මජ්ඣිම නිකාය අටුවාව 2 - AP සොයිසා.pdf
- කතෘ :
- ඒ. පී. ද සොයිසා
- ප්රකාශිත වර්ෂය :
- 2015
- මුද්රිත වර්ෂය :
- 2015
- පිටු ගණන :
- 497
- බාගත කිරීම් ගණන :
- 3,249
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-05-24
- ගොනුවේ ප්රමාණය :
- 75 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
මජ්ඣිම නිකායට අයත් අටුවා ග්රන්ථය වන ‘පපඤ්චසූදනී’ අටුවාවේ සූත්ර අටුවා අන්තර්ගත කොට ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද ‘මජ්ඣිම නිකාය අටුවාව’ කෘති පෙළෙහි දෙවන භාගය මෙයයි. මෙහි මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයට සහ මූල පණ්ණාසකයේ පසු කොටසට අයත් චූල සීහනාද සූත්රයේ සිට මාර තජ්ජනීය සූත්රය දක්වා වූ සූත්ර 40 ක අටුවා විවරණ සරල සිංහල බසින් ඉදිරිපත් කර ඇත.
ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතා විසින් මහා සංඝරත්නයේ උපදෙස් හා ආධාර ඇතිව සිදු කරන ලද මෙම සරල සිංහල පරිවර්තනය මුල්වරට 1962 දී ප්රකාශයට පත් කරන ලද අතර, මෙහි දැක්වෙන්නේ 2015 වර්ෂයේදී කොළඹ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සමාගම මඟින් පළ කරන ලද දෙවන මුද්රණයයි.
ත්රිපිටක සිංහල පරිවර්තනය
බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය මුලින්ම සඳහන් වූයේ මාගධී භාෂාවෙන් හෙවත් පසුකලක ‘පාලි’ නමින් හැඳින්වුණ භාෂාවෙනි. ප්රථම ද්විතීය හා තෘතීය ධර්ම සංගායනාවලින් සංගෘහිත වූයේත් ශ්රී ලංකාවේදී ග්රන්ථාරූඪ වූයේත් මෙම පාලි ත්රිපිටකයමය. පසුකාලවලදී එම ත්රිපිටකයට අට්ඨකථා හා ටීකා ඉතා වැඩි කොටසක් ලියවුණේ එම පාලි භාෂාවෙන්මය, ශ්රී ලංකාවේ දී මය. සිංහල භික්ෂූන් වහන්සේලාගේ ප්රමුඛත්වයෙනි. මේ නිසා මූලික ලෙස බුදුදහම හදාළ හැකිව පැවැතුණේ පාලි භාෂාවෙන් මය. සන්න සහ පිටපොත් වශයෙන් සමහර පාලි පොත්වල කොටස් සිංහල භාෂාවට නගා ලියා තිබුණ නමුත් සම්පූර්ණ පරිවර්තනයක් සිදුවී නොතිබිණ. ජාතකට්ඨ කථාව හා විනය පොත්වල කොටස් බොහෝ දුරට සිංහල භාෂාවට පරිවර්තිතව පැවැතිණ. ශ්රී ලංකාවේ මුද්රණ ශිල්පය පටන්ගැනුනේ මේ තත්ත්වය මතය. වටිනා ඤාණ සම්භාරයක් ඇතුළත්වන සිංහල ජාතිය සන්තකයැයි කිව හැකි බෞද්ධ සාහිත්යය සිංහල පාඨකයන්ට කියවා තේරුම් ගත හැකි තත්ත්වයේ වැඩ පිළිවෙළක අවශ්යතාව බෙහෙවින් දැනෙන්නට විය.
