විශුද්ධිමාර්ගය සන්නය 1 සහ 2 - පරාක්රමබාහු රජු 1847.pdf
- කතෘ :
- පරාක්රමබාහු රජු
- ප්රකාශිත වර්ෂය :
- 1925
- මුද්රිත වර්ෂය :
- 1925
- පිටු ගණන :
- 543
- බාගත කිරීම් ගණන :
- 1,518
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-06
- ගොනුවේ ප්රමාණය :
- 124 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විශුද්ධිමාර්ගය යනු අට්ඨකථාචාර්ය්ය බුද්ධඝොෂ මහාස්ථවිරයන් වහන්සේ ලක්දිවට වැඩම කොට අනුරාධපුරයෙහි මහානාම රජු සමයෙහි රචනා කළ පාලි විසුද්ධිමග්ගය, කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත පරාක්රමබාහු මහරජාණන් විසින් කළ සිංහල පදව්යාඛ්යානය (සන්නය) සමඟ පළ කළ මුද්රණයයි. පාලි පාඨය හා ඊට අදාළ සිංහල සන්නය පිටුවෙහි එක්ව දැක්වේ.
මෙම සංස්කරණය පෑලියගොඩ විද්යාලඞ්කාර මහාවිද්යාලයෙහි උපාචාර්ය්ය කඹුරුපිටියේ ධම්මරතන ස්ථවිරයන් වහන්සේ විසින් ලෙඛක දෝෂ ඉවත් කොට සකස් කරන ලදී. කඹුරුපිටියේ අශොකාගාරයෙහි ඩී. සී. ඇස්. වික්රමරත්න මහතා විසින් කොළඹ මහාබොධි යන්ත්රාලයෙහි මුද්රණය කරවා බු.ව. 2468 (ක්රි.ව. 1925) දී ප්රකාශයට පත් කෙරිණි. ග්රන්ථය අම්බන්වැල්ලේ ශ්රී සිද්ධාර්ථ සුමඞ්ගල මහානායක හිමියන්ට පිරිනමා ඇති අතර, රත්මලානේ ධර්මකීර්ති ශ්රී ධර්මානන්ද නායක හිමියන් විසින් සෝදුපත් පරීක්ෂා කොට සමර්ථනය කර ඇත.
ප්රකාශකයාගේ විඥාපනයට අනුව ශීල, සමාධි, ප්රඥා යන නිර්දේශ තුන අනුව කාණ්ඩ තුනකින් මුළු ග්රන්ථයම පළ කිරීමට අදහස් කළ අතර, ප්රථම භාගය ශීලනිර්දේශය හා ධුතාඞ්ගනිර්දේශය ඇතුළත් කොට පෝරම විසිහතකින් නිකුත් විය. මෙම ගොනුවේ අවසාන පිටුව අසුභකම්මට්ඨාන නිද්දේසය (සයවන පරිච්ඡේදය) අවසානයයි.
දීර්ඝ ප්රස්තාවනාවෙහි අට්ඨකථාවල ස්වභාවය හා වැදගත්කම, ප්රථම සඞ්ගීතියේ සිට මාතලේ අලුලෙනෙහි පුස්තකාරූඪ සඞ්ගීතිය දක්වා ධර්ම සඞ්ගායනා, මහා අට්ඨකථා, පච්චරී, කුරුන්දි යන සිංහල අටුවා, දඹදිව හා ලක්දිව නිකාය භේද, මහාවිහාර, අභයගිරි, ජෙතවන නිකාය, සහ බුද්ධඝොෂ හිමියන්ගේ චරිතය හා විශුද්ධිමාර්ගය රචනා වූ ආකාරය විස්තර කෙරේ.
විඥාපනය
අට්ඨකථාචාර්ය්ය ශ්රීමද් අනුබුද්ධ බුද්ධඝොෂ මහාස්ථවිරපාදයන් වහන්සේ ලක්දිව් වැඩමවීමෙන් ප්රාථමිකවැ රචනාකළාවූ මෙම විශුද්ධිමාර්ග අට්ඨකථාව පිළිබඳවූද තදීය සන්න කර්තෘවූ කලිකාල සාහිත්ය සර්වඥ පණ්ඩිත පරාක්රමබාහු මහරජාණන් පිළිබඳවූද දැනගත යුතු වැදගත් කරුණු රැශියක් අන්තර්ගත ප්රස්තාවනාවක් මෙහි ඇතුළත් වන බැවින් ඒ පිළිබඳ කරුණු දැක්වීමට අපි නොවෙහෙසෙමු.
මෙකල බොහෝදෙනා වැදගත් විශාල ග්රන්ථයන් මුද්රණයකරවීමට පටන්ගෙන ආරම්භයෙහි ඉන් භාගයක් හෝ දෙකක් පළකරවීමෙන් මන්දොත්සාහී වෙති.
මේ පිළිබඳව අප පළමුවෙන් අදහස්කරගත් පරිදිම ශීල සමාධි ප්රඥා යන නිර්දේශත්රයෙන් බෙදූ කාණ්ඩ තුනක් වශයෙන් මුලු පොතම ඉක්මනින් පළකරවන්නෙමු.
එබැවින් මෙහි ශීලනිර්දේශයට අයත් පෝර්ම විසිහතකින් නිමි යාවූ ප්රථම භාගය මේ වරට මෙසේ නිකුත්කෙළෙමු.
ඉතිරි භාගයන් පිළිබඳ මුද්රණයද යුහුසුලුව කරගෙන යනු ලැබේ.
මෙයට, D. C. S. Wickramaratna. 1925 ඔක්තෝම්බර් මස 25 වෙනි දින කඹුරුපිටියේ අශොකාගාරයෙහිදීය.
