විශුද්ධි මාර්ගය - මාතර ධර්මවංශ හිමි.pdf

old scanned

කතෘ :
මාතර ධර්මවංශ හිමි
ප්‍රකාශිත වර්ෂය :
1960
මුද්‍රිත වර්ෂය :
2015
පිටු ගණන :
1,216
බාගත කිරීම් ගණන :
1,618
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-07-08
ගොනුවේ ප්‍රමාණය :
57 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 609

සිංහල විශුද්ධිමාර්ගය යනු අටුවාචාර්ය බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත විශුද්ධිමාර්ගය නම් වූ උතුම් ථෙරවාද ධර්ම ග්‍රන්ථයේ සම්පූර්ණ සිංහල අනුවාදයයි.

මාතර සිරිමංගල පරිවේණාධිපතිව වැඩවිසූ ත්‍රිපිටක වාගීශ්වර පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ ස්ථවිරයන් වහන්සේ විසින් මෙහි මුල් නිද්දේස 9 සිංහලයට අනුවාදනය කොට තිබූ අතර, උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය පණ්ඩිත බබුන්ට නන්දාරාම ස්ථවිරයන් වහන්සේ විසින් ඉතිරි නිද්දේස කොටස් සම්පූර්ණ කරන ලදී. වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පරිවේණාධිපති විද්‍යා විශාරද පණ්ඩිත පූජ්‍යරාවේ උත්තරානන්ද මහා ස්ථවිරයන් වහන්සේ විසින් මෙය සංශෝධනය කර ප්‍රස්තාවනාව සම්පාදනය කර ඇත.

ශීල, සමාධි සහ ප්‍රඥා යන ත්‍රිශික්ෂාව පදනම් කරගනිමින් සප්ත විශුද්ධි පිළිවෙළින් නිර්වාණාවබෝධය පිණිස පවතින ප්‍රතිපත්ති මාර්ගය සවිස්තරාත්මකව මෙහි විග්‍රහ කෙරේ. බෞද්ධ භාවනා ක්‍රම, සමථ-විදර්ශනා කමටහන් හා අභිධර්ම මූලධර්ම මනාව පැහැදිලි කෙරෙන ප්‍රමුඛතම ග්‍රන්ථයකි.

මෙම මුද්‍රණය තායිවානයේ The Corporate Body of the Buddha Educational Foundation ආයතනය මගින් 2015 වසරේදී නොමිලේ ධර්මදානය පිණිස මුද්‍රණය කර බෙදාහරින ලද්දකි.

නිවේදනය

ලෝක සාහිත්‍යයට අයත් ග්‍රන්ථ අතුරින් විශුද්ධි මාර්ගයට ද විශේෂ ස්ථානයක් ලැබෙනුයේ එහි ත්‍රිපිටකයෙහි හා හදළු කටුදියෙහි වූ විශේෂ අර්ථයන් බෙහෙවින් ඇතුළත්ව තිබෙන හෙයිනි.

දුශ්චරිත- කාමච්ඡන්ද- දෘෂ්ටි යන ත්‍රිවිධ සංක්ලේශයන් ගේ ව්‍යතික්‍රම-පර්‍ය්‍යුට්ඨාන-අනුශය යන ත්‍රිවිධ ප්‍රහාණයට උපාය මාර්ග වූ ශීල-සමාධි-ප්‍රඥා යන ත්‍රි ශික්‍ෂාවෙන් ශීල- චිත්ත- දෘෂ්ටි- කඞ්ඛාවිතරණ- මග්ගාමග්ගඤාණදස්සන පටිපදාඤාණදස්සන- ඤාණදස්සන- යන සප්ත විශුද්ධි පිළිවෙළින් පරම විශුද්ධිය වූ නිර්‍වාණය අවබෝධ කිරීමේ ප්‍රතිපදාව විධි වූ පරිදි විස්තාර වන හෙයින් විශුද්ධිමාර්ග යන නම මෙයට අර්‍ථානුගත ය.

සෝවාන් ආදී සතරමාර්ග - ඵලාවබෝධයෙන් නිවන් අමාරස වළඳනු රිසියනට එයට උපයෝගීවන ප්‍රතිපදා මාර්ගය මෙහි විස්තර කොට දැක්වූ අයුරු සිත් ගන්නා සුලුය. එහි නියම තතු මෙය පරිශීලනයෙන්ම මනාව සේ වටහා ගත හැකි වේ.

මේ ග්‍රන්ථය හා ග්‍රන්ථ කර්තෘන් වහන්සේ පිළිබඳව ද පවත්නා මත භේදයන් හා නිගමන ද මෙහි ඇතුළත් ප්‍රස්තාවනාවෙන් මනාව විස්තර වේ.

