ශ්රී සද්ධර්මාවවාද සංග්රහය - තිබ්බොටුවාවේ බුද්ධරක්ෂිත හිමි 1956.pdf
- කතෘ :
- තිබ්බොටුවාවේ බුද්ධරක්ෂිත හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1956
- මුද්රිත වර්ෂය :
- 1956
- පිටු ගණන :
- 601
- බාගත කිරීම් ගණන :
- 909
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2021-01-03
- ගොනුවේ ප්රමාණය :
- 109 MB
වෙනත් සංස්කරණ
- ශ්රී සද්ධර්මාවවාද සංග්රහව - තිබ්බටුවාවේ බුද්ධරක්ෂිත හිමි 1901
තිබ්බටුවාවේ බුද්ධරක්ෂිත හිමි · 1901
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ශ්රී සද්ධර්මාවවාද සංග්රහය යනු මහනුවර යුගයේදී (බු.ව. 2316 දී පමණ) සෙංකඩගලනුවර පොහෝයමළු විහාරයේ නායක ධුරය දැරූ තිබ්බොටුවාවේ ශ්රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිත මාහිමියන් විසින් රචිත අගනා ධර්ම ග්රන්ථයකි. නව අරහාදී බුදුගුණ අතුරින් ‘සත්ථා’ ගුණය විස්තර කරමින්, බුද්ධ චරිතය, පාරමිතා ධර්ම, ධර්ම සංගායනා ඉතිහාසය සහ ගැඹුරු දහම් කරුණු රැසක් හෙළ බසින් මෙහි විස්තර කර ඇත.
මෙම සංස්කරණය 2500 සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් කොළඹ විද්යොදය පිරිවෙනෙහි ආචාර්ය පණ්ඩිත වේරගොඩ අමරමොලි නාහිමියන් විසින් සංශෝධනය කර, 1956 දී කොළඹ රත්නාකර පොත් වෙළඳහල මගින් චිත්ර සහිතව මුද්රණය කරවා ප්රකාශයට පත් කරන ලද්දකි.
සංඥාපනය
මේ ශ්රී සද්ධර්මාවවාද සංග්රහය වනාහි “ඉතිපි සො භගවා” යනාදි පාඨයෙහි සඳහන් වන නව විධ බුද්ධ ගුණයන්ට අයත් ‘සත්ථා’ යන පාඨය මුල් කොට ගෙන සෙංකඩගල නුවර පොහොය මළු විහාරයේ නායක ධුරය ඉසිලූ ව්යක්ත බහුශ්රැත තිබ්බොටුවාවේ ශ්රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිතාභිධාන මාහිමියන් විසින් හෙළ බසින් සදහම් වැණීම් මුඛයෙන් සම්පාදනය කරණ ලදී.
බුද්ධ වර්ෂ 2289 දී ලංකා රාජ්යයට පැමිණි කීර්ති ශ්රී රාජසිංහ රජතුමා වැලිවිට ශ්රී ශරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ අධිකතර සහාය ලැබ සියම් රටින් උපාලි මහාථෙර ප්රමුඛ සංඝයා වහන්සේ වැඩමවා ලක්දිව සාකල්යයෙන් ම පිරිහී තුබූ උපසම්පදාව නැවතත් පිහිටුවා ලීය. එදා සිදුවූ ප්රථම උපසම්පදා වාරයෙහිදීම යථොක්ත තිබ්බොටුවාවේ ශ්රී සිද්ධාර්ථ බුද්ධරක්ෂිතාභිධාන මාහිමියෝ පස්වෙනිව එම මාලකයෙහිදී උපසපන්බැව් ලැබූහ.
එසේම පොහොය මළු විහාරයේ නායක ධුරයටද රිදී විහාරයේ අධිපති ධුරයටද පත්වූහ.
සතිපට්ඨාන සූත්රයට ව්යාඛ්යානයක් ද, සද්ධම්මොපායන සන්නයක්ද නිපදවූ මේ මාහිමියෝ කුරුණෑගල පණ්ඩිත පරාක්රමබාහු රජතුමන් කල පටන් කීර්ති ශ්රී රාජසිංහ රජතුමන් තෙක් ඉතිහාසය පාලි පද්යයෙන් රචනා කොට මහාවංශයට එකතු කළහ.