ප්රස්තාවනා
ශ්රීඝනසුගතතථාගතවරධර්මචක්රවර්තිස්වාමිවූ අප සම්යක් සම්බුද්ධ සර්වඥරාජොත්තමයන් වහන්සේ විසින් විමුක්ත්යායතන යෙන් පරිශීලනයකරන්නවුන්හට අනුපාදපරිනිර්වාණය කෙළවරකොට ඇති ලෞකිකලොකොත්තරහිතසුඛසාධනයෙහි සමර්ථවූ අර්ථව්යඤ්ජන සම්පත්තියෙන් සමුල්ලසිතකොට මූලභාෂායෙන් වදාරනලද සකල නවාඞ්ග ශාස්තෘශාසන පර්ය්යාප්ත පර්ය්යාප්තිසද්ධර්මයාගේ අර්ථ ප්රකාශක චාරයෙන් තමන්වහන්සේ විසින්ද අග්රශ්රාවක මහාශ්රාවක තදන්ය ශ්රාවකාදි ප්රතිසම්භිදප්රාප්ත සෙසු ශ්රාවකයන්විසින්ද ඒ ඒ තන්හි ප්රකාශිත ප්රකීර්ණක විනිශ්චය කථා සඞ්ඛ්යාතදෙශනා තොමෝ අර්ථකථා නම් වන්නීය.
“අත්ථො කථීයති එතායාති අත්ථකථා” යනු ටීකාගත නිර්වචන හෙයින් මේ කාරණකොටගෙන ලෞකික ලොකොත්තර අර්ථය තෙමේ පවසනු ලැබේනුයි, අර්ථකථා නම් වේ. මෙහි “දුක්ඛස්ස පීළනට්ඨො” යන ආදිතන්හි සෙයින් ථකාරහට ඨකාරකළකල්හි අට්ඨකථා යි සිද්ධයයි දතයුතු.
ඒ මේ සාර්ථකථා ප්රවචන ලක්ෂණවූ පර්ය්යාප්තිතොමො “මම පෙළ දහම ධරන්නෙමැයි හෝ; ගුරුප්රවෙණිය පිහිටුවන්නෙමැයි හෝ; මහාවිහාරවංශය රක්නෙමැයි හෝ” මෙසේ සනිටුහන් කොට නිඃසරණාධ්යාශයෙන් ඉගෙණ පුහුණුකරන්නාවූ ශාසනාවචර කුලපුත්රයනට තන්ත්රිධාරක ප්රවෙණිපාලක වංශානුරක්ෂකත්වයෙන් පර්ය්යාප්තිශාසනයාගෙද; තෙලෙස් ධුතඟ තුදුස් කඳුවත්ත දෙයාසූ මහවත්ත යන් ආදී ප්රතිපද්ශාසනයාගෙද; නවලොකොත්තර ධර්මසඞ්ඛ්යාත ප්රතිවෙධ ශාසනයාගෙද; පැවැත්මට ප්රත්යය වන්නීය. එහෙයින් පර්ය්යාප්තිතොමො ප්රතිපත්තියට ප්රත්යය වෙයි; ප්රතිපද් තොමෝ ප්රතිවෙධයට ප්රත්යය වෙයි; යනුද දතයුතු.
නානානයනිපුණවූ අනෙකාධ්යාශය සමුත්ථානවූ ධර්මාර්ථදෙශනා ප්රතිවෙධගම්භීරවූ ත්රිපිටකබුද්ධවචනය පිළිබඳ ගුණසංවර්ණනාත්මකවූ මේ අර්ථකථාතොමො රත්නත්රයෙහි ඍජුවූ ශ්රද්ධාප්රතිලාභයෙන් අමෘතාධිගමයට හෙතුවූ අලෞකික ප්රීතිප්රමොදය ජනවනු සඳහාද; ගැඹුරුවූ නැණැතියන් විසින්ම බැසගතයුතුවූ ත්රිපිටක සද්ධර්මමහාර්ණවයාගෙ ප්රවෙශොපාය සඳහාද; අත්යුපකාර වන්නීය. ජිනවචනයෙහි උද්ග්රහණ ධාරණාදීන් ප්රඥාපාටවය කැමති සුධීන් විසින් අර්ථකථාතොමො වෙසෙසින් පුහුණුකටයුත්තීය. අර්ථකථායෙන් වෙන්වැ කිසිසේත් පෙළදහම නොදතහැකිහෙයිනි. අර්ථකථායෙහි දුරව බොධය ඇතිකල්හිදු අර්ථකථාව වරදවා ගත්කල්හිදු ත්රිපිටකධර්ම සඞ්ඛ්යාත පෙළදහමද උත්පරිපාටියෙන් ගෘහිතව්ය වෙයි. පෙළදහම වරදවා ගත් කල්හි එය සද්ධර්මයාගෙ ප්රමොෂය පිණිසද විනාශය පිණිසද අන්තර්ධානය පිණිසද අප්රකාශය පිණිසද පවත්නේ වෙයි. එහෙයින් පිටකත්රය ධර්මාවබොධය කැමතියවුන් විසින් අර්ථකථායෙහි පිළිපැද්දයුතු. පූර්වකාලීනවූ මහාප්රාඥවරෙණ්යයන් විසිනුදු තදර්ථකථාතොමො බුද්ධභාෂිතකොට සැලකීමෙන් චිත්තීකෘතයැ; සතතයෙන් ආදෘතද වී.
කියනලදමැයි, ටීකාචාර්ය්යශ්රීමද්ශාරිපුත්ර මාහිමියන් විසින්.
“නහි භගවතා අබ්යාකතං නාම තන්තිපදං අත්ථි සබ්බෙසං යෙව අත්ථො කථිතො තස්මා සම්මාසම්බුද්ධෙනෙව තිණ්ණං පිටකානං අත්ථවණ්ණනාක්කමොපි භාසිතො ති දට්ඨබ්බං තත්ථ තත්ථ භගවතා පවත්තිත පකිණ්ණක දෙසනායෙව හි අට්ඨකථා” යි.