පස් මහා සඟියේ ධ්‍යාන-විදර්ශනාදි ගැඹුරු ධර්‍මාර්ථයන් ඒ ඒ අටුවාවන්හි ඇතුළත් නො කොට ඒ සඳහා මේ ග්‍රන්ථය බැලිය යුතුයැයි අටුවාවන්හි ද සඳහන් කිරීමෙන් හා මෙය පරිශීලනය නොකොට ඒ නොදත හැකි වන හෙයින් එබඳු ධර්‍මාර්ථයන් අවබෝධය සඳහා බෙහෙවින් මෙය භාවිත කළ යුතු ය. එහෙයින්ම අනික් අටුවාවන්ට වඩා මෙයට විශේෂ ස්ථානයක් හිමි වේ.

එසේම නිර්වාණ විනිශ්චය වැනි විශේෂ කරුණු විස්තර කිරීමේ දී ඒ පිළිබඳව නිකායාන්තරිකයන් අතර පමණක් නොව ථෙරවාදීන් අතර පවා පැවැති මතාන්තර දක්වා මතාන්තර පහදා තැබීම ද හේතු-ඵල ධර්ම විභාගයෙහි දී අන්‍ය අටුවාදියක නැති සේ පටිච්ච සමුප්පාද - පට්ඨානක්‍රම දෙකම එකට සංසන්දනය කොට ගලපා තිබීම ද මෙහි විශේෂයෙකි.

මෙසේ යෝගාවචරයනට ඉතා උපකාර වූ මෙයට නානාවිධ ටීකා-ගණ්ඨිපද-සන්නාදීය ධර්‍මධර පණ්ඩිතයන් විසින් සකස් කොට තිබේ. ඉන් බදරතිත්‍ථ ධම්මපාල ස්ථවිර ප්‍රණීත පරමත්ථ මඤ්ජුසා නම් විස්තර ටීකාව බෞද්ධ දර්ශනය පමණක් නොව අන්‍ය වූ දර්ශනයන් ද අළලා බෞද්ධ මතය මනාව ස්ඵුට කිරීමෙන් මෙහි අගය ශත ගුණයෙන් වඩා ලන ලදී. එය ඇසුරු කොට කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු මහරජාණන් විසින් කළ විස්තර ව්‍යාඛ්‍යානය ද ධර්‍මවෙදීන්ට මහත් ඵලදායක විය. පාලිභාෂාව නොදත් සාමාන්‍ය බෞද්ධ ජනයාට ඒ පාලි ග්‍රන්ථයන් ඵලදායී නොවූවාක් මෙන් ම මෙකල සිංහලයන්ට ඒ ව්‍යාඛ්‍යානයේ භාෂා - විස්තාර සිංහල භාෂාවෙන් මෙහි අර්ත්‍ථාවබෝධය ඉතා දුෂ්කර බව සැලකූ මෑත යුගයේ ලක්දිව විසූ උසස් ධර්‍මධරයකු වූ ද විශේෂයෙන් අභිධර්‍ම විශාරද වූ බුද්ධශාසන මහා සුරසේනාපති රාජදත්තිය නාමෝපලක්ෂිත ඇම්. ධර්මරත්න පඬිතුමා ඒ පුරාණ ව්‍යාඛ්‍යානය සංශෝධනය කර භාවාර්ත්‍ථයකින් ද සකසා මුද්‍රණය කරවන ලදුවත් අධික විස්තරය නිසා ද ග්‍රන්ථයේ විශාලත්වය නිසා ද සාමාන්‍ය බෞද්ධ ජනයාට එයින් ද විශේෂ අර්ත්‍ථයක් නොවිය.

මේ අතර පාසල් සිසුනට පවා අභිධර්‍මය පහසුවෙන් වටහා ගත හැකි වන පරිදි අභිධර්මාර්ථ සංග්‍රහය ඇසුරු කොට අභිධර්ම- චන්ද්‍රිකා නම් සිංහල අභිධර්ම ග්‍රන්ථය රචනා කිරීමෙන් සාමාන්‍ය සිංහල බෞද්ධයනට අභිධර්‍මඥානය වඩා ලීමට මාර්ගය සලසා වදාළ මාතර සිරිමංගල පරිවේණාධිපතිව වැඩ විසූ අප ගේ ආචාර්ය්‍යෝත්තම ත්‍රිපිටක වාගීශ්වර පූජ්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ධර්මවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම විශුද්ධිමාර්ගය ද ධර්මාත්‍ථ හා සිංහල භාෂා ස්වරූපාදිය ද රැකෙමින් සාමාන්‍ය සිංහලයන්ට ද මනාව වැටහෙන ලිහිල් බසින් අනුවාදනය කොට 9 වැනි නිද්දේසය තෙක් මුද්‍රණය වන අතර සමස්තලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති තැන්පත් මහාචාර්යය ජී. පී. මලලසේකර මහතා ගේ විශේෂ ආරාධනයෙන් විභංග ප්‍රකරණ නම් අභිධර්‍ම පාලි ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කිරීමේ නිරත වීමෙන් මෙය තාවකාලිකව නවතන්නට සිදු විය.

