කංඛාවිතරණි ප්රාතිමෝක්ෂ වර්ණනාව RASSL.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1998
- මුද්රිත වර්ෂය :
- 1998
- පිටු ගණන :
- 312
- බාගත කිරීම් ගණන :
- 1,806
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-10-25
- ගොනුවේ ප්රමාණය :
- 65 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
කංඛාවිතරණී නම් ප්රාතිමෝක්ෂ වර්ණනාව යනු භික්ෂු සහ භික්ෂුණී උභය ප්රාතිමෝක්ෂය විස්තර කෙරෙන පාළි අට්ඨකථාව වන කංඛාවිතරණී මාතිකට්ඨකථාවේ පරිපූර්ණ සිංහල පරිවර්තනයයි. මෙය අටුවාචාර්ය බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත ප්රකට විනය අටුවාවකි.
ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ (RASSL) පාළි අට්ඨකථා සිංහල පරිවර්තන ව්යාපෘතිය යටතේ පළමු වන කෘතිය ලෙස මෙම ග්රන්ථය 1998 වසරේදී ආචාර්ය කපිල අභයවංශයන්ගේ සිංහල පරිවර්තනයෙන් යුතුව ප්රකාශයට පත් කරන ලදී. බුද්ධශාසන අරමුදලේ භාරකාර මණ්ඩලයේ අවසරය පරිදි මුද්රණය කෙරුණු මෙහි පෙරවදන අග්ගමහාපණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්රෙය මහනාහිමියන් විසින්ද, ප්රස්තාවනාව මහාචාර්ය එම්. බී. ආරියපාල මහතා විසින්ද සපයා ඇත.
ප්රාතිමෝක්ෂ ශික්ෂාපදයන්හි නිදාන, පුද්ගල, වස්තු, ප්රඥප්තිවිධි, ආපත්ති, අනාපත්ති ආදී කරුණු සරල සුගම බස්වහරින් මෙහි විස්තර කර ඇති බැවින් භික්ෂු විනය හා ශාසනික නීතිරීති අධ්යයනය කරන විද්යාර්ථීන්ට මෙන්ම ගිහි පැවිදි සැමට මෙම පරිවර්තනය බෙහෙවින් ප්රයෝජනවත් වේ.
පෙරවදන
ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතිය මගින් පාලි අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීමේ ව්යාපෘතියක් ආරම්භ කිරීම කාලාන්තරයක් තිස්සේ පැවති ශාසනිකවුත්, ශාස්ත්රීයවුත්, සත්කර්තව්යයක් ඉටු කිරීමකි. අනුබුද්ධ මහා මහින්ද මහ රහතන් වහන්සේ විසින් ත්රිපිටක බුද්ධභාෂිතය සමග ගෙන එන ලද පාලි අට්ඨකථා දීපවාසීන්ගේ ප්රයෝජනය සඳහා සිංහලට නගා භාවිතයට පැමිණි බව ඓතිහාසික සත්යයකි. පාලි භාෂා අධ්යයනය බෙහෙවින් පරිහානියට පත්ව ඇති මේ යුගයෙහි යළිත් දීපවාසීන්ගේ ප්රයෝජනය සඳහා පාලි අට්ඨකථා සිංහල භාෂාවට නගා ඉදිරිපත් කිරීමේ අවශ්යතාව දැඩිව කැපී පෙනෙයි. බුද්ධභාෂිතයේ ඉතා ගැඹුරු හා සියුම් තැන් සරලව හා සවිස්තරව ඉදිරිපත් වන්නේ අට්ඨකතා මඟිනි. බුද්ධධර්මය නිවැරදිව වටහා ගැනීමට අට්ඨකථා මහත් සේ උපකාරී වෙයි. එබැවින් පාලි, භාෂා ප්රවීණත්වයක් නොමැති ධර්මකාමීන්ට හා විද්යාර්ථීන්ට සිංහලට නගන ලද අට්ඨකථා මගින් බුද්ධධර්මය විෂයෙහි ලැබිය හැකි ඵල විපුලය.
රාජකීය ආසියාතික සමිතියේ අට්ඨකථා පරිවර්තන ව්යාපෘතියේ ප්රථම සිංහල අට්ඨකථාව ලෙස කඞ්ඛාවිතරණී ප්රාතිමෝක්ෂ වර්ණනාව මුද්රණයෙන් ප්රකාශයට පැමිණවීම ශාසනික වශයෙන් බෙහෙවින් වැදගත් වෙයි. බුද්ධ දේශිත ධර්ම විනය අතුරෙන් ශාසනයේ ආයුෂය ලෙස සැලකෙන්නේ විනයයි.
