විනිශ්චයාර්ත්ථදීපනී විනයවිනිශ්චය ව්‍යාඛ්‍යානය - ධීරානන්ද හිමි.pdf
- කතෘ :
- ලංකාගොඩ ධීරානන්ද හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1956
- මුද්‍රිත වර්ෂය :
- 1956
- පිටු ගණන :
- 994
- බාගත කිරීම් ගණන :
- 1,197
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2020-02-02
- ගොනුවේ ප්‍රමාණය :
- 265 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
විනිශ්චයාර්ත්ථදීපනී නම් විනයවිනිශ්චය ව්‍යාඛ්‍යානය යනු උරගපුර බුද්ධදත්ත ආචාර්යයන් වහන්සේ විසින් රචිත සුප්‍රකට පාලි විනය ග්රන්ථයක් වන විනයවිනිශ්චය සඳහා අමරපුර ශ්‍රී සද්ධර්මවංශ නිකායේ ආදිකර්තෘවරයෙකු වූ ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද මහාස්වාමිපාදයන් වහන්සේ විසින් රචිත අගනා සිංහල සවිස්තරාර්ථ ව්යාඛ්යානයයි (සන්නයයි). මෙම මුද්‍රණයෙන් ඉදිරිපත් කෙරෙන්නේ භික්ඛුණීවිභංගය අවසන් කොට ඇති එහි ප්‍රථම භාගයයි.
පෙළ ග්‍රන්ථයේ සංක්ෂිප්ත පාලි ගාථාවලට සවිස්තර පදගත අර්ථ සහ විවරණ සපයමින් ලියැවුණු මෙම ග්‍රන්ථය, එකල භික්ෂූන් වහන්සේලාගේ විනය ඥානය වර්ධනය කරනු පිණිස සම්පාදනය කරන ලද්දකි. ලලිත භාෂා ශෛලියකින් හා පිරිසිදු සිංහලයෙන් විස්තර කෙරෙන මෙම සන්නය සිංහල භාෂාවට ද නව වචන රාශියක් එක් කළ ප්රශස්ත ශාස්ත්‍රීය කෘතියක් ලෙස විනයධර වියතුන්ගේ ඇගයීමට ලක්ව ඇත.
මෙම මුද්‍රණය තලල්ලේ ඉහළවෙල සිරි ධම්මරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විශෝධනයෙන් සහ තලල්ලේ පණ්ඩිත ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේගේ සංස්කාරකත්වයෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2500 (ක්‍රි.ව. 1956) දී ලංකා බෞද්ධ මණ්ඩලය මගින් කොළඹ සිංහල ජාතිය මුද්‍රණාලයේ මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලද්දකි.
ප්‍රස්තාවනාව.
ත්රිපිටකප්රකරණග්රන්ථයන් අතුරෙන් විනයවිනිශ්චයට හිමි වන්නේ උසස් තැනකි. බුද්ධඝොෂාචාර්යයන් වහන්සේ විසින් ලියන ලද සමන්තපාසාදිකා නම් වූ විනයට්ඨකථාවෙහි සාරාර්ථයන් හකුළුවා පාළිපද්යයට නැඟීමෙන් මෙය ලියා තිබේය යනු බොහෝ උගතුන්ගේ අදහසයි. එහි වනාහි විනයවිනිශ්චය උත්තරවිනිශ්චයයි ප්‍රධාන කොටස් දෙකකි පොත් සුලභව නො තිබුණු අතීතයෙහි පෙත පොත කටපාඩම් කිරීම ප්‍රධාන කාර්ය්යය විය. එසේ කට පාඩම් කර ගැනීමේ පහසුව සඳහා මෙසේ මේ විනයවිනිශ්චය පාලි පද්‍යයෙන් ග්රන්ථිත බව සැලකිය යුතු වේ. විනය විනිශ්චයෙහි පාළිපද්ය—
“ගාථා චතුස්සහස්සානි – සතං චෙකූනවීසතිං පමාණතො ඉමා වුත්තා – විනයස්ස විනිච්ඡයෙ” යි
4119 කැයි කියා ඇතත් එහි දක්නට ඇත්තේ 3183 කි. උත්තර විනිශ්චයෙහිද පද්‍ය සංඛ්‍යාව 950 ක් බව—
පඤ්ඤාසාධිකසඞ්ඛ්යානි - නවගාථාසතානි හි ගණනා උත්තරස්සායං – ඡන්දස්සානු’ද්ධතෙන තු
යන මේ ගාථාවෙන් පැහැදිළිය. එහෙත් එහි ද ඇත්තේ ගාථා 969 කි. කෙසේ හෝ විනය විනිශ්චයෙහි ගාථා හාරදහස් ගණනක් වෙතොත් එය සිදුවිය හැක්කේ විනයවිනිශ්චයෙහි හා උත්තර විනිශ්චයෙහි ද යන දෙපොතෙහිම පද්‍ය සංඛ්‍යාව එක් වූ විටය.