අප බුදුහු විසින් නොවිතරනලද පෙළදහමෙක් නම් නැති. සියලු දහමුන්ගෙ අරුත් තමන්වහන්සේ විසින්ම පවසන ලදහ. එහෙයින් සම්යක් සම්බුද්ධයන් විසින්ම පිටකත්රය පිළිබඳ අර්ථවර්ණනාක්රමයද වදළේයයි දතයුතු. එහි භාග්යවත්හු විසින් වදාරනලද විස්තාර දෙශනා තොමෝම අටුවා නම් වෙයි යනු මෙහි භාවයි.
තදර්ථකථා තොමො පස්වාදහසක් හවුරුදු සද්ධර්මයාගෙ අවිසන සංස්ථිතිය කැමැතිවූ අනුබුද්ධ මහා කාශ්යප මහාක්ෂීණාශ්රව ප්රමුඛ මහ රහතන් වහන්සේලා විසින් ප්රථම සඞ්ගීතියෙහි පටන් පස්වම් පුස්තකාරූඪ සඞ්ගීතිය දක්වා ථෙරිය නිකායික අචාර්ය්ය පරම්පරයෙහි සුපිරිසුදුව ගෙනඑන ලද්දීයැ. හේ මෙසේ සැකෙවින් දතයුතු.
ප්රථම ධර්මසඞ්ගීතිය.
ධර්මචක්රප්රවර්තනයෙහි පටන් සුභද්ර පරිව්රාජක විනයනය දක්වා කෘතබුද්ධකෘත්ය ඇති අප ලොකනාථවූ සර්වඥයන්වහන්සේ කුසිණාරා නුවර උපවත්තන නම්වූ මල්ලරජුන්ගේ සල්උයනෙහි යුගම ශාලවෘක්ෂාන්තරයෙහි වෙසඟමස පුණු පොහෝදින අලුයම්හි නිරුපධිශෙෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවි සත්දිනක් ගතවූ කල්හි සුභද්ර නම් බුඩ්ඪපබ්බජිතයක්හු විසින් “අලං ආවුසො මා සොචිත්ථ මා පරිදෙවිත්ථ සුමුත්තාමයං තෙන මහාසමණෙන” යන මේ ආදීන් කියන ලද ශාසනකණ්ටක දූෂිත වචනයන් අසා අනාගතයෙහි ශාසන පරිහාණිය සලකා වදාළ අනුබුද්ධ මහාකාශ්යපස්ථවිර ප්රමුඛ ශාසනාභිවෘද්ධිකාමී පන්සියයක් මහරහතන්වහන්සේලා අජාතශත්රු මහරජතුමන් විසින් බඹවිමනක් මෙන් විසිතුරුකොට කරවනලද සප්තපර්ණී ගුහාචාර මණ්ඩපයෙහි රැස්ව සත්මසෙකින් ප්රථම ධර්මසඞ්ගායනාව කොට නිමවා වදාළසේක.
මහාකාශ්යපස්ථවිරාදි පන්සියයක් භික්ෂූන් රැස්ව කළහෙයින් මෝ තොමෝ පඤ්චසතිකා මහාසඞ්ගීති නමැයිද ථෙරියා හෝ ථෙරිකා නමැයිද කියනුලැබේ.
ද්විතීය ධර්මසඞ්ගීතිය.
පරිනිර්වාණයෙන් සියක්වන හවුරුදුයෙහි විශාලාමහනුවර වැසි දසසක් වජ්ජිපුත්රක භික්ෂූන් විසින් නොකැපවූ ශෘඞ්ගලවණකල්පාදි දසවස්තූන් ගෙනහැර පෑ කල්හි කාකණ්ඩපුත්රවූ යසස්ථවිර ප්රමුඛ ථෙරියනිකායික සත්සියයක් මහරහතන්වහන්සේලා කාලාශොක මහීපාලයන් සමයෙහි වාලුකාරාම නම් විහාරයෙහි රැස්වූවාහු සියලු ශාසනමලයන් දුරුකෙරෙමින් පිටකා විසින් නිකාය විසින් අඞ්ග විසින් ධර්මස්කන්ධාදි විසින් අටමසෙකින් ද්විතීය ධර්මසඞ්ගායනාව කොට නිමවා වදාළසේක.
සත්සියයක් දෙනා වහන්සේ රැස්ව කළහෙයින් මෝතොමෝ සත්තසතිකා නමැයිද දෙවනුව කළහෙයින් ද්විතීය සඞ්ගීති නමැයිද කියනුලැබේ.
තෘතීය ධර්මසඞ්ගීතිය.
තථාගත පරිනිර්වාණයෙන් දෙසිය සවිසිවන හවුරුදුයෙහි දෙවන සඞ්ගායනා සමයෙහි සස්නෙන් බැහැරකරනලද පාපභික්ෂූන්ගෙන් සිදුවූ ශාසනසඞ්කරයන් පැවැති කල්හි දඹදිව ආඥාචක්රවර්ති ධර්මාශොක මහරජාණන් විසින් විහිත ආරක්ෂාසංවිධාන ඇතිව මොග්ගලිපුත්තතිස්ස මහරහතන්වහන්සේ ප්රමුඛකොට ඇති දහසක් මහරහතන් වහන්සේලා අශොකාරාම නම් විහාරයෙහි රැස්වූවාහු අධර්මය ධර්මයකොට අවිනය විනයකොට තීර්ථකයන් විසින් දක්වූ ශාසනමල විශොධනය කෙරෙමින් නවමසෙකින් තෘතීය ධර්මසඞ්ගායනාව කොට නිමවා වදාළසේක.
