මජ්ඣිමනිකාය 1 මූලපණ්ණාසකය පාලි - විද්‍යාලඞ්කාර.pdf

ප්‍රකාශිත වර්ෂය :
1946
මුද්‍රිත වර්ෂය :
1946
පිටු ගණන :
448
බාගත කිරීම් ගණන :
1,038
වෙබ් අඩවියට එක් කළ දිනය :
2020-02-02
ගොනුවේ ප්‍රමාණය :
138 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 225

විද්‍යාලංකාර ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ පළමුවන වෙළුම ලෙස ප්‍රකාශයට පත් කරන ලද මජ්ඣිමනිකාය 1 කාණ්ඩය (මූලපණ්ණාසකය) පාලි මූල පෙළ ග්‍රන්ථයයි. බුද්ධ වර්ෂ 2489 (ක්‍රි.ව. 1946) දී විද්‍යාලංකාර ත්‍රිපිටක මණ්ඩලය මගින් කැලණිය විද්‍යාලංකාර යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ඇත.

රත්මලානේ ශ්‍රී ධර්මාරාම සහ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද යන නාහිමිවරුන්ගේ සංස්කරණ ඇසුරින් සකස් කර ඇති අතර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන් විසින් රචිත දීර්ඝ හා ශාස්ත්‍රීය ‘සමනෙස්සනා’ ප්‍රස්තාවනාවකින් (උපෝද්ඝාතයකින්) සමන්විත වේ. පුරාණ සිංහල භාෂා ලක්ෂණ, පෙළෙහි එන ප්‍රාකෘත සහ හෙළටුවා පාඨ පිළිබඳ විවරණ මෙහි ප්‍රස්තාවනාවෙහි ඇතුළත් වේ.

සමනෙස්සනා

බුදුරජාණන් වහන්සේ විසින් සර්‍ව සමූහයාගේ මෙලෝ පරලෝ යහපත පිණිස දෙශනා කළ ධර්‍මයත්, තමන් වහන්සේ විසින් ඇතිකළ සඞ්ඝ සමාජයේ ආරක්ෂාව හා පාලනය පිණිස පනවා වදාළ නීති රීති ඇතුළත් විනයත් ත්‍රිපිටකය නමින් ව්‍යවහාර කරනු ලැබේ.

බුද්ධධර්‍මය තේරුම් ගැනීමට ඉතා අමාරු ශාන්ත ප්‍රණීත උත්තම ධර්‍මයක් බවත් සිහි නුවණ ඇති පණ්ඩිත සත්පුරුෂයන්ට පමණක් වටහා ගත හැකි ගැඹුරු දෙයක් බවත් බුදුරජාණන් වහන්සේ විසින්ම අරියපරියෙසන සූත්‍රය (මජ්ඣිමනිකාය 189 පිට) ආදි නොයෙක් තැන්වල දෙශනා කර තිබේ.

මේ උත්තම සත්‍යධර්‍මය අවබොධ කර ගැනීම පිණිස උන් වහන්සේ ගෙවූ කාලය, කළ පරිත්‍යාග, වින්ද දුක්, වූ වෙහෙස මහන්සි අප වැනි අයට කියන්ට ලියන්ට තබා හිතින් හිතන්ටවත් නොහැකි බව කවුරුත් පාහේ දනිති. මේ හේතුවෙන් උන් වහන්සේ අන්තිම ජාතියේදී පමණක් කළ දුෂ්කරක්‍රියාවන් වුවත් හැඟීමකින් යුක්තව කියවන මොනම කෙනෙකුටවත් නොහඬා නොවැළපී ප්‍රකෘති තත්වයෙන් සිටිය නොහැකි බව මහාසච්චක සූත්‍රය (මජ්ඣිමනිකාය 269 පිට) ආදි දෙශනා බලනවිට ඔප්පු වෙයි.

මෙසා විශාල දුකක් විඳ මේ ධර්‍මය අවබොධ කර ගැනීමට උන් වහන්සේ උත්සාහ කර වදාළේ, තමන් වහන්සේගේම යහපත පිණිස නොව, දුක් විඳින ලෝකවාසී සර්‍ව සමූහයාට ඒ ධර්‍මය කියාදී ඔවුන්ගේ දුක් නැතිකරලීම පිණිස බව කවුරුත් පිළිගනිති. නමුත් ධර්‍මය අවබොධ වී සත්‍යය වැටහී සර්‍වඥතාඥානය ලැබුණායින් පසු, මනුෂ්‍ය සමාජයේ නියම තත්වය දුටු උන් වහන්සේට පෙනීගිය කරුණක් නම්: ඒ උත්තම සත්‍යය ප්‍රකාශ කරන්ට යෑමෙන් තමන් වහන්සේට කරදරයක් වෙහෙසක් වෙනවා විනා, මනුෂ්‍ය සමාජය ඒ ධර්‍මය අවබොධ කර ගැනීමට තරම් සුදුසු තත්වයක නැති බවයි.

ඒ නිසාම ඒ අවස්ථාවේදී උන් වහන්සේගේ සිත නැමුණේ, ‘ඒ සත්‍යධර්‍මය ප්‍රකාශ කිරීමට නොව නොකිරීමට බව උන් වහන්සේ විසින්ම අරියපරියෙසන සූත්‍රයෙහි මෙසේ වදාරා තිබේ:

“තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි: අධිගතො ඛො ම්‍යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා, ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං දුද්දසං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං. අහං චෙව ඛො පන ධම්මං දෙසෙය්‍යං, පරෙ ච මෙ න ආජානෙය්‍යුං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසාති.”

“කිච්ඡෙන මෙ අධිගතං හලන්දානි පකාසිතුං රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුධො.”

“ඉතිහ මෙ භික්ඛවෙ පටිසඤ්චික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමති නො ධම්මදෙසනාය.” (මජ්ඣිමනිකාය 189 පිට)