භික්ඛුවිභඞ්ගය භික්ඛුනීවිභඞ්ගය හා ඛන්ධකකථායයි විනය විනිශ්චය ප්‍රධාන කොටස් තුනකින් යුතුවන අතර උත්තරවිනිශ්චය භික්ඛු-භික්ඛුනී උභයවිභඞ්ගයෙන් පමණක් යුක්තව තිබේ.
ප්රකරණකර්තෘපාදයෝ
විනයවිනිශ්චයාවසානයෙහි පෙනෙන “ඉති තම්බපණ්ණියෙන පරමවෙය්යාකරණෙන ත්රිපිටකනයවිභාගකුසලෙන පරමකවිජන හදයපදුමවනවිකාසනකරෙන කවිවරවසභෙන පරමරතිකර වරමධුරවචනගුණාකරෙන උරගපුරෙන බුද්ධදත්තෙන රචිතො’යං විනයවිනිච්ඡයො” යන පාඨයෙන්ද උත්තර විනිශ්චයාවසානයෙහි ඇති—
ඉති තම්බපණ්ණියෙන - පෙ - උරගපුරෙන බුද්ධදත්තෙන රචිතො’යං උත්තරවිනිච්ඡයො සමත්තො” යන පාඨයෙන්ද උරගපුර බුද්ධදත්ත ආචාර්යයන් විසින් විනයවිනිශ්චයප්රකරණය ලියන ලද බව පැහැදිළිය.
මුන්වහන්සේ බුද්ධඝොෂාචාර්යයන් හා සමකාලීන බව පැහැදිළිව පෙනේ. විනයවිනිශ්චයටීකාවෙහි ” ලක්දිව සිට සුවර්ණභූමිය වූ දඹදිවට යන බුද්ධදත්තාචාර්යතුමා අතරමගදී දඹදිවින් ලක්දිවට එන බුද්ධඝොෂාචාර්යයන් දැක එතුමන් හා සාකච්ඡා කොට මහත් ප්‍රීතියට පත්ව එතුමන් අටුවා ලියූ පසු ඒවා හකුළුවා සංග්රහග්රන්ථයන් ලිවීම සඳහා තමන් වෙත එවියයුතු යයි කීවේය”යනු දක්වන ලදි.
බුද්ධඝොෂාචාර්යයන් ලක්දිව පැමිණෙන්නට පෙරතුව ම බුද්ධදත්තාචාර්යයන් ලක්දිවයෙහි විසූ බව බව පැහැදිළි වේ. බුද්ධඝොෂාචාර්යයන් විසින් ලියනු ලබන අටුවා ග්රන්ථ ප්රකරණ ග්රන්ථ ලිවීම සඳහා තමන් වෙත එවන ලෙස කළ ඉල්ලීම එලෙසින්ම ඉටු වී ඇති බව සමන්ත පාසාදිකා නම් වූ විනය අටුවාවට ලියැවුන මේ විනයවිනිශ්චයප්රකරණයෙන් පැහැදිළි වන්නේය. එහෙත් බුද්ධඝොෂාචාර්යයන් විසින් ලියනලද එකද අටුවාවකුදු බුද්ධදත්තාචාර්යයන් වහන්සේට කියවීමට නො ලැබුණේ ය යනු කලිකතා විශ්වවිද්‍යාලයෙහි පාලි මහාචාර්ය්ය බී. ඇම්. බරුවා මහතා වැනි සම්භාවනීය උගතුන්ගේ හා විනයවිනිශ්චය පෙළ සංශොධනයෙන් මුද්‍රණය කරවූ අග්ගමහාපණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද අදහසයි.
එසේ බුද්ධඝොෂාචාර්යයන්වහන්සේගේ විනයට්ඨකථාව ම බලා එය හකුළුවා මෙය කරන ලද නම් බුද්ධඝොෂාචාර්යයන් වහන්සේගේ නම ද මෙහි සඳහන් විය යුතු ම යයි සිතිය හැකිය. ඒ නම මේ ප්‍රකරණයෙහි සඳහන්ව නොතිබීම බුද්ධදත්තාචාර්යයන් හට බුද්ධඝොෂාචාර්යයන් ලියූ විනයඅටුවාව කියවීමට නොලැබුණු බවට සාක්ෂ්‍යයක් ලෙස තැකිය හැකිය.