දහසක් භික්ෂූන් රැස්ව කළහෙයින් මෝතොමෝ සාහස්සිකා නමැයිද තුන්වනු හෙයින් තෘතීය සඞ්ගීති නමැයිද කියනු ලැබේ.
මෙසේ අර්ථකථා සහිත ත්රිපිටකබුද්ධවචනය දඹදිව ථෙරිය නිකායික ස්ථවිරපරම්පරානුයාත මහරහතන් විසින් බුදුන් හමුයෙහි අසා සිත්හි ලා ධැරූ නියායෙන් නොපිරිහෙලා තෘතීය සඞ්ගීති පර්ය්යන්තකොට ගෙන ආ කල්හි ලක්දිව ශාසනප්රතිෂ්ඨාපනය සඳහා “අනාගතෙ මහින්දො නාම භික්ඛු තම්බපණ්ණිදීපං පසාදෙස්සති” යි සම්යක්සම්බුද්ධයන් වහන්සේ විසිනුදු අනුදන්නාලද සෙවාපාධ්යායවූ මොග්ගලිපුත්තතිස්ස මහරහතන් ප්රමුඛකොට ඇති මහා සඞ්ඝයා වහන්සේ විසිනුදු අයදනාලද මහාමහෙන්ද්ර ක්ෂීණාශ්රවයන් වහන්සේ පරිනිර්වාණයෙන් දෙසියසතිස් වන වර්ෂයෙහි ලඞ්කාපුරවරාධීශ්වරවූ දෙවානම්ප්රියතිෂ්ය නරපතිහු පිළිබඳ ප්රථම රාජ්යාභිෂෙක වර්ෂයෙහි මෙලක්දිවට ගෙනවුත් නිකායාන්තර ලබ්ධීන් හා අසම්මිශ්රකොට පිරිසුදු හෙළදිව් බසින් තබා වදාළසේක.
චතුර්ථ ධර්මසඞ්ගීතිය.
ශ්රීමත්මහාමහෙන්ද්ර මහාක්ෂීණාශ්රවයන් වහන්සේ විසින් ලක්දිව බුදුසසුන් පිහිටුවා වදාළ පසු දෙවනපියතිස් මහරජහුගේ බෑනණුවූ අරිට්ඨාදි ථෙරිය නිකායික භික්ෂූන් විසින් පරිනිර්වාණයෙන් දෙසිය සැත්තෑවන වර්ෂයෙහි ලක්දිව රජ පැමිණි උත්තිය නම් මහරජු දවස එ මිහිපල්හුගේ ආරක්ෂා සංවිධාන ඇතිව අකාල විද්යුත්පාතයෙන් අහස ගුගුරුවා මහපොළොව කම්පාකොට දෙවියන්ගේ සාධුනාද සහශ්රයෙන් කරනලද ස්තොත්ර පූජා ඇතිව චතුර්ථ ධර්මසඞ්ගීති තොමෝ කර වදාරන ලද්දීය.
මෝතොමෝ දඹදිව සඞ්ගායනා පිළිවෙළින් සතරවැනිවූවද ලක්දිව්හි සිදුවූ පළමුවන ධර්මසඞ්ගායනාවයයි සැලකියයුතු.
මෙසෙයින් ජාම්බුද්වීපික ප්රථම මහාසඞ්ගීතියෙහි පටන් තෘතීය සඞ්ගීති පර්ය්යන්තකොට අනුබුද්ධ මහාකාශ්යප මහාක්ෂීණාශ්රව ප්රමුඛ ථෙරිය නිකායික භික්ෂූන් විසින් මේ සාර්ථකථා ප්රවචනපාලිය ශත ධෞත ඝෘතයක් මෙන් අති නිර්මලව ගෙන එන ලද්දීය.
ඉන් පසු ලඞ්කාවිප්රසාදක ථෙරියනිකායික මහාමහෙන්ද්ර ක්ෂීණාශ්රවයන් විසින් දඹදිවින් මෙලක්දිවට ගෙන එන ලද්දීය. උන්වහන්සේ වෙතින් ඉගෙන අරිට්ඨාදි රහතන් විසිනුදු මොනවට ගෙන එන ලදුව එතැන්පටන් මේ දක්වා තදන්තෙවාසිකයන් විසිනුදු තත් තත් පාරම්පර්ය්ය වාචනා මාර්ගොපදෙශයෙන් ගෙන එනු ලැබේ.
පඤ්චම් (පුස්තකාරූඪ) සඞ්ගීතිය.
තථාගත පරිනිර්වාණයෙන් සාරසිය සතලිස්වන වර්ෂයෙහි ලක්දිව රජ පැමිණි වළගම් අබා මහරජහුගේ ඇමතිවූ එක්තරා ජනපදාධිපයක්හුගේ සහායත්වයෙන් මාතුලජනපදයෙහි ආලොක ලෙණ (මාතලේ අලුලෙන්) විහාරයෙහි රැස්වූ සියුපිළිසිඹියාපත් පන්සියයක් මහරහතන් වහන්සේලා අර්ථකථා සහිතවූ ත්රිපිටක බුද්ධවචනය නැවතත් සඞ්ගායනාකොට පුස්තකාරූඪ කළසේක. මෝතොමෝ පස්වනුවූ පුස්තකාරූඪ සඞ්ගීතිය වේ.
කියනලදමැයි, නිකායසඞ්ග්රහයෙහි.
