පපඤ්ච දීපිකා මජ්ඣිමනිකාය අට්ටකථා සිංහල v2.pdf

කතෘ :
ලබුගම ලංකානන්ද හිමි
ප්‍රකාශිත වර්ෂය :
1936
මුද්‍රිත වර්ෂය :
1936
පිටු ගණන :
811
බාගත කිරීම් ගණන :
1,801
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-02-02
ගොනුවේ ප්‍රමාණය :
265 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 406

පපඤ්ච දීපිකා යනු මජ්ඣිම නිකායේ අටුවාව වූ පපඤ්චසූදනී අට්ඨකථාව සිංහල භාෂාවට නඟා සම්පාදනය කරන ලද අභිනව හෙළටුවා ග්‍රන්ථ මාලාවේ ප්‍රථම භාගයයි. මෙය සම්පාදනය කරන ලද්දේ මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්හි ආචාර්ය ලබුගම ලංකානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. මොල්ලිගොඩ ප්‍රවචනෝද්‍ය පරිවේණාධිපති සුවිසුද්ධ සද්ධර්මවාගීශ්වර ශ්‍රී දෙවරක්ෂිත සද්ධම්මවාහිනී එල්ලාවල නායක මාහිමියන්ගේ සංශෝධන භාරයෙන් යුක්තව මෙම කෘතිය ප්‍රකාශයට පත් විය.

සම්බුද්ධ පරිනිර්වාණයේ සිට ධර්ම සංගායනා පැවැත්වූ ආකාරය, අටුවා සම්ප්‍රදායේ ඉතිහාසය, හෙළටුවා බිහිවීම හා විනාශවීම, සහ නැවත අටුවා සිංහලයට පරිවර්තනය කිරීමේ වැදගත්කම විස්තර කෙරෙන අගනා සඤ්ඤාපනයක් (පෙරවදනක්) මෙහි අන්තර්ගතය. මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ පළමු සූත්‍ර සතරෙහි අටුවා පාඨ සරල සිංහලයෙන් විස්තර කර ඇත.

මෙම ප්‍රථම භාගයෙහි පහත දැක්වෙන සූත්‍රයන්ගේ අටුවා විවරණය අඩංගු වේ:

  • මූලපරියාය සූත්‍රවණ්ණනා
  • සබ්බාසව සූත්‍රවණ්ණනා
  • ධම්මදායාද සූත්‍රවණ්ණනා
  • භයභෙරව සූත්‍රවණ්ණනා

ප්‍රවචනාධාර සභාවේ භාණ්ඩාගාරික තැන්පත් මොල්ලිගොඩ කේ. ඩී. විලියම් සිල්වා මහතාගේ මූල්‍ය දායකත්වයෙන් 1936 වර්ෂයේදී හොරණ විද්‍යාශෙඛර යන්ත්‍රාලයේදී මුද්‍රණය කරවා ඇත.

සඤ්ඤාපනය

ශ්‍රී සද්ධර්ම රත්නය. ශ්‍රී ඝනශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ සර්වමාර මථනය කොට බුද්ධ රාජ්‍යයට පැමිණි වදාළතැන් පටන් නිරුපධිශෙෂ පරිනිර්‍වාණ ධාතුවෙන් පිරිනිවීම දක්වා පන්සාලිස්වසක් මුළුල්ලෙහි අමෘතමහා ගංගාප්‍රවාහයක් සෙයින් සකලදෙවි මිනිසුන්ගේ කෙලෙස් ගිනි නිවමින් දේශනා කර වදාළ ශ්‍රී සද්ධර්මරත්නය එක ම විමුක්ති රසය එලවන හෙයින් එකවිධ වේ. ධර්ම විනය වශයෙන් ද්විවිධවේ එහි විනය නම්? විනය පිටකයයි. තදවශෙෂ වූ සියලු බුද්ධ වචනය ධර්ම නම්.

ප්‍රථම-මධ්‍යමාවසාන වශයෙන් ත්‍රිවිධ වේ. සූත්‍රාභිධර්ම විනය පිටකයන්ගේ වශයෙන් ද ත්‍රිවිධවේ. එහි “උභයප්‍රාතිමොක්‍ෂය උභය විභංගය දෙවිසි ඛන්ධකය සොළොස් පරිවාරය,, යන මේ විනය පිටක නම්. හෙද- පාරාජිකා- පාචිත්තිය- මහාවග්ග- චූලවග්ග පරිවාර, යයි ග්‍රන්ථ පසකින් හෙබියේය සූත්‍රාන්ත පිටකය- දීඝනිකාය මජ්ඣිමනිකාය සංයුත්තනිකාය අංගුත්තර නිකාය සහ ඛුද්දකනිකායයෙහි ඛුද්දක පාඨ- ධම්මපද- උදාන- ඉතිවුත්තක -සුත්තනිපාත-විමානවත්ථු-පෙතවත්ථු ථෙරගාථා- ථෙරීගාථා- ජාතක- නිද්දෙස- පටිසම්භිදා- අපදාන- බුද්ධවංස- චරියා පිටක යන ග්‍රන්ථ පසළොසින් ද පරිමිත විය. අභිධර්ම පිටකය ධම්මසංගණී- විභංග- ධාතුකථා- පුග්ගලපඤ්ඤත්ති- කථාවත්ථු- යමක-පට්ඨාන යන සප්තප්‍රකරණයෙන් ප්‍රතිමණ්ඩිත වූයේය.

