්. කාරියවසම් මහතා.

ගුරු භවතුන්ට ඇමතුමක්

දහවන ශ්‍රේණියේ දහම් පාසල් සිසුන් සඳහා වූ මෙම පාඨ ග්‍රන්ථය නිසිලෙස හැදෑරීමට ඔවුන්ට මග පෙන්වීමේ භාග්‍යය ඔබට ලැබී ඇත. මෙම ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නේ දිනපතා පාසලේ 10 වසරට අයත් නව යොවුන් වියේ පසුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බව ඔබ දන්නෙහිය. ඉගෙනුම සඳහා ඔවුන්ට මග පෙන්වීමේදී ඔවුන්ගේ වයස, බුද්ධි මට්ටම, රුචි අරුචිකම් ආදිය පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බව අමුතුවෙන් කිවයුතු නොවේ.

පාඨ ග්‍රන්ථය ඉගැන්වීමෙන් පමණක් දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි බව ඔබ ද පිළිගනු ඇත. එසේ වුව ද සතියකට වරක් හමුවන දරුවාට වඩාත් ප්‍රියජනක ලෙස පොත ඉගැන්වීම පමණක් කළ ද ඔබෙන් ඉටුවන්නේ වැදගත් මෙහෙයකි. එම මෙහෙය වඩාත් ඵලදායී වීමට නම් පාඨ ග්‍රන්ථය සකස් වී ඇති ආකාරය ගැනත් ඒ ඒ විෂය ඒකකයන්හි හා පාඩම්වල අරමුණු ගැනත් අවධානය යොමු කිරීම අවශ්‍යය.

මෙම පොත විෂය ඒකක 8ක් යටතේ සැකසී ඇත. බුද්ධ චරිතය, චරිත කථා, බෞද්ධ චින්තනය, බෞද්ධ පරිසරය හා සිරිත් විරිත්, ගාථා හා සූත්‍ර ධර්ම, අභිධර්මය, භාවනා සහ පාලි යනු එම ඒකක යි. මේවායින් බුද්ධ චරිත පාඩම්වල පොදු අරමුණ වන්නේ දහම් පාසල් දරුවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය හඳුනාගත් බුද්ධ චරිතයෙන් ආදර්ශ ගන්නා සැදැහැති අයෙකු බවට පත් කිරීමයි. චරිත කථා ඉගෙන ගන්නා දරුවා එම චරිත හඳුනාගෙන එබඳු ශ්‍රේෂ්ඨ උතුමන්ට ගරු කරන එම චරිත ආදර්ශයට ගන්නා අයෙකු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බෞද්ධ චින්තනය කොටසින් බලාපොරොත්තු වන්නේ බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් පිළිබඳ නිරවුල් දැනීමක් ලබා ගැනීමට සැලසීමත් බුදුදහමේ ශ්‍රේෂ්ඨත්වය වටහාගත්, ආධ්‍යාත්මික හා සමාජගත පාරිශුද්ධිය සඳහා බෞද්ධ ඉගැන්වීම් අනුව ක්‍රියාකරන පුද්ගලයෙකු බවට පත් කිරීමත්ය.