එබැවින්ම ප්රථම සංගීතියේදී, ප්රථමයෙන්ම සංගායනාවට භාජනයවූයේද විනයයි. ඒ අතුරෙන්දු විනය මාතිකාවන් අන්තර්ගතකොට ගත් ප්රාතිමෝක්ෂයට හිමිවනුයේ අතිවිශිෂ්ට ස්ථානයකි. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන යුගයෙහි පටන් මේ වනතුරුත් අනිරීද්රිය කාලයක් මුළුල්ලේ භික්ෂූන්වහන්සේ අතර අඩ මසකට වරක් පවත්වනු ලබන උපෝෂථ කර්මයේදී, ප්රාතිමෝක්ෂය උද්දෙසයට පත්වීම තුළින්ම ප්රාතිමෝක්ෂයේ වැදගත්කම අවධාරණය වෙයි. එම ප්රාතිමෝක්ෂ පාලියට අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ මාහිමියන් විසින් රචිත අට්ඨකථාව, කංඛාවිතරණී ප්රාතිමෝක්ෂ වර්ණනා නමින් ප්රකටය. ප්රාතිමෝක්ෂ ශික්ෂා පිළිබඳ නිදාන, පුද්ගල, වස්තු, ප්රඥප්තිවිධි, ආණත්ති, ආපත්ති, අනාපත්ති, විපත්ති, සමුට්ඨානවිධි යනාදී සතළොස් ආකාර විස්තර විවරණ එම කෘතිය තුළින් ඉදිරිපත්වන්නේය. භික්ෂු භික්ෂුණී විනයශික්ෂාවන් පිළිබඳ සවිස්තරාර්ථකථනයක් වන කඞ්ඛාවිතරණී ප්රාතිමෝක්ෂ වර්ණනාව සිංහල භාෂාවට නැඟීමද අතිදුෂ්කර කාර්යයකි. මෙහි පරිවර්තන කාර්යයද මැනවින් සිදුකොට ඇතිබව කිවයුතුය. කාටවුවද කියවා තේරුම් ගතහැකි සරල සුගම බස් වහරකින් පරිවර්තනය ඉදිරිපත් කර තිබේ. මෙම කෘතිය පාඨක ජනතාව වෙත ඉදිරිපත් කිරීමෙන් රාජකීය ආසියාතික සමිතිය මෙන්ම පරිවර්තකයාද උදාර කර්තව්යයක සාර්ථක පරිසමාප්තිය හේතුකොටගෙන ප්රශංසාර්හ වෙයි.
බලංගොඩ ආනන්ද මෛත්රෙය ස්ථවිර
ශ්රී නන්දාරාමය,
ආනන්ද මෛත්රෙය මාවත,
උඩුමුල්ල, බලංගොඩ.
1998 ජුනි 7 වැනි දින.
ප්රස්තාවනාව (පළමු මුද්රණය) පාලි අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීම
ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතිය මීට වසර 152 කට ප්රථම පිහිටුවන ලද්දේ ආගම ධර්මය, ඉතිහාසය, පුරාවිද්යාව, සාහිත්යය, ජනශ්රැතිය ආදී ශ්රී ලාංකික සංස්කෘතියේ විවිධ ක්ෂේත්රයන් පර්යේෂණාත්මක අධ්යයනයන්ට යොමු කරමින් ශාස්ත්රීය පොතපත සපයා අප සංස්කෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් විද්වත් ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිවය. මෙවැනි සමිති වෙනත් ආසියාතික රටවලද පිහිටුවා ඇති අතර ඒවා මගින්ද එම රටවල සංස්කෘතියෙහි අභිවර්ධනය සඳහා මාහැඟි සේවා කටයුතු ඉටු කරනු ලැබේ. අපගේ මෙම සංගමය පිහිටුවූදා සිටම අද වනතෙක් ශ්රී ලාංකික සංස්කෘතික අංශයන්හි අභ්යුදය සඳහා ඉටුකරන ලද මෙහෙය අතිවිශාලය. එමෙන්ම ප්රශංසනීයද වෙයි. නොයෙක් සංස්කෘතික ක්ෂේත්රයන් තුළ පර්යේෂණ පවත්වමින් බිහි කරන ලද ශාස්ත්රීය ග්රන්ථ සෑහෙන ප්රමාණයක් මේ වනවිට දේශීය මෙන්ම විදේශීය විද්වත් ජනතාව අතරට පත් කොට ඇත.
