අංගුත්තර නිකාය අටුවාව 1 RASSL.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 2003
- මුද්රිත වර්ෂය :
- 2003
- පිටු ගණන :
- 649
- බාගත කිරීම් ගණන :
- 7,856
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-06-15
- ගොනුවේ ප්රමාණය :
- 157 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
භදන්ත බුද්ධඝොෂ මහාස්ථවිරයන් වහන්සේ විසින් සූත්ර පිටකයට අයත් අංගුත්තර නිකාය විවරණය කරමින් සම්පාදිත මනොරථපූරණී නම් වූ අංගුත්තර නිකායට්ඨකථාවේ පළමුවෙනි කොටසෙහි සිංහල පරිවර්තනයයි.
ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ (Royal Asiatic Society of Sri Lanka) පාලි අටුවා සිංහලට පරිවර්තනය කිරීමේ ව්යාපෘතිය යටතේ පස්වැනි කෘතිය ලෙස මෙය සම්පාදනය වී ඇත්තේ මහාචාර්ය කපිල අභයවංස මහතා විසිනි. බුද්ධශාසන අමාත්යාංශය සහ බුද්ධ ශාසන අරමුදලේ අනුග්රහයෙන් 2003 වසරේදී ප්රථම වරට මුද්රණය කොට ප්රකාශයට පත් කරන ලදී.
මෙම ප්රථම භාගයට නිදාන කථාව, ඒකක නිපාත වණ්ණනාව සහ එතදග්ගපාළිය යටතේ අග්රස්ථාන ලැබූ ශ්රාවක, ශ්රාවිකා, උපාසක සහ උපාසිකාවන්ගේ සවිස්තර චරිත කථා (ථේරීපාළි, උපාසකපාළි, උපාසිකාපාළි ඇතුළුව) අන්තර්ගත වේ.
පෙරවදන (පළමු මුද්රණය)
ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලි අටුවා සිංහලට පරිවර්තනය කිරීමේ ව්යාපෘතියෙහි පස්වෙනි කෘතිය වශයෙන් මනොරථපූරණී නම් වූ අංගුත්තර නිකායට්ඨකථාවේ ප්රථමභාගයේ සිංහල පරිවර්තනය මුද්රණද්වාරයෙන් මෙසේ එළිදැක්වීමට හැකිවීම ඉමහත් සතුටට කරුණකි. පාලිභාෂා ප්රවීණත්වය කෙරෙහි දැඩි අවධානයක් යොමු නොවන මෙවන් අවදියක පාලි අටුවා සිංහලට පරිවර්තනය කිරීම යුගමෙහෙවරක් වශයෙන් හැඳින්විය හැකිය. අටුවා සාහිත්යය බුද්ධධර්ම විෂයක දුරවබෝධ ස්ථාන සුගම කරවමින් විවරණ සැපයීමක් පමණක් වශයෙන් සැලකීම එහි අගය පිරිහෙලීමකි. බුද්ධධර්ම විෂයට අතිරේකව ශාසන වංශය ලාංකික සහ භාරතීය පුරාණ ඉතිහාසය, සංස්කෘතිය සමාජවිද්යාව ආදී විවිධ විෂයයන් සම්බන්ධ මාහැඟි තොරතුරු රාශියක් අටුවා සාහිත්යයට අන්තර්ගත වී ඇතිබැවින් හුදෙක් එහි ප්රයෝජනය බුද්ධධර්ම අධ්යයනයට අදාළ මාධ්යයක් වශයෙන් පාලි භාෂාව හදාරණ අයට පමණක් සීමාකිරීම යථෝක්ත අනෙක් විෂයයන් හා සම්බන්ධ විද්යාර්ථීන්ට කරනුලබන අසාධාරණයක් ලෙසද පෙනේ. පාලි අටුවා සිංහලට පරිවර්තනය කිරීම මගින් සිංහල මාධ්යයෙන් බුද්ධධර්මය හදාරන්නවුනට පමණක් නොව පස්වෙනි සියවස තෙක්වූ ශාසනඉතිහාසය, ලාංකික ඉතිහාසය, සංස්කෘතිය හා සමාජවිද්යාව හදාරන්නවුනට අටුවාසාහිත්යයෙන් විපුල ඵල ලදහැකිය. ශ්රී ලංකා රාජකීය ආසියාතික සංගමය ආරම්භවූයේද ආගම ධර්මය, ඉතිහාසය, පුරාවිද්යාව සාහිත්යය, ජනශ්රැතිය සමාජ විද්යාව ආදී ශ්රී ලාංකික සංස්කෘතියේ විවිධ ක්ෂේත්රයන් පර්යේෂණාත්මක අධ්යයනයන්ට යොමුකරවමින් ශාස්ත්රීය පතපොත සපයා අප සංස්කෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් විද්වත් ජනතාවට ලබාදීමේ අරමුණ ඇතිවය. පාලි අටුවා සිංහලට පරිවර්තනය කිරීමේ ව්යාපෘතිය මගින් යථෝක්ත අරමුණ සඵල කරගැනීමට නොමද පිටුවහලක් සැලසෙන බවද මෙහිදී සිහිපත් කළමනාය.
