ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂය 1 අ-න - වැලිවිටියේ සෝරත හිමි 1952.pdf

1st ed

කතෘ :
වැලිවිටියේ සෝරත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1952
මුද්‍රිත වර්ෂය :
1952
පිටු ගණන :
547
බාගත කිරීම් ගණන :
28,535
වෙබ් අඩවියට එක් කළ දිනය :
2021-01-08
ගොනුවේ ප්‍රමාණය :
147 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 274

ශ්‍රී සුමංගල ශබ්දකොෂය (සිංහල-සිංහල) වැලිවිටියේ පණ්ඩිත සෝරත නාහිමිපාණන් විසින් සම්පාදිත සම්භාව්‍ය සිංහල ශබ්දකෝෂ ග්‍රන්ථයකි. මෙහි ප්‍රථම භාගය ‘අ’ යන්නේ සිට ‘න්‍යූ’ දක්වා වූ අක්ෂර මාලාව ආවරණය කරයි.

පැරණි සිංහල සාහිත්‍ය ග්‍රන්ථ, සෙල්ලිපි සහ සීගිරි ගී ආශ්‍රය කරගනිමින් භාවිත සිංහල වචනවල නිරුක්ති (etymology) සහ අර්ථ විවරණ විද්‍යාත්මකව ඉදිරිපත් කිරීම මෙම ශබ්දකෝෂයේ විශේෂත්වයකි. 1927 දී රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව මඟින් ඇරඹි ශබ්දකෝෂ ව්‍යාපෘතිය ඇතුළු එකල පැවති ශබ්දකෝෂ ප්‍රයත්නයන්හි අඩුපාඩු සලකා බලා වඩාත් ප්‍රයෝජනවත් හා නිරවුල් කෝෂ ග්‍රන්ථයක් සම්පාදනය කිරීමේ අරමුණින් මෙම කෘතිය රචනා කර තිබේ.

මෙම ප්‍රථම මුද්‍රණය ලංකාණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උපකාරය ඇතිව ගල්කිස්සේ වෛද්‍යකලානිධි පේමසිරි අභයවික්‍රම මහතාගේ ප්‍රකාශනයක් ලෙස ශ්‍රී බුද්ධ වර්ෂ 2496 (ක්‍රි.ව. 1952) දී කොළඹ මාලිගාකන්දේ මහාබෝධි යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවන ලද්දකි.

සංඥාපනය

සිංහලයන්ගේ භාෂාව වනාහි සින්ධුආර්‍ය්‍යභාෂාගණයට අයත් වූවකි. මහාවංශයෙහි සඳහන් පරිදි සිංහලයෝ සම්බුද්ධපරිනිර්‍වාණදිනයෙහි උතුරුදඹදිවින් ලක්දිවට පැමිණි ආර්‍ය්‍යවංශිකයන්ගෙන් පැවැතෙන්නෝ වෙති. සිංහලයන් බුද්ධභක්තිකයන් වීමට පෙර ඔවුන්ගේ භාෂාවෙහි ආදිම අවස්ථාව පිළිබඳ තත්ත්‍වය දැනගැණීමට ඉවහල් වන ලිපියක් මේ තාක් හමු නො වී ය. දැනට සොයාගෙන තිබෙන ඉතාමත් පැරණි, ලියූ කාලය නිශ්චය කට හැකි, ලිපිය වනාහි ශ්‍රී බුද්ධවර්‍ෂ 277 දී ලක්රජයට පත් උත්තියනිරිඳුගේ කාලයට අයත් කුඩා ගල්ලෙන් ලිපියකි. ඉන් පසු ක්‍රිස්තුවර්‍ෂාරම්භයට පෙර ලංකාරාජ්‍යශ්‍රීයට පැමිණි දුටුගැමුණු ආදි නරවරයන්ගේ කාලයන්හි කරවූ කුඩා සෙල්ලිපි කීපයක් ද අපට ඇත්තේ ය. මේ බ්‍රාහ්මීශිලාලේඛනයන්හි පෙනෙන භාෂාවට බෙහෙවින් සමාන ප්‍රාකෘතභාෂාවක් සිංහල ජාතියේ ආදිපුරුෂයන් කථා කළ බව සිතීම නිවැරැදි ය.

