විනය පිටකය අටුවාව 2 RASSL.pdf

කතෘ :
බුද්ධඝෝෂ හිමි
ප්‍රකාශිත වර්ෂය :
2004
මුද්‍රිත වර්ෂය :
2004
පිටු ගණන :
422
බාගත කිරීම් ගණන :
2,981
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-06-16
ගොනුවේ ප්‍රමාණය :
93 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 212

අට්ඨකථාවාචාර්‍ය්‍ය බුද්ධඝෝෂ මහා ස්ථවිරයන් වහන්සේ විසින් රචිත විනය පිටකයේ අටුවාව වන සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ සිංහල පරිවර්තනයේ දෙවන භාගයයි. මෙය ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ (RASSL) පාලි අට්ඨකථා සිංහල පරිවර්තන මාලාවේ 7 වන ග්‍රන්ථය ලෙස පළ කර ඇත.

මෙම පරිවර්තනය සිදු කරන ලද්දේ අම්බලන්ගොඩ ශාස්ත්‍රෝදය පරිවේණාධිපතිව වැඩ විසූ අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත අම්බලම්ගොඩ ධම්මකුසල මහානායක ස්ථවිරයන් වහන්සේ විසිනි. උන්වහන්සේ විසින් ලියා අමුද්‍රිතව තිබූ අත්පිටපත්, ශිෂ්‍යවර අම්බලම්ගොඩ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේගේ අනුග්‍රහයෙන් සහ බුද්ධ ශාසන අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදනයෙන් මෙසේ මුද්‍රණය කොට ඇත.

මෙහි අඩංගු ප්‍රධාන විනය අටුවා කොටස්:

  • තෙරස සංඝාදිසෙස වණ්ණනාව
  • අනියත වණ්ණනාව
  • නිස්සග්ගිය පාචිත්තිය වණ්ණනාව
  • පාචිත්තිය වණ්ණනාව
  • පාටිදෙසනීය වණ්ණනාව
  • සෙඛිය වණ්ණනාව
  • භික්ඛුණී විභංගවණ්ණනාව (පාරාජිකා, සංඝාදිසෙස, නිස්සග්ගිය, පාචිත්තිය හා පාටිදෙසනීය)

පෙරවදන (පළමු මුද්‍රණය)

ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලි අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීමේ කටයුතු පිළිබඳ කමිටුව මගින් ක්‍රියාත්මක කරනු ලබන පාලි අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියෙහි සත්වැනි කෘතිය ලෙසින් සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ ද්විතීය භාගය මුද්‍රණකටයුතු නිමවා පාඨකයන් හමුවට මෙසේ ඉදිරිපත් කිරීමට ලැබීම කමිටුවේ බලවත් සතුටට හේතුවෙයි.

සමන්තපාසාදිකා විනයට්ඨකථා ප්‍රථමභාගයේ මෙන්ම මෙම ද්විතීයභාගයේද පරිවර්තන කෘත්‍යය සිදුවී ඇත්තේ ලක්දිව මෑතභාගයෙහි පාලිභාෂාව පිළිබඳ ප්‍රවීණ විද්වතකු වූ අම්බලන්ගොඩ ශාස්ත්‍රෝදයපරිවේණාධිපතිව වැඩ විසූ ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය විනයකීර්ති ශ්‍රී මහෝපාධ්‍යාය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය අම්බලම්ගොඩ ධම්මකුසල මහානායක මාහිමිපාණන් වහන්සේ අතිනි. සමන්තපාසාදිකා විනයට්ඨකථාවේ සිංහල පරිවර්තනයේ පාරාජිකා කාණ්ඩය හැර ඉතිරි කොටස උන්වහන්සේගේ අත් අකුරින් ලියා අමුද්‍රිතව පැවතිණ.

මුද්‍රිතව පැවති පාරාජික කාණ්ඩයද ඇතුළත්ව සම්පූර්ණ කෘතිය මෙසේ කොටස් වශයෙන් පළකිරීමට ශ්‍රී ලංකා රාජකීය සමිතියේ අට්ඨකථා පරිවර්තන කමිටුවට අනුග්‍රහය දක්වන ලද්දේ උන්වහන්සේගේ ශිෂ්‍යවර ශ්‍රී දෙවානන්ද ධම්මකුසල වංශාලංකාර ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය චන්ද්‍රකීර්ති ශ්‍රී පණ්ඩිත ශාස්ත්‍රවේදී අතිපූජ්‍ය අම්බලම්ගොඩ සුමංගලාභිධාන අමරපුර නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ විසිනි. අතිපූජ්‍ය අම්බලම්ගොඩ ධම්මකුසල මහනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාරයක් වියහැකි පරිද්දෙන් සමන්තපාසාදිකා විනයට්ඨකථාව මුද්‍රණය කිරීමෙහිලා අනුග්‍රහය දැක්වූ අතිපූජ්‍ය අම්බලම්ගොඩ සුමංගල මහානායක මාහිමිපාණන්වහන්සේට පරිවර්තන කමිටුවේ කෘතඥතාව පළවෙයි. මේ හැර මෙම කෘතිය මුද්‍රණයේදී ශෝධ්‍යපත්‍ර කියවීමෙන් උන්වහන්සේ දැක්වූ අනුග්‍රහයද කෘතඥතා පූර්වකව සිහිපත් කරමු.

ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලි අට්ඨකථා සිංහලට පරිවර්තනය කිරීම පිළිබඳ කමිටුව මගින් මෙම පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ බුද්ධශාසන අරමුදලෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදනයේ අනුග්‍රහයෙනි. බුද්ධශාසන අමාත්‍යාංශය මගින් ඒ පිළිබඳව කෙරෙන සම්බන්ධීකරණයද මෙම අට්ඨකථා පරිවර්තන ග්‍රන්ථ සම්පාදනයට මාහැඟි පිටුබලයක් වෙයි. පාලිභාෂා ප්‍රවීණත්වය කෙරෙහි විශේෂ අවධානයක් නොදැක්වෙන මෙබඳු අවධියක පාළි අට්ඨකථා සිංහලට පරිවර්තනය කොට අට්ඨකථා පරිශීලනය කිරීමේ වරප්‍රසාදය සිංහලපාඨකයන් අතට පත් කිරීම යුග මෙහෙවරක් ලෙස අපි දකිමු. එම යුග මෙහෙවර ඉටු කිරීමට අවශ්‍ය ක්‍රියාත්මක ශක්තිය අප වෙත පැවරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමිය ඇතුළු බුද්ධ ශාසන අරමුදලේ භාරකාර මණ්ඩලය, බුද්ධශාසන අමාත්‍යාංශය හා එහි කාර්ය මණ්ඩලයද පැසසුමට බඳුන්වනු නොඅනුමානය.

මෙම ග්‍රන්ථයෙහි මුද්‍රණ කටයුතු ඉතා මැනවින් කමනීය ලෙස නිමකරදුන් දෙහිවල ශ්‍රීදේවී ප්‍රින්ටර්ස්හි අධිපති මහේන්ද්‍ර සේනානායක මැතිතුමාටද අපගේ කෘතඥතාව හිමිවෙයි.

ශ්‍රීලංකා රාජකීය ආසියාතික සමිතියේ
පාලි අට්ඨකථා පරිවර්තන කටයුතු පිළිබඳ කමිටුව
ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය
96, ආනන්ද කුමාරස්වාමි මාවත
කොළඹ 07

දුරකථනය : 2699249