මේ අවස්ථාවේ නොයෙක් විෂයයන් කෙරෙහි මනස යොමු කළ පඬිවරයෙක් මෙදෙසට යොමු විය. එනම් ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතාය. නීතිය, දර්ශනය, විවිධ භාෂා ආදිය ප්රගුණ කොට දේශපාලනයට පිවිසි ඒ මහතා දකුණු කොළඹ ආසනයෙන් රාජ්ය මන්ත්රණ සභාවට තේරුණේය. එක්වරකින්ම එම මග අත්හැර එතුමා යොමුවූයේ ධර්ම ශාස්ත්රීය කටයුතු වෙතටය. එහි ඵලයක් වූයේ පාලි බෞද්ධ සාහිත්යය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමය.
සිංහලයන් සතුව පැවැතුණද ඉතා සුළු පිරිසකට තේරුම් ගත හැකිව තුබූ පාලි ත්රිපිටකය හා ඒ සඳහා ලියැවුණ අට්ඨකථා ද ඒවා සඳහා ලියැවුණ ටීකා ග්රන්ථද ගත් කල විශාල පොත් සමූහයකි. එම පොත් සමූහය තනිවම සිංහල භාෂාවට නැගීමට කෙනෙකු සිතීම පවා ආශ්චර්යකි. එම අසිරිමත් කාර්යයට සිතත් අතත් යොමු කළ වීරයා වූයේ ආචාර්ය ඒ. පී. ද සොයිසා ශ්රීමතාය. එවකට ශ්රී ලංකාවේ ටික දෙනෙකුට ලැබිය හැකිව තුබූ එංගලන්තයට ගොස් පශ්චාත් උපාධියක් ලැබීමට වරම් ලත් එතුමා ශ්රී ලංකාවට පැමිණ පිය තැබූ නීති වෘත්තිය මෙන්ම දෙවන වරට යොමු වූ දේශපාලනය ද සිත් නොගත් නිසාදෝ ඒවා වෙනුවට ග්රන්ථ රචනයට බැස්සේ තමාගේම තෝරාගැනීමක් ලෙසය.
විසිවන සියවසේ මැද භාගය වනවිට එංගලන්තයේ පාලි පොත් සමාගම පාලි ත්රිපිටකයෙන් බොහෝ කොටසක් ඉංග්රීසි භාෂාවට පෙරළා මුද්රණය කර තිබිණ. ඉංග්රීසි භාෂාව පිළිබඳ ප්රවීණ බවක් ලබා සිටි ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතා බෞද්ධ සාහිත්ය ග්රන්ථ සිංහලට නැගීමේදී ඉංග්රීසි පරිවර්තන උපයෝගී කරගන්ට ඇත. ඒ සමග එවකට ශ්රී ලංකාවේ සිටි ධර්මවිනයධර මහතෙරවරුන්ගේ උපදෙස් ද ලබා ගත් බව එතුමාම පවසා ඇත. මුද්රණ පහසුකම් අඩුවෙන් පැවැති එම කාලයේ නිරවුල්ව ස්වකීය ග්රන්ථ ප්රකාශනය කිරීමට සිතූ එතුමා ධර්මසමය නමින් මුද්රණාලයක් ද පටන්ගත්තේය. පාලි ත්රිපිටක ග්රන්ථවල සිංහල පරිවර්තනයේ සමහර තැන් වියතුන්ගේ විවේචනයටද භාජන විය.
