විමුත්ති මග්ගො - මහාරිට්ඨ උපතිස්ස ථෙර.pdf

කතෘ :
මහාරිට්ඨ උපතිස්ස හිමි
ප්‍රකාශිත වර්ෂය :
1963
මුද්‍රිත වර්ෂය :
1963
පිටු ගණන :
205
බාගත කිරීම් ගණන :
1,559
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-04-07
ගොනුවේ ප්‍රමාණය :
47 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 103

විමුත්තිමග්ගො යනු මහාරිට්ඨ උපතිස්ස තෙරුන් වහන්සේ විසින් රචිත යැයි සැලකෙන අතිපැරණි බෞද්ධ භාවනා මාර්ග ග්‍රන්ථයකි. මෙහි විමුක්ති මාර්ගය විස්තර කෙරෙන අතර විසුද්ධිමාර්ගයට ද පූර්වයෙන් ලක්දිව බිහිවූ විශිෂ්ට කෘතියක් ලෙස සැලකේ. අස්ගිරි මහා විහාරීය ලේඛනාගාරයෙන් සොයාගන්නා ලද දුර්ලභ පුස්කොළ පිටපතක් ඇසුරින් මෙම පාලි සංස්කරණය සකසා ඇත.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්ථවිරයන් වහන්සේගේ පෙරවදනකින් සමන්විත මෙම කෘතියෙහි, පාලි විමුත්තිමග්ගය හා චීන භාෂාවට පරිවර්තනය වී තිබී පසුව ඉංග්‍රීසියට නඟන ලද විමුත්තිමග්ග සංස්කරණය අතර සැසඳීමක් මෙන්ම, පොතේ පරිච්ඡේද (කච්ඡ) පිළිබඳ සවිස්තර විවරණයක් ද ඇතුළත් වේ. ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව විස්තර කරන පරිච්ඡේද 13 කින් මෙම ග්‍රන්ථය සමන්විත ය.

මෙම මුද්‍රණය 1963 වර්ෂයේදී ලංකාණ්ඩුවේ මුද්‍රණාලය මඟින් මුද්‍රණය කර ප්‍රකාශයට පත් කර තිබේ.

පෙරවදන

කලකට පෙර නංජියෝ නම් ජපන් පඬිවරයා විසින් සැකැසුණු චීන බෞද්ධ ග්‍රන්ථ නාමාවලියෙක් පළ විය. එහි උපතිස්ස නම් රහතකු විසින් රචිත විමොක්ෂමාර්ගශාස්ත්‍ර නම් පොතෙක තතු සඳහන් විණ. එය ක්‍රි. ව. 505 පමණේ දී සංඝභද්‍ර නම් තෙර කෙනකුන් විසින් ලක්දිවින් චීන භාෂාවට නගා ගෙනයන ලද්දෙකි. මෙ පොත පිළිබඳ වඩාත් සවිස්තර නිබන්ධයෙක් ජපන් රටැ ටෝකියෝ නුවරු ඉම්පීරියල් විශ්වවිද්‍යාලයෙහි මහාචාර්ය ඇම්. නගයි මහතා විසින් එංගලන්තයේ පාලිපොත් සමාගමේ සඟරාවෙහි මෙයින් සුසැළිස් වසකට උඩ දී පළ කැරිණි. එහි යටකී පොතේ නම විමුත්තිමග්ග යැ යි සඳහන් විය. පාලිවිසුද්ධිමග්ගයත් විමුත්තිමග්ග චීන පරිවර්තනයත් දෙකෙහි සැසැඳි මෙක් එහි ඇතුළත් විය. විසුද්ධිමග්ගයේ ගුරුපොත විමුත්තිමග්ගය වී යැ යනු නගයි මහතා ගේ මතය ය. මෙයින් ටික කලකට පසු ආචාර්ය බපත් මහතා විසින් විසුද්ධිමග්ග විමුත්තිමග්ග දෙකේ සම විසම තැන් පිළිබඳ දීර්ඝ වාර්තාවෙක් පළ කැරිණ.

විසුද්ධිමග්ගටීකායෙහි ද විසුද්ධිමග්ගයට පැරැකුම්බා රජු ලියූ සන්නයෙහි ද මෙ විමුත්ති මග්ගය ගැන සඳහන් වේ. එබැවින් බුදුගොස් තෙරුනටත් පෙරැ ම ලක්දිවැ නිපැයුණු මෙ පැරැණි ධර්මසංග්‍රහය පිළිබඳ තතු සෙවීමේ බොහෝ දෙනෙක් උනන්දු වූහ. ලක්දිවැ තුබුණු මුල් පොත අභාවයට ගියේ වනැ යි ඒ කාගෙත් පිළිගැන්ම විය. මේ අතරැ වර්‍ෂ කිහිපයකට පෙරැ කොළඹ බම්බලපිටියේ වජිරාරාම වාසී සෝම ධම්මින්ද යන දෙ තෙරණුවෝ (පැවිදි වන්නට පෙර) ජපන් රට ගොස් 1936 වස තුළ දී හෙ දන්සු දෙ රොං (විමුත්තිමග්ග) නම් පොත ජපන් ඇදුරන්හු ගේ සහායත්වය ද ලබා ඉංගිරිසියට නැඟූහ. මෙය නොබෝදා (1961 වන්නෙහි) ලක්දිව මුද්‍රිත විය.

මෙය මුලදී හෙළ අටුවා සෙයින් හෙළ බසින් ම රැස්වුණෙකැ යි අප අදහස විය. මේ බව බලපිටියේ පණ්ඩිත විඥානාලෝක මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සිංහලයට නගා පළ කැරුවුණු විසුද්ධිමග්ගයේ තෙවෙනි කාණ්ඩයේ මුලට යොදන ලද අපේ ප්‍රස්තාවනයෙහි දක්වා ඇත. එහෙත් ඒ අදහස මදක් වෙනස් කරන්නට අපට සිදුවිය. එයට කරුණු වූයේ පාලි විමුත්තිමග්ගය දක්නට ලැබීම ය. මේ දුර්ලභ ග්‍රන්ථය ලක්දිවැ මැ කොහේ හෝ ඇතැ යි සැලකූ අස්ගිරි වෙහෙරවැසි ගල්කැටියාගම සිරි රතනජෝති, කරල්ලියැද්දේ සිරි රතනපාල යන දෙමහතෙරණුවෝ මහදුත්සාහයෙන් මෙය සොයාගත්හ. සිය වස් ගණනක් ම ගුප්ත වැ රැඳුණු මේ පැරැණි මහඟු පොත දැන් එළි දකී. මෙය සම්බන්ධ සියලු තොරතුරු උන් වහන්සේ ගේ පූර්විකාවෙහි දැක්වෙයි.

