අභිධර්ම මාර්ගය.pdf
scanned
- කතෘ :
- රේරුකානේ චන්දවිමල හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2006
- මුද්රිත වර්ෂය :
- 2006
- පිටු ගණන :
- 355
- බාගත කිරීම් ගණන :
- 2,713
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-10-13
- ගොනුවේ ප්රමාණය :
- 10 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
අභිධර්ම මාර්ගය යනු අතිපූජ්ය රේරුකානේ චන්ද්රවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අභිධර්මය පිළිබඳ මූලික හා ප්රායෝගික අත්පොතකි. අභිධර්ම පිටකයේ එන ගැඹුරු කරුණු සහ අභිධර්මාර්ථ සංග්රහය වැනි ග්රන්ථයන්හි අඩංගු ධර්ම කරුණු සාමාන්ය ගිහි පැවිදි කාහටත් පහසුවෙන් තේරුම්ගත හැකි අයුරින් සරල සිංහල බසින් මෙහි පැහැදිලි කර ඇත.
ටීකා ග්රන්ථවල එන දුරවබෝධ පාලි පාඨ ඒ අයුරින්ම සිංහලට පරිවර්තනය නොකර, සිසුන්ට හා ධර්ම ශිෂ්යයන්ට ස්වෝත්සාහයෙන් වුවද කියවා වටහාගත හැකි වන සේ සරල උපමා හා ප්රායෝගික පැහැදිලි කිරීම් භාවිත කරමින් සම්පාදනය කර තිබීම මෙම කෘතියේ විශේෂත්වයයි.
මෙහි ප්රධාන පරිච්ඡේද 9ක් ඔස්සේ අභිධර්මයේ මුඛ්ය මාතෘකා විස්තර කෙරේ:
- ප්රථම පරිච්ඡේදය - චිත්ත පරමාර්ථය
- ද්විතීය පරිච්ඡේදය - චෛතසික පරමාර්ථය
- තෘතීය පරිච්ඡේදය - ප්රකීර්ණක සංග්රහය
- චතුර්ථ පරිච්ඡේදය - වීථි සංග්රහය
- පඤ්චම පරිච්ඡේදය - වීථිමුත්ත සංග්රහය (භූමි, කර්ම, ප්රතිසන්ධි)
- ෂෂ්ඨ පරිච්ඡේදය - රූප පරමාර්ථය හා නිර්වාණය
- සප්තම පරිච්ඡේදය - සමුච්චය සංග්රහය (අකුසල, මිශ්රක, බෝධිපාක්ෂික ආදිය)
- අෂ්ටම පරිච්ඡේදය - පච්චය සංග්රහය (පටිච්චසමුප්පාද, ප්රත්යය ක්රම)
- නවම පරිච්ඡේදය - කර්මස්ථාන සංග්රහය (සමථ හා විදර්ශනා භාවනා)
මෙම දසවන මුද්රණය බුද්ධ වර්ෂ 2549 (ක්රි.ව. 2006) දී ශ්රී චන්දවිමල ධර්මපුස්තක සංරක්ෂණ මණ්ඩලය මඟින් ධර්මදානය සඳහා ප්රකාශයට පත් කර ඇත.
ලේකම් ගේ සටහන්...
අවුරුදු 2549 ක් පැරණි බුද්ධ දේශනාව ග්රන්ථාරූඪ කරන තෙක් හා ඉන් පසුවත් බොහෝ දුෂ්කරතා මධ්යයේ රැකගෙන ආ විවිධ නිකායගත, හීනයාන - මහායාන භික්ෂු පරම්පරාව ලෝක බෞද්ධයන්ගේ ගෞරවයට පාත්රවෙයි. නිර්මාණවාදී ආගම්, දැනුම් ක්ෂෙත්රයෙන් පිටමං වන විට මානව චින්තනය අයාලේ යා නොදී රැකගත හැකි ආගමක් හා දර්ශනයක් ඉතිරි කර තබන්නට ගත් වෑයම සුළුපටු නොවන නිසා ය.
