විශුද්ධි මාර්ගය 1 RASSL.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- පිටු ගණන :
- 440
- බාගත කිරීම් ගණන :
- 2,690
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-12-10
- ගොනුවේ ප්‍රමාණය :
- 85 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භදන්ත බුද්ධාචාර්ය බුද්ධඝෝෂ මාහිමියන් විසින් රචිත විශිෂ්ට ථෙරවාද ධර්ම විශ්වකෝෂයක් බඳු විසුද්ධිමාර්ගය ග්‍රන්ථයේ ප්‍රථම භාගයේ සිංහල පරිවර්තනය මෙහි අන්තර්ගත වේ. මෙම පරිවර්තනය සිදුකරන ලද්දේ ආචාර්ය හේමචන්ද්‍ර දිසානායකයන් විසිනි. ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ (Royal Asiatic Society of Sri Lanka - RASSL) පාලි අට්ඨකථා සිංහලට නැඟීමේ ව්‍යාපෘතිය යටතේ ‘පාලි අට්ඨකථා සිංහල පරිවර්තන - 4’ ලෙස මෙය සම්පාදනය කර ඇත.
සමස්ත බුද්ධ ධර්මය සීල, සමාධි, ප්‍රඥා යන ත්රිශික්ෂාව ඔස්සේ විග්රහ කරන මෙම අගනා ග්‍රන්ථයේ මුල් පරිච්ඡේද එකොළහ (සීල නිර්දේශය සහ සමාධි නිර්දේශය) මෙම පළමුවන කොටසට අයත් වේ. බුද්ධශාසන අරමුදලේ භාරකාර මණ්ඩලයේ අවසරය පිට මෙම දෙවැනි මුද්‍රණය පළ කර තිබේ.
පෙරවදන (පළමු මුද්‍රණය)
ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය මගින් ආරම්භකොට ඇති පාලි අට්ඨකථා සිංහලට නැඟීමේ ව්‍යාපෘතියෙහි තවත් පියවරක් ලෙස විසුද්ධිමාර්ගයෙහි සිංහල අනුවාදය ප්‍රකාශයට පත්කරන්නට ලැබීම සතුටට කරුණකි. විසුද්ධිමාර්ගය ත්‍රිපිටක ධර්මය ථෙරවාද සම්ප්‍රදායට අනුව විවරණය කරන විශ්වසනීය කෘතියක් ලෙස බෞද්ධ ලෝකයාගේ ඉමහත් ගෞරවයට පාත්රවූ ග්රන්ථයකි. අනුබුදු මහමිහිඳු හිමියන් විසින් සිංහල භාෂාවෙන් තබනලද හෙල අටුවාවලට අනුගතව අටුවාචාර්ය බුද්ධඝෝෂපාදයන් විසින් මුළු ත්රිපිටකධර්මය අලළා රචනාකොට ඇති මෙය සුවිශේෂ කෘතියක් ලෙස සලකනු ලැබේ. සෙසු අට්ඨකථා ත්‍රිපිටකයෙහි එක් එක් කොටසක් වෙනවෙනම ගෙන කරනලද කෘතීන් නමුත් විසුද්ධිමාර්ගය පිටකතුනටම පොදුවූ අට්ඨකථාවකි. බුද්ධධර්මයෙහි මූලික ඉගැන්වීම් සියල්ලක්ම අඩුවක් නැතිව මෙහි විස්තර කොට ඇත. එහෙයින්ම මෙය ත්රිපිටකධර්මය පිළිබඳ විශ්වකෝෂයකැයි කිවහැකිය.