මෙහි දී එක් ප්‍රශ්නයක් මතු වේ. එනම් විනය අටුවාවෙහි හා විනය විනිශ්චයෙහි ඇති සාම්‍යය කෙසේ ඇති වී ද යන මේ ප්රශ්නයයි. ඒ ප්රශ්නය පහසුවෙන් විසඳිය හැකි වේ. බුද්ධඝොෂාචාර්යයන් ලක්දිව අවුත් හෙළ අටුවාවන් ඉගෙන ගත්තා සේ ම බුද්ධදත්තාචාර්යයෝ ද ලක්දිවට පැමිණ හෙළඅටුවා ඉගෙනගත්හ. බුද්ධඝොෂාචාර්යයෝ හෙළඅටුවා පාළියට නැගූහ.
බුද්ධදත්තාචාර්යයෝ ඒ හෙළඅටුවාවන් ම හකුළුවා පාළියෙන් විනය විනිශ්චය වැනි ප්රකරණ ලියූහ. එබැවින් සමන්ත පාසාදිකා විනය අටුවාවත් විනයවිනිශ්චයප්රකරණයත් අතිශයින් සමාන විය යුතුම ය. ඒ පොත් ලිවීමට ගුරු පොත් වූයේ හෙළඅටුවා පොත් වූ බැවිනි.
බුද්ධදත්තාචාර්යයන් දඹදිව යද්දී බුද්ධඝොෂාචාර්යයන් ලක්දිව එනු දැක හෙළඅටුවාවන් පාළියට නැගූ පසු ප්රකරණ ලිවීම සඳහා තමා වෙත එවන ලෙස බුද්ධදත්තාචාර්යයන් කළ ඉල්ලීම ඉටු කිරීම සඳහා බුද්ධඝොෂාචාර්යයන් හට දීර්ඝ කාලයක් ගතවිය යුතුය. උන්වහන්සේ ලක්දිව අවුත් අටුවා ලියා ආපසු දඹදිව යන විට බුද්ධදත්තාචාර්යයන් ජීවත් වන්නට ඇතැද්දැයි සැක සහිතය. කෙසේ හෝ විනයවිනිශ්චය බුද්ධ දත්තාචාර්යයන්ගේ අතවැසි බුද්ධසීහ තෙරුන් උදෙසා කරන ලද බව විනයවිනිශ්චය නිගමනයෙහි පෙනෙන,
බුද්ධ සීහං සමුද්ධිස්ස මම සද්ධිවිහාරිකං, කතො’යං පන භික්ඛූනං හිතත්ථාය සමාසතො, විනයස්සාවබොධත්ථං සුඛෙනෙවාචිරෙන ච
යන මේ ගාථාපදවලින් පැහැදිලි වේ.
මුන් වහන්සේ විසින් අභිධර්මපිටකය හකුළුවා ‘‘අභිධම්මාවතාරය’ නම් ප්‍රකරණයද ලියන ලදි. එය ගද්‍ය පද්‍ය දෙකින් ම මිශ්රය, ගාථා 1415 කින් හා සූවිසි පරිච්ඡෙදයෙකින් ද යුක්තය. මෙසේ ප්රකරණ ග්රන්ථ පමණක් ලිවීමෙන් තෘප්තියට නොපත් උන්වහන්සේ බුද්ධවංසට්ඨකථාව ලිවීමෙන් අට්ඨකථාචාර්යවරයෙක් ද වූහ. රූපා රූපවිභාගය ද මුන්වහන්සේගේ ම කෘතියකි.
ජන්මභූමිය.
ඉති තම්බපණ්ණියෙන උරගපුරෙන බුද්ධදත්තෙන රචිතොයං විනය විනිච්ඡයො, යන්නෙන් උරගපුරබුද්ධදත්ත යයි දැක්වෙන බැවින් මේ උරගපුරය උන්වහන්සේගේ ජන්මභූමිය විය යුතුය. මුලින් දැක්වෙන තම්බපණ්ණියෙන යන්නෙන් තාම්බ්රපර්ණී නදිය අසබඩ ප්‍රදේශයක් ගැනෙන බැවින් උරගපුරය තාම්රපර්ණී නදීතීරයෙහි ප්‍රදේශයක් ප්‍රදේශයක් විය යුතුය.
