පිරිවෙන් පාලි භාෂාව 1 ශ්‍රේණිය.pdf
- ප්‍රකාශිත වර්ෂය :
- 2012
- මුද්‍රිත වර්ෂය :
- 2017
- පිටු ගණන :
- 104
- බාගත කිරීම් ගණන :
- 6,778
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-11-05
- ගොනුවේ ප්‍රමාණය :
- 11 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මූලික පිරිවෙන් පළමු වන ශ්‍රේණිය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කරන ලද ‘පාලි භාෂාව 01’ පෙළපොතයි. පිරිවෙන් අධ්‍යාපනය ලබන ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාව උදෙසා පාලි හෝඩිය, අක්ෂර මාලාව, සරල පාඨ සහ මූලික ව්‍යාකරණ හඳුන්වා දීම සඳහා මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
මෙහි අන්තර්ගතය ජාතක කථා, බෞද්ධ සූත්‍ර ධර්ම, වන්දනා ගාථා, ඉතිහාස පාඩම් සහ සරල කථාන්තර මඟින් පාලි භාෂාව ඉගෙනුමට පහසු වන පරිදි සකස් වී ඇති අතර පාඩම් අවසානයේ අභ්‍යාස ද ඇතුළත් වේ.
- පාලි භාසා සහ අක්ෂර මාලාව
- සම්මොදමාන ජාතකය
- මහාමංගල සූත්‍රය සහ වන්දනා ගාථා
- දසසික්ඛාපදානි සහ පච්චවෙක්ඛණා
- කාකවණ්ණතිස්ස සහ ධාතුසේන රජුන් පිළිබඳ පාඩම්
මෙම පොත 2012 වර්ෂයේ ප්‍රථම වරට මුද්‍රණය කරන ලද අතර මෙහි දැක්වෙන්නේ 2017 වර්ෂයේ පළ වූ සිව්වන මුද්‍රණයයි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ පණිවුඩය
පිරිවෙන් මගින් ගිහි පැවිදි දෙපක්ෂයට ම භාෂා, ආගමික හා සාරධර්ම අධ්‍යාපනය ලබා දීම චිරාත් කාලයක සිට පැවත ආ බැවින්, පිරිවෙන යනු ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය. එය දේශීය ගිහි පැවිදි ශිෂ්‍ය පරම්පරාව පමණක් නොව විදේශීය විද්‍යාර්ථීන් ද ඥානය කළ විශ්වවිද්‍යාලයක් බඳු ස්ථානයක් විය. එක් එක් යුගයේ අවශ්‍යතා අනුව සකස් වූ විෂයමාලාවක් පිරිවෙන් අධ්‍යාපනය මගින් සිසුන් වෙත ප්රදානය කරනු ලැබිණි. එබැවින් ම එවැනි අධ්‍යාපන මධ්‍යස්ථාන විශ්ව සම්භාවනාවට පත් විය.
විදේශීය ආක්‍රමණ හමුවේ - විශේෂයෙන් ම පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ - පිරිවෙන් අධ්‍යාපනය ගුණාත්මක වශයෙන් හීන වී ගිය බව සැබෑ ය.
එහෙත් 1753 දී ශ්‍රී ලංකාවේ මහණ උපසම්පදාව යළි පිහිටුවීමට ක්‍රියාකළ අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ කැපවීම මත පිරිවෙන නැමැති අධ්‍යාපන ආයතනය ශීඝ්‍ර දියුණුවකට පත් ව දෙස් විදෙස් කීර්තියට පත්වීම අප ලැබූ ජයග්‍රහණයකි.
අනෙකුත් අධ්‍යාපන ක්ෂේත්රවලට මෙන් ම පිරිවෙන් අධ්‍යාපනයට ද නිදහස් අධ්‍යාපන සංකල්පය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අර්ථවත් කිරීම අපගේ පරම අපේක්ෂාවයි. පිරිවෙන් පෙළපොත් නොමිලයේ සැපයීමෙන් රජය ඉහළ වැයක් දැරුව ද එමගින් සමස්ත ජනතාවගේ විනය, සදාචාරය හා යහපැවැත්ම පිරිවෙන් ශිෂ්‍ය ප්‍රජාව වෙතින් ඉටු වනු ඇතැයි උදක් ම අපේක්ෂා ඇති ව මෙම පොත ඔබ අතට පත් කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකන අතර මෙම පොත පරිහරණය කිරීමෙන් ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නැණ ගුණ දියුණු වේවායි ද පතමි.
අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍ය
පෙරවදන
ශ්‍රී ලංකාව තුළ බුද්ධ ධර්මය ස්ථාපිත වීමත් සමග ම වාගේ විහාරාරාම ගොඩනැංවීම ආරම්භ විය. දිවයිනේ ප්‍රධාන විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් “පිරිවෙන” නැමැති විද්‍යායතනය බිහි වී ඇත. ගිහි පැවිදි දෙපක්ෂයට ම අවශ්‍ය වූ කලා ශිල්ප, භාෂා හා සමය සමයාන්තර ඥානයත්, යහපත්, ගුණගරුක සමාජයක් බිහි කිරීමට අවශ්‍ය සාරධර්ම අධ්‍යාපනයත් බෙදා දුන්නේ පිරිවෙන මගිනි. එම සාම්ප්‍රදායික අනන්‍යතාව රැක ගනිමින් ම, කාලීන අවශ්‍යතා ද සපුරාලමින් යහපත් සමාජයක් ගොඩනැගීමේ කාර්යය ඉදිරියට ගෙන යාමට පිරිවෙන ඉටු කරන කාර්යභාරය සුළු කොට තැකිය නොහැකි ය.
සම්භාවනීය අධ්‍යාපන සම්ප්රදායයන් රැක ගනිමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ මෙන් ම ගිහි සිසුන්ගේත් අවශ්‍යතා සැලකිල්ලට ගෙන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පිරිවෙන් සඳහා මෙම පාඨග්රන්ථය සම්පාදනය කර ඇත. එම කාර්යය සඳහා දායකත්වය සැපයූ උපදේශක, ලේඛක හා සංස්කාරක මණ්ඩල සාමාජිකයන් සියලු දෙනාට ද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද මාගේ ස්තූතිය පිරිනමනු කැමැත්තෙමි.
අයි.එම්.කේ.බී. ඉලංගසිංහ, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ඉසුරුපාය, බත්තරමුල්ල, 2017.05.02