මෙතරම් වැදගත් ග්රන්ථයක්වූ විසුද්ධිමාර්ගය පරිශීලනය කිරීමට පාලිභාෂාප්රවීණත්වයක් නැති සිංහල පාඨකයාට තිබුණ පහසුකම් මෙතෙක් සීමාසහිත විය. මෙම ග්‍රන්ථය සම්පූර්ණයෙන් ඉංග්‍රීසි ආදී බටහිර භාෂාවලට පරිවර්තනය කොට ඇතත්, සියවස් අටකට පමණ පෙර දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා විසින් කරනලදැයි සලකනුලබන විසුද්ධිමාර්ග මහා සන්නය හැර, සම්පූර්ණ ග්‍රන්ථයේ සිංහල අනුවාදයක් මෙතෙක් නොවීය. විසුද්ධිමාර්ග මහාසන්නයෙහි බස නූතන පාඨකයාට සුගම නොවේ. එහෙයින් විසිවන සියවස මුලදී ලක්මිණිපහන් කර්තෘ එම්. ධර්මරත්න පඬිතුමා විසින් එය සංස්කරණය කොට භාවාර්ථ සන්නයක්ද සහිතව පසළොස් වන පරිච්ඡේදය දක්වා කොටස් වශයෙන් පළකරවන ලදි. මෙයද භාෂාවේ ඇති ශාස්ත්රීයත්වයද, ඉතා විස්තර සහිත වර්ණනාක්රමයද හේතුකොටගෙන සාමාන්‍ය පාඨකයාට එතරම් ප්‍රයෝජනවත් නොවීයහැකිය. මාතර ශ්‍රී ධර්මවංශ පණ්ඩිතමිපාණන් විසින් කරනලද අනුවාදයක් ඇතත් එයද සංක්ෂිප්ත ප්රකාශනයකි. කරුණු මෙසේ හෙයින් විසුද්ධිමාර්ගයෙහි සම්පූර්ණ පරිවර්තනයක් නැතිවීමේ අඩුපාඩුව මදවශයෙන් හෝ මෙයින් පිරිමැසේතැයි විශ්වාස කරමු.
විසුද්ධිමග්ග නම් පාලිග්‍රන්ථය මුද්‍රිත පිටු පන්සිය හතළිස් සතරකින් යුත් විශාල ග්රන්ථයකි. මෙම සිංහල අනුවාදයෙහි පිටුගණන හත්සියයක් පමණ වනුඇත. පරිච්ඡේද විසිතුනකින් යුත් මෙහි (මුල් පරිච්ඡේද එකොළොසවූ) ප්‍රථම භාගය මෙයින් ප්‍රකාශයට පත්කරමු. ඉතිරි (පරිච්ඡේද දොළොස) ද්විතීය භාගය වශයෙන් සූචියද සහිතව, නුදුරු අනාගතයේදීම ප්‍රකාශයට පත්කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතිනබවද සඳහන් කරමු.
ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලි අට්ඨකථා පරිවර්තන කටයුතු පිළිබඳ කොමිටිය
ප්රස්ථාවනාව (පළමු මුද්‍රණය)
පාලි අට්ඨකථාවන් අතුරෙන් විසුද්ධිමග්ගය සුවිශේෂ කෘතියකි. සෙසු පාලි අට්ඨකථාවන් මෙන් ත්රිපිටකධර්මයෙහි එක් එක් කොටසක් වෙනවෙනම ගෙන කරනලද්දක් නොව එය මුළුමහත් සූත්රපිටකයම අලළා කරනලද පරිපූර්ණවූද විස්තීර්ණවූද නිබන්ධයකි. පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මික සංවර්ධනය පිණිස අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගය ලෙස බුදුදහමෙහි ඉගැන්වෙන සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිවිධ ශික්ෂාව විස්තර කරමින් පරිච්ඡේද විසිතුනකින් කරනලද විසුද්ධිමග්ග සැබැවින්ම විස්මය දනවන කෘතියකි. කරුණු සනාථකරනු පිණිස ඒ ඒ තැන උපුටා දක්වනලද උද්ධෘතපාඨ සංඛ්‍යාව ගැන සලකනකල එය ත්රිපිටකධර්මය පිළිබඳ විශ්වකෝෂයකැයි කිවහැකිය. විසුද්ධිමග්ග පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට එහි පසුතලය, එනම්, බුදුසමයේ ව්‍යාප්තිය හා විකාශය පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් අවශ්‍යවෙතැයි හඟිමු. එහෙයින් ඒ පිළිබඳ කෙටි සමාලෝචනයක් කිරීම යෝග්‍ය වේ.
ආචාර්ය හේමචන්ද්‍ර දිසානායක