ඒ අතර කලෙක සිට පැවැති අරණ්‍යගතව විදර්ශනා වැඩීමේ අතුල්‍යධ්‍යානීය අපේක්‍ෂාව සපුරාලීම සඳහා වැඩීමෙන් එහි වැඩ සිටියදී වැළඳුණු රෝගාබාධය උත්සන්නව හදිසියේ අපවත් වූයෙන් සිංහල විශුද්ධිමාර්ගය ද එපමණින් අඩාලව අතරමං විය.

එහෙත් එය භාවිත කිරීමෙන් ධර්‍මාවබෝධය ලැබූ බොහෝ ගිහි පැවිදි පින්වතුන් ගේ හා විශේෂයෙන් එම පණ්ඩිත ස්වාමීන් වහන්සේ ගේ ශිෂ්‍යවර මෙම පිරිවෙනේ උප ප්‍රධානාචාර්ය්‍ය පණ්ඩිත මාතර වජිරවංස ස්ථවිරයන් වහන්සේගේ ආරාධනයෙන් 10 වන නිද්දෙසයේ පටන් එහි ඉතිරි කොටස අනුවාදනය ආරම්භ කොට 16 වැනි ඉන්ද්‍රිය සත්‍ය නිද්දේශය තෙක් මෙයට පෙර මුද්‍රණවාරයෙන් බිහිකරවන ලදී.

මෙවර ප්‍රඥා භූමි නිද්දෙසයේ පටන් අවසානය තෙක් ඉතිරි කොටස සම්පූර්ණ වේ. මෙය පරිවර්තනය කිරීමේදී ප්‍රඥා භූමි නිද්දෙසය වැනි ගැඹුරු ධර්‍ම කාණ්ඩයන්හිදී දුෂ්කරත්වයට මුහුණ පාන්නට සිදුවුව ද ආචාර්ය්‍ය ස්වාමීන් වහන්සේගේ සටහන් හා අධ්‍යයනයෙන් ලත් අභ්‍යාසය ඉතා උපකාර විය. පරමත්ථ- මඤ්ජුසා ටීකාව හා, පැරකුම්බා සන්නය ද, විශුද්ධිමග්ග ගණ්ඨිය, සම්මෝහවිනෝදනී විභංග අටුවාව, අභිධර්‍ම- ප්‍රදීපිකාව ආදී ග්‍රන්ථයන් ද මෙහි ලා අපට උපකාර විය.

මෙහි ඇතැම් ගැඹුරු තැන් පිළිබඳව අප පිරිවෙනේ අධ්‍යක්ෂ ධුරන්ධර ගරු වෙහෙරහම්පිට සුමනසිරි ස්වාමීන් වහන්සේ සමග කළ සාකච්ඡාදිය ප්‍රයෝජනවත් විය.

මෙහිලා ගැඹුරු ධර්මාර්ථයන් සාමාන්‍ය මහාජනයාට වැටහෙන සේ යොදාලීමට ලිහිල් සිංහල වචන නොවීමෙන් පාලි වචනයම හෝ සංස්කෘත ඡායාව හෝ බොහෝ සේ යොදන්නට සිදුවිය.

මෙහි මුල් කොටස මෙන් ම මේ කොටස ද වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පරිවේණාධිපති විද්‍යා විශාරද පණ්ඩිත පූජ්‍යරාවේ උත්තරානන්ද මහා ස්ථවිරයන් වහන්සේ අතින් සංශෝධනය වීම වැඩියක් ග්‍රන්ථ ගෞරවයට ඉවහල් විය. ලෝක ශාසන සේවයෙහි නිරත උන්වහන්සේ දහසක් අවහිරතා මධ්‍යයෙහි අප විශේෂ ආරාධනයෙන් මෙයට අගනා ප්‍රස්තාවනාව සම්පාදනය කිරීමෙන් ද ග්‍රන්ථ ගෞරවය ශත ගුණයෙන් වඩා ලීම පිළිබඳව අප කෘතඥතාවය පිරිනමමි.

