KN ධම්මපද අටුවාව 1 RASSL.pdf
- කතෘ :
- බුද්ධඝෝෂ හිමි
- ප්රකාශිත වර්ෂය :
- 1999
- මුද්රිත වර්ෂය :
- 1999
- පිටු ගණන :
- 516
- බාගත කිරීම් ගණන :
- 7,584
- වෙබ් අඩවියට එක් කළ දිනය :
- 2018-06-16
- ගොනුවේ ප්රමාණය :
- 105 MB
පොතේ පිටු කිහිපයක ඡායාරූප පහතින් බලන්න.
ධම්මපදට්ඨකථා (පළමුවන කොටස) යනු ඛුද්දකනිකායට අයත් ධම්මපද පාලියට භදන්තාචාර්ය බුද්ධඝෝෂ මහාස්ථවිරයන් වහන්සේ විසින් රචිත ප්රකට පාලි අටුවාවේ සිංහල පරිවර්තනයයි. මෙම සිංහල පරිවර්තනය සම්පාදනය කර ඇත්තේ විද්යාලංකාර පරිවෙණාධිපති වැළමිටියාවේ සිරි ධම්මරක්ඛිත නායක ස්ථවිරයන් වහන්සේ විසිනි.
බුද්ධශාසන අරමුදලේ භාරකාර මණ්ඩලයේ අවසරය පරිදි, ශ්රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ (RASSL) අනුග්රහයෙන් පාලි අට්ඨකථා සිංහල පරිවර්තන මාලාවේ දෙවන ග්රන්ථය ලෙස 1999 වර්ෂයේදී මෙය ප්රථම වරට මුද්රණය කර පළකර ඇත. මහාචාර්ය ඇම්. බී. ආරියපාල මහතාගේ ප්රධානත්වයෙන් යුත් ආසියාතික සමිතියේ අට්ඨකථා පරිවර්තන කමිටුව මගින් මෙහෙයවන ලද මෙම ව්යාපෘතිය යටතේ ධම්මපදට්ඨකථාවේ අඩංගු ගාථා සහ කථාන්තර සරල සිංහල බසින් පාඨකයාට කියවිය හැකි අයුරින් ඉදිරිපත් කර ඇත.
මෙම පළමුවන කොටසට ධම්මපදට්ඨකථාවේ මුල් වර්ග නවය (09) ඇතුළත් වේ:
- යමක වග්ගය
- අප්පමාද වග්ගය
- චිත්ත වග්ගය
- පුප්ඵ වග්ගය
- බාල වග්ගය
- පණ්ඩිත වග්ගය
- අරහන්ත වග්ගය
- සහස්ස වග්ගය
- පාප වග්ගය
ප්රස්තාවනාව (පළමු මුද්රණය)
මේ පාලි ධම්මපදට්ඨකථාවේ සිංහල අනුවාදයයි. අට්ඨකථා නමින් ප්රකටව තිබෙන්නේ ශ්රීමුඛදේශනා නමින් තිබෙන මූලික ග්රන්ථ උදෙසා කරනලද විස්තර කිරීම් හෙවත් අර්ථකථන සමූහයකි. ශ්රීමුඛදේශනාවල පවතින අවබෝධකරගැනීමට අපහසු තැන් මේ අර්ථකථා හෙවත් අටුවා තුළ අවශ්ය පැහැදිලිකිරීම්, නිදර්ශන සඳහා කථාන්තරද වෙනත් විස්තරද ඇතුළත්කොට රචනාකර තිබේ. සංඛ්යා වශයෙන් ගත්කල මූලික ත්රිපිටක ග්රන්ථ සඳහා ලියවී ඇති අට්ඨකථා සුවිසෙකි. ධම්මපදට්ඨකථාව, ධම්මපදපාලියට හෙවත් ධම්මපදයට සපයා ඇති අර්ථකථනයයි. ‘ධම්මපදය’ සූත්රපිටකයේ ඛුද්දකනිකායට අයත් කුඩා ග්රන්ථ පසළොසෙන් එක් ග්රන්ථයකි. එය බෞද්ධයන් අතර ඉතාමත් ප්රකට හස්තසාර ග්රන්ථයක් මෙන්ම අත්පොතක්ද වන්නේය. පොදු පාඨකයන් අතරද අතිශයින් ප්රශස්ත ජනප්රියම ග්රන්ථයක් ලෙස එය හැඳින්වීමෙහි වරදක් නැත. හින්දුන් අතර ‘භගවත් ගීතා’ මෙන් බෞද්ධයන් අතර ‘ධම්මපදය’ නිරන්තර පඨන පාඨනයටත් පරිශීලනයටත් උපයුක්තව පවතී.