‘තම්බපණ්ණි, යන්න ලක්දිවට නමකැයි බොහෝ දෙනෙකුගේ පිළිගැනීම වුවත් ලක්දිව හැඳින්වීමට ඒ නම නොයෙක් තන්හි යොදා ඇතත් මේ දැක්වෙන තම්බපණ්ණි යන්න අතිප්‍රසිද්ධ වූ දකුණු දඹදිව ප්‍රදේශයක් බව පෙනී යයි. තාම්රපර්ණී නම් වූ අතිප්‍රසිද්ධ ගංගාවක් දඹදිව දකුණු තුඩුව දෙසින් ගලා අවුත් ලක්දිවට ආසන්න මුහුදට ගලා බස්නීය. ඒ ගඟබඩ පෙදෙස තම්බරට්ඨ නමින් ප්රකටය. මෙකල තඤ්ජෝර් යයි කියනු ලබන තඤ්ජ නුවර පිහිටා තිබෙන්නේ එකී තම්බරට්ඨයෙහි බව ‘තම්බරට්ඨෙ වසන්තෙන නගරෙ තඤ්ජ නාමකෙ’ යන අනුරුද්ධාචාර්යයන්ගේ පරමත්ථ විනිශ්චය නිගමනයෙන් පැහැදිළිය. ඒ ගඟේ මෝයට නුදුරු තන්හි පිහිටි බැවින් ලක්දිවට ද තම්බපණ්ණි-දීප යන නම ලැබෙන්ට ඇතැයි සිතිය හැකි වේ. එහෙත් මේ තාම්රපර්ණී ප්‍රදේශය පිහිටියේ දකුණු ඉන්දියාවෙහි ය.
තම්බභූමිරජො ධුද්ධො – තම්බා පාණි යතො අහු, සො දෙසො චෙව දීපො ච – තම්බපණ්ණි තතො අහු.
යන මේ මහාවංශ ගාථාවෙන් තඹවන් ධූලියෙන් තැවරී අත් තඹවන් වූ බැවින් ලක්දිවට තම්බපණ්ණී නාමය ඇති වී යයි කියන ලදි.
බුද්ධදත්තාචාර්යයන්ගේ ජන්මභූමිය වූ උරගපුරය දකුණු ඉන්දියාවෙහි තාම්රපර්ණී ගඟ බඩ පෙදෙසක් වූ බැවින් තම්බපණ්ණියෙන (=තාම්රපර්ණී ප්‍රදේශයෙහි උපන්නා වූ) උරගපුරෙන (=උරගපුරවැසි) බුද්ධදත්තෙන (=බුද්ධදත්තා චාර්යයන් විසින් ) මේ විනය විනිශ්චය ලියන ලද්දේ යයි කියන ලද බව සැලකිය යුතු වේ.
උරගපුරය මේ කාලයෙහි ‘ත්රිචිනපොලි’ නගරයට නුදුරෙන් වූ කාවේරි නදියේ දකුණු ඉවුරේ පිහිටි වත්මන්හි ‘උරයියූර්’ නමින් ප්‍රසිද්ධ ස්ථානය බව ආචාර්ය ඩී. ආර්. භණ්ඩාරකාර් මහතාගේ මතයයි. කනිංහැම් මහතා විසින් ද එය එසේ ම පිළිගෙන තිබේ. මේ ඉපැරණි නගරය එකල දකුණු සොළී රටේ අගනුවර විය.
බුද්ධදත්තාචාර්ය තුමා විනයවිනිශ්චය ලියන කාලයෙහි සොළී රටේ මැද පෙදෙසෙහි පිහිටි භූතමංගල නම් ගමෙහි වූ විෂ්ණුදාස නමැත් තකු විසින් කරවන ලද මහා විහාරයක විසීය. ‘අභිධම්මාවතාරය’ ලියන කාලයෙහි විසුයේ කාවේරි පට්ටනයෙහි කාණ්හදාස නමැත්තකු විසින් කරවන ලද අරමය. බුද්ධවංශඅටුවාව ද එහිදී ම ලියන ලද නමුත් උත්තරවිනිශ්චය කොතැනකදී ලියන ලද දැයි ප්‍රකට නොවේ එය ඇතැම් විට විනයවිනිශ්චය ලියූ තන්හිදී ම ලියන ලදැයි සිතිය හැකිය. උත්තරවිනිශ්චයාවසානයෙහි—
විනයාචාරයුත්තෙන - තෙන සක්කච්ච සාදරා, යාචිතො සබ්බපාලෙන - ථෙරෙන පියවෙතසා.
යනුවෙන් සබ්බපාල මහතෙරුන්ගේ අයැදීමෙන් කරන ලද බව කියන බැවින් ලක්දිව්හි දී ම උත්තරවිනිශ්චය ලියනලදැයි අනුමාන කළ හැකිය. බුද්ධදත්තාචාර්යයන්ගේ සෙසු කෘතීන්ගෙන් මෙන් ම මේ විනය විනිශ්චයෙනුදු ස්වීය මහාකවිත්වය ප්රකටව පෙනෙන තැන් බොහෝය. අනුප්රාසභූයිෂ්ඨ උචිතපද යෙදුමෙහි හා ගැඹුරු අරුත් පැවසීමෙහි ද උන්වහන්සේ එකසේ සමත් වෙති. විනය විනිශ්චයෙහි වූ—
“විනයෙ අනයුප්පරමෙ පරමෙ, සුජනස්ස සුඛානයනෙ නයනෙ, පටු හොති පධානරහො න රහො, ඉධ යො පන සාරමතො රමතෙ.”