දහම් පාසල් දරුවා ශාසන ඉතිහාසය ගැනත් බෞද්ධ සංස්කෘතික උරුම හා සම්ප්‍රදාය ගැනත් දැනීමක් ඇති එම සම්ප්‍රදාය හා උරුම ආරක්ෂා කර ගැනීමට හැඟීමෙන් ක්‍රියා කරන අයකු විය යුතුය. බෞද්ධ පරිසරය හා සිරිත් විරිත් නමැති ඒකකය ඇතුළත් කර තිබෙන්නේ එම අරමුණු ඇතිවය. ධම්මපදය බෞද්ධයාගේ අත්පොත බඳුය. ජීවන දර්ශනය ගොඩනගා ගැනීමට අවශ්‍ය මහඟු උපදෙස් එහි අන්තර්ගත වෙයි. ඒ බව වටහා ගත් විට ධම්මපදය කෙරෙහි ශිෂ්‍ය උනන්දුව වැඩිවෙයි. ඔහුගේ ආදර්ශ පාඨ වන්නේ ධම්මපද ගාථාවන්ය. එම අරමුණ ඉටුකර ගැනීම සඳහා ධම්මපද ගාථා ඇතුළත් කර ඇත. බෞද්ධ දරුවා විශේෂයෙන් ගිහි ජීවිතයට අදාළ සූත්‍ර හා ඒවායේ අන්තර්ගතය පිළිබඳවත් දැනුමක් ලැබිය යුතු අතර ඒවායේ ඇතුළත් ඉගැන්වීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නෙකු ද විය යුතුය. සූත්‍ර ධර්ම පාඨ ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ එබැවිනි.

අභිධර්ම පිටකයේ ඉගැන්වෙන කරුණුවල විශේෂත්වය හා විශිෂ්ටත්වය පිළිබඳවත් බෞද්ධ භාවනාක්‍රම හා ඒවායේ ප්‍රායෝගික වටිනාකම පිළිබඳවත් දැනීමක් හා හැඟීමක් දහම් පාසල් දරුවා තුළ ඇති කිරීමේ අරමුණින් අභිධර්මය හා භාවනා පිළිබඳ පාඩම් ඇතුළත් කර තිබේ. ථෙරවාදී සම්ප්‍රදාය විසින් රැකගෙන ආ පිටක ග්‍රන්ථ පාලි භාෂාවෙන් රචනා වී ඇති නිසාත්, ශාසනික වත් පිළිවෙත්වල දී සාම්ප්‍රදායිකව පාලි භාෂාව භාවිතවන නිසාත් ඒ පිළිබඳ සාමාන්‍ය දැනීමක් හෝ තිබීම ප්‍රයෝජනවත්ය. පාලි පාඩම් ඇතුළත් කර තිබෙන්නේ එම අරමුණ ඉටුකර ගැනීම පිණිසය.

අභිධර්මය භාවනා හා පාලි පාඩම් පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු ඒ ඒ ඒකක ආරම්භයේදී දැක්වෙයි. සෑම ඒකකයක් ම ඉගැන්වීමේදී ඒවායේ පොදු අරමුණට අනුකූලව ඒ ඒ පාඩම සඳහා විශේෂ අරමුණු ඔබ විසින් තීරණය කර ගත යුතු වෙයි. ඒ ඒ පාඩම අවසාන වනවිට ශිෂ්‍යයාට ලැබිය යුතු දැනුම කුමක් ද ඔහු තුළ ඇති වියයුතු හැඟීම් ආකල්ප මොනවා ද වර්ධනය වියයුතු කුසලතා මොනවාදැයි පන්තියට යෑමට පෙර තීරණය කර ගැනීම අවශ්‍යය.

පාඨ ග්‍රන්ථයේ එන පාඩම් ඒ අනුපිළිවෙලටම ඉගැන්වීම අවශ්‍ය නොවේ. සති දෙකක් ඇතුළත සෑම ඒකකයකින්ම එක් පාඩමක්වත් ඉගැන්විය හැකි සේ කාලසටහන පිළියෙල කර ගැනීම මැනවි. ඔබේ කාර්යය වඩාත් සාර්ථක කර ගැනීම පිණිස අනෙක් ශ්‍රේණි සඳහා වූ පාඨ ග්‍රන්ථයන්හි ගුරු භවතුන්ගේ අවධානයට යොමුකර ඇති කරුණු ගැන ද සැලකිලිමත් වීම මැනවි. ඔබ පෞද්ගලික ලාභාපේක්ෂාවෙන් තොරව කරන සේවාව ගැන ඔබට සතුටු විය හැක්කේ එය වඩාත් ඵලදායී ලෙස සැලසුම් කර ගැනීමෙනි.

ගන්තුනේ අස්සජී හිමි.