සංඛ්‍යා ධර්මපද වර්ණනා - කන්දරපංගුවේ ධම්මසිරි හිමි.pdf

කතෘ :
කන්දරපංගුවේ ධම්මසිරි හිමි
ප්‍රකාශිත වර්ෂය :
2016
මුද්‍රිත වර්ෂය :
2017
පිටු ගණන :
712
බාගත කිරීම් ගණන :
1,454
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-07-08
ගොනුවේ ප්‍රමාණය :
25 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 357

උපග්‍රන්ථ සහිත සංඛ්‍යා ධර්මපද වර්ණනා යනු බුද්ධ ධර්මය, දර්ශනය, සදාචාරය සහ විනය ආදී විවිධ අංශ යටතේ එන සංඛ්‍යාත්මක ධර්ම කරුණු (Numerical Buddhist Terms) අකාරාදී හෝ සංඛ්‍යානුක්‍රමික පිළිවෙළට එක්රැස් කොට අර්ථ විවරණය කෙරෙන අගනා ධර්ම විමර්ශන ග්‍රන්ථයකි. කන්දරපංගුවේ ධම්මසිරි හිමියන් විසින් රචිත “Descriptive Analysis of Numerical Terms in Buddhism” යන ඉංග්‍රීසි කෘතිය ඇසුරින් මෙම සිංහල කෘතිය සම්පාදනය කර ඇත.

මෙහි ත්‍රිපිටකය, අටුවා, ටීකා ආශ්‍රිතව එන සංඛ්‍යා ධර්මපද මෙන්ම Pali Text Society (PTS) මූලාශ්‍ර සහ නොයෙකුත් බෞද්ධ ශබ්දකෝෂ පාදක කරගනිමින් විස්තර සපයා ඇත. ධර්මය හදාරන විද්‍යාර්ථීන්ට, ධර්ම දේශකයන් වහන්සේලාට සහ ධර්ම පර්යේෂකයන්ට සංඛ්‍යාත්මක කරුණු පහසුවෙන් මතක තබා ගැනීමටත් පරිශීලනයටත් මෙම කෘතිය මහත් සේ උපකාරී වේ.

මෙම මුද්‍රණය (4 වන මුද්‍රණය) තායිවානයේ The Corporate Body of the Buddha Educational Foundation මගින් 2016 වසරේ නොමිලේ බෙදාහැරීම පිණිස මුද්‍රණය කරවා ඇත. පූජ්‍ය ආචාර්ය බෝදගම චන්දිම නාහිමියන් විසින් ලියන ලද පෙරවදනක් ද මෙහි අන්තර්ගත වේ.

නැවත මුද්‍රණය සඳහා පෙරවදන

සිංගප්පූරුවේ ධම්මදූත බෞද්ධ ආයතනයේ අධිපතිත්වය දරන්නා වූ කන්දරපංගුවේ ධම්මසිරි හිමියන් විසින් රචිත ‘බුදු සමයේ පැනෙන මාරයා’ ග්‍රන්ථය පස්වැනි වරටත් මුද්‍රණය කිරීම සඳහා තායිවානයේ බෞද්ධ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය වෙත බාරදීම පිළිබඳව අපි ඉමහත් සොම්නසට පත් වන්නෙමු. තායිවානයේ මෙම බෞද්ධ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය මේ වන විටත් විවිධ භාෂාවන්ගෙන් රචිත ලක්ෂ ගණනක් බෞද්ධ පොත් පත් මුද්‍රණය කොට ලෝකය පුරා විවිධ රටවල ඇති බෞද්ධ ආයතනවලට හා පුස්තකාලවලට බෙදා දී ඇත.

