විනය පිටකය අටුවාව 3 RASSL.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2005
- මුද්රිත වර්ෂය :
- 2005
- පිටු ගණන :
- 413
- බාගත කිරීම් ගණන :
- 2,873
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-06-16
- ගොනුවේ ප්රමාණය :
- 103 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භදන්ත බුද්ධඝෝෂ මහාස්ථවිරයන් වහන්සේ විසින් විරචිත විනය පිටක අටුවාව වන සමන්තපාසාදිකා නම් විනයට්ඨකථාවේ තෙවන හා අවසන් කොටසේ සිංහල පරිවර්තනය මෙහි අන්තර්ගත වේ. මෙම කාණ්ඩයට මහාවග්ගපාලි, චුල්ලවග්ගපාලි සහ පරිවාරපාලි යන විනය ග්රන්ථයන්හි අටුවා වණ්ණනාවන් ඇතුළත් වේ.
මෙම පරිවර්තනය අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත අම්බලම්ගොඩ ධම්මකුසල මහානායක ස්ථවිරයන් වහන්සේ විසින් සිදු කරන ලද අතර, අමුද්රිත කොටස් සංස්කරණය කොට ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතිය වෙත ප්රකාශන අයිතිය පවරා දෙන ලද්දේ උන්වහන්සේගේ ශිෂ්ය රාජකීය පණ්ඩිත අම්බලම්ගොඩ සුමංගල මහානායක ස්ථවිරයන් වහන්සේ විසිනි.
බුද්ධශාසන අරමුදලේ මූල්ය ආධාරයෙන් රාජකීය ආසියාතික සමිතියේ අටුවා පරිවර්තන ව්යාපෘතිය යටතේ 2005 වසරේදී මෙම කෘතිය මුද්රණය කරවා ඇත.
පෙරවදන (පළමු මුද්රණය)
ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීමේ ව්යාපෘතියෙහි අටවැනි කෘතිය වශයෙන් සමන්තපාසාදිකා නම් වූ විනයට්ඨකථාවෙහි අවසාන භාගයේ සිංහල පරිවර්තනය මුද්රණය නිමවා පාඨකයන් අතට පැමිණවීමට හැකිවීම “අට්ඨකථා පරිවර්තන කමිටුවේ” අමන්දානන්දයට හේතුවෙයි. භදන්ත බුද්ධඝෝෂ ආචාර්යපාදයන් විසින් රචිත සමන්තපාසාදිකා විනයට්ඨකථාව විනය පිටකයට ඇතුළත් පාරාජිකාපාලි පාචිත්තියපාලි මහාවග්ගපාලි චුල්ලවග්ගපාලි හා පරිවාරපාලි යන ග්රන්ථපඤ්චකයටම අදාළ පරිපූර්ණ අට්ඨකථාව වන බැවින් එය තනි කෘතියක් වශයෙන් ගත් විට බෙහෙවින්ම විශාල වූවකි. එබැවින් එහි සිංහල පරිවර්තනය කාණ්ඩ තුනක් වශයෙන් මුද්රණය කිරීමට සිදුවිය. මෙම අවසාන කාණ්ඩයට ඇතුළත් වන්නේ මහාවග්ග චුල්ලවග්ග හා පරිවාරපාලි යන ග්රන්ථයන්ට අදාළ වන අර්ථකථාවයි. ඒ අනුව විනය පිටකයට අදාළ සම්පූර්ණ අටුවාව පිළිබඳ සිංහල පරිවර්තනය මෙම කාණ්ඩයෙන් පරිසමාප්තියට පත් වෙයි.
සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ මෙම සම්පූර්ණ සිංහල පරිවර්තනය අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත අම්බලම්ගොඩ ධම්මකුසල මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් කරන ලද්දක් බව උන්වහන්සේ වෙත පුණ්යානුමෝදනා පූර්වකව මෙහිදී සඳහන් කරමු. එම සිංහල පරිවර්තනය ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ අට්ඨකථා පරිවර්තන ව්යාපෘතිය යටතේ මුද්රණය කිරීම සඳහා සම්පූර්ණ අයිතිය සහ අවසරය පවරා දෙන ලද්දේ උන්වහන්සේගේ ශිෂ්ය, රාජකීය පණ්ඩිත අම්බලම්ගොඩ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ විසිනි. සිංහලට පරිවර්තනය කොට අමුද්රිතව පැවැති කොටස් සංස්කරණය කරදීමෙන් අනුග්රහය දක්වන ලද්දේ ද උන්වහන්සේ විසින්මය. එබැවින් උන්වහන්සේටද අපගේ ගෞරවාදර ප්රණාමය හිමි වෙයි.
මෙම කෘතියේ මුද්රණයත් සමඟ අට්ඨකථා පරිවර්තන ව්යාපෘතිය යටතේ මුද්රණය වූ අට්ඨකථා ග්රන්ථ කාණ්ඩ සංඛ්යාව අටකි. අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීමේ සත්කාර්යය පිළිබඳ දැඩි උනන්දුවකින් ක්රියාකරමින් අට්ඨකථා පරිවර්තන කමිටුවේ සභාපතිත්වය දැරූ මහාචාර්ය එම්. බී. ආරියපාල මහතාගේ ධුරකාලය තුළ මෙම සියලු අට්ඨකථා පිළිබඳ අධීක්ෂණ කටයුතු සිදුවිය. සිංහල පරිවර්තනවල භාෂාමය ඒකරූපතාව රැකගැන්ම සඳහා සංස්කරණ කටයුතු සියල්ල අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් එතුමාණන්ට අට්ඨකථා පරිවර්තන කමිටුවේ ස්තූතිය හා ගෞරවය පිරිනැමෙයි.
මෙම ව්යාපෘතිය සඳහා අරමුදල් සැපයීමෙන් අනුග්රහය දක්වන බුද්ධශාසන අමාත්යාංශය එහි කාර්ය මණ්ඩලය හා බුද්ධශාසන අරමුදලේ කාර්ය මණ්ඩලය මෙහිදී අප සිහි කරන්නේ කෘතවේදීත්වයෙනි.
මෙහි මුද්රණ කටයුතු ඉතා මැනවින් කමනීය ලෙස නිමකරදුන් දෙහිවල ශ්රීදේවී ප්රින්ටර්ස්හි අධිපති මහේන්ද්ර සේනානායක මැතිතුමාට හා එහි කාර්ය මණ්ඩලයට ද අපගේ කෘතඥතාව හිමි වෙයි.
මහාචාර්ය කපිල අභයවංස
ලේකම්
අටුවා පරිවර්තන කටයුතු පිළිබඳ කමිටුව
ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතිය
96, ආනන්ද කුමාරස්වාමි මාවත,
කොළඹ 07
දුරකථනය : 2699249