මේ පාලි විමුත්තිමග්ගය හා චීන බසින් ඉංගිරිසියට නගා පළ කොට ඇති විමුත්තිමග්ගය සසඳා බැලීමේ දී, චීන පරිවර්තනය මේ පාලි විමුත්තිමග්ගයේ ම ද? නැත හොත් මෙයට ලියන ලද සවිස්තර සිංහල ව්‍යාඛ්‍යානයෙක දැ? යි විමතියෙක් උපදී. පහත පළ වන සංසන්දනය මැදහත් වැ සලකා බලන්නකුට මේ පිළිබඳ නිගමනයකට බසිනු අසීරු නොවේ යැ යි සිතමු. පහත දැක්වෙනුයේ ලේශමාත්‍ර සැසැඳීමෙකි.

පාලිපොතෙහි පරිච්ඡේද තෙළෙසෙකි. පඨමො නිදාන කච්ඡො දුතියො සීලකච්ඡො යන ආදි විසින් හැම පරිච්ඡේදයක් ම කච්ඡ නාමයෙන් හැඳින්වේ. චීන පොතෙහිත් කච්ඡ තෙළෙසෙකි. එහෙත් පාලි පොතේ එන දොළොස්වන තෙළෙස්වන කච්ඡ දෙක ම චීනපොතෙහි දොළොස්වන පරිච්ඡේදය සේ ගෙන ප්‍රථම භාග ද්වීතිය භාග විසින් දෙකකට බෙදා ඇත. තව ද පාලි පොතේ අගට උද්ධෘත ගාථා තුන්දහස් අටසිය අටොළොසෙකැ යි

“ අට්ඨාදසහි ගාථාහි තිසහස්සට්ඨසතෙහි ච දෙසෙත්වා නිට්ඨිතං එතං විමුත්තිමග්ගදෙසනං ”

යන්නෙන් හැඟැවේ. එහෙත් චීන පොතේ ඉංග්ලිසි පරිවර්තනයෙහි ඇතුළු ඒ කිසිත් නො දැක්වේ. එහි දොළොස්වන පරිච්ඡේදයේ දෙවෙනි කොටස අගට ගාථා කිහිපයෙක් සඳහන්වේ. චීන භාෂාවට නැඟුණ පොතට ඒ ගාථා නොගෙන හැර දමන ලද්දේ කවර හෙයින්ද?

සංසන්දනය පඨමකච්ඡය පාලි පොත: ‘ සීලං සමාධි පඤ්ඤා ච ’ යන ගායින් ඇරැඹෙයි. සීල සමාධි පඤ්ඤා විමුත්ති යන සතර සැකෙවින් දැක්විණ. මුද්‍රිත පාලිපොතේ පේලි එක හමාරෙකි. චීන පොත*: ‘සීලං සමාධි පඤ්ඤා ච’ යන ආදි ගයේ අදහස ම මුලට ඇත. චීන පොතේ මෙ කොටස ලොකු පිටු සතරකට ද මදක් වැඩි වේ.

දුතිය සීලකච්ඡය ‘ කිං සීලං ? කිං සීලස්ස ලක්ඛණං ? ආදි ප්‍රශ්න තුනක් ඉදිරිපත් කොට ඒ විසැඳෙයි. පේලි 89 කින් පමණ පරිමිත ය. මෙ පරිච්ඡේදය සිල් නම් කවරැ ? යන ආදි ප්‍රශ්න විසැඳීම විසින් ලොකු පිටු පස් විස්සෙකින් පරිමිත ය.

තතිය ධුතඞ්ගකච්ඡය චීවරපටිසංයුත්ත ධුතංග දෙකෙක, පිණ්ඩපාත පටිසංයුත්ත ධුතංග පසෙක, සෙනාසනපටිසංයුත්ත ධුතංග පසෙක, විරිය පටිසංයුත්ත ධුතංග එකෙකැ යි සැකෙවින් දක්වා ඉක්බිති පංසු කූලිකාඞ්ගය පටන් කොට සියලු ධුතඞ්ග විස්තර කැරෙයි. පේලි එක් සැත්තෑවක් පමණ ය. ධුතඞ්ග විස්තරය පාලිපොතේ එන පමණට වඩා මහති. ලොකු පිටු දොළොසෙකින් පරිමිත ය.

චතුත්ථ සමාධිකච්ඡය කො සමාධි ආදි ප්‍රශ්න වැලෙකින් සමාධි කථාව ඇරැඹෙයි. සියල්ල පේලි එක් පණසක් පමණි. පාලිපොතට බෙහෙවින් සමාන ය. එහෙත් කිසි තැනෙක පාලි පොතට වඩා සවිස්තර ය. ලොකු පිටු අටෙකුත් සවලසෙකි.

පඤ්චම කච්ඡය (කල්‍යාණමිත්‍ර සම්පාදනය) කල්‍යාණමිතුරාගේ සැටි පේලි සයකින් දැක්වේ. මෙහි කල්‍යාණමිත්‍ර ලක්‍ෂණ විභාගය ලොකු පිටු සයෙකින් පරිමිත ය. පාලිපොතේ නැති ගාථා කිහිපයෙක පරිවර්තන ද අඩංගු ය.

* මෙහි චීනපොත යනු චීන පොතෙන් ඉංග්ලිසියට නගා පළ කැරුණු සෝම ධම්මින්ද දෙ තෙරුන්ගේ ඉංග්ලිසි පරිවර්තනය ය.

ඡට්ඨ කච්ඡය (චරියා විභාගය) චරියා තුනෙසක් තරමක් දුරට වැණෙයි. පේලි එකුන් විස්සෙකි. පාලිපොතේ එන පිළිවෙළ ම ය. එහෙත් එයට වඩා සවිස්තර ය. පුරා ලොකු පිටු අටෙකි.

සත්තම කච්ඡය (කම්මට්ඨාන විභාගය) අටතිස් කමටහන් සැකෙවින් එයි. පේලි සතොළොසෙකි. පාලිපොතේ එන පිළිවෙළ ම වූව ද එයට වඩා විස්තර සහිත ය. ලොකු පිටු හතහමාරෙකි.