දඹදිව නොයෙක් පෙදෙස්වලින් ජනසමූහයා වරින් වර මෙහි පැමිණ සිංහලජාතියට මිශ්‍ර වීම හා ශ්‍රී බුද්ධවර්‍ෂ 237 දී ලක්රජයට පත් දෙවනපෑතිස්රජුගේ කාලයෙහි සිංහලජාතිය බෞද්ධ වීමත් සිංහලභාෂාවෙහි ආදිම අනිවාර්‍ය්‍යතාවට බෙහෙවින් ඉවහල් වූ කරුණු ය*. දඹදිව නොයෙක් පෙදෙස්හි පැවැති නොයෙක් ප්‍රාකෘතභාෂාවන්ට ම විශේෂ වූ ඇතැම් ලක්‍ෂණ මේ එක ම සිංහල භාෂාවෙහි සබිඳිණී ව පවත්නේ එහෙයිනි. ඒ සබිඳිණිය සිංහලජාතියේ ප්‍රභවය හා ආදිම දියුණුතත් පිළිබඳ ව පරීක්‍ෂා කරන්නන් බොහෝවිට වැරදි නිගමනයන්ට බස්වයි.

සිංහලභාෂාවෙහි පරිණාමය වනාහි ක්‍රමක්‍රමයෙන් සෙමෙන් වූවකි. එය තේරුම් ගත හැක්කේ ඒ ඒ කාලපරිච්ඡෙදයන්ට අයත් ලේඛනයන් සංවිධාන ව පරීක්‍ෂා කර බැලීමෙනි. අතීතයට අයත් ලිපි අතුරෙන් ශිලාලේඛන හා සීගිරිපැද්‍ය ද ලියූ පවත් වෙනසකට නො පැමිණ පවත්නා හෙයින් ඉතාමත් අගනේ වෙයි. එයින් ශිලාලේඛන රාශියක් ඉතාප්‍රශංසනීයවත් විවරණ සහිත කොට ලංකාශිලාලේඛනසංග්‍රහයෙන් ප්‍රකාශිත ය. ආචාර්‍ය්‍ය සෙනරත් පරණවිතාන මහතා විසින් සොයාගත් සීගිරිපැද්‍ය එතුමා විසින් ලියූ විස්තරවිවරණ සහිත කොට දැන් මුද්‍රණය කරණු ලැබේ. නොබෝ කලකින් එය ප්‍රකාශයට පැමිණිය හැකිය. සිංහලභාෂාපරිණාමයෙහි විලම්බනය පෙනෙන්නේ ශිලාලේඛනයක් එයින් අවුරුදු දෙතුන් සියයකට පසු ව කරවූ ශිලාලේඛනයක් හා සසඳා බලන විට ය.

සිංහලයන්ගේ අතිශය දීර්ඝ වූ ද නොයෙක් විපර්‍ය්‍යාසයන්ට භාජන වූ ද ඉතිහාසය සිංහල භාෂාවට ද සාධාරණ ය. එබඳු ඉතිහාසයක් ඇති භාෂාවක නොයෙක් විපර්‍ය්‍යාසයන්ට භාජන වූ වචන රාශියක් ඇති විය යුතු ම ය. ව්‍යවහාරයෙන් පහ වූ, ලේඛනයන්හි ම රැඳුනා වූ, දුර්‍බෝධවන දහස් ගණනක් සිංහලභාෂාවෙහි ඇත්තේ එහෙයිනි.

ඒ වචනයන්ගේ අර්ත්‍ථ දැන ගැනීමට සුදුසු ශබ්දකෝෂයක් නැති වීම ඉතා මහත් පාඩුවකි. පාලිභාෂාවට අභිධානප්පදීපිකාව වැනි කෝෂග්‍රන්ථ සම්පාදනය කළ පුරාණ ලක්වැසියන් විසින් ස්වභාෂාවට කෝෂග්‍රන්ථ සම්පාදනය නො කරණ ලදැයි කිය නො හැකි ය. එහෙත් ජයවර්‍ධනපුර රාජධානිකාලයෙන් පෙර සම්පාදිත සිංහල කෝෂග්‍රන්ථයක් දැන් දක්නට නැත්තේ ය. පුරාතනයන් විසින් සම්පාදිත එබඳු ශබ්දකෝෂ අනිකුත් පුරාතන සාහිත්‍යකෘතීන් මෙන් කාලිඞ්ගමාඝ පළමුවන රාජසිංහ ආදි දුෂ්ට රජුන් විසින් විනාශ කරණ ලදැයි සිතිය හැකිය.

