බුදුගුණ භාවනාව - නාඋයනේ අරියධම්ම හිමි.pdf
- කතෘ :
- නාඋයනේ අරියධම්ම හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1985
- පිටු ගණන :
- 123
- බාගත කිරීම් ගණන :
- 9,464
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-02-20
- ගොනුවේ ප්රමාණය :
- 579 KB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
බුදුගුණ භාවනාව යනු අතිපූජ්ය නාඋයනේ අරියධම්ම අනුනායක ස්වාමීන්ද්රයන් වහන්සේ විසින් සම්පාදිත සමථ භාවනා මාර්ගෝපදේශ ග්රන්ථයකි. නව අරහාදී බුදුගුණ පාදක කරගනිමින් බුද්ධානුස්සති භාවනාව වැඩිය යුතු ආකාරය මෙමඟින් විස්තරාත්මකව පහදා දී ඇත.
1984 වර්ෂයේදී රාජ්ය සේවා බෞද්ධ සංගමයේ ආරාධනයෙන් කොළඹදී පැවැත්වූ මාසික භාවනා පන්ති මාලාවේ දේශනා සාරාංශ පදනම් කරගෙන මෙම ග්රන්ථය මුලින්ම සම්පාදනය විය. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය කැටි වූ නව අරහාදී බුදුගුණ පෙළ පාළි භාෂාවෙන් මෙන්ම සිංහල තේරුම සහ පද විවරණ සහිතව විග්රහ කර තිබීම මෙහි විශේෂත්වයකි.
මීතිරිගල නිස්සරණ වන සේනාසනාධිපති මාතර ශ්රී ඤාණාරාම මහා ස්වාමීන්ද්රයන් වහන්සේගේ සහ අතිපූජ්ය කඩවැද්දුවේ ශ්රී ජිනවංශ මහා ස්වාමීන්ද්රයන් වහන්සේගේ ආශිර්වාද ලිපිද, රාජ්ය සේවා බෞද්ධ සංගමයේ සටහනක්ද මෙහි සංගෘහිතය. පොහොය දිනවල සිල් සමාදන් වන සැදැහැවතුන්ට මෙන්ම ප්රතිපත්තිකාමී යෝගාවචරයන්ටද බුද්ධානුස්සති භාවනාව ප්රගුණ කිරීමට මෙම කෘතිය මනා උපකාරයක් වේ.
ආශීර්වාදය 1
බුද්ධානුස්සතිය
බුදුරජාණන් වහන්සේ යන, ගුණ සාගරයකි. සර්වඥ බුදු උතුමෙකුගේ ගුණ සමුදාය විෂය වනුයේද, එබඳු සර්වඥ බුදු නුවණකටමය. සර්වඥ බුදු උතුමෙකුගේ ගුණ සමුදාය විෂය වනුයේද, එබඳු සර්වඥ බුදු නුවණකටමය. තථාගතයන් වහන්සේ මේ අනන්ත වූ බුදුගුණ පද නවයකින් කැටි කොට දෙවි - මිනිසුන්ගේ හිත - සුව පිණිස, ලොව හමුවේ තැබූ සේක.
බුද්ධානුස්සතිය බුදු කෙනෙකුගේ පහළවීමෙන්ම ලොවට ලැබෙන අගනා භාවනාවෙකි මෙය ගැඹුරු වූද, නොගැඹුරු වූද, නුවණ ඇති කාහටත් සප්පාය වෙයි. අසහනයෙන් පෙළෙන ලොවට බුද්ධානුස්සතියෙන් මහත් සැනසුමක් උදාවෙයි.
බුදුගුණයට සිත යොමු කරන පින්වතා ගේ සිත සැදැහැයෙන් පිවිතුරු වෙයි. නීවරණ සංසිඳී තැන්පත් වෙයි. එබඳු චිත්ත සන්තානය මුල කර්මස්ථානයකට යොමු කිරීමෙන් උසස් ප්රතිඵල ලැබෙයි. එබැවින් බුද්ධානුස්සතිය යෝගාවචරයන්ගේ, චතුරාරක්ෂක භාවනාවක් අතර ද මුල් තැනක් ගනියි.