අට්ඨම කච්ඡය (පඨම භාගය) පඨවිකසිණයේ ලක්ඛණ රසාදිය ද, පඨවි කසිණයේ ප්‍රභේද සතර ද, එය වඩන සැටි ද යන ආදි විසින් දහන් වැඩීම දැක්වේ. පේලි 26කි. ලොකු පිටු 15කි. පාලි පොතට වඩා බොහෝ විස්තර එයි.

අට්ඨම කච්ඡය (දුතිය භාගය) විච්ඡිද්දකතාය පටන් කොට නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය තෙක් ධ්‍යාන කථාව දක්වෙයි. අගට එහි ම ප්‍රකීර්ණක කථාව ද වෙයි. ලොකු පිටු එකහමාරෙකි. පාලිපොතේ එන දූ ම විස්තරයෙන් එයි. ලොකු පිටු 30ක් පමණි.

අට්ඨම කච්ඡය (තතිය භාගය) ආපෝ තේජෝ වායු කසිණ ද, දස අසුභ ද, දස අනුස්සති ද පිටු එකහමාරෙකින් පමණ විස්තර වෙයි. පාලි පොතේ එන දූ ම ලොකු පිටු 26කින් පමණ විස්තර කැරේ.

අට්ඨම කච්ඡය (චතුත්ථ භාගය) ආනාපානසති මරණසති කායගතාසති උපසමානුස්සති අප්පමඤ්ඤා ධාතුමනසිකාර ආහාරෙ පටික්කූල සඤ්ඤා ආරූප්‍යසමාපත්ති යන මොහු විස්කෘත හ. ලොකු පිටු සතෙකි. ලොකු පිටු 24කි. අට්ඨම කච්ඡයේ පස්වන කොටසෙක් ද වේ. එහි අප්පමඤ්ඤා විභාගය එයි.

නවම කච්ඡය පංචාභිඥා වැඩීම විස්තර වෙයි. ලොකු පිටු දෙකෙකි. පිටු 18ක් තරම වේ. අභිඥා වැඩීම විස්තර වෙයි.

දසම කච්ඡය ප්‍රඥාභාවනා විභාගය වේ. පිටකට මඳක් අඩුය. පිටු 26කි.

එකාදසම කච්ඡය (පඨමභාගය) ඛන්ධාදි උපාය පස පිළිබඳ විස්තරය පිටු පසක් පමණවේ. පිටු 12ක් පමණ ය. පාලිපොතට බොහෝ සමාන ය.

එකාදසම කච්ඡය (දුතිය භාගය) සත්‍ය විභාගය වේ. පිටු දෙකෙකි. සත්‍ය විභාගය පිටු එකොළොසක් පමණ ය. පාලි පොතට වඩා සවිස්තර ය.

ද්වාදසමකච්ඡය විසුද්ධි විභාගය දෙපිටෙකි. ද්වාදසමකච්ඡය (පඨම භාගය): විසුද්ධි විභාගය වේ. පිටු 15කි.

තෙරසම නිබ්බාණකච්ඡය පිටු සතරෙකි. ද්වාදසම කච්ඡය (දුතිය භාගය): මෙහි අගට ගාථා පෙළෙකි. පිටු 23ක් පමණ ය.

මෙසේ පොත් දෙක සසඳා බැලීමේදී පාලිපොත සංක්ෂිප්ත බවත් චීන පොත විස්තෘත බවත් පෙනේ. කෙළින් ම පාලිපොතෙන් චීන බසට නගන ලද නම් චීන පොත මෙ තරම් ලොකු විය නො හැක්ක. මේ දැනට සම්බ වී තිබෙන පාලි පොත මුල් ම විමුත්තිමග්ගය වී නම්, චීන භාෂාවට නගා ඇත්තේ ඒ මුල් පොතට ම කරන ලද විස්තරයෙකි. එය විමුත්තිමග්ගයට කරන ලද පැරැණි සිංහල ව්‍යාඛ්‍යානයක් වියැ යුතු ය. නො එසේ වැ පැරැණිතම විමුත්තිමග්ගය (චීනයට පෙරළීමට ගත් පොත) හෙළ බසින් තුබුණෙක් වී නම් දැන් ලැබී ඇති පාලි විමුත්තිමග්ගය ඒ පැරැණි සිංහල විමුත්තිමග්ගය සැකෙවින් පාලියට නගා සැකැසුණක් විය යුතු.

විසුද්ධිමග්ගයේ චරියාවිභාගයේ ඒකච්චවාදයෙක් දැක්වේ. ‘ඇතැම්හු මෙසේ කියත්’ යි දැක්වුණේ උපතිස්ස තෙරුන් පැ මතයක් ගැනැ යැ යි ටීකාකාරයෝ සඳහන් කරති: “ ඒකච්චෙ ’ති උපතිස්සත්ථෙරං සන්ධාය ආහ. තෙන හි විමුත්තිමග්ගෙ තථා වුත්තං ” යනු ටීකා පාඨය යි. විසුද්ධිමග්ග සන්නයේ ද මේ පාඨය දැක්වේ.

පැරැණි සවිස්තර විමුත්තිමග්ගයේ සංක්ෂිප්ත පාලිපරිවර්තනය හැටියට හෝ පසු ව පහළ වූ සවිස්තර සිංහල විමුත්තිමග්ගයේ මුල් පොත හැටියට හෝ, මේ කවර සැටියෙන් වුව ද බොහෝ පෙරැ බුදුගොස් මහතෙරුන් මෙහි එන්නට ද පෙරැ වූ විමුත්තිමග්ගය දැන් ලැබී ඇත. විසුද්ධිමග්ගය හා සසඳා බැලීමේ දී කිසිසේත් විමුත්තිමග්ගය ගුරුපොත කොට ගෙන විසුද්ධිමග්ගය රචැසුණැ යි කිව නොහැක්ක. එක ම ධර්මසංග්‍රහයෙක් අනුගමනය කරන්නවුන් දෙදෙනකුන් එක ම අටුවා ඇසුරෙන් රැස්කළ දෙපොතෙකැ කරුණු සමාන ව එනු ආශ්චර්යය නො වේ. එය එකෙකින් අනෙක පිටපත් කිරීම නො වේ. දෙක ම එක් අටුවා ඇසුරෙන් කිරීම ය. නිබන්ධනය දික් වන බැවින් මෙ පමණින් නවතිමු. මේ පැරැණිතම දුර්ලභ ග්‍රන්ථය මහාප්‍රයත්නයෙන් සොයා ඉදිරිපත් කළ අස්ගිරි වෙහෙරැ වැසි ගල්කැටියාගම සිරි රතනජෝති මහතෙරණුවනටත් කරල්ලියැද්දේ සිරි රතනපාල මහතෙරණුවනටත් සියලු බෞද්ධ ලෝකයාගේ සාදර ගෞරව ස්තුතිය පිරිනැමෙනු ඇතැ යි සිතමු.