තවද- මෙහි විනය පිටකය- ආඥාබාහුල්‍යයෙන් දේශනා කළ හෙයින් ආඥාදෙශනා යි ද බහුලවූ ව්‍යතික්‍රම ඇති සෙය්‍යසකාදීහු? අපරාධය වූ පරිදි මෙහිලා අනුශාසනා කරනලද හෙයින් යථාපරාධ සාසන යි ද, අධ්‍යාවාරයන්ට ප්‍රතිපක්‍ෂ වූ කුදුමහත් සංවරය වදාළහෙයින් සංවරා‘‘සංවරකථා’’යි ද කියනු ලැබේ. සූත්‍රපිටකය- ලොකව්‍යවහාරය බහුලවශයෙන් දේශනා කළ හෙයින් වොහාර දෙශනා යි ද, විවිධ ආශයානුසය චරිතාධිමුක්ති ඇති සත්ත්‍වයෝ අධ්‍යාශයාදීන්ට අනුරූපවශයෙන් අනුශාසනා කරනලද හෙයින් යථානුලොම සාසන’යිද, දෙසැට දෘෂ්ටීන්ගේ දුරලීම වදාළහෙයින් දිට්ඨිවිනිවෙඨනකථා’යි ද කියනුලැබේ.. අභිධර්මපිටකය- ස්කන්ධාදි පරමාර්ථ බාහුල්‍යයෙන් වදාළ හෙයින් පරමත්ථදෙසනා’යි ද, ස්කන්ධාදි ධර්ම මාතෲයෙහි මම ය මාගේ යයි සංඥා ඇත්තාහු ධර්මස්වභාවයට අනුරූපවශයෙන් අනුශාසනා කරන ලද හෙයින් යථාධම්මසාසන’යි ද, රාගාදීන්ට ප්‍රතිපක්‍ෂවූ නාම රූපයන්ගේ පිරිසිඳිම වදාළ හෙයින් නාමරූප පරිච්ඡෙදකථා’යි ද කියනු ලැබේ.

මෙසේ පිටක වශයෙන් ත්‍රිවිධ වූ බුද්ධවචනය නිකාය වශයෙන් පඤ්චවිධ වේ. එහි- වර්ගතුනක සංග්‍රහ වූ බ්‍රහ්මජාලාදි දීර්ඝප්‍රමාණ සූත්‍ර සූතිස දීඝනිකාය නම් වේ. මධ්‍යම ප්‍රමාණ සූත්‍රයන්ගෙන් යුක්ත වූ වර්ග පසළොසක සංග්‍රහ කරනලද මූලපරියායාදි සූත්‍ර එක්සිය දෙපනස මජ්ඣිමනිකාය නම් වේ. දෙවතාසංයුක්තාදි වශයෙන් පිහිටි ඔඝතරණ සූත්‍රය ප්‍රමුඛ කොට ඇති සත්දහස් සත්සිය දෙපනස් පමණ සූත්‍රයෝ සංයුක්තනිකාය නම් වේ. එකක නිපාතාදි එකොළොස් නිපාතයක සංග්‍රහ වූ චිත්තපරියාදාන සූත්‍රය ආදි කොට ඇති නවදහස් පන්සිය සත්පනසක් සූත්‍රයෝ අංගුත්තර නිකාය නම් වේ. මෙකී නිකාය සතර හැර විනය පිටකයෙහි පාරාජිකාපාළි ආදි ග්‍රන්ථ පස ද සූත්‍ර පිටකයෙහි ම ඇතුලත් වූ ඛුද්දකපාඨාදි පළමු දැක්වු ග්‍රන්ථ පසළොස ද- අභිධර්ම පිටකයෙහි ධම්මසඞ්ගණී ආදි සප්තප්‍රකරණය ද යන මොවුහු ඛුද්දකනිකාය නම් වේ.

නැවත- අංගවශයෙන් සියලු බුද්ධවචනය නවවිධ වේ. සුත්ත- ගෙය්‍ය- වෙය්‍යාකරණ- ගාථා- උදාන- ඉතිවුත්තක- ජාතක- අබ්භුතධම්ම- වෙදල්ල යයි කියායි. මෙසේ අංගවශයෙන් නවවිධ වූයේ ධර්මස්කන්ධ වශයෙන් අසූසාර දහසකට ප්‍රභේද වේ. මෙකී තාක් බුද්ධ වචනය සම්බුදුන් වහන්සේ ජීවමාන සමයෙහි ග්‍රන්ථාරූඪ කළ කිසිවෙක් නැත.

ප්‍රථම සංගායනාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවිකල්හි සුභද්‍රනම මහලු පැවිද්දෙකු ප්‍රකාශ කළ අගෞරව වචනය නිමිති කොට අනුබුද්ධ වූ මහාකාශ්‍යපස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් රැස් කරවා ශාසනය අවුරුදු පන්දහසක් නිරුපද්‍රැතව පවත්නා පිණිසත් අධර්මවාදී- අවිනයවාදීන් මර්‍දනය කරනු පිණිසත් ධර්මය සංගායනා කළ මැනවැයි දැන්වූහ. භික්‍ෂූන් යෙහෙකැයි පිළිගත් කල්හි කාශ්‍යපස්ථවිරයන් වහන්සේ ත්‍රිපිටක පර්‍ය්‍යාප්තිප්‍රභෙදධර වූ ප්‍රතිසම්භිත්ප්‍රාප්ත වූ මහානුභාව ඇති බොහෝසෙයින් තථාගතයන් වහන්සේ එතදග්‍රයෙහි තැබුවා වූ ශෛක්‍ෂ වූ ආනන්දස්ථවිරයන් ද සමග ක්ෂීණාශ්‍රවභික්‍ෂූන් පන්සියයක් නියම කළහ. මහාකාශ්‍යපස්ථවිර ප්‍රමුඛ ඒ භික්‍ෂූහු රජගහනුවර වස්වසෙමින් වෙහාරපර්වතප්‍රාන්තයෙහි සප්තපර්ණීගුහාද්වාරයෙහි අජාසත් රජු විසින් කරවනලද මනහර ධර්මමණ්ඩපයෙහි රැස් ව සියලු ධර්මවිනය සංගායනා කළහ.