මෙම ව්යාපෘතිය සඳහා අරමුදල් සැපයීමෙන් අනුග්රහය දක්වන බුද්ධශාසන අමාත්යාංශය එහි කාර්යමණ්ඩලය හා බුද්ධ ශාසන අරමුදලේ භාරකාර මණ්ඩලය මෙහිදී අප සිහිපත්කරන්නේ කෘතවේදිත්වයෙනි.
මෙහි මුද්රණකටයුතු ඉතා මැනවින් කමනීය ලෙස නිම කර දුන් දෙහිවල ශ්රීදේවී ප්රින්ටර්ස්හි අධිපති මහේන්ද්ර සේනානායක මැතිතුමාටද අපගේ කෘතඥතාව හිමිවෙයි.
ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලි අටුවා පරිවර්තන කටයුතු පිළිබඳ කොමිටිය
ප්රස්තාවනාව (පළමු මුද්රණය)
සූත්ර පිටකයට අයත් සිවුවෙනි නිකාය ග්රන්ථය වශයෙන් සැලකෙන අංගුත්තර නිකාය සඳහා භදන්ත බුද්ධඝොෂාචාර්ය්ය පාදයන් විසින් විරචිත අටුවාකථාව මනොරථපූරණී අංගුත්තර නිකායට්ඨකථා නමින් ප්රකටය. බුද්ධඝොෂ හිමියන් මෙම අටුවාව රචනා කොට ඇත්තේ සූත්රපිටකයට අයත් දීඝනිකායට හා මජ්ඣිම නිකායට අටුවා සැපයීමෙන් අනතුරුව බව ග්රන්ථයෙහිම සඳහන් වෙයි. අංගුත්තර නිකායට්ඨකථාව සැපයීමේදී අංගුත්තර නිකායෙහි හා වෙනත් නිකායන්හි පොදුවේ දක්නට ලැබෙන පද පිළිබඳ අටුවා විස්තර පුනරුක්තියකින් තොරව ඉදිරිපත් කිරීමට බුදුගොස් හිමියන් උත්සාහ ගෙන ඇත. එබඳු තැන් පිළිබඳ විස්තර දීඝ හා මජ්ඣිම යන නිකායට්ඨකථාවන්ගෙන් හා විසුද්ධිමග්ගයෙන් දතයුතු බව උන්වහන්සේ පවසති. අංගුත්තර නිකායට ඇතුළත් සූත්රධර්ම නවදහස් පන්සිය පණස් සතක් පිළිබඳ වූ අටුවා විස්තර අංගුත්තර නිකායට්ඨකථාවට ඇතුළත් වී තිබේ.