තව ද මෙහි අගට තිබෙන ‘විමුත්තිමග්ගො උද්දානං’ යන්න යටතේ ඇති ගාථා රාශිය පාලි විමුත්තිමග්ගයට අයත් නො වේ යැයි හැඟේ. බඹරගලේ පොත නමින් හැඳින්වෙන විදර්ශනා පොත අගට ‘ජාලො මහාජාලො—පෙ—ධාරණී’ති ධාරණි මන්ත්‍රයෙක් එයි. මෙයිනුත් මුල පටන් කොට ම පොතෙහි එන භාවනා-ක්‍රමයෙනුත් මෙය මන්ත්‍රයානය ද ඇසුරෙන් ලක්දිවැ ඇති වූ ක්‍රමයෙකැයි හැඟේ. විමැසියැ යුතු.

මෙයට, බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්ථවිර විද්‍යොදය විශ්ව විද්‍යාලය, ගංගොඩවිල, 31.10.63.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්ථවිර, විද්‍යොදය විශ්ව විද්‍යාලය, ගංගොඩවිල, 31.10.63.

විඥාපනය

සසර දුකින් මිදීම විමුත්ති යයි. පස් වැදෑරුම් විමුක්තිය ලැබ ගන්නා පිළිවෙත විමුත්ති මාර්ගය නම් වේ.—මෙහි මිදීමේ උපදෙශය දක්වන ග්‍රන්ථරත්නය ද විමුත්ති මග්ග නම් වේ.—ලක්දිව සම්බුදු සසුන පිහිටි ලඟදීම නිපැයුනු මේ අති ශ්‍රෙෂ්ඨ ග්‍රන්ථ රත්නය පිළිබඳව අස්ගිරි තල්පොත ආදී ඉපැරණි ලිපි අනුසාරයෙන් හා ආචාර්‍ය්‍ය පරම්පරාගත කථානු සාරයෙන් ද, කර්තෘ කාලාදිය නිගමනය කට හැකිව තිබෙන්නේ මෙසේය :—

ශ්‍රී ලංකාද්වීපයේ ශ්‍රී සම්බුද්ධ ශාසනය පිහිටීමෙන් පළමු වන සිංහල මහරහතුන් වහන්සේ වූ දෙවන පෑතිස් මහීපාලයාණන්ගේ භාගිනෙය්‍ය වූ මහාරිට්ඨ උපතිස්ස මහතෙර මාහිමියන් වහන්සේ ස්වීයාවාසී දිපප්පාසාදක මහා මහින්ද මාහිමියන් වහන්සේගෙන් ලැබුනු උපදෙස් සටහන් කරගැනීමේ වශයෙන් මේ උතුම් ගන්රුවන සපයා වදාළ සේක. විසුද්ධි මාර්ගයට බොහෝ පැරණි වූ විමොක්‍ෂ මාර්ගය වන මේ පොත් වහන්සේ එකල පැවති හෙළ බසින් රචිත ව තිබී හෙළ අටුවා පාළි භාෂාවට පරිවර්තනය වණු සමග පාළියට නැගුණේ විය. පාළි භාෂාවට නැගුන පසු සිංහල අටුවා ග්‍රන්ථයන්ට පැමිණි දුර්භාග්‍යය මේ විමුත්ති මග්ග නම් කමටහන් සංග්‍රහයටත් පැමිණි බව සිතිය හැක. එසේ හෙළ බසින් නිපැයුන ගන්රුවන අදෘශ්‍යමානත්වයට පැමිණිය ද පෙළ බසින් වූ විමුත්ති මග්ගය මහා විහාරවාසී මහ තෙරුන් වහන්සේලා කට පාඩමින් ගෝල පරපුරෙන් පරපුරට ආරක්‍ෂා කරගත් සේක. මහා විහාරස්ථානයාගේ ආරම්භයට ආසන්නයේ දී ම නිපැයුනු මේ ග්‍රන්ථ රත්නය අවුරුදු දෙසිය අටළොස (218ක්) මුඛපාල්‍ය වශයෙන් රැකගන්නා අතර මිහිඳු මාහිමියන් වහන්සේගේත් මේ ග්‍රන්ථ කර්තෘ භදන්තාරහන්තමහාරිට්ඨ උපතිස්ස මාහිමියන් වහන්සේගේත් ප්‍රශිෂ්‍යරත්නයක් වූ “කුන්තගත්ත තිස්ස” නම් රහත් මහතෙරුන් වහන්සේ අනුරාධපුර ථූපාරාම මහා විහාරයේ ගණ දෙටුව වැඩ විසූ සේක.

විනයධරාග්‍ර උපාලි මහරහතන් වහන්සේගේ පටන් ශිෂ්‍යානුශිෂ්‍ය පරවංශයේ මුන්වහන්සේ සත්තිස් (37) වැන්නා වූ සේක. බුද්ධ වර්ෂ හාරසිය සුපණස (454) පමණේදී මාතලේ අළුලෙන් විහාරස්ථානයේදී පැවැත්වුණු ග්‍රන්ථාරෝපන සංගායනාවේ මුලසුන හොබවා වදාළෝ මුන්වහන්සේ ම ය. සම්බුද්ධ ධර්මාණ කාලයේ පටන් මුඛපාඨ වශයෙන් රැකගත් අටුවා සහිත ත්‍රිපිටක පාළිය එහිදී ග්‍රන්ථාරූඪකර සතර වැනි මහා සංගායනාව නිමවා මුන්වහන්සේ දිඹුලාගල කන්ද වෙත වැඩම වූ සේක. ග්‍රන්ථාරූඪ වූ ත්‍රිපිටක ධර්මය සමග මේ පොත් වහන්සේගේ ද පිටපත් ථෙරවාද බුද්ධාගම පවත්නා අන් රටවලට ද ගෙණ යන ලද්දේ ඉන්පසුවය. මුන්වහන්සේ එසේ දිඹුලාගල පව්වට වැඩමවා ගල්ලෙනක වැඩසිටි බැවින් උදුම්බරගිරී ආරණ්‍ය සේනාසනය ඇති වූයේය. හස්ත්‍යාසාර වස්තුවක් වූ මේ විමුත්ති මග්ග නම් විමොක්‍ෂමාර්ගොපදේශය ද උන්වහන්සේ සමග දිඹුලාගල තපෝ වනයට පැමිණියේ, එහි වැසි තපෝධනීන් වහන්සේලාගේ උද්ග්‍රහණධාරණය කරණ උතුම් රත්නයක් සේ අතිව්‍යාප්ති විෂයත්ව පැවතුනේය.