“පිටකෙ පටුභාවකරෙ පරමෙ, විනයෙ විවිධෙහි නයෙහි සුතෙ, පරමත්ථනයං අභිපුඤ්ඤයතා, පරියාපුණිතබ්බමයං සනහං.”
යන ආදි ගාථාවන් හා උත්තරවිනිශ්චයෙහි—
“යස්මා තස්මා අසමං යොගං, රස්මා යුත්තො යුත්තෙනො කාතුං; සන්තො සන්තො කඤ්චිදෙවත්ථං, සචෙ සචෙ නිච්චං නිච්චං.”
“ඉධ යො විමිතූපරමං පරමං, ඉමමුත්තර මුත්තර මුත්තරති, විනයං සුනයං සුනයෙන සුභො, ස ච දූතර මුත්තර මුත්තරති.”
යන ආදි ගාථාවන් ද පිරික්සා බැලීමෙන් බුද්ධදත්තාචාර්යයන් වහන්සේගේ රචනා ශෛලිය හා කවිත්වය කෙබඳු දැයි තරමක් දුරට වටහා ගත හැකිය.
රචිතකාලය.
විනයවිනිශ්චයයෙහි ඒ ග්‍රන්ථය පටන්ගෙන සමාප්ත කළ රාජ්‍ය කාලය දැක්වෙන්නේ මෙසේය,
අච්චුතාවච්චුත වික්කන්තෙන – කලබ්භකුලනන්දනෙ, මහිං සමනුසාසන්තෙ – ආරද්ධො ච සමාපිතො.
විෂ්ණුට සමාන වූ වික්‍රමයක් ඇති කලබ්භ කුලයට ප්‍රීතිය උපද වන්නා වූ හෝ ඒ කුලයෙහි උපන්නා වූ අච්චුත නම් රජු රාජ්‍යය කරන කල්හි මේ ග්රන්ථයෙහි ආරම්භයත් අවසානයත් සිදු වූ බව එයින් පැහැදිලි වේ.
විනයවිනිශ්චයටීකාවෙහි මේ රජුගේ නම අච්චුතවික්කන්ත (අච්චුතවික්රම) යයි දැක්වේ. මේ පිළිබඳ නිගමනයක් කරන අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත නායක ස්වාමීන්ද්‍රයෝ ඒ ගාථාවේ පද යෝජනාව අනුව රජුගේ නම අච්චුත යයි ගැනීම වඩා උචිත බව කියති.
“නාරායණයන්ට සමාන වික්‍රම ඇති අච්චුත නමැති රජු යයි උන් වහන්සේ එහි අරුත් බණින සේක. ඒ අනුව බුද්ධදත්තාචාර්යයන් විසූ කාලය උන්වහන්සේ මෙසේ නිගමනය කරති.”
“වික්‍රමාදිත්‍ය විනයාදිත්‍ය යන චාලුක්‍ය රජුන් දෙදෙනා විසින් කලභ්රයෝ පරදවන ලදහයි ඓතිහාසික වාර්තාවල කිය වේ. ක්‍රි: ව: 575 දී රාජ්‍යයට පැමිණි සිංහවිෂ්ණු නමැති පල්ලව රජ්ජුද කලභ්රයන් පැරදවීයයි කියවේ. (History of Pallavas of South India) පොතේ 79 සිට 84 දක්වා බැලිය යුතු.) මේ කිය වෙන්නේ කලභ්රයන්ගේ බලය පිරිහෙන්ට පටන්ගත් කාලයයි. ඔවුන් බලවත්ව සිටියේ ඊට පෙරදීය. බුද්ධඝොෂ කාලය සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් සිව්වෙනි ක්‍රිස්තු ශතකයේ අවසාන භාගයයි කිව හැක. බුද්ධදත්තාචාර්යයන්ගේ කාලයත් එයම වී යයි සැලකිය හැක. තෙවැනි ශතකයේ මැද පටන් කලභ්රයන් බලවත්ව සිටි බව පෙනෙන හෙයින් සිව්වෙනි ශතකයේදී සොළී රට රාජ්‍යය කළ කලභ්‍ර රජකු ඇති විය හැකිය. මීට වඩා විස්තරයක් දැනට දැනගත හැකි නොවේ”යනුයි.
(ථෙරවාදී බෞද්ධාචාර්‍ය්‍ය වරයෝ 34 පිට)
ව්‍යාඛ්‍යානය.
