වේදනානුපස්සනා චිත්තානුපස්සනා වර්ණනාව - හැරමිටිගලේ ධීරානන්ද හිමි.pdf
- කතෘ :
- හැරමිටිගලේ ධීරානන්ද හිමි
- ප්‍රකාශිත වර්ෂය :
- 1951
- මුද්‍රිත වර්ෂය :
- 1951
- පිටු ගණන :
- 288
- බාගත කිරීම් ගණන :
- 1,761
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2019-03-29
- ගොනුවේ ප්‍රමාණය :
- 23 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මහා සතිපට්ඨාන විස්තරාර්ථ වර්ණනාව යනු දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කෙරෙන අතිශය විස්තීර්ණ සිංහල ව්‍යාඛ්‍යාන ග්රන්ථ මාලාවකි. මෙහි අඩංගු වන්නේ එහි තුන්වැනි කාණ්ඩය හෙවත් වේදනානුපස්සනා සහ චිත්තානුපස්සනා වර්ණනා කොටසයි. මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලද්දේ හැරමිටිගලේ ශාස්ත්‍රාලංකාර පරිවේණාධිපති, මල්වතු පාර්ශ්වයේ අනුනායක ධුරය දැරූ අතිපූජ්‍ය හැරමිටිගලේ ශ්‍රී රතනපාල ධීරානන්ද අනුනායක මාහිමිපාණන් වහන්සේ විසිනි.
උන්වහන්සේගේ ගුරු පරම්පරානුගත පුස්තකාලයෙහි පැවති පැරණි සතිපට්ඨාන ව්‍යාඛ්‍යානය අභිධර්ම ග්රන්ථශ්රයෙන් හා සියම් විදර්ශනා ක්‍රම ආශ්රයෙන් තවදුරටත් පුෂ්ටිමත් කොට මෙම කෘතිය සම්පාදනය කර ඇත. අවසාන ශෝධ්‍ය පත්‍ර පරීක්ෂාව ගාල්ලේ විද්‍යාලෝක පරිවේණාධිපති පණ්ඩිතාචාර්ය වැලිවිටියේ ශ්‍රී පුඤ්ඤසාර නාහිමියන් විසින් සිදු කර තිබේ. කොළඹ චිත්තාංකර පටුමගෙහි පදිංචිව සිටි ජී. ඩී. ජයසුන්දර නීතිඥ මහතාගේ සහ ඥාතීන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් 1951 (බු.ව. 2494) දී ගාල්ලේ ගුණෝදය මුද්‍රණාලයේදී මෙය මුද්‍රණය කරවා ඇත.
මෙහි ප්‍රධාන වශයෙන් ඇතුළත් කරුණු පහත දැක්වේ:
- නවාකාර වේදනානුපස්සනාව හා පාලි විවරණය
- චිත්තානුපස්සනාවෙහි අකුසල් සිත් 12 පිළිබඳ නය 34,020 ක්
- රූපාවචර ධ්‍යාන පිළිබඳ නය 325 ක්
- අරූපාවචර ධ්‍යාන සතර පිළිබඳ නය 53 ක්
- කාමාවචර කුසල් සිත් අට පිළිබඳ නය 15,120 ක් සහ විදර්ශනා භාවනා ක්‍රම
සංඥාපනය.
මහා සතිපට්ඨාන විස්තරාර්ථ වර්ණනාව.