අටුවා එකක් තවෙකකින් වෙන් කොට ඇගයීමක් කිරීම පහසු කටයුත්තක් නොවේ. හැම අටුවාවක්ම තවත් අටුවාවකට නොදෙවෙනි අගයකින් යුක්තය. බුද්ධ වචනය පිළිබඳ විස්තරාර්ථවර්ණනා පමණක් නොව ඒවා උද්දීපනය කිරීමට අදාළ වන නිදාන, වත්ථු, නිදර්ශන, හා චරිතකථා ආදියද අටුවාවකට අඩංගු වෙයි. මේ හැර යම් යම් ගැටළු තැන් පිළිබඳ අට්ඨකථාචාර්ය්යවරුන්ගේ මතවාද ආදියෙන් ද අටුවාවක් සාරගර්භී වෙයි. මේ නිසා අට්ඨකථාවක් හුදු ග්රන්ථපද විවරණයක් නොවේ. බුදුදහම පිළිබඳ අවශ්ය හැම විස්තරයක්ම පාහේ අට්ඨකථාවන්ට අඩංගු වී ඇති බැවින් ථෙරවාදී ආචාර්ය්යවරුන් බුදුදහම විවරණය කිරීමේ ස්වාධීන කෘති සැපයීමට පවා උත්සුක වී නොමැති බව පෙනේ. නෙත්තිප්පකරණ, පෙටකොපදෙස, මිළින්දපඤ්හ හා විසුද්ධිමග්ග වැනි කෘති අතලොස්සක් හැරුණු කොට ථෙරවාදීන් අතරෙහි බුද්ධ ධර්මවිෂයක වෙනත් ස්වාධීන කෘති රචනය වූ බවක් නොපෙනෙයි. බුද්ධධර්මයේ මූලග්රන්ථ සඳහා අට්ඨකථාවන්ගෙන් සැපයුණු විවරණ එතරම්ම පරිපූර්ණත්වයකින් පැවතීම ඊට සාධක වූවාට නිසැකය. සර්වාස්තිවාද, සෞත්රාන්තික ශුන්යවාද හා විඥානවාද යන බෞද්ධ නිකායන්හි බුද්ධධර්මය විග්රහ කෙරෙමින් රචිත වූ ග්රන්ථ රාශියක් විද්යමාන වෙතත් ථෙරවාදයෙහි එබඳු ග්රන්ථ දක්නට නොලැබෙන්නේ අට්ඨකථා වලින් එම අවශ්යතාව සම්පූර්ණ වූ නිසා විය හැකිය.
අටුවා සාහිත්යයෙහි වෙනත් අටුවාවන් මෙන්ම අංගුත්තර නිකායට්ඨකථාවද විශිෂ්ටස්ථානයක් හිමි කරගෙන තිබේ. බුද්ධඝොෂ හිමියන්ගේ අට්ඨකථා සැපයීමේ විශාරදත්වය මෙන්ම බුද්ධධර්මය හා තදනුබද්ධ විවිධ විෂයයන්හි පැතිරී පැවති ඥානපාටවය මෙම අටුවාවෙන්ද නොමඳව ප්රදර්ශනය වෙයි. අංගුත්තර නිකායෙහි සූත්ර ගතව ඇති මුඛ්යාර්ථයන්ට කෙරෙන විවරණවලට අතිරේකව මෙම අටුවාවෙහිලා අගය කළ යුතු අංශ කිහිපයක්ම විද්යමාන වෙයි. සූත්ර සාහිත්යයෙහි දක්නට නොලැබෙන බුද්ධචරිතයට අදාළ ඇතැම් තොරතුරු නිරාවරණය කර ගැනීමට මෙම අටුවාව ඉමහත් පිටුබලයක් සපයයි. බෝසතුන්ගේ ගෘහජීවිතය පිළිබඳව කෙරෙන ඇතැම් විවරණ මේ අතින් බෙහෙවින් වැදගත්ය. වසරේ සෘතු තුනෙහි විසීම සඳහා බෝසතුන් උදෙසා බිහිවෙතැයි කියන ප්රාසාදයන්හි නිර්මාණ කටයුතු ආශ්චර්යමය හාස්කම්වලට අයත් දේ ලෙස විවරණය කෙරෙතත් ඒ මගින් මතු කොට දැක්වෙන්නේ සුදොවුන් රජු තම පුත් කුමරුවන්ගේ සුඛෝපභෝගය කෙරෙහි දක්වා ඇති අවධානයයි. මෙම විවරණය තත්කාලීන ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ වැදගත් තොරතුරු සපයන මූලාශ්රයක් වශයෙනුදු සැලකිය හැකිය. රජ කුමරුවකු සතු විය යුතු ශිල්ප ඥානය නොමැත්තකු ලෙස බෝසතුන් සලකා සිය දියණිවරුන් පාවාදීමට අකැමැති වූ රජදරුවන් ඉදිරියෙහි බෝසතුන්ගේ ශිල්ප දැක්වීම පිළිබඳ ප්රවෘත්තියද මෙහිදී සවිස්තරාත්මකව ඉදිරිපත් වෙයි. බුද්ධත්වයෙන් පසු පියරජු දැකීම සඳහා බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට පැමිණීම හා සම්බන්ධව මෙහි දැක්වෙන තොරතුරුවලින් ද බුද්ධචරිතය විෂයෙහි මහත් ආලෝකයක් විහිදෙයි. මේ හැර බුදුරජාණන් වහන්සේගේ දෛනික ක්රියාකාරකම්, උන්වහන්සේ ධර්මදේශනා කරන පිළිවෙළ හා අන්යයන්ගෙන් නැගෙන ප්රශ්නවලට උන්වහන්සේ පිළිතුරු සපයන ආකාරය ආදී කරුණු පිළිබඳව මෙහි එන විස්තරවලින් බුදුන්වහන්සේගේ දිවියෙහි ව්යවහාරාත්මක අංශය බොහෝදුරට ප්රකට කෙරෙයි.