* මේ දිවයිනෙහි මුල්වැසියන් වූ යක්‍ෂ නාගවංශිකයන්ගේ භාෂාවන් හා ගැටීම ද අමතක කළ යුතු නො වේ.

ජයවර්‍ධනපුර (කෝට්ටේ) රාජධානිකාලයෙහි සම්පාදිත පියුම්මල, රුවන්මල, පුරාණ නාමාවලිය යන නිඝණ්ඩු (කෝෂග්‍රන්ථ) තුනක් ඇතත් පුරාණ වචනයන්ගේ අර්ත්‍ථාවබෝධයට එයින් ලැබෙන වහල ඉතා ස්වල්ප ය. එහි ඇතුළත් වචනමාලාව ද විශාල නො වේ. එහි ඇත්තේ පද්‍යකාව්‍යයන්හි බෙහෙවින් යෙදුනු වචනපද්ධතියක් හා ඒ නිඝණ්ඩුකාරයන් විසින් ම පාලිසංස්කෘතභාෂාවන්ගෙන් (ඔවුන් දැන සිටි ශබ්දභේදක්‍රම අනුව) බිඳ ගත් වචන ස්වල්පයක් ද පමණකි. මේ නිඝණ්ඩු තුන ම කාව්‍යකාරයන්ගේ අත්පොත් වැනි ය.

මෑත දී සම්පාදිත එළු අකාරාදියෙහි හා ශුද්ධ සිංහල අකාරාදියෙහි ද බෙහෙවින් යෙදුනේ ඒ පැරණි නිඝණ්ඩුවල එන වචන ටික ම ය. වේරගම පුඤ්චිබණ්ඩාර පණ්ඩිතතුමා විසින් සම්පාදිත ශබ්දාමෘතාවලී නම් කුඩා කෝෂග්‍රන්ථයෙන් ද පැරණි වචනයන්ට එතරම් ආලෝකයක් නො ලැබේ. බෝරැස්ගමුවේ ශ්‍රී රෙවත (නායක) ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත සිංහල මහා අකාරාදිය ඒ පැරණි කෝෂයන්ට වඩා දියුණු නමුත් පුරාණ වචන තේරුම් ගැනීමට මහත් පිටිවහලක් නො වේ.

ක්ලැෆ්, කාර්ටර් යන දෙශැටුන්වරයන් විසින් සම්පාදිත සිංහල ඉංග්‍රිසි ශබ්දකෝෂයන්හි ද පුරාණ ග්‍රන්ථයන්හි එන දුර්‍බෝධවන අධික නොවන නමුත් මේ තාක් සිංහල ව්‍යවහාරයට නොපැමිණි සංස්කෘත වචන ඉතා මහත් සංඛ්‍යාවක් නම් පෙනේ. ඒ දෙශැටුන්වරයන් ඒ ශබ්දකොෂ සම්පාදනයෙහි දී යොදාගත්තැයි කියනු ලබන එක්තරා ක්‍රමයක් නිසා ඒ සංග්‍රහයන්හි සංස්කෘත වචන රාශියක් ඒ ශබ්දකෝෂයන්ට වැදුනබව කිය හැකිය. ඔහු ඉංග්‍රිසි ශබ්දකෝෂයන්ගෙන් වචන ගෙණ ඊට පර්‍ය්‍යාය වන සිංහලවචන සොයන්ට ඔවුන්ගේ කනිස්තරුවන්ත (=දේවස්ථාන සම්බන්ධ සිංහල පාඨශාලාචාර්‍ය්‍යවරුයන්) යෙදූහ. ඒ පාඨශාලාචාර්‍ය්‍යවරුයන් සිංහලවචන සෙවීමට ඉංග්‍රිසි—සංස්කෘත ශබ්දකෝෂ පෙරළා බැලූ බවත්, එහෙයින් ම සිංහලයෙහි මේ තාක් නැති සංස්කෘත වචන රාශියක් ඒ සිංහල ශබ්දකෝෂයන්හි නවාතැන් ගත් බවත් කියනු ලැබේ. මේ උපක්‍රමය මෙකල්හි ද ඇතැම් සිංහල ශබ්දකෝෂකාරයන් අනුගමනය කරණ බව කිය හැකිය. අභාග්‍යයකි!