ශ්‍රීමත් සුගත තථාගතයන් වහන්සේ විසින් වදාළ අටළොස් දහස් පන්සිය පණසක් [18550] පමණ වූ සූත්‍රධර්මයන් අතුරෙන් මහා සතිපට්ඨාන සූත්‍රය අතිශයින් ගැඹුරු වූ අතිශයින් සාරවූ බෞද්ධයන්ගේ එකායන මාර්ගය වූ විශෙෂ ධර්ම පිණ්ඩයකි. යෝගාවචරයන්ගේ භවනසාර වස්තුව වූ මේ මහා සතිපට්ඨාන ධර්ම පුස්තකය හැමකල්හිම සැදැහැවතුන් මහත් ආදර ගෞරවයෙන් නිතර පරිශීලනය කරණු ලබන හෙයින් හැමපන්සලක හැමගෙදරකම හැම පුස්තකාලයකම සුලභය. එහෙයින් නොයෙක් දෙනා නොයෙක් අයුරින් සතිපට්ඨාන සූත්‍රයට ව්‍යාඛ්‍යාන සැපයූහ. ඒ සියලුම ව්‍යාඛ්‍යානයන් අතුරෙන් අතිශයින් විශාලවූ බෙහෙවින් සුගම වූ අත්‍යන්ත ප්‍රයෝජනවත් වූ ධර්ම කථිකයන්ගේ භවනසාර වස්තුවක් වැනි වූ ව්‍යාඛ්‍යානය වනුයේ අපේ ආචාර්ය්ය පරම්පරාවේ පැවැතෙන සතිපට්ඨාන විස්තර වර්ණනාවබව නිර්භයව කියමි.
මගේ ප්රව්රජ්යාචාර්ය්ය වූ අභිධර්ම විශාරද හැරමිටිගලේ ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය්ය රතනපාලාභිධාන මාහිමියන් වහන්සේ ස්වකීය පරම්පරානුයාත සතිපට්ඨාන වර්ණනාව අභිධර්ම ග්රන්ථාශ්රයෙන් කරුණු එකතු කිරීමෙන් බොහෝ සෙයින් පුෂ්ටිමත් කලසේක.
සියමෙත් වැසි විදර්ශනාචාර්ය්යවරයන් විසින් පුරුදු කරවන ලද විදර්ශනා පිළිවෙළද කසිණ මණ්ඩල සම්බන්ධ ප්රතිරූප සටහන් ආදිය ද මේ සතිපට්ඨාන සූත්රවර්ණනාවෙහි ඇතුලත්ය.
අපේ පරම්පරානුගත පුස්තකාලයෙහි තිබෙන පොතෙන් මා විසින් පිටපත් කරණලද මහා සතිපට්ඨාන විස්තරාර්ථවර්ණනාව මගේ ශක්තිප්‍රමාණයෙන් අඩුපාඩු පුරවා මුද්‍රණය කරවන්ට පටන්ගතිමි.
එයින් පලමුවැනි කාණ්ඩය රෝයල් පෝර්ම 37 කින් යුක්තව කායානුපස්සනා සතිපට්ඨාන විස්තරාර්ථ වර්ණනාව නමින්ද, දෙවැනි කාණ්ඩය පෝර්ම 38 කින් යුක්තව ආනාපාන විදර්ශනා ක්‍රමය පමණක් විස්තර කොට කායානුපස්සනා විදර්ශනා වර්ණනාව නමින්ද, මුද්‍රණය කරවන ලද්දේදය. වේදනානුපස්සනා චිත්තානුපස්සනා දෙක පිළිබඳ සම්පූර්ණ විස්තරය ඇතුලත් මෙම තුන්වැනි කාණ්ඩයද පෝර්ම 35 කින් යුක්තව මුද්‍රණය කරවන ලදී. ධම්මානුපස්සනාවර්ණනාව සහ ඉරියාපථමනසිකාරය පටන් ශේෂව තිබෙන කර්මස්ථාන විස්ස (20) පිළිබඳ විදර්ශනා ක්රමයද 4 වැනි, 5 වැනි කාණ්ඩ වශයෙන් මුද්‍රණය කරවා පොත අවසන් කරන්නට අදහස්කොට තිබේ.
ග්රන්ථශෝධනය.