බුදුගුණයෙන් නිරන්තර පරිභාවිත චිත්ත සන්තාන ඇති අපේ නාඋයනේ අරියධම්ම ස්ථවිර නම විසින් සැකසුන මේ විස්තරාත්මක බුදුගුණ භාවනා පොත, බැලූ බැල්මට සිත පැහැදෙන, මෙතෙක් දක්නට නොලැබුණ විදියේ බුදු ගුණ සම්පිණ්ඩනයකි.
බුදුගුණයෙන් සැනසෙනු කැමති සත්පුරුෂයනට මෙය හස්තසාර වස්තුවක් බව කියනු කැමැත්තෙමි. මේ බුද්ධානුස්සති කමටහන් උපදේශ පන්තිය සේම ශාසනික උත්තමාර්ථයන් සාකල්යයෙන් සපුරා ගැනීමට උපයෝගී විය හැකි පරිදි තව තවත් උතුම් කමටහන් සැදැහැ නුවණ ඇති බෞද්ධ ජනතාව ඉදිරියෙහි තැබීමට අවස්ථාව සැලසේවායි! අපි ප්රාර්ථනා කරමු.
බුදුගුණ බෙලෙන් සැම දෙන හට සැනසුමක්ම වේවා! මෙයට
ශාසනෝදය කාමී,
මා, ඤාණාරාම ස්ථවිර
ශ්රී කල්යාණි යෝගාශ්රම සංස්ථාවේ අධිපති ප්රධාන කම්මට්ඨානාචාර්ය්ය අග්ග මහා පණ්ඩිත අති පූජනීය නා උයනේ අරියධම්මාභිධාන මහොපාධ්යායන් වහන්සේ ප්රමුඛ නා උයන ආරණ්ය සේනාසනයේ මහා සංඝරත්නය වෙත මෙම ග්රන්ථය පුදමි.
ශාසනෝදය කාමී,
මා, ඤාණාරාම ස්ථවිර
ආශීර්වාදය 2
බුදු පෙරහැර
ඔබ නොයෙක් විදියේ විසිතුරු පෙරහැර දැක - අසා ඇත. ඒ පෙරහැර වල නිමිති අරමුණු ද විවිධය. නොයෙක් නැටුම් ගැයුම් වලින් සාටෝප වූ ඒ පෙරහැර වලින් සිතට ඇතිවන සතුට සාමිස ය. පිංකම් නමින් කළත් ඒවායෙ පුණ්යමය අගය, සැළකිය යුතු තරම් නොවේ. අපේ සැදැහැබර මව්පිය දරු දැරියන් මල් පහන් ආදී පූජාවස්තු රැගෙන පෙළ සැදී බැති සිතින් බුදු පෙරහැර - බුදු පෙරහැර කියමින් පෙරහැර පවත්වනවා දක්නට ලැබේ. ඒ පෙළේ කුඩාවුන් තබා ලොකු ඇත්තන්ගෙන් වැඩි දෙනෙකුගේ බුදු පෙරහැරනම් කුමක්දැයි හරිහැටි නොදන්නවා විය හැකිය. සමහර විට ඔවුන් සිතනවා විය හැකි මෙසේ - මල් පහන්, ගිලන්පස වැනි පූජා වස්තූන් රැගෙන සිද්ධස්ථානයක් කරා පෙළ සැදී යාම බුදු පෙරහැරය කියා. සැබවින් ම එය බුදු පෙරහැරක් නොවෙයි. එය බුද්ධ පූජා පෙරහැරකි. බුදු පෙරහැරය කියන්නේ අපරිමාණ කාලයක් මුළුල්ලෙහි, සාතච්චකාරී - සක්කච්චකාරී - අසන්තුට්ඨිතා - අප්පටිවානීතා යනුවෙන් පැහැදිලිවෙන සතර වැදෑරුම් කාර්ය සම්පත්තියෙන් සැදී මහ පොළව හඬවමින් බුදුවනතුරු නොකඩවා සිදුකොට වදාළ උතුම් වැඩ පිළිවෙලය. මනෝප්රණිධාන - වාක්ප්රණිධාන - මහාප්රණිධාන වශයෙන් පැවැත් වූ ඒ අසිරිමත් පෙරහැර බුදු ගුණ භාවනාවෙන් ඔබට ප්රත්යක්ෂ කළ හැකිය. බුදුගුණ පෙළේ අති විශේෂ මූලික ගුණය නම් අරහං බුදු ගුණය යනුයි. අරහං යන බුදු ගුණය අති විශේෂ වනූයේ බුද්ධත්වය හා සම්බන්ධ සෙසු සියලු ගුණයන්ගේ හේතුකාරක
තත්ත්වය අරහං ගුණයෙන් විහිදෙන හෙයිනි. බුදු ගමනේ මුල් පියවරේ පටන් බුදු සිත වඩමින් සිදුකොට වදාළ පාරමී ධර්ම සමාධිය අරහං ගුණය පරිකර්ම කිරීමේදීම ඔබට පෙනී යනු ඇත්තේ අසදිස බුදු පෙරහැරක් ලෙසිනි.