“ඉක්බිති ඒ දෙවනපෑතිස්ස රජු පටන් උත්තිය රජය මහාසිවය සූරතිස්සය අසරුවෝය අසේලය එළාලය මහානාගය යටාලතිස්සය ගොඨාභයය කාවන්තිස්සය දුටුගැමුණුය සැදෑතිස්සය තුලුන රජය ලමෑණිතිස්සය කලුනාරජය පඤ්චද්රාවිඩය යන මේ සතලොස් රජුන් ඇවෑමෙහි වලගම් අබා නම් මහ රජෙක් බුදුන් පිරිනිවි සාරසිය එකුන්සාලිස් හවුරුදු නවමස් දසදවසක් ගියකලැ සිරිලක රජ පැමිණි පස්වනමස පරදෙසින්බට සෙබල දෙමළුන් සත්දෙනකු හා යුද්ධකොට බිඳී වල්වන.
එකලැ බුදුන් බෝමැඩ විදුරසුන් නැගී මරසෙන් බිඳ බුදුවූ දවස් එම විගස ප්රීතිවෙගයෙන් උදන් අනා වදාළ “අනෙකජාති සංසාරං” යනාදි ප්රථම බුද්ධවචනය ආදිකොට කෙළවර පරිනිර්වාණ කාලයෙහි වදාළ “වයධම්මා භික්ඛවෙ සඞ්ඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යන පශ්චිම බුද්ධවචනය අවසන්කොට මෙ දෙඅතුර පන්සාලිස් හවුරුද්ද මුළුල්ලෙහි දිව්ය බ්රහ්ම නාග සුපර්ණ මනුෂ්ය යක්ෂ රාක්ෂස සිද්ධ විද්යාධරාදීන්ට අනුශාසනා පිණිස වදාළ පරිද්දෙන්ම අක්ෂරවශයෙන් පදවශයෙන් ග්රන්ථවශයෙන් භාණවාරවශයෙන් පරිච්ඡින්න සඞ්ඛ්යා සහිතව අනූනව අනධිකව සර්වදුල්ලබව හා අමිශ්රව ත්රිවිධ සඞ්ගායනාරූඪව ගගන ගඞ්ගාප්රවාහයක් සේ සුපරිශුද්ධව දූරගම්භීරවනක්සේ නිර්මලව අමෘත මහාමෙඝයක් සේ මුළුලෝ සනහමින් ත්රිවිධ බොධි සම්පාදනයට ඍජුරාජපථයක්ව සකල ජනකාමිනී සර්වසම්පත්ති ලාභයට එකාන්තකාරණව උපාලිය දාසකය සොණකය සිග්ගවය මොග්ගලිපුත්තතිස්සය මහින්දය ඉට්ටියය උත්තියය සම්බලය භද්දසාලය අරිට්ඨය තිස්සදත්තය කාළසුමනය දීඝනාමය දීඝසුමනය කාළසුමනය මහානාගය බුද්ධරක්ඛිතය තිස්සය දෙවය සුමනය චූළනාගය ධම්මපාලිතය ඛෙමය උපතිස්සය ඵුස්සදෙවය සුමනය පුප්ඵනාමය මහාසිවය උපාලිය මහානාගය අභයය තිස්සය ඵුස්සනාමය චූලාභයය තිස්සය චූලදෙවය සිවස්ථවිරය යන මේ මහාස්ථවිර පරම්පරායෙන් මුඛපාලි වශයෙන් පැවැත ආවාවූ ත්රිපිටකධර්මය එක්තරා ජනපදාධිපයක්හුගේ ආරක්ෂායෙන් පන්සියයක් රහතන්වහන්සේ මාතුල නම් දනව්වෙහි අළුලෙන වැඩහිඳ පොත් සඞ්ගායනා කොට ලියවූසේක.” යනුයි.
මෙතැන් පටන් ධර්ම විනය ග්රන්ථපරම්පරාව බොහෝසෙයින් ලෙඛන වශයෙන්ද විය. මෙයින් පිටත් නානා දෙශයන්හිද ඒ පාලි ග්රන්ථයෝ පතළවූහ. සිංහලාර්ථකථාවූ කලි සිංහල ද්වීපයෙහිම පැවැත්තාහුය. දෙශාන්තරයන්හි නොපැවැත්තාහ. දෙශාන්තරිකවූද යම් යම් ආචාර්ය්යවරයන් විසින් ඒ ඒ දෙශයන්ට අනුරූපවූ අර්ථකථාවෝ අන්ධට්ඨකථාදි නාමයන්ගෙන් රචනා කරනලද්දහුයයි හැගේ. මේ අතර ලක්දිව්හි ත්රිපිටකබුද්ධවචනයද කුරුන්දි පච්චරී මහා අට්ඨකථා සඞ්ඛ්යාත ත්රිවිධවූ සිංහලාර්ථකථාවෝද ලිඛිත ග්රන්ථවශයෙන්ද බහුශ්රුතයන්ගේ ධාරණ වශයෙන්ද පැවැත්තාහුය. මෙහි ප්රථම මහාසඞ්ගීතියෙහි මහාකාශ්යපස්ථවිරාදි ධර්මසඞ්ගායක මහරහතන්වහන්සේලා විසින් සගයන ලද්දවූද මහාමහෙන්ද්රක්ෂීණාශ්රවයන්වහන්සේ විසින් ලක්දිවට ගෙනවුත් නිකායාන්තරලබ්ධීන් හා සංකරනොවනු පිණිස සිංහලභාෂායෙන් තබනලද්දවූද ප්රාථමික අර්ථවර්ණනා තොමෝ මහාට්ඨකථා නම් විය. ලක්දිව්හිදීම පසුරකට රැස්ව කළ හෙයින් ද්විතීය අර්ථවර්ණනා තොමෝ පච්චරියට්ඨකථා නමැයිද කුරුන්දිවෙලලි නම් විහාරයෙහිදී රැස්ව කළහෙයින් තෘතීය අර්ථවර්ණනා තොමෝ කුරුන්දට්ඨකථා නමැයිද සලකනු ලැබෙත්.
දඹදිව හා ලක්දිව නිකායභෙදය.
