දීඝනිකාය අටුවාව 1 - AP සොයිසා.pdf

කතෘ :
ඒ. පී. ද සොයිසා
ප්‍රකාශිත වර්ෂය :
2015
මුද්‍රිත වර්ෂය :
2015
පිටු ගණන :
416
බාගත කිරීම් ගණන :
6,426
වෙබ් අඩවියට එක් කළ දිනය :
2018-05-24
ගොනුවේ ප්‍රමාණය :
63 MB
PDF ගොනුව බලන්නPDF ගොනුව බාගත කරගන්න

පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.

පිටුව 1
පිටුව 209

දීඝනිකායට අයත් සූත්‍ර දේශනාවන්ගේ අර්ථ විවරණය කෙරෙන සුමංගලවිලාසිනී නම් දීඝනිකාය අටුවාවෙහි සිංහල පරිවර්තනයයි. බුද්ධ ධර්මය හා විනය පිළිබඳ මනා දැනුමක් ඇති ධර්මධර පඬිවරයන්ගේ සහාය ඇතිව ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතා විසින් සරල සුගම සිංහල බසින් මෙය පරිවර්තනය කර තිබේ.

මෙම ප්‍රථම භාගයට දීඝනිකායට්ඨකථා නිදානය සහ දීඝනිකායේ මුල් සූත්‍ර දහය වන බ්‍රහ්මජාල, සාමඤ්ඤඵල, අම්බට්ඨ, සොණදණ්ඩ, කූටදන්ත, මහාලි, ජාලිය, කස්සපසීහනාද, පොට්ඨපාද සහ සුභ යන සූත්‍රයන්ගේ අටුවා විවරණ අන්තර්ගතය. ධර්මයේ ගැඹුරු තැන්, පද නිරුක්ති සහ ඓතිහාසික කරුණු මෙහි මනාව පැහැදිලි කර ඇත.

1958 වසරේ ප්‍රථම මුද්‍රණයෙන් පසු ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ සමාගම විසින් 2015 දී සිදු කරන ලද දෙවන මුද්‍රණය මෙය වේ.

ත්‍රිපිටක සිංහල පරිවර්තනය

බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය මුලින්ම සඳහන් වූයේ මාගධි භාෂාවෙන් හෙවත් පසුකලක ‘පාලි’ නමින් හැඳින්වුණ භාෂාවෙනි. ප්‍රථම ද්විතීය හා තෘතීය ධර්ම සංගායනාවලින් සංගෘහිත වූයේත් ශ්‍රී ලංකාවේදී ග්‍රන්ථාරූඪ වූයේත් මෙම පාලි ත්‍රිපිටකයමය. පසුකාලවලදී එම ත්‍රිපිටකයට අට්ඨකථා හා ටීකා ඉතා වැඩි කොටසක් ලියවුණේ එම පාලි භාෂාවෙන්මය, ශ්‍රී ලංකාවේ දීමය. සිංහල භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙනි. මේ නිසා මූලික ලෙස බුදුදහම හදාළ හැකිව පැවැතුණේ පාලි භාෂාවෙන්මය. සන්න සහ පිටපොත් වශයෙන් සමහර පාලි පොත්වල කොටස් සිංහල භාෂාවට නගා ලියා තිබුණ නමුත් සම්පූර්ණ පරිවර්තනයක් සිදුවී නොතිබිණ. ජාතකට්ඨ කථාව හා විනය පොත්වල කොටස් බොහෝ දුරට සිංහල භාෂාවට පරිවර්තිතව පැවැතිණ. ශ්‍රී ලංකාවේ මුද්‍රණ ශිල්පය පටන්ගැනුනේ මේ තත්ත්වය මතය. වටිනා ඤාණ සම්භාරයක් ඇතුළත්වන සිංහල ජාතිය සන්තක යැයි කිව හැකි බෞද්ධ සාහිත්‍යය සිංහල පාඨකයන්ට කියවා තේරුම් ගත හැකි තත්ත්වයේ වැඩ පිළිවෙළක අවශ්‍යතාව බෙහෙවින් දැනෙන්නට විය.