මහ විහාරයෙන් දිඹුලාගලට

දෙවන පෑතිස් මනුරජෙයුන් විසින් මහාමෙඝවනෙ මහරහතුන් වහන්සේ සඳහා කරවා පිළිගන්වන ලද සෙනසුන මහාවිහාරය නමින් ම ප්‍රකට විය. එකී මහ විහාරය ආරම්භයේ පටන් අවුරුදු දෙසිය අටළොසක් ඉක්මුණු පසු මිහිඳු මාහිමියන්ගේ ශිෂ්‍ය පරපුරට අයත් කුන්ත ගත්ත තිස්ස මහරහතුන් වහන්සේ මහා විහාර ථූපාරාමයෙහි ගණ දෙටුව වැඩ සිටි බව පෙනේ.

විනයධරාග්‍ර උපාලි මහරහතුන් වහන්සේගේ පටන් ස්ථිර පරම්පරා වශයෙන් සත්තිස් වැන්නා වූ මුන්වහන්සේගෙන් බු.ව. 454 ඉක්මුණු කල මේ දිඹුලාගල ආරණ්‍ය වාසය සැකසුනේ යයි කල්පනා කටහැකි වේ. මෙතරම් කලක් ආයු විඥානය කළ නිකෙලෙස් ආර්‍ය්‍යයන්ට වාසස්ථානය වූ මේ උතුම් සෙනසුන ගැනැ යථාතථ්‍ය “වූ” සැටි විදහා පෑම එතරම් පහසු නොවන බව නැණැතියෝ දනිති. එහෙත් අපට සපයා ගත හැකි තරමින් කරුණු ටිකක් පළකරණ අපි උණපූරණය උගතුන්ට පවරා තබමු.

දිඹුලාගල වනාහි පොළොන්නරුවේ සිට සැතපුම් පසළොසක් පමණ දුරින් මඩකලපුව දෙසින් සමතලා බිම් පෙදෙසක පිහිටි දර්ශනීය කඳු ගැටයකි. මුහුදුමට්ටමේ සිට අඩි 1,700 ක් පමණ උස කන්දකි. පොළොන්නරුවේ සිට මඩකලපුව දෙසට යන්නෙකුට මනම් පිටිය නම් කඩපලින් හැරී ගොඩ අතට සැතපුම් තුන හතරක් යන විට මේ ඓතිහාසික කඳු වැටිය දැක්ක හැකි වෙයි. රථවාහණයකින් යාමට තරම් එහි මාර්ගය තවම දියුණු නැතිකම පාඩුවකි.

අපරට ඉතිහාසයේ මුල් කාලයේ පටන්ම මේ පව්ව ගැනැ සඳහන් වාර එමටය. මහාවංශයේ පණ්ඩුකාභය කුමරු පිළිබඳ කථා ප්‍රවෘත්තියෙහි සඳහන් වන “ ධූමරක්ඛ පබ්බත ”—‘දුම්රක් ගල—මෙයයි. එහිම සඳහන් තුම්බරියබිඳුණ විල ද මෙහි නැගෙන කෙණෙකුට පසෙකින් දකින්ට ලැබේ.

මේ පර්‍වතය අසල ගස්වැල් නැති තැනි තලා බිම් පෙදෙස දකුම් කළුය. මහාවංශයේ කී ධූමරක්ඛ පබ්බත ශබ්දය එහි ටීකාවෙහි ධූමරක්ඛග යන පදය උදුම්බර පබ්බත කියා තේරුම් කිරීමෙන් හැඟෙන්නේ දුරාතීතයේ දුම්රක් ගල යයි කිවු නමුත් ටීකාව ලියූ කාලයේ දී උදුම්බර ගිරි (දිඹුලාගල) නමින් තිබුන බවයි. දෙවන පෑතිස් මහරජු දවස ලක්දිව සෙනසුනක් පාසාම වෙහෙර විහාර කරවූ බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ව ඇත්තේය. එසේ බු.ව. 236ටත් 276ටත් අතර කාලයෙහි මෙ සෙනසුන ආරම්භ වී යයි කල්පනා කරණු ලැබේ. සාධකයක් නම්—මේ දෙවන පෑතිස් මහරජු විසින් සිව් දිගින් වඩින මහ සංඝයා වහන්සේගේ ප්‍රයෝජනය සඳහා කරවා පූජා කළ ගල්ලෙන් විහාර අතුරෙන් දඹුළු ලෙන ද එකක් බව එහි ශිලා ලිපියක සඳහන් වේ. එහෙත් වළගම් අබා රජු දවස වන විට යථෝක්ත දඹුළු ලෙණ වන සතුන් ගේ ලැගුම් ගෙය බවට පත්ව තිබුණේය. එලෙසින් දෙවන පෑතිස් රජතුමන් විසින් ම කරවන ලද නමුත් දිඹුලාගලට ද සිදුවී ඇත්තේ එවැන්නක් ම බව මේ අනුව පිළිගත යුතුව තිබේ.

බුදු වසින් අවුරුදු 454ක් ඉක්මුණු කල මාතලේ අළුලෙන් විහාරයේ දී ත්‍රිපිටක ධර්මය සංගායනා කොට ග්‍රන්ථාරූඪ කිරීමට රැස්වූ පය්‍යාප්තිධර පන්සියයක් පමණ ක්ෂීණාශ්‍රවයන් වහන්සේ අතුරෙන් ප්‍රමුඛස්ථානය ගත් මුළු නුවර මහ විහාරය බද ථූපාරාම වාසි යට කී කුනත ගත්ත තිස්ස මහරහතුන් වහන්සේ සංගායනා කටයුතු නිම වූ පසු එයින් නික්ම දිඹුලාගලට වැඩමවා එක් ගල් ගුහාවක සමවත් සුවයෙන් කල්යැවූ සේක.

එපවත් ඇසූ වළගම් අබා රජු සිව්වරඟ සෙන් පිරිවරා එහි පැමිණ තෙරණුවන් වැඳ සමු ගෙණ වන ගතව තිබුණු එම ස්ථානය එළිපෙහෙලි කරවා ඒ ගිරි ලෙණ ඇතුළු ගල්ගුහාවල කටාරම් කොටවා පිරිවෙන් (භාවනාගර) සහිත ආරණ්‍ය සෙනසුනක් කරවා එහි වසන බුද්ධ පුත්‍රයන් වහන්සේගේ සිව්පසය පිණිස ගම් කෙත් ආදිය සහිත පරිවාර ජනයන් පූජා කළ බව අස්ගිරි තල් පොතෙහි සඳහන් ව ඇත්තේය.

