සිංහල සාරසඞ්ග්‍රහය.pdf

කතෘ :
දෙහිගස්පේ පඤ්ඤාසාර හිමි සහ පලන්නොරුවේ විමලධම්ම හිමි
ප්‍රකාශිත වර්ෂය :
1929
මුද්‍රිත වර්ෂය :
1929
පිටු ගණන :
321
බාගත කිරීම් ගණන :
1,252
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-07-03
ගොනුවේ ප්‍රමාණය :
132 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 161

සිංහල සාරසඞ්ග්‍රහය යනු පොළොන්නරු යුගයේ වැඩ විසූ සිද්ධාත්ථ හිමියන් විසින් ත්‍රිපිටක ධර්ම කරුණු සංග්‍රහ කරමින් රචනා කරන ලද ප්‍රකට පාලි ‘සාරසඞ්ගහ’ ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි. දෙහිගස්පේ පණ්ඩිත පඤ්ඤාසාර හිමි සහ පලන්නොරුවේ පණ්ඩිත විමලධම්ම හිමි යන විද්වත් ස්වාමීන් වහන්සේලා දෙනම විසින් මෙම පරිවර්තනය සිදු කර ඇත.

පාලි භාෂාව නොදත් සිංහල පාඨකයන්ට ත්‍රිපිටක ධර්මය පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි සරල හා ලිහිල් බසින් යුතුව සම්පාදනය කර ඇති මෙම කෘතියෙහි බුද්ධ චරිතය, ප්‍රාර්ථනා, පාරමී, කුසලාකුසල කර්ම විපාක, විවිධ භව ගති සහ ලෝක විවරණ ආදී ප්‍රධාන කරුණු 39ක් යටතේ විස්තර කර තිබේ.

හෝමාගම ඩී. සී. වික්‍රමසිංහ අප්පුහාමිගේ ප්‍රකාශනයක් ලෙස බුද්ධ වර්ෂ 2473 (ක්‍රි.ව. 1929) දී විද්‍යාප්‍රකාශ යන්ත්‍රාලයෙහි මුද්‍රණය කර ඇති මෙම පොත විද්‍යෝදය පරිවේණාධිපති කහවේ ශ්‍රී සුමංගල රතනසාරාභිධාන කොළඹ නවකෝරළේ ප්‍රධාන නායක මාහිමියන් වහන්සේ වෙත පිළිගන්වා ඇත.

සංඥාපනය

සිංහල සාරසංග්‍රහය නම් මේ ධර්මපුස්තකය වනාහි ‘පාලි සාරසඞ්ගහ’ ග්‍රන්ථයාගේ සිංහලානුවාදය ය. සාරසඞ්ග්‍රහය ත්‍රිපිටක ධර්මයෙහි අවශ්‍යයෙන් උගතයුතු ධර්මයන් සඞ්ග්‍රහ කොට පොළොන්නරුපුර දක්ඛිණාරාම මහා විහාරාධිපති ත්‍රිපිටකධාරී බුද්ධප්‍රිය මහා ස්ථවිර පාදයන් වහන්සේගේ ශිෂ්‍ය වූ සිද්ධත්‍ථ ස්ථවිරයන් වහන්සේ විසින් කරණ ලද්දේය. එතැන් පටන් මේ දක්වා ඒ ධර්ම ග්‍රන්ථය ලංකාවේ පමණක් නොව සියම්-බුරුම-කාම්බෝජාදි විදෙශයන්හි ද ස්ථවිර මධ්‍යම නවක භික්‍ෂූන් වහන්සේ විසින් ආදරයෙන් පරිශීලනය කරණු ලැබේ. එහෙත් සිංහල භාෂාව පමණක් උගත් අපේ උපාසක උපාසිකා ආදි පිරිසට ඒ පාලි ග්‍රන්ථයෙන් ප්‍රයෝජනයක් නොමැත්තේ ය. මේ කාරණය සැලකූ කොළඹ දෙමටගොඩ කෝපියාවත්තේ ශ්‍රී වික්‍රමසිංහාරාමාධිපති හෝමාගම සීලරතන ස්ථවිර පාදයන් වහන්සේ කීප විටක් ම අපට මේ සත්කාර්ය්‍යයෙහි යෙදෙන ලෙස ආරාධනය කළෝය. අපි ලංකාවාසී බෞද්ධ ජනයාගේ ධර්මඥානාභිවෘද්ධිය නිතර ම ප්‍රාර්ථනය කරමු. එබැවින් යථොක්ත ආරාධනය පිළිගෙන මේ කටයුත්තෙහි ව්‍යාපෘත වෙන්නට සිදුවිය. මෙහි අප විසින් ව්‍යවහාර භාෂාව සාමාන්‍යයෙන් දැන් සිංහලයන් අතරේ බෙහෙවින් ව්‍යවහාරවන භාෂාව ය. නමුත් වර්තමාන ව්‍යවහාරයෙහි බොහෝ සෙයින් දක්නට නොලැබෙන ඇතැම් පැරණි රීති ඇතැම් තැනෙක අප විසින් ද යොදන ලදී. අපේ මුළු උත්සාහය වූයේ යම්තම් සිංහල කියවන්නට හැකි සියලු දෙනාට ම තේරෙණ ලිහිල් බසින් ම මෙය සම්පාදනය කිරීමට ය. එහෙයින් ඒ පිළිබඳ ව අපි බොහෝ උත්සාහ කළෙමු. පෙළෙහි අතිශය වර්ණනයෙන් යුක්ත වූ ඇතැම් තැන් සිංහල කිරීමේ දී ඒ විස්තාර වර්ණනා අත්හැරදමා අදහස පමණක් දැක්වීමු. පෙළ පොතෙහි ආවා වූ ගාථා හා ඇතැම් දෙශනා පාඨ පොතේ ගෞරවය ආරක්ෂා වීම පිණිස එසේ ම යෙදීය.

අපේ මේ සත්කාර්ය්‍යයෙහි දී විද්‍යොදය පිරිවෙනේ ආචාර්ය්‍ය කුකුල්නාපේ ආභිධර්මික වාගීශ්වරාචාර්ය්‍ය ශ්‍රී දෙවරක්‍ඛිතාභිධාන ස්ථවිර පාදයන් වහන්සේගෙන් ද අවසාන ශොධ්‍ය පත්‍ර බලාදීම් ආදි වශයෙන් උපකාර ලැබුණු බැව් සන්තොෂතා පූර්වක ව සඳහන් කරමු.

නොයෙක් අනවකාශ කාරණයන් අතුරෙහි අපි ඉතා ඉක්මනින් මේ කටයුත්ත ද කෙළෙමු. පොතෙන් වැඩි කොටසක් මුද්‍රණය කරණ අතර ම පොර්මයෙන් පොර්මය ලියා යවන්නට සිදුවිය. ශොධ්‍ය පත්‍ර ද ඉක්මනින් කියවීමු. එහෙයින් අපේ අනවධානතාවයෙන් සිදුවූ වරද ද මුද්‍රණයෙන් පසුව අපට පෙනී ගියේය. ඒ දෙවන වර මුද්‍රණයෙහි ශුද්ධියට පමුණුවන්නට බලාපොරොත්තුවන්නෙමු.

මීට,
දෙහිගස්පේ පඤ්ඤාසාර.
පලන්නොරුවේ විමලධම්ම.