මෙහි පිටපත් ලියාදීමෙන් හා ශුද්ධි පත්‍ර බැලීමාදියෙන් ද නන් අයුරින් උපකාර වූ පාරිවේණික ආචාර්ය්‍ය පණ්ඩිත මළිදූව විමලවංශ, පණ්ඩිත ගල්වැවේ ඤාණතිලක, පණ්ඩිත නාරන්දෙනියේ පඤ්ඤාරතන, පණ්ඩිත බැරගම නිමලසිරි යන ස්ථවිර භික්ෂූවරයන් හා මළිදූව රතනවංස ස්ථවිරයන් ද, කිරින්දේ අරවින්දවංස, හිනිපැල්ලේ විමලධම්ම, පලපන පාලිත යන ශිෂ්‍ය භික්ෂූන් ද මෙහි ලා සඳහන් කරමි.

මෙය මුද්‍රණය දුෂ්කරව පැවැති කල අප පරිවෙණාධාර සභාවේ සභාපති ඊ. ඇම්. ඩබ්ලිව්. ජයසූරිය සාමදාන විනිශ්චයකාර තුමා හා කොළඹ වෙළඳාමේ නියුක්ත ඩී. ජේ. සමරවීර මුදලාලි මහතා ද දක්වන ලද අනුග්‍රහය ඉතා උපකාර වූ බව සඳහන් කරනුයේ පින් දීමෙනි.

මෙයට පෙර ප්‍රතිඥා කළ පරිදි මෙය ශාසනභාරයේ මුද්‍රණය කිරීමෙන් උපකාර වූ මාතර වෙළෙන්දෝ මුද්‍රණාලයේ අධිකාරී සී. ඒ. හේමචන්ද්‍ර මහතා හා සේවක පිරිස ද වෙසෙසින් සඳහන් කරමි

මෙම බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මෙය මෙසේ අවසාන කොට බෞද්ධ මහජනයා අතට පැමිණවීමට ලැබීම අපට විශේෂ ප්‍රීතියෙකි.

මෙහි යම් ප්‍රමාද දෝෂාදියක් වේ නම් අප වෙත දන්වා එවන මෙන් ධර්‍මධර පින්වතුන් වෙත වෙසෙසින් ආරාධනය කරමි. ඒ දෙවන මුද්‍රණයකදී ප්‍රයෝජනවත් වේ.

පණ්ඩිත බබුන්දේ නන්දාරාම ස්ථවිර

2500 වෙසක් පුරපසළොස්වක් දා 1957 මැයි 13 වැනි දා මාතර සිරිමංගල පිරිවෙන්හිදී ය.

පණ්ඩිත බබුන්දේ නන්දාරාම ස්ථවිර, මාතර සිරිමංගල පිරිවෙන්හිදී ය, 1957 මැයි 13 වැනි දා

ප්‍රස්තාවනා

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

ශ්‍රීමත් සම්බුද්ධශාසනයෙහි අතිශයින් දුර්ලභ වූ පැවිද්ද ලත් කුලපුත්‍රයනට ක්ෂේම වූ නිර්‍වාණප්‍රතිලාභයට සෘජු වූ ආර්‍ය්‍යමාර්ග-සංඛ්‍යාත ප්‍රතිපත්තිය ඉවහල් වනබැවින් තත් ප්‍රතිපත්තිය ශීල-සමාධි-ප්‍රඥා මුඛයෙන් ප්‍රකාශනය කරනු පිණිස ඒ මේ විශුද්ධිමාර්‍ගය සම්පාදනය කරන ලද්දේ වෙයි. එහි සංඥාප්‍ය පඤ්චකය ප්‍රමුඛ කොට ඇති මේ ප්‍රස්තාවනාව ශාසනමාමකයන් ගේ විශුද්ධිමග්ගාවතරණයෙහි ප්‍රස්ථාන දනවනු පිණිස අනෙක ග්‍රන්ථාශ්‍රයයෙන් ද ඉතිහාස ප්‍රවෘත්ති සාකල්‍යයෙන් ද ආචාර්‍ය්‍යමතානුසාරයෙන් ද කරුණු සම්පිණ්ඩනය කොට ගෙන විවේචන පූර්වක වැ සපයනු ලැබේ.