බුදු පෙරහැරේ අවිජ්ජා ස්වරූපය තමන් නිවී සැනසී ලොවක් නිවා සනසා ලීමයි. “බුද්ධොහං බොධයිස්සාමි” යන මහා කරුණා ප්රාර්ථනාව අනුව සැළකීමේදී එය පැහැදිලි වන්නේය. “බුද්ධො” මම පරම සත්යය අවබෝධ කොට “බොධයිස්සාමි” ලෝකයාට ද, අවබෝධ කරවන්නෙමි. යන තේරුමෙන් බුදු පෙරහැරේ අන්තහිත - පරහිත - සාධන ස්වරූපය වටහා ගත හැකිය. බුදුගුණ භාවනාවේ නිසැද්දඵලය හැටියට සැළකිය යුත්තේ සාමාන්ය ජීවිතයක් ලෝකාග්ර වූ බුද්ධත්වය වැනි උසස් තැනකට නංවාලීමේ උත්තරීතර වැඩ පිළිවෙල හෙවත් බුදු පෙරහැර - සිතින් දැක ගැන්මයි. එය ඔබට මහා සැපයකි. මහා සැනසිල්ලකි. බුදුගුණ භාවනාවේ මහා ආනිසංස ඵලය විය යුත්තේ ඔබත්, බුදු පෙරහැරට එක් වීමයි. බුදු පෙරහැරට එක් වූ මහා සත් පුරුෂයාගේ එම පැවතුම් මහිමය ගුරුළු ගෝමී මහා වියතාණෝ මෙසේ විසඳති.
බුදුගුණ මුත් තෙපුල් මෙත් බහාවුන් මුත් සිත්,
නොවේවා කෙනෙක්හි දූ පර වැඩ මුත් පියෝ මා.
බුදු ගුණයෙන් තොර වචනයක්, මෙත් බැවුනේ තොර සිතිවිල්ලක්, පරහිතයෙන් තොර ක්රියාවක් කිසිම මොහොතක නොවේවා!
ඔබ සැම මේ සැනසිලි පෙරහැර විසිතුරු කෙරෙත්වා! මනෝභාවනීය ධර්ම වස්තුවක් වූ අපේ සසුන් දරු නාඋයනේ අරියධම්ම ස්ථවිර නමගේ කාරුණික අනුශාසනා පරිදි පැවැත්වෙන කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමයේ භාවනා සංවිධානය තව තව විසිතුරු වේවා බුදු පෙරහැරක්ම වේවා! යනු මාගේ ධර්මාශිංසනයයි. සතං සමාගමෝ හෝතු - යාව නිබ්බාණ පත්තියා.