අප තථාගත සම්මා සම්බුද්ධරජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් ශතවර්ෂය වනතෙක් මහාකාශ්යපස්ථවිරාඛ්යාගත එකම ථෙරියනිකාය විනා අන්කිසිම නිකායයෙක් ඇති නොවූයේය. ඉන් මෑතභාගයෙහි ද්විතීය ධර්මසඞ්ගායනා සමයෙහිදී නිග්ගණ්ඨිත දසදහසක් වජ්ජිපුත්රක පාපභික්ෂූහු ශාසනප්රතිෂ්ඨා නොලැබ ප්රත්යන්තදෙශයනට වැද ධර්මය අධර්මයකොට විනය අවිනයකොට මහාසංඝික නම් ආචාර්ය්ය නිකායයක් ඇතිකළහ. එයින් ගොකුලිකය එකබ්බොහාරිකයයි නිකාය දෙකෙක්ද; ගොකුලික නිකායයෙනුදු ප්රඥප්තිවාදීය බාහුලිකයයි අනිකුදු නිකාය දෙකෙක්ද; චෙතියවාද නම් තවත් නිකායයෙක්දැයි මහාසංඝික නිකාය හා සමග මෙසේ නිකාය සයෙක් විය. එසේම මහිංසාසකය වජ්ජිපුත්රකයයි ථෙරියනිකායයෙන් භින්නාවූ නිකාය දෙකෙක්ද; ධම්මුත්තරිය භද්රයානිකය ඡන්නාගාරිකය සම්මිතියයි මෙසේ වජ්ජිපුත්රක නිකායයෙන් භින්නාවූ අනිකුදු නිකාය සතරෙක්ද; වැලිදු සබ්බත්ථිවාදීය ධම්මගුත්තිකයයි මහිංසාසක නිකායයෙන් භින්නාවූ අනිකුදු නිකාය දෙකෙක්ද; කස්සපිකය සඞ්කන්තිකය සුත්තවාදීයයි සබ්බත්ථික නිකායයෙන් භින්නාවූ නිකායාන්තරයෙක්දැයි මෙකී එකලොස් නිකායයෝ පළමු කී මහාසංඝිකාදි ෂඩ්නිකායයන් හා මිලිතවූවාහු සතලොස් නිකාය කෙනෙක් පරිනිර්වාණයෙන් දෙවැනි ශතවර්ෂයෙහි ජම්බුද්වීපයෙහි භින්නව ව්යාප්තවූහ. එකම ථෙරියනිකාය පමණෙක් අභින්නවැ පැවැත්තේය. ඉන් මොබ්බෙහිදු හෙමවත රාජගිරිකාදි අන්යවූද නිකාය සයෙක් ඇතිව ත්රිපිටක බුද්ධධර්මය පෙරළා බුද්ධධර්මය බඳුකොට වර්ණපිටකාදි නානා මිථ්යාධර්මයන් ඇතිකොට ශ්රමණනාම ශ්රමණලිඞ්ග ශ්රමණකල්ප ශ්රමණපරිෂ්කාරයන් පව වෙනස්කොට මහත්වූ ශාසනවිලොපයන් කළාහුය.
කියනලදමැයි, විනය ටීකායෙහි.
“නාමලිඞ්ග පරික්ඛාරං ආකප්පකරණානි ච පකතිභාවං විජහිත්වා තං ච අඤ්ඤං අකංසු තෙ” යි.
ලක්දිව්හිදු බුදුසසුන් පිහිටුවීමෙන් හවුරුදු දෙසියදහහතක් වන්තුරු කිසිම නිකාය භෙදයෙක් නොමැතිව මහා මහෙන්ද්රස්ථවිරාඛ්යාගත එකම ථෙරිය නිකාය පමණක් මහා විහාරයෙහි වොරදෙන්ට විය. ඉක්බිති පරිනිර්වාණයෙන් හවුරුදු සාරසිය පනස්පහක්වූ කලැ වළගම් අබා මහරජු දවස එ මිහිපල්හු විසින් කරවනලද අභයගිරි විහාරවාසී භික්ෂූහු ථෙරිය නිකායයෙන් භින්නාවූවාහු ධම්මරුචිනිකාය නමින් ගණයක්වූහ. නැවත හවුරුදු අටසිය දසනවයකින් පසු මහසෙන් රජු දවස අභයගිරිවාසීවූම සාගල නම් තෙර නමක් ආගමව්යාඛ්යානයන්ද කොට ස්වශිෂ්යයන් හා ධම්මරුචි නිකායයෙන් භින්නවැ ජෙතවනයෙහි වෙසෙමින් සාගලිය නිකාය නමින් ගණයක් වූයේය.
එහෙයින් කිහ.
“ධම්මරුචික සාගලිකා ලඞ්කාදීපම්හි පඤ්ඤත්තා” යි.
මෙසේ වළගම් අබා මහරජුකලැ පටන් මහාවිහාරිය අභයගිරිකය යි නිකායවයක් වශයෙන්ද මහසෙන්රජු කලැ පටන් මහාවිහාරිය අභයගිරිකය ජෙතවනිකාය යි නිකායත්රයක් වශයෙන්ද භික්ෂූහු භින්නවූහයි සැලකියයුතු.