මුල්යුගයේදී සමිතියේ වැඩි අවධානය යොමුවූයේ පුරාවිද්යා ක්ෂේත්රය කෙරෙහි බව පැහැදිලිව පෙනී යන්නකි. අතීතය නිරාවරණය කිරීම තුළින් සංස්කෘතිය එළිපෙහෙළි කරගැනීම සමිතිය මගින් කළයුතු ප්රධාන කාර්යයක් ලෙස සැලකිණ. පුරාවිද්යාව පිළිබඳව අප සමිතිය දැක්වූ උද්යෝගය ආරම්භයේ (1845) සිටම පළකළ සිය ශාස්ත්රීය සඟරාවෙන් මනාවට පැහැදිලි වෙයි. භාෂා සාහිත්යය කෙරෙහිද ඊට නොදෙවැනි උද්යෝගයක් දක්වමින් අප සාමාජික විද්වතුන් ශාස්ත්රීය පර්යේෂණයන්හි නිරතවූ බවට සාධක එම සඟරාවෙන්ම ලැබේ. භාෂා සාහිත්යයෙහි වටිනාකම වටහා ගෙන එහි අභිවර්ධනය සඳහා සාමාජිකයන් ක්රියාකළ ආකාරය අප පැරණි සාමාජිකයන් ආරම්භ කළ සිංහලභාෂාව පිළිබඳ ත්රෛරාශික ශබ්දකෝෂය මගින් මනාව හෙළිවෙයි.
පුරාවිද්යාව, ඉතිහාසය, ජනශ්රැතිය භාෂා සාහිත්යය ආදී ක්ෂේත්රයන් පිළිබඳ පර්යේෂණයන් කෙරෙහි අප සංගමයේ අවධානය මුල් යුගයේ සිටම යොමුවුවද බුද්ධශාසනයට ඍජුවම අදාළ වන විෂය ක්ෂේත්රයක් අරභයා කෙරෙන මහා පරිමාණයේ පර්යේෂණ ව්යාපෘතියක් ඇරඹීමට සංගමය අපොහොසත්වූ බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත. එහෙත් අප ශිෂ්ටාචාරයේ මූලික පදනම වශයෙන් සැලකිය හැකි බුද්ධාගම පිළිබඳ සංගමයේ ආරම්භක විදේශීය සාමාජිකයන් දැක්වූ කුතුහලය මෙන්ම අවධානයද මෙහිලා කෘතඥතාපූර්වකව සැමරිය යුතුය. බුද්ධධර්මය කෙරෙහි ඔවුන් දැක්වූ ආකල්පය කුමක්දැයි සංගමයේ ශාස්ත්රීය සංග්රහයේ ප්රථම කලාපයේම පළකරනලද ඩී.ජේ. ගොගර්ලි මහතාගේ බුද්ධාගම යන ලිපියෙන්ම පැහැදිලි වෙයි. මේ හැර බුද්ධාගම හා ආනුෂංගික විෂයන් පිළිබඳව මෙතෙක් පළවී ඇති ශාස්ත්රීය ලිපි ලේඛනද රාශියකි.
මේ සියල්ල කෙසේවුවද ශ්රී ලංකාව තුළ ශතවර්ෂ ගණනාවක් ආරක්ෂිතව පැවැති ථේරවාද බුද්ධ ධර්මයේ මූලාශ්රය කෘතීන් කෙරෙහි ඔවුන්ගේ අවධානය සැලකිය යුතු පමණින් යොමු නොවීම විශාල අඩුපාඩුවක් සේ නොපෙනෙන්නේ නොවේ. ත්රිපිටකය, අටුවා හා ටීකා වැනි මූලග්රන්ථ පිළිබඳ පර්යේෂණ කෙරෙහි ඔවුන් යොමුවී නොමැත. ආගම ඇතුළත් සංස්කෘතිය කෙරෙහි ඔවුන්ගේ සිත් යොමුවුවද ථේරවාද බුද්ධ ධර්මය පිළිබඳ ගැඹුරු පර්යේෂණාත්මක අධ්යයනයක් කිරීමට තරම් එවකට සිටි විදේශීය උගතුන් තුළ උනන්දුවක් නොවී යයි සිතිය හැකිය.
