ශබ්දාර්‍ත්‍ථරත්නාකරය සිංහල අකාරාදිය - බෝරුග්ගමුවේ රේවත හිමි.pdf

කතෘ :
බෝරුග්ගමුවේ රේවත හිමි
ප්‍රකාශිත වර්ෂය :
1929
මුද්‍රිත වර්ෂය :
1929
පිටු ගණන :
706
බාගත කිරීම් ගණන :
1,809
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-02-02
ගොනුවේ ප්‍රමාණය :
157 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 354

ශබ්දාර්ත්‍ථරත්නාකරය හෙවත් සිංහල මහා අකාරාදිය යනු බෝරුග්ගමුවේ රේවත ස්වාමින්වහන්සේ විසින් සම්පාදිත ප්‍රමුඛ පෙළේ ඓතිහාසික සිංහල ශබ්දකෝෂයකි. පද්‍ය ග්‍රන්ථ, සන්දේශ කාව්‍ය, සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යය, ධර්ම සන්න සහ ගැටපද මෙන්ම සන්නස් හා ජන ව්‍යවහාරයන්ගෙන් උපුටා ගත් පද සහ අරුත් මෙහි විස්තරාත්මකව ඇතුළත් කර ඇත.

මෙම ශබ්දකෝෂය මුලින් සරසවි සඳරැස කර්තෘ එච්. ඇස්. පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් කොටස් වශයෙන් මුද්‍රණය වීම ඇරඹි අතර, පසුව ගංගොඩවිල බෞද්ධ පාඨශාලාවේ කේ. ජිනදාස සුදසිංහ සහ තෝමස් විජයසූරිය යන මහත්වරුන්ගේ ප්‍රකාශනයෙන් කාණ්ඩ වශයෙන් එළිදක්වන ලදී.

කොළඹ ග්‍රන්ථප්‍රකාශ මුද්‍රණාලයේ මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරන ලද මෙම කෘතිය සිංහල භාෂා ශබ්දකෝෂ ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

සංඥාපනය.

ශබ්දාර්ථ රත්නාකර නම් සිංහල මහා අකාරාදිය.

මෙය වනාහි අප බාල වියෙහි හෙවත් මීට අවුරුදු පන්තිසකට පමණ පෙර සම්පාදනය කරණ ලද්දේදිය. ඒ කාලයෙහි සිංහල අකාරාදිග්‍රන්ථ වශයෙන් තුබුනේ වේරගම බණ්ඩාර මහතාගේ ශබ්දමුක්තාවලිය හා සුබසිංහල අකාරාදිය නමැති කුඩා අකාරාදියත් පමණකි.

එබැවින් අප සිංහල ජනතාවට හා භාෂාවටත් කලක් පවත්නා සංග්‍රහයක් කරලීමේ බලවත් අභිලාෂයක් අපතුළ එකල පහළ වූයෙන් මෙය ආරම්භකොට සම්පාදනය කෙළෙමු.

මෙය සම්පාදනය කිරීමෙහි දී සියබස් ලකර, කවිසිළුමිණ, මුවදෙව්දාවත, සසදාවත, කවිසේකරය, ගුත්තිලය, කුසජාතකය, බුදුගුණාලංකාරය, ගණදෙවි සැහැල්ල, වදන්කවිපොත ආදි ලොකු කුඩා පද්‍යග්‍රන්ථයන්ගෙන් ද; සැළලිහිණි-පරවි-ගිරා-සැවුල් ආදි සන්දේශග්‍රන්ථයන්ගෙන් ද; බුත්සරණය, අමාවතුර, ප්‍රදීපිකාව, පූජාවලිය, රත්නාවලිය, ජාතකපොත ආදි බොහෝ ගද්‍යග්‍රන්ථයන්ගෙන් ද; විසුද්ධිමාර්ග සන්නය, ධම්මපද සන්නය යනාදි බොහෝ සන්නපොත් වලින් ද; දම්පියා ගැටපදය ආදි ගැටපද වලින් ද; පැරණි ලිපිවලින් හා සන්නස් ආදියෙන් ද ලක්දිව නොයෙක් පළාත්වල පවත්නා කථාව්‍යවහාරයන්ගෙන් ද වචනසංග්‍රහ කොට මෙහි ඇතුළත් කෙළෙමු. ඒ බව මෙහි අනන්විත ශබ්දයන්ගෙන් හා සාධකපාඨයන්ගෙන් ද මොනවට දක්නා ලැබෙනවා ඇත.

ඒ කාලයෙහි මෙබඳු බැරෑරුම් කෘතියක් මෙලෙසින් පිළියෙල කිරීමේදී ඇති වියහැකි වෙහෙස කෙබඳුවිය යුතුදැයි නුවනැත්තෝ දනිත්මය. ලෝකයෙහි විද්‍යමාන අන්‍ය සියලු භාෂාවන්ටම පාහේ නානාක්‍රමානුගත නොයෙක් ප්‍රමාණවල ලොකු කුඩා අකාරාදි ග්‍රන්ථයෝ බොහෝ ඇත්තාහ. එබැවින් ඒ භාෂාවලට අකාරාදි ග්‍රන්ථ මනාප පරිදි සම්පාදනය කරගැනීම එතරම් දුෂ්කර නොවේ.