“විනිශ්චයාර්ත්ථදීපනී” නම් වූ විනයවිනිශ්චයසවිස්තරාර්ථ ව්‍යාඛ්‍යානය බොධිසත්වචරිතාභරණ විභූෂිත ලංකාගොඩ සිරි සද්ධම්මවංසපාල ධීරානන්ද මහාස්වාමිපාදයන් වහන්සේ විසින් ප්‍රතිපත්ති ගරුක ප්‍රියශීලී භික්ෂූන්ගේ විනයඥානාවබෝධය සඳහා ලියන ලද්දකි
පුලස්තිපුර ජෙතවනාරාමයෙහි වැඩ විසූ විද්යාචාර්ය්ය ශාරිපුත්‍ර මහා ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රෙවත නම් ස්ථවිරයන් වහන්සේ නමක් විසින් විනයත්ථසාරසන්දීපනී නම් මාගධීභාෂාමය විස්තරාර්ථ වර්ණනාවක් ද මේ ග්රන්ථයෙහි සුඛාවබෝධය සඳහා ලියා තිබේ. තවත් කිසියම් ආචාර්යයකු විසින් මෙයට ම රචිත අර්ථ යෝජනාවක් ද වෙයි. විසුද්ධිමාර්ග සන්නය ලියූ ශ්‍රී ලංකේශ්වර ජම්බුද්රෝණීපුරාධිවාසී කලිකාල සර්වඥ සාහිත්‍ය සර්වඥපණ්ඩිත පරාක්‍රමබාහු මහරජතුමා මෙයට ‘විනයවිනිශ්චය සන්නය’ යන නමින් සිංහලාර්ථ ව්‍යාඛ්‍යාවක් රචනා කරන ලද බව ප්රකටය. එහෙත් එය දැන් අදෘශ්‍යමානය. එයින් කොටසක් ශෙෂව ඇතැයි සමහරුන් කියතත් එය ද අපි නොදුටිමු.
ලංකාගොඩ ධීරානන්ද මහා ස්වාමිපාදයන් වහන්සේ විසින් විනිශ්චයාර්ත්ථදීපනී, නම් වූ මේ අර්ථව්යාඛ්යාව කොට තමන් වෙත පිරිනැමීමෙන් ප්‍රමුදිත වූ ස්වකීය ධර්මාචාර්යයන් වහන්සේ විසින් මහා සංඝසභාසම්මතයෙන් සිය අඳුරුපාණන් වහන්සේගේ උපාධිනාමය වූ ‘‘සිරිසද්ධම්මවංස පාල” යන ගරු නාමය උන්වහන්සේට ප්රදානය කළ බවද ඇසීමු.
මේ සන්නයට ගෞරව කොට උඩරට සියම් අමරපුර නිකාය වයෙහි වූ පණ්ඩිතසංඝසභාවේ සම්මතයෙන් රඳළ මුදලි මන්ත්රීශ්වරයන් කිප පලකගේ අත්සනින් දඹුල්ලේ වාලූකාරාමාධිපතිව වැඩ විසූ සිරි සුමන ඤාණාලංකාර මහාධම්මරාජගුරු ගණාචරිය අමරපුර නිකායයේ මහා නායක මාහිමියන් වහන්සේ වෙත එවන ලද ලිපියෙන් පිටපතක් මෙහි අන් තැනක පළවී ඇත.
පණ්ඩිත මොරටුවේ සාසනරතන ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේ විසින් ලියන ලද විනයෙකාෂය ප්රස්තාවනාවෙහි මේ ව්‍යාඛ්‍යානය පිළිබඳව සඳහන්කොට ඇත්තේ මෙසේය—
‘‘අමරපුරසිරිසද්ධම්මවංස නිකායේ මහානායක ධුරය දැරූ ලංකාගොඩ ධීරානන්ද මහාස්වාමින් විසින් ‘විනයවිනිශ්චය සන්නය’’ ලියන ලදි. බොහෝ තැන පාළි වචනවලට පිරිසිදු සිංහලයෙන් අරුත් කියන අතර ලලිතභාෂාවිලාසයකින් විස්තරය කරන මේ ග්‍රන්ථය නිසා සිංහල භාෂාවට අමුතු වචන රාශියක්ම ඇතුලත්වී ඇත. දැනට ප්‍රථමභාගය පමණක් මුද්‍රණය වී ඇති මෙහි ඉතිරි කොටස ද මුද්‍රණය කරවන්නේ නම් සිංහලභාෂාවට ද එයින් විශාල යහපතක් සිදුවනු ඇත’’යනුයි.