එහි දී සර්‍වවීර භික්‍ෂූහු ඒ ධර්මවිනය පිටකාදිවශයෙන් විභාග කොට සංගායනාවට නැගූහ. මෙසේ පාලිධර්මය සංගායනාකොට භාග්‍යවතුන් වහන්සේ විසින් ම ඒ ඒ තැන්හි දී වදාළ ප්‍රකීර්‍ණක ධර්ම කොට්ඨාශයන්ගෙන ත්‍රිපිටක අර්‍ථකථාව ද සංගායනා කළහ. එහෙයින් සියලු අර්‍ථකථා තථාගතයන් වහන්සේ විසින් වදාරානු යයි සැලකිය යුතුයි.

තවද- උදානසංග්‍රහ- වර්‍ගසංග්‍රහ - පෙය්‍යාලසංග්‍රහ- නිපාතසංග්‍රහ- සංයුක්තසංග්‍රහ පණ්ණාසසංග්‍රහාදි පිටකත්‍රයෙහි පෙනෙන නො එක් සංග්‍රහභේද ව්‍යවස්ථා කොට මෙසේ බුදුන් පිරිනිවි වර්‍ෂයෙහි ම මේ ප්‍රථම සංගායනාව සත්මසකින් නිමවූහ. ඒ සියල්ල තථාගතයන් ධර්මය දෙශනා කළ ශුද්ධමාගධික භාෂාවෙන්ම තබනලදී. සංගායනාරැස් වූ සාවකථාත්‍රිපිටකධර්මය මහා කාශ්‍යපස්ථවිරාදීන්ගේ ශිෂ්‍යානුශිෂ්‍යපරම්පරාව විසින් මුඛපාඨවශයෙන් ම ගෙන එන ලද්දේය.

ද්විතීය සංගායනාව. තථාගත පරිනිර්‍වාණයෙන් වර්‍ෂ සියයක් ඉක්ම ගිය කල්හි විශාලානුවර වැසි වජ්ජිපුත්‍රකභික්‍ෂූහු “සිංගිලොණකප්පා,,දි අකැප දශවස්තුවක් ප්‍රකාශ කළහ. ඒ බැව් දත් සබ්බකාමී ප්‍රමුඛයශස්ථවිරයන් වහන්සේ මෙබඳු ශාසනමලයක් දැක දැක උපෙක්‍ෂාවීම නො මැනවැයි සලකා රෙවතස්ථවිර ප්‍රමුඛ භික්‍ෂූන් සැටදහසක් රැස්කරවූහ. රෙවතස්ථවිරයන් විසින් විචාරනලදුව සබ්බකාමී නම් තෙරණුවෝ විනය විසඳා දශවස්තු විනිශ්චය කළහ. මෙසේ ඒ අධිකරණය සම්මතයට පමුණුවනලදී. අනතුරුව ඒ සර්‍වවීරභික්‍ෂූහු ඒ අධිකරණය ම නිමිති කොට නැවතත් ධර්ම විනය සංගායනා කළ මැනවැයි සලකා සබ්බකාමී ප්‍රමුඛ යශස්ථවිර ප්‍රමුඛ ත්‍රිපිටක පර්‍ය්‍යාප්තිධර ප්‍රතිසම්භිත්ප්‍රාප්ත වූ සත්සියයක් ක්‍ෂීණාශ්‍රවයන් නියම කොට විශාලා නුවර වාලුකාරාමයෙහි රැස්ව කාලාසොක රජුගේ සහායයෙන් ප්‍රථමසංගායනාවෙහි සෙයින්ම පිටකාදි වශයෙන් සංග්‍රහකරමින් මේ දෙවන සංගායනාව අටමසකින් නිමකළහ.

තෘතීය සංගායනාව. සම්බුද්ධ පරිනිර්‍වාණයෙන් දෙසිය අටළොස්වසක් ඉක්ම ගිය සඳ ධර්මාශොකමහරජාණෝ දඹදිව විපරක්‍රාන්තීහු වූහ. ඒ රජතෙම බුදුසසුන්හි පැහැද පැලලුප්නුවර අශොකාරාමය ආදි සුවාසුදහසක් විහාර කරවා සසුන්හි මහත් පූජා පැවැත්විය. එකල ප්‍රත්‍යයලාභයෙහි ගිජුවූ තීර්ථකයෝ සසුන් වැද තමන් තමන්ගේ විෂම දෘෂ්ටීන්ම ධර්මය විනය කොට දක්වමින් ශාසනයෙහි මහත් අර්බුද ඉපදවූහ. මේ අධිකරණය අතිශයින් බලවත් වූයෙන් ධර්මයෙන් විනයෙන් ශමථයට නො පැමිණවිය හැකිවිය. එහෙයින් ධර්මාශොකරජුගේ බලවත් සහායයෙන් සියලු භික්‍ෂූන් අශොකාරාමයට රැස් කරවා ශ්‍රමණවෙශධාරී වූ සැටදහසක් පමණ තීර්ථකයන් නෙරපා ශාසනය ශුද්ධ කරනලද්දේය.

මේ අධිකරණය නිමිති කොට නැවතත් ධර්මය සංගායනා කළ මැනවැයි සැලකූ සර්‍වවීර භික්‍ෂූහු මොග්ගලීපුත්තතිස්ස ස්ථවිර ප්‍රමුඛ දහසක් ක්ෂීණාශ්‍රවයන් නියම කොට බුදුන් පිරිනිවි දෙසියපන්තිස්වන වර්ෂයෙහි පැලලුප්නුවර අශොකාරාමයෙහි රැස්ව ධර්මාශොකරජුගේ ආරක්‍ෂා ඇතිව ප්‍රථමසංගායනා දෙකෙහි දී මෙන් ම පිටකාදි වශයෙන් ශ්‍රාවක පාඨධර්ම විනය සංගායනා කොට නවමසකින් නිමවූහ.

