විශුද්ධි මාර්ගය 2 - AP සොයිසා.pdf
- කතෘ :
- ඒ. පී. ද සොයිසා
- ප්රකාශිත වර්ෂය :
- 2015
- මුද්රිත වර්ෂය :
- 2015
- පිටු ගණන :
- 393
- බාගත කිරීම් ගණන :
- 2,626
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-24
- ගොනුවේ ප්රමාණය :
- 47 MB
වෙනත් සංස්කරණ
- විශුද්ධි මාර්ගය 2 - බුද්ධඝෝෂ හිමි
බුද්ධඝෝෂ හිමි
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භදන්ත බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් සම්පාදිත විශුද්ධි මාර්ගය නම් ප්රකට අටුවා ග්රන්ථයේ ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතා විසින් කරන ලද සරල සිංහල පරිවර්තනයේ දෙවන භාගය (අවසාන කොටස) මෙම කෘතියයි. මුල් වරට 1960 දී ප්රකාශිත මෙම පරිවර්තනය, සාමාන්ය පාඨකයාට පහසුවෙන් තේරුම්ගත හැකි සරල බසින් ලියා පළ කර තිබීම මෙහි විශේෂත්වයකි.
මෙහි සමාධි නිද්දේසයේ ඉතිරි කොටස්, ඉද්ධිවිධ නිද්දෙසය, අභිඥා නිද්දෙසය, ස්කන්ධ-ආයතන-ඉන්ද්රිය-සත්ය නිද්දේස මෙන්ම ප්රඥා භූමි නිද්දෙසය, සප්ත විශුද්ධි විග්රහයන් සහ ප්රඥා භාවනානිශංස නිද්දෙසය දක්වා විශුද්ධිමාර්ගයේ සමස්ත අවසාන පරිච්ඡේද විස්තර කෙරේ. මෙහි අඩංගු ප්රධාන මාතෘකා:
- සමාධි නිද්දෙසය හා ඉද්ධිවිධ නිද්දෙසය
- අභිඥා නිද්දෙසය
- ස්කන්ධ, ආයතන, ඉන්ද්රිය හා සත්ය නිද්දෙසය
- පටිච්ච සමුප්පාදය ඇතුළත් ප්රඥා භූමි නිද්දෙසය
- දිට්ඨි, කංඛාවිතරණ, මග්ගාමග්ග ආදී පඤ්ඤා විශුද්ධි විග්රහයන්
- ප්රඥා භාවනානිශංස නිද්දෙසය
මෙම දෙවන මුද්රණය 2015 වසරේදී කොළඹ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සමාගම මගින් ප්රකාශයට පත් කර ඇති අතර වැල්ලම්පිටියේ චතුර මුද්රණාලයේ මුද්රණය කර ඇත.
ත්රිපිටක සිංහල පරිවර්තනය
බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය මුලින්ම සඳහන් වූයේ මාගධී භාෂාවෙන් හෙවත් පසුකලක ‘පාලි’ නමින් හැඳින්වුණ භාෂාවෙනි. ප්රථම ද්විතීය හා තෘතීය ධර්ම සංගායනාවලින් සංගෘහිත වූයේත් ශ්රී ලංකාවේදී ග්රන්ථාරූඪ වූයේත් මෙම පාලි ත්රිපිටකයමය. පසුකාලවලදී එම ත්රිපිටකයට අට්ඨකථා හා ටීකා ඉතා වැඩි කොටසක් ලියවුණේ එම පාලි භාෂාවෙන්මය, ශ්රී ලංකාවේ දී මය. සිංහල භික්ෂූන් වහන්සේලාගේ ප්රමුඛත්වයෙනි. මේ නිසා මූලික ලෙස බුදුදහම හදාළ හැකිව පැවැතුණේ පාලි භාෂාවෙන්මය. සන්න සහ පිටපොත් වශයෙන් සමහර පාලි පොත්වල කොටස් සිංහල භාෂාවට නගා ලියා තිබුණ නමුත් සම්පූර්ණ පරිවර්තනයක් සිදුවී නොතිබිණ. ජාතකට්ඨ කථාව හා විනය පොත්වල කොටස් බොහෝ දුරට සිංහල භාෂාවට පරිවර්තිතව පැවැතිණ. ශ්රී ලංකාවේ මුද්රණ ශිල්පය පටන්ගැනුනේ මේ තත්ත්වය මතය. වටිනා ඥාණ සම්භාරයක් ඇතුළත්වන සිංහල ජාතිය සන්තකයැයි කිව හැකි බෞද්ධ සාහිත්යය සිංහල පාඨකයන්ට කියවා තේරුම් ගත හැකි තත්ත්වයේ වැඩ පිළිවෙළක අවශ්යතාව බෙහෙවින් දැනෙන්නට විය.