මේ දැනුම් සම්භාරය තුළ අභිධර්මය ද එක් කොටසකි. බුදුදහමේ විශේෂත්වය වන “විදර්ශනාව”, බෙදා බැලීම හා හේතු-ඵල න්යාය පදනම් කරගනී. අභිධර්මය අවධාරණය කරන්නේ එම න්යායයයි. අභිධර්ම පිටකය ධර්මයේ කොටසක් ලෙස සළකන භික්ෂු පර්ෂදයන් අතර, ඉතා කුඩා සිකපදයක් පවා ඉවත් නොකර රක්ෂා කරන්නට ප්රතිඥා දුන් ථේරීය භික්ෂු පර්ෂදය ගෙනා අභිධර්මය පසුකාලීන වර්ධනයකැයි ඉවත ලන්නට කිසිදු සාධාරණ හේතුවක් නොපෙනෙන්නේ අනික් කාහටත් වඩා නිර්මල වූ දහමක් රැකගන්නට උන්වහන්සේලාට තිබූ උවමනාව නිසා ය.
බුද්ධත්වය ලැබූ මොහොතේ තමන් අවබෝධ කොටගත් ධර්මය වටහා ගන්නට සමත් කෙනකු නැතැයි බුදුන් වහන්සේ කල්පනා කළේ එහි ඇති ගැඹුරු බව නිසා ය. දීර්ඝ කාලයක් ලෝකායත කරුණු ඔස්සේ පැවති සිතුවිලි දහරකට එය අලුත් දෙයක් නිසා ය. එහෙත් උන්වහන්සේ දේශනා කළ දහම තේරුම් ගන්නට සමත් පිරිසක් සිටියහ. කල්යත්ම උන්වහන්සේගේ සමහර සූත්ර දේශනා වල අභිධර්ම න්යායය ප්රකට විය. සමහර ශ්රාවක - ශ්රාවිකාවෝ මේ ගැඹුරු දහම් න්යායය ප්රචලිත කළහ. බුදුන් වහන්සේගේ අභිධර්ම මාතිකා, නුවණින් අග්ර සැරියුත් හිමියන් විසින් තම ශිෂ්ය පරම්පරාවට විස්තාරිතව උගැන්වූ බව සාම්ප්රදායික පිළිගැනීම ය.
අභිධර්මය උගැන්ම හැමට ප්රිය වූවක් නොවේ. එදත් - අදත් එය එසේමය. අභිධර්මය “අබුද්ධ දේශිතයකැ”යි මුල්වරට අසන්නට ලැබුණේ අනුරපුර යුගයේ දී ය. බුද්ධඝෝෂ හිමියෝ (අට්ඨසාලිනියෙන්) ඊට පිළිතුරු දුන්හ. රීස් ඩේවිස් ආදී උගතුන්ගේ පාලි සාහිත්ය පෙල ගැස්ම අනුව නැවත විශ්ව විද්යාල උගතුන් වෙතින් මේ මතය පලවිය. රේරුකානේ මහනාහිමියෝ (අභිධර්මයේ මූලික කරුණු) ඊට පිළිතුරු දුන්හ. නැවත මෙකල ධර්මකීර්තක භික්ෂු පර්ෂදයක් විසින් මේ මතය මුදාහැර ඇත. සූත්ර දේශනා ඇසුරින් පමණක් බුදු දහම තේරුම් කරන මේ යතිවරයන් වහන්සේලා බුදුදහමේ එක් වැදගත් කොටසක් අවලංගු කරන්නේ නම් ආතර් සී. ක්ලාක් වියතාණන් දකින අනාගතයේ බුදුසමය ලබාගන්නා මුල්තැන ඊට ලැබිය හැකිද?