බෞද්ධ ආචාරධර්ම අංශයට අදාළ බොහෝ කරුණු ද අංගුත්තර නිකායට්ඨකථාවෙන් විවරණය වී තිබේ. කර්ම හා කර්මවිපාකදීම පිළිබඳ විවරණය මේ අතින් විශේෂ වෙයි. ස්වභාවය හා විපාකදීමේ ආකාරය අනුව සූත්තන්තික පරියාය, අභිධම්ම පරියාය හා පටිසම්භිදාමග්ග පරියාය යන ත්රිවිධ ක්රමය යටතේ කර්ම පිළිබඳව කෙරෙන වර්ගීකරණ මෙහිදී සවිස්තරාත්මකව ඉදිරිපත් වෙයි. දේවදූත සංකල්පය යටතේ කෙරෙන විවරණය සදාචාරාත්මක ජීවිතය කෙරෙහි කෙනෙකු මෙහෙයවීම අරමුණු කර ගන්නා ලද්දකි. සප්ත බොජ්ඣංග පිළිබඳව කෙරෙන විවරණය ද බෞද්ධ ආචාරවිද්යාත්මක අංශය සම්බන්ධයෙන් ඉතා වැදගත් වූවකි. භික්ෂු චර්යාව කවරාකාරයකින් සකස් විය යුතුද යන කරුණු අවධාරණය කරමින් බොහෝ තැන්වලදී විස්තර විවරණ ඉදිරිපත් වී ඇති බවද කිවයුතුය.
බුදුන්වහන්සේගෙන් එතදග්රස්ථානය ලද ශ්රාවක ශ්රාවිකා චරිත විවරණ ඉදිරිපත් කිරීමට අංගුත්තර නිකායට්ඨකථාව ඉමහත් අභිරුචියක් දක්වා ඇත. ශාරිපුත්ර මෞද්ගල්යායනාදී අසූමහා ශ්රාවකයන්ගේ චරිත කථා මෙතරම් සවිස්තරාත්මකව ඉදිරිපත් වන වෙනත් බෞද්ධ සාහිත්ය කෘතියක් නැතැයි කිවයුතුය. එහෙත් මෙම ශ්රාවකශ්රාවිකා චරිත හුදෙක් ආගමික සන්දර්භයක් තුළට පමණක් සීමා කිරීම එම චරිත සම්බන්ධයෙන් සිදුවූ විශාල අඩුපාඩුවක් ලෙස පෙනී යයි. එම ශ්රාවක ශ්රාවිකාවන්ගේ වර්තමාන ජීවන ප්රවෘත්තිවලට වඩා අතීත ජන්ම ප්රවෘත්තිවලට වැඩි අවධානයක් යොමු කිරීම මෙහිදී දක්නට ලැබෙයි. ඒ අතරිනුදු ඒ ඒ තනතුරු ලැබීම සඳහා ශ්රාවක ශ්රාවිකාවන් විසින් පූර්වජන්මවලදී කරනු ලැබූ කුශල ක්රියාවන් පිළිබඳ විස්තර පමණක් වැඩි අභිරුචියකින් ඉදිරිපත් කර තිබේ. එහෙත් විශාඛා උපාසිකාවගේ චරිත කථාව මේ අතින් තරමක් වැදගත් වෙයි. ඇයගේ චරිත කථාව විවරණය වී ඇත්තේ අතීත භවයන්ට වඩා වර්තමාන භවයට වැඩි අවධානයක් යොමු කිරීමෙනි. කෙසේ වුවද සාමාන්ය බෞද්ධ ජනතාවගේ ශ්රද්ධාව උද්දීප්තිමත් වන අයුරින් මෙම චරිත කථා විවරණ ඉදිරිපත් වී ඇති බව කිව යුතුය..