ඉන්පසු උන්වහන්සේගේ ශාසන බැඳූ පරම්පරා යතන මලියදෙව මහරහතුන් වහන්සේ ද එකී වැඳුම්බි නම් ගල්ලෙණෙහි වැඩ විසූ බව රසවාහිණියෙහි හා සද්ධර්මා ලංකාරයෙහි මෙසවෙන් වස්තු වෙහි දැක්වේ. මෙසේ පුනරාරබ්ධව දියුණු තියුණු වෙමින් පැවති මේ දිඹුලාගල අරණ්‍යය ද, බු.ව. 1555 සිට 1593 දක්වාවූ අටතිස් වස තුළ පැවති සතුරු ආක්‍රමනවලින් ද, බු.ව. 1593 සිට 1609 දක්වා රට නිදහස් කරගැනීම සඳහා සිංහලයන් යෙදූ ඇතැම් යුද්ධොපක්‍රම වලින් ද සෙසු ලක් වැසි ගිහි පැවිදි ජනතාව මෙන්ම මෙද ඒ සියලු ආක්‍රමණයන්ට ලක්වී යයි අසනු ලැබේ.

එබැවින් එවැනි අවස්ථාවල දිඹුලාගල විසූ භික්‍ෂූහුද වන ගිරිදුර්ගාදිය හා විදෙශයන්ගේ ද පිහිට සෙවූ බව සිතිය යුතුය. කෙසේ හෝ සතුරන් පරදවා ජය ගෙණ බු.ව. 1609 දී රජ පැමිණි I විජයබාහු රජතුමා රාමඤ්ඤ රටට ගොස් සිටි මහ සංඝයා ගෙන්වා ගෙණ කලක් අතපසුවී තිබුණු භික්‍ෂු උපසම්පදා කර්මය කරවූ තැන් පටන් ලක්දිව සෙසු සිද්ධස්ථාන මෙන්ම දිඹුලාගල අරණ්‍ය සෙනසුන ද දියුණු වෙන්ට පටන්ගත් බව පෙනේ. ඉන්පසු I විජයබාහු රජුගේ පුත්‍ර I වික්‍රමබාහු රාජ මහේෂිකාව වූ ද ජයබාහු රාජ මාතා වූ ද සුන්දර මහදේවීන් විසින් ස්වකීය පුත්‍ර ජයබාහු රජු දවස පන් සියක් මහ සංඝයාට නිවාස වූ මේ විහාරයෙහි සඳ මහ ලෙණේ සිට ගිරි ලෙණට යාම පිණිස ගල්පඩි කැපීම වීම හා පිළිම දඟබ් මහබෝ පිහිටුවා මේ සිද්ධ ස්ථානයෙහි කටයුතු රාශියක් කරවූ බවද අමුතුව කර වූ ලෙණට කලිඟු ලෙණ ය යි නම් තැබූ බවද එහි තිබෙන ශිලා ලිපියෙහි සඳහන් වේ.

ඒ ශිලා ලෙඛනය

ඔකාවස් රජකුලෙන් නිපන් සුදොනා පරපුරෙනා හිරුගොත් කුලෙන් අභිනන වූ රුසිරින් සිරි දිනු දෙබුටුණු මැද උපන් වික්‍රමබා නිරිඳුහට අග මෙහෙසුන් වැ ගර්භා දෙවයන් වැදූ සුන්දර මහදේවීන් වහන්සේ පන් සියයක් මහ සඟනට ආවාස වූ අප මුනි රජහු සිරුරු දූ පිහිටි දිඹුලාගලා සඳමහ ලෙණින් ගිරිමහ ලෙණ දෙ අතුරෙන් මහ දුණු එව් දම් එලි යන මිනිසුන්ගේ දුක බලා ගල් හස්වා මහ පවත්කොට ලෙණැ පිළිම දඟබ් මහබෝ පිහිටි වා කලිඟු ලෙණ යැය් නම් තබා ජයබාහු වත් හිමියන් වහන්සේ සත් විසි වන හවුරුදු පොසොනැපුර පොහොයැ දෙමළ පැය සිරි කුශලන් කරවා තවත් පුදනු කොට ලොව පවත්නා තාක් කලට දුන් බවට සුන්දර දේවීහු. යනුයි.

බු.ව. 1703 දී රජ පැමිණි I පරාක්‍රමබාහු ලංකාධිරාජ්‍යාණන් දවස මහා විහාරීය සුපෙසල ශික්‍ෂාකාමී මහා ප්‍රාඥයන් වහන්සේලා වැඩ සිටියේ ද මේ ස්ථාන යෙහි ය. එහෙයින් මහ පැරකුම්බා අධිරාජයා විසින් කරවූ ශාසන ගොඩනැගෙහි ප්‍රමුඛස්ථානය එකල එහි වැඩසිටි යටකී කුනත ගත්ත තිස්ස රහත් මහතෙර පරපුරෙන් පැවත ආ මහා කස්සප මහා ස්ථවිරයන් වහන්සේට ලැබුණේය. ඒ ශාසන ගොඩනැගෙයන් පසුව මහ රජු විසින් මුන්වහන්සේ මුල්ව කතිකා වතක් ද සම්මත කරවූ බව පැහැදිලිය.