පාලි භාෂාවෙන් සඳහන් වී ඇති කරුණු පැහැදිලි කිරීමේදී අට්ඨකථාවල පවා මතභේද සහිත තැන් දක්නට ඇත. මේ සෑම ආගමකම දක්නා දෙයකි. බුදුසසුනද වෙන වෙන නිකායවලට බෙදුනේ බුද්ධ දේශනාවන් විවිධව තේරුම් කිරීම නිසාය. විශේෂයෙන් සූත්ර පිටකයේ ඇතුළත් වෙන ගැඹුරු අදහස් වෙනත් භාෂාවකින් පැවැසීම සුළුපටු කාර්යයක් නොවේ. ඒ ගැන සලකන විට ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතාට ලොකු සම්මානයක් හිමිය. අඩසියවසකින් පැරණි වූ එම ග්රන්ථ මේ වන විට වෙළඳපොලේ දක්නට නැති බව සලකා ආචාර්ය ඒ. පී. ද සොයිසා සූරීන් පළ කළ සිංහල ත්රිපිටකය නැවත මුද්රණය කිරීමෙන් එම අඩුව පිරවීමට සිරිසුමන ගොඩගේ සිරිමතාණන් ගත් පියවර ප්රශංසනීයය. ඇතැම් පොත් සොයා ගැනීමත් දුෂ්කරය. අපහසුකම් නොසලකා ගත් මෙම පියවර නොපමාව නිම කිරීමට එතුමාට හැකිවේවායි මම ප්රාර්ථනා කරමි.
බෙල්ලන ඤාණවිමල මහානායක ස්ථවිර
පෙරවදන
බෞද්ධ ග්රන්ථ අතර මුදුන්මල්කඩ ත්රිපිටකයයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මුළුමනින්ම ග්රන්ථාරූඪ කර ඇති ත්රිපිටකය පළ වී ඇත්තේ පාලි භාෂාවෙනි. එනිසාම වැඩිදෙනෙකුට ත්රිපිටකය කියවා අවබෝධ කර ගැනීම බලවත් ගැටලුවක් විය. 2500 බුද්ධ ජයන්ති වෙනුවෙන් වෙනුවෙන් සංස්කරණය කරන ලද ත්රිපිටකය බොහෝවිට උගතුන්ට පමණක් සීමා විය. පසුකාලයේ බොහෝ වියතුන් ත්රිපිටකය සිංහලට නැගුවද එම පරිවර්තන ද එතරම් ලිහිල් බසින් පළ නොවිණි.
මෙරට විසූ ප්රකට බුද්ධිමතකු මෙන්ම සිංහල, පාලි හා ඉංග්රීසි භාෂාත්රයෙහි මනා ප්රවීණත්වයක් ලද විද්වතකු ද වූ ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා එවක මෙරට විසූ ධර්ම විනය උගත් පණ්ඩිත මහස්ථවිරයන් වහන්සේලාගේ ආධාර ඇතිව ත්රිපිටකය සරල බසින් සිංහලට නැගුවේ එබැවිනි. ත්රිපිටකයේ දැනට පළ වී ඇති සිංහල පරිවර්තන අතුරෙන් කියවා පහසුවෙන් අවබෝධ කරගත හැකි, කාටත් වැටහෙන බසින් ලියැවුණ පොත් පෙළ ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා සංස්කරණය කළ මෙම පොත් පෙළ බව අපගේ වැටහීමයි. ත්රිපිටකය මෙතරම් සරල සිංහලෙන් ලියැවුණ වෙනත් ග්රන්ථ මාලාවක් බිහිවී නැත. එබැවින් බොහෝ දෙනා අපෙන් කළ ඉල්ලීම් ද සලකා බලා ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා සංස්කරණය කළ ත්රිපිටක ග්රන්ථ මාලාව නැවත මුද්රණය කර ප්රකාශයට පත් කිරීමට අප අදහස් කළේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරල සිංහලෙන් කියවා අවබෝධ කරගනු රිසි පාඨකයන් වෙනුවෙනි.
මෙම බැරෑරුම් කටයුත්තේදී අප මුහුණ දුන් බලවත් ගැටලුව වූයේ පනහ දශකයේ මුල් භාගයේ කාණ්ඩ 48 කින් පළවූ එම සම්පූර්ණ ග්රන්ථ මාලාව සොයා ගන්නේ කෙසේද යන්නයි. ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා එම පොත් පෙළ සංස්කරණය කරන සමයෙහි එම කාර්යය සඳහා ඒ මහතාට මග පෙන්වූ මහතෙරුන් වහන්සේලා අතුරෙන් අද ජීවතුන් අතර වැඩසිටින එකම භික්ෂූන් වහන්සේ වන කොල්ලුපිටියේ වාලුකාරාමාධිපති අතිපූජ්ය බෙල්ලන ඤාණවිමල මහානායක ස්වාමිපාදයාණන් වහන්සේගේ මග පෙන්වීම මෙහිදී අපට විශාල ශක්තියක් විය.
ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා සංස්කරණය කළ ත්රිපිටකය සරල සිංහල පොත් පෙළ අප වෙත ලබාදීමට කටයුතු කළ විද්යෝදය පරිවේණාධිපති බලන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේටත්, දොඩන්දූවේ පූජ්ය පණ්ඩිත ගංතලාවේ ගුණානන්ද නායක ස්ථවිරයන් වහන්සේටත්, පූජ්ය විද්යානිධි අම්බලන්ගොඩ සුමේධානන්ද ස්ථවිරයන් වහන්සේටත්, අරිසෙන් අහුබුදු මහත්මියටත්, ශ්රීනාත් ගනේවත්ත මහතාටත්, ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතාට සහ එස්. අයි. ගමගේ මහතාටත් අපගේ කෘතඥපූර්වක ස්තුතිය හිමිවේ.
මෙම ග්රන්ථ මාලාව යළි මුද්රණය කිරීමට අනුමැතිය පළ කළ ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතාගේ දියණිය වන ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මියටත්, පරිගණක අක්ෂර සංයෝජනය කළ නෙල්කා අබේවික්රම මහත්මියටත්, මුද්රණ සම්බන්ධීකරණයෙන් දායක වුණු පාලිත සේනානායක මහතාටත්, සෝදුපත් කියැවූ මිල්ටන් මද්දුමගේ මහතාටත් අපගේ ස්තුතිය හිමිවිය යුතුය.
සිරිසුමන ගොඩගේ
2015 මැයි
සංඥාපනය
පපඤ්ච සූදනී නම් මජ්ඣිමනිකායට්ඨ කථා බුද්ධඝොෂ ස්වාමින් වහන්සේ විසින් ‘හෙළටුවා’ නොහොත් මහා විහාර අටුවාව මාගධ භාෂාවට පරිවර්තනය කරන ලදී. සිංහලෙන්ම ලියන ලද අටුවා පොත් පහක් හයක් තිබුන බව පෙනේ. ඒ අටුවාවලින් ප්රධාන පොත ‘මහාපච්චිරියට්ඨ කථාවයි.’
පැරණි පිරිවෙන් මගින් පාලිභාෂාවෙන් ලියා තිබෙන අටුවා පොත් සිංහල භාෂාවට පෙරලා ලිවීම සිරිතක්ව තිබුන බව පෙනේ. ඒ පැරණි අටුවාවක් වූ පපඤ්ච සූදනිය ධර්ම කීර්ති ශ්රී ධර්මාරාමාභිධාන නායක ස්වාමීන් වහන්සේ සංශෝධනය කර සිංහලෙන් ලියා තිබේ. මේ පොතම සංකිච්චාභිධාන එල්ලාවල නායක මාහිමියන් විසින්ද ශුද්ධකර ප්රසිද්ධ කර තිබේ.
මේ පොත පරිවර්තනය කිරීමේ වැඩට පණ්ඩිත ඇල්. එච්. ජයසේන මහතා ආධාර කළ බව ස්තුතිවන්තව මතක් කරමු.
මේ පොත් ලිවීමට නොයෙක් උපදෙස් සහිත ලියුම් එවා තිබෙන උගත් භික්ෂූන් වහන්සේලාටත් බෞද්ධ උපාසක පින්වතුන්ටත් සාමාජිකයින් වශයෙන් පොත් ගැනීමෙන් ආධාර කරන පින්වතුන්ටත් අපේ ස්තුතිය පිරිනමමු.
ඒ. පී. ද සොයිසා
12 - 07 - 62