මේ අවස්ථාවේ නොයෙක් විෂයයන් කෙරෙහි මනස යොමු කළ පඬිවරයෙක් මෙදෙසට යොමු විය. එනම් ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතාය. නීතිය, දර්ශනය, විවිධ භාෂා ආදිය ප්‍රගුණ කොට දේශපාලනයට පිවිසි ඒ මහතා දකුණු කොළඹ ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරුණේය. එක්වරකින්ම එම මග අත්හළ එතුමා යොමුවූයේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු වෙතටය. එහි ඵලයක් වූයේ පාලි බෞද්ධ සාහිත්‍යය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමය.

සිංහලයන් සතුව පැවැතුණද ඉතා සුළු පිරිසකට තේරුම් ගත හැකිව තුබූ පාලි ත්‍රිපිටකය හා ඒ සඳහා ලියැවුණ අට්ඨකථා ද ඒවා සඳහා ලියැවුණ ටීකා ග්‍රන්ථද ගත් කල විශාල පොත් සමූහයකි. එම පොත් සමූහය තනිවම සිංහල භාෂාවට නැඟීමට කෙනෙකු සිතීම පවා ආශ්චර්යකි. එම අසිරිමත් කාර්යයට සිතත් අතත් යොමු කළ වීරයා වූයේ ආචාර්ය ඒ. පී. ද සොයිසා ශ්‍රීමතාය. එවකට ශ්‍රී ලංකාවේ ටික දෙනෙකුට ලැබිය හැකිව තුබූ එංගලන්තයට ගොස් පශ්චාත් උපාධියක් ලැබීමට වරම් ලත් එතුමා ශ්‍රී ලංකාවට පැමිණ පිය තැබූ නීති වෘත්තිය මෙන්ම දෙවන වරට යොමු වූ දේශපාලනය ද සිත් නොගත් නිසාදෝ ඒවා වෙනුවට ග්‍රන්ථ රචනයට බැස්සේ තමාගේම තෝරාගැනීමක් ලෙසය.

විසිවන සියවසේ මැද භාගය වනවිට එංගලන්තයේ පාලි පොත් සමාගම පාලි ත්‍රිපිටකයෙන් බොහෝ කොටසක් ඉංග්‍රීසි භාෂාවට පෙරළා මුද්‍රණය කර තිබිණ. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණ බවක් ලබා සිටි ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතා බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථ සිංහලට නැගීමේදී ඉංග්‍රීසි පරිවර්තන උපයෝගී කරගන්ට ඇත. ඒ සමඟ එවකට ශ්‍රී ලංකාවේ සිටි ධර්මවිනයධර මහතෙරවරුන්ගේ උපදෙස් ද ලබා ගත් බව එතුමාම පවසා ඇත. මුද්‍රණ පහසුකම් අඩුවෙන් පැවැති එම කාලයේ නිරවුල්ව ස්වකීය ග්‍රන්ථ ප්‍රකාශනය කිරීමට සිතූ එතුමා ධර්මසමය නමින් මුද්‍රණාලයක් ද පටන්ගත්තේය. පාලි ත්‍රිපිටක ග්‍රන්ථවල සිංහල පරිවර්තනයේ සමහර තැන් වියතුන්ගේ විවේචනයටද භාජනද විය.

පාලි භාෂාවෙන් සඳහන් වී ඇති කරුණු පැහැදිලි කිරීමේදී අට්ඨකථාවල පවා මතභේද සහිත තැන් දක්නට ඇත. මේ සෑම ආගමකම දක්නා දෙයකි. බුදුසසුනද වෙන වෙන නිකායවලට බෙදුනේ බුද්ධ දේශනාවන් විවිධව තේරුම් කිරීම නිසාය. විශේෂයෙන් සූත්‍ර පිටකයේ ඇතුළත් වෙන ගැඹුරු අදහස් වෙනත් භාෂාවකින් පැවැසීම සුළුපටු කාර්යයක් නොවේ. ඒ ගැන සලකන විට ආචාර්ය ඒ. පී. ද සොයිසා මහතාට ලොකු සම්මානයක් හිමිය. අඩසියවසකින් පැරණි වූ එම ග්‍රන්ථ මේ වන විට වෙළඳපොලේ දක්නට නැති බව සලකා ආචාර්ය ඒ. පී. ද සොයිසා සූරීන් පළ කළ සිංහල ත්‍රිපිටකය නැවත මුද්‍රණය කිරීමෙන් එම අඩුව පිරවීමට ‘සිරිසුමන ගොඩගේ’ සිරිමතාණන් ගත් පියවර ප්‍රශංසනීයය. ඇතැම් පොත් සොයා ගැනීමත් දුෂ්කරය. අපහසුකම් නොසලකා ගත් මෙම පියවර නොපමාව නිම කිරීමට එතුමාට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරමි.