අස්මදාදීශ පරම්පරානුයාත වාක්‍ය යෝජනා ක්රමයන් වචන ක්රමයන් මුල් පිටපතෙහි පවත්නා ලෙසින් වෙනස් නොකරම තිබෙන්ට හැරීම මගේ මුලුවත් කැමැත්තද විය. පෞරාණික ධර්මධරයන් ධර්මව්යාඛ්යානයන් කලේ ව්‍යාකරණය නොව අර්ත්ථය ගරුකොටගෙණය. ව්‍යාඛ්‍යාන ප්‍රභාවෙන් කථාකරණ වචනවලින් අදහස් අඟවාලීම පෞරාණික ඇදුරු ධර්මදේශනාකථිකයන් අතර පැවැති අලංකෘත සිරිතක් බව තේරුම්ගත හැක්කේ පෞරාණිකවූ නොයෙක් ධර්මව්යාඛ්යානවල ව්යාකරණදෝෂ දූෂිත පද වාක්‍ය බාහුල්‍යය දක්නාවිටය. මේ සතිපට්ඨාන වර්ණනාවද එබන්දකි. මෙහි ව්‍යාකරණ විරෝධ තැන් බහුලබව ප්‍රමාණවත් උගත්කමක් ඇති කා විසින්වුවත් තේරුම්ගත හැකිය. එහෙත් ඒවායේ ලොකුම වෙනසක් කරන්නට අදහස් නොකෙළේ කාරණය තේරුම් ගැනීමට එයින් බාධාවක් නොවන හෙයිනි.
මගේ යථෝක්ත කැමැත්ත සහ ඕනෑකම ද දන්වා මෙහි අන්තිම ශුද්ධි පත්‍රය බලන ලෙස මා විසින් ආරාධිත ගාල්ලේ විද්‍යාලොක පරිවේණාධිපතිවූද මාගේ සබ්‍රහ්මචාරි මිත්රවූද පණ්ඩිතාචාර්ය්ය වැලිවිටියේ වාචිස්සරාචරිය සිරි පුඤ්ඤසාරාභිධාන දකුණු දිශාවේ ප්‍රධාන අධිකරණ නායක ස්ථවිරතුමන් විසින් ඉතා සැලකිල්ලෙන් අවසාන ශෝධ්යපත්ර බලා පොත පසස්කාලදී. එහෙයින් මගේ මේ කීර්තිමත් වියත් මිත්‍රවරයා කෙරෙහි අවංක කෘතඥතාව පළමුකොට පිරිනමමි.
“මෙහි විස්තරවන දහම් කොටස්.”
+ නවාකාර වේදනානු පස්සනාව + චිත්තානු පස්සනාවෙහි අකුසල්සිත් දොළස පිළිබඳ = නය 34020 + රූපාවචර ධ්‍යාන පිළිබඳ නය 325 + අරූපාවචර ධ්‍යාන සතර පිළිබඳ නය 53 + කාමාවචර කුසල්සිත් අට පිළිබඳ නය 15120 ද වේත්.
මෙහි දහම් කොටස් ධර්මශාස්ත්රී නීති - පැහැදිලි දෙපක්ෂයට දැනගැනීමට පිණිස ලිහිල් බසින් මෙහි ලියාතිබේ.
පරිත්‍යාග.
