ධම්මචක්ක සූත්‍ර දේසනා - බුද්ධදාස මහත්මා.pdf

කතෘ :
ඒ. ඩී. එම්. බුද්ධදාස
ප්‍රකාශිත වර්ෂය :
1988
මුද්‍රිත වර්ෂය :
1988
පිටු ගණන :
452
බාගත කිරීම් ගණන :
2,228
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-04-14
ගොනුවේ ප්‍රමාණය :
20 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 227

ධම්මචක්ක සූත්‍ර දේසනා යනු ප්‍රවීණ ධර්ම කථිකයකු සහ අභිධර්මාචාර්යවරයකු වූ ඒ. ඩී. එම්. බුද්ධදාස මහතා විසින් පවත්වන ලද ධම්මචක්කප්පවත්තන සූත්‍රය පිළිබඳ ගැඹුරු සවිස්තර ධර්ම දේශනා මාලාවක ප්‍රතිලේඛනයකි. මෙම දේශනාව පටිගත කළ හඬපට ආශ්‍රයෙන් අකුරු කොට නුගේගොඩ බෞද්ධ කල්‍යාණ මිත්‍ර සංගමය මගින් 1988 වසරේදී මුද්‍රණය කරවා පළ කර ඇත.

මෙහි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ නිදාන කථාවේ සිට අන්ත දෙක (කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගය) සහ චතුරාර්ය සත්‍යය විවරණය කර ඇති අතර, විශේෂයෙන් මාර්ග සත්‍යය විග්‍රහයේදී ගැඹුරු අභිධර්ම හා විපස්සනා භාවනා ක්‍රමවේද (පූර්වභාගාවස්ථාව, තික්ඛ විපස්සනාව, මාර්ගාධිගමය ආදිය) පැහැදිලි කර දී ඇත.

මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපති අතිපූජ්‍ය මාතර ශ්‍රී ඤාණාරාම මහා ස්ථවිරයන් වහන්සේ විසින් මෙම කෘතිය සඳහා අගනා පෙරවදනක් සපයමින් බුද්ධදාස මහතාගේ ගැඹුරු ධර්ම ඥානය සහ දේශනා විලාශය අගය කර තිබේ.

ප්‍රකාශකයන්ගෙන්,

ධර්මය හැදෑරීමෙහි මෙන් ම කියාදීමෙහි ද දක්ෂ වූ ඒ. ඩී. එම්. බුද්ධදාස මහත්මා තරුණ වියෙහිදී ම දෙමටගොඩ විසුද්ධාරාමවාසී අතිගරු මාතර වෙහෙරගොඩ ඤාණවංස හිමිපාණන් වෙතින් අභිධර්මය ඉගෙනීම ඇරඹුවේය. ඉන්පසු ත්‍රිපිටක විද්‍යාලයාධිපති වූ ද විසුද්ධාරාමාධිපති ව වැඩ විසුවා වූ ද ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහානායක ධුරන්ධර අතිපූජ්‍ය දෙවිනුවර ඤාණාවාස හිමිපාණන් වෙතින් ද, පරමාර්ථ සභාවේ ආදි කර්තෲ අනගාරික බී. ආර්. ඩයස් මහතා සහ ත්‍රිපිටකාචාර්‍ය්‍ය ආර්ය්‍යරත්න රේරුකාන මහතා වෙතින් ද අභිධර්මය ගැඹුරට හැදෑරුවේ ය.

අගනුවර සද්ධර්‍ම ප්‍රචාරක සමිතියේ ලේකම් තනතුරට 1951 දී පත් වූ එතුමා එතැන්හී සිය ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹුවේ සතිපතා පැවැත් වූ දේශනාවලිනි. බුරුම රට රැන්ගුන්හී එක්සත් බුද්ධ සාසන මණ්ඩලය (UNION BUDDHA SASANA COUNCIL) වෙතින් පිරිනැමුණු අභිධර්මය පිළිබඳ ගෞරව උපාධිය ද විද්‍යොදය පිරිවෙනෙහි ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සභාවෙන් පිරිනැමුණු අභිධර්ම විශාරද උපාධිය ද ලැබූ එතුමා, 1954 වසරේ සිට නො කඩවා දිනපතා එක් ධර්ම දේශනාවක් බැගින්වත් පැවැත්වීය. පසළොස්වක පෝය දිනවල පැවැත්වූ දේශනා සංඛ්‍යාව අවම වශයෙන් පහක්වත් විය.