මෙයට කාරුණික අතිපූජ්ය,
පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශ ස්වාමීන්ද්රයන් වහන්සේ
මෙයට කාරුණික අතිපූජ්ය, පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශ ස්වාමීන්ද්රයන් වහන්සේ
හැඳින්වීම
බුද්ධානුස්සතිය, සමථ විදර්ශනා භවනා දෙකෙන් සමථ භාවනාවකි. කසින 10, අසුභ 10, අනුස්සති 10, අප්පමඤ්ඤා 4, සඤ්ඤා 1, වවත්ථාන 1, හා අරූප 4, යන, සමසතළිස් සමථ කමටහන් අතුරින් අනුස්සති දශයට ඇතුළත් වේ. යෝගාවචරයන් විසින් අනිවාර්ය්යයෙන්ම භාවිතා කළ යුතු වූ සතර කමටහන් අතුරෙන් මුලින්ම තැන ගන්නේ බුද්ධානුස්සතියයි. සිහිකිරීම් අර්ථය ඇති සතිය, නැවත, නැවතත් සියවර දහස්වර ලක්ෂවාර කෝටි ප්රකෝටි වාර පැවැත්වීම අනුස්සති නම් වේ. අවශ්යයෙන්ම නියතයෙන් පැවැත්විය යුතු වූ සතිය, යන තේරුමෙන් ද, අනුස්සති නම් වේ. (බුද්ධො සබ්බඤ්ඤුත ඤාණෝ) සර්වඥතා ඥානය ඇත්තා වූ බුද්ධ රත්නය පිළිබඳ විද්යමාන වූ අප්රමාණ ගුණ සමුදාය නැවත නැවතත් අනුරූප වශයෙන් සිහි කරමින් පවත්වන භාවනාව බුද්ධානුස්සතිය නමින් හැඳින් වේ. සීලයෙක පිහිටා තෙරුවන් නැමද, පහසු වූ අසුනක තැන්පත්ව වාඩි වී, පූර්ව කෘත්යය විධි නිමවා ජීවමාන සර්වඥයන් වහන්සේ ඉදිරිපිට සේ බුද්ධ ගෞරවය උපදවා නව අරහාදී බුදු ගුණ අනුලෝම - මුල සිට අගටත්, ප්රතිලෝම-අග සිට මුලටත් පද වශයෙන් හා තේරුම් වශයෙන් බුදුගුණ භාවනාව වැඩිය යුතුය. පුරුදු වූවාට පසු අවධි වූ තැන් පටන් රාත්රී නින්දට යන තුරු, දවසේ සැමවිට සෑම ඉරියව්වකදීම, සෑම කටයුත්තකදීමත් බුදු ගුණ මෙනෙහි කරමින් සිත දියුණු කර ගැනීමේ ශක්තිය සමත්කම ඒකාන්තයෙන්ම ලැබේ. බුදු ගුණ මෙනෙහි කිරීමේදී, රාග - දෝස - මෝහයෙන් කිලිටි වූ පාප සිතිවිලි දුරින්ම දුරු වෙයි. පාප සිත්, පාප වචන, පාප ක්රියාවලින් ඈත් වෙමින් තමනුත් අරහං ගුණයට සමීප වේ. නව අරහාදී බුදු ගුණයට එකතු වෙන තම සිත බුදුගුණ ප්රීතියෙන් පිරීගනී. ගත - සිත සැහැල්ලු වෙමින් සිතටත් කයටත්, නිරාමිස සුවයක් ඇති වේ. සිත රැයක සුවදායක පොරොවනයකින් ලැබෙන සනීපයක් සේද, චතුමධුර පානයක් සේද, මුළු කය ප්රීතියෙන් සැපයෙන් ඔකඳ වෙයි. බුදුගුණ සුවයෙන් සුවපත් වූ සිත
බුදුගුණ අරමුණෙහි සමාධි ගත වෙයි. ධ්යානංග පසක් වැඩෙන අතර නීවරණ පස දුරු වී ලැබෙන එම සමාධිය, උපචාර ධ්යාන නම් වේ.