මම වසර ගණනක් පුරාවට විදේශීය ධර්මදූත සේවාවෙහි යෙදී සිටින කන්දරපංගුවේ ධම්මසිරි හිමියන් විසින් ඉංග්‍රීසි හා සිංහල යන භාෂා දෙකෙන් ම පොත් පත් ලියා මුද්‍රණය කොට බෙදාහැර ඇත. මෙම උත්සාහය ලෝකවාසී, බෞද්ධ ධර්මය හැදෑරීමට උනන්දුවක් දක්වන ගිහි පැවිදි කාගේත් ගෞරවයට පත් වන කරුණ කි. වසර තිහකට ආසන්න කාලයක් තායිවානයේ වාසය කරමින් මෙම බෞද්ධ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයේ අනුශාසකත්වය හොබවමින් එයින් සිදුවන ලෝක ශාසනික කටයුතුවලට සහයෝගය ලබාදෙන අතර වර්තමානය වන විට බෞද්ධ ධර්මය ඉගෙනීම සඳහා උනන්දුවක් දක්වන ලෝකයේ සියලු ම බෞද්ධ අබෞද්ධ විද්‍යාර්ථීන්ගේ පහසුව උදෙසා ශ්‍රී ලංකාවේ කැලණිය මානෙල්වත්ත විහාර පරිශ්‍රයේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයක් ඇරඹුවෙමි.

බෞද්ධ ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලීමේදී විවිධ වූ බෞද්ධ අධ්‍යාපන ආයතනයන්ගේ ආරම්භය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ඇති බව අප කාටත් පිළිගත හැකි කරුණ කි. මගේ දැනීමේ හැටියට පළමු ශතවර්ෂය වන විට ශ්‍රී ලංකාවේ අනුරාධපුර අභයගිරි විහාරය ආශ්‍රිත බෞද්ධ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගොස් තිබේ. ඉන් අනතුරුව 5 වන ශත වර්ෂය වන විට අනුරාධපුර පැවති මහා විහාර, හා 12 වැනි ශත වර්ෂය වන විට පොළොන්නරුවේ පැවති ආලාහන පිරිවෙන් ආයතන ද ඉතිහාස ගත වූ බෞද්ධ අධ්‍යාපන ආයතනයෝ වූහ. මීට අමතර ව ඉන්දියාවේද විවිධ කාල වකවානුවල බෞද්ධ අධ්‍යාපන ආයතන බිහි වී තිබේ. අප කවුරුත් දන්නා ඉතිහාසගත තොරතුරුවලට අනුව නාලන්දා, වලභි, සෝමපුර, ඕදන්තපුර, වික්‍රමශීලා, ජගද්දලා, වැනි බෞද්ධ අධ්‍යාපන ආයතන එදාමෙදා තුර දෙස් විදෙස් කාගේත් අවධානයට යොමු වූ ආයතනයෝ වූහ. මෙම ඓතිහාසික ශ්‍රේෂ්ඨ බෞද්ධ අධ්‍යාපන ආයතන අතර ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලය මා සිත් ගත් ආයතනයක් විය.

නාලන්දා විශ්වවිද්‍යාලය ගැන වැඩිදුර කරුණු කාරණා සෙවූ මට තව දුරටත් දැන ගන්නට ලැබුණේ මේ ආයතන තුළින් එදා මෙදාතුර බුද්ධ ශාසනය හා ලෝක වාසී බෞද්ධ සමාජය වෙත කර ඇති සේවාව ඇති විශාල බවයි. නාලන්ද විශ්වවිද්‍යාලය වනාහී, මහායාන හා වජ්‍රයාන නම් වූ බෞද්ධ සම්ප්‍රදායන් පිළිබඳ අවබෝධයක් ලබා දුන් ආයතනයක් විය. ඊට අමතර ව ජ්‍යෝතිෂය ආයුර්වේද වෙද්‍ය විද්‍යාව වැනි විෂයයන් පිළිබඳ ව දැනුම ද එකල සිටි විද්‍යාර්ථීන්ට ලබා දී ඇත. කාලය විසින් ඉතිහාසයේ ගමන්මග නිරන්තරයෙන් වෙනස් කරන නිසාවෙන් වත්මන් බෞද්ධ සමාජයට එවැනි උදාර ආයතනවලින් කළ සේවාව අද වන විට අහිමි වී ඇත. ඉන් අනතුරුව මගේ සිතට අලුත් සිහිනයක් ඇතුල් විය. එනම් “වත්මන් බොදුනු ලොවට අහිමි වූ පැරණි නාලන්දා විශ්වවිද්‍යාලයේ ශ්‍රී විභූතිය කෙසේ හෝ මා නැවත ආරම්භ කර ලබාදිය යුතු ය” යන්නයි.