වසර දෙදහස් පන්සියයේ සම්බුද්ධ ජයන්තිය අරභයා රාජ්ය අනුග්රහයෙන් ලංකාබෞද්ධ මණ්ඩලය මගින් ආරම්භකරනුලැබූ ත්රිපිටක පරිවර්තන කාර්යය මෑත අවධියෙහි බුද්ධ ධර්මය වෙනුවෙන් සිදුකරනලද මහාපරිමාණයේ ශාස්ත්රීය කර්තව්යය ලෙස සඳහන් කළ හැකිය. බුද්ධ ධර්මය සියබසින් හදාරන්නවුන් වෙනුවෙන් මේ මගින් සිදුවන සේවය මිලකළ නොහැකිය. පාලි භාෂාව පිළිබඳ දැනුමින් තොරවූ සිංහල උගතුන්ට පමණක් නොව පාලිභාෂා අධ්යයනය පසුබෑමකට ලක්ව ඇති මේ වකවානුවේදී බුද්ධ ධර්මය හැදෑරීමටත් ඒ පිළිබඳ පර්යේෂණ පැවැත්වීමටත් සිංහලට නඟන ලද ත්රිපිටකය මගින් අතිවිශාල මෙහෙයක් සිදුවෙයි.
ත්රිපිටක බුද්ධ ධර්මයේ ගැටළුතැන් නිරාකරණය කරමින් විස්තර ව්යාඛ්යාන සපයන පාලි අටුවා සාහිත්යය, බුද්ධ ධර්මය සම්බන්ධයෙන් සලකන විට අතිශය වැදගත්කමක් දරයි. සූත්ර විනය හා අභිධර්ම යන ත්රිපිටක කෘතීන්ට අදාළ පාලි අට්ඨකථා ග්රන්ථ සමුදායක් ශ්රී ලංකා ථේරවාද සම්ප්රදාය මගින් ආරක්ෂා කරගෙන තිබේ. අට්ඨකථාවන්ගේ සහාය නොලබා ත්රිපිටකය මැනවින් අධ්යයනය කිරීම අතිශයින් දුෂ්කර කාර්යයකි. බුද්ධ ධර්මය සම්බන්ධ නිරවද්ය අර්ථකථන මෙන්ම සාම්ප්රදායික ආචාර්යවාදද ඉදිරිපත්වන්නේ පාලි අටුවා මගිනි. මේ නිසා පාලි ත්රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේ සද්කාර්යය යථාර්ථවත් ව ඵලදායී කිරීමට නම් පාලි අටුවා සිංහලට පරිවර්තනය කිරීමද අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. මේ තත්වය මනාව වටහාගත් අප සංගමයේ පූර්ව සභාපතිවරයෙකු වන රාජකීය පණ්ඩිත ආචාර්ය නන්දදේව විජේසේකර මහතා පාලි අටුවා ලිහිල් සිංහලට පරිවර්තනය කිරීමේ ව්යාපෘතියක් අප සංගමය මගින් ක්රියාත්මක කළ යුතුයයි සංගමයේ කවුන්සිල් සභාවට යෝජනා කළේය. කවුන්සිල් සභාව මෙම යෝජනාව ඒකමතිකව පිළිගත් නමුත් මතුවූ විවිධ දුෂ්කරතා නිසා එය ක්රියාත්මක නොවීය. විශේෂයෙන් ආචාර්ය විජේසේකර මහතාගේ සෞඛ්ය තත්වය මීට බලවත් හේතුවක්වූවාට නිසැකය.
විවිධ හේතූන් නිසා කවුන්සිල් සභා රැස්වීම්වලට පැමිණීමට නොහැකි වී සිට යළිත් එහි කටයුතුවලට සහභාගී වීමට අවස්ථාව ලත් මම අටුවා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යය හැකිතාක් ඉක්මනින් ඉටුවිය යුත්තක් බව අවධාරණය කෙළෙමි. ඒ අනුව මෙම ව්යාපෘතිය ඉක්මනින් ඇරඹීමට මා කළ යෝජනාව ඒකමතිකව පිළිගත් කවුන්සිල් සභාව ඒ සඳහා අනුකාරක සභාවක්ද පත් කොට කාර්යසාධනයෙහි තත්පරවූ බව කෘතඥතාපූර්වකව මෙහිලා සඳහන් කළ යුතුය.