කීර්ති ශ්රී රාජසිංහ රජතුමාට ශ්රී මුඛ පාලි සහිත අවවාදය තෝරා දී බණ කීමෙහි නියුක්තවූද, සාතිරෙක ත්රිශතාධික සම්භාත්රික ධර්ම දෙශනාවන් පැවැත්වූද මුන්වහන්සේ වැලිවිට සංඝරාජ මාහිමියන් වහන්සේ ජීවමානව වැඩ සිටියදීම අපවත් වූහ. රාජ නියමයෙන් පෙළහැර කරවා රිදී විහාරයට ගෙණ යනු ලැබූ ශ්රී දේහය එහිම ආදාහන කරවා අලු තැන්පත් කරවා එහිම දාගැබක් බැන්ද විය.
මේ ග්රන්ථය වනාහි මහනුවර සමයට අයත් බු: ව. 2316 දී රචිත මාහැඟි ග්රන්ථරත්නයකි. ශාස්ත්රීය දියුණුව අතින් ප්රපාතයට වැටී තිබුණු මේ කාලය ක්රම ක්රමයෙන් එහි දියුණුව උදාවන්නට ඇරඹුනක් හෙයින් මෙකල භාෂාව ව්යක්ත යයි ගණන් ගත නො හැකිය. එහෙත් වර්තමාන ශාස්ත්රීය දියුණුවේ ආරම්භය මෙය වෙයි.
මේ ග්රන්ථ කරණයේදී පූජාවලිය හා සාරාර්ථ සංග්රහය ඉතා පිහිට වූ බැව් මෙහිම සඳහන් වේ. ශාස්ත්රය අතින් එසේ වුවත් ධර්මය අතින් ඉතා ගැඹුරුය. බෞද්ධයෙකු විසින් දත යුතු වූ හැම ධර්ම කොට්ඨාසයක් ම මෙහි සවිස්තරව දක්වා තිබේ. කාව්ය වුවත් මේ ග්රන්ථය පරිශීලනය කිරීමෙන් පහසුවෙන්ම බහුශ්රැතයෙකු ධර්මධරයෙකු විය හැකිය.
බුද්ධ වර්ෂ 2445 දී මුල්ලේරියාවේ විමලජොති මහාස්ථවිර පාදයන් වහන්සේ විසින් සංශෝධිතව මුද්රිත වූ ග්රන්ථය අපට මේ ශුද්ධියෙහි දී බෙහෙවින් ප්රයෝජනවත් විය. එහෙත් එය බොහෝ සෙයින් ආකුල ව්යාකුලත්වයෙන් යුක්තය. ශුද්ධිය ද දුර්වලය. සැලකිය යුතු ශුද්ධියක වහලක් නො ලැබූ මේ ග්රන්ථය දෙදහස් පන්සියයේ සම්බුද්ධ ජයන්ති උත්සවය නිමිත්තෙන් රටේ විසුරුවා හැරීම පිණිස සංශෝධනය කර දුනහොත් මැනවැයි කොළඹ වේල්ල වීදියේ රත්නාකර පොත් වෙළඳහල හිමි ජී. පී. ඩී. හේන්ද්රියෙල් මහතාගේ නියමය පරිදි ඒ මහතාගේ පුත්ර සැදැහැවත් ජී. පී. ඩී. සේනාරත්න මහතා අපට ආරාධනා කෙළේය. ඒ ආරාධනය පිළිගත් අපි මෙය මහත් ආශාවයෙන් තරමක් දුර සංශෝධනයකට පත් කෙළෙමු. මෙහිදී අපට දෙදරවියාවේ නන්දසාර ස්ථවිරයන්ගෙන් ලැබුණු පිටිවහල මේ ග්රන්ථ සංශොධනයෙහිදී ඉතාම පහසු විය. එබැවින් ඒ ස්ථවිරයන්ට ද, ශොධ්යපත්ර කියවීමේ දී අතිශයින් උපකාර වූ බද්දේගම ආනන්ද කුඩා උන්නාන්සේට ද රත්නාකර මුද්රණාලයා යන්ත කාර්ය මණ්ඩලයේ මහතුන්ට ද අපගේ අවංක සතුතිය හිමි විය යුතුයි.
පණ්ඩිත වේරගොඩ අමරමොලි නායක ස්ථවිර
2499/1956 3. 22 දින, විද්යොදය පිරිවෙණේ දී ය.