මහින්දා ගමනය. සියලු ශාසනකණ්ටක විශොධනය කොට තෘතීය මහාධර්මසංගායනාව නිමවා විදෙශයන්හි ධර්මප්‍රචාරය සඳහා ධර්මදූත භික්‍ෂූන් යවන්නාවූ මොග්ගලීපුත්ත තිස්ස ස්ථවිරයන් වහන්සේ ලංකා බුද්ධ ශාසන ප්‍රතිෂ්ඨාපනය සඳහා ස්වකීය අතවැසි වූ ක්‍ෂීණාශ්‍රව මහා මහින්ද්‍රස්ථවිර ප්‍රමුඛ පඤ්චවර්‍ගික භික්‍ෂූන් නියම කළහ ඒ මහින්ද්‍රස්ථවිරයන් වහන්සේ ද සංගායනාත්‍රයෙහි ඇතුලත් වූ සාවකට්ඨා ත්‍රිපිටකධර්මය ද සියලු ආචාර්‍ය්‍යවාදය ද සිය ගුරුමුඛයෙන්ම ඉගෙන ධාරණය කරණ සේක. උන්වහන්සේ බුදුන් පිරිනිවි දෙසියසතිස්වන වර්‍ෂයෙහි පොසොන්මස පුණුපොහෝදවස් ලක්දිව පැමිණ අඹතලා ගල්හි වැඩහිඳ ලංකාධීශ්වර දෙවානම්පියතිස්ස මහරජාණන් දහම් දෙසිමෙන් නිසරණ ගන්වා නොබෝකලකින් සියලු සිංහලජනතාවටම බුද්ධාගමය පිළිගැන්වූහ. එසේ ම නො එක් දහස් ගණන් සිංහල ජනයා පැවිදි- උපසපන් කරවා ඔවුන්ට වාග්ව්‍යවහාරයෙන් ම සාවකට්ඨා ත්‍රිපිටකධර්මය ඉගැන්වූහ.

චතුර්ථ සංගායනාව. එක් දිනක් ලක්දිව බුදුසසුන් පිහිටියේ හෝ නොවේ හෝ දැ? යි විචාල රජුට මහින්ද්‍රස්ථවිරයන් වහන්සේ මහරජ! මේ දිවයින්හි ම උපන් මවුපියන්ගේ දරුවෙක් මෙහි මැ මහණ- උපසපන් වැ මෙහි මැ ධර්මවිනය ඉගෙන මෙහිදීම විනය දේශනා කරන තෙක් ශාසනය මුල්ප්‍රතිෂ්ඨා නො වන්නේය යි ද, මේ කායර්‍ය්‍යයෙහි මහාඅරිට්ඨ නම් භික්‍ෂුව ප්‍රබල යයි ද දැන්වූහ. ඊට පසු රජු විසින් ථූපාරාම විහාරයෙහි කරවූ ධර්මමණ්ඩපයෙහි රැස් වූ මහා මහින්ද්‍ර ස්ථවිර ප්‍රමුඛ අටසැට දහසක් භික්‍ෂූන් මධ්‍යයෙහි මහා අරිට්ඨ නම් ස්ථවිරයන් වහන්සේ ධර්මාසනාරූඪ ව විනයපිටකය දේශනා කළහ. මෙය පළමු දැක්වූ සංගායනාත්‍රයට අසමානවුව ද ලංකාසම්බුද්ධ ශාසනයාගේ මුලප්‍රතිෂ්ඨාව සඳහා කළ හෙයින් ද- සංගායනා ස්වරූප හෙයින් ද- සතරවෙනි ධර්මසංගායනාව වශයෙන් සලකනු ලැබේ.

අර්‍ථකථා සිංහල භාෂාවෙන් ලිවීම. තථාගත පරිනිර්‍වාණයෙන් සාධිකශතවර්‍ෂයක් ඉක්ම යන තුරු ද ත්‍රිපිටකපාළිය හෝ අර්‍ථකථා මාගධ භාෂාවෙන් හෝ අන්‍ය භාෂාවකට පරිවර්තනය කිරීමෙන් පදවර්‍ණනාමාත්‍රයකුදු ලියනලද්දාහු නො වෙති. මහින්ද්‍රස්ථවිරයන් වහන්සේ විසින් අර්‍ථකථා සහිත අචාර්‍ය්‍යවාදය ද ලාංකෙය්‍ය අතවැසිගණයට ඉගැන්වූ බැව් යට කියනලදී. ඒ දූරදර්ශී වූ සිංහල භික්‍ෂූහු මාගධි අර්‍ථකථා සහිත ථෙරවාදය මතන්තර සංකලනයෙන් වලකනු සඳහා කාඤ්චුකයෙකින් වසා තබන්නාක් මෙන් සිංහලයෙන් පරිවර්තනය කොට ලියූහ. තථාගතධර්මය භාෂාන්තර පරිවර්තිත වූ ප්‍රථමවාරය මෙය වේ. හෙ ද අර්‍ථකථා පමණෙකි. මේ ධර්මලෙඛන ශෙෂි ලාංකම් ගෞරවයක් වේ නම්? එය සිංහල ජනතාවට හා සිංහල භාෂාවට ද හිමි වේ. මේ අටුවා සමූහය අනුරාධපුර මහා විහාරීය භික්‍ෂූන් විසින් ලියූ හෙයින් මහා විහාර අටුවා යි ද, හෙළටුවා යි ද ප්‍රකටවිය.