අටුවා විස්තර ඉදිරිපත් වී ඇති ආකාරය විමසා බලන විට පෙනී යන එක් වැදගත් ලක්ෂණයක් වන්නේ ඒවා බෙහෙවින්ම ධර්මදේශකයන්ගේ අවශ්යතාද සපුරාලන ආකාරයෙන් ඉදිරිපත්වී ඇති බවයි. සූත්රපාඨයන්හි අර්ථ උද්දීපනය කරමින්ම විවරණය කළයුතු තැන් සවිස්තරාත්මක අර්ථ වර්ණනයට භාජනය කිරීම අටුවාවලදී දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණයකි. මෙම විවරණ හුදෙක් ශාස්ත්රීය වූත් විචාරාත්මක වූත් දැනුමක් පාඨකයන්ට ලබාදීම එකම අරමුණ කරගත් බවක් නොපෙනේ. විශේෂයෙන් තත්කාලීන ධර්මදේශකයන්ගේ අවශ්යතා ඉටුකරලීමද ඒවායේ ප්රධාන අරමුණක් වී ඇති බව පෙනේ. නිදර්ශන, උපමාකථා, ජනශ්රැති වැනි බෙහෙවින් සරල කථන ප්රයෝග ප්රයෝජනයට ගනිමින් කෙරෙන ඇතැම් විවරණ බුද්ධධර්මඥානයේ බෙහෙවින්ම පහළ මට්ටමක සිටින පාඨකයන් පවා ග්රහණය කර ගැනීමේ අදහසින් ඉදිරිපත් වී ඇති බවට නිසැකය. බොහෝ විට විචාරාත්මක චින්තනය මගින් ප්රතික්ෂේප කෙරෙන අභව්ය සිදුවීම් පවා මහත් අභිරුචියකින් වර්ණනා කෙරෙන අවස්ථා අටුවාවන්හිදී අපට හමු වෙයි. මේවා හුදෙක් බුද්ධ ධර්ම විෂයක ශාස්ත්රීය ඥානය වර්ධනය කිරීම සඳහා නොව ශ්රාවකයන් තුළ ශ්රද්ධෝත්පත්ති ජනනය කරවමින් ධර්මදේශනය කෙරෙහි ඇද බැඳ තබා ගැනීමේ කාර්යයෙහිදී ධර්මදේශකයානට අවශ්ය කරුණු සපයාදීම සඳහා ඉදිරිපත් වූ ඒවා ලෙස සැලකීම යෝග්ය බව පෙනේ.
ඇතැම් අභව්යයයි සැලකිය හැකි සිදුවීම් අරභයා කරන විවරණ හා විස්තර කථන වලින් මූලික බෞද්ධ සිද්ධාන්තයන් පිළිබඳව වැරදි වැටහීම් පවා පාඨකයන් තුළ ඇතිවීම නොවැළැක්විය හැකි බව පෙනේ. අංගුත්තර නිකායට්ඨකථාවෙහි එන එක් එබඳු විස්තරයක් පමණක් නිදසුනක් වශයෙන් දැක්වීමට කැමැත්තෙමු. මෙම විස්තරය කියවීමෙන් කෙනකු තුළ ඇති විය හැකි හැඟීමක් වනුයේ අල්ප වූ කර්ම එය කළ පුද්ගලයාට සිහිපත් කරනු නොලැබුවහොත් ඒවායේ විපාක ඔහුට අහිමිවේය යන්නයි. නිරයට පැමිණෙන පුද්ගලයාට තමා කළ අල්ප වූ කුශල කර්ම තමා විසින්ම හෝ යම දූතයන් විසින් හෝ යමරජු විසින් සිහිපත් කරවා ඔහු සුගතියට ආපසු හරවා යැවීමේ පුවත හා සම්බන්ධ මෙම විස්තරය හුදෙක් අභව්යය යන හැඟීම ඇති කරවනු පමණක් නොව කර්මශක්තිය පිළිබඳ මූලික පිළිගැනීම්වලට තදබල පහරක් එල්ල කරවනු ද නිසැකය. අංගුත්තර නිකායට්ඨකථාවෙහි සඳහන් අයුරින් එම විස්තරය මෙහිලා ඉදිරිපත් කරනුයේ අටුවාසාහිත්යයට ඇතුළත් වී ඇති එබඳු ඇතැම් කරුණු පිළිබඳව පාඨකයන්ගේ සවිඥානකත්වය අවදි කරවාලනු සඳහාය.