“විසුද්ධි සබ්බමලවිරහිතං අච්චන්තපරිසුද්ධං නිබ්බානං වේදිතබ්බං, තස්සා තස්සා විසුද්ධියා මග්ගොති=විසුද්ධිමග්ගො”* යනු ග්‍රන්ථාගත වූ අභිධෙයාවිභාවයෙන් විශුද්ධි සංඛ්‍යාත අසංස්කෘත සර්වමලවිරහිත අත්‍යන්තපරිශුද්ධ වූ නිර්‍වාණයට මාර්ගය විශුද්ධිමග්ග නම් වේ. ඒ මේ විශුද්ධිමාර්ගය සර්වප්‍රකාරයෙන් ප්‍රකාශනය කරන මේ ග්‍රන්ථය ද අභේදෝපචාරයෙන් විසුද්ධිමග්ග නම් වන බව දතයුතු. “විසුද්ධියා මග්ගො=විසුද්ධිමග්ගො” යන විග්‍රහය ප්‍රයෝජන ග්‍රන්ථාගත අභිධෙයාවිභාවයෙන්ම සිද්ධ ය. මෙහි විසුද්ධි නම් නිර්‍වාණය යි. මග්ග නම් අධිගමෝපාය යි “මග්ගොති අධිගමුපායො වුච්චති” යනු කී බැවින් අධිගම ලාභයට උපායය මග්ග නම් වන බව දතයුතු. ‘නිවනට මග විසුද්ධිමග්ග නම් වේ’ යනු මෙහි නිෂ්කර්ෂය යි.

“විශුද්ධි මාර්‍ගය යි නිස්සෙය්‍යාර්ථයෙන් ලෝකෝත්තර මාර්ගය දතයුතුය. තදුපාය වශයෙන් වනාහි පූර්වභාග මාර්ගය ද තත්නිශ්‍රය කථා ප්‍රබන්ධය ද විශුද්ධිමාර්ගයයි කියනු ලැබේ.”† යන මේ පරාක්‍රමබාහු නරේන්ද්‍රවචනයෙන් ද මේ ග්‍රන්ථයට විශුද්ධි මග්ග නාමය දීමේහි සම්මතාර්ථය ව්‍යක්ත වේ මැයි. ඒ මේ විශුද්ධි මාර්ගය වනාහි කිසිතැනෙක්හි විදර්ශනාමාත්‍ර වශයෙන් ද, කිසි තැනෙක්හි ධ්‍යාන-ප්‍රඥා වශයෙන් ද, කිසි තැනෙක්හි කර්‍මාදීන්ගේ වශයෙන් ද, කිසිතැනෙක්හි ශීලාදීන්ගේ වශයෙන් ද, කිසිතැනෙක්හි සමාධිප්‍රඥාදීන් ගේ වශයෙන් ද දෙසුහ. මේ ග්‍රන්ථයට වස්තු වූ “සීලෙපතිට්ඨාය” යනාදි ගාථාවෙන් ශීල-සමාධි-ප්‍රඥා මුඛයෙන් මෙහි විශුද්ධිමාර්ගය දක්වන ලද්දේ වෙයි. එහෙයින් මේ ග්‍රන්ථය දුශ්චරිත සංක්ලෙශයා ගේ විශුද්ධියට මාර්ගය වූ ශීලය ද, කාමච්ඡන්ද සංක්ලෙශයා ගේ විශුද්ධියට මාර්ගය වූ සමාධිය ද, දෘෂ්ටි සංක්ලෙශයා ගේ විශුද්ධියට මාර්ගය වූ ප්‍රඥාව ද සර්වඥ දෙශනානුසාරයෙන් ප්‍රකාශිත වන බැවින් විසුද්ධිමග්ග නම් වූ බව දැන මැනැවි. සංව්‍යවහාරාර්ථය පිණිස සංඥාකර්තෘය වක්තව්‍ය හෙයින් මෙහි “විසුද්ධිමග්ගො නාමිස්සා.” යන්නෙන් ග්‍රන්ථකාරකයෝම සංඥාව කැළම දක්වති. විශුද්ධිකාමීන් ගේ ප්‍රයෝජනය සඳහා ඒ මේ විශුද්ධිමාර්ගය ග්‍රන්ථස්වරූපයෙන් පවසන බව දතයුතු ය. අර්ත්‍ථානුගතසංඥා හෙයින් අන්වර්ත්‍ථ සංඥා විසින් ද, මෙයින් විදර්ශනා මාත්‍රය ද ධ්‍යාන ප්‍රඥාවන් ද කර්මාදිය ද ශීලාදිය ද සමාධිප්‍රඥාදිය ද අවිශෙෂයෙන් පවසනත් ශීල- සමාධි- ප්‍රඥා මුඛයෙන් මේ ග්‍රන්ථයම විසුද්ධිමග්ග නාමයෙන් වක්තව්‍ය හෙයින් විශේෂ සංඥා විසින් ද මෙහි සාර්ථ්‍යය දතයුතුය. සමුදය විසින් නිවනට මග විශුද්ධිමාර්ගයැයි කීව ද මෙහි ශීලයත් සමාධියත් ප්‍රඥාවත් අවයව විසින් විශුද්ධියට කරුණු වන්නෙත් අවයවයක් පවා විශුද්ධිය පර්ය්‍යාය විසින් ලැබෙයි. එහෙයින් මේ විශුද්ධිමග්ග යන නාමය අවයවාවයවීභාවයෙන් නොගිලිහුණු ගුණයට නිමිතිවන්නේත් නෛමිත්තික වෙයි “විශුද්ධිමාර්ගය යනු අවයවාවයවීභූත ගුණ නිමිත්තක වැ සිද්ධවන බැවින් නෛමිත්තික නාම වෙයි” යන පරාක්‍රමබාහු නරපති වචනයෙන් ද තදර්ථප්‍රකාශනය වෙයි.