බුදුගුණ භාවනාව වඩන්නා බුද්ධ රත්නය කෙරෙහි අප්රමාණ ගෞරව ඇත්තෙකු බවට පත් වේ. ශ්රද්ධාව - සතිය - ප්රඥාව හා පුණ්ය සම්පත්තියෙන් විපුලත්වයට පැමිණේ. ප්රීති ප්රමෝදය හා සැප සම්පත් ලබන්නෙක්ද වේ. සහනසීලී සාමකාමී කෙනෙක් හා බිය නැති වූද, කුඩා මහත් දුක් ඉවසන්නෙක්ද වේ. ශාස්තෘන් වහන්සේ සමග එක තැන ජීවත් වන හැඟීමද ඇති වේ. බුදුගුණ පිරුණු හදවතක් ඇති ඔහුගේ ශරීරයද, දාගැබක් සේ පූජා සත්කාර කිරීමට සුදුසු වේ. බුදු බවටද, සිත නැමේ. වරදක් කිරීමට සිතක් ඇති වූ කෙණෙහිම ශාස්තෲන් වහන්සේ තමා ඉදිරියේ මෙන් වැටහීමෙන් හිරි ඔතප් එළඹ සිටී. අසනීප, අපල උපද්රව ආදිය හිරු දුටු අඳුරු සේ ඉවත් කිරීමට බුදුගුණ බලය පිහිට වේ. මේ ජීවිතයේදී මග ඵල නිවන් පසක් කිරීමටද, බුදුගුණ භාවනාව ප්රත්ය වන අතර, මග ඵල නොලැබුනහොත් ඒකාන්තයෙන් සුගති පරායණ වන්නේය. බුදුගුණ වැඩූ පිනැතියෝ නිවන් දක්නා තුරු පිටසක්වල නොයති. අහේතුක ද්විහේතුක නොවෙති. සතර අපායට නොවැටෙති. නියත මිසදෙටු නොගනිති. අෂ්ට දුෂ්ටක්ෂණයෙන් හා පඤ්ච අන්තරායෙන් මිදෙති. කල්ප විනාශයට අසු නොවෙති. ශ්රද්ධා - ප්රඥා - ස්මති - මේදාදී ගුණයෙන් උසස්ව උපදිති. කල්යාණ මිත්රයන් ලබති. සර්වඥයන් වහන්සේලාද තමන් වෙත පැමිණ පිහිට සළසති.
භාවනා වැඩීමේ අනුසස් මනාව දන්නා වූ කොළඹ රාජ්ය සේවා බෞද්ධ සංගමයේ විශේෂාරාධනාවෙන් පටන් ගන්නා ලද බුදුගුණ භාවනා පන්තියේ අවසාන දිනයේදී බෙදා දීම පිණිස මේ පොත සකස් කරන ලදී. වර්ෂ 1984 ජූනි මස 06 වෙනි බදාදා ආරම්භ කරන ලද බුදු ගුණ භාවනාව, මසකට වරක් බැගින් ප්රගුණ කරන ලද්දුව ඒ භාවනා පාඩම් 9 නවය මෙසේ පොතක් වශයෙන් සකස් කොට බෙදා දීම, ඥාන සම්ප්රයුක්ත ධර්ම දානයකි.
පොහොය අටසිල් - දස සිල් සමාදන් වන උපාසකෝපාසිකාවන්ටද, මෙය පොහොය දවස ඉතාමත්ම සාර්ථකව ගත කර ගැනීමට පිහිටවන භාවනා පොතකි. සීලසමාදන්ව බුදුගුණ භාවනා වැඩීම, බ්රහ්ම උපෝසථය, නමින් වදාරා ඇත. දහම්ගුණ සය සඟ ගුණ නවයෙතත් සවිස්තරව භාවනා පොතක් වශයෙන් නිකුත් කිරීමටද, රාජ්ය සේවා බෞද්ධ සංගමය ප්රර්ථනා කරන බැවින් බුදුගුණ බලයෙන් ඒ උතුම් පැතුමද ඉටු වේවා!