මගේ එම සිහිනය මල්ඵල ගන්වමින් අද වනවිට කැලණිය බොල්ලෑගල මානෙල්වත්ත විහාර භූමියේ එම විශ්වවිද්‍යාලය ඉදි කරමින් පවතී. ගොඩනැගිලි සංකීර්ණය මේ වන විටත් ඉදිවෙමින් පැවතිය ද විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීම හා ඉගැන්වීමේ කටයුතු දැනටමත් අරඹා ඇත. මෙහි අධ්‍යාපන කටයුතු ප්‍රධාන අංශ පහක් ඔස්සේ ව්‍යාප්ත කිරීමට කටයුතු යොදා ඇත. එනම් බෞද්ධ දර්ශන පීඨය, ආදි බෞද්ධ මූලාශ්‍ර අධ්‍යයන පීඨය, ව්‍යවහාරික බෞද්ධ අධ්‍යයන පීඨය, බෞද්ධආයුර්වේද අධ්‍යයන පීඨය හා පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය යනුවෙනි. තවද මෙම විශ්වවිද්‍යාලයේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ දැනට ලොව පුරා පැතිර පවතින ථේරවාද, මහායාන, හා වජ්‍රයාන යන බෞද්ධ සම්ප්‍රදායන් තුනම පිළිබඳ ඉගැන්වීම් කටයුතු හා පර්යේෂණ කටයුතු කිරීමට අවස්ථාව උදා කර දී තිබීමයි. ඒ තුළින් අනාගත ලොවට ධර්මය ප්‍රචාරය කිරීමට සුදුසු දැනුමෙන් හා කාර්යකෂමතාවයෙන් පිරිපුන් පිරිසක් බිහි කිරීමද මගේ තවත් එක් බලාපොරොත්තුවක් වේ.

අවසාන වශයෙන් කන්දරපංගුවේ ධම්මසිරි හිමියන් විසින් රචිත ‘බුදු සමයේ පැනෙන මාරයා’ නම් ග්‍රන්ථය පරිශීලනය කරන සියලු ම පාඨකයන්ට මතක් කර සිටින්නේ, විධිමත් බෞද්ධ අධ්‍යාපනයක් සමග එය ප්‍රායෝගිකව අත්විඳීම කෙරෙහි යමෙක් උනන්දුවක් දක්වන්නේ නම් ඒ අය සඳහා අපේ මෙම නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය පිළිබඳව හඳුන්වා දෙන ලෙසයි. එසේම මේ ග්‍රන්ථය රචනා කර කිහිපවතාවක්ම මුද්‍රණය කර බෙදාහැර බෞද්ධ පාඨකයන්ගේ දහම් දැනුම වැඩි කරලීමට මහත් සේ වෙහෙසක් දරන කන්දරපංගුවේ ධම්මසිරි හිමියන් වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි.

තෙරුවන් සරණයි.

තායිවානයේ තායිපේ එක්සත් සමූහ බෞද්ධ අධ්‍යාපන පදනමේ
ප්‍රධාන අනුශාසක හා තායිවානයේ ප්‍රධාන සංඝ නායක,
පූජ්‍ය ආචාර්ය බෝදගම චන්දිම නාහිමි,
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය,
බොල්ලෑගල, කැලණිය.

සංඥාපනය

ගිහි පැවිදි බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි මේ ‘සංඛ්‍යා ධර්මපද වර්ණනා’ මා විසින් නොබෝදා පළ කරණ ලද “Descriptive Analysis of Numerical Terms in Buddhism” යන ග්‍රන්ථය අනුසාරයෙන් සම්පාදනය කෙළෙමි. මෙහි සඳහන් සංඛ්‍යා ධර්මපද විවිධ අංශ වලට අදාළ වෙයි. එනම්, ධර්මය, දර්ශනය, සදාචාර ධර්ම, සාමාජික සිරිත්, ලෝක විස්තර යනාදියයි. එහෙයින් බුද්ධ ධර්මයේ එන ඉගැන්වීම් සියල්ලක්ම පාහේ ඇතුළත් වී තිබේ. සංඛ්‍යා ධර්මපද මාර්ගයෙන් ධර්ම කරුණු මතක තබා ගැනීමට ද අවශ්‍ය වූ තැනකදී මතක් කර ගැනීමට ද පහසු වන්නේය. එසේ හෙයින් මෙම ග්‍රන්ථය බුද්ධ ධර්මය අධ්‍යයනයට ගවේෂණයට සහ දේශනයට උපකාරී වෙන බව නොඅනුමානය.