මුලදී අපේ කිසිම දැන ඇඳිනීමක් නැතුව සිටි ගාල්ලේ උණවටුනේ වලව්වේ පෞරෝත්තු සත්ගුණවත් ජේ. ඩී. ජයසුන්දර නීතිඥ මැතිතුමා මා විසින් ලියා මුද්‍රණය කරතිබුන මහා සතිපට්ඨාන විස්තරාර්ථ වර්ණනාවේ පලමුවන පොත් කාණ්ඩය කියවා බලා ඉතා සතුටට පත්ව ඒ ගැන යම් ආධාර මුදලක් පරිත්‍යාග කොට එහි පින් අනුමෝදන් වීමට කැමැත්තෙන් මා කැඳවා දාන
මානාදියෙන් සංග්‍රහකොට මහාසතිපට්ඨාන වර්ණනාවෙහි ඉතිරිකොටස්වල ඇතුලත්වන දහම් කොටස් ගැන පැයක් පමණවේලා ධර්මසාකච්ඡාවක යෙදී පොත අවසානය දක්වා මුද්‍රණයට යන වියදම් ගෙවනවාය. එය මානමිනුත් සහ කාලක්රියාකල මගේ වලව්වේ මැණිකේය නමිනුත් මුද්‍රණය කරවනු මැනවැයි ආරාධනා කොට එදිනම රුපියල් 1000/00 ක්ද පරිත්‍යාග කෙළේය. එහෙත් අපේ අභාග්‍යයකට මෙන් පොත මුද්‍රණය කර අවසානවන්ට මත්තෙන් එතුමා දිවංගත විය. එසේ නමුත් මීට ආධාර දෙන ලෙස තම ඥාතිවරයන්ට නියම කර තිබුනේය. එමනිසා මෙම පොත මුද්‍රණය කරවා ධර්මභාගීන්ට වෙත පැමිණවීමෙන් ලැබෙන මහා පින් එතුමාට සහ එම මැණිකේටද ලැබී සසර වසනතුරු සූර්ය්ය පණ්ඩිත රත්නයන්ව කෙලවර ස්වර්ගමෝක්ෂ සම්පත්තියද ලැබේවා.
එසේම කොළඹ වැල්ලවත්තේ පල්ලියපාරේ පිහිටි ‘සාගල’ වලව්වේ පෞරෝත්තු සත්ගුණවත් පී. ඩී. රත්නතුංග මුදලිතුමාද, අපේ කිසිම දැන ඇඳිනීමක් නැතුව සිටි පහත නමසඳහන් භවතුන් වෙත අප කැඳවාගෙන ගොස් මෙම ලෝක ශාසනෝපකාරී කටයුත්තට ආධාර කරණ ලෙස ආරාධනා කළෝය. එමනිසා එම මුදලිතුමාටද මෙම ධර්මදානමය මහා පිණ අයිති වේවා.
එම ආරාධනාව පිළිගත් යථෝක්ත ජේ. ඩී. ජයසුන්දර නීතිඥ මැතිතුමාගේ සොහොයුරු සැදැහැවත් ජේ. ඩී. ජයසුන්දර නීතිඥ මැතිතුමා විසින් රුපියල් 1358 ක්ද, එතුමාගේ බෑනනුවන්වන සැදැහැවත් ඒ. ආර්. අබේසුන්දර දොස්තර මැතිතුමා විසින් සහ එම මැණිකිය විසින් රුපියල් 1500 ක්ද, දැනට උණවටුනේ වලව්වේ පෞරෝත්තු සැදැහැවත් ඉන්ද්‍රපාල ජයසුන්දර මැතිතුමා විසින් රුපියල් 430 ක්ද, පරිත්‍යාග කරණලදී.
එමනිසා එතුමන්ලාටත් මෙම ධර්මදානමය මහා පිණ හේතු කොට ගෙන සසර උපනුපන් ජාතිවලදී සූර්ය්ය පණ්ඩිත රත්නයන් වීම් උපනිශ්‍රය සහ කෙලවර සඟමොක් සුවද ලැබේවා.
අභිමතාර්‍ත්‍ථය.