මහ පැරකුම්බා අධිරාජයා විසින් එහි කරවූයේ යයි කියන මණ්ඩපය අනුරාධපුරයෙහි ලෝවාමහාපාය සේ දැන් ගල් කණු පමණක් ශෙෂව තිබෙන දැකුම් කළු ස්ථානයකි. වාක්‍යව්‍යාකරණයෙහි පරිවාර ග්‍රන්ථයක් වූ “බාල බොධිනී” නම් සකුවියරණ ග්‍රන්ථය නිපැයුවේ මුන්වහන්සේ විසිනි. අභිධර්මාත්‍ථී සංග්‍රහවට ටීකාවක් ලියන ලද්දෙක් මුන්වහන්සේ විසිනි. සාරත්ථදීපනී නම් විනය ටීකාව නිපදවූ පොළොන්නරු පුර දෙවරම් වෙහෙර වැඩවිසූ ටීකාචාර්‍ය්‍ය සාරිපුත්‍ර මහා ස්ථවිරයන් වහන්සේ ද දිඹුලාගල සහචරියේ දිප්තිමත් පඬිරුවනකි. ටීකාචාර්‍ය්‍ය සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ අතින් ම ලියවුණු අභිධම්මත්ථ සංගහසන්නයෙහි අවසානැ තම ඇදුරු ටීකාචාර්‍ය්‍ය දිඹුලාගල මහා කාශ්‍යප ප්‍රථම ධ්‍යානාචාර්යයන් වහන්සේ ගැනැ වර්ණනාකර ඇත්තේ වාක්‍ය ව්‍යාකරණයෙහි ව්‍යා වායවියන් වැනි යයි ද පාණිනීය ව්‍යාකරණයෙහි පාණිනී රුසිවරයා වැනි යයි ද වෙනත් තර්ක තන්ත්‍රාදියෙහි ඒ නිමිත්තා චරයන් වැනි යයි ද කවිත්වයෙන් කාලිදාස වැනි යයිද කියාය. ථෙර වංශයෙහි ශාස්ත්‍රාගමධාරී විදර්ශනාධූරින භික්ෂූන්ගේ ප්‍රධානතම ආවාසය වූ දිඹුලාගල ආයතනය බු.ව. 1760 දී ඇති වූ මාඝ විප්ලවයෙන් විනාශ වූ බව කිය යුතුය.

මෙසේ බු.ව. 454 දී පමණ ඇරඹි මහත් දියුණුවකින් පැවති මෙ උසස් සෙනසුන මාඝ විප්ලවය නිසා එකල එහි වැඩ විසූ දිඹුලාගල දීපංකර මාහිමියන් ප්‍රමුඛ බුද්ධ පුත්‍රයන් වහන්සේලා යාපව් නුවරට ආරක්‍ෂාව සඳහා වැඩම කළහ.

යාපව් නුවර අස්ගිරි විහාරය

දඹදෙණි පුර විසූ II විජයබාහු මහ රජතුමන්ගේ ගුහ නම් වූ සෙනෙවියෙකු විසින් යාපව් පුරයේ දකුණු දිග අජ්ජ පබ්බත (වලස් ගල) නමින් ප්‍රසිද්ධ වූ කඳු පසෙක වන සෙනසුනක් කරවා උන්වහන්සේලාට පුදන ලදී. ගුහ පබ්බත නම් මහ කඳු වැටියේ ම එක් අංශයක් වූ මේ වලස් ගල කරවූ අරම අස්ගල, අස්ගිරි නමින් ප්‍රසිද්ධ විය. බු.ව. 1760 පමණේ දී ඇරඹුණු යාපව් නුවර අග්‍ර රාජධානියව පැවති සමයෙහි උසස් දියුණුවකින් ද ඇතුගල්පුර IV පැරකුම්බා සමයේ දී මද දියුණුවකින් ද පැවතුණු අස්ගිරී ආරණ්‍ය සෙනසුන ඉන්පසු ක්‍රමයෙන් පාළුවී ගිය බව පෙනේ. අනුරාධපුර ථූපාරාම මහා විහාර යෙන් දිඹුලාගලට ද දිඹුලාගලින් යාපව්වෙ අස්ගිරි විහාරයට ද මේ පොත් වහන්සේ ද වැඩම විය. එහිදී ද පාරම්පරික මහඟු රත්නයක් ලෙස ආරක්‍ෂා කරමින් අභ්‍යාස කළහ.

මහනුවර අස්ගිරි විහාරය

ලක්දිව ග්‍රාම ජනපද ප්‍රදේශා දී සීමා පිහිටි වූ පණ්ඩුකාභය මහීපාලයා විසින් පිහිටුවන ලද ශ්‍රී සිංහල මායිම ලකුණ පිහිටි ගලක් නිසා හිංකඩ=සිංකඩ=සෙංකඩ වශයෙන් නම් පෙරළී කලින් කල ශාඛා නගරයක් ලෙසත් යුද කඳවුරක් ලෙසත් පැවති සෙංකඩගල් පුරය මහා නගරයක් සේ සකස් කළ සිරිවර්ධන සෙනෙවි රජුන් විසින් නගරයක අඩංගු සම්පූර්ණ වීමට විහාරාරාම අවශ්‍ය සේ සලකා නගරයට උතුරු දිග මනරම් කඳුගැටයක රමණීය භූමි භාගයක් දැක එහි බුද්ධ පුත්‍රයන් වහන්සේගේ වාසයට සුදුසු රාත්‍රිස්ථාන, දිවාස්ථාන, චංක්‍රමන, වැසිකිළි, කැසිකිළි, පැන්හල් ආදි සියලු විහාරාංග නිමවා ඒබව මහ රජතුමාට දන්වා යැවීය.

මේ නිවේදනයලත් මහ රජතුමා බෙහෙවින් සතුටුව ඉහත සඳහන් දිඹුලාගල දීපංකර මාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය පලාබත්ගල ධර්මකීර්ති මාහිමියන් වහන්සේට සෙංකඩ ගල්පුර අභිනව ආරාමයේ විසීමට සුදුසු භික්ෂූන් ලැබෙන ලෙස ආරාධනා යැවීය. රාජාරා ධනය ලත් දම්කිත් පා මොක් මාහිමියෝ මහා සංඝ සභාව රැස්කරවා ඒ බව සැල කළ සේක. එවිට මහ සංඝ සම්මතයෙන් පලාබත්ගල වනරතන යතීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සද්ධිවිහාරික මීගස්වැවේ මෙධංකර හිරිපිටියේ කස්සප, කෝංගස් වැවේ ධම්ම කිත්ති, වලස්වැවේ උපතිස්ස යන තෙරුන් වහන්සේලා පස්නම ද වේරවෙල කොලිත සාමණේරයන් වහන්සේ ද තෝරා රාජදූත පිරිසට භාර කළහ. යාපව් නුවර සිට ඇතුගල් පුරය දක්වා ද ඇතුගල්පුර (කුරුණෑගල) සිට සෙංකඩගල දක්වා ද මහ මහ සරහා රාජකීය ප්‍රදපෙළහරින් සෙංකඩගල සහචරියේ ආදි පුරුෂයන් වහන්සේලා වැඩමවා ගත්හ.

උන්වහන්සේලා යාපව්වේ සිට කුරුණෑගලට වඩම්මවා සෙංකඩගලට ගමන පිළියෙළ වන තුරු ඇත්ගිරි ලෙණ දැන් ඇත්කඳ විහාරයේ වැඩ සිටි බවත් අද තෙක් එකී ඇතුගල්පුර ඇත්කඳ විහාරය උන්වහන්සේලාගේ සහචරියේම භික්ෂූන් වසන බව කිය යුතුය.