කැලණිය විශ්වවිද්යාලයේ පාලි හා බෞද්ධ අධ්යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය වයි. කරුණාදාස මහතාගේ සහාය ඇතිව පරිවර්තන කටයුතු සඳහා විද්වත් පිරිසක් තෝරා ගැනීමට අපට හැකි විය. සිංහල හා පාලි භාෂා විෂයෙහි පමණක් නොව බුද්ධ ධර්මය විෂයෙහිද ප්රවීණත්වයක් ලබා ඇති විද්වත් පිරිසකගේ සහයෝගය මෙම පරිවර්තන කටයුතු සඳහා ලබා ගැනීමට හැකිවීම එම කාර්යයෙහි සාර්ථකත්වයට මෙන්ම ප්රාමාණිකත්වයටද සාධක වනු නිසැකය.
අට්ඨකථා පරිවර්තන කාර්යයෙහි නියුක්තවන විද්වත් මණ්ඩලය සහ දැනට ඒ ඒ විද්වතුන් විසින් පරිවර්තනය කරනුලබන අටුවා මෙසේය:
1. රාජකීය පණ්ඩිත රත්කැරැව්වේ විමලධම්ම ස්වාමීන්වහන්සේ - සම්මෝහවිනොදනී විභංගට්ඨකථා
2. රාජකීය පණ්ඩිත, ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නායකස්වාමීන්වහන්සේ - ධම්මපදට්ඨකථා
3. රාජකීය පණ්ඩිත හේමචන්ද්ර දිසානායක මහතා - විසුද්ධිමග්ග
4. ආචාර්ය කපිල අභයවංස මහතා i. කඞ්ඛාවිතරණී මාතිකටඨකථා ii. මනොරථපූරණී අංගුත්තරනිකායට්ඨකථා
5. මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා - අට්ඨසාලිනී ධම්මසංගණිප්පකරණට්ඨකථා
6. මහාචාර්ය ඒ.ජේ. ජයසූරිය මහතා - සාරත්ථප්පකාසිනී සංයුක්තනිකායට්ඨකථා
7. රාජකීය පණ්ඩිත, පී.එස්.බී. සේනානායක මහතා - පරමත්ථදීපනී ථෙරීගාථා අටුවාව
ආචාර්ය කපිල අභයවංස මහතා භාරගත් කඞ්ඛාවිතරණී මාතිකටඨකථාව පරිවර්තනකාර්යය නිමකොට ප්රථමයෙන්ම අප වෙත ලැබුණු බව සතුටින් සඳහන් කරමු. ඒ අනුව අප සංගමයේ අටුවා පරිවර්තන ව්යාපෘතියේ මුද්රණයෙන් ප්රකාශයට පැමිණෙන ප්රථම කෘතිය ලෙස කඞ්ඛාවිතරණී මාතිකටඨකථා සිංහල පරිවර්තනය ඉදිරිපත් කිරීමට මෙසේ අවස්ථාව ලැබීම අපගේ ඉමහත් සතුටට හේතු වන්නකි. රාජකීය පණ්ඩිත පී.එස්.බී. සේනානායක මහතා පරිවර්තනය කළ ථෙරීගාථා අටුවාවද පූජ්යපාද ආචාර්ය වැලමිටියාවේ ධම්මරක්ඛිත ස්වාමීන්වහන්සේ විසින් පරිවර්තනය කරනුලැබූ ධම්මපදට්ඨකථා ප්රථමභාගයද දැනට සමිතිය වෙත ලැබී ඇති බැවින් එම කෘතීන්ද ඉක්මනින්ම මුද්රණය කොට ප්රකාශයට පත්කිරීමට බලාපොරොත්තුවන බවද සඳහන් කරන්නේ ඉතා සතුටිනි. දැනට පරිවර්තනය වෙමින් පවත්නා අනෙක් අටුවා සියල්ලද ඉතා ඉක්මනින් අප වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමු.
