අංගුත්තර නිකාය ව්‍යාඛ්‍යාව - වම්බටුවැවේ සිරිනිවාස හිමි.pdf

කතෘ :
වම්බටුවැවේ සිරිනිවාස හිමි
ප්‍රකාශිත වර්ෂය :
1937
මුද්‍රිත වර්ෂය :
1937
පිටු ගණන :
199
බාගත කිරීම් ගණන :
2,574
වෙබ් අඩවියට එක් කළ දිනය :
2019-03-29
ගොනුවේ ප්‍රමාණය :
12 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 100

සාරත්ථදීපනී නම් අංගුත්තර නිකාය ව්‍යාඛ්‍යා යනු අංගුත්තර නිකායේ සූත්‍ර ධර්මයන් විස්තර කරමින් වම්බටුවැවේ සිරිනිවාස ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද අගනා සිංහල සන්න ග්‍රන්ථයකි. මෙහි පළමු භාගයට ඒකක නිපාතය සහ දුක නිපාතය සම්පූර්ණයෙන් අන්තර්ගත වේ.

විද්‍යාලංකාර පරිවේණාධිපති රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක මාහිමියන්ගේ ව්‍යාඛ්‍යාන සම්ප්‍රදාය අනුගමනය කරමින් අටුවා නය නොඉක්මවා, පදගත අර්ථය, සංලක්ෂ්‍ය සහ ව්‍යාකරණ ක්‍රම පැහැදිලි වන සේ මෙම කෘතිය සම්පාදනය කර ඇත. පාලි පෙළ ශෝධනය කරමින් පෙර පැවති සන්න පොත්වල අඩුපාඩු නිවැරදි කර සම්පාදිත මෙම කෘතිය, රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ අවසාන ශෝධනයෙන් යුක්තය.

බුද්ධ වර්ෂ 2480 (ක්‍රි.ව. 1937) දී ඇම්. පී. කොණ්ඩාසිංහ මහතා විසින් පෑලියගොඩ සත්‍යසමුච්චය යන්ත්‍රාලයෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කර ඇත.

සංඥාපනය

ශ්‍රී ශාක්‍යමුනීන්ද්‍ර වූ අප සම්යක් සම්බුද්ධ සර්‍වඥරාජෝත්තමයන් වහන්සේ විසින් සකලසත්ත්වයන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් සාරාසංඛ්‍යකල්පලක්‍ෂයක් මුළුල්ලෙහි පූරිත පාරමිතානුභාවයෙන් ප්‍රතිලබ්ධ සර්‍වඥතාඥානයට විෂය වූ ලෞකික ලොකොත්තරාර්ථප්‍රකාශක නෛය්‍යාණික ධර්‍මදේශනා තොමෝ සූත්‍ර අභිධර්‍ම විනය යන පිටක විසින් ත්‍රිවිධ වේ. ඒ ත්‍රිවිධ පිටකයන් අතුරෙන් ලෞකික ලොකොත්තරාර්ථයන් ප්‍රකාශ කරන අර්‍ථයෙන් සූත්‍ර නම් වූ ද පර්‍ය්‍යාප්තිය දැරීමට භාජන වන අර්‍ථයෙන් පිටක නම් වූ ද ධර්‍මසමූහය තෙම සූත්‍ර පිටක නමි. ඒ සූත්‍රපිටකය වනාහි දීඝ, මජ්ඣිම, සංයුත්ත, අංගුත්තර, ඛුද්දක යයි නිකාය විසින් පඤ්චවිධ වේ.

එයින් චිත්තපරියොදාන සූත්‍රය පටන් නවදහස් පන්සිය සත් පනසක් සූත්‍රයන්ගෙන් සමන්විත ධර්‍මස්කන්ධය තෙම අංගුත්තර නිකාය නම් වේ. එහි සූත්‍රයන් එකෙකඅධිකාතිරෙක වශයෙන් සිටි හෙයින් අංගුත්තරනිකාය යන නාමය සද්ධර්‍මකාරක මහරහතන් වහන්සේලා විසින් ව්‍යවහෘත ය. මෙ‍ය බණවර එකසිය විස්සකින් හා එකක, දුක, තික, චතුක්ක, පඤ්චකාදිවශයෙන් එකාදශනිපාතයකින් ද පරිපූර්‍ණ වේ.

මේ අංගුත්තරනිකාය ශීල සමාධි ප්‍රඥා සන්දීපක නානාවිධ දේශනා නයින් විචිත්‍ර පරම ගම්භීර ධර්‍මසමූහයකින් යුත් මහාර්ඝ ධර්‍මරත්නාවලියකි. මාගධීභාෂොද්ග්‍රහණාභිලාෂීන්ගේ බුද්ධිප්‍රබෝධය කරන ප්‍රදීපයෙකි. ධර්‍මදේශකයන්ට දම්රුවන් පිරූ ගබඩාවෙකි. සැදැහැතියන්ට නිවන්පුරයට මහවෙහෙකි. එහෙයින් මේ උතුම් දහම් පොත ගිහි පැවිදි සියලුදෙනා විසින් සදාකල්හි අභ්‍යස්තකාර්‍ය්‍ය ය.