උද්දෙස පරිපුච්ඡාදි සමගිකර්මයන්ට නොඑළඹෙන්නාවූ භින්න නිකායික ඒ භික්ෂූන්ගේ අවිනය අසද්ධර්ම පරිදීපනයෝද බොහෝ වූහ. ඔවුනතුරෙන් අභයගිරිකයෝ විනයපිටකයෙහි ඛන්ධක පරිවාරයන් හෙවත් මහාවග්ගය චූලවග්ගය පරිවාරය යන විනයප්රකරණයන් අර්ථාන්තර පාඨාන්තර හෙළීමෙන් වෙනස් කළහ. එසේම විනයෙහි සවග භික්ෂූන්ගේ වස්තුවෙහි අනුදන්නාලද දළකඩ විජිනිපත් ධැරීමද අඞ්ගුත්තරිකා ගණිකාවගේ වස්තුවෙහි අනුදන්නාලද දූතෙය්ය උපසම්පදාව හා කුමාර කාශ්යප වස්තුවෙහි අනුදන්නාලද ගැබ විසූ මස් ගණනත් සමග විසිවසක් සම්පූර්ණකොටගෙන උපසම්පදා කිරීම් ආදි විනය කර්මයන්ද අවිනය කර්මකොට දක්වූහ. ජෙතවනිකයෝ වනාහි විනයපිටකයෙන් උභතොවිභඞ්ග නම්වූ පාරාජිකාය පාචිත්තිය ය යන විනය ප්රකරණයන් අර්ථාන්තර පාඨාන්තර ප්රක්ෂෙපයෙන් වෙනස් කළහ. භින්නනිකායික ඒ භික්ෂූන්ගේ ග්රන්ථයෝද කිසි තැනෙක්හි පාඨවෙෂම්යයෙන් භින්නවූහ. පාඨාන්තර වශයෙන් අර්ථකථාචාර්ය්යයින් විසින් දක්වනලද “එතපට්ඨො,එතාපට්ඨො” “කායගන්ථො, කායනොන්ථො,කායන්ධො” යනාදීන් පැවැති මතභෙදද, එසේම අර්ථකථාවන්හි “අපරෙ, එකච්චෙ, කෙචි” යන ආදීන් අනන්තරිත ථෙරවාදද බොහෝවූහ.
පුස්තකාරූඪ සඞ්ගීතියෙන් හවුරුදු පන්සියයක්වූ කලැ අනුරාධපුරයෙහි මහානාම නම් රජු සමයෙහි “අත්යන්තයෙන් පිරිසුදු ශ්රද්ධා බුද්ධිවීර්ය්යයෙන් ප්රතිමණ්ඩිතවූ; ශීලය ආචාරය ඍජුබවය මෘදුබවය යනාදි ගුණ රැසින් හිවි සිටියාවූ; ස්වසමයපරසමයගහනයෙහි වදනට සමර්ථවූ; ප්රඥාපාටවයෙන් යුක්තවූ; ත්රිපිටකපර්ය්යාප්තිප්රභෙද ඇති අටුවා සහිත ශාස්තෘශාසනයෙහි උද්ග්රහණවශයෙන් පසු නොබස්නා ප්රඥාප්රභාව ඇත්තාවූ; මහා ව්යාකරණ දන්නා බැවින් මහාවෛයාකරණවූ; කරණසම්පත්තින් උපයනලද සුවෙන් නික්මෙන මධුර උදාර සිත්කලු තෙපුලෙන් යුක්තවූ; යුක්ත මුක්තබව හා පවත්නා තෙපුල් ඇත්තාවූ; වාදීන් කෙරෙහි උතුම්වූ; මහාකවිවූ; ෂඩභිඥ ප්රතිසංවිද් ආදි ගුණෙන් සැදුණු උත්තරිමනුෂ්යධර්මයෙහි ප්රතිවෙධවශයෙන් මනාකොට පිහිටි බුද්ධිඇති ථෙරවංසප්රදීපායමාන මහාවිහාරවාසී තෙරවරුන්ගේ ප්රවෙණියට ආභරණස්වරූපවූ; මහත් පිරිසුදු බුද්ධිඇත්තාවූ; අප විසින් නම් නොකිවහැකි ගුරු බැවින් තමන්ගෙ ගුරුන් විසින් බුද්ධඝොෂ යයි කියනලද නම් ඇති; ස්ථවිරොත්තමයන් විසින්” ස්වාචාර්ය්ය මහාක්ෂීණාශ්රව රෙවත ස්ථවිරයන් වහන්සේගේ මෙහෙයීමෙන් දඹදිවින් මෙහි පැමිණ ආයුෂ්මත් සඞ්ඝපාල මහාස්ථවිරොත්තමයන්ගේ සමීපයෙහි සිංහලාර්ථකථා හා සියලු ථෙරවාදයන් ඉගෙන පිටකත්රය ධර්මාචාරවූ මේ විශුද්ධිමාර්ගය නිපදවන ලද්දේය.
තමන්වහන්සේගේ අතවැසිවූ බුද්ධමිත්ර නම් තෙරහු මෙසේ උක්තප්රකාර ත්රයොදශ ගුණ විශෙෂයෙන් සංවර්ණිත විවිධ පදයන්ගෙන් ස්ථවිරයන්වහන්සේට ගුණකථනයකොට විශුද්ධිමාර්ගය තෙරුන් විසින් කළබව කිහු.
ඒ මේ විශුද්ධිමාර්ගය තෙමෙ තිවන් සොයන්නාවූ කුලපුත්රයනට ශීලාදි විශුද්ධිය පිණිස නය දක්වන්නේද එහෙයින් පිරිසුදු සිත් ඇති ඉෂ්ටානිෂ්ට දෙක්හි සදෘශවූ ලොවට දෙවුවූ මහර්ෂිවූ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ යන නාමය යම්තාක් කල් ලොව පවත්නේද එතාක් දක්වා ලොව පවතිවා යි; මෙහි නිගමනානුසාරයෙන් කථිත හෙයින් ශාසනාන්තර්ධානය දක්වාම ශාසනාවචර කුලපුත්රයන් විසින් ආදෘතවූ මෙම විශුද්ධිමාර්ගය තෙමෙ සතතයෙන් සම්භාවිතමයැ.
එයින් කිහ, බුද්ධමිත්ර තෙරහු.