මහා සතිපට්ඨාන විස්තරාර්ථ වර්ණනාව මා විසින් ලියන ලද්දේත් මුද්‍රණයෙන් ප්රචාරයට පමුණුවන ලද්දේත් මුදල් සපයා එයින් මගේ පෞද්ගලික ප්රයෝජනයන් පිරිමසා ගැණීම පිණිස නොවේ, මතු මගේ පිරිවෙනෙහි අනාගත නේවාසිකයින් පිණිස අරමුදලක් සපයා තැබීම සඳහාය. දැනට මුද්‍රණයෙන් ප්රචාරයට පමුණුවා තිබෙන කාණ්ඩදෙක විකිණීමෙන් ලැබුණ මුදලින් සතයක්වත් මගේ පෞද්ගලික වියදමකට නොගත්තෙමි. මත්තටද එසේමය. පලමුවැනි කාණ්ඩය විකිණීමෙන් ලැබුණ මුදලින් මහත් කොටසක් දෙවැනි කාණ්ඩයේ මුද්‍රණ වියදම් පියවාලදී. මෙම තුන්වැනි කාණ්ඩය මුද්‍රණය කරවීමට පුණ්යානුකූල සැදැහැවත් උතුමන්ගෙන් ලැබුණ ආධාර මුදලෙන් පමණක් මෙම කාණ්ඩයේ මුද්‍රණය අවසන් කල නොහැකිවූ නිසා දෙවැනි කාණ්ඩය විකිණීමෙන් ලැබුණ මුදලෙන් මහත් කොටසක්ද මේ සඳහා වියදම් කරන්ට සිදුවිය.
එහෙයින් මෙම පොත මුද්‍රණය කරවා ප්රචාරයට පැමිණවීම සඳහා මීට ආධාර දුන්නාවුද මත්තට ආධාර දෙන්නාවුද සැදැහැවතුන්ට පිරිවෙණක් මගින් ඇතිවන පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති ශාසනද්වය ආරක්ෂා කිරීමේ පින්ද ධර්මදානමය පින්ද අත්වනබව කියනු කැමැත්තෙමි.
තවද මෙම පොත් කාණ්ඩයේ පෲප් බලා දුන් ගාල්ලේ විද්‍යාලොක පිරිවෙණෙහි උපප්රධානාචාර්ය්ය පණ්ඩිත අකුරටියේ අමරවංශ ස්ථවිරයන්ට සහ ගුණෝදය යන්ත්‍රාලයෙහි කලමණාකාර කේ. ඒ. කර්නේලිස් අප්පුහාමි ප්රමුඛ කාර්ය්යමණ්ඩලයටද අපගේ කෘතඥතාව හිමිය.
තවද මෙහි බොහෝ තැන්වල වර්ණයෝජකයන්ගේ ප්‍රමාදයෙන් අකුරු අඩුවී තිබෙන බව පෙනේ. සම්පූර්ණ පොතම සවිස්තර සංග්‍රහයක් සහිත ශුද්ධිපත්‍රයක් අවසාන කාණ්ඩයට යොදන්නෙමි.
මෙම පොත නැවත මුද්‍රණය කරවීමේ අයිතිය හැරමිටිගලේ ශාස්ත්‍රාලංකාර පිරිවෙණෙහි උපප්රධානාචාර්ය්ය වූ මගේ කීඩකර ශිෂ්‍ය පින්කන්දේ ශ්‍රී චන්ද්‍රජෝති ස්ථවිර තැනට පැවරුවෙමි.
ඒ හැර මගේ සිල්විකා නැති පොතක් යම් කිසිවකු වෙත තිබෙන බව දුටු භවතෙක් වේ නම් කරුණාකර ඒ බව අපවෙත දන්වනු මැනවි.
මෙ බවට,
හැරමිටිගලේ ශාස්ත්‍රාලංකාර පරිවේණාධිපති, මහනුවර උපොෂිත පුෂ්පාරාම මහා විහාර කාරක මහා සංඝ සභාවේ ප්‍රධාන ලෙඛකාධිකාරී හැරමිටිගලේ ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය්ය රතනපාල ධීරානන්දාභිධාන ස්‍යාමෝපාලි මහානිකායේ අනුනායක ස්ථවිරයෝ වම්හ.
හැරමිටිගලේ ශ්‍රී ධීරානන්ද
2494
——දෙසැම්බර් මස 20 වැනි දින
1950
හැරමිටිගල ශාස්ත්‍රාලංකාර පිරිවෙන්හිදීය.