ඒ කරුණුවලින් මේ ව්‍යාඛ්‍යානය කොතරම් ගෞරවයට භාජනව ඇද්දැයි වටහාගත හැකි වේ. මෙයට අවුරුදු සාළිසකට පමණ පෙර මේ විනය විනිශ්චය සන්නයේ පාරාජිකා කාණ්ඩය අවසන්කොට ඇති කලාපයක් රන්දොඹේ ශික්ෂාලංකාර පරිවෙණාධිපතිව වැඩ විසූ පූජ්‍යපාද ජිනවරශාසනසොධක ධර්‍මසෙනාපති ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය රාජගුරු වැලිතර ශ්‍රී සුදර්ශීනාභිධාන ලක්දිව අමරපුර නිකායේ මහා නායක උපසංඝරාජ මාහිමියන් වහන්සේගේ සංස්කරණයෙන් මුද්‍රණය කරවන ලද්දේ විය. මෙයට අවුරුදු එකුන් විස්සකට පමණ පෙර මෙම සම්භාව්‍ය ග්‍රන්ථයේ විශොධකයාණන් තැන්පත් අස්මදාචාර්ය ව්යංකාලම්භ දෙවමහගොඩ ජයසෙඛරාරාමාධිපතිව වැඩ විසූ සිරි සද්ධම්මවංස පාල ධීරානන්ද තලල්ලේ ඉහළවෙල සිරි ධම්මරක්ඛිතාභිධාන අමරපුර සිරි සද්ධම්මවංස මහානිකායයේ මහානායක ස්වාමිපාදයන් වහන්සේ විසින් සංශොධිත මේ ග්රන්ථයෙහි භික්ෂුවිභංගය අවසන් කොට ඇති ප්‍රථම භාගය ඒ.ඇන්.ඩී.ඒ. අභයසිංහ (සි. බී. ඊ.) මැතිතුමින් විසින් මුද්‍රණය කරවා ප්රචාරයට පමුණුවන ලදි.
ව්යාඛ්යාතෘ.
විනිශ්චයාර්ත්ථ දීපනී නම් විනය විනිශ්චය සවිස්තරාර්ථ ව්‍යාඛ්‍යානයේ කර්තෘපාදයෝ වනාහි මෙම ව්‍යාඛ්‍යානයේ විශොධකයාණන් වූ අස්මදාචාර්ය සිරි සද්ධම්මවංසපාල ධීරානන්ද තලල්ලේ ඉහළවෙල සිරි ධම්මරක්ඛිතාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද ප්රාචාර්යභූත බොධිසත්ව චරිතාභරණ විභූෂිත ලංකාගොඩ සිරි සද්ධම්මවංසපාල ධීරානන්ද මහා ස්වාමිපාදයෝය.
සුශීලාදිප්රවරගුණයෙන් හා ධර්මවිනය ශබ්දශාස්ත්‍ර විෂයයෙහි අවිහීනප්රඥාණයෙන් හෙබියා වූ ස්වදේශ විදේශයන්හි ප්රතිත කීර්ති කදම්බයක් ඇති විබුධජනශිඛාමාණික්යය වූ මේ ව්යාඛ්යාතෲන් වහන්සේ හැඳින්වීම ප්‍රස්තාවෝචිත යයි සිතමු.
මුන් වහන්සේ දක්ෂිණ ලංකාවෙහි මාදම්පා නම් නියම්ගම් ලංකාගොඩ නම් පියසෙහි සුප්‍රසිද්ධ වැදගත් ප්‍රභූ කුලයක සංජාත වූ සේක් එවකට මාදම්පේ කුලිගොඩ පුරාණ වනවාසවිහාරාධිපතිව වැඩ විසූ ප්‍රියශීලී දෙල්දූව ධර්මරක්ෂිතාභිධාන මහා ස්වාමිපාදයන් වහන්සේ වෙත බාල වියෙහිදීම දෙමාපියන් විසින් පමුණුවන ලද්දේ අක්ෂරාභ්යාසය හා හෙරණ බණ දහම් පුහුණු කරවීම පැවිදි කරන ලදහ. වත් පිළිවෙත් ආදිය පුහුණු කරවීමෙන් නොබෝ කලකින්ම මුන් වහන්සේගේ ශ්‍රද්ධා මහීමය හා සුශීල ගුණයත් ප්රඥාපාටවයත් දත් සිය ඇඳුරුපාණන් වහන්සේ විසින් එකල දඹුල්ලේ චාකාරාමාධිපතිව වැඩ විසූ ලංකා අමරපුරනිකායේ මහානායක පදවියට මුම්ම දෙශයෙහි මහරජතුමන් විසින් ද ලංකාණ්ඩුව විසින් ද රාජසන්තකින් පත්කරනු ලැබූ සුප්‍රසිද්ධ කීර්තිශ්රීන් විරාජිත බෝපගොඩ සිරි සුමන ඤාණාලංකාර මහා ධම්මරාජගුරු ගණාචරිය නායක මාහිමියන් වහන්සේ වෙත ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර ප්‍රගුණ කරවීම පිණිස භාර කෙළෙන් සුචින්තනයෙන් හා මැනවින් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමෙන් ද ස්වකීය ධර්මාචාර්යයන් වහන්සේගේ සිත් ගෙන වසන්නාහු සම්විංශද්වර්ෂයෙහි උපසම්පදා ශීලයෙහි ද පිහිටා ක්‍රමයෙන් ප්රතිපත්තිපරායන යුක්ත වයොවෘද්ධ බහුශ්‍රැත මහා ප්‍රාඥ ස්ථවිරොත්තමයාණ කෙනෙක් වූහ.