මේ අවස්ථාවේ නොයෙක් විෂයයන් කෙරෙහි මනස යොමු කළ පඬිවරයෙක් මෙදෙසට යොමු විය. එනම් ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතාය. නීතිය, දර්ශනය, විවිධ භාෂා ආදිය ප්රගුණ කොට දේශපාලනයට පිවිසි ඒ මහතා දකුණු කොළඹ ආසනයෙන් රාජ්ය මන්ත්රණ සභාවට තේරුණේය. එක්වරකින්ම එම මග අත්හල එතුමා යොමුවූයේ ධර්ම ශාස්ත්රීය කටයුතු වෙතටය. එහි ඵලයක් වූයේ පාලි බෞද්ධ සාහිත්යය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමය.
සිංහලයන් සතුව පැවැතුණද ඉතා සුළු පිරිසකට තේරුම් ගත හැකිව තුබූ පාලි ත්රිපිටකය හා ඒ සඳහා ලියැවුණ අට්ඨකථා ද ඒවා සඳහා ලියැවුණ ටීකා ග්රන්ථද ගත් කල විශාල පොත් සමූහයකි. එම පොත් සමූහය තනිවම සිංහල භාෂාවට නැගීමට කෙනෙකු සිතීම පවා ආශ්චර්යයකි. එම අසිරිමත් කාර්යයට සිතත් අතත් යොමු කළ වීරයා වූයේ ආචාර්ය ඒ. පී. ද සොයිසා ශ්රීමතාය. එවකට ශ්රී ලංකාවේ ටික දෙනෙකුට ලැබිය හැකිව තුබූ එංගලන්තයට ගොස් පශ්චාත් උපාධියක් ලැබීමට වරම් ලත් එතුමා ශ්රී ලංකාවට පැමිණ පිය තැබූ නීති වෘත්තිය මෙන්ම දෙවන වරට යොමු වූ දේශපාලනය ද සිත් නොගත් නිසාදෝ ඒවා වෙනුවට ග්රන්ථ රචනයට බැස්සේ තමාගේම තෝරාගැනීමක් ලෙසය.
විසිවන සියවසේ මැද භාගය වනවිට එංගලන්තයේ පාලි පොත් සමාගම පාලි ත්රිපිටකයෙන් බොහෝ කොටසක් ඉංග්රීසි භාෂාවට පෙරළා මුද්රණය කර තිබිණ. ඉංග්රීසි භාෂාව පිළිබඳ ප්රවීණ බවක් ලබා සිටි ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතා බෞද්ධ සාහිත්ය ග්රන්ථ සිංහලට නැගීමේදී ඉංග්රීසි පරිවර්තන උපයෝගී කරගන්ට ඇත. ඒ සමග එවකට ශ්රී ලංකාවේ සිටි ධර්මවිනයධර මහතෙරවරුන්ගේ උපදෙස් ද ලබා ගත් බව එතුමාම පවසා ඇත. මුද්රණ පහසුකම් අඩුවෙන් පැවැති එම කාලයේ නිරවුල්ව ස්වකීය ග්රන්ථ ප්රකාශනය කිරීමට සිතූ එතුමා ධර්මසමය නමින් මුද්රණාලයක් ද පටන්ගත්තේය. පාලි ත්රිපිටක ග්රන්ථවල සිංහල පරිවර්තනයේ සමහර තැන් වියතුන්ගේ විවේචනයටද භාජනද විය.