බුදුගුණ භාවනාවේ වටිනාකම පහදා දෙමින් මෙය අනුමත කොට වදාළ මීතිරිගල නිස්සරණ වන අරණ්ය සේනාසනාධිපති අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර සිරි ඤාණාරාමාභිධාන මහෝපාධ්යාය මාහිමියන් වහන්සේට හා, අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්රී ජිනවංශාභිධාන අස්මදාචාර්ය්ය මාහිමියන් වහන්සේට, බුදුගුණ බලයෙන් ශත වර්ෂාධික කාලයක් නිදුක් නීරෝගී දීර්ඝායු ශ්රී සම්පතත් අභිවර්ධනය වේවා! තිලොවට පිහිටවන ලෙස මතු බුදුබව ලබත්වා! යි වැඳ නමස්කාරයෙන් ප්රාර්ථනා කරන්නේ අසීමිත ගුරු භක්තියෙනි.
මසකට වරක් බැගින් පිළිවෙලින් පළ වූ බුදුගුණ පාඩම් පෙළ පොතක් වශයෙන් මුද්රණය කිරීමේ පහසුව පිණිස පිටපත් කර දුන් ගුණවර්ධන යෝගාශ්රම වාසී වැවේ ගෙදර සෝමානන්ද ආයුෂ්මතුන් වහන්සේටත් බෞද්ධ කොමසාරිස් තුමාටත්, රාජ්යසේවා බෞද්ධ සංගමයේ නිළධාරී මණ්ඩලය ප්රධාන සාමාජික පිරිසටත්,මේ බුදුගුණ භාවනා වඩන සෑම සැදැහැතියනටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායු අත් වේවා! සමථ විදර්ශනා භාවනා දියුණු වේවා! සර්වඥ ශාසනය යළි නංවාලීමේ ශක්තිය ලැබේවා! සකළ සම්යක් ප්රාර්ථනා සඵල වේවා! ශාන්ති ලක්ෂණ අමෘත මහා නිර්වාණ ධාතුව ඒකාන්තයෙන් සාක් සාත් වේවා! තෙවැනි වරට බුදුගුණ භාවනා පොත මුද්රණය කරවා ධර්ම දානය පිරිනමන සත්ගුණවත් රැක්ලන්ත මායාදුන්න මහතාට හා කමානි විජේසුන්දර මායාදුන්න මහත්මියටත් ආයුරාරෝග්යාදී සම්පත් හා ශාන්ත නිර්වාණ සම්පත් අත්වේවා.
බුදුගුණයෙන් සැනසෙන,
නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය, ගල්දූව - කහව, අම්බලන්ගොඩ.
බුදුගුණයෙන් සැනසෙන, නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ
ගුණවර්ධන යෝගාශ්රම මධ්යස්ථානය, ගල්දූව - කහව, අම්බලන්ගොඩ.
අපෙන් වචනයක්
ශ්රී බුද්ධ වර්ෂ 2500 බුද්ධ ජයන්තිය අනුස්මරණය කිරීම සඳහා පිහිටුවා ගන්නා ලද රාජ්ය පාලන සේවයට සම්බන්ධ ප්රබල බෞද්ධ සංවිධානයක් ලෙස 1954 ඔක්තෝම්බර් මස 05වන දින බිහි වූ ආයතනයක, රාජ්ය සේවා බෞද්ධ සංගමය, සාමාජිකයන්ට විශේෂ වශයෙන් පොදුවේ ජනතාවගේ යහපත සඳහාත්. මෙම සංවිධානය විසින් මාසිකව භාවනා පන්තියක් ආරම්භ කිරීම, 1984 වර්ෂයේ සංගමය ඇරඹූ විශේෂ සේවාවකි. සංගමයේ විශේෂ නියෝජිත පිරිසක් මේ සඳහා අම්බලන්ගොඩ ගල්දූවේ ගුණවර්ධන යෝගාශ්රමයට 1984 මැයි මස ගොස් එහි අධිපතිව වැඩ සිටින පූජ්ය කඩවැද්දුව ජිනවංශ මහා ස්වාමීන් වහන්සේට කරුණු සැළකිරීමෙන් අනතුරුව 1984 ජූනි මස සිට මෙම මාසික භාවනා පන්තිය පැවැත්වීම සඳහා එම යෝගාශ්රමයේ වැඩ වසන පූජ්ය නා උයනේ අරියධම්ම මහා ස්වාමින් වහන්සේ කොළඹට වැඩම කරවා ගැනීමට අවකාශ සැළසිනි.