ඉන්පසු ඇතුගල්පුර විසූ ශ්‍රී ලංකාධිපති IV පැරකුම්බා රජතුමා මහනුවර අස්ගිරි ආරණ්‍ය සේනාසනයට මායිම් පිරිසිඳින්නේ නැගෙනහිර දිගින් උඩවාහල වත්තේ මඩකඩ ද දකුණු දිගින් කිතුල්ගොල්ලේ ඇල්ල හා බහිරව කන්ද උතුරු දිගින් මහයායේ ඇළ ද බස්නාහිර දිගින් නියඳ ගල ද යන සතර මායිම තුළ පිහිටි බිම්ප්‍රමාණය අස්ගිරි අරණ්‍ය සේනාසනය වශයෙන් සංඝාභොගකොට පිදුහ. මෙසේ මේ බිම් පෙදෙස අස්ගල් අරණින් වැඩම වූ තෙරවරුන්ට පිදූ බැවිනුත් අස්ගල් අරණ වැසි මහ සංඝයාගේ වාසස්ථානය වූ බැවිනුත් අස්ගිරි විහාරය කියාම නම් කරණ ලද්දේ විය.

බු.ව. 1855 වෙසඟ මැදිපෝද සෙංකඩගල සිරිවර්ධන පුරයේ අස්ගිරි මහ විහාරය ආරම්භ වූ බවත් එද එහි වැඩම වූ සහචර මහ තෙරුන් වහන්සේ විනයධරාග්‍ර උපාලි මහ රහතුන් වහන්සේගේ එක් සිය දෙසාළිස් වන ප්‍රශිෂ්‍යරත්නය හෙවත් ථෙර පරම්පරා වශයෙන් 142වැනි පරම්පරාව බව අස්ගිරි තල්පොතෙහි සඳහන් ව ඇත්තේය. මෙලෙසින් මේ පොත් වහන්සේ ද භදන්තාරහන්ත අරිට්ඨෝපතිස්ස මාහිමියන් වහන්සේ පටන් එකසිය හතළිස් දෙවෙනි පරපුරත් සමග මහනුවර අස්ගිරි මහ විහාරයට වැඩම වූ බව සැලකිය යුතුය.

බු.ව. 1855 වෙසඟ මැදි පෝදා අස්ගිරි විහාරය ආරම්භ වූ තැන් සිට ස්‍යාමොපසම්පදාව දක්වා ථෙර පරම්පරා අට විසස (28) කි. ස්‍යාමොපසම්පදාවේ සිට අදතෙක් ථෙර පරම්පරා ගත වූයේ සතළොස (17)කි. මෙසේ මහනුවර අස්ගිරි විහාරයට වැඩම වූ ද සිට පන්සාළිස් පරපුරකින්ම මේ පොත් වහන්සේ ආරක්‍ෂා වූ බවත් අද අස්ගිරි විහාරයේ වැඩ සිටින්නේ මිහිඳු මා හිමියන් වහන්සේගේ 185 වෙනි ථෙර පරම්පරාවේ ගෝලයන් බවත් පැරණි ලියුම් අනුසාරයෙන් පැහැදිලිව පෙනේ.

මෙසේ අස්ගිරි විහාරවාසී යතීන්ද්‍රයන් වහන්සේලා මහා විහාරවංශයේ ගුරු පරම්පරා නොසිඳ සිය පණ මෙන් රැකගණ එන අතර අපරට අන්හැම දේමෙන්ම අස්ගිරි සහචරිය ද පිරිහීමට හැරුණේය. සමථ විදර්ශනා භාවනා වැඩීම තබා පොහෝ පවුරුණු ආදී විනය කර්‍මයන්දු නැති විය. උපසපන් භික්ෂූන් නැතිව සාමණේරවරු පමණක් ශෙෂව දෙවාරයක්ම පැවැත්තේය. ඒ හෙරණුන්දලා ශීල භාවනාදියෙහි නිරුත්සුක වුවත් බණ දහම් භාෂා ශාස්ත්‍ර දැනගත් පඬිවරු සහිත පිරිසක් වූහ. විචක්‍ෂණ බුද්ධිමතුන් උන්වහන් සේලා අතර සිටි බව පෙනේ. උප් පාලි සංස්කෘත භාෂාන් නැකැත් වෙදකම් යන්ත්‍ර මන්ත්‍රාදි බාහිර ශාස්ත්‍රන් පුහුණු කරමින් ගිහියන් මෙන් දිවි රැකගැනීමත් තමන් පැවිදි ව සිටින්නේ ශීල භාවනා දී ගුණ දහම් වැඩීමට නොව ස්ථාන සතු දේපොල රැකීමට යයි සිතා මෙන් හැසිරීමත් නිසා බුද්ධපුත්‍රයන්ට ඇමතිය යුතු ගරු නම කියන්ට අකැමැති වූ එදා බෞද්ධයා ඒ හෙරණුන්දලාට ගණයෝ හෝ ගණින්නාන්සේලා යයි නම් කරගත් බව පෙනේ. අදත් සමහරු භික්ෂූන් වහන්සේලාට අවඥා මුඛයෙන් මෙ නම කියති. ගණය නම් සංඝාරාමය හෝ සහචර පරපුර සමූහ ය යි. සහචර පරපුරෙන් පැවතෙන්නා හෝ ආරාමවාසියා යන තේරුම ලැබෙණ බැවින් ගණයා යනු අපහාස වචනයක් නම් නොවේ. මෙසේ පිළිවෙත් පිරීම හා ධර්මශාස්ත්‍රාදිය පිරිහි පැවති කාලවල මේ පොත් වහන්සේ පෙට්ටගමක පතුලටම වී නිශ්චලව සිටි බව පෙනේ. එවැනි අවාසනාවත් කාලයක සෙංකඩගල සිරිවඩු පුරයෙහි සිංහාසනයට පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ නරනාථයා බුද්ධ ශාසනයෙහි මහා සහායයෙකු වීම නිසා ස්‍යාම් දේශයෙන් මහා මහින්ද වංශික තෙරවරුන් වැඩමවා පැවිදි උපසම්පදා කර්ම ඇති කරවා ශාසන ප්‍රතිපදවන් පුහුණු කරවමින් ලක් බුදු සසුන නැවතත් බැබල විය. භික්‍ෂූන්වහන්සේ දන උගත් කමින් ද පිළිවෙත්