පාලි භාෂාවෙන් සඳහන් වී ඇති කරුණු පැහැදිලි කිරීමේදී අට්ඨකතාවල පවා මතභේද සහිත තැන් දක්නට ඇත. මේ සෑම ආගමකම දක්නා දෙයකි. බුදුසසුනද වෙන වෙන නිකායවලට බෙදුනේ බුද්ධ දේශනාවන් විවිධව තේරුම් කිරීම නිසාය. විශේෂයෙන් සූත්ර පිටකයේ ඇතුළත් වෙන ගැඹුරු අදහස් වෙනත් භාෂාවකින් පැවැසීම සුළුපටු කාර්යයක් නොවේ. ඒ ගැන සලකන විට ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතාට ලොකු සම්මානයක් හිමිය. අඩසියවසකින් පැරණි වූ එම ග්රන්ථ මේ වන විට වෙළඳපොලේ දක්නට නැති බව සලකා ආචාර්ය ඒ. පී. ද සොයිසා සූරීන් පළ කළ සිංහල ත්රිපිටකය නැවත මුද්රණය කිරීමෙන් එම අඩුව පිරවීමට සිරිසුමන ගොඩගේ සිරිමතාණන් ගත් පියවර ප්රශංසනීයය. ඇතැම් පොත් සොයා ගැනීමත් දුෂ්කරය. අපහසුකම් නොසලකා ගත් මෙම පියවර නොපමාව නිම කිරීමට එතුමාට හැකිවේවායි මම ප්රාර්ථනා කරමි.
බෙල්ලන ඤාණවිමල මහානායක ස්ථවිර
පෙරවදන
බෞද්ධ ග්රන්ථ අතර මුදුන්මල්කඩ ත්රිපිටකයයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මුළුමනින්ම ග්රන්ථාරූඪ කර ඇති ත්රිපිටකය පළ වී ඇත්තේ පාලි භාෂාවෙනි. එනිසාම වැඩිදෙනෙකුට ත්රිපිටකය කියවා අවබෝධ කර ගැනීම බලවත් ගැටලුවක් විය. 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් සංස්කරණය කරන ලද ත්රිපිටකය බොහෝවිට උගතුන්ට පමණක් සීමා විය. පසුකාලයේ බොහෝ වියතුන් ත්රිපිටකය සිංහලට නැගුවද එම පරිවර්තන ද එතරම් ලිහිල් බසින් පළ නොවිණි.
මෙරට විසූ ප්රකට බුද්ධිමතකු මෙන්ම සිංහල, පාලි හා ඉංග්රීසි භාෂාත්රයෙහි මනා ප්රවීණත්වයක් ලද විද්වතකු ද වූ ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා එවක මෙරට විසූ ධර්ම විනය උගත් පණ්ඩිත මහස්ථවිරයන් වහන්සේලාගේ ආධාර ඇතිව ත්රිපිටකය සරල බසින් සිංහලට නැගුවේ එබැවිනි. ත්රිපිටකයේ දැනට පළ වී ඇති සිංහල පරිවර්තන අතුරෙන් කියවා පහසුවෙන් අවබෝධ කරගත හැකි, කාටත් වැටහෙන බසින් ලියැවුණ පොත් පෙළ ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා සංස්කරණය කළ මෙම පොත් පෙළ බව අපගේ වැටහීමයි. ත්රිපිටකය මෙතරම් සරල සිංහලෙන් ලියැවුණ වෙනත් ග්රන්ථ මාලාවක් බිහිවී නැත. එබැවින් බොහෝ දෙනා අපෙන් කළ ඉල්ලීම් ද සලකා බලා ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා සංස්කරණය කළ ත්රිපිටක ග්රන්ථ මාලාව නැවත මුද්රණය කර ප්රකාශයට පත් කිරීමට අප අදහස් කළේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරල සිංහලෙන් කියවා අවබෝධ කරගනු රිසි පාඨකයන් වෙනුවෙනි.