ප්‍රවචන පාලිධර්‍මය පිළිබඳ යථාර්‍ථාවබෝධය පර්‍ය්‍යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවෙධ යන ත්‍රිවිධ ශාසනයාගේ චිරස්ථිතියට අසහාය හේතුවකි. පාලිධර්‍මයාගේ යථාර්‍ථාවබෝධයට යහපත් අර්ථව්‍යාඛ්‍යානමාර්‍ගය මහොපකාරී වේ. එහෙයින් අංගුත්තරනිකාය නම් වූ ප්‍රවචන පාලිධර්‍මග්‍රන්ථය පරිශීලනය කරන ආධුනිකයනට එහි යථාර්‍ථාවබෝධය පිණිස යහපත් අර්‍ථව්‍යාඛ්‍යානමාර්‍ගයක් ඇසුරු කළ ව්‍යාඛ්‍යානයක් අවශ්‍ය බැව් දත් ධර්‍මාර්‍ත්‍ථඥානාභිවෘද්ධිකාමී කීප පළක් විසින් අදොෂහිත වූ අපි ලොකශාසනානුග්‍රහය පරමාර්ථ කොට ගෙන මේ සද්ව්‍යාපාරයෙහි යථාවකාශයෙන් ව්‍යාපෘත වූමු.

සාරත්ථදීපනී නම් වූ මේ අංගුත්තරව්‍යාඛ්‍යානය විද්‍යාලංකාර ශෙඛරොපමාණ පැලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති වැ වැඩවුසූ ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය උපාධ්‍යාය ධුරන්ධර රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාමාභිධාන කොළඹ හලාවත දෙදිශාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අර්‍ථව්‍යාඛ්‍යාන මාර්‍ගය ඇසුරු කොට අර්‍ථකථා නය නො ඉක්මවා පදර්‍ථ දැක්වීමෙන් ද, සංලක්‍ෂ්‍ය යෙදීමෙන් දුර්බොධස්ථාන විස්තර කිරීමෙන් ද, යථාස්ථානයෙහි ව්‍යාකරණක්‍රම දැක්වීමෙන් ද නාතිසංක්‍ෂෙපවිස්තාරයෙන් සම්පාදනය කෙළෙමු. එකක දුක නිපාතය පිළිබඳ ව්‍යාඛ්‍යානය ඇතුළත් ප්‍රථම කොටස බොහෝ දෙනකුන්ගේ ඉල්ලීම පරිදි පළමුකොට පිට කෙළෙමු. තිකනිපාත ව්‍යාඛ්‍යානය ද අප්‍රමාද ව ලබාගත හැකි වේ.

පද්‍යටීකථනයෙන් බුද්ධිවිකාශයට බාධා පැමිණේ යයි මෙකල ඇතැම් විචාරකයෝ සලකති. එහෙත් එය බුද්ධිවිකාශයට රුකුලක් කොට පුරාතනාචාර්‍ය්‍යවරයෝ සැලකූහ. පද්‍යටීකථනයෙහි අගය හෝ අභිප්‍රාය නො දත් ඇතමුන්ගේ අවිචාරය නිසා පසුකාලයෙහි පද්‍යටීකථනය පමණක් ඉගෙනීම යයි ශිෂ්‍යයනට වැටහී ගියේ ය. ඔවුහු ගිරවුන් මෙන් පද්‍යර්ථය කටපාඩම් කර ගෙන නැවත නැවත ද කීම මුත් අර්‍ථය වහල් කොට ගෙන පෙළපදය පිළිබඳ කිසි දු විචාරණයක් නො කොට එයින් ම ඉගෙනීම අවසන් යයි සිතා ගත්හ. මෙයින් ම නූතන විචාරකයෝ පද්‍යටීකථනය බුද්ධිවිකාශයට බාධාවෙකැයි නිගමනය කෙරෙතියි සිතිය හැකි ය.

අපගේ මේ අංගුත්තරව්‍යාඛ්‍යානය පළමු කියනලද අර්‍ථයන් නැවත නැවතත් දැක්වීමෙන් තොර බැවින් ග්‍රන්ථලාඝවයත්, පළමු අර්‍ථ නො දැක් වූ හැම පදයකට ම මනොඥ අර්‍ථයන් දක්වනලද බැවින් සම්පූර්‍ණත්‍වයත්, විස්තර කළ යුතු ගැඹුරු ධර්‍මාර්‍ත්‍ථයන් සංලක්‍ෂ්‍යය යොදා විස්තර කළ බැවින් ග්‍රන්ථගෞරවයත් සලසයි.

මෙම කෘත්‍යය සම්පාදනයෙහිදී අපට අංගුත්තරපාලිය ද කතිපය ස්ථානයන්හි ශුද්ධ කරන්නට ලැබීම ප්‍රීතියකි. සියම්, ඉංග්‍රීසි මුද්‍රිත පොත් හා පුස්කොළ පොතක් ද මුද්‍රිත පෙළපොත හා සසඳා බලා අටුවාව ද උපකාර කොට ගෙන වැදගත් ශුද්ධි කිහිපයක් කර තිබෙන බව මුද්‍රිත පොත හා අපගේ පොත සසඳා බැලීමේදී දැක්ක හැකි වේ.