කඞ්ඛාවිතරණී මාතිකටඨකථාව භික්ෂුභික්ෂුණී උභය ප්රාතිමොක්ෂය සඳහා භදන්ත බුද්ධඝොෂාචාර්යපාදයන් විසින් රචිත අටුවා කෘතිය ලෙස පිළිගෙන ඇත. සෝණ නම්වූ තෙරුන්වහන්සේගේ ආරාධනයෙන් මහා විහාර සම්ප්රදාය අනුව යමින් මෙම කෘතිය සම්පාදනයකොට ඇති බවට ග්රන්ථයෙන්ම සාධක ලැබේ. බුද්ධසිරි නම් තෙරුන්වහන්සේගේ ආරාධනයෙන් බුද්ධඝොෂ හිමියන් විසින්ම සම්පූර්ණ විනය පිටකය සඳහා රචිත සමන්තපාසාදිකා විනයට්ඨකථා නම්වූ අටුවා ග්රන්ථයක්ද වෙයි. මෙය සිරිනිවාස නම්වූ රජතුමෙකුගේ රාජ්යවර්ෂයෙන් විසිරැන්නෙහි ආරම්භකොට අනතුරු වර්ෂයෙහි (ක්රි.ව. 429-430) නිමකර ඇතිබව සඳහන් වෙයි. බුද්ධඝොෂ හිමියන් කඞ්ඛාවිතරණී මාතිකටඨකථාව රචනාකොට ඇත්තේ මෙම සමන්තපාසාදිකා විනයට්ඨකථා රචනයෙන් පසු යුගයකදී බව කඞ්ඛාවිතරණීය නිබඳවම සමන්තපාසාදිකාව ගැන කරන සඳහන්වලින් පැහැදිලිවෙයි. සම්පූර්ණ විනය පිටකයට සමන්තපාසාදිකා විනයට්ඨකථාව තිබියදී උභය ප්රාතිමොක්ෂය සඳහා කඞ්ඛාවිතරණී නමින් විශේෂ අර්ථකථාවක් බිහිවීම මගින් පැහැදිලි වන්නේ ශාසනික කාර්යභාරයෙහිලා එහි ඇති වැදගත් කමයි. මෙය තවදුරටත් තහවුරුවන්නේ බුද්ධඝොෂ හිමියන් අතින් කඞ්ඛාවිතරණී නමින් මාතිකටඨකථාවක් රචනයවීමට පෙරද ලාංකීය ථේරීය පරපුර මාතිකටඨකථාවක් භාවිතකොට ඇතිබවට සාධක ලැබෙන බැවිනි. එය සීහලමාතිකටඨකථා නමින් හැඳින්වනුලැබ ඇත. කඞ්ඛාවිතරණීය රචනා කිරීමේදී බුද්ධඝොෂ හිමියන්ට මෙම සීහලමාතිකටඨකථාවද ප්රයෝජනයට ගැනීමට හැකි වී තිබේ. භික්ඛුනී පාතිමොක්ඛයෙහි තෙවන පාරාජික ශික්ෂාපදය පිළිබඳ සංවණ්ණනාවේදී බුද්ධඝොෂ හිමියෝ මෙම සීහලමාතිකටඨකථාව ගැන සඳහන් කරති (කඞ්ඛාවිතරණී නම් ප්රාතිමොක්ෂ වණ්ණනාව, සෝමාවතී හේවාවිතාරණ භාරකාර අරමුදල, 1988, පිටු, 188)
බුදුසසුන සම්බන්ධයෙන් සලකන විට විනයෙහි ප්රමුඛත්වය අවධාරණය වෙයි. (විනයො නාම සාසනස්ස ආයු). මේ නිසාම ප්රථම සංගීතියේදී සංගීති කාරක මහ රහතන් වහන්සේලා විසින් විනය පිටකය ප්රථමයෙන්ම සංගායනා කරනලදබව සඳහන්වී ඇත. මුළුමහත් විනයපිටකය ඉදිරිපත්වී ඇත්තේ බුදුරජාණන්වහන්සේ විසින් භික්ෂුභික්ෂුණීන් උදෙසා පනවා වදාළ ශික්ෂාප්රඥප්ති සමුදාය පාදක-කොට ගෙනය. එම ශික්ෂා ප්රඥප්ති සමූහයම මාතිකා වශයෙන්ද පාතිමොක්ඛ වශයෙන්ද හඳුන්වා ඇත. මේ නිසාම පාතිමොක්ඛය සඳහා බුද්ධඝොෂ හිමියන් විසින් රචිත මෙම අටුවාව කඞ්ඛාවිතරණී මාතිකටඨකථා නමින් ද කඞ්ඛාවිතරණී පාතිමොක්ඛ වණ්ණනා නමින්ද හඳුන්වනු ලැබ ඇත.
කෙසේවුවද ශාසනික සම්ප්රදායෙහි ප්රාතිමොක්ෂයට ලැබී ඇති ප්රමුඛස්ථානය ගැන සලකන විට අප සංගමයේ අටුවා පරිවර්තන ව්යාපෘතියෙහි ප්රථම ග්රන්ථය වශයෙන් කඞ්ඛාවිතරණීය මුද්රණයෙන් ප්රකාශයට පැමිණවීමට ආකස්මිකවවුව අවස්ථාව ලැබීම විශේෂ සිද්ධියක් ලෙස සලකමු.
මහාචාර්ය්ය එම්. බී. ආරියපාල