මෙම බැරෑරුම් කටයුත්තේදී අප මුහුණ දුන් බලවත් ගැටලුව වූයේ පනහ දශකයේ මුල් භාගයේ කාණ්ඩ 48 කින් පළවූ එම සම්පූර්ණ ග්රන්ථ මාලාව සොයා ගන්නේ කෙසේද යන්නයි. ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා එම පොත් පෙළ සංස්කරණය කරන සමයෙහි එම කාර්යය සඳහා ඒ මහතාට මග පෙන්වූ මහතෙරුන් වහන්සේලා අතුරෙන් අද ජීවතුන් අතර වැඩසිටින එකම භික්ෂූන් වහන්සේ වන කොල්ලුපිටියේ වාලුකාරාමාධිපති අතිපූජ්ය බෙල්ලන ඤාණවිමල මහානායක ස්වාමිපාදයාණන් වහන්සේගේ මග පෙන්වීම මෙහිදී අපට විශාල ශක්තියක් විය.
ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා සංස්කරණය කළ ත්රිපිටකය සරල සිංහල පොත් පෙළ අප වෙත ලබාදීමට කටයුතු කළ විද්යෝදය පරිවේණාධිපති බලන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේටත්, දොඩන්දූව පූජ්ය පණ්ඩිත ගන්තලාවේ ගුණානන්ද නායක ස්ථවිරයන් වහන්සේටත්, පූජ්ය විද්යානිධි අම්බලන්ගොඩ සුමේධානන්ද ස්ථවිරයන් වහන්සේටත්, අරිසෙන් අහුබුදු මහත්මියටත්, ශ්රීනාත් ගනේවත්ත මහතාටත්, ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතාට සහ එස්. අයි. ගමගේ මහතාටත් අපගේ කෘතඥපූර්වක ස්තූතිය හිමිවේ.
මෙම ග්රන්ථ මාලාව යළි මුද්රණය කිරීමට අනුමැතිය පළ කළ ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතාගේ දියණිය වන ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මියටත්, පරිගණක අක්ෂර සංයෝජනය කළ නෙල්කා අබේවික්රම මහත්මියටත්, මුද්රණ සම්බන්ධීකරණයෙන් දායක වුණු පාලිත සේනානායක මහතාටත්, සෝදුපත් කියැවූ මිල්ටන් මද්දුමගේ මහතාටත් අපගේ ස්තූතිය හිමිවිය යුතුය.
සිරිසුමන ගොඩගේ
2015 ජනවාරි
සංඥාපනය
ත්රිපිටක පොත් පෙළේ හතලිස් වෙනිවූ මේ පොතින් විශුද්ධි මාර්ගය අවසාන කළෙමු. මීට පසු දීඝ නිකායෙන් පටන් ගෙන අටුවා පොත් ප්රසිද්ධ කිරීමට බලාපොරොත්තු වෙමු. ත්රිපිටක ධර්මය තේරුම් ගැනීමට අටුවා පොත් අවශ්ය වෙත්.
මේ පොත් ලියා ප්රසිද්ධ කිරීමට නොයෙක් පළාත්වල සංඝයා වහන්සේලා බොහෝ ආධාර දුන්නෝය.
මේ පොත් ලිවීමට නොයෙක් උපදෙස් සහිත ලියුම් එවා තිබෙන උගත් භික්ෂූන් වහන්සේලාටත් බෞද්ධ උපාසක පින්වතුන්ටත් අපේ ගෞරව ස්තුතිය පිරිනමමු.
බුද්ධ ධර්මය ඉගෙන ගැනීමට උත්සාහ දරන උපාසකයින්ටත් උපාසිකාවන්ටත් මේ පොත්වලින් ආධාර ලැබේත්වා.
මීට,
ඒ. පී. ද සොයිසා
27 - 6 - 60