අවශෙෂ අර්‍ථකථා. මෙකී මහා අටුවාව හැර ‘‘මහාපච්චරියට්ඨකථා, කූරුන්දි අට්ඨකථා, අන්ධකට්ඨකථා, සංඛෙපට්ඨකථා,, යයි අන්‍ය අර්‍ථකථා සතරක් ද වූහ. එහි පඳුරෙක්හි වෙසෙමින් ලියූ අටුවාව මහාපච්චරිය නම් විය. එය යට දැක්වේ. කූරුන්දු වැලි නම් විහාරයෙහි වෙසෙමින් ලියූ අටුවාව කූරුන්දි නම් වේ. අර්‍ථකථාවල ‘‘කූරුන්ඳවෙල්ලී,, යි ද මහාවංසයෙහි ‘‘කූරුන්‍දපාසක,, යි ද පෙනෙන මේ විහාරය බු: ව: 433 දී, රජ පැමිණි බල්ලොනාග රජු විසින් කරවූ හෙයින් කූරුන්දි අටුවාව ඉන් පසු කලක ලියනලද්දක් වේ. ත්‍රිපිටක ධර්මයාගේ සංක්‍ෂෙපයෙන් අරුත් දැක්වීම පිණිස ලියනලද්දී සංඛෙපට්ඨකථා නම් වූය. මේ අටුවා සියල්ල ම සිංහලයෙන් ම ලියනලද්දාහුයි. අන්ධකට්ඨකථා නම්? ‘‘ආන්ධ්‍ර,, යයි ප්‍රසිද්ධ වූ ද්‍රවිඩ භාෂාවිශෙෂයෙන් හෝ තද්දේශීය ආචාර්‍ය්‍යවරයෙකු විසින් සිංහලයෙන් ම ලියනලද්දක් බව හැඟේ.

බ්‍රාහ්මණ තිස්ස භය හා මහාපච්චරිය අටුවාව. වට්ටගාමිණී අභයරජතෙම බු: ව: 439 වැන්නේහි ප්‍රථම වරට රජ විය. මෙකල තිස්ස නම් බමුණෙක් රාජ්‍යය සඳහා ඩූමරිකව හැසිරෙන්ට විය. බමුණු තෙම මහාජනයා විසින් තියසොර යයි හඳුන්වනු ලැබීය. පුලහත්‍ථාදි ද්‍රවිඩයන්ගේ පැමිණීම ද මෙකල්හි ම විය. රජතෙම සිංහාසනය හැර වල් වැදුනේය මේ සොරබිය හා පරසතුරුබිය පවත්නාකල්හි මහත් තියඟයකින් සස්‍ය විනාශයද විය. මේ තියඟය දොළොස්වසක් පැවතුනේය. මේ කාලයෙහි ලක්‍ෂ ගණන් මහාජනයා ද දහස් ගණන් භික්‍ෂූහුද මළහ. ලංකා ඉතිහාසයෙහි මෙපමණ අඳුරුකාලයක් දක්විය නොහැකි තරම්ය. මෙ කල ඇතැම් භික්‍ෂූහු පරදෙස ගියහ. කිසිවෙක් පලාකොළ කමින් ජීවත්වූ මිනිසුන් අතර ඉතා දුකසේ ජීවත් වූහ. කිසිවෙක් ගඟුලක අනුදැනීම පරිදි දබකොළපවුණ සමීපසාගරයෙහි පඳුරක් කොට එහි විසූහ. මේ සියල්ලන්ගේම පරමාධ්‍යාශය වූයේ එතෙක් කල් ග්‍රන්ථාරූඪ නොවූ ත්‍රිපිටක පර්‍ය්‍යාප්තිය රැකගැනීමයි. එහෙයින් පඳුරෙහි විසූ භික්‍ෂූහු පිටකත්‍රය සිත්හි ධරමින් සිංහලයෙන් අටුවා ලියූහ. ඕ මහාපච්චරියට්ඨකථා නම් වූය. මෙසියලු අටුවා අතුරෙහි මහා විහාරීය අටුවාවම අතිශයින් ප්‍රශස්තද සම්පූර්‍ණ ද වූවාය.

පඤ්චම සංගායනාව හා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම. දොළොස්වසක් පමණ ඉක්ම යන කල්හි බ්‍රාහ්මණතීස්ස භය (බැමිණිතියාසාය) ක්‍රමයෙන් සංසිඳුනේය. බුදුන් පිරිනිවි වර්ෂ 454 ක් ඉක්මුණු කල්හි ‘‘පිතෘමහාරජ,, යයි ප්‍රසිද්ධ වලගම්බාතෙම නැවත රජ්‍යයට පත්විය. පරදෙස ගිය භික්‍ෂූහු ද පෙරලා පැමිණි