මීට ප්‍රථම මුද්‍රිත අංගුත්තරව්‍යාඛ්‍යාවන්හි සූත්‍රසංඛ්‍යා දක්වා තිබෙන අයුරු නුසුදුසු ය. ඇතැම් තැනක සූත්‍ර 10 ක් ම එක ම සූත්‍රය හැටියට ද ඇතැම් තන්හි කණ්භසූත්‍රක වශයෙන් දෙකට බෙදූ දෙසූ එක ම සූත්‍රය සූත්‍ර දෙකක් වශයෙන් ද එහි දක්වා තිබේ. අප විසින් අටුවාව හා දේශනාන්තර මුද්‍රිත ග්‍රන්ථයන් ද බලා සුදුසු ක්‍රමයෙන් සූත්‍රසංඛ්‍යා ක්‍රමය යොදා ඇත. වර්ග ක්‍රමය ද එසේ ම සකස් කොට යෙදීමු. අභිනව සිංහල සන්න ලියන භවතුන් අතර ස්වභාෂාරීතිය ගරු කරන්නෝ විරලයහ. එහෙයින් බොහෝ සන්න පොත්හි භාෂාප්‍රයොග දූෂ්‍ය ව පවත්නේ ය. අපි ලිහිල් අර්‍ථය දෙන ගමන් ම භාෂාප්‍රයොගයන් ද නිවරද ව යෙදීමට වෑයම් කෙළෙමු. මේ ග්‍රන්ථය පරිශීලනය කරන්නවුන්හට ඒ පිළිබඳ යථාතථ්‍යය වැටහී යනවා ඇත.

මේ ග්‍රන්ථය අපගේ ධර්‍මාචාර්‍ය්‍යස්ථානම වූ පණ්ඩිත සාරොභෞම පැලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති ත්‍රිපිටකවාගීශ්වරාචාර්‍ය්‍ය උපාධ්‍යාය ධුරන්ධර රත්මලානේ ධර්මකීර්ති ශ්‍රී ධර්මාරාමාභිධාන කොළඹ හලාවත දෙදිශාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් අවසාන ශොධනපත්‍රාවලොකනයෙන් සමාදරයෙන් පිළිගත් බව ගෞරව සහිත වැ මෙහි සඳහන් කරම්හ.

එසේ ම මේ සද්ධ්‍යාපාරය පිළිබඳ සදුපදේශ දානයෙන් අපට අනුග්‍රහ කළා වූ විද්‍යාලංකාර පිරුවැන්හි උපප්‍රධානාචාර්‍ය්‍ය පණ්ඩිත කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාරාභිධාන නායක ස්ථවිරපාදයන් වහන්සේට හා අපගේ ආචාර්‍ය්‍යස්ථානම තත්කාලීන තේ ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිවාසී සද්ධර්මකීර්ති ශ්‍රී සුමංගල රත්නජ්‍යොත්‍යභිධාන නායක ස්ථවිරපාදයන් වහන්සේට ද, මෙහි ශොධනපත්‍ර බලා දීමෙන් හා පොත සකස් කිරීමේ සියලු ක්‍රියාවන්හි විශේෂයෙන් උපස්තම්භක වැ ක්‍රියා කළා වූ අපගේ කල්‍යාණමිත්‍ර විද්‍යාලංකාර පිරුවැන්හි උපාචාර්‍ය්‍ය හැඩිපන්නල ප්‍රඥාලොක ස්ථවිරයන් වහන්සේට ද අපගේ අවංකාදරගෞරවය හිමි වේ.

මෙහි පදර්‍ථ දැක්වීමෙහි හෝ මුද්‍රණයෙහි කිසියම් දොසක් නො වන පරිදි අපි ඉතා සැලකිල්ලෙන් ක්‍රියා කෙළෙමු. එසේ ද වුවත් මේ ග්‍රන්ථයෙහි අපගේ අනවධානයෙන් හෝ මුද්‍රණදොෂයෙකින් හෝ යම් දොෂස්ථානයක් ඇත හොත් ධර්‍මශාස්ත්‍රාභිවෘද්ධිකාමී සත්පුරුෂයන් විසින් කරුණාපෙරටුව එය අප වෙත දැන්වුව මැනවි. ද්විතීයමුද්‍රණයේදී එබඳු තැන් සකස් කරන්නට එය මහොපකාරයෙකි.

මේබවට ශාසනස්ථිතිකාමී වම්බටුවැවේ සිරිනිවාස ස්ථවිර.

වම්බටුවැවේ සිරිනිවාස ස්ථවිර.

2480

1937. 10. 28
වීරහේනේ
විද්‍යාරතන පිරුවැන්හිදී ය.

විශේෂ නිවේදනය

තික නිපාතය සම්පූර්ණයෙන් ඇතුළත් වන මෙහි ද්විතීය භාගය නො බෝ කලකින් ම ලබා ගත හැකි වේ.