ත්රිපිටකයට අයත් බොහෝ මූලික ග්රන්ථවලට ලියා ඇති අට්ඨකථා, පපංචසූදනී, මනෝරථපූරණී, අත්ථසාලිනී, සාරත්ථප්පකාසිනී වැනි විශේෂ නාමවලින් හඳුන්වා තිබේ. එහෙත් ධම්මපදයට ලියනලද අටුවාව එබඳු අපර නාමයකින් තොරව ‘ධම්මපදට්ඨකථා’ නමින්ම හඳුන්වා තිබේ. ජාතකපාලිය සඳහා ලියනලද අටුවාවද ‘ජාතකට්ඨකථා’ යන නමින් හැඳින්වෙයි. පාලිධම්මපදට්ඨකථාවේ කතුවරයා අනුබුද්ධ බුද්ධඝෝෂාචාර්යපාදයන් වහන්සේයි. ග්රන්ථාවසානයේ දැක්වෙන උපසංහාර වාක්යයෙහි එන පරමවිසුද්ධසද්ධාබුද්ධිවිරියපතිමණ්ඩිතෙන ...... මහාකවිනා....මහාවිහාරවාසීනං වංසාලංකාරභූතෙන විපුලවිසුද්ධිබුද්ධිනා බුද්ධඝොසොති ගරුහි....කතායං ධම්මපදස්ස අත්ථවණ්ණනා’ති පාඨයෙන් ඒ බව සනාථ වෙයි.
මෙකල භාවිතයේ පවත්නා පාලිධම්මපදට්ඨකථාව, මුලින් ‘දීපභාසා’ හෙවත් හෙළබසින් පැවති බවත්, පසුව සෙසු දේශවාසීන්ගේත් ප්රයෝජනය සඳහා පාලියට නගන්නැයි කුමාරකස්සප නම් තෙරුන්ගේ ආරාධනයෙන් පාලියට නැගූ බවත් ග්රන්ථාරම්භයේ දැක්වෙන ගාථාවලින් (‘කුමාරකස්සපෙනාහං ථෙරෙන වීර චෙතසා.... සක්කච්චං අභියාචිතො’) ප්රකටවෙයි. එසේ අනුවාද කරද්දී හෙළඅටුවාවල පැවති අතිවිස්තර හැකිතරම් සංක්ෂිප්ත කළබවත් ප්රකාශවෙයි.
බුද්ධඝෝෂ හිමියන් විසින් රචිත ‘සමන්තපාසාදිකා’ නම් විනය අටුවාව ඇතුළු අනික් බොහෝ අටුවාවලද සඳහන්වන ‘මහාඅට්ඨකථාව’ සමස්ත ත්රිපිටකයම අළලා කරනලද්දක් වියහැකිය. බුද්ධඝෝෂ අටුවා සියල්ලට මේ මහාඅටුවාව මූලාශ්රය වන්නට පුළුවන. ක්රි. ව. 10 වන සියවසේදී V වන කාශ්යප නරේන්ද්රයන් විසින් කරනලද ‘ධම්පියා අටුවා ගැටපදයේ’ එම අටුවා පිළිබඳ සටහන් දක්නට ලැබෙයි. එයින් පෙනෙන්නේ ඒ වනවිටත් හෙළටුවා කීපයක් හෝ තිබුණුබවයි.
මේ අනුව සලකාබලන විට අද අප අතට පත්වී ඇත්තේ ‘ධම්මපදට්ඨකථාවේ’ තුන්වන පරම්පරාවට අයත් කෘතියක්බව පැහැදිලි වෙයි. මිහිඳුමාහිමියන් පැමිණෙන විට රැගෙන එන්නට ඇත්තේ පාලි හෝ මගධබසින් තිබුණු කෘති වියහැකිය. හෙළදිවදී ඒවා හෙළබසට නගන ලදී. (යා තම්බපණ්ණි දීපම්හි දීපභාසාය සංඛිතා) ඒ වනාහි අටුවා ග්රන්ථවල දෙවෙනි පරපුර හෝ සංස්කරණයයි. අනතුරුව බුදුගොස් හිමියන් ප්රමුඛ අටුවාචාරීහු ඒ හෙළටුවා රාශිය පෙළ(පාලි) බසට නගාලූහ.