යහ. මේ කල්හි! ම මහා විහාරයෙන් භින්නව අන්‍යනිකායක් අභයගිරි විහාරයෙහි පහළවිය. දුර්භික්‍ෂාදි මහා විපත්තියෙන් පීඩිත වූ මහා විහාරීය භික්‍ෂූහු ලක්දිව නිකායාන්තරයන්ගේ සම්භවය හේතු කොට සංගායනාත්‍රයට පැමිණි අතිපරිශුද්ධ බුද්ධ වචනය නිකායාන්තර සංගීයෙන් කාලාන්තරයට පැමිණිය හැකියයි ද අනාගත ශාසනධාරීන්ගේ ධාරණ ප්‍රඥාව අල්ප යයි ද සලකා ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමට නිශ්චය කරගත්හ. එහෙත් ලංකාධිපති වලගම්බා නෘපර්ජු අභයගිරි පක්‍ෂය ගෙන සිටිහෙයින් ද අභයගිරිනිකායිකයින්ගෙන් පීඩා ඇතිවිය හැකි හෙයින්ද මහා විහාරය හැර මාතුල (=මාතලේ) ජනපදයෙහි අලුවිහාරයට රැස්ව ධර්ම සංගායනාව සඳහා ත්‍රිපිටක පර්‍ය්‍යාප්තිධර පන්සියයක් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ නියම කළහ. ඒ භික්‍ෂූහු මාතුල ජනපදාධිපතිහුගේ ආරක්‍ෂා ඇතිව සියලු ධර්ම විනය ප්‍රථම සංගායනාවන්හි සෙයින් පිටකාදි වශයෙන් පිළිවෙළින් සංගායනා කොට ග්‍රන්ථයන්හි ලෙඛනය ද කළහ. මෙසේ බුදුන් පිරිනිවි සාරසිය සුපනස්වසක් ගතවූ කල්හි මුඛපාඨවශයෙන් ගෙනා සියලු බුද්ධ වචනය ප්‍රථමවරට ග්‍රන්ථාරූඪ විය. මෙහි ගෞරවය ද ලක්දිවට ම හිමි වේ.

සූත්‍රපිටකය සිංහලයට නැගීම. ඒ පඤ්චම සංගායනාවෙහි පටන් ත්‍රිපිටකය මාගධ භාෂාවෙන් ද අර්‍ථකථා සිංහලභාෂාවෙන් ද පඨන පාඨන ලෙඛනාදි වශයෙන් පැවැත්තේය. බු: ව: 882 දී රජ පැමිණි බුද්ධදාස රජු සමයෙහි මහා ධම්මකථී නම් ස්ථවිරකෙනෙක් සූත්‍රපිටකය සිංහලට නැගූහ. එය මෙකල සම්පූර්‍ණයෙන් ම අභාවප්‍රාප්තයැ.

මාගධ අර්‍ථකථා. බු: ව: 953 දී රජ වූ මහානාම රජු දවස මෙහි පැමිණි බුද්ධඝොෂ ස්ථවිරයන් වහන්සේ සිංහල භාෂාවෙන් ලියා තුබූ සියලු අටුවා සසඳමින් මහා විහාර අටුවාව ප්‍රමුඛස්ථානයෙහි තබා මාගධ භාෂාවෙන් පරිවර්තනය කළහ. සමහර අටුවා බදරතිත්‍ථ ධම්මපාල- බුද්ධදත්ත- උපසෙන- මහානාම ආචාර්‍ය්‍යවරුන් විසින් පරිවර්තීතවූහ. මෙතැන් සිට සාවකථා ත්‍රිපිටකධර්මය ග්‍රන්ථාරූඪ වූයේ ලක්දිව හා විදෙශයන්හි ද ව්‍යාප්ත විය.

අර්‍ථකථා ග්‍රන්ථි පද. හෙළුටුවා පරිවර්තනය කළ පසු මාගධ භාෂාමය අටුවාවන්ට ශිෂ්‍යොපදේශී පණ්ඩිතවරයන් විසින් මහාගණ්ඨිපද-මජ්ඣිම ගණ්ඨිපද- චූල ගණ්ඨිපද යයි සිංහලයෙන් ලියූ ගැටපද ග්‍රන්ථ සමූහයක් ද විය. හෙද පොළොන්නරු සමයෙහි ශාරිපුත්‍රසංඝරාජයන් වහන්සේ විසින් ටීකා නිපදවීමෙන් පසු අභාවයට ගියබැව් පෙනේ. එයින් ශෙෂව පවත්නා බු: ව: 473 දී රජ පැමිණි 5 වෙනි කාශ්‍යප රජු විසින් ලියනලද දම් පියා අටුවා ගැටපදය ධර්‍මවිකාශීන්ට සීත් දිනමින් සිංහල සාහිත්‍යයෙහි අභිෂෙක ලැබ පවතී.

හෙළටුවා විනාශය. බුද්ධඝොෂ තෙරුන්ගේ හෙළටුවා පරිවර්තනයෙන් පසු ද ඒවා බොහෝ කලක් නිරුපද්‍රැතව පැවැත්තේය. ‘‘මාගධී පරිවර්තනයෙන් හෙළටුවා විනාශය විය,, යනු සාවද්‍යමතයෙකි. දම්පියා අටුවා ගැටපද විසුද්ධිමග්ග සන්නා ආදියෙහි පාඨ ප්‍රදෙශ දක්නා ලැබෙන හෙයිනි. කාලිංග මාඝාදීන්ගේ දුෂ්ටක්‍රියා මාර්ගය නිසා අන්‍ය වැදගත් සිංහල ග්‍රන්ථයන් සමග හෙළටුවා ද විනාශවූ බව සැලකිය යුතුයි.

අර්‍ථකථා සංරක්‍ෂණය. මාගධියට නැගූ අටුවා විදෙශයන්හිද ගෙන ගිය බැව් යට කියනලදී. ලක්දිව මාගධි අටුවා ද හෙළටුවා සමග බොහෝ සෙයින් අභාවයට ගියේය. එසේ අභාවයට ගිය බොහෝ ග්‍රන්ථ පිටරටින් ගෙන්වූ වාර ද සඳහන් වේ. යම් හෙයකින් මාගධි පරිවර්තනය නො වී නම් අද ත්‍රිපිටකාර්ථ කථාවලින් වැඩි කොටසක් ලොකයෙන් අතුරුදහන් වනු නියතයි. එහෙයින් බුද්ධඝොෂ ක්‍රියා මාර්ගය අටුවා රැකීමෙහි ලා අතිශයින් උපකාරී විය. ඒ මාගීයෙන් ම දැනුදු හැකි තාක් හෙළටුවා නිපදවා ගැනීමට ඉඩ තිබේ. විශෙෂයක් නම්? දුරාතීතයෙහි පැවති (දැනට සෙල්ලිපිවල) භාෂාවෙන් නො ලැබීම පමණකි. අවුරුදු දහසකින් මෙපිට කවර ශතවර්ෂයක නමුත් භාවිත වූ හෙළවට සමවන පරිදි නිපදවා ගැනීමට ඇති බාධාව කුමක් ද? ධම්මපදට්ඨකථා ජාතකට්ඨකථා ආදිය මාගධි අටුවාවෙන් පරිවර්තිතව දැනුදු පවතී. එහෙත් ඒ විශෙෂ ධර්ම ග්‍රන්ථ වශයෙනි.