ශ්රී ලංකාවේ භූගෝලීය පිහිටීමත්, එහි ඇති වාණිජ වටිනාකමත් මත සිංහල බෞද්ධයන් ඉන් ඉවත් කර බලය ලබාගැනීමේ ප්රයත්නය බොහෝ කලෙක පටන් පැවතෙන්නකි. මුලින් ම එය ආයුධ බලයෙන් සිදුවිය. වරක එය අධ්යාපනය ඔස්සේ චින්තාමය පරිවර්තනයෙන් සිදුවිය. රැකියාදීම ආදී අල්ලස් ක්රමයන් තවත් වරක ක්රියාත්මක විය. පසුව විනයවර්ධන වේෂයෙන් හා තාපස වේෂයෙන් ආ පෙළඹවීමට බොහෝ දෙනෙක් රැවටුනහ. සංස්කෘතික ආක්රමණයෙන් ආ පෙළඹවීමට ද බොහෝ දෙනා අසුවී සිටිති. සාමය හා ආධාර ඔස්සේ ආ පෙළඹවීමට පාලකයෝ ද හසුවූහ. තමන් ද නොදැන භික්ෂූන් වහන්සේත් මෙයට නතු වුවහොත් ඉරණම කුමක් වේද?
හේන්පිටගෙදර ඥාණසීහ, යක්කඩුවේ ප්රඥාරාම, රේරුකානේ චන්දවිමල වැනි නාහිමිපාණන් වහන්සේලාගේ දැනුම, ඕනෑකම, හා නිර්භීත ප්රකාශ සිහිවන්නේ මේ පසුබිම තුළය.
2006. 01. 08 වන දිනට අභිධර්මය ඇතුළුව බුදුදහම සමාජයේ ප්රචලිත කරන්නට ලියූ රේරුකානේ නාහිමියන්ගේ පැවිද්දටත්, ශ්රී ලංකා ශ්වේජින් නිකායටත් සියවසක් පිරෙයි. මෙවැනි අවස්ථාවක මේ සද්ව්යාපාරය සාර්ථක කරන්නට වෙහෙස වූ ගොඩිගමුවේ සෝරත, හේන්ගොඩ කල්යාණධම්ම, හේනේගම කල්යාණසිරි යන ස්වාමීන්ද්රයන් වහන්සේලාත්, අනුක්රමණිකාවන් ලියූ හර්බට් පතිරණ මහතාත්, කැපවීමෙන් මුද්රණයෙන් දායක වූ රත්නායක අප්පුහාමි, එම්. ජේ. පෙරේරා, කේ.ටී.ඒ. ජයවර්ධන යන මුද්රණාලයාධිපතිවරුන් පින් පමුණුවමින් සිහි කිරීම යුතුකමකි. එමෙන් ම අප සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකව සිට දැනට නැති හොරණ වජිරඥාණ නාහිමියන් හා ඒ.ඩී.ටී. ජයවර්ධන, කරුණාසේන ජයලත් යන මහතුන් ද සිහිකරමි. එමෙන් ම විනයාලංකාරාරාමය හා එම භික්ෂු පරපුර පෝෂණය කර රැක ගැන්මට එදා-මෙදා කටයුතු කළ දායක පරපුර ද මා සිත පෙල ගැසෙයි.
තම මුද්රණ දැනුමින් අපත් දැනුවත් කරමින් පොත් මුද්රණයට දායක වන සිකුරු ප්රකාශක ගිහාන් අනුරංග ජයවර්ධන මහතාත්, පරිගණක වර්ණ සංයෝජනයෙන් දායක වන සාලිය ජයකොඩි මහතාත් කෘතවේදීව සිහි කරමි.
නිබඳ මග පෙන්වන කිරිඔරුවේ ධම්මානන්ද සමිඳුන් හා උන්වහන්සේගේ සහෝදර - ශිෂ්ය ස්වාමීන් වහන්සේලාගේ සහාය පිළිබඳව ද තෘප්තියෙන් සඳහන් කරමි.