දෙමටගොඩ පරමාර්ථ ධර්ම සභාව, බම්බලපිටියේ වජිරාරාමය සහ මෙත්කාරාමය, මහරගම භික්ෂු මධ්‍යස්ථානය, පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානය, නුගේගොඩ සුභද්‍රාරාමය සහ සිරිධම්මාරාමය, දෙහිවල තරුණ බෞද්ධ සමිති ශාලාව, බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාව මෙන් ම නුගේගොඩ පිහිටි සිය නිවසේ දී දහස් ගණන් ගිහි පැවිදි ධර්ම කාමීහු එතුමාගේ දේශනාවලට සවන් දුන්හ. සිය ජීවිතයේ අවසාන කාලයේ දී මීතිරිගල නිස්සරණ වනවාසී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පටිගතකර ගැනීමෙහි අරමුණින් අභිධර්ම දේශන මාලාවක් සිය නිවසේ දී පැවැත්වීමෙහි ද ඉමහත් ඕනෑකමින් නිරත ව සිටියේ ය.

තිස් හය වසරක් පුරා එතුමා පැවැත් වූ දේශනා 12000කට අධික ය. එම හරබර දේශනා අතරින් හාර සියයක් පමණ වූ අතලොස්සක් සමහර ධර්ම කාමීන් විසින් පටිගත කරනු ලැබ තිබීම එතුමාගේ අභාවයෙන් පසුව ද අර්ථවත් ගැඹුරු ධර්ම දේශනා ඇසීමට ප්‍රියකරන අයගේ වාසනාවකි. ධර්ම ප්‍රචාරය මෙන් ම ප්‍රතිපත්ති පූරණය ද අගය කරමින් එතුමාගේ මඟ පෙන්වීමෙන් බිහිවුන නුගේගොඩ බෞද්ධ කල්‍යාණ මිත්‍ර සංගමය එම පටිගත ධර්ම දේශනා ආරක්ෂා කිරීම මහඟු වගකීමක් ලෙස සලකා ඒවා කැමති අයට පටිගත කරගැනීමට ඉඩකඩ සලසා ඇත. වැඩි පිරිසකට ප්‍රයෝජනවත් වන සේ එම දේශනා මුද්‍රණය කිරීමේ වැදගත්කම සලකා එම දේශනා පළ කිරීමට ද සංගමය අදහස් කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් “ධම්මචක්ක සූත්‍ර දෙසනා” නමැති මෙම පොත මුලින් ම පළ කෙරේ.

බුද්ධදාස මහත්මාගේ දේශනා මෙහි පළ වන්නේ ඒ දේශනා විලාශයෙන් ම ය. එබැවින් අසා සිටීමේ දී ලද රසය ම කියවන්නාට සමහරවිට නො ලැබෙන්නට ඉඩ ඇත. එහෙත් දේශනාවන්හි හරබර බවට කිසිදු අඩුවක් ඉන් සිදුව නැතැයි අපි සිතමු.

මෙහි පළ වෙන එක් එක් දේශනය පැයක පමණ කාලයක් පුරා පැවැත්වූවකි. සමහර අවස්ථාවලදී දේශනය පැයකට වඩා කෙරුණු බැවින් අවසාන කොටස පටිගත වී නැත. එවැනි අවස්ථාවල දී ඒ බව දැක්වීම සඳහා දේශනාව අවසානයෙහි තිත් පෙළක් යොදා ඇත.

මෙම පොත ප්‍රකාශනයට පත්වන්නේ බෞද්ධ කල්‍යාණ මිත්‍ර සංගමයේ සාමාජික පිරිසගෙන් ද වෙනත් හිතවතුන්ගෙන් ද ලැබුණු නො මසුරු ආධාරයෙනි. පොත විකුණා ලැබෙන ආදායමින් තවත් දේශනා මුද්‍රණය කරන බලාපොරොත්තු ඇති ව මෙහි මිල නියම කර ඇත. “දස පාරමිතා” පිළිබඳ ව පැවැත්වූණු දේශන මාලාවක් මීළඟට මුද්‍රණය කිරීම අපේ බලාපොරොත්තුවයි.