“තාවතිට්ඨතු ලොකස්මිං ලොකනිත්ථරණෙසිනං දස්සෙන්තො කුලපුත්තානං නයං සීලවිසුද්ධියා. යාව බුද්ධොති නාමම්පි සුද්ධචිත්තස්ස තාදිනො ලොකම්හි ලොකජෙට්ඨස්ස පවත්තති මහෙසිනො ති”.
අට්ඨකථාචාර්ය්ය ශ්රීමද් අනුබුද්ධ බුද්ධඝොෂ මහාස්ථවිරවර ප්රවෘත්තිය.
දඹදිව මහබෝමැඩ සමීපයෙහිවූ නොහොත් මහබෝමැඩින් ක්රොශපඤ්චයකින් දක්ෂිණදිශායෙහි එක් ගමෙකැ බ්රාහ්මණ මාණවකයෙක් උපන. හෙතෙම සියලු විද්යාශිල්ප කලාවන් දත්තේය. වෙදත්රයයෙහිදු දක්නාලද පරතෙර ඇත්තේය. මොනවට දන්නාලද සමය ඇත්තේය. සියලු වාදයන්හි නොපැකිලැ පවත්නා ඥානගති ඇත්තේය. වාද හෝ කටැටිවූයේය. හෙතෙමෙ එක්කලෙකැ උත්කර්ෂවාද ඇතිව දඹදිව ඇවිදිනේ වෙහෙරකට වැද රාත්රිභාගයෙහි අක්ෂරයෙන් පරිපූර්ණකොට දසවිධව්යඤ්ජනබුද්ධිය නොපිරිහෙළීමෙන් පිරිමඬුලුකොට පාඨොච්චාරණයෙන් පාතඤ්ජලමතය හදරයි. එකලැ එවෙහෙර වැසි මහපැණැති රෙවත නම් ස්ථවිරොත්තමතෙම සිතනුයේ “මෙතෙම මහපැණැත්තේය. දමනයකරන්ට වටනේයයි” සිතා මේ කවරෙක් කොටලුහඬින් ශබ්දකෙරේදැයි පරිහාස කෙළේය. ඉක්බිති ඒ මාණවකතෙමෙ කිමෙක්ද යුෂ්මත්හු කොටලුහඬෙහි අර්ථ දන්නාසේක්දැයි තෙරුන් විචාළේය. එසේය බමුණ මම දනිමි යි තමන් විසින් පවසන ලද බමුණුතෙමෙ තමා ගැටමුසු පැනයක් පහළකෙළේය හෙළන හෙළනලද සියලු මතයන් තිහිණිසැතින් ඔහතිල්මල් කලඹක් කඩ කඩකොට සිඳින්නාක්මෙන් විසඳූ විරුද්ධතැන්ද දක්විය. එසේවීනම් නුඹවහන්සේත් සියමතය ගෙනහැර දක්වනසේක්වයි චොදනාකරනලද ඒ මහාස්ථවිරතෙමෙ යමකප්රකරණයෙහි විජම් පෙළක් වදළේය. ඒ මාණවකතෙමෙ එහි කිසි අර්ථාවබොධයකට අපොහොසත්වූයේ මේ කවරක්හුගේ මන්ත්රයක්දැයි තෙරණුවන් විචාළේය. ස්ථවිරතෙමෙ මේ බුද්ධමන්ත්රයයි වදළේය. එසේවීනම් හේ මට දෙනුමැනවයි කීයෙන් පැවිදිව ගන්වයි වදළේය. ඉක්බිති හෙතෙමෙ මන්ත්ර සඳහා පැවිදිව පිටකත්රය ධර්මය මනාකොට ඉගෙන එකායනමාර්ගය නම් මෙයමයයි දත්තේය. බුදුන්ගේ සෙයින් ගැඹුරු හඬ ඇතිහෙයින්ද බුදුන්සේ පොළෝතෙලෙහි පතළ යසස් ඇතිහෙයින්ද මෙතෙමෙ බුද්ධඝොෂයයි ප්රකට විය.
කියනලදමැයි, මහාවංශයෙහි.
“බුද්ධස්ස විය ගම්භීර ඝොසත්තා නං වියාකරුං බුද්ධඝොසොති ඝොසෙහි බුද්ධො විය මහීතලෙ” යි.
ඉක්බිති මහානුවණැති ඒ බුද්ධඝොෂස්ථවිරතෙමෙ දඹදිව්හිදී ඤාණොදය නම් ප්රකරණය ද; ධම්මසඞ්ගණියට අත්ථසාලිනී නම් අටුවා වද; කොට යළිත් පිරිත්අටුවාවද කරන්ට පටන් ගත්තේය. ඒ දැක රෙවත ස්ථවිරයන්වහන්සේ බුද්ධඝොෂතෙරණුවන්ට වදරණසේක් “මෙහි ත්රිපිටකපාලිය පමණක් ආචාර්ය්යපරම්පරයෙන් ගෙනඑන ලද්දේය. අටුවා නැත්තේය. එසේම නානාආචාර්ය්යවාදයෝද අවිද්යමානයහ. එහෙයින් සඞ්ගීතිත්රයාරූඪවූ බුද්ධවචනයද මහාකාශ්යපාදි මහතෙරවරුන් විසින් වදාරනලද අර්ථකථාමාර්ගයන්ද මොනවට දත මහාප්රාඥවූ මහාමහෙන්ද්ර ක්ෂීණාශ්රවයන්වහන්සේ විසින් සිංහලභාෂායෙන් කරනලද සුද්ධවූ සිංහලාර්ථකථාවන් ලක්දිව සිංහලයන් කෙරෙහි පවත්නා හෙයින් තෙපි එහි ගොස් හෙද අසා දත මාගධනිරුක්තියට පෙරළා අර්ථකථාකරව එය සියල්ලන්ට හිත