ඒ අනුව ප්රථම භාවනා පන්තිය 1984 මැයි මස 06වෙනි දින කෞතුකාගාර දේශන ශාලාවේදී ආරම්භ විය. පැමිණෙන පිරිස විශාල වූයෙන් ඉන් පසුව කොළඹ මහනගර සභා මහජන පුස්තකාලයේ ශ්රවනාගාරයේදී අනතුරුව බම්බල පිටියේ වජිරාරාමයේදී මෙම මාසික භාවනා පන්ති පවත්වනු ලබන අතර, 1985 මාර්තු මස 13වන දින වන විට නව අරහාදී බුදුගුණ පාඨ මුල් කරගෙන විශේෂ භාවනා පන්තියක්ද යනුවෙන් භාවනා පන්ති 10ක් කම්මට්ඨානාචාර්ය පූජ්ය නාඋයනේ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලදී. දැනට මෙම භවනා පන්ති වලින් ප්රයෝජන ගැනීමට සැදැහැවතුන් සිය ගණනින් පැමිණීම දැක්ම සංගමයේ බලවත් ප්රීතියට කරුණකි.
භාවනා පන්තිය පවත්වන දිනවල දේශනා අවසානයේදී එහි සාරාංශය සටහන් වශයෙන් සැපයීම සැදැහැවතුන්ට පහසුවක් විය. ඒ සියල්ල කැටිකොට භාවනා උපදෙස් අත් පොතක් වශයෙන් මුද්රණය කිරීමට තීරණය කොට පොත සකස්කර දෙන ලද පූජ්ය අරියධම්ම මාහිමියන් වහන්සේට රාජ්ය සේවා බෞද්ධ සංගමය කළ ආරාධනය කාරුණිකව පිළිගෙන එය ඉටුකර දීම ගැන සංගමය උන්වහන්සේට ආසිරි පතයි.
රාජ්ය සේවා බෞද්ධ සංගමය මෙහෙවන කූඩු මහත් ආගමික ජාතික කටයුතු වලදී ඉතා කැමැත්තෙන් ඉදිරිපත්ව රජය වෙනුවෙන් පහසුකම් සැපයීමට ක්රියාකරන ගරු සංස්කෘතික අමාත්ය ඊ. එල්. බී හුරුල්ලේ මැති තුමාට හා සංස්කෘතික ලේකම්තුමාටද, සංගමයේ ඉල්ලීම පරිදි පොත මුද්රණය කර දීමට සහය වීමට ඉදිරිපත් වූ බෞද්ධ කටයුතු කොමසාරිස් තුමාට, මුද්රණාලාධිපතිතුමා ඇතුලු මුද්රණ කාලය මණ්ඩලයට, නිලධාරී හා සේවක පිරිසට සංගමයේ පුඤ්ඤානු මෝදනා පූර්වක ස්තුතිය ප්රකාශ කරමු.
බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී මහා ගුණ සමුදාය අවබෝධ කරගැනීමට මෙම පොතේ අඩංගු භාවනා මාර්ගය හේතු වේවා! යි පතමි. මෙයට ධර්මස්පීතිකාමී,
ආචාර්ය්ය එච්. ඒ. වී. අභයවර්ධන. ගරු සභාපති, රාජ්ය සේවා බෞද්ධ සංගමය
යූ. එස්. මුදලිගේ ගරු ප්රධාන ලේකම්, රාජ්ය සේවා බෞද්ධ සංගමය.
පී. එල් ජිනදාස සභාපති ආගමික අංශය සංස්කෘතිය අමාත්යාංශය, මැලේ වීදිය, කොළඹ 02.
ආචාර්ය්ය එච්. ඒ. වී. අභයවර්ධන. ගරු සභාපති, රාජ්ය සේවා බෞද්ධ සංගමය
යූ. එස්. මුදලිගේ ගරු ප්රධාන ලේකම්, රාජ්ය සේවා බෞද්ධ සංගමය.