අටුවා, ටීකා, අනුටීකා ආදී පශ්චාත් කාලීන බෞද්ධ සාහිත්‍යයෙහි සංඛ්‍යා ධර්මපද බොහෝ සේ දක්නට ඇත. මේ පොත සම්පාදනයේදී ත්‍රිපිටකය කෙරෙහි විශේෂ අවධානය යොමු කෙළෙමි. අටුවාවල එන සංඛ්‍යා ධර්මපදයන් ද මෙහි නැත්තේ නොවේ.

මෙය සම්පාදනයේදී ග්‍රන්ථ රාශියක් ආශ්‍රිතව කරුණු රැස් කර ගතිමි. ඒ අතර පහත සඳහන් ග්‍රන්ථ විශේෂය. එම ග්‍රන්ථ කර්තෘවරයන් කෘතඥතා පූර්වකව සිහිපත් කරමි. එසේම Pali Text Society (PTS) පළ කළ පොත් අනුව යොමු අංක සඳහන් කෙළෙමි. එම කතුවරයනට ද ස්තූතිවන්ත වෙමි.

සංඛ්‍යා ධම්මදීපිකා, පණ්ඩිත බලපිටියේ විසුද්ධාපලෝක ස්ථවිර Dictionary of Buddhism (Thai-English) by Ven. Phra Rajavaramuni (Prayud Payutto), Pàli English Dictionary by T.W. Rhys Davids and William Stede, Pàli English Dictionary by Margaret Cone. Buddhist Dictionary by Ven. Nyanatiloka, The Path of Purification, by Ven. Bhikkhu ¥ànamoli and Dictionary of Pàli Proper Names by G. P. Malalasekara.

එමතු ද නොව මෙය සැකසීමේදී සදොස් තැන් නිදොස් කොට සදුපදෙස් දුන් සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාලය ආයතනාධිපති බෙල්ලන්විල ගරු ධම්මරතන නා හිමි, බෞද්ධ විශ්වකෝෂයේ නියෝජ්‍ය කර්තෘ (විශ්‍රාමලත්) සනත් නානායක්කාර, මහාචාර්ය කපිල අභයවංශ, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමන රත්නායක යන වියතුන්ට ද මගේ කෘතඥතාව හිමි වෙයි.

තවද මෙහිදී සුහදව නොමඳව විවිධව උදව් කළ මැලේසියාවේ පිනෑන්හි මහින්දාරාමාධිපති ඇල්ගිරියේ ඉන්දරතන හිමි, වැලියායේ සිරි පියරතන පරිවේණාධිපති ශාස්ත්‍රපති කන්දඋඩපංගුවේ සුධම්ම නාහිමි, වෙහෙරහේනේ පූර්වාරාමරජමහවිහාරාධිපති ගෞරවශාස්ත්‍රවේදී කෑගල්ලේ රතනසාර නාහිමි, දෑලිවේ වජිරඤාණ හිමි, උඩබෝවල සුමෙධ හිමි, ඇල්බට් ටෙ, මේනුෂා නදීශානි වික්‍රමසිංහ Tan Eng Khoon Henry , Tan Pheck See Jessica යන අය ද වෙසෙසින් පසසමි.

සංඛ්‍යා ධර්මපද වර්ණනා හැකිතාක් පූර්ණත්වයෙන් ඉදිරිපත්කිරීම මගේ උත්සාහය වුව ද මෙහි අඩුලුහුඬුකම් තිබිය හැකිය.

ධම්මසිරි හිමි