තිසරණ සරණයි!
සී. තනිප්පුලි ආරච්චි
ගරු ලේකම්
ශ්රී චන්දවිමල ධර්මපුස්තක
සංරක්ෂණ මණ්ඩලය
2005 දෙසැම්බර් මස 08 වන දින,
පොකුණුවිටදී ය.
හැඳින්වීම
අප විසින් සම්පාදිත දහම් පොත් කියවූ ගිහි පැවිදි බොහෝ දෙනකුන් විසින් හා දහම් පාසල් පවත්වන, ඒවායේ උගන්වන බොහෝ දෙනකුන් විසින් ද තේරුම් ගැනීමට උගෙනීමට උගැන්වීමට පහසු අභිධර්ම ග්රන්ථයක් සම්පාදනය කරන ලෙස නොයෙක් වර ආරාධනා කළ බැවින් අප විසින් අභිධර්ම මාර්ගය නමැති මේ ග්රන්ථය සම්පාදනය කරන ලදී.
දැනට ඇත්තා වූ අභිධර්ම පාඩම් පොත්වල බොහෝ තැන් තේරුම් ගැනීමට අපහසු වී ඇත්තේ ටීකා ග්රන්ථවල එන පාළි පාඨ ඒ සැටියෙන් ම සිංහලට පෙරළා ඒ පොත්වල නොයෙක් තැන්වල යොදා තිබීම නිසා ය. අභිධර්ම මාර්ගය නමැති මේ ග්රන්ථය සම්පාදනය කිරීමේදී අපි ඒ ක්රමය අනුගමනය නො කෙළෙමු.
අප විසින් මේ පොත සම්පාදනය කර ඇත්තේ කෙසේ කිව හොත් ඒ ඒ කාරණය සිසුනට පහසුවෙන් අවබෝධ කරගත හැකිවේදැ යි සිතීමේදී අපට වැටහුණු හැටියට ය. අන් බසකින් පෙරළාගත් කිසිවක් මේ ග්රන්ථයෙහි යොදා නැත. මේ ග්රන්ථයෙහි හා අන් අභිධර්ම පාඩම් පොත්වල ඇති වෙනස තේරුම් ගැනීමට නිදසුන් කීපයක් මෙසේ ය:-
එක් අභිධර්ම පාඩම් පොතක චිත්ත චෛතසික රූප නිර්වාණ යන පරමාර්ථ සතරින් චිත්තය හඳුන්වා ඇත්තේ මෙසේ ය:-
“චින්තෙතීති චිත්තං, අරමුණ සිතන හෙයින් චිත්ත නම් වේ. මේ වචනාර්ථයෙන් අරමුණු සිතන්නා වූ ස්වභාවය චිත්ත යයි කියනු ලැබේ.”
අන් පොතක චිත්තය හඳුන්වන්නේ මෙසේ ය.
සිතන්නේ හෙවත් අරමුණු දැනගන්නේ චිත්තය ය. සිත ඉපදීම පිළිබඳ අන්ය හේතු ඇත ද අරමුණ දැනගැන්ම එහි ප්රධාන හේතුව බව දත යුතුයි.
මේ ග්රන්ථයේ සිත හඳුන්වා ඇත්තේ මෙසේ ය.
“පරමාර්ථ සතර අතුරෙන් චිත්තය යනු දැනීම ය. සිතය කියනුයේ ද එයට ය.”
එක් පොතක චෛතසිකය හඳුන්වා ඇති සැටි.
“චේතසි භවං චෙතසිකං, සිතෙහි වූයේ චෛතසික නම්. මේ වචනාර්ථයෙන් සිතෙහි පහළ වන ඵස්ස (ගැටීම) වේදනා (විඳීම) ආදි ස්වභාව ධර්ම සමූහය චෛතසික යයි කියනු ලැබේ.”