මේ ග්‍රන්ථකරණයෙහි නිමිත්තා වනාහි අභ්‍යන්තරනිමිත්ත යැ බාහ්‍ය නිමිත්තයැයි දෙපරිද්දෙකින් දැක්විය හැකි ය. මෙහි අභ්‍යන්තරනිමිත්තය නම් විශුද්ධිය කැමැති කුලපුත්‍රයන් කෙරෙහි උපන් අනුකම්පාවයි. හේ වනාහි ග්‍රන්ථකාරකයන් විසින් ම “විසුද්ධිකාමා සබෙබපි නිසාමයථ සාධවො” යන්නෙන් දක්වන ලද්දේ වෙයි. සත්පුරුෂ කුලපුත්‍රයන් කෙරෙහි පහළ වූ ග්‍රන්ථකාරකයන්ගේ කරුණාව මෙයින් හෙළිවන බැවිනි. සත්කාරාශ්‍රවණයෙහි ඔවුන් යෙදවීමෙන් තුමන් ලෙහි උපන් කුලුනු ගුණය මෙයින් ඇර දැක්වූ බව දතයුතු ය.

“ප්‍රතිපන්න යෝගී ජනයන් අඥාන දර්ශන මූලක අප්‍රතිපත්ති දුෂ්ප්‍රතිපත්ති හේතුක සංසාර දුඃඛයෙන් මුදනු සඳහා මේ විශුද්ධිමාර්ගය කළ බැවින් යථෝක්ත ප්‍රතිපත්ති ජනයන් කෙරෙහි සමුත්පන්න අනුකම්පාව අභ්‍යන්තර නිමිත්ත යැ”* යන මේ පරාක්‍රමබාහුනෘපතිවචනයෙන් හේ පැහැදිලි වෙයි. මෙසේ අභ්‍යන්තරනිමිත්තය දැක්වුව ද බාහ්‍ය නිමිත්තය දෙපරිද්දෙකින් දක්වන ලද බව පැනෙයි.

විනයප්පාදිසෙට්ඨානං - ථෙරියානං යසස්සිනා මහාවිහාරවාසීනං - වංසජස්ස විභාවිනො භදන්ත සංඝපාලස්ස - සුචිසල්ලෙඛවුත්තිනො විනයාචාරයුත්තස්ස - යුත්තස්ස පටිපත්ති යං ඛන්තීසොරච්ච මෙත්තාදි - ගුණභූසිත චෙතසො අජ්ඣෙසනං ගහෙත්වාන - කරොන්තෙන ඉමං මයා”†

යන මේ ග්‍රන්ථකාරකයන් ගේ සුගීතයෙන් මහාවිහාර වංශයෙහි උපන් පැණවත් වූ පිරිහුරු සලේ පැවැතුම් ඇති විනේ අසරෙහි යෙදුණු පිළිවෙත්හි ඇලුණු කැක්කුරන බැව් ඈ ගුණමුළුවෙන් සැරසුණු සිත් ඇති භදන්ත සංඝපාල මහාස්වාමීන් ගේ ආරාධනය මේ ග්‍රන්ථකරණයට බාහ්‍ය නිමිත්තය බව හෙළි වෙයි. “මේ විශුද්ධිමාර්ගීකරණයෙහි බබාදර පරම විශුද්ධාශය සංඝපාල ස්ථවිරපාදයෝ බාහ්‍ය නිමිත්ත වෙත්.”‡ යන්නෙන් පරාක්‍රමබාහු නරදේවයෝ ආරාධකයා බාහ්‍යනිමිත්ත විසින් දක්වති ආරාධකයා කීමෙන් ආරාධනය ද ගැනෙන බැවින් හේ අසංගත නොවේ. මේ එක් බාහ්‍යනිමිත්තය කි. අනෙක් බාහ්‍ය නිමිත්තය ප්‍රතිපද්ජනයා යි.