මීතිරිගල නිස්සරණ සේනාසනයෙහි ප්‍රධාන කම්මට්ඨානාචාර්ය අතිපූජ්‍ය මාතර ශ්‍රී ඤාණාරාම මහා ස්ථවිර පාදයන් වහන්සේ බුද්ධදාස මහතාගේ ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව විශාල ප්‍රසාදයක් දැක්වූහ. උන්වහන්සේගේ මග පෙන්වීම යටතේ මීතිරිගල ශ්‍රී ඤාණාරාම ධර්මායතනය පිහිටුවීමේහි ලා බුද්ධදාස මහතා ද ඉමහත් උනන්දුවකින් ක්‍රියා කළ අතර මෙම පොතට පෙර වදනක් සැපයීමට උන්වහන්සේට වඩා සුදුස්සෙක් නැතැයි අප සංගමය දැරූ අදහසට ගරු කරමින් අපගේ ඉල්ලීම කාරුණිකව ඉටුකළ මාතර ශ්‍රී ඤාණාරාම මාහිමි පාණන් වහන්සේට දිගාසිරි පතමින් අපගේ භක්ති පූර්වක ප්‍රණාමය පුද කරමු. පටිගත දේශනා යතුරින් අකුරු කළ මාලබේ බී. ජී. ධර්මසේන මහතාගේ උදාර සේවයට අපගේ ස්තූතිය පුද කරමු. මුද්‍රණය කොට දහම් රසය බෙදා දීමට ආධාර වූ සමයවර්ධන මුද්‍රණාලය හිමි ආරියදාස වීරමන් මහතාටද එහි සේවක පිරිසට ද අපගේ ස්තූතිය ප්‍රකාශ කරමු. මෙම කාර්යයෙහි දී සියළු කටයුතු සම්පාදනය කළ ධර්ම පුස්තක අනුකාරක කමිටුවට ද අපගේ ඉමහත් කෘතඥතාවය පුද කරමු.

සියල්ලන්ටම ධර්මාවබෝධය වේවා!

එස්. පී. විතානගේ – ගරු ලේකම්. නුගේගොඩ බෞද්ධ කල්‍යාණ මිත්‍ර සංගමය

2532 පොසොන් 1988 ජුනි

එස්. පී. විතානගේ – ගරු ලේකම්. / නුගේගොඩ බෞද්ධ කල්‍යාණ මිත්‍ර සංගමය / 2532 පොසොන් / 1988 ජුනි

පෙර වදන

බුද්ධදාස මහත්මායාගේ ධම්මචක්ක සූත්‍ර දෙසනා විස්තරය

අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට වැඩි තරම් වූ අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි බෝධි සම්භාර ධර්මයන් මුහුකරවමින්, රැස් කරමින් යම් උත්තමාර්ථයක් අපේක්ෂා කළ සේක්ද, ඒ උතුම් ලොව්තුරු අර්ථයට අමා මහ නිවන් දොර ඇරුණේ “ධම්මචක්කප්පවත්තන සූත්‍ර දෙශනා ධර්මය” මිහිරි සුවඳ විහිදෙන බුදුමුඛින් නිකුත් වී දෙව් මිනිසුන්ගේ සිත් තුළට කා වැදීමෙන් බව බෞද්ධ ලෝකයාට ප්‍රසිද්ධ කරුණකි. එසේ ම මේ සූත්‍ර රත්නය උද්ග්‍රහණ ධාරණාදියෙන් හා සජ්ඣායනයෙන් ද, මහත් ඵල මහානිසංසයන් අත්පත් වන හෙයින් අගය කීප අතකින් ලබාගත හැකි සැටි සලකා ගත හැකිය.

මේ සූත්‍ර දෙශනා සංඛ්‍යාත ධර්ම ප්‍රදේශයෙහි ඇතුළත් දහම, මිණිරුවන් තුළට සිත් සතන් මෙහෙයවන සැදැහැ නුවණ පිරි කාහට වුවත්, එය රත්නාකරයක්, මහමුහුදක්, මිණිරුවන් පිරි ගබඩාවක් සේ හැඟී යනවා ඇත. මේ සූත්‍රදේශනා මහමුහුදට සිත යෙදූ ධර්මසේනාපති සැරියුත් මාහිමිතුමන් ආදි පැරණි රහත් උතුමෝ මෙහි පත්ලට කිමිද නන් වැදෑරුම් අරුත් මිණිරුවන් මතුකරමින් ලොවට බෙදා දුන්හ. පසු කාලයෙහි වූ උතුමෝ ද තම තම නැණ පමණින් ඒ උතුම් දැහැමි ක්‍රියාවේ යෙදුණාහ. අභිධර්මාචාර්ය ධර්මදේශක ඒ. ඩී. එම්. බුද්ධදාස මහත්මා ද නිස්සරණ නිරාමිෂ අදහසින් පවිත්‍ර තම සිත් සතන් යොදා යෙදූ ඒ මාහැඟි වැඩපිළිවෙළටය. එනම් ධම්මචක්ක සූත්‍රය පිළිබඳ විස්තර දේශනාවක් තම පුරුදු ශ්‍රාවක පිරිසක් ඉදිරියෙහි කිරීමය. එය සාර්ථක ව සිදුවී තිබෙන සැටි මෙයින් අපට පැහැදිලි විය.