“සුළු පාපකර්මයෝ වනාහි තමාගේ ස්වභාවයෙන්ම හෝ අනුන්ගේ මැදිහත් වීමෙන් හෝ සිහි කරනු ලැබෙති. එහි දීඝ ජන්තු නම් දමිළයෙක් තම හැකියාවෙන්ම සිහිපත් කළේය. ඒ දමිළයා සුමනගිරි විහාරයෙහි ආකාශගිරි චෛත්යයට රුවන් පටක් පූජා කළේය. පසු කලෙක හෙතෙම නිරයෙහි උස්සද සමීපයෙහි ඉපිද දැල් හඬක් අසා තමන් පූජාකළ රුවන්පට සිහි කළේය. හෙතෙම ගොස් දෙව්ලොව උපන්නේය. වෙනෙකෙක්ද කුඩා භික්ෂුනමකට සළුවක් දෙමින් පාමුල තබන කල්හි ශබ්දයෙහි නිමිති ගත්තේය. හෙතෙමේත් නිරය උස්සද සමීපයෙහි ඉපිද දැල් හඬින් ඒ සළුව සිහි කොට ගොස් දෙව්ලොව උපන්නේය. මෙසේ තම ස්වභාවයෙන්ම කුශල කර්මයන් සිහිකොට දෙව්ලොව උපදිති. තමන්ගේ හැකියාවෙන් සිහි නොකරන කල්හි දේවදූතයන් තිදෙනෙකුගෙන් විමසනු ලබති. එහි කිසිවෙක් පළමු දේවදූතයා මගින් සිහි කරත්. ඇතැම්හු දෙවෙනි හෝ තෙවෙනි දේවදූතයා මගින් සිහි කරවනු ලබත්. යමෙක් දේවදූතයන් තිදෙනා විසින්ම සිහි පත් නොකරනු ලබන විට යමරජු විසින් සිහිපත් කරවයි. එක් ඇමතියෙක් සමන්මල් සැළියක් මහ සෑයට පුදා යමරජුට පින් දුන්නේය. හෙතෙම අකුශල කර්මයකින් නිරයෙහි උපන්නේ යමරජු වෙතට යවනු ලැබීය. එහිදී දේවදූතයන් තිදෙනා මගින්ම කුශලකර්මයක් සිහිපත් නොකරනු ලබන ඔහු දැක යමරජ තෙමේ තමාම විමසා “ඔබ මහ සෑයට සමන්මල් පුදා මට පින් දුන්නේ නොවේහිදැ”යි සිහිපත් කරවීය. හෙතෙම එවිට එය සිහිපත් කොට දෙව්ලොව උපන්නේය. යමරජ තෙමේ තමා විමසා බලාද කෙනෙකුගේ කුශලයක් නොමැති බව දන්නා විට මේ පුද්ගලයා මහා දුකක් විඳින්නේයයි සිතා නිශ්ශබ්ද වෙයි.” (ඇ. නි. අටුවාකථා හේවාවිතාරණ මුද්රණ 1923 පි. 375-376)
කාලාන්තරයක් මුළුල්ලේ ලේඛන මාධ්යයකින් නොතිබුණු අර්ථකථා සාහිත්යයට මෙබඳු ජනප්රවාද, ජනශ්රැති හා පුරාවෘත්ත හා ආඛ්යානාදිය ඇතුළත් වීම පුදුමයට කරුණක් නොවේ. ශ්රී මුඛ බුද්ධදේශනය ලෙස ගැනෙන නිකායගත සූත්රවලට ද එබඳු දේ ඇතුළත් වී ඇත. ඒවා කෙතෙක් බුද්ධභාෂිතයට අන්තර්ග්රහණය වී ඇත්දැයි කිවහොත් ශුද්ධ බුද්ධ භාෂිතය ඒවායින් වෙන් කොට ගැනීම පවා අතිදුෂ්කරය. භාරතයේ සිට මිහිඳු හිමියන් විසින් ගෙනෙන ලද පාලි අට්ඨකථා මහා විහාරිකයන් අතින් සිංහලට පරිවර්තනය වී පස්වෙනි සියවසේදී බුද්ධඝොෂ ධම්මපාලාදී මහතෙරවරුන් අතින් යළි