මුන් වහන්සේගේ බහුශ්රැතභාවස්සෙහශීලාදිගුණඝෝෂය මුළු ලක්දිව මැදවීමෙන් දෝ සමුද්‍රය ද ඉක්මවා මුම්ම සියම් ආදි විදේශවල ද බෙහෙවින් පහළේ විය. මුම්ම සියම් දෙරටෙහි සංඝරාජාදි මහාස්ථවිරවරු යම් යම් කරුණු පිළිබඳව සංදේශ ගණු දෙනු කිරීම් ආදියෙන් මුන් වහන්සේ සමඟ මිත්රධර්මය පැවැත්වූවෝය.
යට කී දෙරට රජමහාමැති ආදීහු පුද පඬුරු එවීම් ආදියෙන් මුන් වහන්සේට බොහෝ ගෞරව කළහ. පාළි භාෂාවෙහි මහා පණ්ඩිතයෙක් වූ වජිරඤාණාභිධාවටසම්මතදෙවවංස සියම්මහරජතුමන් විසින් එවන ලද පුද පඬුරු සහිත සංදේශයක මෙබඳු ගාථාවක් වෙයි. එනම්:—
‘මෙතන්තීං මයා රක්ඛතු යාවජීවං ථෙරො සුධීරො අභිනන්ද මානො සුදූල්ලහොපණ්ඩිතස්සංධුරූපො, දෘෂ්ටාව සොත්ථුඤ්ච ඤාතො ලභෙම’ යනුයි
ප්‍රාඥ වූ (ධීරානන්ද) ස්ථවිර තෙමේ සතුටු සිතින් ඇත්තේ දිවිඇතිතාක් සියමිරජ වූ මාගේ හොඳහිත(මිත්රධර්මය)ආරක්ෂා කෙරේවා, පණ්ඩිතසත්පුරුෂස්වරූප ඇති පින්වතුන් වහන්සේ වැනිවුත් අතිශයින් දුර්ලභය. එබන්දන් දැකීමටද එබන්දන් ගැන ඇසීමට ද කොතනින් ලබමු ද? යනු එහි අදහසයි.
ගරුතර විදේශීය රජවරුන් පවා මුන් වහන්සේට කොතරම් ගරු කරන ලද දැයි මෙයින් වටහාගත හැකිය. දඹුල්ලේ වාඑකාරාමාධිපතිව වැඩ විසූ කීර්ති ප්රතාපවත් සිරි සද්ධම්මවංස පාල මහා ධම්ම රාජගුරු ගණාචරිය කටුගම්බො ධම්මක්ඛන්ධ නායක මාහිමියන් වහන්සේ ප්‍රභව කොට ඇති යති සංඝතිය තනිකාවත් ආදිය පිහිටුවා “සිරි සද්ධම්මවංස” නිකාය යන නාමයෙන් ප්රනිසංඛ්යාත වූයේ මේ ව්යාඛ්යාතෲ වූ මහාස්වාමින් වහන්සේගේ ප්‍රමුඛත්වයෙනි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2411 වැන්නෙහි සබරගමු මහා දෙවාලයේ බස්නායක නිලය කරවූ ප්රභූකුලතිලක ඉද්දමල්ගොඩ අභයකෝන් අතපත්තු මුදලිඳුන් ප්රමුඛ කොට ඇති රඳළ සභාවක ඇරයුමෙන් පැල්මඬුල්ලේ සුදර්ශන නම් ධර්මශාලාවෙහි සියම් අමරපුර නිකායවයෙහි සුප්‍රසිද්ධ මහා පණ්ඩිත ස්ථවිරයන් වහන්සේලා රැස්ව කළ පුස්තකාරූඪියෙහි අමරපුර නිකායික පක්ෂය සම්බන්ධ ප්‍රධානත්වය ඉසුලූයේ මුන් වහන්සේය.