මේ පින්වත් ධර්මදේශක මහතා පර්‍ය්‍යාප්ති දේශනා මාර්ගය අපිරිසිදු ජීවන මාර්ගයක නො හෙලා දිවි ගෙවූ කීර්තිධර පූජ්‍ය භාෂාර්ථ දේශකයකු වශයෙන් බෞද්ධ ගිහි පැවිදි ජනතාව විසින් පිළිගනු ලැබුවේය. ස්වකීය ජීවන ප්‍රවෘත්තියත් දැහැමි පිළිවෙත් මගත් එකට සංකලනය වීමෙන් ලොවට බිහිවූ නිර්මිතියක් සේ දිස් වූයෙන් මේ මහතා විශේෂයෙන් ජනාදරයට පාත්‍ර වූයේය. තමා තේරුම් කරගත් බුද්ධ ශාසනික ගුණයන් අනුන් තුළ ද රෝපණය කිරීමට ගත් මහන්සිය නිසා බොහෝ දෙනා තම තමන්ගේ ජීවිත දුබලකම් මඟහරවාගෙන දැහැමි අතට හැරී ගිය සැටි ඒ ඒ පින්වතුන්ගෙන් බොහෝවිට ප්‍රකාශ විය.

බුද්ධදාස මහත්මාහට දේශකයකුහට අවශ්‍යයෙන් පිහිටියයුතු ගැඹුරු, එහෙත් මිහිරි වූ ස්වර සම්පත්තියක් (කටහඬක්) අයත්නයෙන් පිහිටා තිබුණේය. එසේ ම ධර්ම ශාස්ත්‍රයන්හිත් විවිධ සමාජ තත්වයන්හිත් හසළ බහුශ්‍රැත භාවයක් පැවැත්තේය. මේ ශක්ති හේතුවෙන් හෙතෙම තමා පවත්වාගෙන යන දේශනාව ගලා බස්නා ජලධාරාවක් සේ නො අඩුවත් සම්පූර්ණවත් පැහැදිලි ලෙසිනුත් පවත්වාලීමට සමත් වීහ. දවසකට දේශනා කීපයක් පැවැත්වීමෙනුදු වෙහෙසක් අරුචියක් නොදක්වා එහි යෙදුණේ ධර්මරසය භුක්තිවිඳීමේ හැකියාව තිබුණු හෙයිනැයි සලකමි. ඒ මාර්ගයෙන් ධර්ම දේශනාවේ යෙදෙන මේ පින්වතාගේ ප්‍රතිපත්ති මාර්ගයෙහි ප්‍රසන්නව අනුගමනය කළ පිරිස ද සුළු නොවීය.

මේ පින්වත් මහතා අභිධර්මාචාර්‍ය්‍යවරයකු වශයෙන් විශේෂ ප්‍රසිද්ධියක් ඉසිළුවත්, අභිධර්මයෙහි සේම සූත්‍ර–විනය දෙපිටකයෙහිද සෑහෙන ප්‍රමාණයේ දැනීමක් දැරුවේය. එහෙයින් ම අභිධර්ම පාඩමක් විස්තර කරදීමේදී ද සුදුසු අන්දමින් තැනට ගැළපෙනසේ සූත්‍රාන්තයෙන් ද කරුණු උපුටා ගෙන හැර දක්වමින් ප්‍රස්තුතාර්ථය පැහැදිලි කරයි. එසේ ම විනය සිකපද මතුකර දී ජනසමාජයෙන් ද තැනට ගැළපෙන සේ සිදුවීම් ඉදිරිපත්කොට ප්‍රධාන අදහස ස්ථිරව අසන්නන්ගේ සිත්හි තැන්පත් කරයි. එපමණක් නොව, ගැඹුරු න්‍යාය ශාස්ත්‍රීය පදනම අනුව ද විමසීමට සිත්සතන් යොමු කොට අසන්නන්ගේ දැනුම දියුණුවට පත් කෙරෙයි. මේ සෑම අවස්ථාවකදී ම ඒ මහතාගේ ප්‍රධාන අදහස වූයේ ධර්මයට අධර්මය මුහු නොකොට ධර්මය ධර්මයක් වශයෙන්ම ඉදිරිපත් කිරීමයි.