පාලිභාෂාවට නැඟීම තෙක් කාලය තුළ මුඛපරම්පරාගතව පැවතීම නිසා විවිධ පුද්ගලයන්ගේ මතිමතාන්තර ඒවාට ඇතුළත් වන්නට ඇත. ලංකාවේදී පමණක් නොව අර්ථකථා මිහිඳු හිමියන් මෙහි ගෙන ඒමට ප්රථම භාරතයේදී වුවද එබඳු දේ ඇතුළත් වූවාට කිසිදු සැකයක් නැත. අර්ථකථා පෝෂණය වී ඇත්තේ විවිධ මූලාශ්රය වලිනි. පාලි අට්ඨකථාවන්ගෙන් පිළිබිඹු වන ලංකාවේ බෞද්ධ තත්වය අරභයා ඊ. ඩබ්. අදිකාරම් මහතා විසින් ලියා ඇති ග්රන්ථයෙහි එබඳු මූලාශ්රය විසි අටක් නම් කොට තිබේ. (බලන්න. E. W. Adikaram, Early History of Buddhism in Ceylon, Colombo 1946) මෙම විවිධ මූලාශ්රය වලින් අටුවා සාහිත්යයට එක්වී ඇති බොහෝ කරුණු මහා විහාරීය භික්ෂූන්වහන්සේගේ පිළිගැනීමෙන් තහවුරු වී තිබූ බැවින් පාලි අටුවාකාරවකයන්ට ඇතැම් විට බුද්ධභාෂිතයෙන් අනුමත නොවිය හැකියයි සිතෙන දේ පවා තම අටුවා වලට ඇතුළත් කිරීමට සිදුවූවාට නිසැකය. පාරම්පරිකව පිළිගෙන තිබූ මෙබඳු ජනශ්රැති හා ප්රවාද කථා ඇතැම් මහතෙරවරුන් අතරත පවා විවාදාත්මකව පැවති බව අටුවා වලින්ම හෙළි වෙයි. නිරයපාලයන් පිළිබඳ එබඳු මතයක් අංගුත්තර නිකායට්ඨ කථාවෙහි ඇතුළත් වන්නේ මෙසේය: එත්ථ එකචෙච ථෙරා නිරයපාලානාම නත්ථි යන්ත රූපං විය කම්මමෙව කාරණං කාරෙන්තීති වදන්ති. තං අත්ථි නිරයේ නිරයපාලාති ආමත්තා අත්ථිව කාරණිකාති ආදිනා නයෙන අභිධම්මෙ පටිසෙධිතමෙව යථාහි මනුස්සලොකෙ කම්මකරණකාරකා අත්ථි එවමෙව නිරයෙ නිරයපාලා අත්ථීති (අංගුත්තරනිකායට්ඨ කථා හේවාවිතාරණ මුද්රණ 1933 පි. 374).
කෙසේ හෝ තත්කාලීනව පිළිගැනී තිබූ මතවාද හා ප්රවාදාදිය ප්රතික්ෂේප කරමින් අර්ථකථා පූර්ණ සංශෝධනයකට භාජනය කිරීමේ හැකියාව අර්ථකථාචාර්ය්යවරුන් සතුව නොතිබුණු බව පිළිගතයුතුය. ඔවුන් මහාවිහාර සම්ප්රදාය මත පිහිටා අර්ථකථා සම්පාදනය කළයුතුව තිබුණු බැවිනි. එබඳු දේ බැහැර කරමින් අර්ථකථා සම්පාදනය වූයේ නම් අතීත කාලීනව පැවති එබඳු ජනප්රවාද හා ජනශ්රැති පිළිබඳව පශ්චාත්තනිකයන්ට දැන ගැනීමේ අවස්ථාවද නැතිව යාමට ඉඩ තිබිණි. අතීත මානව චින්තනයේ දායාදයන් වශයෙන් සැලකිය හැකි එබඳු දේ පවා ආරක්ෂා කර තැබීමෙන් අර්ථකථා ඉමහත් මෙහෙවරක් ඉටුකර ඇති බව පැවසිය යුතුය.
මහාචාර්ය කපිල අභයවංස