අභිනව හෙළටුවා. දැනට සිංහලයට නඟා තිබෙන අටුවා කීපයෙන් සිංහල ජනතාවට ලැබී තිබෙන ප්‍රයෝජනය මහත් වේ. සෙසු අටුවා ද සිංහලයට නඟාලීමෙහි යොග්‍යක්‍ෂණය සැලකූ පින්වත් තේජොවන්තතිස්සාභිධාන මහා ස්ථවිරයන් වහන්සේ විසින් ආරාධිත වැ මොල්ලිගොඩ ප්‍රවචනොදය පරිවෙණාධීශ්වරව වැඩවිසූ අපගේ ආචාර්‍ය්‍ය ශ්‍රී මහා විහාර වංශාලංකාර විමලකීර්ති ශ්‍රී ඉන්ද්‍රජොත්‍යභිධාන රයිගම නායක මාහිමියන් වහන්සේ මනොරථපූරණී නම් අංගුත්තර නිකායට්ඨකථාව පරිවර්තනවශයෙන් මනොරඤ්ජනී නම් සිංහල අටුවා නිපදවූහ. එයින් කොටසක් මුද්‍රිත වැ තදනිලා ෂීන්ගේ ඉෂ්ටාර්ථ සිද්ධිය කෙරේ. (තත්කර්තෘස්වාමිකාරීන්ගේ ප්‍රමාදයෙන් ඉතිරි කොටස මෙ තාක් මුද්‍රණය වී නැත.) පපඤ්ච සූදනී නම් මධ්‍යම නිකායාර්‍ථකථාව ද හෙළටුවාවක් කිරීමෙහි අභිලාෂී ව සිටි නායක මාහිමියාණෝ තත්කාර්‍ය්‍යසිද්ධිය අතිපස්නාතව ම ස්වගී පරායණ වූහ. තදද්ව්‍යාශය පූරණයෙහි ලා අපගේ මේ ව්‍යාපාරය වන්නේය.

පපඤ්ච සූදනී. සංගායනාත්‍රයට ම ආරොපිත වූ මධ්‍යම නිකායාර්‍ථ කථාව යට කී ලෙසින් හෙළබසින් තබනලද්දී පසුව මාගධියට නඟනලද්දීය. ඕතොමෝ යම්හෙයකින් ධර්මයාගේ විස්තාරාර්ථ ප්‍රසවය කරත්නි ද එහෙයින් පපඤ්ච සූදනී නම් වූය. මේ අටුවාව ලංකා- සියම්- බුරුමාදි රටවල ආචාර්‍ය්‍යවරයන් විසින් සංශොධිත වැ මුද්‍රිත වූවා පවතී. එයින් ශ්‍රීමත් අතිගරු සර් රිචඩ් චාමර්ස් උතුමාණන් විසින් ආරාධිත වැ කරනලද විද්‍යාලංකාර පරිවෙණාධීශ්වර වැ විසූ ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාමාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංශෝධනය ම අතිශයින් අනාකුල ද ප්‍රශස්ත ද වන්නේය.

ප්‍රපඤ්ච දීපිකා. ඒ පපඤ්ච සූදනී නම් මගධි අටුවා නැවත සරල වූ සිංහල භාෂාවට නඟනලද්දී විස්තාරාර්ථයන් ප්‍රකාශ කරත්නි නු යි ප්‍රපඤ්ච දීපිකා නම් වූය. මේ පරිවර්තනයෙහිදී ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන්ගේ සංස්කරණය මූලස්ථානයෙහි තබා සුදුසු තැන්හි සෙසු අටුවා හා ධම්මලපිටියේ වජිර බුද්ධ කාලයස්ථ ටීකාව ද අපවිසින් ඇසුරු කරනලදී.

උපකාර මහඟු අපගේ මේ සද්ව්‍යාපාරය “ප්‍රවචනොදය,, පරිවෙණාධිපති ෂට්භාෂායී ශ්‍රී සද්ධර්මවාගීශාභිධාන නායක මාහිමියන් වහන්සේ සංශොධනප්‍රමුඛ වැ ප්‍රතිග්‍රහණය කිරීමෙන් ද,- තත්පරිවෙණොප ප්‍රධානාචාර්‍ය්‍ය මොල්ලිගොඩ සිරි අභයවංසාභිධාන මහා ස්ථවිර ස්වාමිපාදයන් වහන්සේ ද- ප රි වෙ ණො පා චා ය්‍යර්‍ පණ්ඩිත හල්තොට ගිරිමානන්දාභිධාන මහාස්ථවිරයන් වහන්සේ ද- කළුතර දෙවානන්දාභිධාන ස්ථවිරයන් වහන්සේ ද යන අස්මදාලොකෙශානතමයන් විසින් දුරවබොධ වූ සියලු ස්ථානයන් කරුණා පූර්‍වකංග මාධ්‍යාශයෙන් සුබොධ කරදීමාදි වශයෙන් ද අතිශයින් සාර්ථක කළ බැව් අත්‍යන්ත ගෞරවාචාරයෙන් වැ ප්‍රකාශ කරම්හ. තවද වවුලුගල සිරිධම්මරක්ඛිතාරාමාධිපති අස්මදාචාර්‍ය්‍ය එල්ලාවල විමලරතනාභිධාන මහාස්ථවිර පාදයන් වහන්සේ හා දළඳාවත්තේ මහා විහාරාධිපති පනාගොඩ ශ්‍රී රෙවත ධර්මරක්ඛිතාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා මධ්‍යපාත සුමනජොති ආයුෂ්මතාණන් ද මෙහි ලා අතිශයින් ආධාර කල බැව් ද, විශෙෂයෙන් ම අප ප්‍රියසබ්‍රහ්මචාරී වූ සිරි ධම්මරක්ඛිතාරාමවාසි මොල්ලිගොඩ සියරතන ආයුෂ්මතාණන් විසින් මුද්‍රණයෙහි දී ශුද්ධිපත්‍ර බැලීම් ආදි වශයෙන් සම්පූර්‍ණායෙන උපාසනා කටු බැව් ද කෘතවෙදී වැ සඳහන් කරම්හ.