සිංහල භාෂාව භාෂා බොහෝ ගණනකින් නිපන්නක් හෙයින් හා පෙර නිපද වූ අකාරාදිග්‍රන්ථ නොමැති හෙයිනුත් ඊට මේ විදියේ අකාරාදිග්‍රන්ථයක් සම්පාදනය කිරීම අතිශයින්ම දුෂ්කරය යනු කියයුත්තක් නොවේ. ඒ නිසාමදෝ මේගැණ අන් කෙනෙකුන්ගේ සුදුසු ව්‍යාපාරයක් මීට පෙර නො දක්නා ලද්දේදය.

ඒ කෙසේ හෝ වේවා ලාංකිකජනතාවට පැවති මහත් පාඩුවක් මෙපරිද්දෙන් එක්තරා ප්‍රමාණයකින්වත් පිරිමසන්ට අපට හැකිවීමගැණ සතුටුවෙමින් අප සිංහලජනතාව වෙත මෙය සාදරයෙන් සමර්පණය කරමු.

මෙය කාණ්ඩ වශයෙන් මුද්‍රණයට පටන්ගන්නාලද්දේ මීට අවුරුදු බොහෝ ගණනකට පෙරදී සරසවිසඳරැසපත්‍රයෙහි කර්තෘධුරය දැරූ උගත් එච්. ඇස්. පෙරේරා මහතා විසිනි. ඒ මහතාගේ නම කෘතඥතාවයෙන් මෙහි සඳහන් කර තැබීම අපේ යුතුකමය. ඒ මහතා එකල ලංකාවේ උසස් ලියුම්කරුවෙකු වශයෙන් ද උගත් පත්‍රකර්තෘවරයෙකු වශයෙන් ද ජනතාගෞරවය ඇති ශ්‍රේෂ්ඨ ලංකාපුත්‍රයෙකු වශයෙන් ද වැජඹුනේය.

ඒ මහතා විසින් එසේ කාණ්ඩ වශයෙන් මුද්‍රණයට පටන්ගත් මේ ග්‍රන්ථයෙන් මීටපෙර කාණ්ඩ 7 ක් වරින් වර ප්‍රසිද්ධියට පැමිණවීයූ. අෂ්ටමභාගයෙන් මෙසේ මේවර මෙය අවසන් කරණු ලැබේ.

මෙය මුද්‍රණයට පටන්ගත් පසු එකතු වූ වචන බොහෝ ගණනක්ද, සිංහල උපමාකථාමාලාවක්ද, ද්‍රව්‍යනාමාවලියක් ද, පෘතුගීසි-ඕලන්දවචනසංග්‍රහයක් ද උපග්‍රන්ථයක් වශයෙන් මීටම ඇතුළත් කොට මුද්‍රණය කරවීමට සිතා සිටියෙමු. නමුත් කලින් පොත්කාණ්ඩ ගත් භවතුන්ගේ කැමැත්ත පරිදි ඉක්මනට පොත් බැඳගැනීමට අවකාශ ලබාදීමක් වශයෙන් ඒ සියල්ල දෙවෙනිවර මුද්‍රණයට තබා මේවර මෙයින් පොත අවසන් කරන්ට කල්පනා කෙළෙමු.

දැන්මී මීතිය සංස්කරණය ද ආරම්භ කොට කරගණ යනු ලැබේ. එය තවත් විශේෂ අංගයන්ගෙන් පරිපූර්ණකොට මීට වඩා කතිපයගුණයකින් විශාල ද කොට පිළියෙළ කරණු ලැබේ.

මෙහි යම් යම් භවතුන්ට රුචිනොවූ අර්ත්‍ථවිවරණ ද අක්‍ෂරවෛපරීත්‍යාදියෙන් හා ප්‍රමාදයෙනුත් ඇතිවූ වැරදිද නැතැයි නොකියමු.

මෙහි දක්නා ලැබෙන එබඳු අඩු පාඩු හා වැරදිතැන් හිතාධ්‍යාසයෙන් අපවෙත දන්වා එවතොත් ඒ සියල්ල ගෞරවාදරයෙන් පිළිගෙණ දෙවෙනිවර මුද්‍රණයට ඇතුළත් කරණ බව මෙත් සිත් පෙරටුව මතක්කරමු.

මීට,

බෝරුග්ගමුවේ-රේවත ස්ථවිරයෝය.
සුභද්‍රාරාමය.
ගංගොඩවිල
නුගේගොඩ.
ශ්‍රී : බු : ව : 2473. නිකිනිමස
පුර 13 දිනදීය.