“සුදුල්ලභං ලහිත්වාන - පබ්බජ්ජං ජිනසාසනෙ සීලාදිසඞ්ගහං ඛෙමං - උජුමග්ගං විසුද්ධියා යථාභූතං අජානන්තා - සුද්ධිකාමාපි යෙ ඉධ විසුද්ධි නාධිගච්ඡන්ති - වායමන්තාවි යොගිනො.”†

යන මේ ග්‍රන්ථකාරකයන්ගේ සද්ගාතියෙන් එව්හු දැක්වෙති. සර්වඥ ශාසනයෙහි අතිශයින් දුර්ලභ වූ පැවිද්ද ලැබ විශුද්ධියට සෘජුමාර්ගය වූ ශීලාදිසංග්‍රහය තතු සේ නොදන්නා වූ ශුද්ධිකාමීත් වැර වඩාතුදු විශුද්ධිය නො ලබන බව මෙයින් පවසති. ඔවුන් ගේ තත්ත්වඥානයට විශුද්ධිමාර්ගය කරනබව් පැවැසීමෙන් ග්‍රන්ථකාරකයෝ ප්‍රතිපද්යෝගීජනයා ද බාහ්‍යනිමිත්ත කොට දක්වති. මෙසේ මෙහි නිමිත්තාර්ත්‍ථය දතයුතු. ග්‍රන්ථ සම්භාවනා පිණිස නිමිත්තකථනය සාධුසම්මත යි. එහෙයින් තුමන් කරත ගනට නිමිති දක්වමින් ග්‍රන්ථකාරකයෝ ස්වාධ්‍යාශය පිළිබඳ නිර්මලත්වය මැනැවින් හෙළිපෙහෙළි කරත්.

මෙහි කර්තෘවරයෝ අනුබුද්ධ බුද්ධඝෝෂ මහා ස්වාමීහු වෙති. ලංකාධීශ්වර පරාක්‍රමබාහුන් විසින් ‘බුද්ධඝෝෂාචාර්‍ය්‍යපාදයෝ මේ විශුද්ධිමාර්ගයට කර්තෘන්වශයෙන් වේදිතව්‍යයෝ යි” යනුයෙන් ස්වකීය විශුද්ධිමාර්ග මහා සන්‍යයෙහි දක්වන ලද බැවින් ද,

“විපුලවිසුද්ධබුද්ධිනා බුද්ධඝෝසොති ගරුහි ගහිත නාමධෙය්‍යෙන ථෙරෙන මොරාණ්ඩචෙටකවත්‍ථබ්බෙන කතො විසුද්ධිමග්ගො නාම” යි විශුද්ධිමාර්ගී ග්‍රන්ථාවසානයෙහි සඳහන් වන බැවින් ද මේ ගැන සැකයෙක් නැති. බුද්ධඝෝෂා- චාර්‍ය්‍යපාදයන් මේ විශුද්ධිමාර්ගය සම්පාදනය කළ බව පරම්පරායාත වාර්තාවලින් ද හෙළි වෙයි. එක් පරම්පරායාත වාර්තාවක් දක්වන පරාක්‍රමබාහු නරේශ්වරයෝ මෙසේ සඳහන් කෙරෙති.

“මේ ආචාර්‍ය්‍යයෝ ඡම්බුද්වීපවාසී වාසභාචාර්‍ය්‍යයන් විසින් සමාරාධිත වැ හෙළු අටුවා පෙරළා සර්වජනීත මූලභාෂාවෙන් හෙළවාලන්ට අටුවා ලියනු සඳහා මේ ලංකාද්වීපයට වැඩ මහා විහාරයෙහි සංඝපාල මහා ස්ථවිරයන් කෙරෙහි හෙළු අටුවා අසා සියලු ස්ථවිරවාද ඉගෙන මහා සංඝයා රැස් කොට අටුවා ලියන්නට පොත් දෙන්නේ යැයි ඉල්ලූහ. සංඝයා ද අර්ථකථා කරණුවට ශක්ති පරීක්ෂා සඳහා තොප ගේ සාමර්ත්‍ථය මෙහි දක්වව, එ දැක පොත් දෙම්හ යි මේ ගාථා දෙක දුන්හ. එසඳ තදර්ත්‍ථ- වර්ණනාවාරයෙන් එහි අටුවා සහිත පිටකත්‍රය සංග්‍රහ කොට මේ විශුද්ධිමාර්ගය කළහ යනු පරම්පරායාත වාර්තාවායි”*

මේ පරම්පරායාත වාර්තාව නිසැකයෙන් ම පිළිගත් විශුද්ධිමාර්ගී මහාසන්‍යකාරක පරාක්‍රමබාහු මිහීශ්වරයෝ විශුද්ධිමාර්ගය බුද්ධඝෝෂාචාර්‍ය්‍යපාදයන් ගේ කෘතියක් බව සම්මතය කෙරෙති.