ධම්මපදට්ඨකථාවේ මූලග්රන්ථයවූ ධම්මපදයේ වර්ග 26කි. ගාථා 423කි. ඒ ගාථාවලට අර්ථකථන කරමින් ලියූ කථාවස්තු 299කි. ඒ ඒ වර්ගවලට අයත් කථාසංඛ්යා මෙසේය:
01. යමක වර්ගයෙහි කථා 14 02. අප්පමාද වර්ගයෙහි කථා 09 03. චිත්ත වර්ගයෙහි කථා 09 04. පුප්ඵ වර්ගයෙහි කථා 11 05. බාල වර්ගයෙහි කථා 14 06. පණ්ඩිත වර්ගයෙහි කථා 11 07. අරහන්ත වර්ගයෙහි කථා 10 08. සහස්ස වර්ගයෙහි කථා 14 09. පාප වර්ගයෙහි කථා 12 10. දණ්ඩ වර්ගයෙහි කථා 10 11. ජරා වර්ගයෙහි කථා 09 12. අත්ත වර්ගයෙහි කථා 10 13. ලෝක වර්ගයෙහි කථා 11 14. බුද්ධ වර්ගයෙහි කථා 09 15. සුඛ වර්ගයෙහි කථා 08 16. පිය වර්ගයෙහි කථා 09 17. ක්රෝධ වර්ගයෙහි කථා 08 18. මල වර්ගයෙහි කථා 12 19. ධම්මට්ඨ වර්ගයෙහි කථා 10 20. මග්ග වර්ගයෙහි කථා 10 21. පකිණ්ණක වර්ගයෙහි කථා 09 22. නිරය වර්ගයෙහි කථා 09 23. නාග වර්ගයෙහි කථා 08 24. තණ්හා වර්ගයෙහි කථා 12 25. භික්ඛු වර්ගයෙහි කථා 12 26. බ්රාහ්මණ වර්ගයෙහි කථා 39
ධම්මපදපාලියේ සෑම ගාථාවක්ම නිධාන ගාථා හැටියට ගෙන, මේ කථා යෙදී ඇතත්, ‘අප්පමාද’ වර්ගයෙහි ‘අප්පමාදො අමතපදං’ යන ගාථාවට නිදාන කථාව කියාගෙන යනඅතර, ගාථාවලින් තොරව, අතුරුකථා හැටියට උදෙන, ඝෝෂක, සාමාවතී, වාසුලදත්තා, මාගන්දියා යන අයගේ කථාද දක්නට ලැබෙයි.
ධම්මපදට්ඨකථාව පෙර පටන්ම අපේ භික්ෂු අධ්යාපන පටිපාටියේ අනිවාර්ය වශයෙන් යොදාගත් පාඨ්යග්රන්ථයකි. එහි උපයුක්ත භාෂාස්වරූපයත්, සරල සුගමස්වභාවයත්, කථාවස්තු තුළ දක්නා ලැබෙන රසවත් බවත් ඊට හේතුවන්නට ඇත. ඒ නිසාම මෙම අර්ථකථාව අනුසාරයෙන් ගැටපද අනුවාද හා තවත් පරිවාර ග්රන්ථ ගණනාවක්ම රචනාවී තිබේ. ඒ පරිවාරග්රන්ථ අතර, සිංහලයේ පැරණිම ග්රන්ථය ලෙස සම්භාවනා ලබන, ක්රි. ව. 10 වෙනි සියවසේදී V වන කාශ්යප නරේන්ද්රයන් විසින් රචිත ‘ධම්පියා අටුවා ගැටපදය’ ප්රමුඛත්වයක් ලබයි. දඹදෙණි යුගයේදී ධර්මසේන නම් ප්රතිභාපූර්ණ යතිවරයෙකු විසින් රචිත, අග්රගණ්ය සාහිත්ය කෘතියක්වූ සද්ධර්මරත්නාවලියද මෙම අට්ඨකථාවේ අපූරු අනුවාදයකි. මෙසේ මේ අටුවාව ඇසුරෙන් පරිවාරග්රන්ථ බිහිවීමේ හේතුවෙන් මෙය මහජනතාව අතර ජනප්රියත්වයට පත්වී යයි නිගමනය කළ හැකියි.
ත්රිපිටක අටුවාග්රන්ථ සරල සිංහලට නැගීමෙහිලා රාජකීය ආසියාතික (ලංකා) සමිතියේ අනුග්රහය ලැබීම මහත් වාසනාවක් බව කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුය. මෙම කාර්යයෙහිලා මහාචාර්ය ඇම්. බී. ආරියපාල මහතාණන්ගේ මාර්ගදේශකත්වයත්, මහත්වූ ඇපකැපවීමත් අවංකවම අගය කරමු.
වැළමිටියාවේ සිරි ධම්මරක්ඛිත නායකස්ථවිර
පෑලියගොඩ
විද්යාලංකාර පිරිවෙන
කැලණිය.
1999 ජනවාරි 25.