අන් පොතක ඇති සැටි.
“චිත්තයෙහි වූවෝ හෙවත් චිත්තයෙහි යෙදුණෝ චෛතසිකයෝ ය.”
මෙහි චෛතසික හඳුන්වා ඇත්තේ මෙසේ ය.
“සිතක් හෙවත් අරමුණු දැනීමක් ඇති වන කල්හි ඒ දැනීම් ක්රියාව හා මිශ්රව ඇතිවන්නා වූ අන්ය ක්රියාවෝ චෛතසිකයෝ ය.”
එක් පොතක රූපය හඳුන්වා ඇති සැටි.
“රුප්පතීති රූපං” විකාර වෙනු යි රූප නම්. මේ වචනාර්ථයෙන් ශීතෝෂ්ණාදියෙන් විකාර වන ස්වභාව ධර්ම සමූහය රූපය යි කියනු ලැබේ.”
අන් පොතක ඇති සැටි.
“ශීත උෂ්ණ ආදියෙන් විකාරයට පැමිණෙන්නේ රූපය ය.”
මෙහි රූප දක්වා ඇති සැටි.
“සත්ත්ව ශරීර හා බාහිර වස්තූන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝ ය.”
එක් පොතක නිර්වාණය හඳුන්වා ඇති සැටි.
“වානතො නික්ඛන්තං නිබ්බානං” වානය යි කියන ලද තෘෂ්ණාවෙන් නික්මුණා වූ ස්වභාවය නිබ්බාන නම්. මෙහි වාන නම් කුදුමහත් භවයන් එකට බැඳ ගලපන අර්ථයෙන් තෘෂ්ණාවමැ යි.”
අන් පොතක නිවන හඳුන්වා ඇති සැටි.
“වාන යනු තෘෂ්ණාව ය. ඒ වාන සංඛ්යාත තෘෂ්ණාවෙන් නික්මුණේ නිර්වාණය ය. රාගාගිනි ආදිය නිවන්නේ හෝ නිර්වාණය යි.”
මෙහි නිර්වාණය හඳුන්වා ඇති සැටි.
“රාගාදි කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්යාධි මරණාදි දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛස්වභාවය නිර්වාණය ය.”
මෙහි සියලු ම පාඩම් සම්පාදනය කර ඇත්තේ ද හැකිතාක් පොදු ජනයා අතර ව්යවහාර කරන වචන යෙදීමෙනි. මෙහි අප්රසිද්ධ වචන යොදා ඇත්තේ, ප්රසිද්ධ වචනයන් සොයා ගත නුහුණු තැන්වල පමණෙකි. එබැවින් මේ පොත දැනට ඇත්තා වූ අනික් පොත් වලට වඩා පහසුවෙන් කියවා තේරුම් ගත හැකි වනු ඇත. උත්සාහවන්තයකුට ගුරුවරයකු ඇසුරු නො කොට වුව ද මේ පොතින් අභිධර්මය උගත හැකි වනු ඇත.
දැනට භාවිත කරන අභිධර්ම පාඩම් පොත් සියල්ල ම වාගේ සම්පාදනය කර ඇත්තේ අභිධර්මාර්ථ සංග්රහය අනුව ය. මෙය සම්පාදනය කර ඇත්තේ ද එසේමය. එහෙත් මෙය අභිධර්මය පිළිබඳ සාමාන්ය දැනුමක් ඇතිකර ගැනීම සඳහා උගෙනීම කරන පින්වතුන් උදෙසා සම්පාදනය කරන ලද්දක් බැවින් වඩා ප්රයෝජනයකුත් නො මැතිව, උගෙන ගන්නා තැනැත්තාට බොහෝ වෙහෙසෙන්නට සිදු වන, අභිධර්මාර්ථ සංග්රහයෙහි දැක්වෙන ඇතැම් කරුණු මේ පොතට ඇතුළත් නො කරන ලදී. එසේ