මෙකල්හි සිංහලභාෂාව ඉගෙනීමට විශේෂ වූ උනන්දුවක් බොහෝදෙන දක්වති. එහෙයින් පැරැණි පොත්හි ඇතුළත් දුර්‍බෝධවචනයන්ගේ අර්ත්‍ථ ආදිය ක්‍රමානුකූල ව පරීක්‍ෂා කොට සම්පාදනය කළ ශබ්දකෝෂයක් මෙකල්හි අත්‍යාවශ්‍යකය. එබඳු ශබ්දකෝෂයක ආවශ්‍යකත්‍වය අපට දැනුනේ අපගේ ශිෂ්‍යජීවිතයේ දී ම ය. එහෙත් එය මේ තාක් ඉටු නො වී ය.

පැරණි සිංහල පොත් කියවන ප්‍රවීණයන්ට පවා අපහසු වන්නේ ඒ පොත්හි තිබෙන පාලි සංස්කෘත තත්සම ශබ්දයන්ට වඩා පැරණි සිංහලවචනයන්ගේ හා ද්විත්‍වභාෂාවෙන් ආ වචනයන්ගේත් අර්ත්‍ථ තේරුම් ගැනීමට ය. ඒ නිසා ම පුරාණ සිංහල ග්‍රන්ථයන් සංස්කරණය කළා වූ ද ඊට ව්‍යාඛ්‍යා ලියූ ද ශ්‍රෙෂ්ඨ උගතුන් පවා පැකිළුනු තැන් දුලභ නො වේ.

භාෂාවෙහි ඇති දුර්‍බොධ වූ සිංහලවචනයන් ගෙණ අර්ත්‍ථ විවරණය කිරීම ම ප්‍රධාන කාරණය වුව ද, සිංහලශබ්දකොෂකර්තෘන් එය තේරුම් ගත් බවක් නොපෙනේ. මෑත දී වූ සිංහල ශබ්දකෝෂ සම්පාදකයෝ තමන් කැමැති තාක් වචන පැරණි ශබ්දකෝෂයන්ගෙන් ගෙණ ඒ පැරණි ශබ්දකෝෂවල දැක්වූ අර්ත්‍ථ ම කිසි පරීක්‍ෂාවක් නො කොට දැක්වූහ. ඔවුන්ගේ රිසිය පරිදි පොත මහත් කිරීම සඳහා සංස්කෘත ශබ්දකෝෂයන්ගෙන් වචන ගැණීමට ද පසුබට නොවූ නමුත් ඒ සංස්කෘත වචන සිංහල කෘතීන්ගෙහි යෙදී තිබේදැයි සොයන්ට උත්සාහයක් නො දැරූහ. මේ ක්‍රමයට අනුන්ගේ ශබ්දකෝෂයන්ගෙන් වචනාදිය පැහැර ගෙණ ශබ්දකෝෂයක් සම්පාදනය කිරීම එ තරම් අපහසු කාර්‍ය්‍යයක් නො වේ. ප්‍රයෝජනවත් ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමට නම් භාෂාවට අයත් කෘතීන්ගෙන් වචන ගෙණ අනුක්‍රමණිකා කර ගත යුතු ය. ඉන් පසු ඒ වචන යෙදී තිබෙන පාඨයන් නිසි සේ පරීක්‍ෂා කොට අර්ත්‍ථ විවරණය කළ යුතු ය. එබඳු කාර්‍ය්‍යයක් ප්‍රතිඵල සහිත සේ අවසන් කිරීම සඳහා ඉතා වෙහෙසක් දැරිය යුතු ය. ඒ දුෂ්කරකාර්‍ය්‍යය නිසි සේ නිමවීමට තනි පුද්ගලයෙකුගේ ශක්තිය කිසිසේත් ප්‍රමාණවත් නො වේ.