මේ සූත්‍ර දෙශනා විස්තර කථාව පවත්වන ලද්දේ සදහම් පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඇති උගත් පිරිසක් ඉදිරියේ ඔවුන්ගේ ද අදහස් විමසමින් බව අප විසින් විශේෂයෙන් සිතේ තබා ගතයුතුය. මෙහි ආරම්භය ඉතා පැහැදිලි අන්දමින් දීපංකර විවරණය ආදී වශයෙන් දැක්වෙන දූරේනිදාන–අවිදූරේ නිදානාදියෙන් සරසා ඇත. එය ග්‍රන්ථයක ප්‍රස්තාවනාවක් ලෙසින් සාරගර්භ ව තිබේ. තැනට සුදුසු අන්දමින් අදහස් මතුකර දීමේදී, මේ ධර්ම ප්‍රදේශයට සම්බන්ධය ඇති පාලි දෙශනා පාඨ, ගාථා හා අටුවා පාඨ සුදුසුසේ ඉදිරිපත් කරනලද්දේ නිරායාසයෙන් බව පැහැදිලි වෙයි. මීළඟට සූත්‍රයේ මුලින් දෙශනා වශයෙන් මතු වී ඇති කාමසුඛල්ලිකානුයෝගය හා අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙක සිත් කා වදින ලෙසින් කීප ආකාරයකින් අරුත් විවරණය කරන ලද්දේ අපේ ගිහි පැවිදි දෙපක්ෂයේ ම සිත් සතන් දහම් මඟ තුළට ඇද දමන ආකාරයෙන් යයි හැඟෙයි.

එයින් පසුව ලැබෙන චතුරාර්‍ය්‍ය සත්‍යය නම් සම්පූර්ණ බුද්ධශාසනයයි. සූත්‍ර දෙශනාවේ ද පිරිසිදු හරයයි. එයට සම්බන්ධ කරුණු කොටස් වශයෙන් ඇද දක්වමින් ඉතා පැහැදිලි අන්දමිනුත් අසන පිරිසේ සැක නොදැනුම් සිඳ බිඳ දමමිනුත් දහම් කරුණු වලින් සරසා යථාර්ථය මතුකොට දී ඇත. මේ චතුරාර්‍ය්‍ය සත්‍ය විස්තරයේ දී මාර්ග සත්‍ය විස්තරය සිත් ගත් පැති කීපයකින් පැහැසිය යුතු බව කිවයුතුය. මේ සත්‍ය විස්තර කිරීම සඳහා ඉදිරිපත් වූ මේ කෘතහස්ත චතුර ධර්මදේශක පින්වතා පරිණත විපස්සනා කම්මට්ඨානිකයකුගේ ලීලාවෙන් විපස්සනාවේ පූර්ව භාගාවස්ථාව, තික්ඛ විපස්සනාවස්ථාව, වුට්ඨානගාමිනී අවස්ථාව, මාර්ගාධිගමය, පච්චවෙක්ඛණය යනාදිය පැහැදිලි කර දෙමින් එහි යෙදුණු සැටි අපට පෙනෙයි.

මෙසේ මේ සූත්‍ර දෙශනා විස්තර කථාව දහම් දැනුම කැමැති සැදැහැවත් සුධීන් හට ධර්ම භාණ්ඩාගාරයක්සේ ද, භාවනාභිලාෂී පින්වතුන් හට භාවනා උපදේශ පන්තියක්සේද, ප්‍රයෝජන ගත හැකි වන බව සතුටින් ප්‍රකාශ කරමු.

මේ ධර්මදෙශනා විස්තර කථාව පිළිබඳව මෙසේ අදහස් දැක්වූයේ මා සදහම ප්‍රිය කරන හෙයිනි. මම සදහම ප්‍රිය කරමි. සදහම් දේශකයන් ද ප්‍රිය කරමි. ඔවුන් කෙරෙහි ඉසිමන් නොකරමි. සදහම් පිළිවෙතට ප්‍රිය කරමි. එයින් පල ලබාගෙන සැනසෙන උතුමන් කෙරෙහි මාගේ හද පිරි භක්ති පූජාව කරමි.

සතං සමාගමො හොතු.!

මා: ඤාණාරාම ථෙරො.

මීතිරිගල නිස්සරණවනය. 2531 1987 – දෙසැම්බර් 31.

මා: ඤාණාරාම ථෙරො. / මීතිරිගල නිස්සරණවනය. / 2531 / 1987 – දෙසැම්බර් 31.