බෙල්ලන ඤාණවිමල මහානායක ස්ථවිර

පෙරවදන

බෞද්ධ ග්‍රන්ථ අතර මුදුන්මල්කඩ ත්‍රිපිටකයයි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මුළුමනින්ම ග්‍රන්ථාරූඪ කර ඇති ත්‍රිපිටකය පළ වී ඇත්තේ පාලි භාෂාවෙනි. එනිසාම වැඩිදෙනෙකුට ත්‍රිපිටකය කියවා අවබෝධ කර ගැනීම බලවත් ගැටලුවක් විය. 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් සංස්කරණය කරන ලද ත්‍රිපිටකය බොහෝවිට උගතුන්ට පමණක් සීමා විය. පසුකාලයේ බොහෝ වියතුන් ත්‍රිපිටකය සිංහලට නැගුවද එම පරිවර්තන ද එතරම් ලිහිල් බසින් පළ නොවිණි.

මෙරට විසූ ප්‍රකට බුද්ධිමතකු මෙන්ම සිංහල, පාලි හා ඉංග්‍රීසි භාෂාත්‍රයෙහි මනා ප්‍රවීණත්වයක් ලද විද්වතකු ද වූ ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා එවක මෙරට විසූ ධර්ම විනය උගත් පණ්ඩිත මහස්ථවිරයන් වහන්සේලාගේ ආධාර ඇතිව ත්‍රිපිටකය සරල බසින් සිංහලට නැගුවේ එබැවිනි. ත්‍රිපිටකයේ දැනට පළ වී ඇති සිංහල පරිවර්තන අතුරෙන් කියවා පහසුවෙන් අවබෝධ කරගත හැකි, කාටත් වැටහෙන බසින් ලියැවුණ පොත් පෙළ ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා සංස්කරණය කළ මෙම පොත් පෙළ බව අපගේ වැටහීමයි. ත්‍රිපිටකය මෙතරම් සරල සිංහලෙන් ලියැවුණ වෙනත් ග්‍රන්ථ මාලාවක් බිහිවී නැත. එබැවින් බොහෝ දෙනා අපෙන් කළ ඉල්ලීම් ද සලකා බලා ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා සංස්කරණය කළ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව නැවත මුද්‍රණය කර ප්‍රකාශයට පත් කිරීමට අප අදහස් කළේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සරල සිංහලෙන් කියවා අවබෝධ කරගනු රිසි පාඨකයන් වෙනුවෙනි.

මෙම බැරෑරුම් කටයුත්තේදී අප මුහුණ දුන් බලවත් ගැටලුව වූයේ පනහ දශකයේ මුල් භාගයේ කාණ්ඩ 48 කින් පළවූ එම සම්පූර්ණ ග්‍රන්ථ මාලාව සොයා ගන්නේ කෙසේද යන්නයි. ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා එම පොත් පෙළ සංස්කරණය කරන සමයෙහි එම කාර්යය සඳහා ඒ මහතාට මග පෙන්වූ මහතෙරුන් වහන්සේලා අතුරෙන් අද ජීවතුන් අතර වැඩසිටින එකම භික්ෂූන් වහන්සේ වන කොල්ලුපිටියේ වාලුකාරාමාධිපති අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහානායක ස්වාමිපාදයාණන් වහන්සේගේ මග පෙන්වීම මෙහිදී අපට විශාල ශක්තියක් විය.

ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතා සංස්කරණය කළ ත්‍රිපිටකය සරල සිංහල පොත් පෙළ අප වෙත ලබාදීමට කටයුතු කළ විද්‍යෝදය පරිවේණාධිපති බලන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේටත්, දොඩන්දූවේ පූජ්‍ය පණ්ඩිත ගන්තලාවේ ගුණානන්ද නායක ස්ථවිරයන් වහන්සේටත්, පූජ්‍ය විද්‍යානිධි අම්බලන්ගොඩ සුමේධානන්ද ස්ථවිරයන් වහන්සේටත්, අරිසෙන් අහුබුදු මහත්මියටත්, ශ්‍රීනාත් ගනේවත්ත මහතාටත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතාට සහ එස්. අයි. ගමගේ මහතාටත් අපගේ කෘතඥතාපූර්වක ස්තූතිය හිමිවේ.