පී. එල් ජිනදාස සභාපති ආගමික අංශය සංස්කෘතිය අමාත්යාංශය, මැලේ වීදිය, කොළඹ 02.
පුණ්යානුමෝදනාව
බුද්ධෝපි බුද්ධස්ස භණෙය්ය වණ්ණං කප්පම්පි චේ අඤ්ඤමහාසමානෝ ඛීයෙථ කප්පෝ විරදීඝමන්තරේ වණ්ණෝ න ඛීයෙථ තථාගතස්සා’ති.
ලොවුතුරා බුදු කෙනෙකු ආයුෂ අවසන් වන තෙක් වෙනත් බණක් දේශනා නොකර බුදුගුණම දේශනා කරන්නේ නම් තමන් වහන්සේ ගේ ආයුෂ ගෙවී ගියද, තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ වර්ණනාව නිම කළ නොහැක්කේමය.
අප මහා බෝසතාණන් වහන්සේ තම පාරමී ගමනේ සත් අසංඛ්ය කල්ප ලක්ෂයක් සිතින් බුදු බව පතමින් මනෝප්රනිධායද නවාසංඛ්ය කල්ප ලක්ෂයක් වචනයෙන් බුදුබව පතමින් වාක්ප්රනිධානයද, දීපංකර පාද මූලයේ පටන් සාරා සංඛ්ය කල්ප ලක්ෂයක් දස පාරමී සමතිංසත් ආකාරයෙන් සම්පූර්ණ කරමින් මහාප්රනිධානයද වශයෙන් ඉතා විසිතුරු ලෙස මේ පාරමී ගමන සම්පූර්ණ කිරීමට යෙදුනි.
මේසා අති දීර්ඝ පාරමී ගමනේ ලොව පහළ වූ (512027) පන්ලක්ෂ දොළොස් දහස් විසි එක් නමක් බුදුවරු සියසින් දැක වැඳ උපස්ථාන කරමින් තම පාරමිතා පෙළහර විසිතුරු කරන්නට යෙදුනි.
මේ සා අති දීර්ඝ කාලයක් අප මහා බෝසතාණෝ අනන්ත දුක් විඳිමින් පැමිණියේ සංසාර සාගරයේ ගිලී සිටින මේ සත්වයා සසර සයුරෙන් එතර කිරීමටය. එසේනම් පෙරුම් දම් පුරා බුදුබවට පත්වී වදාළ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එම උතුම් බුදු ගුණය කවරෙක් සිතා, කියා නිමකරන්නද, සමාර්ථයෙක් ලොව නැත. අනන්තාපරිමාන බුද්ධ ගුණය ගුණ පද නවයකට කැටිකර අප නව අරහාදී බුදුගුණ ලෙස සිහිපත් කරමු. සැබවින්ම මෙම සිත සනසන, නිවාලන, සසර දුක් නැති කිරීම හේතුවන භාවනා මාර්ගයකි. ඒ වූ උතුම් බුදුගුණ අප සෑම දෙනාටම වටහා ගැනීමට පහසු ලෙස විස්තරාත්මකව සැකසීමට යෙදුනේ අප ගුරු දේවෝත්තම වන්දනීය අතිගරු පූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ අතිනි.
අප වෙත මෙම දහම් පොත මුද්රණයට අවසර ලබා දුන් විස්තරාත්මක බුදුගුණ භාවනා පොත සම්පාදනය කළ අතිගරු පූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වන්සේට මෙම ධර්ම දාන කුසල් බලයෙන්ද, මෙතෙක් කලක් ධර්ම දානය වශයෙන් දහස් සංඛ්යාත පිරිසක් වෙත දහම් පොත් පිරිණැමීමෙන් අප රැස්කළ සියලු කුසල් බලයෙන් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා!
මෙයට
මෙතැති යටියන මංගල ඉසි ස්වාමීන්වහන්සේ
මෙයට මෙතැති යටියන මංගල ඉසි ස්වාමීන්වහන්සේ