“සමඤ්ඤා ගාථාවයං තස්සා - දස්සි සාමත්ථියං තව එත්ථ දස්සෙහි තං දිස්වා - සබ්බෙ දෙමාති පොත්ථකෙ පිටකත්තයමෙත්ථෙව - සද්ධිමට්ඨකථාය සො විසුද්ධිමග්ගං නාමා’කා - සඞ්ගහෙත්වා සමාසතො.”†

මේ මහාවංසෝක්තියෙන් ද විශුද්ධිමාර්ගය බුද්ධඝෝෂපාදයන් ගේ කෘතියක් බව හෙළි වෙයි. මෙහි අදහස යට කී පරම්පරායාත වාර්තාවෙහිම ඇතුළත් වන බැවින් අමුතුවෙන් කියයුතු නො වේ. බුද්ධඝෝසුප්පත්ති නම් ග්‍රන්ථයෙහි ද සාසනවංස නම් ග්‍රන්ථයෙහි ද තවත් බොහෝ ග්‍රන්ථයන්හි ද බුද්ධඝෝෂාචාර්‍ය්‍යවරයන් විශුද්ධිමාර්ගය කළ බව සඳහන් වෙයි.

“ඉති පන සබ්බං යෙව, විසුද්ධිමග්ගෙ මයා සුපරිසුද්ධං වුත්තං තස්මා භිය්‍යො, න තං ඉධ විචාරයිස්සාමි ”*

යන මේ ආගමාර්ථකථාවචනයෙන් ම විශුද්ධිමාර්ගය බුදුගොස් හිමියන් ගේ බව මැනැවින් හෙළි වන බැවින් මෙහි මුලින් දක්වන ලද කරුණු ද සම්මතය වෙති. මෙතෙකින් ඒ මේ විශුද්ධිමාර්ග නම් ග්‍රන්ථයෙහි කර්තෘවරයා විශුද්ධබුද්ධින් ප්‍රසිද්ධ වූ බුද්ධඝෝෂ මහාස්වාමීන් බව නිගමනය වෙයි. ‘නිමිත්ත කර්තෘකාර්‍ය්‍යය ග්‍රන්ථ ගෞරවෝත්පාදනාර්ථ වෙයි” යනු පරාක්‍රමබාහු වචන හෙයින් නිමිත්තකථනය මෙන් ම කර්තෘකථනය ද ග්‍රන්ථ සම්භාවනා පිණිස වැටෙයි. “විසුද්ධිමග්ගං නාමිස්සා.” යනාදි ප්‍රඥාප්තිධාරණයෙන් ම මෙහි කර්තෘ වාච්‍ය වෙයි.

යම් කිසි ග්‍රන්ථයක්හි පරිමාණකථනය ශිෂ්‍යලෝකයා ගේ ප්‍රවෘත්තියට කාරණ වෙයි. මෙහි පරිමාණය සමුදය- පරිමාණ අවයව විසින් ම දැක්විය යුතු වෙයි. සමුදය පරිමාණ විසින් සලකන විට මෙහි ග්‍රන්ථ ප්‍රමාණය බණවර විසින් අටපනසක් බව පැනෙයි. එතද්ප්‍රන්ථාවසානයෙහි පැනෙන:-

“විසුද්ධිමග්ගො එසොව - අට්ඨපඤ්ඤාස විභා සුඛ නිවිට්ඨො අටඨපඤ්ඤාස - භාණවාරාය පාලියා”†

යන ගාථාවෙන් ඒ බව මැනැවින් හෙළි වෙයි. මෙය පරාක්‍රමබාහු මහීපයන් විසින් දක්වන ලද්දේ ‘මෙහි ග්‍රන්ථප්‍රමාණ තුදුස් දහස් දෙබණවරෙකි’ යන්තෙනි. ග්‍රන්ථප්‍රමාණ තුදුස් දහස් දෙබණ වරෙකැයි කීමත් අටපනස් බණවරෙකැයි කීමත් අර්ථ විසින් සමාන ය. විචිත්‍රාබෝධය සඳහා කී හෙයින් පරාක්‍රමබාහුවචනය සාධුත්වයෙන් පිළිගතයුතු ය. බණවර ගණිත විට ග්‍රන්ථයකට අකුරු දෙතිසක් ගනු ලබන බැවිනි. ග්‍රන්ථාගත ක්‍රමයට විරුද්ධ වැ මෙහි බණවර එකුන්සැටක් බව මනොරථපූරණීනිගමනයෙන් පෙනේ.