මෙම ග්‍රන්ථ මාලාව යළි මුද්‍රණය කිරීමට අනුමැතිය පළ කළ ආචාර්ය අධිනීතිඥ ඒ. පී. ද සොයිසා මහතාගේ දියණිය වන ආචාර්ය කුමාරි ජයවර්ධන මහත්මියටත්, පරිගණක අක්ෂර සංයෝජනය කළ නෙල්කා අබේවික්‍රම මහත්මියටත්, මුද්‍රණ සම්බන්ධීකරණයෙන් දායක වුණු පාලිත සේනානායක මහතාටත්, සෝදුපත් කියැවූ මිල්ටන් මද්දුමගේ මහතාටත් අපගේ ස්තූතිය හිමිවිය යුතුය.

සිරිසුමන ගොඩගේ
2015 මැයි

සංඥාපනය

බුද්ධ ධර්මය පිරිසිදු ලෙස අවබෝධ කර ගැනීමට අටුවා කථා අවශ්‍ය වෙත්.

මිහිඳු මහ රහතන් වහන්සේගේ කාලයේදී ලංකාවට ලැබුණාවූ පාළි අටුවා කථා සිංහලට පෙරළා ලියා තිබුණ නමුත් අටුවා කථා නැවත පාලියට පෙරළීම බුද්ධඝොෂ ස්වාමීන් වහන්සේ විසින් කරන ලදී. එකල මහා විහාරයෙන් ආධාර ලැබුණ බව උන්වහන්සේ සඳහන් කර තිබේ.

අටුවා පොත්වලින් ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කිරීමද, යම් යම් පදවල තේරුම් ලිවීමද, සැලකිය යුතු ඉතිහාස කරුණු විස්තර කිරීමද නොයෙක් තැන්වල ව්‍යාකරණ යෙදුම් කියාදීමද කර තිබෙන බැවින් අටුවාවලින් ලැබෙන ප්‍රයෝජනය මහත් බව සැලකිය යුතුයි.

අටුවා පොත්වලට මුල් පොතක් මෙන් සැලකිය යුතු විසුද්ධි මාර්ගය සිංහලට පරිවර්තනය කිරීමට පසු සුමංගල විලාසිනිය නම් දීඝනිකාය අටුවාවෙන් මේ පොත පටන් ගතිමි. මෙහි දීඝ නිකායේ මුල සිට සූත්‍ර දහයක් අන්තර්ගත කළෙමි.

සෞඛ්‍ය ඇමති ඒ. පී. ජයසූරිය මහතා පරලොව සැපත් ඔහුගේ ප්‍රිය භාර්යාව වූ මාලිනී ජයසූරිය මැතිණිය සිහි කර පින් ලබාදීම පිණිස මේ පොත ප්‍රසිද්ධ කිරීමට කඩදාසි ලබාදීමෙන් ආධාර කළ බව කරුණාවෙන් සඳහන් කරමි.

මේ පොත පරිවර්තනය කිරීමට තලල්ලේ පණ්ඩිත ධම්මානන්ද ස්ථවිරයන් වහන්සේද, පණ්ඩිත පින්කන්දේ පඤ්ඤාවාස ස්ථවිරයන් වහන්සේද, පණ්ඩිත ඇල්. එච්. ජයසේන මහතාද ආධාර කළ බව ගෞරවයෙන් මතක් කරමි.

මේ පොත් ලිවීමට නොයෙක් උපදෙස් සහිත ලියුම් එවා තිබෙන උගත් භික්ෂූන් වහන්සේලාටත් බෞද්ධ උපාසක පින්වතුන්ටත් සාමාජිකයින් වශයෙන් පොත් ගැනීමෙන් ආධාර කරන පින්වතුන්ටත් අපේ ස්තූතිය පිරිනමමු.

මීට,
ඒ. පී. ද සොයිසා
03 - 02 - 61