එසේ ම විශේෂ උනන්දුවක් දක්වමින් මෙහි මුද්‍රණ කාර්‍ය්‍යය ඉතා සිත්කලුවෙස කරවාදුන් හොරණ විද්‍යාශෙඛර යන්ත්‍රාලයාධිපති ඒ. ඩී. බර්නාඩ් අප්පුහාමි ද ඒ සඳහා ආධාර කළ අප භ්‍රාතෘභූත ලබුගම පී. දාවිත් පෙරේරා මහතාණන් හා අන්‍යත් සියලු පින්වතුන් ද මෙහිදී කෘතඥතා පූර්වක වැ පුණ්‍යානුමොදනාචාරයෙන් සිහිපත් කරමු.

ප්‍රයෝජන. ඉතා සවිස්තාර වූ ද ගම්භීර වූ ද දුරවබොධ වූ ද ධර්මපදර්ථයන් සරල වූ හෙළදිවි බසින් දක්වා තිබෙන හෙයින් ධර්මාභිලාෂීන්ට මේ ග්‍රන්ථ රත්නය චින්තාමාණික්‍යයක් සමාන වන්නේය.

සිංහල සාහිත්‍යයට ද මහත් වූ උපස්ථම්භයෙක් වන්නේය. එසේ ම අපගේ මේ උත්සාහය සම්බුද්ධොපස්ථානී ශාසනයාගේ අභිවෘද්ධියට ඉවහල් වේවා යි ප්‍රාර්ථනා කරමු.

තවද- දැනට සිංහලයට පරිවර්තනය නොවී පවත්නා සියලු අටුවා ම යථාවකාශයෙන් පරිවර්තනය කොට අභිනව හෙළටුවා සුලභ කිරීම අපගේ බලාපොරොත්තුව වේ. මීට සැදැහැවත් බෞද්ධ මහජනයාගේ විශෙෂාධාරය ලැබේවා යි බලාපොරොත්තු වෙමු.

නැවත මුද්‍රණය “ප්‍රවචනොදය,, පරිවෙණාධිපතීන් වහන්සේට අභිමතපරිදි වියයුතුයි.

ලබුගම ලංකානන්ද.
ශ්‍රී බුද්ධවර්ෂ දෙදහස්සාරසිය එකුන්අසූ (2479) ක් වැ
බිනරමස අමාවක් ලත් ක්‍රි: වර්‍ෂ 1936 ක් වැ සැප්තැම්බර් මස 15 වෙනි කුජදින මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන්හිදීය.

දැන්වීමයි.

හෙලටුවා සුලභ කිරීමේ අදහසින් අප ආරම්භ කළ “ප්‍රපඤ්ච දීපිකා” වේ තෘතීය භාගය මූලපණ්ණාසවණ්ණනා අවසන් කොට මෙසේ ප්‍රසිද්ධ කරවීමට අවස්ථාව ලැබීම අපට මහත් ප්‍රීතියකි. මෙහි ඉතිරි කොටස හා අවශෙෂ අටුවා ද ඉතා ඉක්මනින් ම හෙළටුවාචාරයෙන් ශාසනාභිවෘද්ධියෙහි යෙදෙන්ටයි අපගේ ආශංසනය වේ.

මෙ ම තෘතීය භාගය සම්පාදනයෙහි හා මුද්‍රණය කිරීමෙහිදී ද පෙර සේ ම “ප්‍රවචනොදය” පරිවෙණාධිපතීන් වහන්සේ ප්‍රමුඛ අප ආචාර්ය්‍යොත්තමයන්ගේ අනුශාසනය ද, එසේ ම අප ප්‍රියසබ්‍රහ්මචාරි භූත මොල්ලිගොඩ පියරතන ආයුෂ්මතාණන් වහන්සේගේ දුස්තර උපස්තම්භය ද, හොරණ විද්‍යාශෙඛර යන්ත්‍රාලය ස්වාමි වූ ඒ. ඩි. බර්නාඩ් අප්පුහාමිගේ උපකාරය ද අතිශයින් හේතු වූ බැව් කෘතඥතා පූර්‍වක වැ සඳහන් කරම්හ.

ලබුගම ලංකානන්ද.
ශ්‍රී බුද්ධ වර්‍ෂ 2482 ක් වැ ඇසළ මස පුරපසළොස්වක්ලත්
ක්‍රි: වර්ෂ 1939 ක් වැ ජූලි මස 30 වෙනි රවි දින
මොල්ලිගොඩ “ප්‍රවචනොදය” පිරිවෙන්හිදීය.